Hot!

අලෙක්සන්දර් පුෂ්කින් The Queen of spades

එස්. නන්දලාල්
The Queen of spades යනු රුසියානු මහා ලේඛක අලෙක්සන්දර් සෙර්ගෙයෙවිච් පුෂ්කින් (1799 - 1837) විසින් 1833 වසරේ දී නිර්මාණය කරන ලද පිකොවායා දාමා’ නමැති කෙටිකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.

ප්‍රධාන වශයෙන් කවියකු වන පුෂ්කින් සැලකෙන්නේ රොමැන්තික නිර්මාණකරුවකු ලෙසිනි. ඔහු විදෙස් ලේඛකයන්ගේ ඇසුර හෝ ආභාසය ලැබූ බවක් සඳහන් නොවේ. රුසියානු බසට නව වදන් වැලක් මෙන් ම නව වියරණයක් ද එක් කිරීමෙන් ඔහු රුසියානු සාහිත්‍යයේ සිය මුද්‍රාව තැබූ බව විචාරකයෝ පෙන්වා දෙති.

The Queen of spades හි කතා සාරාංශය මෙසේ ය.

ජර්මානුවකු වන හෙර්මන් රුසියානු අධිරාජ්‍ය හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධරයෙකි. අනෙකුත් නිලධාරීන් ෆාරෝ නමැති සූදු කෙළියේ යෙදී සිටිනයුරු ආශාවෙන් බලා සිටින නමුත් හේ කිසි දිනෙක ඊට සහභාගි නොවෙයි. එක් දිනෙක ටොම්ස්කි නමැති වෙනත් නිලධාරියෙක් ඇනා ෆෙටොව්නා ආදිපාදවරිය නමැති අසූ හත් වියැති සිය මිත්තණිය ගැන විස්මිත කතාවක් කියයි. මීට අවුරුදු හැටකට පමණ පෙර ඇනා ෆෙටොව්නා ප්‍රංශයට ගිය විටෙක රජ වාසල නිලධාරීන් සමග ෆාරෝ සූදුවේ යෙදී විශාල මුදලක් පැරදෙයි. ඒ මුදල ගෙවා දමන්නැයි ඇය සිය කළමනාකරු ද වන ඇගේ සැමියාට කියන නමුත් ඔහු නාස්ති කරන්නට මුදල් නැතැයි එය නොගෙවයි.

මේ නිසා ඇය පත් වන්නේ ඉමහත් අපහසුතාවකටයි. එවිට ඇගේ මිතුරකු වන ආදිපාදවරයෙක් දිනක රහසක් ඇයට දෙයි. ඒ අනුව ඔට්ටු අල්ලන ඈ අති විශාල මුදලක් දිනා පරදුණු මුදල් ගෙවා දමයි. මේ කතාව අසන හෙර්මන්ගේ මනස ඒ ඔස්සේ ම දුවන්නට වෙයි. නිදි නොලබන ඔහු රහස දැන ගැනීමේ බලවත් අභිලාසයෙන් දැඩි සිත් පීඩාවට පත් වැ සිටියි. මොස්කව් හි වීනස් ලෙස එවකට පසිඳු වැ සිටි ඇනා ෆෙටොව්නා දැන් ජරපත් මැහැල්ලකි. එහෙත් රදළ සමාජයේ සියල්ලෝ ඇයට බුහුමන් දක්වති. ඇගේ පෞද්ගලික සේවිකාව ලීසා නමින් කෙටියෙන් හැඳින්වෙන ලිසොවේටා ඉවානොව්නා නම් තරුණියකි.

ආදිපාදවරියගේ මැදුර සොයා ගන්නා හෙර්මන් පළායන භද්‍ර යව්වනයෙන් යුත් ලීසා මඟින් ඇනා ෆෙටොව්නාට ළං වී රහස දැන ගැනීමට අදිටන් කැර ගනියි. ඒ අනුව ඔහු ඇයට පෙනෙන්නට වීදියේ රැක සිට ඇයට ලිපි යවයි. ඔවුන් අතර ප්‍රේමයක් නොතිබිය ද ලීසා ඔහුට කැමැත්තී ය.

දිනෙක ලීසගේ ද අනුදැනුම ඇතිව මැදුරට ඇතුළු වන හෙර්මන් ආදිපාදවරියගේ කුටියට පිවිස රහස දෙන ලෙස අයදියි. ඇය කියන්නේ එය හුදෙක් විහිළුවක් පමණක් බවයි. ඔහු කොතෙක් යාඥා කළ ද ඇය වෙනස් නොවෙයි. එවිට හෙර්මන් පිස්තෝලයක් පෙන්වා ඇයට තර්ජනය කරයි. ආදිපාදවරිය ඒ අවස්ථාවේ ම මරණයට පත්වෙයි. ලීසාගේ කාමරයට යන ඔහු සිද්ධිය ඇය සමඟ පවසයි. එවිට ලීසා කම්පාවට පත් වැ ඇයගේ මරණය ගැන ඔහුට චෝදනා කරයි. තමා ඇය නොමැරූ බවත් පිස්තෝලයේ පතොරම් නොතිබූ බවත් එවිට ඔහු ඇයට පහදා දෙයි. ආදපාදවරියගේ අවමඟුලට සහභාගි වන හෙර්මන් ඇය තමාට ඇසක් ඉඟි මරනු දකියි. එවිට ඔහු මූර්ජා වෙයි.

