Hot!

LATEST UPDATES

More news and views

''වැඩිහිටි අපේ න්‍යාය පත්‍රය තරුණයින්ගේ න්‍යාය පත්‍රය නොවේ'' - අගමැති


තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක ගෙමට කෝටියක් වැඩසටහනේ දිස්ත්‍රික් මට්ටමින් පළමු ස්ථාන දිනාගත් යෞවන සමාජ සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා (19) පොල්පිතිගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. 


දේශපාලනයෙන් ඈත්ව සිටින තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු ඉටු කරදීම සඳහා අද කළ යුත්තේ අපේ න්‍යාය පත්‍රය ඔවුන්ගේ න්‍යාය පත්‍රය බවට පත්කිරීම නොව ඔවුන්ගේ න්‍යාය පත්‍රය අපේ න්‍යාය පත්‍රය බවට පත්කර ගනිමින් අලූතින් සිතා පියවර ගැනීම බව ඔහු මෙහිදී අවධාරණය කළේය. 

මෙම උත්සවයට සහභාගීවීමට පෙර අගමැතිවරයා යාපහුව මැතිවරණ කොට්ඨාශයේ  කාපට් අතුරා සංවර්ධනය කරන ලද පොල්පිතිගම මඩගල්ල මාර්ගය විවෘත කිරීම, තරුණ සේවා සභාවේ  "ගමට කෝටියක්" වැඩසටහන යටතේ පොල්පිතිගම ප්‍රභාෂ්වර යෞවන සමාජය මගින් ඉදිකරන ලද අමුණුකුල, පොල්පිතිගම පාලම විවෘත කිරීම ද සිදු කෙරිණි. 

අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේ,

ජයග්‍රාහී යෞවන සමාජ වලට කෝටියක් දෙනවා 

"අද ප්‍රභාෂ්වර යෞවන සමාජය විසින් ඉදිකළ පාලම මම විවෘත කළා. "ගමට කෝටියක්" වැඩසටහන යටතේ අපි රුපියල් ලක්‍ෂ 03 ක් ලබා දුන්නා. ඔවුන් ඉන් රුපියල් ලක්‍ෂ 43 ක පාලමක් ඉදිකර තිබෙනවා. ඒ ඔවුන්ගේ දක්‍ෂතාවයයි. අපි එය අගය කළ යුතුයි. 

ගමට කෝටියක් වැඩසටහන යටතේ ජයග්‍රහණය කළ යෞවන සමාජවලට දැනට කෝටියක් ලබා දෙනවා. දෙවන ස්ථානය දිනා ගන්නා යෞවන සමාජයට ලක්‍ෂ 50 ක් ලබාදීමට කටයුතු කළා. නමුත් මින් ඉදිරියට දෙවෙනි ස්ථානයට පත්වන යෙඣීවන සමාජ පහක් වෙනුවෙන් ලක්ෂ 50  බැගින් ලබාදීමට මම තීරණය කළා. තුන්වන ස්ථානය දිනා ගන්නා යෞවන සමාජ පහක් සඳහා ලක්‍ෂ 30 බැගින් ලබා දෙනවා. මීට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ලබාදෙන ත්‍යාග ද අපි වැඩි කර ගත යුතු යැයි මම සභාපති තුමාට පැවසුවා. 

යෞවන සමාජ 5000 ක් ස්වේච්ඡාවෙන් ආරම්භ වන විට රටට විශාල සේවයක් සිදු වෙනවා. දක්‍ෂ තරුණ තරුණියන් වෙනුවෙන් අපි තව තවත් ආධාර උපකාර කළ යුතුයි.

"යූත් ලයිෆ් වට්ස්අප්" - ඔබ වෙනුවෙන්

ඒ වගේම අපි අද "යූත් ලයිෆ් වට්ස්අප්" වැඩසටහන ආරම්භ කළා. තරුණ ඔබට අවශ්‍ය සියලූම කාරණා තොරතුරු එහි ඇතුළත් වෙනවා. මේ වනවිට ජපානයේ රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට අවශ්‍ය පුහුණුව අපේ තරුණ තරුණියන්ට ලබාදීම රජය ආරම්භ කර තිබෙනවා. ගම්පෙරළිය යටතේ තරුණ සේවා සභාවට සහ යෙඣීවන සමාජ සම්මේලනයට අවශ්‍ය මුදල් වෙන් කරදී ඒ හරහා තරුණ ඔබට ජපන් භාෂා පුහුණුව ලබාදීමට හැකියාව ලැබෙනවා.

සෑම ගමකටම ශරීර සුවතා කට්ටල

ග්‍රාමීය තරුණ තරුණියන් වෙනුවෙන් ශරීර සුවතා කට්ටල ලබාදීමට කටයුතු කරනවා. මේ වසර තුළ සෑම ගම්මානයකටම ශරීර සුවතා කට්ටල 03 ක් ලබාදෙන බව මම ප්‍රකාශ කරනවා. ඒ හරහා ආරම්භ කරන මේ වැඩසටහන ඉදිරි වසර 03 කදී දියුණු කිරීමට අපට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයට ග්‍රාමීය සියලූම අංශ වෙත අපි අවධානය යොමු කරනවා. 

"ගමට කෝටියක්" වැඩසටහනේ අපේ අරමුණ වන්නේ ගමේ සංවර්ධනයට සියලූම දෙනා සහභාගී කරවා ගැනීමයි. තවත් වැදගත් අරමුණක් අප සතුව තිබෙනවා. එනම් ගම්මාන තුළ තරුණ නායකත්වයක් බිහි කිරීමයි. වෙසක් - පොසොන් කාලවල දන්සැල් ආදී ආගමික කටයුතු වල මුල් තැන ගැනීමට, අවුරුදු කාලවලදී ගමේ උත්සව ආදිය සංවිධානය කිරීමට හැකියාව ඇති තරුණ නායකයින් මේ වැඩසටහන හරහා ඇති කිරීම අපේ අරමුණයි. ඔවුන්ට මුදල් එකතු කිරීම මුදල් වියදම් කිරීම, තරුණ තරුණියන් එක්කාසු කර ගැනීම, එක් කණ්ඩායමක් ලෙස වැඩ කිරීම ආදිය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. 

මට අවශ්‍ය වන්නේ ගම තුළ එවැනි නායකත්වයක් වර්ධනය කර ගැනීමට අප ඉදිරියට දියුණු කළ යුත්තේ එම නායකත්වයි. වැඩ කිරීමට දක්‍ෂතා ඇති තරුණ තරුණියන් අපට සිටිනවා. නායකත්ව ගුණාංග අපේ ජීවිතයටත් ඉතා වැදගත් වනවා. අද රටේ විශාල තරුණ කණ්ඩායමක් නිර්මාණය වී තිබෙනවා. එය දේශපාලනයටත් අභියෝගයක් වී තිබෙනවා. 

සභාපතිතුමා පැවසූ ආකාරයට දේශපාලනය යනු තට්ටු මාරු ක්‍රමයක්. පවතින ආණ්ඩුව හොදින් වැඩ කරනවා නම් මහ ඡන්දයකදී එම ආණ්ඩුව ජයග්‍රහණය කරවීමට ජනතාව කටයුතු කරනවා. එසේ නැතිනම් විරුද්ධ පක්‍ෂය බලයට ගෙන ඒමට කටයුතු කරනවා. නමුත් අද වනවිට තරුණ පරම්පරාව සම්පූර්ණයෙන්ම මෙම පද්ධතියෙන් ඈත් වී තිබෙනවා. ඔවුන් අද වනවිට කිසිවෙකුටවත් ඡන්දය ලබා නොදෙන තත්ත්වයකට පත්වී තිබෙනවා. එය දේශපාලන ක්‍රමයට අසුභ ලකුණක්. එම නිසා එම තරුණ පරම්පරාව හොඳ දේශපාලන ක්‍රමයකට එකතු කර ගැනීමට කටයුතු කළ යුතුයි. මේ වනවිට අප රට තුළ සිදු කර තිබෙන කාර්යයන් පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබා දිය යුතුයි.

අපි ණය ගෙවමින් ඉන්නවා 

ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක සිටි ශ්‍රී ලංකාව අද ක්‍රමානුකූලව ණය ගෙවමින් සිටිනවා. රට දියුණු කිරීමට සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර තිබෙනවා. නුවර සිට කොළඹදක්වාත් කොළඹසිට හම්බන්තොට දක්වාත් විශාල සංවර්ධනයක් ඇති කරනවා. බිංගිරිය ප්‍රදේශයේ විශාල වෙළෙඳ කලාපයක් ආරම්භ කරනවා. කුරුණෑගල නගරයේ විශේෂ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. බස්නාහිර පළාත තුළ මහා නගරයක් ඉදි කරනවා. මේ වනවිට හම්බන්තොට වරාය සක්‍රීය කර තිබෙනවා. රට තුළ විවිධ කර්මාන්තශාලා ආරම්භ කර තිබෙනවා. 


විවිධ වැඩසටහන් හරහා ගමට මුදල් ලබා දෙනවා. විමධ්‍යගත අරමුදල් හරහා අවශ්‍ය මුදල් ලබා දෙනවා. "රන්මාවත්" වැඩසටහනින් මාර්ග ඉදිකර දී තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන හරහා පාසල්වලට ගොඩනැගිලි සහ අනෙකුත් පහසුකම් ලබා දෙනවා. සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙනුවෙන් නොමිලේ ස්ටෙන්ට් ලබා දෙනවා. උසස් අධ්‍යාපනය වෙනුවෙන් නුදුරේදීම ටැබ් පරිගණක ලබා දෙනවා.

මෙවැනි වැඩකටයුතු ගණනාවක් අපි සිදු කර තිබෙනවා. එවන් පසුබිමකත් තරුණයින් දේශපාලනයෙන් ඈත් වී තිබෙන්නේ ඇයි ද යන්න පිළිබඳව කල්පනා කළ යුතුයි. අප මෙතරම් වැඩ කොටසක් සිදු කළත් තරුණ තරුණියන් සිතන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍ර වලට අනුව රටට සිදු විය යුතු බොහෝ දේ තවමත් ඉටු වී නොමැති බවයි. මෙහි තිබෙන ගැටළුව එයයි. අප එය ප්‍රතික්ෂේප නොකර ඒ ගැටළුව පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කළ යුතුයි. අප රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඒ සියල්ල අප සිදු කර තිබෙන්නේ අප වෙනුවෙන් නොවෙයි. අනාගත ඔබ වෙනුවෙනුයි. එම වැඩකටයුතු පිළිබඳව ඔබ සෑහීමකට පත් වන්නේ නැතිනම් ඊට හේතු වන කරුණු අප සොයා ගත යුතුයි.

වැඩිහිටි අපේ න්‍යාය පත්‍රය තරුණයින්ගේ න්‍යාය පත්‍රය වන්නේ නැහැ

වැඩිහිටි අපේ න්‍යාය පත්‍රය තරුණයින්ගේ න්‍යාය පත්‍රය වන්නේ නැහැ. මමත් තරුණ අවදිය පසු කර තිබෙනවා. එම නිසා අපේ න්‍යාය පත්‍රය ඔවුන්ගේ න්‍යාය පත්‍රය බවට පත් නොකර තරුණ තරුණියන්ගේ න්‍යාය පත්‍රය පිළිබඳව අළුතින් සිතා රටේ දියුණුව කරා නව මාවතක ගමන් කළ යුතු යැයි මම ප්‍රකාශ කරනවා. යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමේදී මට අවබෝධ වුණේ එයයි. 

