Hot!

නව නැම්මක පුරෝගාමියකු වූ එඩ්වඩ් ඇල්බි

                                                         
 
රෝහණ ආර්යරත්න

දෙවැනි ලෝක ‍යුද්ධයේ ජයග්‍රහණය මිත්‍ර හමුදාවලට අත්වීමත් ඉන් පසුව රිපබ්ලිකන් පක්ෂයේ ඩ්‍රවයිට් අයිසන් හවර් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමත් ඇමෙරිකන් සමාජයේ දේශපාලනමය හා සමාජීය වශයෙන් ස්ථාවර භාවයක් පැවතිණි. එහෙත් වික්ටෝරියානු කුහක සුචරිත වාදය බ්‍රිතාන්‍යයේ ආභාසයෙන් ඇමරිකන් වැසියා තුළ ස්ථාපනය වී තිබිණි. එය අළු යට ගිනි මෙන් පැවතීම නිසා ඇමරිකන් සමාජ ව්‍යුහයේ මහත් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබිණ. හැට ගණන්වල ඇතිවන ප්‍රචණ්ඩකාරී අවධිය තෙක් යටපත් වූ හැඟීම්, ආශාවන් විටින් විට පවුල නමැති සංස්ථාව තුළ වරින්වර නැගිටීම සිදුවිය. මෙයට මත්පැන් මහත් සේ උදව් වූ බව විශේෂයෙන් කිව යුතුය.

කළකිරීම මුසු වූ මෙම වේදනාකාරී සමාජීය පසුබිමක් පැවැති අවදියේ එනම් 1950 දී ඉහත දැක්වූ ගැටුම් උද්දීපනය වන අන්දමේ නාට්‍ය නිර්මාණ රැගෙන එඩ්වඩ් ඇල්බි සම්ප්‍රදායික ඇමරිකන් නාට්‍ය ක්ෂේත්‍රය තුළ කඩා වැදුණේ ය.

එවකට දක්නට නොලැබූ නවීන තේමාවන් ඉතාම තීව්‍ර අන්දමින් නිරූපණය කිරීම සඳහා ආකෘතිමය වශයෙන් පර්යේෂණාත්මක වූ ඇල්බිගේ නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයින්ගේ පමණක් නොව විචාරකයන්ගේ ද උදහසට ලක්වූයේ යැයි කිව හැකිය.

එහෙත් ඇමරිකන් නාට්‍ය ක්ෂේත්‍රය තුළ මහා පෙරළියක් නව නැම්මක් ඇති කිරීමට හෙතෙම ආතර් මිලර්, ටේනසි විලියම්ස්, ඉයුජින් ඕ නීල් වැනි කලාකරුවන් ආ මගේ ඊළඟ උරුමක්කරුවා ලෙස සලකනු ලැබීය.

ඇල්බි විසින් නිර්මාණය කරනු ලැබු නාට්‍ය 25 සමස්තයක් ලෙස විමසා බලන විට ඒවායින් අද්විතීය (unique) මතභේදකාරී, වෙනස් මතයකට අවනත නොවන ස්ථිර මතධාරී, එසේම හැඟීම් කුපිත කරවීමට සමත් වූ ලක්ෂණවලින් යුක්ත වීමත්, සමාජයේ පවතින වටිනාකම් වෙනුවට කෘතිම වටිනාකම් ආරෝපණය කිරීම ප්‍රතික්ෂේප කිරීම එමෙන්ම තෘප්තිමත් භාවය, ක්‍රෑර, නපුරු හැසිරීම හා බෙලහීන, පරාජිත චින්තනයන් අපහාසය ලක්කිරීම ද දක්නට ලැබීම නිසා ඇල්බිගේ නාට්‍ය අභූතරූපී නාට්‍ය සම්ප්‍රදායයට නිතැතින්ම සම්බන්ධ වී ඇත.

එමෙන්ම මේ නාට්‍යයන් නපුරුකම්, බෙලහීනකම් ශූන්‍යත්වය, පරාජිත භාවය සඟවාගෙන සිටි එවකට පැවැති සමාජිය සම්ප්‍රදායයන්ට එරෙහි වීම නිසා ඇල්බිගේ නාට්‍ය වානිජමය වශයෙන් මහත් අසාර්ථකත්වයට පත්වූ බව ද කියනු ලැබේ.

