Hot!

හිඟන මඟුලේ උගුල "කාක්... කාක්..."

            මේ ප්‍රේමදාස සාක් සම්මේලනය තියන්න යනකොට එකල විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂලා ඔච්චමට කී ඒවාය. ඒ කාලයේ ප්‍රේමදාසට සාක් සම්මේලනය කොළඹ තියා ගැනීමේ ලොකු ප්‍රශ්නයක් තිබිණි. එයට හේතුව ඉන්දීය සාම සාධක හමුදාව මෙරට සිටියදී ඉන්දියාවට විරෝධය පෑමක් වශයෙන් කලින් පාකිස්තානයේ පැවැති සාක් සම්මේලනයට සහභාගි නොවන බවට ප්‍රේමදාස කළ තර්ජනයට වාඩුව ගන්න ඉන්දියාවට ඕනෑවීමය.


               
                එසේම ප්‍රේමදාස ඉන්දීය හමුදා යැවීම ගැනත් ගාන්ධි ඝාතනයට පසු බලයට ආ කොංග්‍රස් ආණ්ඩුවට තරහක් තිබිණි. මේ තරහ පිරිමහන්න ඉන්දියාව ලංකාවේ සාක් සම්මේලනය කඩාකප්පල් කරන්න උත්සාහ කළේය. ඉන්දියාව නොමැතිව හෝ සාක් සම්මේලනය පවත්වන්න ප්‍රේමදාස ආණ්ඩුව පාකිස්තානය හරහා සාක් රටවලට පණිවිඩ යැවීමද ඉන්දීය කෝපය දෙගුණ තෙගුණ කරන්න සමත් විය. ඉන්දීය උපදෙස් මත ලංකාවේ සාක් සම්මේලනයට සහභාගි නොවන බවට සාක් රටවල් නිවේදන නිකුත් කරන්න පටන් ගත්හ. මහින්ද රාජපක්ෂලා ප්‍රේමදාසට ඔච්චම් කරන්න ගත්තේ මේ කාලයේය. ප්‍රේමදාසගේ සුචරිතයේ තාප්පයේ වහන කාක්කෝ කාක්.... කාක්... කියන විට ප්‍රේමදාස තමන්ට ඔච්චමට කාක්කෝ සාක් සාක් කියනවා කියා කාක්කෝ එළවන්න නියෝග කර ඇතැයි මහින්ද රාජපක්ෂලා රට වටේ කිය කියා ගියහ. හැබැයි ප්‍රේමදාස නමට සාක් රැස්වීමක් තියාගත්තේය.
 
           පහුගිය දවස්වල මහින්ද රාජපක්ෂත් හිටියේ එදා සාක් සම්මේලන කාලයේ ප්‍රේමදාස හිටියා වගේ ලැජ්ජාවෙන්ය.හේතුව මේ වසරේ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ පවත්වන්න මහින්ද දිනාගත් අවස්ථාව නැතිවේය යන බයය. අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය, මානව හිමිකම් කඩ කිරීම් වැනි හේතු නිසා සමුළුව වෙනත් රටකට ගෙන යා යුතු බවට කැනඩාව ඇතුළු මානව හිමිකම් සංවිධාන ලොකු හඬක් නැඟීය. මේ සම්බන්ධව තීරණය ගත යුතුව තිබුණේ පසුගිය 26 දා ලන්ඩනයේ රැස්වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ඇමැති ක්‍රියාකාරී කමිටුවෙන්ය. කමිටු සභාපති වූයේ බංග්ලාදේශයය. මහින්ද බංග්ලාදේශය වඳින්න ජී.එල්.ව යැව්වේ සමුළුව වෙනත් රටකට ගෙන යෑමේ ලැජ්ජාවෙන් බේරෙන්නටය.

 "ඉන්දියාවේ සපෝර්ට් එක ගත්තොත් මේක සුළු වැඩක්...."

බංග්ලාදේශය ජී.එල්.ට කීවේ ඉන්දියාව දැනුම්වත්වය. ඉන්දියාව නැතිනම් බංග්ලාදේශයට වතුරත් නැත.

"බැරිද සපෝර්ට් එකක් දෙන්න...."

ජී.එල්. ඉන්දියාවෙන් ඇසුවේය.

"පුළුවන්. හැබැයි උතුරේ ඡන්දයට දින දෙන්න ඕනෑ. සාම්පූර් වගේ අපේ ව්‍යාපෘතිවලට ගී්‍රන් ලයිට් ඕනෑ...."

ඉන්දියාව කීවේය.

හරියටම පොදු රාජ්‍ය මණ්ඩල ඇමැති ක්‍රියාකාරී කමිටුව රැස්වීමට දවස් 5කට කලින් මහින්ද ප්‍රකාශයක් කළේය.

"උතුරේ ඡන්දය සැප්තැම්බරයේ ස්ථිර වශයෙන්ම තියෙනවා. දිනය තීරණය කරන්නේ ජේ‍යාතිෂවේදීන්....."

 මහින්ද කීවේය.