රට පිළිබඳව අලූතින් සිතිය යුතු කාලය, නව මාවතක ගමන් කළ යුතු කාලය දැන් එළැඹතිබෙනවා. ඒ වෙනුවෙන් අප එකට එක්වී වැඩ කළ යුතුයි. අනාගතය හිමි තරුණ තරුණියන්ගේ අවශ්‍යතා අනුව රටේ සංවර්ධන න්‍යාය පත්‍රය අප සැකසිය යුතුයි. ඒ අනුව රට ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. 
එම වැඩසටහන පිළිබඳව ආණ්ඩුවේ මතය අපි ඉදිරියේදී රටට ප්‍රකාශ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහනට සහභාගී වූ සියලූම යෞවන සමාජවලට මම අවසාන වශයෙන් ස්තුතිය පුද කර සිටිනවා.'' යන්නයි. 


ස්තුතිය - අලව්දීන් අන්සාර්


(අලව්දීන් අන්සාර්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වේ)  


‘‘ඉබ්බන්වලින් පිටකොටුව ඉඳන් මීගොඩට එන සී.ටී.බී බස් එකකට නැගලා තෙරපී තෙරපී ඇවිත් අතුරුගිරියෙන් බැස්සා. රෑට කන්නේ මොනවද හිත හිත ගේට්ටුව ළඟට ආවා කියමුකෝ. උදේ වහලා ගියපු ගේට්ටුව හායි ගාලා ඇරලා දාලා. කවුරු හරි කෙනෙක් වත්තට ඇතුල්වෙලා වගේ. ආපු කෙනා කවුරුහරි වෙලා ජනේලේ අස්සේ කොළයක් ගහලා ගිහිං. 

හපොයි, වතුර කපලා දාලා. 

ගේ අයිති මනුස්සයා වතුර බිල ගෙවනවා කියලා පොරොන්දු වුණත් ගෙවලා නැහැ. ඉතිං අගෝස්තු 10 න් පස්සේ වතුර කපනවා කියලා දාලා තිබුණත් නොහිතුව මොහොතක වතුර කපපු නිසා අපිට විඳින්න සිද්ධ වුණේ දැඩි පීඩාවකට. වතුර ටැංකියකුත් ගෙදර නැහැ, ළිඳකුත් නැහැ. කාගේවත් අම්මා, මුත්තා සිහිකරලා වැඩක් නැහැ. මුලින්ම මේ මොහොතේ කළයුත්තේ කුමක්දැයි හිතාගන්න බැරිව බිල් එකේ තිබුණු නම්බර් එකට ගත්තා. ප්‍රාදේශීය කාර්යාලයේ සේවිකාවක් උත්තර දෙමින් කීවේ මේ මොහොතේ කරන්න කිසිම දෙයක් නැති බවත් හෙට උදේ 9-12 අතර කතාකරලා විසඳගන්න කියලා. එතනින් එහාට කළයුත්තේ කුමක්ද ?. ගෙදර අයිතිකාරයින්ගේ වැරැද්ද කියවා කියවා ඉඳලා ඵලක් නැහැ. ඉතිං. 

ලැප් එක ඔන් කරන් මොබයිල් ඩේටා වලින් ජල සම්පාදන එකේ වෙබ් අඩවිය හෙව්වා. ලෑන්ඩ් ලයින් නැතුව මොබයිල් නම්බර් තියෙන්නේ කාගේද ?...

සභාපතිවරයා අලව්දීන් අන්සාර් ඇතුළු ඉහළ පෙළේ නිළධාරීන් කීපදෙනෙකුගේ නම්බර්ස් තියෙනවා. සභාපති කියන්නේ වගකීම් වැඩි කෙනෙක්. ඒ නිසා සභාපතිවරයාට මුලින්ම නොගෙන ඊට පහළ නිළධාරීන් කීපදෙනෙකුගේ නම්බර්ස් ඩයල් කළා. කිසිවෙක්ගෙන් පිළිතුරක් නැත. කිසිවෙකු දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේ නැත.

දැන් තියෙන්නේ එකම විසඳුමයි. සභාපතිවරයට කතාකිරීමයි. පළමුවර කිසිදු පිළිතුරක් නැතත් දෙවනවර ඔහු ඇමතුමට උත්තර දුන්නා. සම්පූර්ණ විස්තරේ කිව්වා. බොන්න වත් වතුර පොදක් නැහැ කියලා මේ මොහොත ගැන මානුෂික ස්වරූපයක් දුන්නේ වෙන විසඳුමක් නැති තැනයි. ඔහු මුලින්ම කිව්වා උපදෙස, අවම ගාණවත් ගෙවන්න කියන එකයි. 25 පඩිපත ලැබෙන තෙක් ජීවත්වෙන්න තිබුණු මුදලින් අවම ගාණ ගෙව්වා. පැයකට විතර පස්සේ ආයෙත් සභාපතිවරයට ඇමතුමක් අරන් අපි මුදල් ගෙව්ව බව කිව්වා. ඔහු කිව්වේ අතුරුගිරිය කලාපය භාර කළමනාකරුට ඇමතුම් ගන්නට උත්සහ කළත් ඔහුගෙන් පිළිතුරක් නැති බවයි. ‘ඔයාට මං නම්බර් එක දෙන්නම්, අරන් බලන්න‘ ඔහු කිව්ව. 

කළමනාකාරවරයාගේ නම චමින්ද දිසානායක. ඒ උපදෙස් එලෙසින්ම අනුගමනය කරමින් අපි අදාළ අංකයට කතා කරලා ඔහුට මේ අවුල පැහැදිලි කළා. හෙට උදේ වෙද්දි ඉතුරු සම්පූර්ණ ගාණ ගෙවන පොරොන්දුව පිට මීට සුළු මොහොතකට කලින් ආව කාර්යමණ්ඩලයේ පිරිස නැවත සම්බන්ධතාවය ලබාදුන්නා. 8.37 යි. සභාපතිවරයාගේ සිට කාර්යමණ්ඩලයේ සියළුදෙනාටම ස්තුතියි. දැනුම් දීලා පැය දෙකහමාරක් ඇතුළත සියල්ල විසඳුවට.... 

සභාපතිවරයා ඇමතුම නොගත්තා නම් මොකද ? වෙන්නේ. අද රෑ කොහොමහරි තියෙන දෙයක් ගිලලා, ඇඟපත හෝද ගන්නවා තියා අත්‍යවශ්‍ය ශරීර කෘත්‍ය පවා නොකර හෙට උදේ වෙනකල් ඉන්න වෙනවා. හෙට කාර්යාලයට යන්න වෙන්නෙත් නැහැ. සීතල වතුර වීදුරුවක් බොන ගමන් මට එහෙම හිතුණා.‘‘




වින්ධ්‍යා ගම්ලත් 

දොස්තර ෂාෆි - ලංකාවේ ඩ්‍රේෆුස්



- ගාමිණී වියන්ගොඩ -


ජාතිවාදී හා ආගම්වාදී උමතුව ආණ්ඩුව මැඩලුවාද ? 

පාස්කු ත්‍රස්තවාදය වැළැක්වීමට ආණ්ඩුවට නොහැකි විය. ඊළඟට, ඒ ප්‍රහාරය විසින් ඇති කළ ජාතිවාදී සහ ආගම්වාදී උමතුව මැඩලීමට ආණ්ඩුව අසමත් විය. අස්ගිරියේ මහනායක භික්ෂුවගේ අභද්‍ර ප්‍රකාශයට විරුද්ධව කතා කිරීමට කොන්දක් තිබුණේ එක් ඇමතිවරයෙකුට පමණි. අගමැතිවරයා ඒ ගැන වචනයක් කීවේ නැත. බුද්ධ ශාසන ඇමතිවරයා ඒ ගැන වචනයක් කීවේ නැත. ඊළඟට රටේ ජනාධිපති වෙන්ඩ හදන සජිත් ප්‍රේමදාස කටක් ඇරියේත් නැත.

ත්‍රස්තවාදය පිළිබඳව ලෝකයාට අද නූතන දැනුමක් තිබේ. එය, මීට වසර කිහිපයකට පෙර ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දැරූ මතයට තරමක් වෙනස් ය. 2015 තරම් මෑතක් වන තෙක්මත්, ත්‍රස්තවාදී සංවිධාන සහ ව්‍යාපාර හඳුනාගෙන ඒවා හුදු අවි බලයම උපයෝගී කොටගෙන විනාශ කරලීම, රාජ්‍ය-කේන්ද්‍රීය ත්‍රස්ත-විරෝධී ව්‍යාපෘතිවල ප්‍රධාන කාර්යභාරය විය. බින් ලාඩන් සම්බන්ධයෙන් ඇමරිකාවත්, ප්‍රභාකරන් සම්බන්ධයෙන් ලංකාවත් අනුගමනය කෙළේ ඒ ක්‍රියාමාර්ගයයි. එහෙත්, අද වන විට සංවිධානගත ජාල (අල්-කයිඩා සහ එල්.ටී.ටී.ඊ. වැනි) ව්‍යාපාර නොමැතිව, පුංචි පුද්ගල කණ්ඩායම් සහ කල්ලි වශයෙන් රැස්වී, රටක තිබෙන දුර්වලම තැන් ඉලක්ක කරගෙන ප්‍රහාරයන් දියත් කිරීම සඳහා අවශ්‍ය කරන්නේ ඉතා ප්‍රාථමික ඒකරාශී වීමක් පමණි. ඒ ප්‍රාථමික පුද්ගල කල්ලියට වැඩට බැසීමට අවශ්‍ය කරන්නේ දැඩි දෘෂ්ටිවාදීමය පන්නරයක්/පිස්සුවක් පමණි. ඔවුන් මහ බැංකුව හෝ කටුනායක ගුවන් තොටුපොළ වැනි ආරක්ෂිත ස්ථානයකට වඩා තමන්ගේ ඉලක්කය වශයෙන් ගන්නේ පල්ලියක්, පන්සලක්, පාසලක් වැනි අනාරක්ෂිත ස්ථානයකි. ත්‍රස්තවාදය මැඩලීමේ පරණ චින්තනය අනුව ගියොත්, මුළු රටම හමුදා බැරැක්කයක් බවට පත්නොකොට මේ අර්බුදයෙන් ගොඩඒමට රටකට නොහැකි වනු ඇත. ඒ නිසා, වෙනත් ආකාරයකින් ප්‍රශ්නය දිහා බැලීමට අද ලෝකයා යුහුසුළුව සිටිති. එනම්, මේ ප්‍රාථමික පුද්ගල කල්ලි සහ ඒවාට දෘෂ්ටිවාදය සපයන මූලාශ්‍ර හඳුනාගෙන කල්තියා ඊට පිළියම් කිරීමයි. උදාහරණයක් වශයෙන් කිවහොත්, සහරාන් ඇතුළු කල්ලියේ දෘෂ්ටිවාදය සහ එම කල්ලියට අදාළ ක්‍රියාකාරකම් කල්තියා පාලනය කරගෙන තිබිණි නම්, පාස්කු ප්‍රහාරයක් ඇති නොවෙනවා පමණක් නොව, ඒ ප්‍රහාරයට පරිබාහිරින් අද ලංකාවේ ඇති කොට තිබෙන වාර්ගික ආතතියට හිස එසවීමට ඉඩක්ද නොලැබෙනු ඇත. ඊටත් කලින්, ගලගොඩඅත්තේ ඥානසාර වර්ගයේ උමතු ක්‍රියාකාරකම් මැඬලීමට පාලකයන් පියවර ගෙන තිබිණි නම්, සමහරවිට සහරාන්ට මෙතරම්වත් හයියක් නොලැබෙන්ට ඉඩ තිබුණි. කොටින්ම, කුරුණෑගල රෝහලේ දොස්තර ෂාෆි වැනි පුද්ගලයෙකු සම්බන්ධයෙන්, ජාතිවාදී පුවත්පතක් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුට මෙතරම් විනාශකාරී හාහෝවක් ඇති කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. 