“ජනප්‍රියතාවයත්, උසස් නිර්මාණ අතර හොඳ සම්බන්ධයක් දක්නට නොමැත. එහෙයින් තමන් උසස් දෙයක් කරනවා යැයි සිතේ දැඩි ලෙස ධාරණය කරගෙන එය දිගටම කරගෙන යාම කළ යුතු” යැයි වරක් එඩ්වඩ් ඇල්බී විසින් පවසා තිබීම ඉහත කී තත්ත්වය තවත් පැහැදිලි කරනු ඇත.

වාණිජමය ලෙස අසාර්ථක වුවත් පුලිට්සර් සම්මානය ඇතුළු සම්මාන රාශියක් ලබා ගැනීමට ඇල්බිගේ නාට්‍ය නිර්මාණ සමත්වීම ඒවායේ උසස් තත්ත්වය පෙන්නුම් කරන්නකි. 1928 මාර්තු 12 වැනිදා වොෂිංටනයේ උපත ලැබු එඩ්වඩ් ඇල්බි ධනවත් ව්‍යාපාරිකයකු වූ එඩ්වඩ් ප්‍රැන්ක්ලින් ඇල්බිගේ පුත්‍ර රීඩ් ඇල්බි විසින් කුඩා කාලයේ දී හදා ගැනීමට ගත්තේ ය. සියලු ඕනෑ එපාකම් හා අවශ්‍යතා සපුරාගත හැකි ධනවත් සමාජ පරිසරයක හැදී වැඩුණු එඩ්වඩ් නිව්යෝර්ක් සමාජය මඟින් පිළිගත හැකි නම්බුකාර තත්ත්වයකට ගෙන ඒම සඳහා උත්සාහයක නිරත වූ ඔහුගේ හදාගත් මව වන දැඩි මතධාරී ඇල්බි මහත්මිය සමඟ චින්තන ගැටුමකට එළඹුණේ ය. ඇය ගේ දැඩි මතිමතාන්තර පිළිකෙව් කළ එඩ්වඩ් ඇය මහත් සේ අප්‍රිය කළ පිරිසක් වන කලාකරුවන් බුද්ධිමතුන් සමඟ ඇසුරු කරන්නට විය.

විසිවන වියට පත්වූ හෙතෙම ධනවත් සමාජයෙන් ඉවත් වී නිව්යෝර්ක් නගරයේ පිහිටි ග්‍රිනිච් ගම්ම­ානයේ කාර්යාල සහායකයකු ලෙසටත් වෙළඳ සේවකයකු වනි රැකියාවල නියුතු විය. මෙබඳු පරිසරයක තුළ ජීවිතය ගත කළ ඇල්බි 1959 දී ඔහුගේ ප්‍රථම නාට්‍යය රචනය කළේය.

“ද සු ස්ටොරි” (The Zoo Story) නම් වූ එම නාට්‍යය මුලින් ම ජර්මනියේ බර්ලින් නගරයේ රංගගත විය.

එම නාට්‍යය තුළින් එවක ඇමරිකන් සමාජ ව්‍යුහයේ පැවැති හුදකලා භාවය, තනිකම, අදහස් ප්‍රකාශ කිරීමේ අපැහැදිලිතාව හා වාණිජ ලෝකයේ පවතින අමානුෂිකභාවය යන තේමාවන් අන්තර්ගත විය. එය ඔහු ගත කළ ජීවිතයේ පැවැති චින්තන ගැටුමේ ප්‍රතිඵලයක් විය හැකි බව විචාරක මතයක් ඇත.

එක් දර්ශනයකට සීමා වූ “ද සු ස්ටොරි” නාට්‍යය පීටර් හා ජෙරි යන චරිත දෙකකින් යුක්ත වේ. මධ්‍යම පාන්තික නියෝජනය කරන පීටර් වෘත්තියෙන් මුද්‍රණ කටයුතු සම්බන්ධ වූ විධායක තනතුරක් දරයි. ඔහුට බිරියක් දියණියන් දෙදෙනකු, බළලුන් දෙදෙනකු ගිරවුන් දෙදෙනකු ද ඇති අතර, ජෙරී හුදකලා වූ එසේම ජීවිතය කෙරේ බලාපොරොත්තු නැතිකර ගත් අෙකු විය.

