Hot!

ගින්දර සමග සෙල්ලම, නැවතත් - තිසරණී ගුණසේකර

‘‘ඇත්තෙන්ම මෙය නම්, අන්දකයිප්පු පිස්සුවකි. අන්ත බියකරු වියරුවකි.’’- අනතෝල් ෆ‍්‍රාන්ස් (Monsieur Bergeret in Paris)

                           
‘ජාතික සාමූහිකය’, රාජපක්ෂගේ නවතම උප්පරවැට්ටියයි. දේශපාලනික බලතල බෙදා හැරීමට එරෙහිව ස්වයංජාත ජනතා රැුල්ලකින් ශ‍්‍රී ලංකාව වෙලාගෙන ඇතැ යි ඉන්දියාවට කොකා පෙන්නීම සඳහා පෙරා ගත්, උමතු භක්තිකයන්ගේ සහ අවස්ථාවාදීන්ගේ විසකුරු කසායක්. එහි සමාරම්භක රැුළිය අමතමින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ සටන්කාමි සිංහල-බුද්ධාගමේ බැනරය මෙසේ ඉස්සූහ: ‘‘බෞද්ධ භික්ෂූන් වහන්සේලා පන්සල්වලට වී බණ භාවනා කරන්න කාලයක් නෙවෙයි මේක.. දේශපාලඥයෝ වැරදි පාරේ යනවා නං, පින්වතුනි, අපට තියෙනවා ශුද්ධ වූ අයිතියක්, ඒක නතර කරන්න.’’
එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක අපට දායාද කළ වසංගතය, ‘සිංහල පමණයි’ පමණක් නොවේ. ‘පළමුව බුද්ධාගම’ යන්න ඔහුගෙන් අප ලද අනිත් බූදලයයි. මේ එකක් සඳහාවත් ජනතා ඉල්ලීමක් නොවුණි. ඒ දෙකම පැනනැංගේ, උන්මත්තකයන් සහ අවස්ථාවාදීන් සුළුතරයකගේ කටේ බලෙනි. වෙට්ටපිත්තල අවස්ථාවාදියෙකු වු බණ්ඩාරනායක, මේ කල්ලියේ ඉල්ලීම තුළ තමාට බලයට පත්වීමේ මගක් ඇති බව දුටුවේය.

1952 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බැටකෑවේය. එපමණක් නොව, වමේ ඒකාබද්ධ දේශපාලනයටත් (සියයට 18.8 ක ඡුන්ද ප‍්‍රතිශතයට), ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (සියයට 15.5 ක ඡුන්ද ප‍්‍රතිශතය) පැරදුනේය. අනතුරුව, ‘හර්තාලය’ සාර්ථක වීමත් සමග වමේ ව්‍යපාරය ප‍්‍රධාන විපක්ෂ බලවේගය වශයෙන් ජාතික දේශපාලනය තුළ සාර්ථකව ස්ථානගත විය. ඊළඟ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නොව, වාමාංශික ව්‍යාපාරය විසින් වන බවට සාධාරණ බියක් ඔහු තුළ තිබුණි.

බණ්ඩාරනායකගේ අප්පා බලය ගැන කෑදර සිතැත්තෙකි. මහමුදලිගේ පුතා වශයෙන් තමාටත් බලයට හිමිකාරීත්වයක් ඇතැ යි බණ්ඩාරනායක සිතන්ට ඇති. එවකට රටේ පැවති දේශපාලන අවකාශයේ සුසමාදර්ශී වෙනසක් ඇති නොකොට තමාට වැජඹෙන්ට නුපුළුවන් බව වටහාගන්ට තරම් දැනුමක් ඔහුට තිබුණි. මර උගුල් පැහැදිළිව පෙනෙන්ට තිබියදීත්, වාර්ගිකාගමික ජාතිකවාදී මාවත තෝරා ගැනීමට තරම් ප‍්‍රතිපත්තියක් නැති ගතියක් ද, ඒ සමගම ඔහුට තිබුණි.

