Hot!

කැකිල්ලේ නීතිය නැවතත්…


 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලයෙ ඉන්න දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන පලිගැනීම් සහ වුවමනාවන් වෙනුවෙන් ගෙන ආ දෙයක්. මේ පනත නීති පොතෙන් මකලා දාන්න ඕන. මේ ප්‍රබල නීති ඉවත් කරන්න අපි පාරට බහින්න ඕන.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනුවෙන් හැඳින්වෙන කැකිල්ලේ නීතිය නැවතත් තම අවලස්සන හිස ඔසවා ඇත. ඒ ජාතික සමගි පෙරමුණේ මහ ලේකම් අසාද් සාලි විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කොට ගෙන ඔහුට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීමයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව මීට පෙර සංවාදයක් ඇති වූයේ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතා විසින් කරන ලද‛ලේඛනයක්’ සම්බන්ධයෙන් මෙම පනත යොදා ගෙන සිර ගෙට යැවීමේ ක්‍රියාවලිය හේතුවෙනි.
මේ අවස්ථා දෙකම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම මර්දනය කිරීමට හෙවත් තමන්ට අභිමත නොවන අදහස් ප්‍රකාශ වීම වැළැක්වීමට ආණ්ඩුව ක්‍රියා කළ අවස්ථා ලෙස සැළකිය හැකිය.
මෙවර ‛සමබිම’ ඉරිදා සංග්‍රහය තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ මීට කලකට ඉහත ‛සමබිම’ තුළින් අප ගෙන ගිය සංවාදය යළි සිහිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
රට දෙකඩ කිරීමට යාපනය ප්‍රදේශයේ කැරළි ගසන සංවිධාන තහනම් කිරීම සඳහා 1978 අංක 16 දරණ පනතේ එල්.ටී.ටී.ඊ සංවිධානය හෝ එවැනි අනෙකුත් සංවිධාන තහනම් කිරීම කියල වගන්තියක් ගෙනාවා. මෙම පනත ගෙනාවෙ අවුරුද්දකට වලංගු කරමින්. එය සම්මත කරපු ගමන්ම මෙම සංවිධාන සමූලඝාතනය කරල සාමය ගේන්න එවකට හිටපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බ්‍රිගේඩියර් වීරතුංගව සියළු බලතල සහිතව යාපනයට යැව්වා. නමුත් සාමය අවුරුද්දකින් ගේන්න බැරි වූ නිසා නැවත සංශෝධනයක් ගෙනැල්ලා මෙම පනත තවත් අවුරුද්දකට කල් දාගත්තා.
එය එසේ දීර්ඝ කර තිබියදීම 1979 ජුලි මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කළා. එවකට හිටපු ආණ්ඩු පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් තිබුණා. මෙම පනත් කෙටුම්පත ගේන අවස්ථාවේ කැබිනට් මණ්ඩලය පිළිගත්තා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ගැටෙන බව. ඒ නිසා මෙය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කළා. 1979 දී මේ පනත ගේනකොට මෙම නීතිය ඉදිරි අවුරුදු තුනකට පමණක් වලංගුයි කියල එහි ප්‍රතිපාදනයක් තිබුණා. නමුත් 1982දී ගෙනාපු සංශෝධනයක් මඟින් ඒ ප්‍රතිපාදනයත් ඉවත් කළා. එදා ඉඳන් අද දක්වාම මෙම නීතිය සාමාන්‍ය නීතියක් ලෙස ලංකාවෙ පවතිනවා.
මිනිස්සුන්ගේ නිදහසට තදින් බලපාන මේ රාජ්‍ය ආරක්ෂක නීති සහ සාමාන්‍ය නීති අතර වෙනස්කම් රාශියක් තියෙනවා. මේ නීති යටහේ අත්අඩංගුවට ගත්තම නඩුව අහලා ඉවර වෙනකම් ඇප ලැබෙන්නෙ නැහැ. අපරාධ නීතියේ අවුරුදු සිය ගණනක් පරණ සිද්ධාන්තය තමයි පොලිසියේදී දෙන කට උත්තරය මත කෙනෙකු වැරදිකරුවෙකු කරන්න බැහැ කියන එක. එවැනි කට උත්තරයක් සාක්ෂියක් ලෙස යොදාගන්නේ නැහැ. එම කට උත්තර යොදා ගන්නේ පරීක්ෂණ කටයුතු සඳහා පමණයි. නමුත් කවුරු හරි කෙනෙක් මේ නීතිය යටතේ අත්අඩංගුවට ගත්තම ඒ පුද්ගලයාගෙන් කට උත්තරයක් අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා. එහිදි විත්තිකරුගේ ප්‍රකාශයම සාක්ෂි ලෙස ඔහුට එරෙහිව යොදා ගැනීම සිදු වෙනවා. එය මිනිස්සුන්ගේ නිදහසට අභියෝගයක්.
හදිසි නීතිය හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මත දහස් ගණනක් අත්අඩංගුවට අරගෙන නඩු දාන්නෙ නැතුව අවුරුදු දෙක තුන හිරේ ඉඳලා ගෙදර යන බව බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. අත්අඩංගුවට අරන් කෙනෙකුගේ නිදහස සීමා කරන්න පුළුවන් අධිකරණ තීන්දුවක් මත පමණයි. නමුත් අද එය තීරණය කරන්නෙ ආරක්ෂක ලේකම්වරයා එනම් විධායකය විසින්. ජාත්‍යන්තරව පිළිගත් නීතිමය සිද්ධාන්තයට අනුව අත්අඩංගුවට ගත් කෙනෙකු රඳවාගත හැක්කේ සාමාන්‍ය නීතිය යටතේ පැය විසිහතරයි. නමුත් මෙම ත්‍රස්තවාදී පනත මෙන්ම හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගත් අය ආරක්ෂක ලේකම්ගේ අත්සන මත මාස තුනෙන් තුනට රඳවා ගන්න පුළුවන්. ඔවුන් රඳවන්නේ රිමාන්ඕ බන්ධනාගාරවල නෙමෙයි. පළමු දවස් තිහෙන් පස්සෙ උසාවියට ඉදිරිපත් කරන්න ඕන. එසේ කළ යුත්තේ ඔහු ඉන්න බව පෙන්වන්න විතරයි. නමුත් නිදහස් කරන්න බැහැ. නිදහස් කරන්න පුළුවන් නීතිපතිවරයාට හෝ නඩුව අවසන් වූ පසු මහාධිකරණ විනිසුරුවරයෙකුට පමණයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලයෙ ඉන්න දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන පලිගැනීම් සහ වුවමනාවන් වෙනුවෙන් ගෙන ආ දෙයක්. මේ පනත නීති පොතෙන් මකලා දාන්න ඕන. මේ ප්‍රබල නීති ඉවත් කරන්න අපි පාරට බහින්න ඕන.





‛නිදහසේ වේදිකාවේ’ කැඳවුම්කරු ජේෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි පිළිබඳව 2009 ඔක්තෝම්බර් කොළඹ සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පවත්වන ලද දේශනයක් ඇසුරෙනි.
 උපුටා ගැනිම  සමබිම