නිව්යෝර්ක් නගරයේ උද්‍යානයක පිහිටි බංකුවක මත දී ඔවුන් දෙදෙනාගේ හමුවීම සිදුවේ. තවත් මනුෂ්‍යයකු සමඟ ඵලදායි සංවාදයක් ඇතිකර ගැනීමට සහසික ආශාවකින් පොලඹවා ඇති ජෙරි බංකුව මත සාමකාමී මනසකින් යුතුව හිඳ සිටින පීටර් ගේ චින්තන ලෝකය ආක්‍රමණය කරමින් දැඩි ප්‍රශ්න කිරීමකට ලක්කරයි. “ජෙරි සහ බල්ලා” නමැති අභූත කථාවකටත් ඔහුට සත්වෝද්‍යානයට යාමේ අරමුණ වැනි කරුණුවලට සවන් දීමට පීටර්ට සිදුවේ. එම කතාබහ ඉතාම සියුම් උපහාසයකින් හා ත්‍රාසයකින් ද යුක්ත වන අතර නාට්‍යයේ කූටප්‍රාප්තිය ඉතා ම අභූත අයුරින් සිදුවේ.

ජෙරිගේ අනවශ්‍ය හරයක් නොමැති කථා ඇසීමෙන් හෙම්බත් ව සිටින පීටර් “දැන් ගෙදර යන්න වෙලාව හරි” යනුවෙන් කී විට එයින් කෝපයට පත්වන ජෙරි ඔහු බංකුවේ සම්පූර්ණ අයිතිය ලබා ගනු සඳහා පීටර් ඉන් තල්ලු කර දමයි. ජෙරි හිටි හැටියේම පිහියක් ඇදගෙන පීටර්ට ඇනීමට තැත් කළ නමුත් පිහිය ඉවත දමන්නේ පීටර්ට එය ලබා ගැනීමට ඉඩ හරිමිනි. තමාගේ ආරක්ෂාව සඳහා පිහිය උලුක්කරගෙන සිටින පීටර් වෙත කඩා පනින ජෙරිට පිහියෙන් දරුණු ලෙස තුවාල සිදුවෙයි. ලේ ගලමින් බංකුව මත වැටි සිටින ජෙරි පීටර් දෙස බලා “මම මෙය සැලසුම් කළා විය හැකි ද? නැහැ නැහැ මට එසේ කළ නොහැකියි. ඒත් මට හිතෙනව මම මෙම සිදුවීම සැලසුම් කළා කියලත්” දුර්වල ලෙස පවසයි.

මේ දර්ශනයෙන් භ්‍රාන්ත වන පීටර් එතැනින් දිව යන්නේ ජීවිතයෙන් සමු ගනිමින් සිටින ජෙරි පවසන “අනේ දෙවියනේ!” යන වදන් පෙළ ද අසමිනි.

උපහාසය මුසු අසරණ අවිනිශ්චිත භාවයක් මේ දර්ශනය අවසානයේ දී ප්‍රේක්ෂකයා තුළ නිතැතින් ම ඇතිවන්නේ ය. තමන් තුළ ද මෙබඳු දරුණු දාමරික සිතිවිලි සැඟවී ඇත් ද? එසේ නැතහොත් එදා සමාජයේ පැවැති අවිනිශ්චිත, අසරණ භාවය ඇත්තෙන් ම තමන් තුළ ද පවති ද? යනාදි ප්‍රශ්න වැලක ප්‍රේක්ෂක පැටලෙනු නොඅනුමාන ය.

ඇල්බිගේ නාට්‍ය 25 අතරෙහි තවත් අභූතරූපී එසේම විචාරක ප්‍රසාදයට පත්වූ එසේම පුලිට්සර් සම්මානය ද ජයගත් “ද ඩෙලිකේට් බැලන්ස්” (The Delicate Balance) (සියුම් සමතුලිත බව) ඔහුගේ නාට්‍යකරණයේ දක්ෂතාවය පැහැදිලි කරන්නකි.

