Hot!

රැල්ලට එන නිර්මාණයක් නෙවෙයි "සිරි පැරකුම්" - රේණුකා බාලසුරිය

 
 "රේණුකා බාලසුරිය" අපේ රටේ සිටින ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරියක්, ඇයගේ නවතම නිෂ්පාදනය "සිරි පැරකුම්" චිත්‍රපටියයි. ඇයගේ සෑම නිෂ්පාදනයක්ම ලාංකීය සිනමා ක්‍ෂ්ත්‍රයේ අභිවෘදියට සේම ප්‍රේක්ෂකයාගේ නොමද ගෞරවයටද ලක්වි තිබේ. ලංකා ගාර්ඩියන් ඇය සමග සංවාදයකට එලබුනේ   'ඉතිහාසය සිනමාව සහ "සිරි පැරකුම්" ' පිලිබදවයි. ඇය අප සමග මෙසේ සිය අදහස් පෙළ ගස්වනු ලැබිය.

ලංකා ගාර්ඩියන්- "සිරි පැරකුම්" අලුත්ම නිෂ්පාදනය,  කොහොමද ඔබේ හදුන්වා දිම නව නිෂ්පාදනය ඔබේ ප්‍රේක්ෂකයන්ට?රේණුකා බාලසුරිය- "සිරි පැරකුම්"  පිළිබද සදහන් කරනවනම්  චිත්‍රපටියට පාදක වෙන්නේ 13වෙනි සියවසේ දඹදෙණි රාජදානියේ රජ කරපු 2වන පරාක්‍රමබාහු රජතුමාගේ ළමාකාලය කියන ජනප්‍රවාදයේ එන  කතා ඇසුරෙන් ගොඩනගන ලද කථාවක්   "සිරි පැරකුම්" චිත්‍රපටියේ තිබෙන්නේ. චිත්‍රපටියේ රජතුමාගේ කුඩාම අවධියේ සිට රජවෙන අවදිය දක්වා තමයි කතාව දිවෙන්නේ. සාමාන්‍යයෙන් අපි  2වන පරාක්‍රමබාහු රජතුමා පිළිබද කතා කරන්නේ අපේ සාහිතයේ තිබෙන අගනා මුතුමිණක්වන් "කවිසිළුමිණ"  රචනා කිරීම පිලිබදවනේ. එතුමව  හැදින්වුයේ  නැම්බඹර  කලිකාල සාහිත්‍ය සංගීත සර්වඥ පණ්ඩිත 2වන පරාක්‍රමබාහු රජතුමා කියල. ඒ කියන්නේ ඒතරම්ම විද්වතෙක්, හොදට පොතපත පරිහරණය කරල ඉගෙනගත්තු කෙනෙක් විශේෂයෙන් සාහිත්‍යයේ දී පමණයි මෙතුමා ගැන කතාකරල තිබෙන්නේ. ඉතින් මෙතුමාගේ ළමාකාලය ඇසුරෙන් තමයි "සිරි පැරකුම්" චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ.
                                        
ලංකා ගාර්ඩියන්- නිෂ්පාදකවරියක් ලෙස ඔබගේන්  අප දකින සුවිශේෂි වූ  ලක්ෂණයක්  තමයි අනෙක් නිෂ්පාදකයන්ට සාපේක්ෂව නවක නැත්නම් අලුත් ශිල්පින් කෙරෙහි විශ්වාසය තැබිම, බොහෝවිට ගීතයේ සිට ප්‍රදාන චරිතය දක්වා ඔබ මේ කාර්ය සිදු කරනව. නිෂ්පාදකවරියක් ලෙස  කොහොමද ඔබ මේ අභියෝගය  ජයගන්නේ?

