Hot!

අගවිනිසුරුවරු දෙදෙනෙක්

 | උපුල් ජෝශප් ප්‍රනාන්දු

එදින උසාවියට කාර්යබහුල දවසක් විය. සිම්බාබ්වේ ජනාධිපති මුගාබේගේ නිල නොවන හමුදාපති චයිනෝටිම්බා හෙංචයියන් සමඟ උසාවියට කඩාවැදුණි. පොලිසිය ඔහුට උසාවියේ ලොබියට ගොස් අගවිනිසුරුවරයා සමඟ කතා කිරීමට අවසර දුන්නේය.

"මම එයාට (අගවිනිසුරුට) කිව්වා අදම අස් වෙන්න ඕනෑ කියලා. අපි ලොකු මිනිස්සු. අපි යුද වීරයෝ. අපි අපේ රට අවසන් හුස්ම පොද තිබෙන තුරුත් රකිනවා..."

උසාවි භූමියෙන් එළියට ආ චයිනෝටිම්බා කීවේය.

"හොඳයි අගවිනිසුරු ඉවත් නූණොත්...."
මාධ්‍යවේදියෙක් ඇසීය.
"එහෙනම් අපි යුද්ධයක් ප්‍රකාශයට පත් කරනවා...."

චයිනෝටිම්බා කීවේ ගිරිය පුප්පලාය. මාස ගණනක් තිස්සේ මුගාබේගේ ආණ්ඩුවේ අධිකරණ ඇමැති අගවිනිසුරුවරයාට ඉවත් වෙන්න කියා බලපෑම් කළත් ඔහු ඊට කන් නොදී කොන්ද කෙළින් තියාගෙන හිටියේය. මුගාබේ ඔහුගේ නිල නොවන මැර හමුදාපතියා උසාවියට එව්වේ අගවිනිසුරු ඉවත් කරගන්න ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වීමෙන් පසුවය.

"මට මගේ ආරක්‍ෂාවට දීලා තියෙන පොලිසිය විශ්වාස කරන්න බැහැ. මේ වගේ තර්ජනයක් මට දරාගන්න බැහැ...!"

අගවිනිසුරුවරයා නීතිඥයන්ට කියා තිබුණේය. ඔහු පසුදින ඉවත් විය.

මේ කතාවම හෙට අනිද්දා කොළඹ අලුත්කඩේ රඟ දක්වයිද කියා කියන්නට දන්නේ නැත. අධිකරණ නඩු තීන්දුවලට අනුව අගවිනිසුරුවරිය ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට නොහැකිය. ඒ අනුව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග යෝජනාව තුනෙන් දෙකකින් සම්මත වුවත් නෛතිකව, අගවිනිසුරු ධුරය හිස් නොවේ. අධිකරණ තීන්දුවලට අනුව ඇය තවදුරටත් මේ රටේ අගවිනිසුරුවරියය. දෝෂාභියෝගය යෝජනාව සම්මත කරගෙන ජනාධිපතිවරයා වැඩ බලන අගවිනිසුරුවරයෙක් පත්කළත් ඒ පත් කිරීම නීත්‍යනුකූල නැත. ජනාධිපති, වැඩ බලන අගවිනිසුරුවරයෙක් පත්කළත් නෛතිකව අගවිනිසුරු ධුරය හිස් වන්නේ නැත. ඒ අනුව ජනාධිපති පත්කළ වැඩ බලන අගවිනිසුරුට ඉන්න වෙන්නේ අලුත්කඩේ නොව ජනාධිපති මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේය. මන්ද නීතියට අනුව අගවිනිසුරු කාර්යාලයේ සිටිය හැක්කේ එක් අගවිනිසුරුවරයකුටය. එනම් ශිරාණි බණ්ඩාරනායකට පමණි.

එවිට මුගාබේ එව්වා වගේ චණ්ඩි, අලුත්කඩේට එවා ඒ නාටකයම රඟදක්වන්න ඇති ඉඩකඩ වැඩිය. යුද වීරයාව බල්ලෙක් වගේ පුටුවෙන් ඇදලා බිම දිගේ ඇදගෙන ගොස් කූඩුවට දමාපු ආණ්ඩුවකට, අගවිනිසුරුවරියව, අගවිනිසුරු කාර්යාලයේ අගවිනිසුරු පුටුවෙන් ඇදලා එළියට දමන එක මහ ලොකු කජ්ජක්ද නොවේ.

මුළු අලුත්කඩේම එකට එක් වෙන්න ඕනෑ ඒ වෙලාවටය.

"අපි අලුත් අගවිනිසුරු පිළිගන්නේ නැහැ....!"

අලුත්කඩේම එක හ¾ඩින් කීවොත් වැඩ බලන අගවිනිසුරුට පමණක් නොව මහින්දගේ ආණ්ඩුවටත් වෙන්නේ අකුළාගෙන ගෙදර යන්නටය.

