Hot!

ටියුෂන් රැල්ලේ පැද්දෙන තාලේ


වර්තමානයේ දී ටියුෂන් ව්‍යාපාරය අධ්‍යාපන ක්‍ෂේත්‍රය වසාගෙන වර්ධනය වී ඇති දැවැන්ත පිළිකාවක්‌ බවට පත් වී තිබේ. එය කොයිතරම් නම් බරපතළ තත්ත්වයක්‌ බවට පත් වී තිබේ ද කියනවා නම් ටියුෂන් වසංගතය තුරන් කළ හැකි දෙයක්‌ ලෙස සිතන කිසිවකු හෝ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ සිටී දැයි කියා සිතීම පවා උගහට ය.

අද ලංකාවේ සිටින ඉහළම ධන කුවේරයන් අතර ටියුෂන් පංති ගුරුවරුන් විශාල පිරිසක්‌ සිටින බව රහසක්‌ නොවේ. සාමාන්‍ය පාසල් ගුරුවරයකුගේ මාසික වැටුප සහ මෙම ටියුෂන් ගුරුවරුන්ගේ මාසික ආදායම අතර ආලෝක වර්ෂ ගණනක පරතරයක්‌ තිබේ.

ටියුෂන් ක්‍ෂේත්‍රයේ ආදායම් ජනනය තේරුම් ගැනීමට පහත සඳහන් තොරතුරු කීපය ප්‍රයෝජනවත් වේ. අගනුවරට ආසන්න 'කණ්‌ඩායම් පංතියක්‌' (Group Class) ලෙස නම් කරනු ලැබ ඇති ආර්ථික විද්‍යා ටියුෂන් පංතියක ආදායම් තත්ත්වය පිළිබඳ දළ තක්‌සේරුවක්‌ මෙසේ ය. මෙහි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 400 ක්‌ පමණ වේ. මාසිකව පැය 8 ක්‌ පංති පැවැත්වෙන අතර මාසික ගාස්‌තුව රු. 1500 කි. ඒ අනුව පැයක ආදායම (400x1500= 600,000+8= 75,000) රු. 75,000 කි. දැනගන්නට ඇති ආකාරයට මෙම ආදායමෙන් 75% ක්‌ හෝ 80% ක්‌ ගුරුවරයාට හිමි වේ. ඉතිරි 25% හෝ 20% පංති පැවැත්වෙන ආයතනයටයි. ඒ අනුව ගුරුවරයාගේ කොටස 80% ක්‌ ලෙස සලකා බැලුවහොත් මෙම පංතියෙන් පමණක්‌ අදාළ ටියුෂන් ගුරුවරයා පමණක්‌ මාසිකව උපයන ආදායම රු. 480,000 කි. මෙය අදාළ ගුරුවරයා මාසයකට පැය 8 ක්‌ පමණක්‌ වැයකරන එක්‌ පංතියක ආදායම පමණක්‌ ලෙස සැලකූ කල්හී ඔහුගේ මාසික ආදායමේ ප්‍රමාණය ගැන අවබෝධයක්‌ අපට ලබාගත හැක.

අගනුවරින් බැහැර තවත් එක්‌ සමූහ ටියුෂන් පංතියක සිසුන් 3000-4000 අතර ප්‍රමාණයක්‌ සිටින අතර මාසික ගාස්‌තුව රු. 800 කි. සිසුන් ප්‍රමාණය 3500 ලෙස ගණන් බැලුවහොත් අදාළ ගුරුවරයාට එයින් ලැබෙන ආදායම මෙසේය( 3500x800=2,800,000-560,000=2,240,000+8=280,000 මේ අනුව මෙම ටියුෂන් ගුරුවරයා එක්‌ පංතියකින් පමණක්‌, එනම් පැය 8 කදී රු. මිලියන 2.24 ක මුදලක්‌ උපයයි. ඔහුගේ පැයක ආදායම රු. 280,000 කි.