සහරාන්ගෙන් අප තවම උගෙනගෙන නැහැ

මුස්ලිම් සහරාන්ගෙන් අප පාඩමක් උගෙන නැති බව, ගලගොඩඅත්තේ ඥානසාර සහ අතුරලියේ රතන වැනි භික්ෂූන් අරභයා බලධාරීන් තවමත් දක්වන නියාලු සහ ඉවසනසුළු ආකල්පයෙන් පෙන්නුම් කෙරේ. ඊයේ මාධ්‍ය වාර්තා කළ පරිදි, එක් භික්ෂුවක් අරලියගහ මැදුරට බලහත්කාරයෙන් ඇතුල් විය. ඔහු සමග සිටි කාන්තාවන් කිහිප දෙනෙකු කියා සිටියේ අරලියගහ මන්දිරය ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නිසා කල්තියා ලබා ගත් අවසරයකින් තොරව එහි ඇතුල් වීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇති බවයි. තමාව නතර කිරීමට කාටවත් නොහැකි බව තරයේ කියා සිටි භික්ෂුව තමා කවුද කියා නොහඳුන්නේදැයි ආරක්ෂක නිලධාරීන්ගෙන් කෝපයෙන් ප්‍රශ්න කෙළේය.

මේ භික්ෂුව එසේ ප්‍රශ්න කිරීම සාධාරණ ය. ඔහු ඇසුවේ තමාගේ ‘යුනිෆෝම්’ එක නොහඳුනන්නේද යන්නයි. රණකාමීත්වයක්වත්, වීරත්වයක්වත් පෙන්නුම් කොට නැතත්, මොන තරම් අපරාධ සිදුකොට ඇතත්, යම් අවස්ථාවක හමුදා ‘යුනිෆෝම්’ හැඳ සිටි ඕනෑම අපරාධකරුවෙකු ‘රණවිරුවකු’ වශයෙන් සැලකිය යුතු බවට සම්මතයක් මේ වන විට සමාජගත කොට තිබේ. ඉතිං, අර ආරක්ෂක නිලධාරීන්, මේ භික්ෂුව සම්බන්ධයෙනුත්, ඒ සම්මතයට ගරු කළ යුතුව තිබුණි. එනම්, ‘යුනිෆෝම්’ එකට ගරු කළ යුතුව තිබුණි. 

‘රණවිරු’ ලේබලය යටතේ සිදුව ඇති අපරාධ යුක්ති සහගත කිරීමෙන් සැබෑ රණවිරුවන් හෑල්ලුවට ලක්වන්නේ යම් සේද, චීවරයක් හැඳගෙන ඊට නොහොබිනා ආකාරයෙන් හැසිරීම සහ කටයුතු කිරීමෙන්, චීවරය පසුපස තිබිය යුතුව ඇතැයි විශ්වාස කරන සද්ධර්මය හෑල්ලුවට ලක්කෙරෙන බව ථෙරවාද බෞද්ධයන්ටම අමතකව ගොස් ඇති සමාජයක අපි අද වෙසෙමු. එනම්, චීවරය ‘යුනිෆෝම්’ එකක් කර ගත් අබුද්දස්ස කාලයකට අපි අවතීර්ණ වී සිටිමු. 

භික්ෂුවගේ දුෂ්චර්යාවන් අනුමත කරන සමාජය

මෙවැනි භික්ෂූන්ගේ දුෂ්චර්යාවන් සාමාන්‍ය දෙයක් වශයෙන් ගැනීමට මේ බෞද්ධ සමාජය අද හුරු වී ඇතැයි සිතෙන්නේ ඒ පිළිබඳ කිසි විරෝධයක් පොදු සමාජයෙන් පැන නොනැඟෙන බැවිනි. වෛද්‍ය ෂාෆි පිළිබඳ සිද්ධිය පරීක්ෂා කළ යුත්තේ “වෛද්‍ය විද්‍යානුකූලව නොව, සමාජ විද්‍යානුකූලව” යැයි කියන තරමට අතුරලියේ රතන භික්ෂුව දුරදිග ගියේ, බෞද්ධ සමාජයමත් අබෞද්ධකම සහ අවිද්‍යාව සාමාන්‍යයෙන් අනුමත කරන බව හොඳින්ම ඔහු දන්නා නිසා විය හැකිය. 

දොස්තර ෂාෆිට විරුද්ධව එල්ල වී ඇති ප්‍රධාන ආන්දෝලනාත්මක චෝදනාව වන්නේ සිංහල බෞද්ධ කාන්තාවන් ඔවුන්ගේ දැනුවත් භාවයකින් තොරව වඳ කොට ඇති බවයි. සාමාන්‍ය සිහිබුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට පෙනී යා යුතු පරිදි, මේ සිද්ධිය පිළිබඳ සත්‍ය ගවේෂනයකදී අදාළ වන්නේ ප්‍රධාන කාරණා දෙකකි. එකක්, නීතිය මුල් කරගත් අපරාධ විමර්ශණයක් කිරීම ය. දෙවැන්න, වෛද්‍ය විද්‍යාව මුල් කරගත විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීම ය. 

ෂාෆි ගැන ගොතන ප්‍රබන්ධය

බලහත්කාරී වඳ කිරීමක් පිළිබඳ අපරාධයක් සම්බන්ධයෙන් සත්‍යය සොයා ගැනීම සඳහා මීට වෙනස් වෙනත් කිසි ක්‍රියාමාර්ගයක් ඇත්තේ නැත. යමෙකු මේ විද්‍යාත්මක ක්‍රමය ප්‍රතික්ෂේප කරයි නම්, එහි අර්ථය වන්නේ, සත්‍යය නොව, ප්‍රබන්ධය හෙවත් බොරුවම එම තැනැත්තාට අවශ්‍ය කරන බවයි. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වෛද්‍ය පරීක්ෂණ හරහා හෝ මේ පිළිබඳ සත්‍යය සොයාගත නොහැකි යැයි අතුරලියේ රතන භික්ෂුව කියන විට ඉන් ඔහු අදහස් කෙරෙන්නේ, දොස්තර ෂාෆි සම්බන්ධයෙන් තමාගේ විශ්වාසයට අනුරූප නිගමනයක් ලබා දෙන තෙක්, විද්‍යාත්මක දත්ත කිසිවක්, සත්‍යය වශයෙන් තමන් භාර නොගන්නා බවයි. නාරිදේහ විශේෂඥ වෛද්‍යවරුන්ට වඩා, කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන දන්ත වෛද්‍යවරයෙකුගේ සහ නාථ දෙවියන්ගේ හාස්කම් මත ‘විද්‍යාත්මක’ නිගමනවලට එළැඹෙන චන්න ජයසුමන වැනි පුද්ගලයන්ගේ නිරීක්ෂණ, අතුරලියේ රතන වැනි භික්ෂූන්ට මෙතරම් වැදගත්ව ඇත්තේ එබැවිනි. 

මේ ගැන අප පුදුම විය යුතු නැත. මේ භික්ෂුව අදහන ආගමත්, ඔහුට අනුව, අප විනිශ්චය කළ යුත්තේ, බුද්ධ ධර්මානුකූලව නොව, ‘සමාජ විද්‍යානුකූලව’ වන බැවිනි. බුදුන් වහන්සේට අනුව, ජාතිය කරපින්නා ගැනීම, බොරු කීම, හිංසනයට උඩගෙඩි දීම, (බොරුවට හෝ) ජීවිතය නසා ගැනීමට තැත් කිරීම සහ අධර්මයේ හැසිරීම ධර්ම-විරෝධී ය. එහෙත් මේ සියල්ල, බුදුන්ට අනුකූලව නොව, අතුරලියේ රතන භික්ෂුවගේ ‘සමාජ විද්‍යානුකූල’ තර්කයට අනුව, නිවැරදි ය. මන්ද යත්, ලංකාවේ බහුතරය සිංහල ය. ඒ බහුතරයෙන් බහුතරය බෞද්ධ ය. ඒ තත්වය තුළ, බුදුන් වහන්සේගේ චීවරය, ‘සමාජ විද්‍යානුකූල යුනිෆෝමයක්’ බවට පත්කර ගැනීමේ හයියක් එම භික්ෂුවට ලැබී ඇති බැවිනි.
  
ඩ්‍රේෆුස් සිද්ධියෙන් පාඩම් උගනිමු 

මෙවැනිම බහුතර මතයක් විසින් නීතිය සහ යුක්ති ධර්මය කෙලසූ අවස්ථාවක් වැඩි ඈතක නැති ලෝක ඉතිහාසයෙන් අපට හමුවෙයි. 1894 දී ප්‍රංශයේ ඇති වූ මේ සිද්ධිය අදටත් ලෝක ප්‍රසිද්ධ වන්නේ ‘ඩ්‍රේෆුස් සිද්ධිය’ වශයෙනි. එදා මුළු ප්‍රංශ සමාජයම යුදෙව් විරෝධී මතවාදයක තෝතැන්නක්ව තිබුණි. අද ලංකාවේ මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් ඇති කොට තිබෙන සැකය සහ අවිශ්වාසය එදා යුරෝපය පුරා සිටි යුදෙව්වන් අරභයා දක්නට තිබුණු පොදු ආවේගයකි. ඇල්ෆ්‍රඞ් ඩ්‍රේෆුස්, ප්‍රංශ ජාතික යුදෙව්වෙකි. ප්‍රංශ යුද හමුදාවේ කපිතාන්වරයෙකි. ප්‍රංශයේ බුද්ධි තොරතුරු ජර්මානු බලධාරීන්ට සපයන ලදැයි යන චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගැනුණි. රාජද්‍රෝහී වීමේ වරදට ඔහුව ජීවිතාන්තය දක්වා හිරේට නියම කෙරුණි. මොහුව අත්අඩංගුවට ගත් සැණින්, ප්‍රංශය පුරා යුදෙව් විරෝධී කැරලි කෝලාහල ඇති විය. ඒ, ඔහුව මරණීය දණ්ඩනයට පත්කරන ලෙස ඉල්ලමිනි. එහෙත් ඒ වන විට, දේශපාලනික අපරාධ සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ප්‍රංශයේ අවලංගු කොට තිබුණි. මේ චෝදනාව පසුව වඩාත් උසිගැන්වුණේ, ලංකාවේ මෙන්ම, ‘නිදහස් භාෂණය’ නමැති ජාතිවාදී පුවත්පතක මැදිහත්වීමෙනි. මේ සමස්ත සිද්ධිය අදටත් සැලකෙන්නේ, ප්‍රංශය රටක් සහ ජාතියක් වශයෙන් දෙකට වෙන් කළ නූතන යුගයේ මහා ඛේදවාචකය වශයෙනි.

''මම චෝදනා කරමි...'' - එමිල් සෝලා 

එදා මුළු ප්‍රංශ සමාජයම පාහේ ඩ්‍රේෆුස්ට විරුද්ධව ජාතිවාදය අවුස්සන අවස්ථාවේ ලෝක ප්‍රකට සාහිත්‍යකරුවෙකු වූ එමිල් සෝලා, ඩ්‍රේෆුස් වෙනුවෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කෙළේය. “මම චෝදනා කරමි...” යනුවෙන්, රටේ ජනාධිපතිවරයා අමතා ඔහු ලියූ, අදටත් චිර ප්‍රසිද්ධ එම ප්‍රකාශයෙන් පසු තවත් ලෝ ප්‍රකට නවකතාකරුවන් වන ඇනටෝල් ෆ්‍රාන්ස් සහ මාර්සල් පෲස්ට්, මහා චිත්‍රකරු ක්ලෝඞ් මොනේ, නූතන සමාජ විද්‍යාවේ ප්‍රධානී එමිල් ඩර්ක්හයිම් ඇතුළු කලාකරුවන්, විද්වතුන් සහ දාර්ශනිකයන් ජාතිය මුල් කොට අගතියට පත්කොට සිටි මේ පුද්ගලයාගේ නිදහස වෙනුවෙන් ඉදිරියට ආහ. (ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා සංවිධානය කෙරුණු එක් පෙළපාලියක ඉදිරියෙන්ම ලියොන් ට්‍රොට්ස්කි ගමන් කළ බවක් යම් තැනක සඳහන්ව තිබුණා මතකයේ තිබේ).

