සාමිනාදන් විමල්
වසර ගණනාවක යුද්ධයකින් පසුව නිදහස් කර ගත් භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති උතුරේ තම දේශපාලන කටයුතු ආරම්භ කිරීමෙහි නැතහොත් ව්‍යාප්ත කිරීමෙහි නොතිත් ආශාවෙන් ලාංකේය වාමාංශික සංවිධාන සහ පක්ෂ කටයුතු කරමින් තිබෙයි. එක්ව වැඩ කිරීම යන ඉල්ලීම මෙහිදී අවධාරණය කෙරෙයි. යුද්ධයට එරෙහිව අඛණ්ඩවම ස්ථීර ස්ථාවරයක සිටි වාමාංශික කොටස් පමණක් නොව වරෙක යුද්ධයට අවශ්‍ය මතවාදිමය සහ දේශපාලනික සවිබලය ලබා දුන් නමුත් පසුව ආණ්ඩු විරෝධීන් බවට පත්වූ දේශපාලන පාර්ශ්වයන් ද අතීත අනුස්මරණයන් පමණක් උරුම කර ගත් වාමාංශික පාර්ශ්වයන් ද වශයෙන් විවිධ මුහුණවර සහිත වාමාංශික දේශපාලන පාර්ශ්වයන් වෙතින් මෙම එක්ව වැඩ කිරීමෙහි ආරාධනය කෙරෙයි. කොතරම් විවේචන පැවැතිය ද යම් රටක වාමාංශිකය යනු එම රටෙහි සමාජ හෘදය සාක්ෂිය යැයි පිළිගන්නා කිසිවෙකුටවත් මෙම ඉල්ලීම අහක දැමිය හැකි දෙයක් නොවෙයි. කෙසේ වුව ද මෙය යථාර්ථයක් බවට පත් කර ගැනීමට නම් මතවාදී තලයෙහි මෙන්ම ප්‍රායෝගිකව ද ජයගත යුතු අභියෝගයන් කීපයක් පවතියි.
උතුරෙහි වාමාංශික ව්‍යාපාරයෙහි ආරම්භය සහ වර්ධනය පිළිබඳ යම් දළ අදහසක් ලබා ගැනීම සඳහා එහි ඉතිහාසය සංක්ෂිප්තව අවබෝධ කර ගැනීම වැදගත්ය. උතුරෙහි වාමාංශික අදහස්වල ආරම්භය සිදුවන්නේ කුල පීඩනයට එරෙහි අරගලයන් සමඟය. එහිදී මෙම වාමාංශික ව්‍යාපාරයන්ගේ පසමිතුරා වූයේ උසස් කුලවතුන්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වූ දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂයි. ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවෙහි කොමියුනිස්ට් පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය යන දේශපාලන පක්ෂ ප්‍රධාන වශයෙන්ම මෙම කුල පීඩනයට එරෙහි අරගලකරුවන්ගේ සහය ලැබූ දේශපාලන පක්ෂ විය. මෙම සම්බන්ධතාවයෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උතුරෙහි වාමාංශික ව්‍යාපාරය තුළ මිතුරු පාර්ශ්වයක් බවට පත්වන්නේ වාමාංශික සභාග ආණ්ඩුවල කොටස්කාරයන් බවට පත්වීමට උතුරෙහි වාමාංශික කොටස්වලට හැකි වන හෙයින්ය. ඒ අනුව උතුරෙහි ජාතිකවාදි දේශපාලන පක්ෂ විසින් වාමාංශික ව්‍යාපාරයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දැඩි ප්‍රතික්ෂේප කිරීමට ලක්වෙයි. උතුර තුළ තවමත් ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස පවතින්නේ මෙම සාම්ප්‍රදායික වමෙහි සහ සාම්ප්‍රදායික ජාතිකවාදයෙහි දේශපාලන ධාරාවයි.