මුගාබේගේ නම් චණ්ඩි පාට් හරි ගියේය. හැබැයි මුගාබේ දැන් රටක් රටක් ගාණේ ගොස් හදිසියේ වැලඳුණ පිළිකා රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටී. පසුගිය වසරේදී ඔහු සිංගප්පූරුවේ රෝහලක සැත්කමකට භාජනය වී ජීවිතයත් මරණයත් අතර සටනක් කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. ස්වාභාවික නීතියට අවනත නොවන පාලකයන්ට ස්වභාවධර්මයා දෙන දඬුවම එයය.

අධිකරණයත් සමඟ සෙල්ලම් කරන්න ගොස් ස්වභාවධර්මයෙන් පාඩම් උගෙන ගත් තවත් අයෙක් නම් ලලිත් ඇතුළත්මුදලිය. හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට එරෙහිව තේරීම් කාරක සභාවක් පත් කරද්දී ලලිත් එයට බෙල්ල දීලා වැඩ කළේය. ජේ.ආර්. ඒ වැඩේ ලලිත්ට බාර දුන්නේ, ලලිත් නීතිවේදියෙක් වන නිසාය. හැබැයි ලලිත් අද ඉන්නා ඇමැතිවරු වගේ උඩුබිරුවේ නැත. නීති තර්ක ගෙනහැර දක්වමින් නෙවිල් සමරකෝන්ට එරෙහි තේරීම් කාරක සභාව සාධාරණීයකරණය කළේය. එපමණක් නොව තේරීම්කාරක සභාවේ සභාපති වූයේද ලලිත් ඇතුළත්මුදලිය. ලලිත් තේරීම් කාරක සභා වාර්තාවෙන් නෙවිල් සමරකෝන් නි‍ෙදාස් කොට ඔහුව කලින් නිවාඩු යවා, විශ්‍රාම යවාගන්න ඩීල් එකක්ද දැම්මේය. ඒ වේලාවේ ලලිත්ලාට ඕනෑ වුණේ තමා පණ මෙන් රකින ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහිව තීන්දු දෙන අධිකරණය බයකර ගන්නටය. එහෙව් ලලිත් ජේ.ආර්.ගෙන් පසු ජනාධිපති වූ ප්‍රේමදාස සමඟ ප්‍රශ්න ඇතිකර ගෙන 1991 දී ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේය. ප්‍රේමදාස ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර යන දෝෂාභියෝග නායකයන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කොට මන්ත්‍රි ධුර අහෝසි කළේය. අවසානයේ මන්ත්‍රි ධුර රැක ගන්න ලලිත්, ගාමිණී සහ ප්‍රේමචන්ද්‍රට අධිකරණයට යෑමට සිදුවිය. අධිකරණයේ තීන්දුව ලලිත්ලාට අවාසි විය.

"අපි එදා අපි ගැන හිතල නෙවිල්ට එරෙහි ක්‍රියාමාර්ගයකට විරුද්ධ වුණා නම් අද අපේ නඩුව අහන්නේ ස්වාධීන අධිකරණයක්....!"

ලලිත් එදා උසාවියෙන් එළියට බැහැලා සමීප නීතිඥයකුට කියා තිබුණේය.

එයටත් වඩා මේ දෝෂාභියෝගයට පක්‍ෂව ඡන්දය දෙන හැම මන්ත්‍රිවරයෙක්ම කරන්නේ අධිකරණයට අපහාස කිරීමකි. ඔවුහු හැමෝම අධිකරණ තීන්දුවකට පිටුපා ඡන්දය ප්‍රකාශ කරති. සමහරු ප්‍රසිද්ධියේ අධිකරණ තීන්දුව විවේචනය කරති. මේ හැමෝගේම මන්ත්‍රි ධුර අහෝසි කොට හැමෝම හිරේට යවන්න අධිකරණයට පුළුවන.

ඒ පූර්වාදර්ශය දී ඇත්තේ වත්මන් ජනාධිපති, අගමැතිව සිටි සන්ධාන ආණ්ඩුවය. 2003 දී අධිකරණය දුන් අර්ථ නිරූපණයක් විවේචනය කළාය කියා 2004 බලයට පත් සන්ධාන ආණ්ඩුව එවකට එ.ජා.ප. ජාතික සංවිධායක එස්.බී. දිසානායකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ගොනු කෙළේය. අද දෝෂාභියෝගයට කඩේ යන සරත් එන්. සිල්වා එවක අගවිනිසුරුය. අධිකරණය හෝ අධිකරණය දුන් තීන්දු විවේචනය කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් යැයි ප්‍රකාශ කොට ඔහු එස්.බී.ව හිරේට දැම්මේය. අද දෝෂාභියෝගයට එරෙහිව අධිකරණය දෙන තීන්දු විවේචනය කරන මැති, ඇමැතිවරු පමණක් නොව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත හිරේට යවන්න අධිකරණයට පුළුවන.

