to-add

ශ්‍රී ලංකාවේ වැදි ජනයා

සුනිල් කුමාරසිංහ අතුකෝරල


හෝමෝ සේපියන් සේවියන් හෙවත් නූතන මිනිසා අදින් වසර 40,000 කට මෙපිට වත්මන් ශාරීරික ස්‌වරූපයෙන්ම ජීවත් වී ඇති බව මානව හා පුරා විද්‍යාඥයන්ගේ පරීක්‍ෂණවලින් හෙළිකර ඇත. මේ මානවයා පිළිබඳ ශ්‍රී ලංකා භූමියේ බොහෝ ප්‍රදේශවලිනුත්, සබරගමු පළාතෙන් වැඩිම වශයෙන්ම ද සාධක ලැබීම නිසා ශ්‍රී ලංකාවේ විසූ පැරණිම මිනිසා බලංගොඩ මානවයා ලෙස අරුත් ගන්වා ඇත.

බලංගොඩ සංස්‌කෘතියට අයත් වැදගත්ම සොයාගැනීම ලෙස පෙන්වා දෙන බෙල්ලන්බැඳිපැලැස්‌සෙන් හමු වූ මානව අවශේෂ හා මෙවලම් පරීක්‍ෂා කළ පුරාවිද්‍යාඥයන් පැවැසුවේ පුරාණ ශිලා යුගයේ සිට මානවයන් ජීවත් වූ බවය. මේ සම්බන්ධව කරුණු දක්‌වන ආචාර්ය ශිරාන් දැරණියගල සූරීන් වැඩිදුරටත් පවසන්නේ අර්ධ චක්‍රාකාර සියුම් ගල් ප්‍රයෝජනයට ගත් මධ්‍යතන පාෂාණ ඉන්දියාවෙන් ලක්‌දිවට පසු කාලයේ ඇතුළු වූ බවයි.

මානව වංශ විද්‍යාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක්‌ හෙළිකර ඇති සෙලිග්මාන්, හෙන්රි පාකර් ආදී විද්වතුන් විවිධ මත ප්‍රකාශ කරද්දී ආචාර්ය දැරණියගල සූරීන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ වැදි ජනයා පිළිබඳව සොයා බැලීමේදී බලංගොඩ මානවයාත් ඔවුනුත් අතර ලේ නෑකමක්‌ තිබිය හැකි වුවත් සංස්‌කෘතීන් වෙනස්‌ බවයි.

ලාංකීය ඉතිහාසයේ යක්‍ෂ, නාග, දේව වැනි ගෝත්‍ර ජනයා මෙන්ම වැද්දන් හා නිට්‌ටෑවුන් වැනි මානව වර්ග පිළිබඳ තොරතුරුත් ශිලා අවි පිළිබඳවත් වැදගත් තොරතුරු සඳහන් වන අතර ලාංකීය වැදි ජනයා සහ දකණු ඉන්දීය අන්නමලේ කඳු ආශ්‍රිතව වෙසෙන ආදි අනාර්ය ජනයා අතර සබඳතාවක්‌ තිබී ඇති බවට මානව හා පුරාවිද්‍යාඥයන් විවිධ අදහස්‌ ඉදිරිපත් කර ඇත.

මධ්‍ය ශිලා යුගයේ සිටම ලංකාවේ සහ ඉන්දියාවේ මනුෂ්‍යයන් වාසය කර ඇත. ඔවුන්ගෙන් පැවත එන්නෝ ආදිවාසීන් ලෙස දෙරටේ තවමත් ජීවත් වෙති. වරින්වර මෙම රටවලට පුද්ගලයන් පැමිණ ඔවුන් සමඟ සම්මිශ්‍රණය වී තිබේ. අදින් වසර දෙදහසකට පමණ පෙර සිට මෙම ආදිවාසී ජන කොටස්‌ ශ්‍රී ලංකාවේ මෙහි ජීවත් වූ බවට සාධක ඇත. (විජයසේකර 1987) ලංකාවේ විජයාගමනයට පෙර සිට මෙබඳු පිරිස්‌ පිළිබඳව බොහෝ ඓතිහාසික ග්‍රන්ථවල කරුණු සඳහන් වේ. (ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ජනතාව, සේපාල සමරසේකර, 2006 කර්තෘ ප්‍රකාශනයකි.)

මානව පරිනාමය පිළිබඳව අදින් වසර මිලියන ගණනක්‌ ඈත ඉතිහාසයක්‌ අප ඉදිරියේ පෙරළා තබන මානව හා පුරා විද්‍යාඥයෝ අපේ පූර්වජයා ලෙස හෝමෝහැබිලිස්‌ මානවයා හඳුන්වා දෙති. නුතන මිනිසාගේ නිජබිම ස්‌ථිර වශයෙන්ම අප්‍රිකා මහාද්වීපය බව මේ වන විට ප්‍රකාශ වී ඇති අතර අප්‍රිකා මහාද්වීපයේ උතුරින්, නැගෙනහිරින්, බටහිරින්, මානව සමූහ වරින්වර ඉන් පිටතට ගමන් කර ඇති බවත් මෙලෙස යුරෝපයට ආසියාවේ දක්‍ෂිණ ප්‍රදේශයට, මැදපෙරදිගට මානව සමූහ විවිධ යුග රැසක්‌ පසුකරමින් ඇවිද ගිය බව මොහෙන්දජාරෝ හරප්පා හෙවත් ඉන්දු නිම්න ශිෂ්ටාචාර යුගය ද ඊට සාක්‍ෂි සපයන බවත් මානව හා පුරාවිද්‍යාඥයන් මේ වන විට තහවුරු කර ඇති බව කිව යුතුය.

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ගැන කතා කිරීමේදී පූර්ව ඓතිහාසික තත්ත්වයන් දෙස එබී බැලීමට සිදුවූයේ ආදිවාසී ජනයා නිග්‍රොයිඩ්, මධ්‍යධරණී, ඔස්‌ට්‍රොලෝයිඩ් ලක්‍ෂණවලින් හෙබි බවට මානව හා පුරා විද්‍යාඥයන් සිය පර්යේෂණ මගින් ඔප්පු කර ඇති හෙයිsනි.