එහෙයින් මේ වනවිට උතුරේ වාමාංශිකයන් ප්‍රධාන වශයෙන්ම දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ වූවන්ය. මේ වනවිට ආණ්ඩු පක්ෂය බවට පත්ව සිටින පැරැණි වම සමඟ ආධ්‍යාත්මික බැඳීමකින් යුක්ත වූවන්ය. කෙසේ වුව ද උතුරෙහි විමුක්තිකාමී ව්‍යාපාරවල ආරම්භය සිදුවන්නේ මෙම ජාතිකවාදී සහ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වයෙහි දෙමුහුන්වීමක් සමඟින්ය. ඒ අනුව සමහර විමුක්තිකාමී ව්‍යාපාර අඩුවෙන් ජාතිකවාදී වී වැඩිපුර වාමාංශික අන්තර්ගතයක් කෙරෙහි නැඹුරුවක් සහිතව කටයුතු කළේය. වාමාංශික මුහුණුවරක් සහිත ගරිල්ලා ව්‍යාපාරවල ආභාෂයන් එයට බොහෝ සේ බලපෑවේය. ඒ අතර සමහර ව්‍යාපාර ජාතිකවාදී අන්තර්ගතය කෙරෙහි වඩාත් නැඹුරුවෙමින් වර්ධනය වූ අතර සමාජයෙහි ජනප්‍රිය මතවාදයන් සමඟ නොගැටෙමින් කටයුතු කළ එම ව්‍යාපාර සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂ අභිබවා යෑමට සමත් විය.
දැන් උතුරුකරය පැමිණ සිටින්නේ ජාතිකවාදී දේශපාලනයෙහි උච්චත්වයටයි. එයට ප්‍රතිපක්ෂව වාමාංශික දේශපාලනය පැරැණි වාමාංශික යැයි හැඳින්වෙන ආණ්ඩුව සමඟ ඒකාබද්ධව පවතින පසමිතුරු පාර්ශ්වයක් බවට පත්ව ඇත. (ජාතිවාදීන් සහ වාමවාදීන් එකම ආණ්ඩුවක කොටස්කරුවන්ව සිටීම තුළ උතුරෙහි ජාතිකවාදී ප්‍රවණතාව බලවත් වීමට එය හේතු වී ඇත)
මෙම තත්ත්වය තුළ උතුරෙහි වාමාංශිකයන් ආණ්ඩු හිතෛෂීන් ලෙස අර්ථ ගැන්වෙන අතර දකුණෙහි ආණ්ඩු විරෝධී වාමාංශිකයන් සහ උතුරෙහි වාමාංශිකයන් අතරෙහි සංවාදයකට එය බාධාවක් වි ඇත. නමුත් එක්ව වැඩ කිරීමෙහි අභියෝගය ජය ගැනීම සමස්තයක් වශයෙන් ලාංකේය තලයෙහි දේශපාලන ජයග්‍රහණයන් සඳහා අත්‍යවශ්‍යමය. එම අභියෝගය ජයගත හැක්කේ දෙමළ ජනතාව ජාතික පීඩනයෙන් මිදෙන පරිසරයක් යටතේ පමණි. ඒතාක් දුරට උතුරෙහි ජාතිකවාදී දේශපාලනයට අවශ්‍ය සරුබිමක් පවතියි. අනෙක් අතට යුද්ධය නොමැති තත්ත්වයක් තුළ උතුරෙහි ජනතාවත් තම සමාජවාදී ධජය යටට ඉබේම පැමිණ ගොනු වෙනු ඇතැයි ද එහෙයින් දෙමළ ජනතාවගේ ජාතික පීඩනය මඟහැර යාහැකි යැයි ද සිතන්නේ නම් එය මුලාවකි. හුදු ආණ්ඩු විරෝධය සඳහා පමණක්ම දෙමළ ජනතාව තමන් වටා ගොනු කර ගැනීමට යමෙකු සිතන්නේ නම් එයට පිළිතුරක් ලෙස දෙමළ ජනතාවගේ පිළිතුර වන්නේ අප මත මුදා හළ යුද්ධ මර්දනයෙහිදී ඔබ බොහෝ දෙනා නියෝජනය කළේ ආණ්ඩු (පාලක) පක්ෂය බවයි. ‛යාදෙක නොරත රත – නිසි පෑහුමක් නැත’ යැයි කියනු ලැබේ. උතුරෙහි වම සහ දකුණෙහි වම සම්බන්ධයෙන් එය බොහෝ සෙයින්ම ගැලපෙයි∎
Source: Samabima.Com




0 Comments