Hot!

අධිකරණය සුද්ද කිරීමේ නව යුගයක්? - බැසිල් ප‍්‍රනාන්දු


අධිකරණය ‘පවිත‍්‍රව’ තබා ගැනීම සඳහා තමා දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව මෑතක දී ජනාධිපතිවරයා පැවසී යැයි වාර්තා විය. එම ප‍්‍රකාශය බොහෝ ප‍්‍රශ්න මතු කරයි.

යහපත් අධිකරණයක මිම්ම වන්නේ, ස්වාධීනව කටයුතු කිරීමට ඊට ඇති හැකියාවයි. විධායකය මත යැපීමෙන් තොරව පැවතීමට හැකි වීම, ‘ස්වාධීන’ යන්නෙන් මෙහි දී අදහස් කෙරේ. නීතියෙන් ඉල්ලා සිටින ඕනෑම විටෙක, විධායක ජනාධිපතිවරයා ඇතුළු විධායකයේ ඕනෑම ආයතනයකට එරෙහි පියවර ගැනීමට අධිකරණයකට හැකි විය යුතුය. එවැනි ස්වාධීනත්වයක් අද ලංකාවේ නැති බව කවුරුත් දනිති. ඉතිං, ස්වාධීනත්වයට ඉඩක් නැති අධිකරණයක් තුළ පැවතිය හැක්කේ කුමන ‘පවිත‍්‍රත්වයක්’ ද? නීතියෙන් ඉල්ලා සිටින තීරණ, පවතින වටපිටාවේ සහ කාලයේ හැටියට, නොගෙන සිටීමට අධිකරණයක් තීරණය කරන මොහොතේම, එම අධිකරණය බාල්දු වෙයි. ඒ නිසා, ‘පවිත‍්‍ර’ යැයි සිතිය හැකි කිසි ආකාරයකින් කටයුතු කිරීමට ඊට නොහැකි වන්නේය. එම තත්වය නිර්මාණය කොට ඇත්තේ වෙන කිසිවෙකු නොව, ජනාධිපතිවරයාම ය. එබැවින්, අධිකරණය පවිත‍්‍ර කිරීමක් ගැන දැන් ඔහු කතා කරන විට, මේ දක්වා ඔහු පවත්වාගෙන ආ ප‍්‍රතිපත්තිය ආපස්සට හැරවීමට සහ විධායකයේ දඩුවමට ලක් නොවී තීරණ ගැනීමේ අවකාශයක් අධිකරණයට සලසා දීමට ඔහු අදහස් කරනවා විය නොහැකිය.

කෙසේ වෙතත්, අධිකරණය පිවිතුරුව තිබෙන බවට වගබලා ගැනීම ඔහුට අයිති කර්තව්‍යයක් නොවේ. අධිකරණය සහ විධායකය අතර පවතින සම්බන්ධතාව තුළ, විධායකය පරීක්ෂාවට ලක්කිරීම සහ නීතියට අනුකූලව විධායකය කටයුතු කරන බවට වගබලා ගැනීම පැවරෙන්නේ අධිකරණයට යි. ජනාධිපතිවරයා දැන් තතනන්නේ මේ සම්බන්ධතාව ඔලූවෙන් සිටුවා, අධිකරණය පරීක්ෂා කිරීමේ බලය තමන්ට පවරා ගැනීමට යි. එවැනි තත්වයක් හටගත් විට, රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී බල විභජන ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වීමට ඉඩක් තවදුරටත් ඉතුරු වන්නේ නැත. එහි දී සිදුවන්නේ එහි සපුරා අනිත් පැත්තයි. ඒ නව තත්වය යටතේ, අධිකරණය සහ විධායකය අතර සම්බන්ධය මොන විදිහකින්වත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්බන්ධතාවක් වන්නේ නැත. කෙටියෙන් කිවහොත්, පවතින සකල සම්බන්ධතා, අධිකාරීවාදී පාලන ක‍්‍රමයක සම්බන්ධතා බවට දැන් විපරියාස වෙමින් පවතින බවට ඔහුගේ ප‍්‍රකාශයම තවත් සාක්ෂියක් වෙයි.