උත්තර භාරතයෙන් දක්‍ෂිණ ප්‍රදේශයටත්, ඉතිහාසමය වශයෙන් ලැබී ඇති සාධක අනුව මානව සමූහ ශ්‍රී ලංකාවට සපැමිණි බව විශ්වාස කළ හැකි කරුණක්‌ වෙයි.

පූර්ව ශිලා යුගයේ සිටම ශ්‍රී ලංකාවේ හෝමෝ සේපියන් මානවයා ජීවත් වූ බව පුරාවිද්‍යා පර්යේෂණ අනුව පැහැදිලි වේ. මයික්‍රොලොතික හෙවත් කුඩා ගල් ආයුධ භාවිතා කළ බලංගොඩ සංස්‌කෘතියට අයත් නටබුන් යාපනය හැරුණ විට මුළු ලංකාව පුරා පැතිරී තිබේ. තෙත් කලාපයේ මධ්‍යම කඳුකරයේ හෝටන්තැන්න සහ ශුෂ්ක කලාපයේත් උතුරුකරයේත් පුනරින් හා මාන්කුලම් සහ දකුණේ මිරිහාගල්කන්ද ආදී වශයෙන් විවිධ දේශගුණයෙන් යුක්‌ත ප්‍රදේශවලින් මේ නටබුන් හමුවී ඇත. මේ නටබුන් ක්‍රි.පූ. 28000 පමණ සිට ක්‍රි.පූ. 9500 දක්‌වා කාලයට අයත් වේ. ස්‌ථිර වශයෙන් නිගමනය කළ නොහැකි නටබුන් හා පුරා ශිලා යුගයට අයත් රථ ආම්පන්න රැසක්‌ ශ්‍රී ලංකාවේ නොයෙක්‌ ස්‌ථානවලින් හමුවී ඇත. මේ අනුව මෙරට මානව වාසය අප සිතුවාට වඩා පැරණි කාලයකට අයත් බව පැහැදිලි වේ. (මහාචාර්ය ඡේ. වී. සී. සෝමරත්න, අනුරාධපුර යුගයේ ජනාවාස ව්‍යාප්තිය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ ඉතිහාසය කෘතියෙනි)

ක්‍රි.පු. 15000 10,000 දක්‌වා කාලය මෙසොලිතික හෙවත් මධ්‍ය ශිලා යුගයේත්, ක්‍රි.පූ. 10,000 පමණ සිට ආර්යයන් ලක්‌දිව සම්ප්‍රාප්ත වී යකඩ භාවිතය හඳුන්වා දෙන තෙක්‌ ලංකාවේ සංස්‌කෘතිය තුළ ද හමුවන නටබුන් සම්බන්ධව ද අදහස්‌ දක්‌වන මහාචාර්ය සෝමරත්න සූරීන් පෙන්වා දෙන්නේ මධ්‍යශිලා යුගයේ ජීවත් වූ දඩයමින් දිවි ගෙවූ මිනිසා වෙනස්‌ දියුණු තත්ත්වයකට පත්වූයේ පසුකාලීනව සංක්‍රමණය වූ දියුණු ජන සමූහයක්‌ නිසා බවයි.

භාරතයේ උතුරු පෙදෙස්‌වලට දකුණු ආසියාවෙන් සංක්‍රමණය වූ පිරිස්‌ කෘෂිකර්මාන්තය හා සතුන් ඇති කරමින් දිවි ගෙවූ පිරිසක්‌ හැටියට මානව හා පුරාවිද්‍යා පර්යේෂණයන් තහවුරු කරති. මේ අවස්‌ථාව වන විට දේශීය ගෝත්‍රික ජනයා (කළු වර්ණ) සමඟ මතභේද ඇතිකරගත් බවත් මෙම වාතාවරණය අනුව ඔවුන් වෙනත් බිම් සොයා යැමේ ප්‍රතිඵලයක්‌ හැටියට භාරතයේ දක්‍ෂිණ ප්‍රදේශවල දේශීය ගෝත්‍රික ජනයා ස්‌ථානගත විනැයි ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි.

ඉන්දියාවේ ආර්ය ජනයාගේ සංක්‍රමණය එක්‌වරක සිදුවුවක්‌ නොවේ. එය සියවස්‌ ගණනක්‌ තිස්‌සේ ඇතැම් විට එකම ජාතියකට හෝ බසකට හෝ අයත් නොවූ ගෝත්‍ර රාශියක්‌ ඇසුරින් සිදුවුවක්‌ බවත් ඔවුන්ගේ ව්‍යාප්තිය කෙබඳු අයුරින් සිදුවීදැයි දැක්‌විය නොහැකි බවත් ආක්‍රමණකාරීන් නගරයන්හි විසුම් නොගත් බවත් මහාචාර්ය ඒ. එල්. බෂාම්ගේ මතය විය. තවදුරටත් කරුණු දක්‌වන හෙතෙම හරප්පා ශිෂ්ටාචාරයේ ජනයා එක්‌ කලෙක මුළු ඉන්දියාවම වසා පැතිර සිටියා වූ ආදි ඔස්‌ට්‍රොලයිඩ් මූලයකින් යුතු වූ බවත් එය ඉතා පැරණි කලෙක තම ශිෂ්ටාචාරයේ මූලයන් ද සමඟ ඉන්දියාවට පිවිසිණු මධ්‍යධරණී මූලයකින් වසන් කරන ලද බවත් පසුව විටින් විට ඇති වූ ආක්‍රමණයන් ගේ පීඩනයෙන් මේ මධ්‍යධරණී මූලය අර්ධද්වීපය පුරා විහිද ගොස්‌ ස්‌වදේශීය ජනයා හා මිශ්‍ර වීමෙන් ද්‍රවිඩ වර්ගයා පහළ වූ බවත් පවසයි. (මහාචාර්ය බෂාම්, අසිරිමත් ඉන්දියාව)