පසුදින රාත්‍රියේ ආදිපාදවරියගේ අවතාරය හෙර්මන්ගේ කාමරයට අවුත් රහස හෙළිදරව් කරන අතර ඒ අනුව කටයුතු කිරිමේ දී පිළිපැදිය යුතු කාරණා ද ඔහුට පහදා දෙයි. එක් වරකට ඔට්ටු ඇල්ලිය යුත්තේ එක් කොළයක් පමණි. පැය විසි හතරක් තුළ දෙවරක් ඔට්ටු ඇල්ලීම නොකළ යුතුයි. කොළ තුනෙන්ම ඔට්ටු අල්ලා අවසන් වීමෙන් පසු යළි කිසි දා ක්‍රීාවට නොයා යුතු ය. මුදල් දිනා ගැනීමෙන් පසු ලීසා ආවාහ කැර ගත යුතු ය. කොළ තුන නම් තුන, හත සහ ආසියා ය.

පසුදා සූදු පිටියකට යන ඔහු 47,000 ක් තුනේ කොළයට ඔට්ටු අල්ලා දිනයි. එතරම් විශාල මුදලක් සංසරණය වන සූදු පිටියක් නොවන එහි සිටි සියල්ලෝ එවිට විස්මයට පත්වෙති. දෙවැනි දින 94,000 ක් හතේ කොළයට ඔට්ටු අල්ලා එදා ද දිනයි. තුන්වන දිනයේ ඒ සියලු මුදල් රැගෙන එන ඔහු ආසියා කොළයට ඔට්ටු අල්ලයි. ආසියා කොළය ඔහුගේ ගොට වැටෙයි. එහෙත් ඔහු වසා තිබුණේ ආසියා නොව පොරොව (Queen) ය. එබැවින් ඔහු සියලු මුදල් පරදියි. කොළයේ ඇති රැජින රූපය ඔහුට පෙනෙන්නේ විළිස්සාගත් ආදිපාදවරිය මෙනි.

සියලු බලාපොරොත්තු සුන් කර ගන්නා ඔහු උමතු වැ උන්මත්තකාගාරයට යැවෙයි. එහි දී කිසිවකු සමඟ කථා නොකර බලාගත් වන ම බලා හිඳිනා ඔහු ‘තුන, හත, ආසියා - තුන හත, පොරොව’ යනුවෙන් නොතොරව මුමුණයි. මේ කෙටිකතාවේ දී පුෂ්කින් ඇනා ෆෙටොව්නාගේ චරිතය සවිස්තර ව ඉදිරිපත් කරයි. ඇය දැන් දිවි ගෙවන තත්ත්වය ද ඇගේ මැදුරේ ඇති ඡායාරූප පවා ඒ විස්තරයට ඇතුළත් ය. මෙයින් කියැවෙන්නේ එසමයේ දේශපාලන පරිසරය ය'යි ඇතැම් විචාරකයෙක් පෙන්වා දෙයි.

ලීසා ගැන කෙරෙන විස්තරයෙන් ඇගේ අහිංසක භාවය චිත්‍රණය කෙරෙයි. කපටියකු වන හෙර්මන් රහස දැන ගන්නට එළැඹෙන්නේ එවැනි තැනකට ය. ආදිපාදවරිය පණ මෙන් සුරැකි රහස හෙළිදරව් කරන්නේ පණ නැසුණු පසුව ය. වෘද්ධ ඇනා ෆෙටොව්නා ලීසාට මහා වදයකි. එහෙත් ලීසාට දැනෙන්නේ ඇගේ මරණය නිසා තමා මෙලොව අතරමං වූ සෙයකි. ලීසා සිතන්නේ හෙර්මන් එන්නේ තමාට ප්‍රේම කරන්නට ය'යි කියායි. හෙර්මන්ට අවශ්‍ය වනුයේ යොවුන් ප්‍රේමය නොවේ. කෙසේ හෝ මුදල් ය. මහා ධන තෘෂ්ණාවකින් පෙළෙන ඔහු ඒ විසින් ඇති කරන ලද අපරීක්ෂාකාරී කලබලය නිසා ම වැරදි කොළයක් වසයි. අවසානයේ අපගේ සිත් තුළ ශේෂ වනුයේ තෘෂ්ණාව විසින් මිනිසා පිරිහීම කරා ඇද ගෙන යන අයුරු ය.

මෙහි කථාව ඉදිරිපත් කෙරෙන්නේ තුන්වන පුරුෂයෙනි. එසේ ම කාලය වර්තමානයේ එනම්, 19 සියවසේ දෙවැනි දශකයේ සිට ඉන් වසර හැටක් එපිට අතීතයට දිග හැරෙයි. ඒ නිසා සවිස්තර චරිත හා සිද්ධි නිරූපණයකට කර්තෘට අවකාශ තිබේ. ඇනා ෆෙටොව්නාගේ චරිතය නිරූපණයේ දී පරිසරය උපයෝගී කැර ගන්නා පුෂ්කින්, හෙර්මන්ගේ චරිතය නිරූපණයේ දී උපයෝගී කර ගන්නේ ඔහුගේ ක්‍රියාවන් ය. ලීසාගේ චරිතය විස්තාරණය වනුයේ ඇගේ හැඟීම් ගැන කෙරෙන විග්‍රහයකිනි.

මෙය, කෙටිකතා නිර්මාණකරණයේ යෙදෙනවුන් විසින් මනාව අධ්‍යයනය කළ යුතු කෘතියක් ලෙස සැලැකේ.

මේ කෘතිය චිත්‍රපටයකටත් ඔපෙරාවකට හා නාට්‍යයකටත් පරිවර්තනය කරනු ලැබ තිබේ.

මෙම කෙටිකතාව දැදිගම වී. රුද්රිගු විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව සෝවියට් රාදුගා ප්‍රකාශකයන් විසින් පළකරන ලද ‘පුෂ්කින්ගේ තෝරාගත් ගද්‍ය කෘති’ නම් එකතුවේ ඇතුළත් ය.