ඩ්‍රේෆුස්ව ජීවිතාන්තය දක්වා හිරේට නියම වී අවුරුදු කිහිපයක් යන විට හදිසියේම අලුත් සාක්ෂි සොයා ගැනුණි. (ඇත්තෙන්ම ඉන් බොහෝ ඒවා අලුත් සාක්ෂි නොව, කල්තියා තිබුණු, එහෙත් ජාතිවාදී නිලධර තන්ත්‍රය සහ හමුදා තන්ත්‍රය විසින් යටපත් කෙරුණු සාක්ෂි ය). අලුතෙන් නඩුව පටන්ගැනුණි. ඩ්‍රේෆුස් වැරදිකරු කිරීමට කලින් සාක්ෂි දුන් පුද්ගලයන් තමන් බොරු සාක්ෂි දුන් බව පිළිගත්හ. ඉන් එක් අයෙකු අලුත් නඩුව තුළ අත්අඩංගුවට පත් දවසේම, රැවුල කපන රේසරයෙන් බෙල්ල කපාගෙන ජීවිතය නැති කරගත්තේය. තව ප්‍රධානියෙක් නැවත නොඑන්නට රටින් පැන ගියේය. ප්‍රංශ විප්ලවයෙන් පසු ඇති කරගත් ජනරජ මූලධර්ම මේ සිද්ධියේදී අමුඅමුවේ උල්ලංඝණය වී ඇති බවත්, එයින් සමස්ත ප්‍රංශ සමාජයම භයානක අගාධයකට හෙලුණු බවත්, අධිකරණය ඉදිරියේ බලධාරීහූ පිළිගත්හ. 

යුදෙව් විරෝධයෙන් ඔද්දල්ව සිටි ප්‍රංශ සමාජය විසින් අභූත චෝදනාවක් මත දඬුකඳේ ගසනු ලැබූ මේ යුදෙව්වා අලුත් නඩු විභාගයෙන් නිදහස ලබා නැවතත් 1914 පළමු ලෝක යුද්ධයේදී ප්‍රංශ හමුදාව සමගම, ඔහුම ඔත්තු සපයන ලදැයි චෝදනාවට ලක්ව සිටි ජර්මනියට විරුද්ධව යුද්ධයට ගියේය. එහිදී ඔහු ලුතිනන් කර්නල්වරයෙකු දක්වා උසස් විය. යුද්ධයෙන් ප්‍රංශය ජයගත්තේය. ඔහු මියගොස් දැන් අවුරුදු 80 කි. එහෙත් අදටත්, ප්‍රංශයේ ජාතිවාදී උමතුව හිස ඔසවන හැම අවස්ථාවකම, ඩ්‍රේෆුස් පිළිබඳ වරද සහගත හෘද සාක්ෂිය විද්වත්හු රටට මතක් කර දෙති. 



‘‘තමන්ට තිබෙන අනතුර ගැන ජනමාධ්‍ය දැන ගත යුතුයි‘‘ - වික්ටර් අයිවන්



නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් “අසත්‍ය පුවත්, වෛරී ප්‍රකාශන හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස” මැයෙන් පසුගියදා (17) ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදි පැවති විවෘත සංවාදයේදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි වික්ටර් අයිවන් පැවසුවේ, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි යන්න ප්‍රධාන කාරණයක් නොවන බවත් අතිශය වැදගත් වන්නේ ජනමාධ්‍ය ශීලාචාර තැනකට ගෙනඑන්නේ කෙසේද යන්න බවත්ය. 

මෙහිදී අදහස් දැක්වූ ඔහු වැඩිදුරටත් පැවසුවේ, 

දේශපාලන තලය ඉතාම අශීලාචාරයි 

''වත්මන් වටාපිටාව දිහා බැලුවම අපිට පේන්නෙ දේශපාලන තලය ඉතාම අශීලාචාර විදිහටයි තියෙනව කියලයි. හැම කෙනෙක් ම හිතන්නෙ දේශපාලන තලය නිදහස් කර ගැනීමෙන් ලංකාවට නිදහස ලබා ගන්න පුලුවන් කියලයි. ඒත් මම හිතන්නේ එහෙම බැහැ කියලා.කවදාවත් ජනමාධ්‍ය දැන් තියෙන අශීලාචාර තත්ත්වයේ ඉන්නා තෙක් ලංකාවේ දේශපාලනයේ ගැඹුරු පරිවර්තනයක් ඇති කරන්න බැහැ. මගේ පුදගලික මතය නම පළමුවෙන්ම ජනතාවගේ අවධානය යොමු වෙන්න ඕනෑ පාර්ලිමේන්තුවටවත්, ජනාධිපතිටවත් නෙමෙයි ලංකාවේ ජනමාධ්‍ය දෙසටයි. මේ ජනමාධ්‍ය ශීලාචාර තැනකට ගන්න ආණ්ඩුවකට බැහැ.  ඒකට හේතුව දැන් ජනමාධ්‍ය කටයුතූ කරන්නෙ බස් මුදලාලිලා වගේ. බස් වලට ඕනෑ පිස්සුවක් නටන්න ඉඩ දීලා තිබුනා. දැන් කවරදාකවත් විනයක් ඇති මට්ටමකට ඒවා ගේන්න බැහැ. ඒගොල්ලො ඒ අයගේ ගමන යනවා. ජනමාධ්‍යත් ඒ වගේ. ජනමාධ්‍ය හරි බලවත්. ඒගොල්ලෝ බොහොම විනාශකාරී කාර්යභාරයක් තමයි අද වන විට ලංකාවේ  කරමින් ඉන්න‍ෙ.දේශපාලනඥයින්ටත් වඩා ඉතා බිහිසුණු කාර්යයක් කරමින් ඉන්නෙ.

ජනමාධ්‍ය ශීලාචාර කරන්න මේ රටේ මහජනයා ශීලාචාර කරන්න ඕනෑ

ජනමාධ්‍ය ඇත්තටම  ශීලාචාර කරන්න නම් මේ  රටේ  මහජනයා ශීලාචාර කරන්න ඕනැ. ජනමාධ්‍ය  ශිලාචාර කිරීමත් සමඟ ලංකාවෙ හැමදේම වෙනස් වෙනවා.  එය මහජනතාවගේ කාර්යයක්. එය ඉතා මෑතකම මහජයා අතට ගන්නවා කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා.  මම දැකපුදේ තමයි සාමාන්‍ය ගමකට ගියත්, ඈත ග‍්‍රාමීය සමාජයකින් පවා මම දැකපු දෙයක් තමයි එක පුද්ගලයකු හෝ ලංකාවේ වෙනස් කළ යුතුයි කියන අංග දෙකින් එකක් හැටියට ජනමාධ්‍ය හඳුන්වනවා.  හැම සභාවකම ජනමාධ්‍ය ගැන බරපතල විවේචනයක් තියෙනවා.  

ජනමාධ්‍යවල දැන් පැවැත්ම ඉස්සර චිත‍්‍රකතා පත්තර විදිහට වගේ. ඒ කාලෙ ලක්ෂ ගණනින් පිටපත් විකුණපු චිත‍්‍රකතා පත්තර බොහොම කෙටි කාලෙකින් නැති වෙලා ගියා. අද කාටවත් චිත‍්‍රකතා පත්තරයක් කරන්න බැහැ.  බොහොම පටු රාමුවක් ඒකට තිබුණෙ. දැන් ජනමාධ්‍ය හදාගෙන තියෙන රාමුව හරි පුළුල් වගේ පෙනුනට හරිම පටුයි. ඉස්සර මිනිස්සු රූපවාහිනී නාලිකා දිහා කට ඇරන් බලන් හිටියා. දැන් ඇත්තටම බොහෝ විට දකින්න තියෙන දෙයක් තමයි මිනිස්සු කෝපයෙන් ඒවා දිහා බලන්නෙ. ලංකාවේ සමාජයෙ අභ්‍යන්තරයේ ලොකු පරිවර්තනයක් ඇති වෙමින් තියෙනවා.  මේක ගිනි කන්දක් වගේ. පුපරන්න ආසන්නයි.  පුංචි පුංචි සත්තු කන්ද අතඇරලා යනවා කියලා පේනවා. 

දොස්තර සාෆිගේ සිද්ධිය ගත්තත් හුගක් අය දන්නවා සිද්ධ වුණ දේවල්

දොස්තර සාෆිගේ සිද්ධිය ගත්තත් හුගක් අය දන්නවා සිද්ධ වුණ දේවල්.  ඉතාම භයානක කතාව තමයි දොස්තර සාෆිගේ නඩුව අහන විනිශ්චයකාරතුමාගේ බිරිඳත් වෛද්‍යවරියක්.ඒ උසාවියෙ රෝහල් අධ්‍යක්ෂකටත් කතා කරන්න දෙනවා. ඒ රෝහල් අධ්‍යක්ෂකවරයා දන්ත වෛද්‍යවරයෙක්.  එයා කතා කරන විෂය ගැන දන්නෙ නැහැ. එයාට අයිිතියක් නැහැ කතා කරන්න. ඇත්ත වශයෙන්ම එයාට කතාකරන්න දීලා. ඒක උසාවි පොතේ සටහන් වුණාට පස්සෙ දැන් මේ  සටහන් අතුරුදන් කරල තියෙනවා කියලා සි. අයි. ඩී. ය හොයා ගෙන තියෙනවා. රෙජිස්ටාර් කියලා තියෙන්නෙ ඒක ඉවත් කරන්න කියලා උපදෙස් ලැබිලා තියෙනවා කිියලයි. 

මොනවද මේ වෙලා තියෙන්නෙ? මහේස්ත‍්‍රාත්ගෙ බිරිඳ වැඩ කරනවා ඒ ඉස්පිරිතාලෙ. ඩී. අයි. ජී. ගේ බිරිඳ වැඩ කරනවා එම ඉස්පිිරිතාලේ. ඩී. අයි. ජී. ගේ දරුවයි සාෆිගේ  දරුවයි එක ඉස්කෝලෙ ඉගෙන ගන්නවා. සාෆිගේ  දරුවා පාසලේ කැපී පෙනෙන තත්ත්වයක ඉන්නවා.  ජනමාධ්‍ය විසින් වෙද්‍ය සාෆිාගේ  සිද්ධිය රට ගිනි තියන සිද්ධියක් බවට පත් කරනවා. මේ  තත්ත්වයන් දිහා බැලුවම ජනමාධ්‍යවේදීන් විදිහට අපි දහස් වාරයක් ලැජ්ජා විය යුතුයි.  ඇත්තටම අපි මිනිසුන්ගෙන් සමාව ගත යුතුයි. අපිට වගකීමක් තියෙනවා මේ  ජනමාධ්‍ය සංස්කෘතිය වෙනස් කරන්න. අද ලංකාවේ හැම වෘත්තියක්ම පිරිහිලා තිබෙන්නේ.  දේශපාලනඥයෝ, ඉංජිනේරුවෝ, ගණකාධිකාරවරු, නිතිඥවරු හැම කෙනෙක්ම උපරිම මට්ටමට කුණු වෙලයි ඉන්නෙ. මගේ මතය නම ජනමාධ්‍යවේදීන්ට ගෞරවය කාටවත් දෙන්න බැහැ.  ඒක අභ්‍යන්තරයෙන්ම ආ යුතු දෙයක්. අනෙක්  වෘත්තීයවේදින්ටත්  එහෙමයි. තම වෘත්තීය  භාවිතය නැවත ගෞරවනීය මට්ටමට තමන් විසින්ම ගෙන ආ යුතුයි. ලස්සන යන්ත‍්‍රසූත‍්‍ර ගොඩනැගිලි තිබුණට ඒවයේ නිෂ්පාදනය කරන්නේ ඉතාමත් තුට්ටු  දෙකේ නිෂ්පාදන.  ඒ ගැන අපි කම්පා විය යුතුයි. 