එවැනි වටපිටාවක, අධිකරණය පවිත‍්‍රව තබා ගැනීමට දැඩි පියවර ගැනීම යනුවෙන් අදහස් විය හැක්කේ එක දෙයක් පමණි. එනම්, විධායකයට ‘සහසුද්දෙන්ම’ ගැති අධිකරණයක් ඔහු අපේක්ෂා කරන බවයි. එසේ ගැති වන්නට අකමැති කෙනෙකු වෙතොත්, ඔහුට හෝ ඇයට එරෙහිව ‘දැඩි පියවර’ ගනු ලැබේ. මේ විදිහට, අධිකරණය පවිත‍්‍ර කිරීම යනු, අධිකරණය දේශපාලනීකරණයෙන් මුදවා ගැනීම නොව, පවතින දේශපාලනීකරණ ක‍්‍රියාදාමය අධිකරණය තුළ පරිපූර්ණත්වයට පත්කිරීමකි.

දකුණු ආසියානු සන්දර්භය තුළ අවුරුදු දහස් ගණනක් තිස්සේ පවිත‍්‍රතාව යන වචනය පාවිච්චි වී ඇත්තේ ඉතා අපවිත‍්‍ර ආකාරයකට බව අපි දනිමු. බ‍්‍රාහ්මණ සමාජ ක‍්‍රමය තුළ, බ‍්‍රාහ්මණයාගේ අවශ්‍යතාවට පටහැනි ඕනෑම දෙයක්, සළකන ලද්දේ කිලූටක් හෝ කිල්ලක් වශයෙනි. දලිත් සහ අඩු කුල වශයෙන් සැළකුණු දිළිඳු පංතීන් නිතරම කිලූටු සහ ¥ෂිත පිරිසක් වූහ. සිය සමාජ තත්වය නගා සිටුවීමට ඔවුන් ගන්නා ඕනෑම ක‍්‍රියාමාර්ගයක් තවදුරටත් ඔවුන්ව කිලූටු කරතැ යි විශ්වාස කෙරුණි. මේ පවිත‍්‍රතාව පිළිබඳ ධර්මතාව, ගැහැනිය යටහත්ව තබා ගැනීම සඳහා ද භාවිත වුණි.

අපේ ජනාධිපතිවරයා දැන් අධිකරණය පවිත‍්‍ර කිරීමට යාම යන්නෙන් හැෙඟන්නේ, ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය වැනි පරදේසක්කාර කිලිවලට එම අධිකරණය හසුව ඇති නිසා, විධායකයේ අවශ්‍යතාවන්ට පමණක් සේවය කළ හැකි වන සේ ඒ කිලිවලින් අධිකරණය ගලවා ගැනීමට දැඩි පියවර ගත යුතුව ඇති බවකි.

එවැනි එක් දැඩි පියවරක් දැනටමත් ඔහු ගෙන ඇත. ඒ, අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකව එම ධුරයෙන් පලවා හැරීමෙනි. ¥ෂණ චෝදනාවක් මත අධිකරණ සේවා කොමිසම මගින් සේවය තහනම් කොට සිටි විනිසරුවරයෙකු නැවත සේවයේ ස්ථාපිත කිරීම, ඒ පවිත‍්‍රතාකරණයේ තවත් පියවරකි. නීතියට සහ නිසි පරිපාටියට අනුගත නොවී අගවිනිසුරුවරියව සේවයෙන් පහ කිරීම අනුමත නොකළ තවත් විනිසුරුවරුන් විශාල පිරිසක් මාරු කර යැවීම තවත් එවැනි පවිත‍්‍රතාකරණ පියවරකි. මේ සියල්ල, ජනාධිපතිවරයා සිතන ‘පාරිශුද්ධ භාවය’ පවත්වා ගැනීම සඳහා ඉදිරියටත් ගැනීමට ඇති දැඩි පියවර මාලාවක පෙරලකුණු ය.


*2013 අපේ‍්‍රල් 24 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Ushering In A New Era Of Purified Judiciary? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’