Hot!

බෝවත්තේ ඉන්දරතන හිමි ගිනි තබාගැනීම, ජනමාධ්‍ය සහ ආත්ම පූජාව




සුනන්ද දේශප‍්‍රිය 

 1993 දී කෙවින් කාටර් නම් දකුණු අපි‍්‍රකානු ජායාරූප ශිල්පියකු බිහිසුණු සාගතයක මැදිව සිටි සූඩානයට ගියේ ය. විය යුතු පරිදිම ඔහුගේ අභිප‍්‍රාය වූයේ සාගතයෙන් පීඩා විදින ජනයාගේ විපත සිය කැමරා කාචය හරහා ලෝකයට වාර්තා කිරීමයි. අයෝද් නම් ගමක එක්සත් ජාතීන්ගේ ආහාර මධ්‍යස්ථානය ජායාරූප නැගීමට ගිය කෙවින් කාටර් ඊට නුදුරෙහි කෑමට යමක් සොයමින් මධයස්ථානය වෙත එන එනමුත් ඇවිද ගැනීමට තරම් ශක්තියක් නැතිව සිටින ළදැරියක දුටුවේ ය. ඔහු මවිතයට පත් වූ කාරණය වූයේ ළදැරිය ඩැහැ ගැනීමට එන ගිජු ලිහිණියකු ඇය කරා ළගා වෙමින් සිටීමය. කාටර්ගේ සිහියේ තිබුණේ ජායාරූපයක් ගැනීම පමණි. ඔහු ගිජු ලිහිණියා ළදැරිය කරා ළගා වන තුරු විනාඩි විස්සක්ම සිය කැමැරා කාචය කරකවමින් ගත කළේ ය. ඒ සිය සිතැඟි සපුරාළන ජායාරූප කෝණයක් සහ රාමුවක් ලැබෙන තුරු ය. ගිජු ලිහිණියා ළදැරිය කරා ළඟා වූ මෙහොතෙහි ඔහු ගත් ජායාරූපය 1993 මාර්තු 26 දින නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතෙහි පළ විය.

 පැය ගණනාවක් ඇතුළත පුවත්පතෙහි කර්තෘට ලැබුණූ සිය ගණනාවක් දුර කථන ඇමැතුම් අසා සිටියේ එම දැරියට කුමක් සිදුවීදැයි යන්න ය. කෙවින් කාටර් එම දැරිය ආහාර මධ්‍යස්ථානය වෙත ගෙන ගියේ නැත. ඔහුට කීමට පුළුවන්කම තිබුණේ තමා එම ගිජු ලිහිණයා එළවා දැමූ බව පමණය. දැරියට සිදු වූයේ කුමක්දැයි සිය පාඨකයින්ට කීමට නිව්යොර්ක් ටයිමිස් පුවත් පත අසමත් විය. ජයාරූපය ගැනීමට විනාඩි විස්සක් ගත කරන්නේ නැතිව සාගින්නෙන් පෙළුණූ එම දැරිය ආහාර මධ්‍යස්ථානය වෙත ගෙන නොගියේ ඇයි ද යන ප‍්‍රශ්ණයට කෙවින් කාටර්ට පිළිතුරක් තිබුණේ නැත. එම වසරෙහි පිළිබඳ කීර්තිමත් පුලිට්සර් ත්‍යාගය දිනාගත් එම ජායාරූපය, ජායාරූප ජනමාධ්‍ය කලාවේ ආචාර ධර්ම පිළිබඳ ගැඹුරු සංවාදයකට මුල පිරුවේ ය.

 ‘‘ එම ළැදැරියට ආහාර මධ්‍යස්ථානයට යන්නට සහාය වන්නේ නැතිව සිය කැමරා කාචය සකස් කරමින් සිටි කාටර් ද එම ගිජු ලිහිණියා මෙන්ම තවත් මිනී කන්නෙකි’’ යැයි එක් පුවත්පතක් ලියුවේ ය. මෙම විවේචනයන්ගේ ප‍්‍රතිඵලයක් වශයෙන් එම ජායාරූපය ගැනීමෙහිලා කාටර් සිය හැසිරීමෙහි මානවීය හැගීමක් නොතිබුණූ බව වරදකාරී සිතින් පිළි ගත්තේ ය. ‘‘මනුෂ්‍ය ඝාතනයන් සහ මළමිනී ද සාගතයෙන් හෝ තුවාල ලබා වේදනා විඳින දරුවන් ද පිළිබඳ මතකයන් තමා ලූහු බඳින්නේ ය’’යි ලියා තැබූ කෙවින් කාටර් දෙවසරකට පසු සිය දිවි නසා ගත්තේ ය. 

