Hot!

‘ගැණ නොනිමි මළවුන්’ – ෆ්‍රාන්සස් හැරිසන්: ‘අන්තිමේ දී අපි බිව්වේ මළකුණු පාවෙන කළපු වතුර’

 වාර්තාකරුවෙකුගේ කතාව – 2 වන පරිච්ඡේදය | පළමු කොටස
‘අන්තිමේ දී අපි බිව්වේ මළකුණු පාවෙන කළපු වතුර’

ෆ්‍රාන්සස් හැරිසන්

අහඹු ඝාතක භූමියක් ‍බවට පෙරළාගත් නිවර්තන වෙරළතක රන්වන් වැලි තීරයක් ඔස්සේ ලෝකීසන් පලා යමින් සිටියේය. රළු දිගු රැවුළින්ද, නොපීරෑ හිසින් ද යුත් අඩි හයක් උසැති සත් විසි වියැත්තෙකු, දරුවෙක් රැගෙන යන්නාක් බඳුව සිය පියා දෑතින් ඔසවාගෙන ගියේය. හිසට ඉහළින් පියාසර කරන මූනිස්සම් හෝ පයට පෑගෙන මළ කඳන් ඔහුගේ අවධානයට පාත්‍ර නොවූ තරම් ය. සියල්ලටම වැඩියෙන් ඔහුගේ මතකයේ රැඳී ඇත්තේ 2009 අවුරුද්දේ ගිනිජල් අප්‍රේල් මාසයේ මධ්‍යහ්නයක නොමැඩලිය හැකි සේ දරුණුව නැගුණු පිපාසාවේ පරිපීඩාවයි.

ලෝකීසන්ගේ මුළුමහත් දිවියම පාලනය කළ දෙමළ කොටි සංවිධානයේ පරිපාලන ව්‍යුහය මාස කිහිපයක් ඇතුළත දී බිඳී විසිරී ගියේය. කලෙක අනභිභවනීය යැයි සිතූ කැරළිකාරී සේනා, ශ්‍රී ලංකා හමුදාවන් හමුවේ දිගින් දිගටම පසු බැස්සාහ. මිනිස් පවුරක් වනු පිණිස කුඩා වෙරළ තීරයකට තමන් හා පසු බසින්නට සිය දහස් සංඛ්‍යාත ජනයාට බල කළේ යැයි ඔවුනට චෝදනා එල්ලව තිබුණද ලෝකීසන් ඊට පටහැනි අදහසක් දරයි. පලා යන්නට කිසි අතක් නොවිණ. මුහුද එක් පසෙකිනි. අනෙක් සෑම අතකින්ම හමුදාව ය. අ‍තකින් සුදු කොඩි දැඩිව ගත් මියගිය සිවිල් වැසියන්ගෙන්ද, රෝහල් භූමි පරිශ්‍රයන් වටා අලුතින් තැනුනු බෝම්බ ආවාටයන්ගෙන්ද, තල් ගස් අතරින් ඇද වැටෙන ෂෙල් හඬින් ද  අනූන ඒ වනාහී මිනිස් සංහාරයක දසුනකි. ශ්වාසරෝධක අළු දුමාරය වා තලය වසා පැතිර තිබිණ.

තමන් කැටුව යනු පිණිස කිසිවෙක් ඉතිරිව නොවූ මහළු මිනිසෙක්,  බිම වැතිර හිඳ සෙමින් වැළපෙන කූඩාරමක්, ලෝකීසන් සිය ගමන අතරවාරයේ පසු කළේය. සිය දිවි රැකගනු පිණිස හනි-හනික පලා යන ජනයා වයෝවෘද්ධ හා තුවාල ලද්දවුන් මඟ අතැ’ර දමා ගියහ.
පරාජයේ පෙර නිමිති මතුවෙමින් තිබූ මාස ගණනාවකින් පසු, අවසානය ඉක්මණින් ආවේය. තමන් පාලනය කළ අවසන් කුඩා බිම් කඩෙහි මැද කොටස කැරළිකරුවන්ට අහිමි විය. වටලනු ලැබ, සෙස්සන්ගෙන් වෙන් කොටගත් දස දහස් සංඛ්‍යාත යුද්ධයෙන් හෙම්බත් බියපත් දෙමළ ජනයාට හමුදාවන්ට යටත් වනු හැරෙන්නට කළ හැකි අන් යමක් නොතිබිණ. ලෝකීසන්ද, ඔහුගේ මව, පියා සහ පෙම්වතියද පිටව යාම පමා කළ මුත් ඉර අවරට යමින් තිබූ හෙයින් අඳුරෙහි පිටව යාම වඩා අන්ත්‍රාදායක වන්නට ඉඩ තිබුණි. ඉතිරිය අතු ගා දමනු පිණිස හමුදා සෙබළු එනතුරු වෙරළෙහි රැඳී සිටින අන්තිමයින් වන්නට ඔවුනට අවශ්‍ය නොවීය. පිටව යා හැකි එකම මග වූයේ ඔවුන් හා හමුදාවන් වෙන් කළ කළපු දියට බැස ඉන් එගොඩ වීමයි.

