Hot!

දැන් කාපල්ලා මගේ බත්...

                                                  
උපුල් ජෝශප් ප්‍රනාන්දු

චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ චන්ද්‍රිකා මහින්දව හැඳින්වූයේ රිපෝටර් යැයි කියාය. ඇය මහින්දට රිපෝටර් කියා හැඳින්වූයේ මහින්ද කැබිනට් තොරතුරු පත්තරකාරයන්ට දෙනවා කියලාය.

"මහින්ද ඔයා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් ඇදගෙන ඇමැතිවරුන්වත් අවුස්සලා කැබිනට් එක දෙක කරලා පත්තරකාරයන්ට දෙනවා නේද?"
මේ එකල චන්ද්‍රිකා කැබිනට් මණ්ඩලයේදී මහින්දට නඟන චෝදනාවය.

ඒත් මහින්ද ජනාධිපති වුණාට පස්සේ රිපෝටර්ලා හොයාගන්න බැරි විය. රිපෝටර්ලා හිටියත් පත්තරවලට දෙන්නේ මහින්ද කැබිනට් එකේ කරන විහිළුය. කොහොමත් මහින්දට ඇහෙන්න සද්දෙන් කතා කරන ඇමැති කෙනෙක්වත් හොයාගත නොහැකිය. කැබිනට් එකේ ඔක්කොම යර්ස් සර්ලාය.
නමුත් පහුගිය සතියේ කැබිනට් එක චන්ද්‍රිකාගේ කාලයේ කැබිනට් එකටත් වඩා ගෝරි ගොඩකි. ඒ ගෝරිය 13ටය. මහින්දට මතක් වෙන්න ඇත්තේ චන්ද්‍රිකාගේ කාලයේ කැබිනට්ටුවේ තීන්දු තීරණ විවේචනය කරන්න මහින්ද නැඟිටින විට මහින්දට පක්ෂවත් චන්ද්‍රිකාට පක්ෂවත් දෙපිල බෙදී ගහ ගන්නා හැටිය. පහුවැනිදා ඒ ඔක්කොම ගෝරි පත්තරේ මුල් පිටුවේය.

පහුගිය සතියේ මහින්දටත් කන්න වුණේ ඒ පරිප්පුවමය. 13ට පක්ෂව රාජිත සහ වාසුදේව, ඩියුත්, 13ට විපක්ෂව චම්පික සහ විමල් වාද කරද්දී මහින්ද නැඟිටලා ගියාය කියන්නේ ඒ ගෝරිය තමන්ගේ ඇඟට එන්න කලින්ය. හැබැයි චන්ද්‍රිකාගේ කාලයේ වගේම ගෝරිය පත්තරවල මුල් පිටුවේ ගියේය.

මහින්ද මේ රඟපාන්නේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ චරිතයයි. බණ්ඩාරනායකත් අගමැති වෙලා වම සහ දකුණ මැද මහා ගෝරියට පැටලිණි. තමා දෙපැත්තටම නැහැ කියලා පෙන්වන්න යෑමෙන් බණ්ඩාරනායකගේ අතින් ආණ්ඩුවේ බලය ගිලිහිණි. වම සහ දකුණ තම තමන් අතට බලය ගෙන බණ්ඩාරනායකව තමන්ගේ හිරකාරයෙක් කරගන්න උත්සාහ කළහ. මේ බණ්ඩාරනායක ආණ්ඩුවේ ඇමැති ටී.බී. ඉලංගරත්න 'යුගයක ගමන' පොතෙහි ඒ ගැන කියන කතාවය.
'නව රජයේ මේ ප්‍රගති ගමනට විරෝධය වඩාත් නැඟ ආවේ අඳකාරයන්ගේ සුරක්ෂිතතාව සඳහා කුඹුරු පනතක් හා අඩු ආදායම් ඇත්තන්ගේ ණයගැති භාවය තුරන් කිරීමට හා සුළු ව්‍යාපාරිකයන්ට ධෛර්යය දීමටත් සමුපකාරයේ වර්ධනයටත් අභිනව සමුපකාර බැංකු පනතක් පිලිප් ගුණවර්ධන ඇමැතිතුමා ඉදිරිපත් කළ විටය.
විප්ලවීය සමසමාජ පක්ෂය මහජන එක්සත් පෙරමුණ රජය තුළ අධිරාජ්‍යයක් මේ පනත් දෙක මඟිනුත් ගොඩනඟන්නට උත්සාහ දරන්නේ යැයි යන පදනම මත ඔහුට විරුද්ධව උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු කණ්ඩායම තුළත් ඉන් පිටතත් වර්ධනය විය.