තමන්ට තිබෙන අනතුරු ගැන ජනමාධ්‍ය දැනගත යුතුයි 

තමන්ට තිබෙන අනතුර ගැන ජනමාධ්‍ය දැන ගත යුතුයි.  අපි ඒක දැන ගත්තම අපේ ආරක්ෂාව සහ ගෞරවය වෙනුවෙන් අපේ ක‍්‍රමවේද වෙනස් කර ගන්න ඔිනෑ.  අපේ අපි අවුරුදු තිහක් ලේ මත පීනපු රටක්.  තොග ගණනින් මිනිස්සු මරපු රටක්. ඒ කාලකණ්ණි තත්ත්වයෙන් රට නිදහස් කර ගන්න අපිට යුතුකමක් හා වගකීමක් තියෙනවා. ජනමාධ්‍ය අසත්‍යය වෛරය ප‍්‍රමිතියක් නැතිකම ගෞරවයක් නැතිකම අභිමානයක් නැතිකම ඒ හැම දේම දැන් ජනමාධ්‍යයට අදාළයි.  මම පුද්ගලිකව හිතන දේ තමයි ජනාධිපතිවරණයෙන් කවුද දිනන්නෙ කියන කාරණා නෙමෙයි ප‍්‍රධාන වෙන්නෙ.  කොහොමද ජනමාධ්‍ය ශීලාචාර තැනකට ගේන්නේ කියන දේ තමයි ප‍්‍රධාන වශයෙන් කල්පනා කර බැලිය යුත්තේ.  ඒකට ජනමාධ්‍ය එක්ක ගහගන්නවත් ජනමාධ්‍ය ඉස්සරහට ගිහින් හූ කියන්නවත් ඔිනෑ නැහ.  අද මුද‍්‍රිත මාධ්‍යයට වඩා ලොකු වගකීමක් විද්‍යුත් ජනමාධ්‍යයට තියෙනවා. ඒ අය පාවිවිච්  කරන්නේ මහජනයාට අයිති ගුවන් තරංග හින්දා. මහජනයා කිව්වොත් “අනේ ඔයාලත් අනෙක් රටවල් වගේ සරල ජාතික ප‍්‍රතිපත්ති රාමුවකට යන්න එහෙම නැත්නම්  අපි ටී. වී. වහලා දානවා කියලා.  ඒක වසංගතයක් වගේ පැතිරෙයි. 


 මොකද මිනිස්සු කැමතියි ඒ තත්ත්වයේ වෙනසක් දකින්න.  ජනමාධ්‍යවේදීන්  ඒක තේරුම් ගන්න අවශ්‍යයි.  එහෙම තේරුම අරගෙන තමන්ගේ ආයතනයට පීඩනයක් දෙන්න.  මහත්මා ගාන්ධිලා, නේරුලා ජනමාධ්‍යවේදින්.  ඉන්දියානු නිදහස් සටනේ ලොකු බරක් ඇද්දා  ජනමාධ්‍යවේදීන්. ඔවුන් මහා විපර්යාසයකට ඉතාම නිර්මාණ ශීලී විදිහට දායක වුණා.  එරට ජනමාධ්‍ය තමයි සුවිසාල සමාජ විපර්යාසයන්ට දායක වුණේ.  අපේ රටටත් එහෙම දෙයක් අවශ්‍යයි. 

ඒක හින්දා අපි කවුරුත් එක හුස්මක් අරන් මේ තත්ත්වය වෙනස් කරන්න කටයුතු කරන්න අධිෂ්ඨාන කළ යුතුයි.  ජනමාධ්‍යවේදීන්  විදිහට අපිට අපේ තත්ත්වයෙන් කරන්න පුලුවන් හැම දේම කරමු කියන ආයාචනය මම කරනවා.‘‘ යන්නයි. 

Green Book - ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිදුවිය හැකියි



- මහේෂ් හපුගොඩ - 


වටිවාකම් හා අනන්‍යතා හුවමාරු කරගැනීම 

Green Book (2018) කියන්නේ දැන් ටිකක් පරණ චිත්‍රපටයක් වුනත් ආයිත් තැනින් තැන ඒ ගැන පොඩ්ඩ පොඩ්ඩ කතා කරනවා. දන්න විදියට ලංකාවේ ඒ ගැන පූර්ණ විචාරයක් ලියවිලා නැතත් ඒ චිත්‍රපටය තේරුම් ගන්න තරම් දැනුමක් ලංකාවේ මේ වෙනකොට සමාජගත වෙලා තියනව. විශේෂයෙන් මනෝ විශ්ලේෂණය පැත්තෙන් ගත්තම අපිට දැන් තියන න්‍යායික දැනුම ඇති ඒක තේරුම් ගන්න. මම මේ ගැන පොඩියට යමක් ලිව්වා හඳගම ගේ 'අසන්ධිමිත්තා' ගැන ලියන කොට. එතැනදී මට පෙන්වා දෙන්න අවශ්‍ය වුණේ දෙවියන් විසින් ප්‍රධානය කරන ලද භාෂාව මිනිස් මුණ ගැසීම කියන තැනදී කොතරම් තීරණාත්මක වෙනවද කියන එක. විශේෂයෙන් දෙවියන්ගේ දිව්‍යමය භාෂාව තවත් මිනිසෙක් රවට්ටන්න පාවිච්චි කරන්නේ නැතුව ඒ කෙනා සමග ඇත්ත සම්බන්දයක් සඳහා ගමන් කරන්නට විශාල මෙහෙයක් කරනවා කියන එක අවධාරණය කරන්න මට එහිදී වුවමනා උනා. විශේෂයෙන් අපි මේ කතාකරන චිත්‍රපටය ඇතුලේ එක් අයෙක්ගේ භාෂාව විසින් අනෙකාගේ මෙලන්කොලික පැවැත්ම අභියෝගයට ලක් කරනවා. ඩොන් ෂර්ලි කළු ජාතිකයෙක් වුනත් කළු ජාතික සංගීත පතාකයන් වෙච්ච ඇරිතා ෆ්‍රැන්ක්ලින් ගැන හරි ලිට්ල් රිචර්ඩ් ගැන හරි දන්නේ නැහැ කිව්වම ටෝනි ඒකට අභියෝග කරනවා. කෙන්ටකි කුකුල් මස් කන්න ඩොන් ෂර්ලි හැඳි ගෑරුප්පු ඉල්ලන කොට ටෝනි බලෙන්ම වගේ ඒවා නිකම්ම එයාට කවනවා. ඒ හමුවෙන හැම තැනක්ම සුන්දර නැහැ. වෝල්ටර් බෙන්ජමින් කියනවා වගේ යම් ප්‍රචණ්ඩ මදයක් (violent core) ඔස්සේ තමයි මේ දෙන්නා තම වටිනාකම් සහ අනන්‍යතා හුවමාරු කර ගන්නේ. ඉතිං ඒ හුවමාරුවෙන් පස්සේ බිහිවෙන නව මානව සම්බන්දතා කලාපය නම් ඉතාම ඉහලයි. ඉතාම සංවේදීයි. ඉතාම මානවවාදී යි.

අනෙකා තමාව දර්පණය කරන කණ්ණාඩියක් කරගැනීම

A සහ B අතර යම් වටිනාකම් ප්‍රමාණයක් දෙපැත්තටම හුවමාරු වෙනවා. A ට ඇතුල් වෙන්න තරම් ඉඩක් B හදනවා. B ට ඇතුල් වෙන්න තරම් ඉඩක් A හදනවා. දෙදෙනා තුලම තියන දැඩි මදය (hard kernel) විසංයෝජනය වෙනවා. 'තමා පවතිනවා' වගේම (පෙරදිග බුද්ධාගම) 'තමා අනෙකාගේ ඇස තුලත් පවතිනවා' (අපරදිග මනෝ විශ්ලේෂණය). ඇලන් මිලර් කියනවා වගේ අනෙකා කන්නාඩියක් කර ගන්නවා තමාව දර්පණය කරන. උදාහරණ වශයෙන් ඇත්ත මහ පොළොවේ පය ගහල ඉන්න හැටි ෂර්ලි ටෝනි හරහා ඉගෙන ගන්න කොට උසස් සංගීතය ගැන ටෝනි ෂර්ලි හරහා ඉගෙන ගන්නවා. හැඟීම්බර ලියුම් ලියන්න ටෝනි ඉගෙන ගන්නෙත් ඒ විදියටමයි. ඒ වගේම කොච්චර සන්තෝසෙන් දෙන්නා හිටියත් ටෝනි බීම එක බීලා ඒකෙ කවරේ බිම දැම්මම ෂර්ලි යකෙක් වෙනවා. කිසිම සමාවක් දෙන්නේ නැහැ ආපහු අහුලා ගන්න කම්. චිත්‍රපටයේ කැමරාව පහතට යනවා. ටෝනි කාර් එක රිවස් කරනවා. කවරේ අහුලා ගන්නවා. වැරැද්ද හදා ගන්නවා. විශ්වීය බව රකිනවා. A සහ B අර්ථවත් විදියට එකතු වෙනවා. 'පාර බලාගෙන එළවපන් ටෝනි!'

මේ සියල්ල අස්සේ මගේ තර්කය වෙන්නේ මේකයි. ෂර්ලි විසින් ටෝනි තුල දකින 'තවමත් ශිෂ්ට නොවූ අන්තර්ගතය' විසින් තව තවත් ෂර්ලි ටෝනි වෙතටම බන්ධනය කරනවා කියන එක. හරියට ආසියාතික ගුප්ත බව වෙත 'ශිෂ්ට බටහිර පිරිමියා' ආශා කරනවා වගේ. ශිෂ්ට කියන්නේ මෙතන රූපකයක් විතරයි. හේතුව සහ තර්කනය ප්‍රගුණ කරපු ශිෂ්ට අය එක්වරම ආශා කරන්නේ තමන්ගේ දැන් පැවැත්මට සම්පුර්ණයෙන් පරස්පර නොහික්මුණ වැදී රජ වගේ කෙනෙකුට. මොකද තමා තුල මර්ධනය කරලා තියන එක අපි අනෙකා තුල හොයනවා. අපි විඳින්නේ නැති විනෝදය (මර්ධිතය) එයා විඳිනවා කියල අපි හිතනවා. ෂර්ලි ශිෂ්ට වගේ පෙන්නගෙන හිටියට එයාගේ ආශාව තියන්නේ මර්ධිතයෙන් එළියේ. එයා ඒක දකිනවා නිකම් ඔහේ හිතට එන එකක් කියන, ඇඟිල්ල උස්සල 'ෆක් යූ' කියන, බඩ පැලෙන්න කාල පිස්සෙක් වගේ කෑම කෑලි එලියට විසි කරන, නිදහස් ලෙස ජීවත් වෙන නිර්ධන ටෝනි තුල. ෂර්ලිත් ආසයි උල්ලංඝනය කරන්න. නමුත් මීයා වගේ ඉන්නවා ඒ ආශාව උතුරා යන්න තිබුනට. සංකේතනය ඇතුලේ තමයි ඉන්නේ. හැබැයි ගොඩක් හිර කරගෙන.