 නිසි ලෙස තුලන සහ සංවරණයන් විසින් ආරක්ෂා නොකෙරේ නම් ජනමාධ්‍යවේදය වනාහී ජනමාධ්‍යවේදියා තුළ මිනිසත්බව අභ්‍යන්තරයෙන් අහෝසි කැරෙන වෘත්තියකි. පුවතක් හෝ ජායාරූපයක් පිළිබඳ ඇල්ම මිස එම අවස්ථාවෙහි ඇතිවන මානුෂීය ඛේදවාචකයන්ට ජනමාධ්‍යවේදීහු අසංවේදී වෙති. හොඳම පුවත හෝ ජායාරූපය සෙයෙනු විනා විපතක වේදනාව විඳ ගැනීමට ඔව්හු සමහර විට අසමත් වෙති. කෙවින් කාටර් සහ එම සූඩාන ළදැරියගේ ජායාරූපය මෙම අංසවේදී බවෙහි අපූරු නිදසුනකි. 

 බෞද්ධ රූපවාහිනී නාලිකාවක් ලෙස පෙනී සිටින ස්වර්ණවාහිනිය සිය වාර්තාකරුවකු ලවා ලබා ගත් බෝවත්තේ ඉන්දරතන හිමිගේ ස්වයං ඝාතන වීඩියෝව දකින මිනිසත්කම ඇති ඕනෑම මිනිසෙකුට ඇසෙන ප‍්‍රශ්ණය මෙයට විසි වසරකට පෙර කෙවින් කාටර්ගේ ජායාරූපය සම්බන්ධයෙන් සිය ගණනාවක් පාඨකයින් ඇසූ ප‍්‍රශ්්ණයම ය. එනම් එම ජනමාධ්‍යවේදියා එහිමියන් සිය දිවි නසා ගැනීමෙන් වැළැක්වීමට පියවර නෙගෙත්තේ ඇයි ද යන්නයි. කෙනෛකු තමා සිය දිවි නසා ගන්නා බව ප‍්‍රකාශ කොට සිය සිරුරට පෙට්රල් වත් කර ගෙන ගිනි තබා ගන්නවා නිවි හැනවිල්ලේ සිය කැමරා කාචය කරකවමින් ජයාරූප ගත කළ හැක්කේ කෙසේ ද? වතුරෙහි වැටී දඟළන කූඹියකු වේවා ගොඩගෙන තැබීමට සිත් දෙන මිනිස් සන්තානයක්, හිමිනමක පෙට්රල් වත්කර ගෙන ගිනි තබා ගන්නවා බලා සිටින්නේ කෙසේ ද?

 පෙනෙන්නට තිබෙන පරිදි එම ජනමාධ්‍යවේදියා ද එම වීඩියෝව එළෙසින්ම ප‍්‍රචාරය කළ ස්වර්ණවාහිනයට ද තිබී ඇති එකම අරමුණ නම් කාටත් නැති ‘‘නියම පුවතක්’’ විකාශණය කිරීම පමණය. වඩා වටින්නේ ‘‘කාටත් නැති පුවතක්’’ වාර්තා කිරීම ද? මිනිස් ජිවිතයක් බේරීම ද? පසුගිය කාලය පුරා ශ‍්‍රී ලංකාවෙහි දිවි නසා ගැනීම් වාර්තාකරණය මහත් ආචාර ධර්මීය පසුබෑමකට ලක් වී තිබේ. අන්තර් ජාල ජනමාධ්‍ය විසින් මඟ පෙන්වනු ලබන මෙම අසංවේදී වාර්තාකරණයන් සිය දිවි නසා ගැනීම් සළකන්නේ පාඨකයින් අද්දවා ගැනීමේ පුවතක් ලෙස මිස සමාජ ඛේදවාචකයක් ලෙස නොවේ.

 මව්වරු දරුවන් සමඟ ලිදකට පැන මියයාම, දරුවන්ට වස දී මිය යාම යනාදිය වාර්තා කරනු ලබන්නේ මහත් අභිරුචියකිනි. ඉන්දරතන හිමි සිය දිවි නසා ගැනීම ද ස්වර්ණවාහිනිය ඇතුළු ජනමාධ්‍ය ගණනාවකටම පෙනුනේ නියම පුවතක් ලෙස මිස ඇති විය හැකි සමජ ඛේදවාචකයක පෙර නිමිත්තක් ලෙස නොවේ. ජනමාධ්‍ය අමාත්‍යංශය මෙම වාර්තාකරණය දෝශ දර්ශණය කිරීමෙන් පසු ස්වර්ණවාහිනිය එම වීඩියෝව එළෙසින්ම විකාශණය කිරීම සම්බන්ධයෙන් රජයට සමාව ප‍්‍රකාශ කළේ යැයි කියනු ලැබේ.