කුඹුරු හිමියනුත් රජයේ ප්‍රගති ගමන නිසා වරප්‍රසාද අහිමිව යෑමෙන් කලකිරීමට පත්වූ බලවත්තුත් බැංකු අධිකාරීනුත් පිලිප් විරෝධී මතය උග්‍ර කළහ.
ඒ අතර එකල පැවැති විදේශීය නෞකා සේවයට රජයේ නෞකා සේවයක් ආදේශ කිරීම වෙනුවට පෞද්ගලික ලාංකික නැව් සමාගමක් ඇති කිරීමට රජය පොලඹවා ගත නොහැකි වූ නිසා උරණ වූ දේශපාලන ආත්මාර්ථකාමීහුද ඒ පිරිසට එක්වූහ.
නොබෝ දිනකින් විප්ලවීය සමසමාජ පක්ෂයට එරෙහි වීමේ මුවාවෙන් බණ්ඩාරනායක අගමැතිතුමාද තමා පැත්තට හරවා ගන්නා අටියෙන් ඇමැතිවරු දහ දෙනෙක් ඇමැති මණ්ඩල රැස්වීම්ද වර්ජනය කළහ.

එම වර්ජනයට ඇම්.ඩබ්ලිව්.එච්.ද සිල්වා අධිකරණ ඇමැතිතුමාත් ඒ.පී. ජයසූරිය ඇමැතිතුමාත් මමත් සම්බන්ධ නොවූවෙමු.
පැනනැඟුණු මේ තත්ත්වය නිසා අගමැතිතුමා සිත් වේදනාවට පත්විය. ප්‍රජාතන්ත්‍රවාදයත්, සමාජවාදයත්, යථාර්ථවාදයත් එක්සත් කෙරෙන ආණ්ඩු ක්‍රමයක් මඟින් සමානාත්මතා සමාජයක් අරමුණු කරගත් අවංක පරාර්ථකාමී දේශපාලකයකු වූ බණ්ඩාරනායක අගමැතිතුමා තම සගයන් මැවූ මෙම අකෘතඥතා හා අසාධාරණ වාතාවරණය කිසිසේත් බලාපොරොත්තු නොවූවකි.

කුඹුරු පනතත් සමුපකාර බැංකු පනතත් තමන් ආරම්භ කළ ප්‍රගති ගමනට බෙහෙවින් අදාළ බව ඔහු දනී. ඒවා අගතිගාමී හෝ අතිගාමී නොවන නිසා එරෙහි වීමට හැකියාවක් තිබුණේ නැත.
අනුන්ගේ සැකයට, බියට ලක් නොවී යහපත් අරමුණු ළඟාකර ගැනීමට හැකිවන සේ පිලිප්ගේ හැසිරීම සංවර කිරීමද පහසු නොවීය.
ඇමැතිවරු දහ දෙනා අයින්කර වෙන දහ දෙනෙක් පත්කිරීමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදරා යෑමට හේතු විය හැකිය.
මෙසේ දෙලොවක් අතර සිටින්නන් වෙන බලවේගයන් මත විසඳුම් සෙවීම ස්වාභාවිකය. ඒ අනුවදෝ බණ්ඩාරනායක අගමැතිතුමා තමාගේ පෞද්ගලික ආශ්‍රිතයන්ගේ උපදෙස් අනුව ඇමැති මණ්ඩලයේ වැඩිදෙනාගේ පැත්ත ගැනීමට අදහස් කරන බව ප්‍රකට විය.

නොබෝ දිනයකින් කුරුණෑගලදී පවත්වන්නට යන පක්ෂ සම්මේලනයේදී පක්ෂ සභාපතිගේ කතාවට ප්‍රගති ගමන් වේගය අඩු වන අන්දමේ අදහස් අඩංගු කිරීමට යන බව මට ආරංචි විය. බද්යුදීන් මාමුඩ් මහතා සමඟ අගමැතිතුමා හමුවට මා ගොස් එවැනි ආරංචියක් මට ලැබුණු බවත් එය මා විශ්වාස නොකරන බව මා සඳහන් කළ බවත් මම කීවෙමි. මා එසේ කළේ එවැනි සභාපති කතාවකට මගේ විරෝධය ඇඟවීමටයි. අගමැතිතුමාද මගේ ඒ නිගමනය සනාථ කළේය.
සුපුරුදු චරියාව අනුව සති අන්තයට මගේ මැතිවරණ කොට්ඨාස වූ ගලහ ආසනයේ ජනතාවගේ වුවමනාකම් ගැන සොයා බැලීමට ගොස් සිටියදී පිලිප් ගුණවර්ධන ඇමැතිතුමාගේ බලතල අඩුකිරීමට යන බවත් එය විප්ලවකාරී සමසමාජ පක්ෂයේ ඇමැතිවරු දෙදෙනා වූ පිලිප් ගුණවර්ධන හා විලියම් සිල්වා නුරුස්සන බවත් විශ්වාසදායක මාර්ගයකින් මට දැනගන්නට ලැබිණි.