භාරත ඉතිහාසය විමසීමේදී මුලින් පැවැති ජනාවාස යටපත්කරගෙන උත්තර භාරතයේත් දක්‍ෂිණ ප්‍රදේශවලත් ආර්ය ජනාවාස ඇති වූ බව පැහැදිලිය. ඔවුන්ගේ සමාජ හා සංස්‌කෘතික ලක්‍ෂණ එකිනෙකට වෙනස්‌ වන අතර (හින්දු ආර්ය සහ ද්‍රවිඩ ජනයා) ඔවුන්ගේ ව්‍යාප්තිය ද ක්‍රමිකව සිදු වූ බව විද්වත්හු පෙන්වා දෙති. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ක්‍රි.පූ. 5 වන සියවසේ ප්‍රථම ආර්ය කණ්‌ඩායම ලක්‌දිවට සම්ප්‍රාප්ත වී ඇත. ඒ අනුව විජය ඇතුළු පිරිසගේ සපැමිණීමත්, විජය රජුගේ රාජාභිෂේකය සඳහා සපැමිණි කණ්‌ඩායමත් (මධුරාපුර කුමරියන්), පඬුවස්‌දෙව් කුමරිය භද්දකච්චායනා සමඟ පැමිණි කණ්‌ඩායමත්, දේවානම්පියතිස්‌ස රජු දවස මහින්දාගමනයෙන් පසු ශ්‍රී මහාබෝධි ශාඛාව රැගෙන පැමිණි 18 ක කුලයක ශිල්ප ශ්‍රේණි සමඟ පැමිණි පිරිසත් හැරුණු විට ලක්‌දිව ජනාවාස වීමට මුල්ම කාලයේ බලපාන ලද කරුණු අතර වාණිජ පරමාර්ථ ඇතිව මෙරටට සම්ප්‍රාප්ත වූ ජනයා පිළිබඳව ද ස්‌වර්ණභූමි වලාහස්‌ස වැනි ජාතක කතාවලින් හෙළිවන කරුණු ද පාහියන්ගේ දේශාටන වාර්තාවන්හි එන කරුණු ද හියුං සියෑං ගේ ඉතිහාස සටහන් ද සලකා බැලිය යුතු වෙයි.

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ වාසය කළ යක්‍ෂ, නාග, දේව ආදී ගෝත්‍රික ජනයාගෙන් ලද ලාංකීය වැදි ජනයා ප්‍රභවය වීම සිදුවිනැයි යන මතය පිළිබඳව ඉදිරිපත් වී ඇති විවිධ අදහස්‌ අතර මොවුන් දේශීය ගෝත්‍ර ම්ලේච්ඡ ජන පිරිසක්‌ ලෙස දිවි ගෙව් බව ද සඳහන් වෙයි. බුදුන්වහන්සේ පවා ඔවුන් හික්‌මවීමට වැඩම කරන ලදී. එසේම මෙම ජනයා හින්දු හෝ දමිළ නොවන බව ඉතිහාස සටහන් අනුව පැහැදිලිය. එහෙත් යක්‍ෂ නාමයෙන් හඳුන්වන ලද ජනයා වැදි ජනයා වශයෙන් ප්‍රකට වූ බව නම් පහසුවෙන් පිළිගත හැකි බව පෙනේ.

පැරණි සංදේශ කාව්‍ය හෙළිකරන තොරතුරු ලෙස සැළලිහිණි සංදේශයෙහි එන නාග කන්‍යාවන්, පරෙවි සංදේශයෙහි සබර යනුවෙන් හඳුන්වන්නේ වැදි ජනයා වීමත් යන සාහිත්‍යමය සටහන් ඉතිහාසය නැවත මතක්‌ කිරීමකි.

විජය කුවේණි පුවතෙහි සඳහන් ඔවුන්ගේ දරු දෙදෙනා වන ජීවනත්ථ සහ දිසාලා යන කුසඹුරුවන් සිය නෑයින්ගෙන් මිදී සබරගමුවේ අරණායක දෙසට පලාගිය බවත් ඔවුන් ජීවත් වූයේ රහළගල බවත් වර්තමානයේද දර්ශනීය ලෙස ගලා බසින අහුපිණි ඇල්ල අසබඩ පිහියි රාස්‌සව කන්ද පර්වතයට ඒ නම ලැබී ඇත්තේ මෙම පුවත නිසා යෑයි ද ප්‍රවාද ගතව ඇත. රාක්‍ෂයන් ගේ වාසභූමි ලෙස ඌව ලොග්ගල, කොකාගල, මධ්‍යම පළාතේ ලග්ගල, කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ වැද්දෑවල, වැද්දෑකුඹුර මෙන්ම යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ වාසභූමි ද පැවැති බව ඉතිහාස සටහන්වල වෙයි.

වැදි ජනයාගේ ප්‍රභවය පිළිබඳව පඬුවස්‌දෙව් රජුගේ දිවි දොස්‌ නැසීම නම් ශාන්ති කර්මය සඳහා මලය දේශයෙන් ගෙනෙන ලද පිරිස ලක්‌දිව ස්‌ථානගතවීමේ පුවත ද ප්‍රවාදගතය. මෙම ශාන්තිකර්මය වූ කොහොඹා කංකාරිය නමැති ද්වාරකර්මයෙහි එන පුද සිරිත්වල වැදි ජනයා සම්බන්ධ වන වාරිත්‍ර බහුලවීමත් අද දක්‌වා යම් යම් ආකාරවලින් එම අභිචාර පැවතීම ද ඉහත කරුණු සනාථ කිරීමට සාධක වෙයි.

"සිංහලයන් කවරෙකුගෙන් පැවත එන ජාතියක්‌ දැයි මම ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි. එහෙත් නිසි පිළිතුරක්‌ දීමට ඔවුන් අපොහොසත් වුහ. මුල් අවදියේ මෙම ද්වීපය යකුනගේ වාස භූමියක්‌ව පැවැති බව ඔවුන්ගේ ජන ප්‍රවාදයන්හි සඳහන්ව ඇත්තේ යෑයි ඔවුහු මා සමඟ කීහ. (රොබට්‌ නොක්‌ස්‌, එදා හෙළදිව, ඩේවිඩ් කරුණාරත්න 2001, ගුණසේන, පිටුව, 195)

ඈත අතීතයේ ලංකාව ඉන්දියාවට යාව පැවැති භූමියක්‌ බැවින් ඉන්දීය ගෝත්‍රික ජනයාට පහසුවෙන් මෙරටට සංක්‍රමණය වීමේ හැකියාව තිබිණි. භාරතීය ගෝත්‍රික ජනයාගේ සහ මෙරට ආදිවාසීන්ගේ ශාරීරික ලක්‍ෂණ පරීක්‍ෂා කළ මානව හා පුරා විද්‍යාඥයන් ඔවුන් තුළ සමාන ලක්‍ෂණ පවතින බව පෙන්වා දෙයි.