ටියුෂන් ගුරුවරයකුගේ මෙම ආදායම අපට රජයේ පාසල් ගුරුවරයෙකුගේ මාසික වැටුප සමඟ සංසන්දනය කර බැලීමට පුළුවන. ශ්‍රී ලංකා ගුරු සේවයේ ආරම්භක තලය වන 3.2 ශ්‍රේණියේ ගුරුවරයකුගේ ආරම්භක වැටුප රු. 19,320 කි. (13,120 - 10x145 - 05x180 = 15,470 + 6,200), උපාධිය සහිත ආරම්භක ශ්‍රේණිය වන 3.1 ශ්‍රේණියේ ගුරුවරයකුගේ ආරම්භක වැටුප රු. 20,335 කි. (14,135 - 09x180 - 05x240 = 16,835 + 6,200).

රජයේ පාසල් ගුරුවරයකුට සිය වෘත්තිය තුළ ළඟා විය හැකි ඉහළම තලය වන්නේ ගුරු සේවයේ පළමුවන පංතියයි. මෙම පංතියේ උපරිම වැටුප් වර්ධක ප්‍රමාණය ලබාගත් කල්හි එවැනි ගුරුවරයකුගේ වැටුප රු. 40,745 (21,645 - 20 x 645 = 34,545 + 6200) මෙම උපරිම වැටුප් තලයට ළඟා වීම සඳහා ගුරුවරයෙක්‌ ගුරු සේවයේ වසර 40 ක්‌ ගත කළ යුතුය. ඩිප්ලෝමාධාරියකුට හෝ උපාධිධාරීයකුට ඒ ප්‍රමාණයෙන් වසරක්‌ අඩුකර ගත හැක.

මෙම එකම සේවාව සපයන දෙපිරිස අතර මෙතරම් විශාල ආදායම් පරතරයක්‌ ඇති වී තිබෙන්නේ ටියුෂන් ගුරුවරු පාසල් ගුරුවරුන්ට වඩා දක්‌ෂ වීම නොව, ටියුෂන් ගුරුවරුන් සිදුකරන්නේ හුදෙක්‌ ඉගැන්වීමක්‌ පමණක්‌ නොව අධ්‍යාපනය හුවමාරු භාණ්‌ඩයක්‌ ලෙස අලෙවි කිරීමත් වන නිසා ය. තරගකාරී විභාග ක්‍රමය හා එම තරගකාරී විභාග ක්‍රමය තුළ තම දරුවන් ඉහළ සාමාර්ථය වෙත ළඟා කරවීමට දෙමාපියන් තුළ ඇති නොතිත් ආශාව නිසා මේ ආකාරයට ටියුෂන් ස්‌වරූපයෙන් අධ්‍යාපනය හුවමාරු භාණ්‌ඩයක්‌ බවට පත්කිරිමට හැකියාව ලැබී ඇත.

අප ටියුෂන් ව්‍යාපාරය පිළිකාවක්‌ එහෙමත් නැත්නම් වසංගතයක්‌ ලෙස හඳුන්වන්නේ ඇයි? ඒ හේතු කීපයක්‌ නිසා ය. පළමුවෙනුව ටියුෂන් ව්‍යාපාරය සමස්‌ත අධ්‍යාපන ක්‍රමයේ මූලික අර්ථය ම මුළුමනින්ම ඛාදනය කර දමන නිසාවෙනි. දෙවනුව එය දෙමව්පියන් මත දැවැන්ත ආර්ථික බරක්‌ නිර්මාණය කර ඇති නිසාවෙනි.