මේ අවාසනාවන්ත වර්ධනයෙන් මට සිත්තැවුල් ඇති විය. එම සතියේ රැස්වීම් කීපයකට සහභාගි වූ මගේ කතාවල ඒ කලකිරීම පිලිඹිබු කළෙමි. මගේ ඒ ආකල්පය ආරංචි වීදෝ කොළඹ ආ වහාම අගමැතිතුමා හමුවන්නැයි ටැලිෆෝන් පණිවුඩයකින් මට දන්වා තිබිණි. ඔහුට අකීකරු වීම ප්‍රකාශ කිරීම සඳහාම සවස් වනතුරුම මම කොළඹ නොගොස් සිටියෙමි.
හොඳට හවස් වූ විට ශ්‍රාවස්තියට ළඟා වූ මට අගමැතිතුමාගෙන් ලිඛිත පණිවුඩයක් තිබිණි. මෙතෙක් මගේ පැමිණීම එතුමා බලාපොරොත්තුවෙන් සිටිය බවත්, ආරාධිත රාත්‍රි භෝජනයකට යන බවත් කිසිම තීරණයක් ගැනීමට පෙර ඔහු හමුවිය යුතු බවත් ආපසු ඔහු ආ විට ටැලිෆෝනයෙන් කතා කරන බවත් එහි සඳහන් විය.

ඒ අතර මා හා සමාන අදහස් දැරූ ඇම්.ඇස්. තේමිස්, හි්‍යු ප්‍රනාන්දු, නිමල් කරුණාතිලක, ‍ෙදාස්තර ඩී.ඩබ්.ද සිල්වා ආදී මන්ත්‍රිවරු කීපදෙනෙක් මා හමුවීමට පැමිණ සිටියහ.
අපේ සාකච්ඡාවෙන් පසු තීරණය කරන ලද්දේ පිලිප් හා විලියම් දෙදෙනා යථා තත්ත්වයෙන් ඇමැති මණ්ඩලය තුළ තබා ගැනීමට තැත් කිරීමටය.
අගමැතිතුමා ටැලිෆෝනයෙන් කතාකර රෑ බෝවී තිබෙන නිසා කුරුණෑගලදී පසුවදා හමුවීමට යෝජනා කළේය.
මගේ ප්‍රතිචාරය එතුමාට පැහැදිලි කළෙමි. මා හා සමාන අදහස් දරන කීපදෙනකුගේම යෝජනාව ඇමැතිවරුන් දෙදෙනා යථා තත්ත්වයෙන්ම ඇමැති මණ්ඩලය තුළ තබාගත යුතුය යන්න බව කීවෙමි.

ඒ දෙදෙනාට ‍ෙදාර ඇර තිබෙන බවත් ඒ සම්බන්ධව අප ගන්නා පියවරට ඔහු විරුද්ධ නැති බවත් අගමැතිතුමා කීවේය.
එයින් ධෛර්යවත් වූ අපි අපේ ක්‍රියාමාර්ගය ගැන තවදුරටත් සාකච්ඡා කර අවසානයේදී අපේ අරමුණ සාර්ථක කරගැනීම පිණිස පිලිප් හා විලියම් එකඟ කරවා ගැනීම සඳහා කෙනකු යැවීමට තීරණය කළෙමු.
අපි වහාම කුරුණෑගල සම්මේලනය සඳහා පිටත්ව ගියෙමු. එහි ළඟා වන විට උත්සව පෙළහැර පටන්ගෙන තිබිණි.
මාරික්කාර් ඇමැතිතුමා අලියකු පිට නැඟී සිටියේය. අගමැතිතුමාත් කුරුණෑගල මන්ත්‍රි මොන්නෑකුලමත් විවෘත කාරයක සිටගෙන ගියෝය.