ආදි කාලීන මිනිසාගේ ජීවන පිළිවෙත ගැඹුරින් සාකච්ඡා කරන කෘතීන් අතර මිනිසාගේ සම්භවය කෘතියෙන් එම්. නෙස්‌තුර්ග් පෙන්වා දෙන්නේ තියෑන්ඩර්තාල් මානවයාගේ හැසිරීම් ලෙස සතෙකු මරා ගත් විට ඌ හම ගසා ගැනීමටත් කටුවලින් මස්‌ වෙන්කර ගැනීමටත් කටු කඩා මිදුලු කෑමටත්, හිස්‌කබල කඩා මොළය අනුභව කිරීමටත් ගල් අවි පාවිච්චි කළ බවයි. මස්‌ අමුවෙන් හෝ ගින්නෙන් පුළුස්‌සා හෝ අනුභව කරන ලදී. ඔවුන් සතුන්ගේ හම් ඇඳුම් වශයෙන් ද, නිදා ගැනීමට පැදුරු වශයෙන් ද භාවිත කළේ යෑයි සිතිය හැකි බවය.

මේ මානවයා වත්මන් මානවයාගේ විකාශයට අදින් වසර ලක්‍ෂ ගණනකට පෙර පරිණාමයක්‌ වුවත් මේ වන විට මිහිමතින් සදාකාලිකවම සමුගෙන ඇති පාර්ශ්වයක්‌ ලෙස සඳහන් කළත් මේ සිරිත් විරිත් මානව විකාශයේ වැදගත් තොරතුරු සම්භාරයක සමුච්ඡයක්‌ වශයෙන් පැවැසිය හැකි නොවේද?

ප්‍රධාන ජන වර්ග අතුරින් නිග්‍රොයිඩ්, මොන්ගොලොයිඩ්, ඔස්‌ට්‍රොලොයිඩ් යන ලක්‍ෂණ ආදිතම වැදි ජනයා තුළින් ප්‍රකට වූ බව මානව හා පුරාවිද්‍යාඥයන්ගේ අදහස්‌ තුළින් පැහැදිලි සවිස්‌තරාත්මක විග්‍රහයක යෙදෙන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේපාල සමරසේකර මහතා පෙන්වා දෙන්නේ ලංකාවේ වැදි ජනයා ඔස්‌ටේ්‍රලියාවේ ඇබොරොජින්වරුන්ට සමීප සබඳතාවක්‌ තිබී ඇති බවය.

ලංකාවේ වැදි ජනයා පිළිබඳව පර්යේෂණ කළ විද්වතුන් අතර විල් හෙලිම් ගයිගර්, හෙන්රි පාකර්, රොබට්‌ නොක්‌ස්‌, රිචඩ් ගෝඩ්රිච්, හ්‍යqනෙවිල්, සෙලිග්මානවරු, ආර්. එල්. ස්‌පිටිල්, ආචාර්ය නන්ද දේව විඡේසේකර ආදී විද්වතුන් රැසක්‌ දෙස්‌ විදෙස්‌ වශයෙන් ජන ප්‍රසාදයට පත්ව සිටී.

ශ්‍රී ලංකාවේ වැදි ජනයා පිළිබඳව නොක්‌ස්‌ පෙන්වා දෙන්නේ ඔවුන් ගල් වැද්දන් සහ ගම් වැද්දන් ලෙස චර්යාවන් අනුව වර්ග කළ හැකි බවත් පසුකාලීනව මෙම ජනයා පිළිබඳව පරීක්‍ෂා කළ සෙලිග්මාන්වරු පැවැසුවේ ශ්‍රී ලංකාවේ වැදි ජනයා ගම් වැද්දන්, ගල් වැද්දන්, දඩ වැද්දන් යනුවෙන් වර්ග කළ හැකි බවත්ය.

ගම් වැද්දන්, ග්‍රාම වාසීන් සමඟ සුහදශීලීව, කැලෑව මායිමේ ගමට සමීප භූමියෙහි සිය අවශ්‍යතා සපුරා ගනිමින් දිවි ගෙවීමට පුරුදුව සිටි අතර ගල් වැද්දන් සහ දඩ වැද්දන් ඝන වනාන්තරයෙහි ම්ලේච්ඡව හැසිරෙමින් දිවි ගෙවූ බවත් ඔවුන් ජනතාවගෙන් ඈත්ව සිටි පිරිසක්‌ ලෙස ඉතිහාස සටහන් අනුව ද සනාථ වන බවත් පැවැසිය හැකිය. වැද්දන් ගෝත්‍ර වර්ග කලාප වශයෙන් විශේෂයෙන් ඌව, සබරගමු පළාත, උතුරුමැද තැනිතලාව, නැගෙනහිර හා බටහිර මුහුදු තීරය වාසභූමි කරගෙන ජීවත් වූ බව විවිධ පර්යේෂණ වාර්තා මගින් ප්‍රකට වී ඇති බව පෙන්වා දිය හැකිය.

පරිසරයට ඇලුම් කරමින් එය රැකගත යුතු එකම වස්‌තුව ලෙස කල්පනා කළ වැද්දෝ සිය ජීවනය පවත්වාගෙන යැමට යකුන්, නෑ යකුන් සහ දෙවියන්ගේ ආශිර්වාදය ලබාගත් අතර ඔවුන්ගේ ප්‍ර්‍රධාන කාර්යය වන ආහාර සපයාගැනීම උදෙසා කරන දඩයම සාර්ථක කරගැනීමට ද යකුන් සහ දෙවිsයන්ගේ පිහිට ප්‍රාර්ථනා කරන ලදී.

අතීත ශ්‍රී ලංකාව රුහුණු, මායා, පිහිටි වශයෙන් වූ සෑම ප්‍රදේශයකම වැද්දන්ගේ වාසභූමි ව්‍යාප්තව තිබී ඇත. දිඹුලාගල, කුඩා උල්පොත, කොස්‌ගහ උල්පොත, දමන උල්පොත, යක්‌කුරේ, ධුම්රක්‌ගල සහ බින්තැන්නෙ, පොල්ලෙබැද්ද, බකිණිගස්‌දූව, පාදාවල, ඌවදමන, බුළුගහදෙන, කන්දෙගස්‌වල, වෙල්ලස්‌ස, රතුගල, නිල්ගල, කුඹුරුහේන්වැව, නීළඹ සහ කුරුඳුවත්ත යන ගම්මාන ද ලක්‌දිව ප්‍රකට වැදි වාස භූමි වෙයි.