 එයින් පෙනෙන්නේ වත්මන් ශ‍්‍රී ලංකාවෙහි අධිපති ජනමාධ්‍ය වගකියන්නේ රජයට මිස මහා ජනයාට නෙවන බවය. එය මෙම වරදකාරී පුවත් ප‍්‍රකාශය සම්බන්ධයෙන් ස්වර්ණවාහිනිය සිය අසන්නන්ට කණගාටුව ප‍්‍රකාශ කළේ ද නැත. අනෙක් අතට සිංහල ජාතිකවාදී බලවේග, විශේෂයෙන්ම ආන්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන හෙළ උරුමය මේ වනාහී සිය දිවි නසා ගැනීමක් නොව උත්තම පූජාවක් බව ප‍්‍රකාශ කර තිබේ. සිය දිවි නසා ගැනීම උත්තම පූජාවක් වන්නේ කුමණ බුදු දහම අනුව ද? එපමණක් නොව බුදුන්ගේ උපත, බුද්ධත්වය සහ විපත සිහි කැරෙන පෝ දිනයෙක එවැනි ප‍්‍රචන්ඩ සිය දිවි නසා ගැනීමක් පූජාවක් ලෙස වීරත්වයට නංවන්නේ කෙළෙසක ද? 

 එකී ප‍්‍රචන්ඩ මතවාදයෙහි සැබෑ දෝංකාරය ඉන්දරතන හිමිගේ දේහය ඉල්ලා කොල්ලූපිටියෙහි උද්ඝෝෂනයක යෙදුණු හෙළ උරුමයේ ම අත්තක් වන සිංහල රාවයෙන් අසන්නට ලැබුණි. ඔවුන් කැ ගැසුවේ මුස්ලිම් ජාතිකයින් ( කෑ ගසන ලද්දේ අපහාසාත්මක වචනයන් ය* මෙරටින් එළවිය යුතුය කියා ය. ඉන්දරතන හිමිගේ සිය දිවිනසා ගැනීම කෙරුණේ ගව ඝාතනයට එරෙහිවය. එය ද බෞද්ධ ඉල්ලීමක් නොවේ. බුදුන් දවසවත් එවැනි ඉල්ලීමක් නොතිබුණි. දැන් ඉන්දරතන හිමි දිවි නසා ගැනීම මුස්ලිම් ජාතිකයින් එළවීමේ උද්ඝෝෂනයක් බවට පත්ව තිබේ. සම්බන්ධය පැහැදිළි ය. ගව ඝාතන විරෝධී ව්‍යාපාරය පැන නැග ඇත්තේ බෞද්ධ ව්‍යාපාරයක් ලෙස නොව මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ලෙස ය.

 සතුන් නොමරමි යන පන්සිල් පදය අනුගමනය කිරීම පිනිස මෙම උද්ඝෝෂනය පැන නගින්නේ නම් මසුන් මැරීම, මෙන්ම එළුවන්, කකුළන් යනාදී සියළුම සත්ව ඝාතනයන්ට විරුද්ධව හෙළ උරුම නායකයින් සිය දිවි නසා ගත යුතු ය. අද මස් පිණිසම ඇති කැරනෙ කුකුළන් පමණක් නොව ගවයින්ද සිටී. ගව ඝාතනය නතර කළ යුත්තේ කිරි ලැබෙන නිසා නම් බිත්තර ලැබෙන නිසා කුකුළන් මැරීමද නතර කළ යුතු ය. මෙම ගව ඝාතන විරෝධී ව්‍යාපාරය පිටුපස ඇත්තේ පර පණ නොනැසීමේ ශික්ෂා පදය නොවන බව ඉතා පැහැදිලි ය. 

එය හුදෙක් දේශපාලන සටන් පාඨයකි. ඉන්දරතන හිමි දිවි නසා ගැනීම බෞද්ධ ක‍්‍රියාවක් නොව දේශපාලන ප‍්‍රචන්ඩත්වයකි. දේශපාලන සටන් පාඨ උදෙසා සිරුරට ගිනි තබා ගෙන මියෑදීම උත්තම පූජාවක් නම් එසේ ගිනි තබා ගෙන විරුද්ධවාදීන් මැදට පැනීමත් දෙවන අවස්ථාවේ දී පූජාවක් විය හැකිය. තෙවන අවස්ථාවේදී ගිනි බෝම්බයක් බඬේ බැඳ ගෙන පැන මිය යාමත් පූජාවක්් විය හැකි ය. එල්ටීටීඊ සංවිධානය තර්ක කළේ අන්න එහෙමය. එයට තිලීපන් උපවාසයෙන් සිය දිවි නසා ගැනීමත් මිනිස් බොම්බකරුවන්ගේ සිය දිවි නසා ගැනීමත් එකම උත්තම පූජාවක් විය. බොවත්තේ ඉන්දරතන හිමි ගිනි තබා ගෙන මිය යාම ප‍්‍රචන්ඩ ආත්ම ඝාතනයකි. එය ආදර්ශයට ගත යුතු පූජාවක් නොවේ. එහි කිසිදු බෞද්ධකමක් නැත. ඇත්තේ මෙරට සුළුතර ජන ප‍්‍රජාවන්ට එරෙහිව එල්ල වූ භයානක ප‍්‍රචන්ඩත්වයකි.

 02.06.13