මිනිස් විනෝද අතිරික්තය සාංදෘෂ්ටික අර්ථයෙන් තේරුම් ගැනීම

ඒ වුනාට ෂර්ලි සම්පුර්ණයෙන් ටෝනි ගේ 'නොහික්මුණ ආත්මය' ඇතුලේ දියවෙන්නේ නැහැ. මොකද ඔහුට කියල ජිවන දැක්මක් තිබුණ නිසා. නිර්ධනයෙක් හැටියට ටෝනි ගොඩක් උත්සාහ කරනවා දෙනලද තත්වයන් එක්ක ජීවත් වෙන්න වගේම ෂර්ලි ට කැත විදියට දකුණේදී සලකන ආඩම්බරකාර සුද්දන්ට එරෙහිව සටන් කරන්න. අපි 'නොහික්මුණ' කියල කියන්නේ එයාගේ ජීවන අරගලය ඇතුලේ තිබ්බ කොන්දේසි වලට. ෂර්ලි කරන්නේ ඒ ආත්මය තුළට යම් කප්පාදුවක් ගේන එක සහ ඒක ටෝනි විසින් අවශෝෂණය කර ගන්නා එක. A සහ B අතර සුසංවාදය වෙන්නේ එහෙම හුවමාරුවක් ඔස්සේ (A+B). ඒ හුවමාරුව ඔස්සේ ෂර්ලි කවදාවත් අත් නොවින්ද සිනහවක් ටෝනි එයාගේ ජීවිතය තුලට ගෙන එනවා. ෂර්ලි එයට බැඳෙනවා. ඒ සිනහව එයාගේ පැත්තෙන් අතිරික්තයක්. මොකද එයා කවදාවත් හිනා වෙලා හිටියේ නැහැනේ.

ගැහැණුන් මෙන්ම පිරිමින් ද චපලයි 

මෙන්න මේ ඉහත කිව්ව මිනිස් විනෝද අතිරික්තය සාංදෘෂ්ටික අර්ථයෙන් තේරුම් ගන්න බැරි වුනොත් මිනිස් සම්බන්දකම් ගැඹුරින් පවත්වා ගෙන යන්න බැහැ. මේ ආසියාතික ආත්මයේ විනෝදය ඇතුළට නාවර පෙරා ගත්ත යක්ෂණියෝ අරන් ආව සයිමන් නවගත්තේගම. මම හිතන්නේ 'සංසාරණ්නයේ දඩයක්කාරයා' තුලත් ඒ වගේ ඇති (මම බැලුවේ නැහැ චිත්‍රපටය). ඉතින් ඒක 'මනමේ' ට වඩා වෙනස් තත්වයක්. මේ අතිරික්තය නූතන නිල් සිනමාවේ තියනවා Anime හැටියට. මනමේ කුමරියට අපි අනුකම්පා කල යුත්තේ ඇය මේ අතිරික්තය වෙතට දිව යන නිසා. නමුත් එයා පැකිලෙනවා. ජාතක කතා කරු කියන්නේ මෙවන් ගැහැණුන් චපල බවයි. මනමේ නාඩගමේ නම් නරියා මනමේ කුමරිය ගේ කටට මුත්‍රා කරන බවක් කියවෙනවා. නමුත් මේ චපල කම පිරිමියා තුලත් තියනවා. එයත් මේ අතිරික්තය සොයමින් නගර පීරනවා. තායිලන්තේ පැත්තේ යනවා. රෙඩ් ලයිට්‌ දිස්ත්‍රික් යනවා. පන්සල් වලත් මේක තියනවා. එතකොට නරි මුත්‍රා කරන්නේ නැහැ. අතිරික්තය පිරිමියාට කැපයි. ස්ත්‍රියට අකැපයි. අපේ පවුල් වල මරා ගන්න අය මේ දේ හිතට ගන්න ඕනි. ඒ තමයි මිනිසා ඕනෑම මොහොතක මේ අතිරික්තය වෙත යන්න පුලුවන් කියන එක මෙතෙක් ගොඩ නැඟූ සියලු දැවැන්ත දේ අතහැරලා. පස්සේ පිහියෙන් ඇනලා කැත්තෙන් කොටලා මරාගන්නවට වඩා මේ අවබෝධය වැදගත්. එයිනුත් විශේෂයෙන් දේශපාලනය ඇතුලේ මේ අවබෝධය වැදගත්.

අතිරික්තය සොයාගෙන මරණය දක්වා යාම 

මිනිසා මෙම අතිරික්ත විනෝදය වෙත ඕනිම මොහොතක යන්න පුළුවන් තමාගේ එකතැන පල්වෙන ආත්මයෙන් එළියට එන්න. මෙලන්කොලියාවෙන් ගැලවෙන්න. සුවපත් වීමේ කෙටි මඟක් හැටියට. Green Book එක්කම වගේ ආව ෆ්‍රෙඩි මර්කරි ගේ ජිවිත කතාව රැගත් Bohemian Rhapsody (2018) චිත්‍රපටයේ තියෙන්නෙත් මේ අතිරික්තය හොයාගෙන මරණය දක්වා ගිය ගමන තමයි. ටයිටැනික් එකේ වුනත් ලොකු වෙනසක් නැහැ. ධනය නම්බුව ඇතුළු එතෙක් මෙතෙක් ගොඩ නැගූ අති මහත් සියල්ල දමා ගහල මිනිසා යනවා මේ අතිරික්තය වෙත. මේ අතිරික්තය විසංයෝජිතයි. විප්ලවීයයි. සියල්ල වාෂ්ප කර දමන සුළුයි. තර්කය අදාල නැහැ එතෙන්දි. වැරදි වැරදි අපි හැමෝම යන්න හදන්නෙත් ඔතෙන්ට ම තමයි. විප්ලවය සිදු කල හැක්කේත් එහෙම වැරදි වැරදි ගිහිල්ලම තමයි.

ඕනෑම මොහොතක, ඕනෑම දෙයක් සිදුවිය හැකියි

අන්තිමට නත්තල් දවසේ රාත්‍රියේ ඩොන් ෂර්ලි ටෝනි වැලලොන්ගා ගේ දොර අතරින් ෂැම්පේන් බෝතලයකුත් අරන් මතුවෙන එක තමයි චිත්‍රපටයේ ඇත්තම ඇත්ත ආපතික මොහොත. ඒක කවුරුත් හිතුවේ නැති දෙයක්. හැමෝම තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නවා. ‘එන්න ඇතුළට .. ඇවිල්ලා ඉඳගන්න..‘ කියන්නවත් කට්ටියට සිහියක් නැහැ. විප්ලවීය මොහොත වෙන්නේ ඒ පැමිණීම. ටෝනි මාසයක් තිස්සේ කරපු වෙනස නැවත ඔහු සොයාගෙන ඇවිල්ලා දෙවියන් ගේ තෑග්ගකුත් අරගෙන. ඉතිං ඒක සතුටක් නෙවෙයිද දෙයියනේ ? ටෝනි ගේ බිරිඳ ඩීලෝරස් ඔහුට සංග්‍රහ කරන්නේ උණුසුම් හාදුවකින්. ඔහුගේ ගැඹුරු වෙනස පෙන්නන නිමේෂය තමයි ඒක. ආයේ එයා කවදාවත් අර සිංහාසනේ වගේ පුටුවේ ඉඳ ගන්න එකක් නම් නැහැ.

ඒ කියන්නේ මේකයි. සියල්ල කෙස් ගහකට සමයි. ඕනෑම මොහොතක ඕනෙම දෙයක් සිදු විය හැකියි. එකම දේ ඕනෑම ආපතික දෙයකට මුහුණ දෙන්න සූදානම් සරීරයෙන් ඉන්න එකයි. 


''දෙමළ භාෂාව ඉගෙන නොගැනීම මගේ අඩුපාඩුවක්'' - අගමැති


2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවන භාෂාව සඳහා විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමට ලක්කරමින් පසුගියදා (18) අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය ක‍ළේ, සිය භාෂා දැනුම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය වෙනුවෙන් සියලුදෙනා වැඩ කළ යුතු බවයි. 


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 

'ඒ කාලේ අපි දෙමළ භාෂාව ඉගෙන ගත්තේ නැහැ'

''අවාසනාවකට මනෝ ගනේෂන් ඇමතිතුමා මෙන් මට දෙමළ භාෂාව කතා කිරීමට නොහැකියි. ඒ කාලයේ අපි දෙමළ භාෂාව ඉගෙන ගත්තේ නැහැ. එය මගේ අඩුපාඩුවක්. නමුත් ඒ කාලයේ මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. එවිට සිංහල නොදන්නා මිත්‍රයන් සමඟ මම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළා. ඒ නිසා ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් ආදී විවිධ ජාතීන්වල මිත්‍රයන් රාශියක් මට සිටියා.

නමුත් අපේ ගම්වල ජීවත් වූ ජනතාවගෙන් බොහෝ දෙනෙක් ඉගෙන ගත්තේ, කතා කළේ එක භාෂාවක් පමණයි. එදා ගම්මානවල ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්ථාවක් නොතිබූ නිසා බොහෝ දෙනා සිංහල හෝ දෙමළ පමණක් කතා කළා. සියලූ දෙනා එක මවකගේ දරුවන් ලෙස හැදින්වූවත් එකම රටේ ජීවත් වන වෙනත් ජාතියක සහෝදරියක් හෝ සහෝදරයෙකු සමඟ කතා කිරීමට තවත් ජාතියක සහෝදරයෙකුට හෝ සහෝදරියකට හැකියාවක් තිබුණේ නැහැ.

'වසර 30 ක් යුද්ධ කරන්න වුණා' 

අපේ රටේ ප්‍රධානතම ගැටළුව වූයේ එයයි. රටේ යුද්ධයක් ඇතිවුනේත් එම නිසායි. වසර 30ක් පමණ අපට එකිනෙකා මරා දමමින් යුධ වැදීමට සිදුවුණා. කෙසේ නමුත් දැන් එය අවසන් වී තිබෙනවා. යුද්ධයට පෙර ශ්‍රී ලංකාවේ මම ජීවත් වුණා. ඒ කාලයේ මෙවැනි ප්‍රශ්න ඇතිවුනේ නැහැ. ත්‍රස්තවාදයක් ඇතිවුණේ නැහැ. නමුත් යුද්ධය පැවති වසර 30 තුල රටේ එම පසුබිම වෙනස් වුණා. අප දැන් කල්පනා කළ යුත්තේ නැවත වතාවක් එකට එක්වී රටක් ලෙස ඉදිරියට යාම පිළිබඳවයි.

සිංහල, දමිළ, මුස්ලිම් සියලූම දෙනා පැවසූවේ තමන් ශ්‍රී ලාංකිකයන් බවයි. විදෙස් රටවල්වල ක්‍රිකට් ක්‍රීඩා කරද්දී අපි පවසන්නේ ශ්‍රී ලාංකිකයන් බවයි. වෙනත් රටක ආහාර පාන ගන්නා විට කවුරුන් හෝ අප පැමිණි රට විමසුවොත් අප පවසන්නේ ශ්‍රී ලාංකිකයන් බවයි. රටේ කුමන ප්‍රශ්න තිබුණත් අපි හදවතින් රට ඉවත් කර ගත්තේ නැහැ. සියලූ ප්‍රශ්නවලින් අනතුරුව දැන් රටේ ජනතාව එකට එකතු වී සිටිනවා. අප ඉදිරියට යා යුත්තේ ඒ අනුවයි.