රේණුකා බාලසුරිය- මගේ හැම නිෂ්පාදනයකදිම බොහෝවේලාවට ප්‍රවින ශිල්පීන්ට වැඩිය ආධුනික ශිල්පින් යොදාගන්නව. ඒක කරන්න සිදු  වෙලා තිබෙන්නේ ළමයින් මුල්කරගෙන අපි චිත්‍රපටි කරන නිසා එක චිත්‍රපටියක් හදල ඉවර වෙලා නැවත ආයේ චිත්‍රපටියක් හදන කාලපරාසය තුල අර කලින් ගත්තු ළමයා ලොකුවෙලා. ඉතින් එහෙම උනාම තව ළමයෙක් අවශ්‍ය නම් පරික්ෂණ කරල  ළමයෙක් හොයාගතයුතු වෙනව.  ඒ නිසා අපේ සෑම නිෂ්පාදනයකටම  ගායනයේදී, රංගනයේදී   අලුත් ළමයින් යොදාගත්තා. මේ චිත්‍රපටියේදිත් ළමාකාලය  අවුරුදු 5 සිට අවුරුදු 18-20 පමණ වනතෙක් කාණ්ඩ තුනකට අතරමැදි කාණ්ඩයක්ද ඇතුලත්ව 10-12 පමණ වයසේ  අලුත් ළමයින් නවදෙනෙක් අපි මේ චිත්‍රපටියෙන් හදුන්වා දෙනව. මේ චිත්‍රපටියේ එක් දරුවෙක් ඇරෙන්ඩ අනෙක්අය සියලු දෙනා ආධුනිකයින්. පරාක්‍රමබාහු කුමාරයාගේ දෙවන අදියර නිරුපණය කරන ශචින් පුතා අපේ කලින් බින්දු චිත්‍රපටියේ ප්‍රධාන චරිතය  රඟපැවා එයා ඇරෙන්ඩ අනෙක් සියලු දෙනා නවකයින්. ඒ කියන්නේ ප්‍රධාන චරිත රඟපාන වැඩිහිටි චරිත රඟපාන අකිල,තිනෙති,සෙනාලි තුන්දෙනාම අලුතින් අපි සිනමාවට හදුන්වා දෙන්නේ. චිත්‍රපටියේ කුඩාම අවදිය නිරුපණය කරණ ප්‍රමුදිත, තරින්ෂා , සෙනන්ගා තුන්දෙනාමත් අලුත්,  මැද අවදිය නිරූපනය කරන  ශචින්, මිහිරි,මිනෝලි තුන්දෙනාමත් අලුත් එතකොට මේ නවදෙනාගෙන් අට දෙනෙක්ම නවකයින්. මෙහි ගීත ගායනයේ දීත් නවක දරුවන් යොදාගෙන තිබෙන්නේ. ඉතින් මේක අභියෝගයක් කියන්නේ තමන් කරන නිර්මාණය සහ අධ්‍යක්ෂවරයා පිලිබදව විශ්වාශය තිබිය යුතු වෙනව. මෙහෙම කතාවක් තිබෙනවානේ හොද අධ්‍යක්ෂවරයෙකුට මැටිපිඩකින් හරි තමන්ට අවශ්‍ය නිර්මාණය කර ගැනිමට පුළුවන් කියල. ඇත්තටම එවැනි විශ්වාශයක් මත තමයි ආධුනිකයින් යොදාගන්නේ. රඟපෑම හෝ සාමාන්‍ය ජීවිතය නොදන්නා දරුවන්  ලවා තමන්ට අවශ්‍ය නිර්මාණය කර ගන්නවා කියන්නේ ඇත්තටම අධ්‍යක්ෂවරයාගේ දක්‍ෂකම.  එතකොට මට ඒ විශ්වාශය තිබෙනව මගේ අධ්‍යක්ෂවරය පිළිබදව. ඒ කියන්නේ ආධුනික අය යොදවල හොද නිර්මාණයක් කිරිමේ හැකියාව තිබෙනවා කියන විශ්වාශය. ඇත්තටම මේක අභියෝගයක් තමයි නමුත් අපි ඒ අභියෝගය මිට කලින් ජය අරගෙන තිබෙන නිසා දැන් ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනව.
ලංකා ගාර්ඩියන්- ඔබගේ  පෙර නිෂ්පාදනවල දකින්න ලැබුණු සුවිශේසී ලක්ෂණ අතර ජාතික එකමුතුවක් ගැන ඔබ කතා කලා ඒ වගේම මිනිසා සහ පරිසරය අතර තිබෙන බැදිම ඉතා ගැබුරින් සහ නව මානයන් ඔස්සේ කතා කලා, එතොකොට මා නිවැරදිනම් නව නිෂ්පාදනය ඉතිහාස රැල්ලේ යන එකක් ඒ අනුව  ඔබ කොහොමද මෙත් සමග නව නිෂ්පාදනය ස්ථාන ගත කරන්නේ?