හරියටම 26 වැනි දින ඇමැති කමිටුව රැස්විය. කමිටුවේ හිටි කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් සමුළුව ලංකාවේ නොපැවැත්විය යුතු බවට මත පළ කළහ. ඒත් ඉන්දියානු ජාතික ඉන්දියාවේ හිටපු බි්‍රතාන්‍ය තානාපති, වත්මන් පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් ශර්මා සමුළුව ලංකාවේ පවත්වන බවට නිවේදනය කළේය.

       එම නිවේදනය කරන කොටම බැසිල් රාජපක්ෂ ප්‍රකාශයක් කරමින් කීවේ උතුරේ ඡන්දයට අපේක්ෂකයන් තෝරන්න පුවත්පත් නිවේදනයක් පළ කරන්න ආණ්ඩුව තීරණය කොට ඇති බවය.
 
     මේ වෙනකොටත් සාම්පූර් ව්‍යාපෘතියට එරෙහිව සිටි චම්පික රණවකව ඇමැති ධුරයෙන් ඉවත් කොට පවිත්‍රා විදුලි බල ඇමැති ලෙස පත් කොට සාම්පූර් ව්‍යාපෘතියට අනුමැතිය දී තිබිණි. පසුගිය සතියේ දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කොට තිබුණේ සාම්පූර් බලාගාරයෙන් දෙන විදුලියෙන් මිල නියම කරන්නේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ඉන්දීය සමාගම බවය. එය ගිවිසුමෙහි සටහන් වී ඇති බවත් වාර්තා විය.

 "ඒ කියන්නේ කොමන්වේල්ත් තියාගන්න රාජපක්ෂලා ඉන්දියාවේ පදයට නටන්නද යන්නේ.....?"

ඇත්තටම පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ජාත්‍යන්තර උගුලකි. මහින්ද පැටලිලා ඉන්නේ මේ උගුලෙහිය. මහින්ද මෙය වටිනා රන් මාලයක් යැයි කියලා හිතුවාට මෙය උරචක්‍ර මාලයකි.
 
          ඊළඟ පොදු රද ඇමැති ක්‍රියාකාරි කමිටුව රැස්වන්නේ සැප්තැම්බරයේය. සැප්තැම්බරයට දින දමාගෙන ඉන්නේ මහින්ද උතුරේ ඡන්දය පවත්වනවාද, පවත්වනවා නම් එය සර්ව සාධාරණව පවත්වනවාද යන්න සහතික කර ගන්නටය. මහින්ද යළි ඉන්දියාවට කොකා පෙන්නුවොත් ලංකාව පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම පවත්වන්න බිලියන ගණනින් වියදම් කළාට පසු එය වෙනත් රටකට ගෙන යන්න කමිටුවට තීරණයක් ගත හැකිය.

          පොදු රාජ්‍ය මණ්ඩලය සමුළුව ලංකාවට ධන හානියක් මිස කිසිදු වැදගැම්මකට ඇති දෙයක් නොවන බව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සමීපතම උපදේශකයෙක් වන ප්‍රවීණ දේශපාලන විචාරක "ගෝඨා ගේ යුද්ධය" නමැති පොත ලියපු සී.ඒ. චන්ද්‍රප්‍රේම දිවයින පුවත්පතට ලියූ ලිපියක මෙසේ සටහන් වී තිබිණි.

       "මෙහිදී අප අපෙන්ම අසා ගත යුතු ප්‍රශ්නයක් වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලය යනු කුමක්ද, එයින් අපට වන සේවය කුමක්ද යන්නයි. පොදු රාජ්‍ය මණ්ඩලය යනු මීට අවුරුදු 60-70කට පෙර බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ සෙවණැල්ලයි. බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කොටස්කරුවන් වූ රටවල් ස්වාධීන රාජ්‍යයන් වූ පසු පොදු රාජ්‍ය මණ්ඩලය හැටියට තවමත් හමුවේ. මෙම හමුවීම්වලදී අධිරාජ්‍යයේ සිටි අපේ පරණ සහෝදර යටත් විජිතයන් හමුවීමට අවස්ථාවක් ලැබෙනවා සේම පැරැණි හාම්පුතා හමුවී මහ රැජනගේ අත සිඹීමට සහ එතුමිය සමඟ සිටගෙන ඡායාරූපයකට පෙනී සිටීමටද අවස්ථාවක් ලැබේ. කොළඹ ගෙවල්වලද දීර්ඝ කාලයක් සේවය කළ මෙහෙකරුවන් ඇතැම් විට තම ළමෝ ළපටි මුනුබුරු මිනිබිරියන් සමඟ පැමිණ පැරැණි හාම්පුතුන් දැක සතුටුවන්නා සේය.