කතානායකතුමාට සහ මට ඒ කාලයේ සිටම ඉංග්‍රීසි දැනුම ලබාගෙන වැඩකටයුතු වල යෙදීමට අවස්ථාව ලැබුණා. කතානායකතුමා මඩකලපුව ප්‍රදේශයේ යුධ හමුදා රාජකාරියේ යෙදී සිටියා. මම ඒ කාලයේ යාපනයට ගියේ සංචාරයන් සඳහායි. ඒ කාලයේ එම ප්‍රදේශවල තරුණයින් අපත් සමඟ එකට සෙල්ලම් කළා. නමුත් වසර 30ක යුද්ධයෙන් පසු අප රටක් ලෙස පසුගාමී වුනා.

මෙහි වැඩසිටින මහා සංඝරත්නය පවා දන්නා ආකාරයට එදා අපට පිටුපසින් සිටි රටවල් අද අපව පසුකරගෙන ඉදිරියට ගොස් තිබෙනවා. බංගලාදේශය, වියට්නාමය ඊට හොඳම උදාහරණයි. 1991 අප ශ්‍රී ලංකාවේ කර්මාන්ත කලාප ආරම්භ කරන විට 1992 දී වියට්නාම කර්මාන්ත අමාත්‍යවරයා මා මුණ ගැසී විදේශ ආයෝජන ගෙන්වා ගැනීම පිළිබඳව උපදෙස් ලබා ගත්තා. නමුත් වර්තමානයේ විදේශ ආයෝජන ලබා ගන්නේ කෙසේදැයි වියට්නාමයෙන් උපදෙස් ගැනීමට අපට සිදුවී තිබෙනවා.

එම රටවල් එතරම් දියුණුවක් ලබා තිබුණත් අපේ රටේ තිබූ ගැටළු නිසා දියුණු වීමට තිබූ කාලය අපට අහිමි වුණා. එම නිසා මීට වඩා හොඳ අනාගතයක් මෙහි සිටින සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි ඉදිරියේදී ලබාදිය යුතුයි.  ඒ වෙනුවෙන් එකට එකතු වී වැඩ කළ යුතුයි.

2015 දි රට තුල සංහිදියාව ඇති කිරීම අපි ආරම්භ කළා. අද වන විට ඉතා අපහසුවෙන් හෝ අප එය සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටිනවා. කොතරම් ගැටළු තිබුණත් නැවතත් යුද්ධයක් ඇති කර ගැනීමේ වාතාවරණයක් අපි සකසා ගත්තේ නැහැ. ඒ වෙනුවෙන් මම සතුටට පත්වෙනවා. රටේ සංහිදියාව ඇති කිරීමේදී මෙම වැඩසටහන ඉතා වැදගත් වෙනවා. රටේ සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමළ ඉගෙන ගන්නා විට දෙමළ භාෂාව භාවිත කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිංහල භාෂාව ඉගෙන ගන්නවා.

'වෙන භාෂාවක් ඉගෙන ගැනීම අතිශය ප්‍රයෝජනවත්' 

මට එක්තරා සිංහල මිත්‍රයෙක් සිටියා. ඔහු කාලයක් යන විට දමිළ භාෂාව ඉගෙන ගැනීම ආරම්භ කළා. දෛමළ ඉගෙන ගන්නේ ඇයි? යාපනයට යන්නද බලාපොරොත්තු වෙන්නේෙ යැයි මම ඔහුගෙන් විමසුවා. තමන් දෙමළ භාෂාව ඉගෙන ගැනීමෙන් පසු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට යන බව ඔහු මට පැවසුවා.  තමිල්නාඩු ප්‍රාන්තයට පැමිණෙන උතුරු ඉන්දීය ජාතිකයන්ට දෙමළ භාෂාව කතා කරන්නට බැරි නිසා තමිල්නාඩු ප්‍රාන්ත වැසියන් සමඟ පහසුවෙන් දෙමළ භාෂාව කතා කරමින් තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු මට පැවසුවා. වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමේ ප්‍රයෝජනය එයයි.

අධ්‍යාපන අමාත්‍යතුමා සහ මනෝ ගනේෂන් ඇමතිතුමා එකට එක්වී භාෂා ගුරුවරු පුහුණු කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. මනෝ ගනේෂන් ඇමතිතුමා තමාගේ අමාත්‍යාංශය යටතේ සියලූ කටයුතු ඉටු කරන්නේ රටේ සංහිදියාව, සාමය ඇතිකිරීමටයි.

දෙවන භාෂා පිළිබඳ පැවැත්වූ පරීක්ෂණයෙන් ඉහල දක්ෂකම් දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද මෙම ස්ථානයට ගෙනවිත් තිබෙනවා. ඒවගේම මේ ස්ථානයේ පැවැත්වූ කතා, ඉදිරිපත් කළ නර්තන සහ රඟ දැක්වූ නාට්‍යයන් ඉතාමත් හොඳ මට්ටමක තිබුණා. විවිධ භාෂා හරහා අදහස් හුවමාරු කර ගැනීම එහිදී කැපී පෙනුනා. මින් අර්ථවත් කරන්නේ අපි සියලූ දෙනාම ශ්‍රී ලාංකිකයන් බවයි.

මනෝ ගනේෂන් ඇමතිතුමා සිදු කරන සේවාව මෙතැනින් අවසන් වන්නේ නැහැ. එතුමා රට පුරා වැඩකටයුතු ඉටු කරනවා. සිංහල, දෙමළ, ඉංගී්‍රසි භාෂා තුනම හොදින් හැසිරවීමට එතුමාට හැකියාව තිබෙනවා. මේ ආකාරයට ලෝකයේ විවිධ භාෂාවන් ඉගෙන ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. චීන, ජපාන, ප්‍රංශ ආදී විවිධ භාෂාවල් ඉගෙන ගත් විට ලෝකය සමඟ ගනුදෙනු කිරීමට හැකියාව ලැබෙනවා. අප වර්තමානයේ පා තබන්නේ නවීන ලෝකයකටයි.


'අපි එක මවකගේ දරුවන්' 

නමුත් පළමුවෙන් අපි අපි සමඟම කතා කළ යුතුයි. සියලූම ශ්‍රී ලාංකිකයන් එක මවකගේ දරුවන් බව සිහි තබා ගත යුතුයි. ඒ වෙනුවෙන් සාර්ථක වැඩ කටයුත්තක් ඉටු කරන මනෝ ගනේෂන් මැතිතුමාටත් එතුමාගේ කාර්ය මණ්ඩලයටත් මම ස්තුති වන්ත වෙනවා.

ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් අපි ඉදිරියේදී ආරම්භ කරනවා. මේ වන විට ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කිරීමේ පුහුණු ගුරුවරුන්ට අවශ්‍ය දැනුම ලබාදීම අපි ආරම්භ කර තිබෙනවා. ඔවුන් එංගලන්තය, සිංගප්පුරුව, ඉන්දියාව වැනි රටවල්වල විශ්වවිද්‍යාල වෙත යවමින් අවශ්‍ය දැනුම ලබාදෙමින් සිටිනවා.

මේ මොහොත රටේ දරුවන්ට විවිධ භාෂා ඉගැන්විය යුතු හොඳම කාලය බව මනෝ ගනේෂන් සහ අකිල විරාජ් අමාත්‍යවරුන් දෙදෙනාටම මම පවසනවා. පරිගණක සහ ටැබ් යන්ත්‍ර දරුවන්ට ලබාදුන් විට භාෂා ඉගෙන ගැනීමේ හැකියාව ඒ හරහා උදා වෙනවා. එම වැඩසටහනත් සාර්ථකව සිදු කළ යුතුයි.

භාෂා දෙකක් කතා කරන, භාෂා තුනක් කතා කරන බොහෝ අය මෙහි සිටිනවා. ඒ අනුව තමන්ගේ භාෂා දැනුම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට වැඩ කළ යුතුයි.  තම දැනුම හරහා රට ශක්තිමත් කළ යුතුයි.

ඒ වගේම මනෝ ගනේෂන් ඇමතිතුමාගේ සංහිදියාව, සමගිය ඇති කිරීමේ වැඩ පිළිවෙලට අවශ්‍ය ආධාර උපකාර අපි ලබා දෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියලූම දෙනා ආඩම්බර විය විය යුතු බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.'' යන්නයි. 


කොළඹ පොත් සල්පිල ජූලි 23 වැනිදා



කොළඹ ජාතික අධ්‍යාපන පොත් සල්පිල එළඹෙන ජුලි 23 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ඇතුළුවීම නොමිලේ.




සජිත්, කරූ - කවුද රජා ?




- රංග ජයසූරිය - 


එජාපයේ නාටකය 

එක්සත් ජාතික පක්ෂය මහ අමාරුවක වැටී සිටී. ජනාධිපතිවරණය සඳහා වන අපේක්ෂකයා පිළිබඳව විකට නාටකයක් රඟ දැක්වෙමින් තිබේ. මේ කාලකණ්ණි තත්වය දිගටම පැවතුණොත්, දැනටමත් පක්ෂය තුළ පවතින වෙනස්කම් වැඩි වර්ධනය වී එක්සත් ජාතික පක්ෂය, ජනාධිපතිවරණය පටන් ගැනීමටත් කලින් ඉන් පරාජයට පත්වන පක්ෂයක් බවට පත්විය හැකිය. 

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පිළිබඳව පවතින මේ දෙකටදෙවාරණය තීව්‍ර කරන එක සාධකයක් වන්නේ පක්ෂ නායකයා ය. ඔහු සිතන්නේ, සකල ලෝකවාසීන්වම ගොනාට ඇන්දවීමේ හුරුබුහුටිකමක් තමාට ඇතැයි කියා ය. එහෙත් ඇත්තෙන්ම එය එසේ නොවේ. පවතින තත්වය පිළිබඳ පාලනයක් ද ඔහු අතේ නැත. ඔහුගේ පැරණි සගයන් පවා මේ වන විට ඔහු අතහැර යන තත්වයකි දක්නට ඇත්තේ.

එජාපයේ අවුල ඩීල්කාරයින්ගේ වාසියට හරවා ගැනීම 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පවතින මේ අවුල තුළ ව්‍යාපාරික ඩීල්කාරයෝ රාජ්‍ය බලය අල්ලා ගැනීමේ තම තමන්ගේ ව්‍යාපෘති ක්‍රියාවට නංවා ගැනීමට බලති. මෙවැනි තත්වයක් ඇති වීමට වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මෙරටේ ඉඩ හැරී ඇති ප්‍රථම අවස්ථාව මෙය නොවේ. එක් මාධ්‍ය මුදලාලි කෙනෙකු පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා තමන්ගේ ඡන්දාපේක්ෂක ලැයිස්තුවක් රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කරනු ලැබ එය ප්‍රතික්ෂේප කිරීම නිසා එම මාධ්‍ය ආයතනය තමන්ට පහර දීමට වන්නේ යැයි අගමැතිවරයා ප්‍රසිද්ධියේ කියා තිබේ. එහිදීත්, රනිල් වික්‍රමසිංහ ඒ මාධ්‍ය මුදලාලිගේ ලැයිස්තුවෙන් ප්‍රතික්ෂේප කොට තිබුණේ නම් කිහිපයක් පමණි. (බොහෝ රටවල මෙවැනි ඇඟිලි ගැසීම් සහ ඒවාට යටවීම්, රාජ්‍ය ආයතන කෙරෙහි සහ ජාතික ආරක්ෂාව කෙරෙහි කරන ලද සාපරාධී අතපෙවීම් වශයෙන් සලකා නීතිමය පරීක්ෂණ පවත්වනු ලැබේ). 