පළමුවෙනිව සඳහන් කළ කාරණයට අදාළව පවසතොත් ටියුෂන් ව්‍යාපාරයේ වර්ධනය නිසා මූලික විෂයමාලාව ඉගැන්වීම සහ විභාග සමත්වීමේ පැත්තෙන් ගත් කල්aහී පාසල් යනු අනවශ්‍ය ආයතන පද්ධතියක්‌ බවට පත්වී ඇත. ටියුෂන් පංතිවල මූලික ඉගැන්වීමේ ආකෘතිය වන්නේ Rජු ලෙස ඉලක්‌ක කරන ලද විභාග සඳහා සිසුන් පුහුණු කරවීමයි. ටියුෂන් පංතිවල ඉගැන්වීමේ ආකෘතිය මගින් සිසුන් තුළ කිසිදු ආකාරයක අධ්‍යාපනික වර්ධනයක්‌ ඇතිවන්නේ නැත. සිදුවන්නේ විභාගවලට පිළිතුරු දීම සඳහා ගුණාත්මක වශයෙන් ඉතාම පටු දැනුමක්‌ ලැබීම පමණි.

ටියුෂන් පංතිවලින් ලැබෙන මෙම බෙහෙවින් පටු පුහුණුව මත විභාග සමත් වී විශ්වවිද්‍යාලවලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිසිසේත් ම විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන ඉතාම වැදගත් නිපුණතා ලැබෙන්නේ නැත. මේ නිසා දැන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය 'මෘදු කුසලතා' නැංවීම යන අලංකාර වචනය පෙරට දමා විශාල මුදල් නාස්‌තියක්‌ සිදු කරමින් සිටී. ඇත්ත වශයෙන්ම මෙම ඊනියා මෘදු කුසලතා ක්‍රමවත් පාසල් අධ්‍යාපනයක්‌ හරහා ලබාදිය යුතු ඒවා ය.

ටියුෂන් වසංගතය නිසා පහළ මධ්‍යම පංතික පවුල් මත දැවැන්ත ආර්ථික බරක්‌ පැටවී ඇත. අ.පො.ස. (සා.පෙ.) සඳහා සූදානම් වන මට්‌ටමේ දරුවන් දෙදෙනෙක්‌ සිටින පවුලකට අවම විෂයන් ප්‍රමාණයක්‌ සඳහා වුව ද මසකට රු. 2,500 ක්‌ පමණ ටියුෂන් සඳහා වියදම් කිරීමට සිදුවේ. අ.පො.ස. (උ.පෙ.) සම්බන්ධ තත්ත්වය මීට වඩා බරපතළ වේ. එහිදී විෂය ධාරාව සහ සහභාගි වන ටියුෂන් පංතිවල ස්‌වභාවය (කණ්‌ඩායම් පංති ද සමූහ පංති ද යන කරුණ මත) සිසුවෙකුට සාමාන්‍යයෙන් මසකට රු. 6000-10,000 අතර මුදලක්‌ ටියුෂන් සඳහා වැයකිරීමට සිදු වේ.

මෙය දෙමව්පියන්ගේ දෘෂ්ටිකෝණයෙන් ගත් කල මුළුමනින්ම නිෂ්ඵල මුදල් නාස්‌aතියක්‌ ලෙස හැඳින්විය හැකි ය. ඒ සඳහා මුළුමනින් ම වගකිව යුත්තේ පවත්නා අවිධිමත් අධ්‍යාපන ක්‍රමයයි. විශේෂයෙන් ම බෙහෙවින්ම යල්පැන ගොස්‌ ඇති විභාග ක්‍රමයයි. අධ්‍යාපන බලධාරීන් සහ ටියුෂන් කර්මාන්තය අතර ඇති කිට්‌ටු සම්බන්ධය නිසා ටියුෂන් ව්‍යාපාරයට හානිකර වන්නාවූ පියවර මෙම අධ්‍යාපනය බලධාරීන් විසින් ගනීවි යෑයි සිතිය නො හැකි ය.

(විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් එළිදක්‌aවනු ලැබ ඇති "අධ්‍යාපනය විකිණීමට තිබේ" ග්‍රන්ථයෙනි.)
උපුටා ගැනිම දිවයින