‍ෙදාස්තර ඩබ්ලිව්. ඩී. ද සිල්වාත් මමත් එම කාරය පසුපස ගියෙමු. ඒ දුටු අගමැතිතුමා මටද කාරයට නඟින ලෙස ආරාධනා කළේය.
'අපි ඔබ පස්සෙන් තල්ලුකර ගෙන යන්නම්' මම උපහාසයෙන් කීවෙමි. අගමැතිතුමා එය මවාගත් සිනාවකින් ඉවසුවේය.
නගර සභා ශාලාවේදී සභාපති දේශනය ආරම්භ විය. අපට ආරංචි වූ ලෙස ප්‍රගති ගමනට බාධා ඇතිවන සුළු වචන කීපයක් අගතිගාමීන්ගේ අත්පොළසන් මධ්‍යයේ ඔහු උච්චාරණය කළේය.
ඇමැති වර්ජනයට ප්‍රකාශිත නායකත්වය දුන් ස්ටැන්ලි සොයිසා ජයග්‍රාහක සිනාවකින් මුහුණ සරසාගෙන මා දෙස හැරී බැලුවේය. මම එය නොදැක්කා සේ සිටියෙමි.
සභාපති කතාව තවත් දුරට කරගෙන යමින් තවත් එවැනි වචන කීපයක් පිට කළේය. ඇමැති වර්ජනයට පත්‍ර මඟින් වර්ධනය කළ ප්‍රසිද්ධ පත්‍ර කලාවේදී මෙනෙවියක්ද උද්දාම බැල්මක් මා වෙත හෙළුවාය.

මට ඉවසුම් නැති වී කෝපයෙන් බොළඳ වී දියකුටියට යන්නා සේ හඟවා එහි ‍ෙදාරටුව අසල සිටි ඇගේ හිසට මගේ හිස්වැස්ම ලා සමච්චලයෙන් ඇගේ හිසකෙස් අවුල් වන සේ ආපසු ගෙන මෑත් වීමි.
අගමැතිතුමාගේ ඒ කුරුණෑගල දේශනයෙන් පසු ලංකාවේ දේශපාලන කාලගුණයේ සෑහෙන වෙනසක් ඇතිවිය. රජය කෙරෙහි තිබුණ ප්‍රගතිශීලී ප්‍රසාදය හීන වී ගියේය.

සමාජවාදී රටවල් සමඟ ඇතිකරගෙන තිබුණු මිත්‍ර සංගම්වල හිතවත්තුද, සමානාත්මතා ගමන ඉක්මන් කරවා ගැනීමෙන් නැතිබැරිකම් අඩුකරගෙන සහනයක් බලාපොරොත්තු වූවෝද පරාජිත වූ බලවතුන්ගේ පසු මැතිවරණ පළිගැනීම් අලුත්වැඩියා කරගැනීමෙන් පීඩා වින්දෝ ද එයින් කලකිරීමට පත්වූහ.
මෙතෙක් නව රජයේ ප්‍රගතිශීලී පියවර කෙරෙහි ප්‍රසාදය දක්වමින් සිටි විපක්ෂයේ ප්‍රගතිශීලී පක්ෂයද රජය විවේචනය කිරීමට පටන් ගත්තේය.
ඒ ජනතා කලකිරීම විප්ලවකාරී සමසමාජ පක්ෂ ඇමැති දෙපළගේ බලතල අඩුකිරීමට ප්‍රතිචාරයක් ලෙස භාරගෙන ඔවුහු වඩාත් දැඩි සිත් ඇති කරගත්හ.
පිලිප් හා විලියම් 1956 මැයි 19 වැනිදා ඇමැති මණ්ඩලයෙන්ද විප්ලවකාරී සමසමාජ පක්ෂය ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායමෙන්ද අස්වූහ. ඒ සමඟම එම දෙදෙනා පාර්ලිමේන්තු කණ්ඩායම තුළ තබාගැනීමට අප දැරූ ප්‍රයත්නයද ව්‍යර්ථ විය.