දිඹුලාගල ශීලාලංකාර හිමියන් නවසිය හතළිහේ දශකයේ මුල් භාගයේ පටන් මනම්පිටිය දිඹුලාගල මහ ඝන කැලෑවේ වැදි ජනයා සමඟ වැඩ වාසය කිරීමෙන් වැද්දන් ගැන මනා අවබෝධයක්‌ මෙන්ම ඔවුන් යහපත් ක්‍රියාවන්ට යොමු කිරීමෙහිලා ඉමහත් වෙහෙසක්‌ ගත් හිමිනමකි. උන්වහන්සේ දිඹුලාගල හාමුදුරුවෝ නමින් අනන්‍යතාවක්‌ ගොඩනගාගෙන සිsටි හිමිනමක්‌ ලෙස ලොව ජනාදරයට පත්විය. ප්‍රදේශයේ වැදි නායකයකු වූ මිල්ලානාට අයිති ගල්ලෙනක පසුකාලීනව වැඩ වාසය කළ පුවත දිඹුලාගල කෘතියෙන් චිත්‍රණය කරන්නේ, කපුවලෑ ඇත්තන්ට මේ රුකුල් පොඡ්ජ පටගහච්චට මේ ඇත්තන්ට කැකුලියන්ට කැකුලන්ට ර¹ පඡ්ඩන්ට පැල් කොටයක්‌ කොදොව්, ආදී වශයෙන්ය. (මේක දුන්නම මගෙ ගෑනි දරුවන්ට ඉන්න තැනක්‌ කොයිද) ගල් ගෙවල්වල සිටි ඔවුන්ට කෝනම් පොඡ්ඩක්‌ කොටාබාන දෙයක්‌, පැල් කොටයක්‌ ආදී අවශ්‍ය දේ ලබාදීමෙන් පස්‌සෙ මිල්ලානා කැමැතිවෙලා තියෙන්නෙ ශීලාලංකාර හිමියන් ඒ අවස්‌ථාව නිරූපණය කරමින්,

දිඹුලාගල කැලෑවෙහි තිබූ මහ ගල් ගුහාව මම බලන්න ගියා. ඒක අයිතිව තිබුණේ මිල්ලානා නම් වැදි නායකයාටයි. වැදි නායකයා හිතවත් කරගෙන එම ගල් ගෙය ඔහුගෙන් ඉල්ලාගෙන මම කලක්‌ බණ භාවනා කළා. මිල්ලානා තමයි මගේ හොඳම හිතවතා. මම මිල්ලානාට නමක්‌ දැම්මා යාපා කියල, (දිඹුලාගල හාමුදුරුවෝ, නන්දසේන සූරියආරච්චි, 1985)

ක්‍රමයෙන් සමානුයෝජනය වීමෙන් වනචාරී පැවතුම් ඉවත් වී හඳුන්වන නම් පවා වෙනස්‌ වීමෙන් අද වන විට දිඹුලාගල හා අවට ගම්මානවල සිටි වැදි ජනයා සිංහල බෞද්ධ මෙන්ම සුළු වශයෙන් අන්‍ය ආගම්වල ද පිහිටාශිර්වාද ලබමින් කෘෂිකර්මයට නැඹුරු ජීවන රටාවකට හුරුව දිවි ගෙවන බව පැවැසිය හැකිය.

අභිචාර විධි සහ ජීවන ප්‍රවෘතිය

ජීව අජීව වස්‌තූන් පිළිබඳව ප්‍රාණ ධර්මයන් ඇතැයි වැදි ජනතාව ඇදහීම පිළිබඳව මානව විද්‍යාඥයන්ගේ පර්යේෂණවලට හසුවූයේ ඈත යුගයේදීමය. මේ සම්බන්ධයෙන් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් පෙන්වා දෙන්නේ, ඇනිමේෂන් යන වචනය ආර්. ආර්. මැරට්‌ නම් මානව විද්‍යාඥයා ශබ්ද කෝෂයට අන්තර්ගත කරන්නේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසට බවය. එනම්, ඔස්‌ටේ්‍රලියාව, මැලනීසියාව ආදී රටවල විසූ වැදි මිනිස්‌සු ඔවුන්ගේ හැඟීම් වනිත කරන වදන් ව්‍යවහාර කළ බවත්, ඒ තුළින් ඔවුන් සෑම ජීව අජීව වස්‌තුවකම අදෘශ්‍යමාන බලවේග (භූතාත්ම) ඇතැයි යන හැඟීමකට වඩා ඒ තුළ සර්වව්‍යාපී බලයක්‌ ඇතැයි යන හැඟීමෙන් ආදි මානවයන් කටයුතු කළ බවට අවබෝධයක්‌ ප්‍රකට කරන බවය.

ඊ. බී. ටයිලර් නමැති සමාජ විද්‍යාඥයා කල්පනා කළේ මිනිසාගේ මුල්ම ආගම ප්‍රාණවාදය කියාය. ආර්. ආර්. මැරට්‌ විශ්වාස කළේ සජීවී දෘෂ්ටිය කියාය, හර්බට්‌ ස්‌පෙන්සර් සංශෝධන සහිතව එය පිළිගත් අතර, හොල්මන්වලට ඇති බිය නිසා ආගම බිහිවිය. (සමාජ විද්‍යා මූලධර්ම - ස්‌පෙන්සර්)

වැද්දන් සිය ඥතියකු මියගිය විට ගල්ලෙන හෝ පැල අතහැර යයි. ඔවුන් තුළ ඇතිවන බිය යකෙකු වී තමුන්ට විපත් සිදු කරයි යනුවෙනි. එය තුනීකර ගැනීමට ද අභිචාර විධි ප්‍රයෝජනයට ගනී. මරණයෙන් සත් දිනකට පසුව එතැනට එකතු වන ඔවුන් මළවුන් කැඳවා අවසාන සංග්‍රහය පවත්වයි. ඉන්පස ජීවිතයේ වරින්වර නෑ යකුන්ට පුද පූජා පැවැත්වීම ඔවුන්ගේ ජීවිත ප්‍රවෘත්තියෙහි එක්‌ ප්‍රධානතම අංගයක්‌ වී ඇත. ඒ මගින් සිය ආධ්‍යාත්මයේ නිදන්ගතව පවතින බිය තුනී කෙරෙනු ඇත.