“ද ඩෙලිකේට් බැලන්ස්” නාට්‍යය ද්වේෂයෙන් පිරි ඉතිරි පවතින අතර එහි එන චරිත කොයි මොහොතේ මානසික කඩා වැටීමකට මුහුණ දිය හැකි තත්ත්වයන්ට සම්බන්ධ වී ඇත. බොහෝ අවස්ථාවලදී ඒ චරිත අසරණ තත්ත්වයන්ට පත් නොවීම සඳහා මානසික වශයෙන් සියුම් සමතුලිතතාවක් රැක ගැනීමට යත්න දරනු දැකිය හැකිය. දෛනික දිවියේදී ඔවුන් මුහුණ දෙන මානසික අසහනයක සමඟ ඔවුන්ගේ අමිහිරි අතීතයත් නිශ්ක්‍රීය අනාගතයත් යන සියලු ම පරස්පර විරෝධි තත්ත්වයන් සියුම් වූ සමතුලිත ලෙස පවත්වා ගැනීම සඳහා මත්පැන්වල පිහිට ලබාගන්නා නමුත් ඒ සියලුම දේ කඩා වැටෙන අන්දම “ද ඩෙලිකේට් බැලන්ස්” නාට්‍යයෙන් පිළිබිඹු කිරීමට එල්බි සමත් වේ.

පුලිට්සර් සම්මාන හිමිකර ගනු ලැබු “සීස්කේප්” (Seascape) විචාරක අවධානයට යොමු ඇල්බිගේ තවත් උසස් නාට්‍ය නිර්මාණයකි. පුරුෂයන් හා කාන්තාවන් අතර පවතින සබඳතාවන්, පරිණාමවාදය, වැනි කරුණු පිළිබඳ ව ගැඹුරු විග්‍රහයක් කරනු ලබන මේ නාට්‍යයේ එන මැදියම් වියේ පසුවන නැන්සි හා චාලි මුහුදු වෙරළේ හිඳගෙන තමන්ගේ එදිනෙදා ජීවිතය, පවුල, නිවස ආදි කරුණු ගැන සාකච්ඡා කරමින් සිටියදී හිටි හැටියේම සාගරය මැදින් සත්ත්ව ජෝඩුවක් ඔවුන් අසලට පැමිණේ. ඔවුන්ට හොඳින් ඉංග්‍රිසි කථා කළ හැකි නිසා මිනිසුන් හා සතුන් අතර සංවාදයක් ඇරඹේ.

මෙම මුහුදු සතුන් දෙදෙනා වෙනත් තත්ත්වයකට පරිණාමය වෙමින් සිටින නිසා ජලයෙන් ඉවත් වී වෙනත් ජීවන මාර්ගයක් සොයා ගෙන ගොඩට ඒමට බලාපොරොත්තු වන අතර මනුෂ්‍ය ජෝඩුව පසුවන්නෙ අරමුණක් නැති ප්‍රීතියක් සැනසීමක් නැති ඒකාකාරී දිවි පෙවෙතෙන් මිදෙන්නේ කෙසේ ද යන්න ගැන සිතමිනි.

මනුෂ්‍යයන් හා මුහුදු සතුන් අතර සිදුවන සංවාදය අභූතරූපී සම්ප්‍රදායට අයත් ආකෘතියක් මත ඉතාම සුහද මිත්‍රශීලී, කාව්‍යමය පැනයක් මෙන්ම උපහාසයක් උපදවන සුලු වේ.

“සීසේකෙප්” නාට්‍යයට පසු ඇල්බිට පුලිට්සර් සම්මානය හිමි වන්නේ “ත්‍රි ටෝල් වීමෙන්” (Three Tall Wamen) නමැති නාට්‍යයෙනි.