         ඇත්ත තත්ත්වය වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලය යනු තම සාමාජික රටවල් වෙනුවෙන් සත පහක වැඩක් නොකරන හිඟන සංවිධානයක් බවයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ ලියවිලි විමසා බැලුවොත් එම සංවිධානයේ අරමුණු හැටියට විවිධ කාරණා සඳහන් වේ. මුලින්ම සඳහන් වන්නේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර සංවිධාන තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් වඩාත් හිතවාදී ප්‍රතිපත්තියක් වෙනුවෙන් අරගල කිරීමයි. සාමාජික රටවල වෙළෙඳ ප්‍රතිපත්ති සාකච්ඡා කිරීමට හා වෙළෙ¼දාම වැඩි දියුණු කිරීමට උදවු දීමයි. ණය කළමනාකරණයට උදවු දීමයි. පෞද්ගලික ආයෝජන හා ව්‍යාපාර දිරි ගැන්වීම වැනි කාරණා සඳහන්ය. නමුත් මේ සියල්ලම පට්ටපල් බොරුය. පසුගිය වසර 60 පුරාම පොදු රාජ්‍ය මණ්ඩලයෙන් තම සාමාජික රටවලට මේ එක කාරණයක් සම්බන්ධයෙන් සත පහක දායකත්වයක් ලැබී නැත. සාමාජික රටක සුනාමියක් ඇති වුවහොත් ආධාර හැටියට එක පිටි මුට්ටයක්වත් දීමට පොදු රාජ්‍ය මණ්ඩලයට ප්‍රතිපාදන නැත. මුදල් නොමැතිකම එක පැත්තකින් වරදක් නොවේ යැයි කිව හැකිය. නමුත් ඊළඟ ප්‍රශ්නය වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවලට එයින් කට වචනයෙන්වත් උදව්වක් ලැබෙනවාද යන්නයි.
 
       අපේ රටේ ජනතාව නොදැන සිටියත් පොදු රාජ්‍ය මණ්ඩලයේ සැබෑ තත්ත්වය එයයි. පසුගිය වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ලංකාවේ පැවැත්වීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ අපේ වාසනාවටය. මීට වඩා හොඳ දෙයක් වුවත් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වැනි දෙයක් ලංකාවේ පැවැත්වීමෙන් සිදුවන්නේ වියදම් අධික ක්‍රීඩා පහසුකම් ඇතිකොට උළෙලට පසු ඒවා එක්කෝ අතහැර දැමීමයි. නැතිනම් අඩුවෙන් පාවිච්චි වීමයි. මෙවැනි ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම වෙනත් රටවටලට භාර කළ යුතුය."

       අද මහින්දගේ ආණ්ඩුව ජාති හිතෛෂීන්ගේ භාෂාවෙන් කියනවා නම් ඉන්දියාවට රට පාවා දෙන්නේ මේ වැදගැම්මකට නැති සමුළුව පවත්වන්නටය.

      මේ සමුළුව පවත්වන්න යන වියදම බිලියන ගණනකි. දැන් කෙසේ හෝ බි්‍රතාන්‍ය මහ රැජන සමුළුවට ගෙන්වා ගන්නා මහින්දගේ ආණ්ඩුව බි්‍රතාන්‍යයෙන් එයාර් බස් මිලදී ගැනීමට ඩොලර් බිලියන ගණනක් වටිනා ගනුදෙනුවක් කරන්න යන බව වාර්තා වේ.

      ගී්‍රසිය ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙන්න එක් හේතුවක් වූයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වියදම් කළ මහා ධනස්කන්ධය බව ඇතැම් ආර්ථික විශේෂඥයන්ගේ මතයය. 2004 ඔලිම්පික් ක්‍රීඩා පවත්වන්නට හදපු ගොඩනැඟිලි නඩත්තු කරන්නට විශාල මුදලක් වැය වී ඇති බව වාර්තා වේ. ලංකාව අද පවතින ආර්ථික අර්බුදය කබලෙන් ළිපට වැටීමට පොදු රාජ්‍ය මණ්ඩලයට වියදම් කරන ධන හානියද කිසියම් හෝ බලපෑමක් එල්ල කරනු ලබයි.

   මහින්ද රාජපක්ෂ ළාබාලතම මන්ත්‍රිවරයාව සිටි 70-77 සමඟි පෙරමුණු ආණ්ඩුවේ අගමැතිනි බණ්ඩාරනායක මැතිනියද 1976 නොබැඳි සම්මේලනයක් පැවැත්වීය. මේකට එ.ජා.ප.ය කිව්වේ කාපිරි මඟුල යැයි කියාය. ජනතාව හාමතේ සිටියදී මෙම සම්මේලනයට බිලියන ගණනින් සල්ලි වීසි කළේය. වැටිලා තිබුණ ආර්ථිකය කබලෙන් ළිපට වැටුණි. නොබැඳි සමුළුවේ සභාපතිනිය ලෙස මැතිනිය 1977 ඡන්ද සටන පටන් ගත්තේ තුන් ලෝකේ නායිකාව යැයි කියාය. මැතිනියට නොබැඳි සභාපතිකම හෝ අගමැතිකම පමණක් නොව විපක්ෂ නායකකමද නැති විය. ජේ.ආර්. පැය විසිහතරෙන් නොබැඳි සභාපති විය.