Hot!

බැංකු පොලී අනුපාත අඩුවන්නේ කවදාද?


ශ්‍රීලංකා මහ බැංකුව ගිය වසරේ (2012) පෙබරවාරි සිට ක්‍රියාත්මක කරන ලද දැඩි මුදල් ප්‍රතිපත්ති ස්‌ථාවරය මේ වන විට ක්‍රමයෙන් ලිහිල් කර තිබේ. ඒ අනුව දිගු කලක්‌ පුරා බොහෝ දුරට ස්‌ථායි මට්‌ටමක පවතින උද්ධමනයට ප්‍රතිචාර දක්‌වමින් ගිය වසරේ (2012) දෙසැම්බර් මස සිට මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් සිය ප්‍රතිපත්තිමය පොලීS අනුපාතික දෙවරක්‌ පහත හෙළන ලදී. එසේම බැංකුවලට පනවා තිබූ ණය දීමේ සීමාව ද ඉවත් කරන ලදී. මේ ආකාරයට මහ බැංකුව සිය පොලී අනුපාත අඩු කළත්, සිය දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ස්‌ථාවරය ලිsහිල් කරනු ලැබ තිබුණත්, බැංකු තවමත් ඊට නිසි ප්‍රතිචාර දක්‌වා නැත. මේ ගැන මහ බැංකුවම පවසන්නේ දැඩි මුදල් ප්‍රතිපත්ති ස්‌ථාවරය ලිහිල් කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම හමුවේ සාමාන්‍ය ණය පොලී අනුපාතික පහළ ගියද එය තරමක්‌ දුරට මන්දගාමිව සිදුවූ බවයි. එහෙත් අපට නම් හැඟෙන්නේ වාණිජ බැංකු විසින් තවමත් බැංකු ණය පොලී අනුපාත අඩු කිරීමට හරිහැටි ක්‍රියාකර නැති බවයි. මේ නිසා ඉහළ මට්‌ටමක පවතින ණය පොලී අනුපාත, අද දිනයේ දැවෙන ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබේ. මේ ලිපියෙන් අපගේ අවධානය යොමුවන්නේ ඒ ගැනය.

මේ දිනවල බැංකුවල සාමාන්‍ය ණය පොලී අනුපාතය සියයට 16.4 ක්‌ පමණ වේ. වාර්ෂික සාමාන්‍ය උද්ධමනය සියයට 8.8 කි. මේ අනුව උද්ධමනය සහ ණය පොලිය අතර පරතරය සියයට 7.6 ක්‌ පමණ වේ. (මේ සමග ඇති වගුව බලන්න.) මේ ලිපිය සමග ඇති වගුවේ ඇති සෙසු රටවල්වල ණය පොලී අනුපාත සහ උද්ධමනය අනුපාත මෙන්ම ඒ අතර ඇති පරතරයන් පරීක්‍ෂා කිරීමෙන් අපට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ උද්ධමනයට සාපේක්‍ෂව ණය පොළිය ඉතා ඉහළ මට්‌ටමක පවතින බවයි. එසේම උද්ධමනය සහ ණය පොලී අනුපාත අතර පරතරයද ඉතා ඉහළ අගයක පවතින බවය. මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස මෙසේය.

"ශ්‍රී ලංකාවේ ඉතිරි කිරීම් හා ණය පොලී අනුපාතික අතර අන්තරය බොහෝ කලාපීය ආර්ථිකයන්ට වඩා තවමත් සැලකිය යුතු අයුරින් ඉහළ අගයක පැවතීම පිළිබඳව මුදල් මණ්‌ඩලය සිය අවධානය යොමු කරන ලදී. මෙම තත්ත්වය, ශ්‍රී ලංකාවේ මූල්‍ය අතරමැදිකරණයෙහි කාර්යක්‍ෂමතාව, සාපේක්‍ෂ වශයෙන් අඩුවීම පිළිබිඹු කළ හැකි අතරම අනෙකුත් නැගී එන ආර්ථිකයන්ට සාපේක්‍ෂ වශයෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාපිත සංචිත අවශ්‍යතාව ඉහළ මට්‌ටමක පැවතීම ඒ සඳහා දායක වූ තවත් සාධකයක්‌ ලෙස සැලකිල්ලට ගෙන ඇත."