රේණුකා බාලසුරිය - නැහැ ඒක වැරදි, රැල්ලට සාපේක්ෂව කියන එකට  මම එකග වෙන්නැහැ. මොකද අපි "සිරි පැරකුම්" චිත්‍රපටිය කරන්න පටන්ගත්තේ 'කුස පබා' චිත්‍රපටිය කිරීමටත් පෙර සිට, පිටපත ලස්තිකරලා පරීක්ෂණ කරලා ඒ සියලු දේ කලේ. අපිට ඉතිහාසය කියන දේ වෙනස් කරන්න බැහැනේ, උදාහරණයක් විදිහට පසුගිය කාලේ තිබුන යුද්ධය පිළිබදව මිනිස්සු කතන්දර කරනවානම් එක්  එක්කෙනා  දකින්නේ විවිධ මානවලින්. අනික අපිට ආඩම්බර විය හැකි බරසාර ඉතිහාසයක් තිබෙනව. එතකොට ඒ ඉතිහාසය වර්තමානයට ගෙන්න පොතපතින් ඇරෙන්න වෙන විදිහක් නැහැ. අද  ලෝකය සෑම පැත්තකින්ම  දියුණු වෙලා තාක්ෂණික වෙලා  තිබෙනව.  එදා ලියමනක් ලියපු එක අද  එස්.එම්.එස්  එකක් නැත්නම් විසුවල්  එස්.එම්.එස්  එකක්  බවට පත්වෙලා තිබෙනවා. ඇයි එහෙනම් අපට විසුවල් මාධ්‍ය ඔස්සේ ඉතිහාසය කතා කරන්න බැරි. අපි අනෙක් මාතෘකාවන් සියල්ලම කතාකරනවානම් ඒක රැල්ලක් වෙන්නේ කොහොමද. ඒ කියන්නේ හොද දේ රැල්ලට උනත් කලාට කමක් නැහැ ඒක හොද නම්, ඒ කියන්නේ එකෙන් යම් යහපතක් වෙනවනම් රටට යහපතක් වෙනවනම් ඒක බලන කෙනාට යහපතක් වෙනවනම් එකේ වැරැද්ද මොකක්ද. මම නම් කැමති අපේ චිත්‍රපටියත් එක්ක තවත් කවුරු හෝ ඉතිහාස කතාවක්  කරනවානම් හේතුව මොකද එය නිසි ආකාරව කළහොත්  ග්‍රහණය කර ගැනිමේ හැකියාව තිබෙනව. උදාහරණයක් විදිහට "සිරි පැරකුම්"  බැලුවට පස්සේ පරාක්‍රමබාහු රජතුමාට කියන නම් මොනවද කියල ඇහුවොත් ඕනම කෙනෙක් කියයි. නමුත් දැනට මේ පිළිබද අවබෝදයක් තිබෙන්නේ සාහිත්‍ය පරිහරණය කරන විද්වතුන්ට  පමණයි. අනිත් කාරණය ඉතිහාස කතාවක් කිරිම පහසු නැහැ විශාල වියදමක් දැරිය යුතුවෙනවා. සම්පුර්ණයෙන්ම වර්තමානයට වඩා වෙනස් අතීත තත්වය  නිරුපනය කල යුතු වෙනව. ඒ පුසුබිම,පසුතල නිර්මාණය කිරීමට ඇදුම්පැලදුම් වලට අතිවිශාල මුදලක් වැය කල යුතු වෙනවා. ඒක ලොකු අභියෝගයක්, ඒ අභියෝගයට මුහුණ දීලා නිර්මාණකරුවෙක් නිර්මාණයක් කිරීම සැබවින්ම අගය  කල යුතයි. ඕනම කෙනෙකුට සරල මොනව හරි කරල තමන්ගේ නම තියා ගන්න පුළුවන් නමුත් මේවගේ සුවිශේෂි දෙයක් තෝරාගෙන නිර්මාණයක් කිරිම පිළිබද ස්තුතිවන්ත විය යුතුයි.  විශේෂයෙන්  අපේ වගේ රටක මේක ජාතික මෙහෙවරක් කියන එක මගේ විශ්වාසය.  
ලංකා ගාර්ඩියන්-  රේ කානි කියන ඇමරිකානුජාතික ආචාර්යවරය කියනව "චිත්‍රපටි කරනව කියන්නේ ගවේෂණය මම මොකටද මම දන්න දෙයක් ගැන චිත්‍රපටියක් කරන්නේ" කියල, ඔබේ නිෂ්පාදන අත්දැකිම් විෂයෙහි කොහොමද මේක දකින්නේ?