වැදිපත්තුවේ කන්දේ බණ්‌ඩාර බලවත්ම දෙවියන්ට භාරයක්‌ වීමෙන් දඩයම් නැති අවස්‌ථාවේදී දඩයම් ලබාදෙන බවත් ගෝන දඩයම, බඹර හා මී කැඩීම දෙවියන්ට ප්‍රිය ලෙසත් දඩයමට පිටත්ව යැමට පෙර කන්දෙ දෙවියන් යෑදීමෙන් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බවත් ඔවුන්ගේ විශ්වාස අතර වෙයි.

කන්දේවෙද ගෝනුන් නවතින්නේ

මන්දේ වෙද කුළු හරක්‌ බඳින්නේ

කින්දේ මේ දුක තව නොපෙනෙන්නේ

කන්දේ නායක දෙවිඳු වඩින්නේ

(බින්තැන්නේ කන්දේදෙවි කන්නලව්ව)

වැදි ජනයා ගේ සාම්ප්‍රදායික නැටුම් වැයුම් දෙස්‌ විදෙස්‌ ජනයාගේ පැසසුමට ලක්‌වීම කවදාටත් එක හා සමානය. මහියංගන පෙරහැරේ වැදි නැටුම් ඔවුන්ගේ සංස්‌කෘතියට අනුව මනා ශික්‍ෂණයක්‌ පෙන්නුම් කරන ලදැයි හැඟේ. රිටක්‌ මනා ලෙස හසුරුවමින් එකම වේගයකට ගමන හා ගායනය සිදුකරමින් මහියංගන චෛත්‍යය තෙවරක්‌ පැදකුණු කර පැමිණි මගට ප්‍රති විරුද්ධ දෙසින් බැහැරව යන්නේ තම වර්ගයාගේ ගෞරවාන්විත සංස්‌කෘතිය අපට පෙන්නුම් කරන්නාක්‌ මෙනි. මේ ගී ඌවට පමණක්‌ සීමා වී ඇති සැටි බලන්න.

චොරබොර වැවේ වොද වොද ඕළු නෙළුම් ඇති

මේවා නෙලන්නට වොද වොද ලියෝ එති

තලු කරලා වතු කරලා උයා දෙති

ඕළු වාලෙ බත් කන්නට මාළු නැති

වැදි ජනයා ඔවුන්ගේ නැටුම් ස්‌ථානය, සිද්ධිය, කාරණාව අනුව ගායනා ද වෙනස්‌ වන බව අධ්‍යයනවලදී බොහෝ අවස්‌ථාවල හෙළිවෙයි. දුක්‌කම්කටොළුවලින් ගහණ දිවි පෙවතක්‌ ගතකරන ඔවුන්ට ප්‍රීති වීමේ අවස්‌ථා එළඹෙන්නේ කලාතුරකිනි. නැටීමේ කලාවක්‌ නැතත් විශේෂ උත්සවවලදී ගී කියා බඳ සොලවා වටේ යමින් හිස නවාගෙන සිදු කරයි. වර්තමානයේ පවා මහියංගන චෛත්‍යය වටා එක්‌ උරයක රිටක්‌ දරාගෙන චෛත්‍ය පැදකුණු කරන නැටුම් විලාශය විශේෂ පොහොය දිනවල දැකගත හැකිය. එහෙත් වැද්දෝ කිසි විටෙක එකල මත් බීමක්‌ පාවිච්චි කළ බව කිසිදු වාර්තාවක සටහන්ව නොමැති බව විශේෂ සිද්ධියකි. ඔවුන්ගේ කුටුම්භ ජීවිතය පමණක්‌ නොව සමූහය ධර්මතාවලින් බැඳී පැවතීමට එය ප්‍රබල හේතුවක්‌ වන්නට ඇත.

රෝ රොA රෝ රෝයි කැකුළී

ඌරල දෙබ්බි අඬන්නේ

මායේ කැකුළා නාඩන්නේ

රෝ රෝ රෝයි යෝ කැකුළී



දිය ගං ඇල්ලේ මං ගච්ඡන්නේ

වෙල් පොඡ්ජටමයි මං ගච්ඡන්නේ

වප්පී චිර් බීර් වී යන්නේ

ඒ කී ගේ බා වේ වී යන්නේ



මා මිනි මා මිනි මා දෙයියා

කා කුරු කන්දේ කෝ වෙනියා

කදුරුත් කදුරුත් කී යන්නා

කොක්‌කා ගාලට වැහි වෑලා

වැදි ජනයා පිහිට ලබන කන්aදෙ බංඩාර ඉරුංගල් බංඩාර, වීරමුණ්‌ඩ කළු වැදි දේවතාවුන් කොට අතු දේවතාවුන් දේවයාදිනී හා උප්පත්ති කතාවල පවතින අතර කොහොඹා කංකාරියෙහි පුද දෙනු ලබන මේ දිව්‍ය රාජයන් අමතන අවස්‌ථා වැඩි ප්‍රමාණයක්‌ වැදි සනුහරේ ඇත්තන් සම්බන්ධව වැඩී ආ බව මහාචාර්ය චන්ද්‍රසිsරි පල්ලියගුරු සූරීන් සිය ජනශ්‍රැතිය පුරා කතාව සහ පුරාවෘතය කෘතියෙන් පෙන්වා දෙයි.