මෘදු රැළිති නගන කළපු දියට ඔහු බසින විට පියා දෙවුරෙහි එල්ලුණේය. අවසානයේ දිය පොදක් බී ගත හැකැයි ලෝකීසන් සිතුවේය. ඒ වනම දියෙහි පාවෙමින් තිබෙන ගැහැණු දෙදෙනෙකුගේ මළ සිරුරු ඔහුගේ නෙත ගැටිණ. තමන් දැන් මළවුන් අතරින් ඇවිද යන්නෙකැයි යන හැඟීම ලෝකීසන් තුළට කා වැදුණි. මදක් පැකිළුණු හෙතෙම, අනතුරුව කුමන හෝ වතුරක් බොන්නට මැඩලිය නොහෙන සේ නැග එන පිපාසාවට යටත් වූයේය. ‘අන්තිම දරුණු දේ ඒක තමයි. ඒ පිළිකුළ හින්දා නෙවෙයි, නමුත් මම ඒ තරම් පහතටම ඇද වැටුණු හින්දයි. මාස හයක් තිස්සේ මම මිනී උඩින් පැන පැන එහෙ මෙහේ යමින් හිටියේ, නමුත් දැන් මම මිනී පාවෙන වතුරත් බොන්න පටන් අරන්.’

වසර කීපයකට පසු, බර්ලින් නුවර, කළු පැහැ සමින් නිමැවූ ඇඳි පුටු‍වකට බරදී බෝතල් කළ කණිජ දිය තොල ගාන ලෝකීසන්ගේ දෑසෙහි කඳුළු මතුව තිබේ. ඒ මළ සිරුරින් අපවිත්‍ර වතුර බිවූ අතීත දවස් පිළිබඳ මතකයෙනි. කෙටි කොට කපන ලද කෙසින්ද, පිළිවෙලට මදින ලද කමිසයකින් හා තද නිල් පැහැ ජීන්ස් කලිසමකින් සැරසුණු මේ සංවර, ආචාරශීලී තරුණයා එවන් බලාපොරොත්තු රහිත පීඩාවකට මැදිව සිටිනු සිතා ගැනීමද අසීරු එකකි. ඔහු උස් හා ක්‍රීඩාත්මක පෙනුමින් යුතු මුත් සෙස්සන් අතර ඔබ මොබ යන ප්‍රවේශම්කාරී, සැළකිලිමත් ආකාරයේ මෘදු බවක් ගැබ්ව තිබේ.  ඒ වෘත්තීය නිරීක්‍ෂකයෙකු වීමෙන් උරුම වන සාවධානශීලී බවකි. ඔහු තැන්පත් හා නිරවද්‍යතාවකින් යුතුව සිය කතාව කීවද, ඔහුගේ අඳුරු සන්තාපී දෑස් ඇතුළු හද සිතුවිලි හෙළි කරයි.

ලෝකීසන්ගේ කාර්යය අන් ජනයාගේ සංත්‍රාස තතු වාර්තා කිරීම වුවද, ඔහුට ඔහුගේම භීතීන් තිබිණ. කැරළිකරැවන්ට පක්‍ෂපාත ‘ටැමිල් නෙට්’ වෙබ් අඩවියේ මාධ්‍යකරුවෙකු වශයෙන් හෙතෙම දහස් සංඛ්‍යාත මළ සිරුරු සිය කැමරාවේ දසුන් දක්නය තුළින් ප්‍රේක්‍ෂණය කළේය. තම දෑස් ඉදිරිපිට දී, පණ අදින මිනිසුන්ගේ අවසන් හුස්ම ඔවුන් හැරයනු ඔහු නිරීක්‍ෂණය කළේය.  විසුණු වූ හිස් කබල් තුළින් දරු සිඟිත්තන්ගේ ඉහ මොළ නිරාවරණයව තිබෙනු ඔහු දුටුවේය. ඔවුන්ගේ මව්වරුන්ගේ දුක්ඛිත විලාපය ඔහුට ඇසුණු අතර මරණයේ දුර්ඝන්ධය හේ ආශ්වාස කළේය. ජීවිතය පතා දිව යමින්, සිය පවුලේ අයවලුන් ආරක්‍ෂිත තැනක රඳවා සමූල ඝාතනයන් වාර්තා කරනු වස් ආ මං ඔස්සේම පෙරළා දිව ගිය අවසාන මාස කිහිපයේ සියක් සංඛ්‍යාත ප්‍රහාරයන්ගේ පසු විපාක ඔහු දෑසින් දුටුවේය.