එජාපය - ධම්මික, චම්පික හා එස්. එෆ් 

මේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැන් ටික කලකට ඉහතින්, කැසිනෝ මුදලාලි කෙනෙකු වන ප්‍රකෝටිපති ධම්මික පෙරේරාටත් ජනාධිපති අපේක්ෂකත්වයට ආරාධනා කළ බවට වාර්තා පළවුණි. සමහරවිට එය, ව්‍යාපාරිකයා විසින්ම තමන් පිළිබඳ රටේ තත්වය උරගා බැලීම සඳහා එම ආරාධනය පිළිබඳ ආරංචිය පතුරුවා හැරීමට සිතුවා විය හැකියි. 

දැන් ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳ හාහෝව මැකී ගොසිනි. චම්පික රණවක සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාත් මේ සෙල්ලමේ කොටස්කරුවන් වශයෙන් විටින්විට ඉස්මතු වුණි. ජනාධිපතිවීමේ සිහිනය සමහරවිට ඔවුන්ට පෙව්වා විය හැකිය. රනිල්වාදියෙකු වන ලක්ෂමන් කිරිඇල්ලත් එසේම ය. උඩරට ඇතැම් සංඝයා වහන්සේලා ඔහුගේ නම ඉස්සරහට දැමූහ. 

මෙය, එක්තරා ආකාරයක බෙදා වෙන්කොට පාලනය කිරීමේ කලාවකි. මෙවැනි වියවුල් සහගත තත්වයක් ඇති කොට එකිනෙකා තුළ තරගකාරී අපේක්ෂා දැල්වීමෙන් තමන්ට කල් ලබා ගත හැකි යැයි ද, අවසානයේ තමන්ගේ අපේක්ෂකයෙකු අතරමැදි කෙනෙකු වශයෙන් ඉදිරිපත් කළ හැකි යැයි රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ සගයන් සිතනවා ද විය හැකිය. 

සජිත් ද ? කරූ ද ?


කෙසේ වෙතත්, අවසානයේදී එක්සත් ජාතික පක්ෂය තමන්ගේ තරගකාරීත්වය එක දිගටම පවත්වාගතහොත්, තරගය එළැඹෙනු ඇත්තේ දෙදෙනෙකු අතරේ ය: ඒ, සජිත් ප්‍රේමදාස සහ කරූ ජයසූරියයි. ඒ දෙදෙනාටම පක්ෂ නායකත්වයේ විශේෂ අනුග්‍රහයක් ලැබෙන බවක් පෙනෙන්ට නැත.

අනාගත ආර්යාව කරළියට 

ප්‍රේමදාස මහතා දැනටමත් තරග පිටියට අවතීර්ණව සිටී. ඒ කෙතෙක්ද යත්, ඔහුගේ බිරිඳ ‘අනාගත ආර්යාව’ වශයෙන් තමන්ව හඳුන්වා ගැනීමට තරම් දුරදිග ගොස් සිටින්නීය. “මං දන්නවා, ඔබ කාටත් ඉඩම් නැති වෙලාවක මුහුණදෙන්න වෙන ප්‍රශ්න මොනවද කියලා. ඒකට හදිසි විසඳුමක් මට නැතත්, මං අද මෙතන කතා කරන්නේ, ඔබේ හදවත් තුළ ඉන්න, අනාගත නායකතුමාගේ ආර්යාව විදිහටයි” යනුවෙන්, හැටන් නගරයේ පැවති කාන්තා සම්මන්ත්‍රණයකදී ඈ කියා තිබුණි. ඒ වනාහී, සමහරවිට, තමන් විසින්ම තමන්ගේ පැත්තට විරුද්ධව ගසා ගන්නා ලද ගෝලයක් විය හැකිය.

ප්‍රේමදාස මහතාගේ දේශපාලන ව්‍යාපෘතිය ඔසවා තබන්නේ මහරාජා ප්‍රමුඛ මාධ්‍ය ව්‍යාපාරයක් හරහා ය. ඔහුගේ දේශපාලනය කැරකෙන්නේ ලාබ දෛනික ආර්ථික ප්‍රශ්න ඔස්සේ ය. ඔහුගේ කැමැත්ත ඇත්තේ, සුභසාධන වැඩකටයුතුවලට මිස, රටේ ආර්ථිකය සමබර කර ගැනීමේ අසීරු දේශපාලනික එළැඹුමක් කෙරෙහි නොවේ. මේ වන විට රටේ ආර්ථිකය, ඉහළ මැද මට්ටමේ ආදායම්ලාභි රටක තත්වයට උසස් වීම හේතුකොටගෙන, ‘මැද මට්ටමේ ආර්ථික උගුලට’ හසුව සිටී. ඒ ප්‍රශ්න ගැන ප්‍රේමදාස මහතා කිසිවක් කතා නොකිරීම, ඔහුගේ බොහෝ පාක්ෂිකයන්ට සහ පහළ මට්ටමේ ආර්ථික සහ සමාජ ස්ථරයන්ට අයත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ප්‍රශ්නයක් නොවේ. 

සජිත්ට සිංහල බෞද්ධ ඡන්ද දායකයින්ට ආමන්ත්‍රණය කළ හැකිද ? 

එහි අදහස වන්නේ, එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අරටුව තමන් වෙත දිනා ගැනීමේ හැකියාවක් ඔහුට තිබිය හැකි බවයි. එහෙත් එය, එක්සත් ජාතික පක්ෂයට සම්ප්‍රදායිකව අයත් මිලියන 3.5 ක් පමණ වන ඡන්දදායකයන්ගෙන් ඉතා සුළුතරයක් පමණි. ඊට අමතරව, ප්‍රේමදාස මහතාට සිංහල බෞද්ධ ඡන්දදායකයාටත් ආමන්ත්‍රණය කළ හැකිය. ඒ සම්බන්ධයෙන් වැඩිමනත් දෙයක් ඔහු සිදුකොට නැතත්, ඒ උරුමය ඔහුට තිබේ. 

පාවෙන ඡන්ද කාටද ? 

කෙසේ වෙතත්, ප්‍රශ්නය තිබෙන්නේ, පාවෙන ඡන්දදායකයාගෙන් විශාල කොටසක් ගෝඨාභය රාජපක්ෂට වඩා ඔහුට ප්‍රිය කරයි ද යන්නයි. ඒ, තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කරගෙන, තමන්ගේ සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නත් විසඳාගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ය.

ආරක්ෂාකාරී තේරීම - කරූ 

මේ තත්වය තුළ වඩාත් ආරක්ෂාකාරී තේරීම විය හැක්කේ කරූ ජයසූරියයි. ඔහුටත් සිංහල බෞද්ධ විශ්වාසය තිබේ. ආගමික ප්‍රජාව අතරේ ඔහුට ගෞරවයක් ඇති අතරේම, සුළු ජාතික ඡන්ද ප්‍රමාණයෙන් විශාල සංඛ්‍යාවක් තමන් වෙත දිනා ගැනීමේ හැකියාවත් ඔහුට තිබේ. ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ඒ සුළු ජාතික ඡන්දදායකයන්ගෙන් විශාල ප්‍රමාණයක ඇත්තේ අප්‍රසන්න හැඟීමකි. සමහර විට, ඔහුට එරෙහිව පිළිගත හැකි පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් නොකෙරුණොත් බොහෝ දෙනා ඡන්ද පොළට නොගොස් සිටීමට ඉඩ තිබේ.
  
මේ අතර, 2007 දී කරූ ජයසුරිය රාජපක්ෂලා සමග එකතු වීම පිළිබඳ ආරෝවක් තවමත් ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයන් තුළ තිබෙනවා විය හැකිය. එය එදා එක්සත් ජාතික පක්ෂය දුර්වල කිරීමට හේතු වූවද, ඒ අතරේම එය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නාස්තිකවාදී ත්‍රස්තවාදය නිශ්චිතව පරාජය කිරීම කෙරෙහිත් දායක විය.

තරම පෙන්වූ කරූ 

පසුගිය කාලයේ ඇති වූ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය තුළ කතානායකවරයා වශයෙන් කරූ ජයසූරිය තමාගේ තරම පෙන්වා ඇත. ඊටත් කලින්, අගමැති ධුරය භාරගන්නැයි ජනාධිපතිවරයා කළ ඉල්ලීමත් ඔහු ප්‍රතික්ෂේප කොට තිබුණි. (ප්‍රේමදාසත් එසේ කර තිබුණි). අනිත් අතට, ජයසූරිය මහතාට ආර්ථිකය පිළිබඳ වඩාත් ප්‍රායෝගික දැක්මක් ඇති බවක් පෙන්නුම් කොට ඇත. වර්තමාන ආණ්ඩුවේ ආර්ථික කළමණාකරන කටයුතුවලින් ඔහු ඈත් වී තිබීම සමහර විට ඔහුට වාසියක් විය හැකි සාධකයක් වීමටත් ඒ නිසා ඉඩ තිබේ.

මේ මොන දේ වෙතත්, ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ මේ ව්‍යාකූලත්වය ඉක්මනින් අවසන් කිරීම වටී. තමන් සමග ගහගන්නවා වෙනුවට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයාට මුහුණදීමට ඔවුන් සූදානම් විය යුතුය. ඒ පොදුජන පෙරමුණු අපේක්ෂකයාගේ අල්මාරියේ ඇති ඇටසැකිලි එළියට ගෙන රටට නිරාවරණය කළ යුතුව තිබේ. එසේ තිබියදී, වර්තමානයේ මෙන්, අස්ථාවත්වය සහ අතීරණය රජ වීමට හැරීම, වෙන වෙන න්‍යාය පත්‍ර මත කටයුතු කරන භයානක ඩීල්කාරයන්ට ආවැඩීමක් සහ අවස්ථාව සැලසීමක් වනු ඇත.

'කැපුවත් කොළ' පාක්ෂිකයින් කොයිබටද ? 

මේ තත්වය, පක්ෂ නායකත්වයට සහ ‘කැපුවත් කොළ’ ජාතියේ පාක්ෂිකත්වයට ප්‍රශ්නයක් නොවිය හැකිය. කෙසේ වෙතත්, ඒ ‘කැපුවත් කොළ’ ජාතියේ පාක්ෂිකත්වය, මේ වන විට වඳ වෙමින් පවතින සත්ව විශේෂයකි. එහෙත් පොදුවේ ජනතාව මේ වියවුල පිළිබඳ කණස්සල්ලට පත්ව සිටිති. මොන අඩුපාඩු තිබුණත්, මේ රටේ දේශපාලනයේ නිරත ප්‍රධාන දෙපාර්ශ්වයෙන් අඩු නපුර වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. පසුගිය අවුරුදු පහක කාලය තුළ, රටේ මානව හිමිකම් සහ පුරවැසි නිදහස වර්ධනය වී තිබේ. පාලකයන්ගේ අසීමාන්තික චර්යාවන් පාලනය කළ හැකි ස්වාධීන ආයතන ශක්තිමත් කෙරී ඇත. එසේ තිබියදී, පවුල්වාදී රාජකීය පාලනයක් නැවත ආවොත්, දැන් දිනාගෙන ඇති නිදහස තව අවුරුදු දෙකකින් පමණ පසුවත් ඒ ආකාරයෙන්ම පවතීදැයි සහතිකයක් ඇත්තේ නැත.



(2019 ජුලි 16 වැනි දා Daily Mirror පුවත්පතේ පළවූ  “UNP's Candidate Confusion: Who is the Better Candidate? Sajith or Karu?" නමැති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)