එම අවස්‌ථා ලෙස ගහල යෑදීම, යකුන්ට අඬගැසීම හෙවත් යක්‌ ඇණවුම කෝල්පාඩුව හෙවත් දේව ආරාධනාව, වැදි යක්‌කුන් දොළසට වෙන වෙනම ආයාචනා කිරීම හෙවත් අයිලේ යෑදීම, අස්‌න නැටුම, කොහොඹා යක්‌කමේ ඉතිහාසය (විජයරාජ කතාව, කුවේනි අත්හැරීම, පඬුවස්‌ දෙවි රජුට දිවි දොස්‌ බැඳීම, මලය රජුන්ගේ උප්පත්ති කතා) හත් පදය පලවැල දානය, ඌරු දානය, දිවි දානය, නයායක්‌කම, වැදියක්‌කම, දර්ශනයක්‌කම සහ සීනා යක්‌කම, මල නැටීම, මුව මල විදීම යනාදි යාදිනිය.

මෙම කංකාරියේදී ඉරුගල් බණ්‌ඩාර ළඟම කන්දේ දෙවියන් ආමන්ත්‍රණය කිරීම විශේෂ සිද්ධියක්‌ ලෙස සැලකිය හැකිය. අයිලේ යෑදීමේදී කන්දේ දෙවියන් ප්‍රමුඛ වෙයි. එහිදී වැදි ප්‍රභේද 36 ක වර්ගීකරණයක්‌ ඇතැයි මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සූරීන් සිය පුරාවෘත්ත හා පුරාකථා කෘතියෙන් පෙන්වා දෙයි.

ගොවිතැනට දස්‌කම් නොදක්‌වන එහෙත් ශූර ලෙස හී විදින මෙන්ම කුටුම්භය වගේම තම සනුහරේ පිළිබඳ හැඟීම් බරවද සිය ජීවන ප්‍රවෘත්තිය ගෙනගිය වැද්දෝ දුනු හී පැළඳ, අවුල් හිස කේ සහිත රළු ශරීර ලක්‍ෂණ ප්‍රකට කළ භාෂා ලක්‍ෂණ අනුවද අනන්‍යතාවයක්‌ පවත්වාගෙන ගිය ගෝත්‍රික ප්‍රජාවකි. මානව වංශ විද්‍යාඥයන් කළ පර්යේෂණයන්ට අනුව වැද්දාගේ උස මි.මී. 1578 ක්‌ ලෙසත් කපාල සුචිය 72.6 හා කපාල ප්‍රමාණය ඝන සැන්ටි 1227 හා නාසිකා සූවිය 73.1 ලෙසටත් විවෘත ඇස්‌ ඇති හා ගොන්ඩි වශයෙන් මෙන්ම විවිධ ප්‍රදේශවල විසුවන් විවිධ වෙනස්‌කම් ප්‍රකට කරන බවත් පෙන්වා දෙයි.

රේමන්ඩ් ෆර්ත් නම් මානව විද්‍යාඥයා විග්‍රහ කරන නිෂ්පාදන අභිචාර, ආරක්‍ෂණ අභිචාර, විනාශකාරී අභිචාරවලින් විනාශකාරී අභිචාර හැර අනෙක්‌ දෙවර්ගයම වැදි ජනතාව තුළ පෙන්නුම් කරන බව කිව හැකිය. ආදි වැදි ජනයාගේ මූලික උවමනාව වූයේ, ආහාර සපයා ගැනීමයි. ගල්ලෙන්, ගස්‌ යට, කුඩා පැල්පත්වල දිවි ගෙවූ ඔවුන්ට ඊතල වුවමනා වූ විට පමණක්‌ ගම්මානයේ කම්මලකට පැමිණුනත් එය කිසිම මනුෂ්‍යයකු හමු නොවී සිදු කෙරුණු ගනුදෙනුවක්‌ විය. කම්මලට රාත්‍රි කාලයෙහි පැමිණ දඩමස්‌ කොටසක්‌ එල්ලා ඒ අසලින්ම තමන්ට වුවමනා ඊතලවල හැඩය කැළෑ කොලයක සලකුණු කර එල්ලා ගිය පසු පසු දිනෙක ඒවා එපරිදි සකස්‌ කර කම්මලෙහි එල්ලා ගිය පසු ද වැද්දන් නැවත දඩමස්‌ ප්‍රමාණයක්‌ එම ස්‌ථානයෙහි එල්ලා ඊතල රැගෙන යයි. යම් හෙයකින් කම්මල්කරු ඊට අපොහොසත් වුවහොත් සැඟවී හී, විද කම්මල්කරුවා මරා දැමීමට ද වැද්දන් නොපසුබට විය. ඔවුන්ගේ විවාහ ජීවිතය ප්‍රීතිමත් එකක්‌ ලෙස හඳුන්වන්නේ, එකම බිරිඳක්‌ පතන අතර දෙවන විවාහයක්‌ ගැන නොතකන මෙන්ම බිරිඳ ජීවත්වන කාලයේදී වෙනත් ස්‌ත්‍රීන්ගේ ඇසුර නොපතන ජන කොටසක්‌ ලෙසත් කුටුම්භය වෙනුවෙන් දුක්‌ විඳීමට පරිත්‍යාගශීලී වීමට සාගින්නේ සිටීමට පවා වැදි ස්‌වාමියා සූදානම් හෙයිනි.

ලාංකීය ජීවන රටාවට හුරු පුරුදු සමාජ ජීවිතයක්‌ ගත කළ වෛද්‍යවරයකු වූ ආර්. එල්. ස්‌පිටල් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඉහළම සම්මානයක්‌ ලෙස සලකන සී. බී. ඊ. සම්මානයෙන් පුද දුන් අතර ලාංකීය වැදි ජනයාගේ හොඳම දොස්‌තර මහතා සහ මහ හූරා ද විය. ස්‌පිටල් පිළිබඳව ප්‍රකට සාහිත්‍යවේදී ඩබ්ලිව්. ඒ. අබේසිංහ සූරීන් පෙන්වා දෙන්නේ, වැද්දන් මානව සංහතියේ ආදි මූලයකින් පැවත එන බවත් ඉන්දියාවේ කිසියම් දේශීය ගෝත්‍රයකින් ප්‍රභවය වී පූර්ව ඉතිහාස යුගයේදී ලංකාවට සංක්‍රමණය වූ ජන වර්ගයක්‌ වෙතැයි ස්‌පිටල් විශ්වාස කළ බවයි. එමෙන්ම එකල ලංකාවත් ඉන්දියාවත් එකම භූමි තලයක්‌ව පැවතීම එම නිගමනය තවදුරටත් සාධාරණය කළ හැකිය.