ලෝකීසන් වනාහී අන් මිනිසුන්ගේ ඛේදයන් ක්‍රියාශීලීව සොයා යමින් ඒවා වාර්තාගත කොටගත් අතළොස්සක් වූ දිවි ගළවාගත් ඇසින් දුටු සාක්කිකරුවන්ගෙන් අයෙකි. කොටු වූ සිය දහස් සංඛ්‍යාත දෙමළ ජනයා ක්‍රමයෙන් ක්‍ෂය වන භූමි ප්‍රදේශයකට ගාල් කරනු ඔහු බලා සිටියේය. රොකට් වෙඩි, මෝටාර් සහ බෝම්බ ප්‍රහාර මගින්, සමුදුර දෙසට ඔවුන්  පළවා හරිමින් ආහාර පානාදියෙන් තොර, අපවිත්‍ර කඳවුරු තුළට කොටුකරන ලදී. දශක ගණනාවක යුද්ධයෙන් පසු අපරිමිත පීඩාවන්ට මුහුණ දී ගැළවීගන්නට මේ මිනිසුන් සමත්කම් පෑවද,  ඉකුත් මාස කිහිපය තුළ හැඟීම් නොදැනෙන ආදි කල්පික භීෂණයකට සියල්ලෝ පිරිහෙළන ලද්දාහ. තේරුම්ගත නොහැකි පරිදි ඇතැ‍මුන් වනසා සෙස්සන් ඉතිරි කර, දැවෙන සෝක වේදනා ශේෂ කරමින් ඕනෑම මොහොතක මරණයේ පහර එල්ල වීමට පුළුවන. කිසිම රටාවක් හෝ තර්කයක් හෝ සීමාවක් නොවූ එහි තිබුණේ මහත් ලේ වැගිරැම් සහ වියෝග වේදනා පමණි.

මුලින් තමන් ඇස ගැටුණු ක්‍රෑරත්වය වීඩියෝගත කළ ලෝකීසන්, ශ්‍රී ලංකාවට ආධාර සපයන්නෙකු හා සාම මැදිහත්කරුවෙකු වූ නොර්වේ රාජ්‍යයේ පිහිටි සිය මූලස්ථානයට ඒවා  තම ලැප්ටොප් පරිඝනකය හා සැටලයිට් තැටිය භාවිතා කොට යැවීය. නමුත් එම දසුන් භාවිතාවට ගත නොහැකි තරම් බියකරු බව ටික කලකදී ඔහු පසක් කොටගත්තේය. ඉක්බිති ඔහු ඒ වෙනුවට, සංහාරයේ සහ විනාශයේ සුවිස්තෘත බව සිතා මතා අවම කළ කළු – සුදු සේයා රූ යවන්නට පටන්ගත්තේය.