මේ ගැන සැලකිල්ලට ගනිමින් සහ මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්‌ථාවරය තවදුරටත් ලිහිල් කරමින් බැංකුවල ව්‍යවස්‌ථාපිත සංචිත අනුපාතය (වාණිජ බැංකුවල මුදල් තැන්පතුවලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු ප්‍රමාණය) අඩු කිරීමට තීරණය කළේය. ඒ අනුව ලබන ජුලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ව්‍යවස්‌ථාපිත සංචිත අනුපාතය ප්‍රතිශතාංක දෙකකින් අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය තීරණය කොට ඇත. මේ අනුව සියයට 8 ක්‌ වන ව්‍යවස්‌ථාපිත සංචිත අවශ්‍යතාව ජුලි 01 වැනිදා සිට සියයට 6 ක්‌ දක්‌වා අඩුවනු ඇත. මෙය ඉහළ මට්‌ටමක පවතින බැංකු ණය පොලී අනුපාත අඩු කිරීමට සහ පොලී අනුපාත අන්තරය (තැන්පතු පොලී අනුපාත හා ණය පොලී අනුපාත අතර පරතරය) අඩුකිරීමටද බැංකුවලට හැකියාව ලබා දෙනු ඇතැයි යන්න මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ අදහසයි. එසේම මෙම නව තීරණයත් සමග ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාපිත සංචිත අවශ්‍යතාව අනෙකුත් බොහෝ නැගී එන ආර්ථිකයන්හි මට්‌ටමට ගෙන ඒමට හැකි වනු ඇතැයිද මහ බැංකුව අපේක්‍ෂා කරයි.

උද්ධමනය අඩු වුවත් ඊට අනුරූප නොවන ඉතා ඉහළ ණය පොලියක්‌ බැංකු විසින් අය කරනු ලැබීම සාමාන්‍ය මහජනතාවට මෙන්ම ව්‍යාපාරික ක්‍ෂේත්‍රයටත් ඉතා දැවෙන ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබේ. බොහෝවිට ව්‍යාපාරික කටයුතුවලදී බැංකු ණය ගැනීම සාමාන්‍ය දෙයකි. අධික බැංකු ණය පොලියක්‌ ගෙවන්නට සිදුවීමෙන් එම ව්‍යාපාර ආයතනවල වියදම් ඉහළ යයි. අවසානයේ වියදම් එකතු= වන්නේ භාණ්‌ඩ හා සේවාවල මිලටය. විශේෂයෙන්ම අපනයනකරුවන්ට මෙය ඉතා අහිතකර ලෙස බලපායි. වෙනත් රටවල සාපේක්‍ෂව අඩු පොලී අනුපාත ක්‍රියාත්මක වෙද්දී, අපේ රටේ අධික පොලියට ණය ගෙන ව්‍යාපාර කටයුතු කිරීමට සිදුවීමේ ප්‍රතිඵලය වන්නේ අපේ අපනයනකරුවන්ට විදේශ වෙළෙඳපොළ තරගකාරීත්වයට මුහුණදීමට අසීරු තත්ත්වයක්‌ නිර්මාණය වීමයි. මේ නිසා ඔවුන් අපනයන කටයුතු සිදු කිරීමට අධෛර්යවත් වන බව අමුතුවෙන් කිවයුතු නැත. අපනයනකරුවන් පමණක්‌ නොව සෙසු ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය මහජනතාවත් අද දිනයේ උද්ධමනයට ගැලපෙන සාධාරණ පොලී අනුපාතයක්‌ ක්‍රියාත්මක නොවීමෙන් අසහනයට පත්ව සිටිති.