‘ත්‍රි ටෝල් විමෙන්’ අවසානයේ දී අපට නිරතුරුවම හමුවන මරණය පිළිබඳ නාට්‍යයකි. මහලු කාන්තාවක් මරණ මංචකයේ පසුවෙන්නී ය. එම කාන්තාවට සාත්තු කිරීමට තවත් කාන්තාවන් දෙදෙනකු ඇත. ඔවුන් තිදෙනා හමුවීමට තරුණයකු ද පැමිණේ. ඇල්බීගේ තියුණු සංවාද තුළින් මිනිසුන්ට මුහුණ දීමට සිදුවිණි. කාමුක ආශාවන්, වරදේ බැඳීම, පටන් හැඟීම් විරහිතව මහලු වියට පත්වීම වැනි කරුණු සාකච්ඡාවට භාජන වන්නේ ය. එම දර්ශන උපහාසය, වේදනාව හා විනෝදය රැගත් ඒවා වන අතර සමාව දීම බැඳීම් අලුත් කරගැනීම හා අපගේ ඉරණම යන අවස්ථා පිළිබඳව පවතින අපේක්ෂාවන් ද පැහැදිලි කරනු ලැබේ. ගැහැනු චරිත තුනක් හැසිරෙන ආකාරය මඟින් අපගේ ජීවිතවල සැඟවී ඇති යථාර්ථය, අප ජීවත්වන ආකාරය අප ආදරය කරන ආකාරය, අප කැමති වන්නේ කුමන දේවලට ද එසේම අප මරණයට පත්වන්නේ කෙසේ ද යන්න හදවත් තිගැස්සෙන ආකාරයෙන් නිරූපණය කිරීමට “ත්‍රි ටෝල් විමෙන්” නාට්‍ය තුළින් ඇල්බි ඉතා දක්ෂ ලෙස සමත් වී ඇතැයි විචාරකයන් පවසා ඇත.

පුලිට්සර් සම්මානයෙන් පිදුම් නොලැබු නමුත් එඩ්වඩ් ඇල්බිගේ ඉතා ම උසස් එසේම මහත් සේ ජනප්‍රිය වූ එපමණක් නොව චිත්‍රපටියක් බවට පත්වූ “හුස් එෆ්රේඩ් ඔෆ් වර්ජිනියා වුල්ෆ්” (Who's afraid of Virginia Woolf?) යන නාට්‍ය නිර්මාණයයි.

විවාහ ජීවිතයේ අන්ත අප්‍රියජනක තත්ත්වය පෙන්නුම් කරන මේ නාට්‍යය ඇල්බිගේ උසස්තම‍ ශ්‍රේෂ්ඨතම නිර්මාණය බව හැඳින්වේ. මැදිවියේ පසුවන ආචාර්යවරයකු වන ජෝර්ජ් හා ඇයගේ බිරිය මාර්තා එකිනෙකා සමඟ ඇතිකරගන්නා ගැටුම් මේ නාට්‍යයෙන් නිරූපණය වේ.

සාදයකට ගොස් ආපසු නිවසට පැමිණෙන අතර මාර්තාගේ ඇරයුම මත තරුණ යුවළක් වන නික් සහ හනි ද එහි පැමිණේ. ඔවුන් සිව්දෙනා අතරේ අප්‍රියජනක වූ තරගකාරී තත්ත්වයක් ඇතිවේ. එකිනෙකාට අපහාස කරගැනීම, නින්දාවට පත්කර ගැනීම සාමාන්‍ය සිදුවීම් ලෙසටත් එමඟින් මානසික වශයෙන් හිංසාවට පත්වූ මැදිවියේ යුවළකගේ අසහනය ඉතා තීව්‍ර ලෙස මේ නාට්‍යයෙන් නිරූපණය වී ඇත. “හුස් එෆ්රේඩ් ඔෆ් වර්ජිනියා වුල්ෆ්” නාට්‍ය යටපත් වූ ආශාවන් හා තම ජීවිතයේ ලබාගත නොහැකි වූ දේවල් නිසා අසරණ වූ මැදිවියේ යුවළකගේ “ආදර කතාව” හැටියටත් ඇතැමුන් විසින් හඳුන්වා ඇත.

ඇමරිකන් නාට්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර නාට්‍ය රචකයකු වූ එඩ්වඩ් ඇල්බිගේ සියලුම නාට්‍ය තුළින් මරණය පිළිබඳ හැඟීම් ද සදාචාරය නමැති රෙදි කඩින් තම සිත් තුළ පවත්නා අසභ්‍ය, අප්‍රියජනක හැඟීම් හා සිතිවිලි වසාගෙන යටපත් කරගෙන සිටින සමාජය හා චරිත හුවා දැක්වීම නිසා හෙතෙම නව නැම්මක පුරෝගාමියකු ලෙසටත් සලකනු ලබයි.