ලොව වටා රාජ්‍ය තාන්ත්‍රිකයින්ද, මාධ්‍යකරුවන්ද, දෙමළ ඩයස්පෝරාවද ලෝකීසන්ගේ වාර්තා අන්තර් ජාලය ඔස්සේ කියැවූහ. නමුත් සෑම උදෑසනකම ඔහුගේ වාර්තා පරීක්‍ෂාවෙන් කියවා ඒ පිළිබඳ කෝපයෙන් පිපිරුණු ශ්‍රී ලංකා හමුදාවෝ ඒ වාර්තා අගය නොකළෝය. ජාත්‍යන්තර මාධ්‍ය විසින් ශ්‍රී ලංකා හමුදාවන් සැපයූ ජීවිත හානි සංඛ්‍යාවන් පිළිබඳ නිල වාර්තා තුලනය කරනු වස් ලෝකීසන්ගේ වාර්තා උපුටා දක්වනු ලැබීමෙන් කුපිත වූ ඔවුහු ටැමිල් නෙට් වෙබ් අඩවියෙහි පළවන්නේ ත්‍රස්තවාදී සම්ප්‍රචාරණ යැයි නම් කොට පිළිකෙව් කළහ. ඊට හේතුව වූයේ, අන් මාධ්‍යයන් මෙන් නොව, ටැමිල් නෙට් වෙබ් අඩවියට ගැටුම් භූමිය තුළ වාර්තාකරුවෙකු සිටි හෙයිනි. ඔහු කොටින් විවේචනය නොකළද, මරණය අහසින් වර්ෂාවක්ව ඇද වැටෙන තැනෙක කොටුව සිටින්නට සිදුවීම කෙබඳුදැයි ලෝකයට කියන්නට ඔහු ප්‍රයත්න දැරීය. අන් මාධ්‍යකරුවෙකු මෙන්ම, සිදුවීම්වල පලවිපාකයන්ට බලපෑම් කරන්නට තමන්ට හැකි වෙතැයි ඔහු කල්පනා කළේය. සිදුවන්නේ කුමක්දැයි මිනිසුන් දන්නේ නම් එය නවතාලන්නට ඔවුන් තැත් දරනු ඇතැයි ඔහු විශ්වාස කළේය.

‘බොහෝමයක් දෙමළ මිනිස්සු එහි විඳවමින් සිටින බව ලෝකයා දැනගෙනයි හිටියේ. ප්‍රායෝගිකව සැළකුවොත්, ඒ අය චන්ද්‍රිකා ඡායාරූප හරහා යුද්ධය දිහා බලාගෙනයි හිටියේ. නමුත් ඒ අය කිසිම දෙයක් කළේ නැහැ’ යි කියන ඔහු ‘මගේ සංවිධානය වෙනුවට රොයිටර්ස් සේවාව හරි බීබීසීය හරි එතැන හිටියා නම් එය නවතින්නට තිබුණා’යි ශෝකීව කියයි.

අනතුරක පූර්ව නිමිති පිළිබඳ ලෝකීසන්ට පළමුවරට ගැඹුරින් හැඟී ගියේ ඩික්සී ඇතුළු එක්සත් ජාතීන්ගේ සෙස්සන් කැරැළිකරැවන් විසින් පාලිත භූමියෙන් පිටව ගිය 2008 සැප්තැම්බරයේදී ය. ෂෙල් සහ බෝම්බ කිලිනොච්චියට පතිත වෙමින් තිබූ අතර, සිය දහස් සංඛ්‍යාත ජනයාට ජාත්‍යන්තර සහන සේවකයින්ගේ පිළිසරණ වඩාත්ව අත්‍යවශ්‍යව තිබූ මොහොතේදීම ඔවුන්ට පිටව යන්නැයි ආණ්ඩුව නියෝග කළේය. සුධවල ෆෝ වීල් ජීප් රථ පෙළ වේගයෙන් තමන් පසුකොට යන අතරේ තරුණ වාර්තාකරුවා සිය මතු දවස පිළිබඳ බියෙන් මාවත අද්දර ගුරු පැහැ ධූලි වලා අතර රැඳී සිටියේය. වෙඩි නොවදින සැට්ට සහ ආරක්‍ෂිත හිස් වැසුම් පැළැඳගත් සහන සේවකයින් අතර සිටි හුරු පුරුදු මුහුණුවල දසුන් මාත්‍රයක් නෙතට හසු කොටගන්නා අතරේ යුද්ධය තව කෙතරම් නරක අතට හැරෙන්නට ඉඩ ඇතිදැයි ඔහු කුහුලින් පසු විය. ඒ වනවිටත් ජනගහණයෙන් අඩකට නිවාස අහිමිව තිබිණ. වැරහැලි හැඳි, භ්‍රාන්තියට පත් ගොවීන්ද, කඩ හිමියන්ද දැන් ගස් යට කඳවුරු ලා සිටියහ. ගුවන් ප්‍රහාර එල්ල වන විට, දිස්ත්‍රික් රෝහල් වාට්ටුවල ආධාරකවල එල්ලූ දියර මළුවලට සම්බන්ධකළ ශිරාගත ප්ලාස්ටික් නාල ගළවාගෙන තුවාලලත් රෝගීන් දිවි රැකගනු වස් පලා යනු ලෝකීසන් දැක තිබිණ. එක්සත් ජාතීන් රැඳී සිටියදීත් ගිළන් රථ සහ පාසැල් බස් රථවලට ප්‍රහාර එල්ල කර තිබුණි.