රේණුකා බාලසුරිය - මෙහෙමයි ඔතනදි ගවේෂණයක් කියන එක හරි, ඉතහාස කතාව වුනත් ඔබ දකින්නේ මේ පොතේ ලියල තියන ටික නෙවයි. ඊට එහා ගිය නිර්මාණයක් තියනවා ඒක සොයාගැනිමක්නේ. අධ්‍යක්ෂවරයා හෝ කතා රචකයා හෝ කිසියම් එයා තෝරාගනු ලැබූ දෙයක් ගොඩනැගීමට, ප්‍රේක්ෂකයාට චමත්කාරයකින් ඉදිරිපත් කිරිම   සදහා කිසියම් නිර්මාණයක් ඒත් සමග  කරනව. එතකොට ප්‍රස්තුතය ඉතිහාසයේ වෙන්න පුළුවන් නමුත් ඒක ඉදිරිපත් කිරිමේදී ඒක නිර්මාණාත්මක වෙනව. ඒ තුල කිසියම් සොයාගැනීමක් තිබෙනව. ඒ නිර්මාණය ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන කොණ, ඉදිරිපත් කරණ විලාසය සහ ඒක අවසානය ගත්තාම සිනමා නිර්මාණයක් වන විට ඒක තුල විෂය වෙන්න පුළුවන් ඉතිහාසය නමුත් ඉදිරිපත් කිරිමේ විලාසය තමයි වඩා  වැදගත් වන්නේ.


ලංකා ගාර්ඩියන්- මේ මොහොතේ අපිට දකින්න ලැබෙන දෙයක් තමයි වර්තමාන කලාකරුවා  ඉතිහාසය ගවේෂණය කරන්නේ පවතින සමාජ  දේශපාලනය සාදාරනිකරණය කරමින් එය වර්ණවත් කිරීමට, නමුත් ඉතිහාසය ඕනෑම කලා මාධ්‍යක් විෂයෙහි කතාකිරිම තුලින්  එයින් එහා ගිය සමාජ යථාර්තයක් මතුකිරීමේ හැකියාවක් නැද්ද?

රේණුකා බාලසුරිය -  පුළුවන් නමුත් මම හිතන්නැහැ ඉතිහාසකතාවක් කරන්නේ පවතින දේශපාලන ක්‍රමයට සහයෝගයක්  සදහා හෝ එය සදරණයයි පෙන්විම සදහා කියල, එක වැරදි.  ඉතිහාසයේ අපි යම් ජයග්‍රහණයක් ලැබුවානම් කිසියම් පාලකයෙක් පිළිබද කතා කිරිමේදී වර්තමාන පාලකයන්ගේ ඒ ලක්ෂණ තිබෙනවානම් ඒක බලන කෙනා එකයි එකයි දෙකයි  කියල එකතු කරගන්නවා මිසක් නිර්මාණකරුව මෙහි බලපෑමක් කරන්නැහැ මොකද ඉතිහාසය බොරුවක් නෙවෙයිනේ.   මම හිතන් නැහැ ඉතිහාසයෙන් අරගෙන පවතින දේශපාලනය උස්සල තියන්න නිර්මාණකරුවා නිර්මාණ  කරනවයි කියල. අපි එහෙම බලාපොරොත්තුවකින් "සිරි පැරකුම්" කලේ නැහැ.


ලංකා ගාර්ඩියන්- ලංකාව අද වනවිට සෑම කේෂ්ත්‍රයකම උඩු යටිකුරු විමක් වෙලා තිබෙනව. දැන් තාක්ෂනය ගත්තොත් ඉතා විශාල දියුණුවක් ලබාගෙන තිබෙනවා එතකොට මෙත් සමග මිනිසුන්ගේ සිතුම් පැතුම්වල සිට සියල්ල වෙනස්වි තිබෙනවා මේ තත්වයත් සමග නිෂ්පාදකවරියක් ලෙස කොහොමද ඔබ දකින්නේ සිනමාවේ වර්තමානය සහ අනාගතය දෙස?