 වාසනාවන්ත කුරුණෑගල දේශනය ඔහු කරන ලද්දේ කුමන්ත්‍රණ කාරයන්ගේ හා එතුමාගේ පෞද්ගලික කිට්ටුවන්තයන්ගේ බලකිරීම නිසා ඇමැති මණ්ඩලයේ බහුතරයේ පැත්ත ගැනීම සඳහා මිස හිතට එකඟව නොවන බව අපි දැන සිටියෙමු. එසේම එම දේශපාලන පසුබැසීම ටික කලකින් වළක්වා ප්‍රගතියට යොමු කිරීමට බණ්ඩාරනායක අගමැතිතුමාට හැකිවන බව මගේ විශ්වාසය විය.
පිලිප් හා විලියම් ඇමැති මණ්ඩලයෙන් අස්වී ගිය පසු නව ඇමැති මණ්ඩලයේ දිවුරුම් දීම ආණ්ඩුකාර මන්දිරයේදී පැවැත්විණි. එම කාරිය හමාර වූ පසු කෙළින්ම දිවා ආහාරයට අරලියගහ මැඳුරට එන ලෙස අගමැතිතුමා ඇරයුම් කළේය.

ඒ. පී. ජයසූරියත් මමත් නියම වේලාවට එහි ගියෙමු. බොහෝ වේලාවක් යනතුරු සෙස්සෝ නාවෝය.
ප්‍රමාදයට කරුණු විමසූ විට ඒ.පී. කාරණය කීවේය. දිවුරුම් දීමෙන් පසු කිරිබත් කෑමකට ස්ටැන්ලි ද සොයිසාගේ තට්ටු නිවාසයකට ඔහුට කැ¼දවීමක් ලැබුණ බවත් ඔහු එහි නොගිය බවත් අනික් අය එහි යන්නට ඇතැයි ඔහු සිතන බවත් ඔහු පැහැදිලි කළේය.
මගෙන්ද ප්‍රශ්න කළ විට මටත් එවැනි ඇරයුමක් ලැබුණ බවත් එහි නොගිය බවත් කීවෙමි.
ටික වේලාවකින් ඇමැති කණ්ඩායම එකවර ආහ. අතිශය ලෙස කිපී සිටි අගමැතිතුමා 'ඔහෙලාගේ ජයග්‍රාහක කිරිබත් මගෙ ඇරයුමට වඩා රස වැඩිවුණා ආ?.දැන් කාපල්ලා මගේ බත්'
භෝජන සංග්‍රහයට එතරම් රළු හ¾ඩින් කළ ආරාධනයක් මා අසා නැත.'
එසේම එතරම් නිහඬ භෝජන සංග්‍රහයක් ඉන් පෙර හෝ පසු කිසි කලෙක මා බුක්ති විඳ නැත.

මේ කතාව කියනකොට පෙනෙන්නේ පැත්තක් නොගෙන ජාම බේරාගන්න ගිහින් ආණ්ඩුවට වෙච්ච ජරමරය.
මහින්දත් 13 ගැන තම ස්ථාවරය නොකියා දෙපැත්ත බෙදිලා ගහ ගත්ත අයට බලය පෙන්වන්න දුන්නොත් මේ ආණ්ඩුව ඉවර වෙන්න පටන් ගන්නේ බණ්ඩාරනායකගේ ආණ්ඩුව ඉවර වෙන්න පටන් ගත් තැනින්ය.

එදා බණ්ඩාරනායක ඔහුගේ ආණ්ඩුවේ අදිසි හස්තය වූ බුද්ධ රක්ඛිතගේ ආශීර්වාදය හිමිවූ දකුණට බර ඇමැතිවරුන්ට යටත් විය. මේ වන විට මහින්දත් ලංකාවේ ලොකු අයියා වන ඉන්දියාවේ ආශීර්වාදය හිමි 13ට පක්ෂ ඇමැතිවරුන්ට යටත් වී ඇති බවත් පෙනෙන්නට තිබේ. පළාත් සභා බලතල ඉවත් කිරීමට ලොකුම බාධාව වන පළාත් සභා වෙනස් කිරීමට සියලුම පළාත් සභාවල අනුමැතිය අවශ්‍යය කියන වගන්තිය සංශෝධනයට ගෙන ආ පනත දැන් මහින්ද අකුළාගෙන තිබේ. මෙයට හේතුව 13ට අත තියන්න එපාය කියා ඉන්දියාව දමපු සත්තම බව දන්නෝ දනිති.
එහෙම බලනකොට මහින්ද 13ට විපක්ෂ අයට අවංකත් නැත. පක්ෂ අයට අවංකත් නැත. එතකොට වෙන්නේ දෙපැත්තම නැතිකර ගැනීමය. බණ්ඩාරනායකට වුණෙත් අන්තිමේදී දෙපැත්තම නැති වීමය.