‘මිනිස්සුන් වේදනාවටත්, වියවුලටත් පත්වෙලායි හිටියේ.  අපි කිසි කෙනෙක් හිතුවේ නැහැ ඒ අය එතැන අපිව අත්හැරලා යාවි කියලා. සාක්‍ෂිකරුවෙකු විදියට කටයුතු කරන්න පිටස්තර කිසිම කෙනෙක් ඉතිරි වෙලා හිටියේ නැහැ. මම තවමත් විශ්වාස කරන්නේ ඒ මිනිස් ඝාතනයන්ට බල පෑ ප්‍රධානම හේතුවක් වුණේ එක්සත් ජාතීන් පිටවෙලා යාමයි කියලා. සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක වාර්තා කරන්න කිසිම සංවිධානයකට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ අය හිටියා නම් ඉතාම අඩු ෂෙල් ප්‍රහාර ප්‍රමාණයක් තමයි එල්ල වෙන්න තිබුණේ’ ඔහු කියයි.

පරාජය වූ එකක් බව පැහැදිලිව තිබියදීත් දෙමළ අරමුණ උදෙසා සටන් කරනු වස් නව යොවුන් දරු – දැරියන් කැරැළිකරුවන් විසින් බලහත්කාරයෙන් රැගෙන යද්දී ඊට විරෝධය පාන්නටත් කිසිවෙකු ඉතිරිව නොසිටියේය. එක්සත් ජාතීන් නික්ම යනවාත් සමගම සිවිල් පරිපාලනය පිළිබඳ පැවැති කවර හෝ ඡායා මාත්‍රයක් පවා බිඳවැටීමට පටන් ගත්තේය. ලෝකීසන්ගේ ප්‍රධානියා මා හා කීවේ වාර්තාකරණය සඳහා කැරැළිකරුවන්ගේ කලාපය තුළ ඔබ මොබ යාම පිණිස කොටින්ගෙන් විශේෂ ලියමනක් ඔහුට අවශ්‍ය වූ බවත්, එසේ නොවී නම් ප්‍රදේශය පීරන බඳවාගැනීමේ කණ්ඩායම් විසින් ඩැහැගනු ලැබ යුද පෙරමුණට ඔහු යවන්නට ඉඩ තිබූ බවත් ය.

ශ්‍රී ලංකා යුද හමුදාවන් ෂෙල් ප්‍රහාර එල්ල කරමින් කැරැළිකරුවන්ගේ පාලන ප්‍රදේශ ගැඹුරට කා වදිද්දී, පොල් රුප්පාවෙන් මායිම් වූ වෙරළ තීරයන් හා සමතල දිගු වගුරු සහිත කළපුවලින් යුත් චමත්කාර නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශයන් කරා වට වංගු ගැසුණා වූ වළ ගොඩැලි හා ගල් වන ගහණ අප්‍රධාන වෙරළබඩ මාර්ගය ඔස්සේ ජනයා පලා ගියහ. ගොඩකරයේදී මාර්ගය දිව ගියේ වාරි ජලාස හා පළතුරු ගසින් පිරි, පොල් අරඹවල තුරුලේ රැඳුණු ගොවි ගම්මාන ඔස්සේ ය. කුරුළු කූජන හා සී පාවුන්ගේ හඬ හැරෙන්නට, සාමාන්‍යයෙන් ඇසුණේ ඉඳහිට යනෙ’න යතුරු පැදියක හෝ වඩුවෙකුගේ රිද්මයානුකූල මිටි පහර නාදයත්  හින්දු කෝවිලක වාදනය කෙරුණු කැසට් පටයයකින් ගලා ආ භක්ති ගී රාවයත් පමණි. 2009 ජනවාරිය වන විට ඒ ශාන්ත ගම්බද දිවිය අතීතයට අයත් එකක්ව තිබිණ. විවිධ ස්වරමාන ඔස්සේ නැගෙන විලාප හඬ වා තලය විනිවිද ගියේය. නන් අතින් එක්වර නැගෙන අඳෝනා, උත්ක්‍රෝෂ, මොර දීම්, හැඬුම්, වැළපුම් බොහෝමයක් නැගුණේ වික්‍ෂිප්තව සිය මව්වරු සොයන බියෙන් සසල වූ දරුවන්ගෙනි.


- මතු සම්බන්ධයි -