රේණුකා බාලසුරිය -  ඒක හරිම හොද ප්‍රශ්නයක්, දැන් බොහෝ දෙනෙක් හිතනව චිත්‍රපටියක් හැදු පමණින් මේක පෙන්නලා නිෂ්පාදක වරයෙකුට ගොඩ එන්න පුළුවන් කියල. වර්තමානයේ බැලුවොත් චිත්‍රපටියක් බැලීමට සිනමාහලකට ප්‍රේක්ෂකයෙක් ගෙන්වා ගැනිමේ අසීරුතාව  ඉහල අගයක තිබෙන්නේ. අපි 60,70 දශක සමග කතා කිරිමේදී ඒ කාලේ චිත්‍රපටිය හැදුවාම චිත්‍රපටිය විතරයි තිබුනේ,රුපවාහිනී අන්තර්ජාල මේ කිසිදෙයක් තිබුනේ නැහැ. නමුත් අද කෙනෙකුට චිත්‍රපටියක් බලන්න හිතුනොත් තමන්ගේ ජංගම දුරකථනය ඔස්සේත් ඒ කාර්ය ඉටුකරගන්න පුළුවන්. එවැනි තත්වයක්නේ අද ලෝකයේ දකින්න තිබෙන්නේ. එතකොට ඇදගෙන පැළදගෙන සිනමා ශාලාවට ඇවිත් එතන පැය දෙකක් පමණ සහ  ගමනට පැය දෙකක් තුනක් වැය වෙනව. ඒ නිසා චිත්‍රපටිය වෙනුවෙන් පැය හතරක් පහක් කැප කිරීමට ප්‍රේක්ෂකයෙක් ගෙන්වා ගැනිමට මොනතරම් දෙයක් කල යුතු වෙනවද? ඒ කියන්නේ මොනතරම් ප්‍රචාරයක් කලත් ඒ වැඩේ කර ගන්න බැහැ. මම දකින දේ තමයි අපි චිත්‍රපටියක් ආකර්ශනීය ලෙස හැදුවේ නැත්නම්  ප්‍රේක්ෂකයෙක් උද්දීපනය වෙලා එන්නේ නැහැ සිනමාහලට යන්න කියල . ඉතින් ඇත්තටම එක ලොකු අභියෝගයක් හේතුව මොකද ටෙලිනාට්‍යක් වගේ නෙයි, ටෙලිනාට්‍යක් නම්  හැදුවා අනුග්‍රාහකයෙක් හොයා ගත්තා ඒක විකුණුව එතකොට නිෂ්පාදක ගොඩ.නමුත් චිත්‍රපටියක් හැදුවාම චිත්‍රපටියට පලවෙනි දවසේ ඉදන් චිත්‍රපටිය පෙන්වා අවසන් වන තෙක් සියලුම වියදම් චිත්‍රපටිය වෙනුවෙන් දරන්නේ නිෂ්පාදක පමණයි. නමුත් චිත්‍රපටියේ නිෂ්පාදකගේ අදායම නිෂ්පාදක ඇතුළු පස් දෙනෙක් අතරේ බෙදෙනවා. පළාත් පාලන ( ආයතන විනෝද බද්ද), බෙදාහැරීමේ සමාගමට යන අදායම, ජාතික චිත්‍රපටි සංස්ථාවට යන අදායම, සිනමා ශාලාවට යන අදායම සහ නිෂ්පාදක මේ පස්දෙනාම වෙනුවෙන් එක්කෙනෙක් තමයි වියදම් කරන්නේ. අදායම ලැබෙන විට මේ පස්දෙනා අතරේම මේක බෙදෙනවා. එතකොට ලොකු අභියෝගයක් තිබෙනව මොකද තනි කෙනෙක් වියදම් කරලා පස්දෙනෙක් වෙනුවෙන් අදායම් හොයනව. එතකොට මේ පස්දෙනාගෙන් සක්‍රිය දායකත්වයක් මේ සදහා නොලැබිම විශාල ගැටළුවක්.
                 බොහෝවිට එක චිත්‍රපටියක් හදල නිෂ්පාදකවරු නතර වෙනව. මොකද සිනමාවට තියෙන කැමැත්ත නිසා නිෂ්පාදකවරු  චිත්‍රපටි හදනව අවසානයේ චිත්‍රපටිය පෙන්නුවාම පස්සේ තමයි තමන්ට අත්වුනු ඉරණම ගැන දන්නේ. ඒක තමයි වර්තමානයේ මෑත ඉතිහාසයේ අපට සිදුවුණු ව්‍යසනය. මේ ක්‍රම වේදයේ කිසියම් වෙනසක් සිදුවුනේ නැත්නම් ඇත්තටම හොද නිර්මාණ හැදෙන්න තිබෙන  ඉඩ අඩුවෙනව.  මොකද අපිට තියෙන්නේ ලංකාවේ වෙළදපොළ විතරයි, අපේ වෙළදපොළ බොහොම පුංචි. දැන් තාක්ෂනය දියුණුවෙලා තිබෙනවා ලෝකේ හැදෙන විශිෂ්ට සිනමාපට අපේ ප්‍රේක්‍ෂකයන් දකිනවා ඔවුන් බලාපොරොත්තු වෙනව මේ සියලුම වික්‍රමයන් සිංහල චිත්‍රපටිවලත්. සිංහල චිත්‍රපටිවලට  වියදම් කරලා ඒවා කරන්න පුළුවන් නමුත් හැමදේම මිළ වැටෙන්නේ  කාලයත් සමග එතකොට මේ හැමදේම  මුදල්, විශාල  මුදලක්  වියදම් කරල මේ මුදල්  හොයන්නේ කොහොමද? මොකද අපිට තිබෙන වෙළදපොළ පුංචි නිසා මේ වෙළදපොල තුලමතමයි නිෂ්පාදකවරුන්ට මේක හොයන්න වෙන්නේ. ඒ කියන්නේ නිෂ්පාදක පිරිවැයයි වෙළදපොලේ තිබෙන ලැබිමයි අතර සමානකමක් නැහැ මේක අපට ලොකු ගැටළුවක්. ඒ නිසා අතිවිශාල නිර්මාණ කිරිම ලොකු අභියෝගයක් ඒ නිර්මාණය පිළිබද තමන්ට විශ්වාසයක් තිබෙනවානම් තමන් කරන නිර්මාණය ප්‍රේක්ෂකයෝ ග්‍රහණය කර ගනී ජනප්‍රිය වෙයි කියන විශ්වාසය ටිකක් ඒ අභියෝගය සැහැල්ලු වෙනව. නමුත් තාමත් නිෂ්පාදකවරයාට සාදාරණයක් වෙන්නැහැ.
 ලංකා ගාර්ඩියන්- ඔබගේ නවතම නිෂ්පාදනය "සිරි පැරකුම්" පිළිබද කතාකලොත් ඔබ මේ තුලින් සමාජයට ලබාදිමට බලපොරොත්තුවන   මතවාදය මොකක්ද? සාර්ථක නිර්මාණයක චමත්කාරය සමග ලබාදෙන සමාජමතවාදයක් තිබිය යුතු වෙනවනේ මේ කාරණය විෂයෙහි  "සිරි පැරකුම්" ස්ථාන ගත කරන්නේ කොතනද ඔබ