වැදි සමාජ සම්බන්ධතාව ගැන විමසීමේදී ඔවුන් කුඩා පිරිස්‌ ලෙසත්, න්‍යෂ්ටික පවුල් වශයෙනුත් ගතකළ ජීවිතය තුළ ආර්ථික සමාජයීය මෙන්ම විවාහ විධි හා විවිධ අභිචාර විධි පරීක්‍ෂා කිරීමේදී සුප්‍රකට සමාජ විද්‍යාඥයකු වූ එමිල් ඩූක්‌හයිම් පෙන්වා දෙන යාන්ත්‍රික සමාජ ඒකාබද්ධතාවයකින් කටයුතු කළ පිරිසක්‌ ලෙස වැදි සමාජය හඳුනාගත හැකිය. ඔවුන් ගේ අඩු වයස්‌ විවාහ ආයුකාලය අඩු ජන කොටසක ගේ පැවැත්මට එක්‌තරා රුකුලකි, ඔවුන්ගේ තත්ත්වය දියුණු කිරීමෙහිලා ඉතිහාසය පුරාම සිදුව ඇති වැඩපිළිවෙළවල් සම්පූර්ණයෙන්ම අපේක්‍ෂිත ඉලක්‌ක සපුරාගෙන තිබේද යන්න ගැටලු සහගතය. මේ වන විට ඇතැම් අපචාරවලට පවා ඔවුන්ගෙන් සමහරක්‌ යොමුවී ඇතැයි යන චෝදනා ද වෙයි. කෙසේ වුවත් දර්ශනීය ම්ලේච්ඡ ජන කොටසක්‌ ලෙස දකිනවාට වඩා සුචරිතවත් මෙන්ම රුදහගින්නේ නොපෙළෙන ජන ජීවිතයක්‌ ඔවුන්ට ද උරුම විය යුතු නොවේද ඕස්‌ටේ්‍රලියාවේ මෙන්ම නිව්ගිනියාවේ, ඉන්දියාවේ ආදිවාසී ජනයා පිළිබඳව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක්‌ සම්බන්ධව විවිධ විද්වතුන් පෙන්වා දෙන කරුණු සමාජ දියුණුවට හිතකර වන බව ද පැවැසිය යුතුය.

පාලි භාෂාවෙන් නෙසාද් ලෙසත් දමිළ බසින් වේඩන් යනුවෙනුත් හඳුන්වන වැදි ජනයා බලංගොඩ මානවයාගෙන් පැවත ආ අපේම ඈත නෑයෝය. ලංකා භූමියෙහි සබරගමුව, ඌව, නැගෙනහිර, උතුරුමැද තැනිතලාව ආදි වශයෙන් අතීතයේ ව්‍යාප්තව සිටි වැදි ජනයා අද දඹාන, හෙන්නානිගල, දඑකාන, මිල්ලාන, රතුගල, පොල්ලෙබැද්ද ආදී වශයෙන් සීමිත ප්‍රදේශ කීපයක තනි වී සිටී.

වැදි ජනයා සහ ඔවුන්ගේ ජන ජීවිතය පිළිබඳ අධ්‍යයනය කළ මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන සහ ආචාර්ය ගාමිණී අධිකාරි යන විද්වතුන් පවසන්නේ, වැදි ජනයාගේ ප්‍රධාන ජනාවාස මෙන්ම ශේෂ ජනාවාස වශයෙන් කොටස්‌ දෙකකින් හඳුන්වා දිය හැකි බවයි. එනම්, වැදි ජනාවාසයක්‌ වන්නේ වැදි ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ගම්මානයක්‌ වන අතර ශේෂ ජනාවාසයක්‌ වන්නේ අතීතයේ වැදි ගම්මානයක්‌ ලෙස තිබී වර්තමානය වන විට වැදි පවුල් 5-10 කට සීමා වූ ගම්මානයන් බවය.

මුල් කාලයේ වැද්දන් වෙනම වර්ගයක්‌ වශයෙන් සංඛ්‍යාත්මක අගයකින් යුතුව ඌව සහ නැගෙනහිර ඝන වනාන්තරවලින් බටහිර වෙරළ තීරයට වන්නටත් දක්‍ෂිණ ලංකාවේත් විසූ බව පෙනේ. වනාන්තර දිවියක්‌ ගෙවූ වැදි ජනයා හුදෙකලාව විසීමට ඔවුන්ගේ පුද්ගල අනන්‍යතාව හා සංස්‌කෘතියේ ගුණාංග ආරක්‍ෂා වීමට හේතු වූ බව සිතාගත හැකි අතර ඔවුන්ගේ වෙනස්‌වීම හෙවත් සමාජ ජීවිතයේ චල්‍යතාව නොවැළැක්‌විය හැකි කරුණක්‌ වුවද ශ්‍රී ලංකාවේ ආදි වාසීන් වශයෙන් ඔවුන්ගේ සංස්‌කෘතික හර පද්ධතීන් මානව හා පුරා විද්‍යා විෂයයන්ට පමණක්‌ නොව අනෙකුත් විෂය ධාරාවන්ට ද ආලෝකය සපයන්නකි.

"ශ්‍රී ලංකාවට මේ විනීත ප්‍රීතිජනක, උද්දීප්තිමත් වනගත දූ පුතුන් නියම ධනයකි" (ආචාර්ය නන්දදේව විඡේසේකර)

වර්තමානය වන විට වැදි ජනයාගේ මුලින් පැවැති ජීවන ප්‍රවෘත්තිය මුළුමනින්ම පාහේ වෙනස්‌ වී ඇති අතර අභිචාර විධි අතර පැවැති නෑ යකුන් පිදීම ආදී සියලුම ප්‍රධාන අංග වෙනසකට ලක්‌ව ඇත. ඒ ඒ පරිසරයන්ට අනුව යාබද සිංහල ගම්මානවල ජනයා මෙන් විවිධ කුලී වැඩවල යෙදෙමින් (පෙදරේරු, වඩු වැඩ, ආරක්‍ෂක සේවය, ගොවිතැන) පුල්ලෙයාර්, පත්තිනි වැනි දේව වන්දනයත් මෙන්ම සිංහල බෞද්ධ චර්යාවන්ට අනුගතව සිටී.
Tell a Friend

Post a Comment

0 Comments