අධිකරණය දෙන තීන්දුවලට එරෙහිව පාර්ලිමේන්තුවේ කතා කළ නොහැකි බව මහින්දගේ ආණ්ඩුව කීවේ 2010 දීය. සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු අසුන අහිමි වුණ බව නිවේදනය කරද්දී වත්මන් කතානායක චමල් රාජපක්‍ෂ කීවේ ෆොන්සේකාට පාර්ලිමේන්තු අසුන හිමිකර දීම හෝ අහිමි කිරීම තීරණය කරන්න පුළුවන් අධිකරණයට පමණක් යැයි කියලාය. ඒ ගැන තීන්දු කිරීමට තමාට බලයක් නැතැයි ඔහු කීවේය. අගමැති දි.මු. ජයරත්න කීවේ අධිකරණය දුන් තීන්දුවක් වෙනස් කරන්න කතානායකවරයාට හෝ පාර්ලිමේන්තුවට බැරි බවය.

එය අධිකරණයට අපහාස කිරීමක් යැයි ඔහු පෙන්වා දුන්නේය. කන්න ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා වෙනවා කියන්නේ ඕකටය. මේ ආණ්ඩුවට තමන්ගේ වාසියට අධිකරණය තීන්දු දෙන විට ඒ තීන්දු විවේචනය කිරීම තහනම්ය. එවිට අධිකරණය උත්තරීතරය. අධිකරණය තමන්ට එරෙහිව තීන්දු දෙද්දී පාර්ලිමේන්තුව උත්තරීතරය. අධිකරණ තීන්දු විවේචනය කිරීමට හෝ පිළි නොගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් ඇත.

හැබැයි බැසිල් රාජපක්‍ෂ අධිකරණයට එරෙහිව වචනයක් කියන්නේ නැත. දෝෂාභියෝගයට මුල් වුණේ "දිවි නැඟුම" පනත යැයි කීවත් ඔහු අධිකරණය දුන් තීන්දුවලට අනුව දිවි නැඟුම පනත සංශෝධනය කළේය. අධිකරණ තීන්දුවට අනුව නූලට වැඩේ කළේය. ඒ කියන්නේ අධිකරණයත් සමඟ සෙල්ලම් කිරීම ගින්දරත් සමඟ සෙල්ලම් කිරීමක් බව ඔහු දනී. තමන් බලයෙන් වැටුණ දවසක අධිකරණය ඉදිරියට යන්නට සිදුවන බව ඔහු දනී. අධිකරණය සමඟ හැප්පෙන්න ගියොත් අද නැති වුණත් කෙදිනක හෝ අධිකරණයට තමාව කොටුකළ හැකි බව ඔහු දනී. බැසිල්ට තේරෙන තරම ආණ්ඩුවේ ජෝකරයන්ට තේරෙන්නේ නැත. ඔවුහු කකුළුවෝ වගේ ළිප ගිනි මොළවන තෙක් හැළියේ නටති.

78 ව්‍යවස්ථාව හදපු ජේ.ආර්. පවා අධිකරණයට බියවිය. කලවාන අතුරු මැතිවරණයෙන් තේරී පත්වූ සරත් මුත්තෙට්ටුවගමට පාඩමක් උගන්වන්න කලවානට මන්ත්‍රිවරු දෙදෙනෙක් පත් කරගත හැකි සේ කලවාන හිටපු මන්ත්‍රි අබේරත්න පිලපිටියවද පාර්ලිමේන්තුවේ තියා ගන්න ඔහු තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේය. එය අධිකරණයට යැවූ විට ඔහුම පත්කළ අගවිනිසුරු නෙවිල් සමරකෝන් ඇතුළු විනිසුරු මඬුල්ලක් තීරණය කළේ එම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමුකළ යුතු බවය. තීන්දුව ඇසූ විගස ජේ.ආර්.ට යකා නැග්ගේය. පසුව ජේ.ආර්. සන්සුන් විය. ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර ගත්තේය.

ජේ.ආර්.ට දුර පෙනුණේය. මහින්දගේ ආණ්ඩුවට දුර පේන්නේ නැත. පේන්නේම ළඟය. ඉක්මන් කොටය. අධිකරණය බල රහිත කළ දෝෂාභියෝගයකින් වත්මන් අගවිනිසුරුවරිය ඉවත් කොට වැඩබලන අගවිනිසුරුවරයෙක් පත්කරන්නට යන්නේ ඒකය. ඔහුට හෝ ඇයට අලුත්කඩේ ‍ෙදාර වහන්න කලින් විනිසුරුවන්, නීතිඥයන් එස්. මහින්ද හිමිගේ නිදහසේ මන්ත්‍රයේ මේ කවිය ජප කර ගත්තොත් ජයෙන් ජයය.

උස් නිදහස් මාරක සතුරාගෙ දිරී
නස්නට සටන් බිම වදිතොත් කෙදින හරී
පස්සට නොයනු! යළි එතැනම සිටිනු මැරී
ගස් ගල් පවා නමදියි ඔබ දෙසට හැරී