රේණුකා බාලසුරිය -  ඒ ප්‍රශ්නය අධ්‍යක්ෂකගෙන් තමයි ඇසියයුතු වන්නේ, මෙහෙමයි ගොඩක් වෙලාවට අපේ රටේ තමන්ට තමන් ගැන හොද තක්සේරුවක් නැහැනේ. මම කියන පුද්ගලයට මම ගැන  හොද තක්සේරුවක් නැහැනේ, මට හිතෙනවා මේ  චිත්‍රපටිය හරහ ඒ දෙය ගොඩනැගෙනව කියල. අපිට අපි ගැන අපි ශ්‍රී ලාංකිකයන් කියල අභිමානයක් මේ චිත්‍රපටිය හරහා ඇතිවෙනව.
ලංකා ගාර්ඩියන්- අවසාන වශයෙන් "සිරි පැරකුම්" පිළිබදව මොකද්ද ඔබ තබන සටහන?

රේණුකා බාලසුරිය -  අපේ අනෙක් නිර්මාණවගේම "සිරි පැරකුම්" චිත්‍රපටියත් ප්‍රේක්ෂකයෝ බලයි කියල විශ්වාස කරනව. මොකද අපි කිසියම් දෙයක් කරනකොට අපට විශ්වාස නැත්නම් අපි කරන වැඩේ ගැන තවකෙනෙක් විශ්වාස කරනවා කියල බලාපොරොත්තු වෙන්න බැහැනේ. මම යමක් කරනකොට මම ඒ කරන දේ ගැන විශ්වාසයෙන් කරන්නේ, එහෙම නැත්නම් ඒක නොකර ඉන්න එක වඩා හොදයි. පළමුව මම විශ්වාස කරන්න ඕනනේ මම කරන වැඩේ සාර්ථක වෙනව කියල, ඉතින් මම විශ්වාස කරනව මගේ චිත්‍රපටිය සාර්ථක වෙනව කියල. 
   
                                                                     
                                                                              සමන් ( slglanka2013@gmail.com )