මේ අහිතකර තත්ත්වය ගැන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙන්ම මහා භාණ්‌ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ද නොයෙක්‌ වර කතා කරනු අප දැක තිබේ. එහෙත් මේ ගැන කතා කර කර සිටීමෙන් පමණක්‌ ඵලක්‌ නැත. මේ තුළින් අපනයන වර්ධනයට මෙන්ම පොදුවේ ආර්ථික ක්‍රියාකාරීත්වයට ඇතිවන අහිතකර තත්ත්වය සලකා වාණිජ බැංකුවල ණය පොලී අනුපාත අඩු කිරීම පිළිබඳ දැඩි තීන්දුවක්‌ ගැනීමට මහ බැංකුව ක්‍රියා කළ යුතු බව අපේ හැඟීමයි. මේ සඳහා මහ බැංකුව සූදානම්ද? බැංකුවලට ද මෙහිදී කිවයුත්තක්‌ ඇත. එනම් ඔවුන්ට ලාභ ලැබීමට අමතරව රටේ ආර්ථික සංවර්ධනයට දායකවීමට ද වගකීමක්‌ ඇති බවයි. අඩු උද්ධමනයක්‌ පවතිද්දී, එසේම මහජනයාගේ තැන්පතුවලට සොච්චම් පොලියක්‌ ගෙවා ලබාගන්නා තැන්පතු මුදල් තම ගනුදෙනුකරුවන්ට ණයට දීමේදී ඉතා අසාධාරණ පොලියක්‌ අය කිරීමෙන් වන්නේ ණය ගැනීම් අධෛර්යවත් වීමයි. අනිත් අතට එය ගනුදෙනුකරුවන් සූරා කෑමක්‌ ද වෙයි. ඒ නිසා ආර්ථික ක්‍රියාකාරකම් අඩුවී ආර්ථික වර්ධනය මන්දගාමී වෙයි. එසේනම් රජයේ ඉදිරි ආර්ථික ඉලක්‌කවලට මේ තත්ත්වයත් සමග ගමන් කළ හැකිද? ආසියාවේ ආශ්චර්ය බවට රට පත්වනු ඇතිද? ආර්ථික සංවර්ධනය යන්න රජයට පමණක්‌ ඇති කළ හැක්‌කක්‌ නොවේ. ඒ සඳහා පෞද්ගලික අංශය, සාමාන්‍ය මහජනයා මෙන්ම, බැංකු ආයතන ද දායක විය යුතුවේ. ඒ නිසා බැංකු කළ යුත්තේ උද්ධමනයට ගැලපෙන තමන් තැන්පතු සඳහා ගෙවන පොලියට ගැලපෙන සාධාරණ ණය පොලියක්‌ තම ගනුදෙනුකරුවන්ගෙන් අය කිරීමට ක්‍රියා කිරීමයි. බැංකු ලාභ ලැබිය යුතුය. එය වරදක්‌ නොවේ. එහෙත් රටේ ආර්ථික සංවර්ධනයට දායකවීමේ යුතුකම පැහැර හරිමින් ලාභය උපරිම කර ගැනීමට පමණක්‌ ක්‍රියා කිරීම අනුමත කළ නොහැකිය.

ගිය වසරේ (2012) ආර්ථික වර්ධනය සියයට 6.4 දක්‌වා අඩු වූ බව අපි දනිමු. මුලින් අපේක්‍ෂා කළේ 2012 වසරේදී සියයට 8 ක ආර්ථික වර්ධනයකට ගමන් කිරීමටයි. එහෙත් ආර්ථිකයේ විදේශීය අංශයේ ඇතිවූ නොසන්සුන්තාවන් සමනය කර ගැනීමට මහ බැංකුවට පොලී අනුපාත වැඩි කරමින් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමට සිදුවිය. මේ වන විට ආනයන වර්ධනය අඩුවී වෙළෙඳ හිඟය ද අඩුවීමෙන් විදේශීය අංශයේ මතුව තිබූ පීඩනයන් සමනය වී ඇති නිසා මහ බැංකුව ද සිය දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කර ඇත. එහෙත් එහි අරමුණු ඉටුවීමට නම් වාණිජ බැංකු විසින් ද ඊට නිසි ප්‍රතිචාර දක්‌වමින් ණය පොලී අනුපාත පහත හෙළිය යුතුව ඇත. එහෙත් බැංකු තවමත් තම ඉහළ ණය පොලී අනුපාත ප්‍රමාණවත් පරිදි අඩු කර නැත. මේ වසරේ (2013) පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 6 දක්‌වා අඩුවී තිබේ. ගිය වසරේ (2012) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8 ක වර්ධනයක්‌ වාර්තා කර තිබිණි. එසේම මේ වසරේ (2013) පළමු මාස හතරේ (ජනවාරි සිට අප්‍රේල් දක්‌වා) අපනයන ආදායම සියයට 7.8 කින් අඩුවී තිබේ. මෙවැනි අහිතකර තත්ත්වයන්ට ද රට තුළ ක්‍රියාත්මක වන ඉහළ ණය පොලී අනුපාත හේතුවකි. ඒ නිසා බැංකු විසින් ද කෙටිකාලීන ලාභ උපරිම කර ගැනීම ගැන පමණක්‌ නොසිතා දිගුකාලීන පැවැත්ම ගැන සිතිය යුතුවේ. රටේ ආර්ථික වර්ධනය හා ආර්ථික සංවර්ධනය වේගවත් වුවහොත් එය බැංකුවල පැවැත්මට ද හිතකරය. මේ ගැන සියලු බැංකු ආයතන විසින් අවධානය යොමු කර සිය ණය පොලී සාධාරණ මට්‌ටමක්‌ දක්‌වා පහත හෙළීමට පියවර ගත යුතුව ඇති බව කිව යුතුය.


ශ්‍යාම් නුවන් ගනේවත්ත