එබැවින්, එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ‘සිංහල පමණයි’ ප‍්‍රතිපත්තිය වැළඳගෙන, තමාගේ පංචමහා බලවේගයේ මස්තකයට සංඝයාව වැඩම කෙළේය. 1956 ට පෙරත් බෞද්ධ භික්ෂූන් දේශපාලනයට අතපොවා ඇතත්, ඒ, පුද්ගලයන් වශයෙන් හෝ ගිහි සංවිධාන සාමාජිකයන් වශයෙනි. බණ්ඩාරනායක කෙළේ, වෙනම, ස්වාධීන ස්ථිතියක් වශයෙන්, දේශපාලන වේදිකාවේ කේන්ද්‍රයට සංඝයා වහන්සේව වැඩම කැරැුවීමයි. දේශපාලනයේ කුදුමහත් කටයුතුවලදී මූලික තැනක් සැපයෙන බලමුළුවක් නිර්මාණය කොට, ජාතික කටයුතුවලදී ඔවුන්ගේ වචනයට බරක් ඇතැ යි පිළිගැනීමයි.

ආගමික-දේශපාලනයේ බහිරවයා බෝතලෙන් එළියට ආවේය.

ඔහුගේ වැන්දඹුව ‘පළමුව බුද්ධාගම’ ප‍්‍රතිපත්තිය ව්‍යවස්ථාපිත කළාය. බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්කළ ව්‍යවස්ථාව එදා කෙටුම්පත් කෙළේ, දැන් මඩ නාගෙන හීලෑ වී සිටින සමසමාජ පක්ෂයේ එදා නායකයෙකු වූ කොල්වින් ආර්. ද සිල්වා ය. ඒ ඉරණම්කාරී පියවර නොගත යුතුව තිබුණි. බෞද්ධ බහුතරය රාජ්‍ය ආගමකට වඩා එදා ඉල්ලා සිටියේ, ලාබෙට භාණඩ සහ රැකියාවන් ය. එහෙත්, පාලනය කරගත නොහැකි ආර්ථික අර්බුදයෙන් කට්ටි පැනීමේ අවස්ථාවාදී උප්පරවැට්ටියක් වශයෙන් ‘පළමුව බුද්ධාගම’ සංකල්පය හරහා සිංහල=බෞද්ධයන්ගේ සහයෝගය දිනා ගැනීමට පාලකයන් තීරණය කොට තිබුණි.

ඉතිං, ‘ගැලවීමේ දේශපාලනය’ විධිමත්ව, ආයතනගත කෙරුණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු, වාර්ගිකාගමික අනන්‍යතාවක් මත පදනම් වුණු, ‘තෝරාගත් ජනතාවක්’ විසින් තමන් සඳහා තෝරාගන්නා තමන්ගේ ආණ්ඩුවක් වශයෙන් අළුතෙන් නිර්වචනය කෙරුණි. ‘දේශීය’ සහ ‘ප‍්‍රගතිශීලී’ යන අදහස්, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය සමග සමාන්තික වූ අතර, සුළු ජාතීන් උපතින්ම ධනවාදය/අධිරාජ්‍යවාදය පස්සෙන් දුවන ‘දේශද්‍රෝහී’ සහ ‘ප‍්‍රතිගාමී’ බල්ලන්ට පර්යාය විය. දේශපේ‍්‍රමියෙකු වීමට නම්, ලංකාවේ සමාජ ධුරාවලියේ පවතින ස්වභාවය භාරගත යුතුව තිබේ. එහි උඩින්ම ඉන්නේ, සිංහලයන් සහ බෞද්ධයන් ය. ඒ අසාධාරණ දැක්ම ප‍්‍රතික්ෂේප කිරීම වූ කලී, රටට ද්‍රෝහී වීමකි.

1972 දී ‘ලංකා හේතුවාදී සංගමය’ අළුත් ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනා ඇතුළත් සංදේශයක් ඉදිරිපත් කෙළේය. ස්වාධීන අධිකරණයක්, දේශපාලනීකරණය නොවු නිලධර තන්ත‍්‍රයක් සහ මුලික අයිතිවාසිකම් සහිතව, වාර්ගික හෝ ආගමික හේතු මත පීඩාවට පත්කිරීම අවසන් කෙරෙන ලෞකික රාජ්‍යයක් ඒ මගින් ඉල්ලා තිබුණි.

ඒ යෝජනා ක‍්‍රියාවට නැගුවේ නම්, 1972 ව්‍යවස්ථාව සිංහල=බෞද්ධ ව්‍යවස්ථාවක් වනු වෙනුවට සැබෑ ජනරජ ව්‍යවස්ථාවක් බවට පත්වන්නට තිබුණි. රට සහ ජනතාව මුහුණදීමට සිටි බොහෝ ඛේදවාචක වළක්වාගත හැකිව තිබුණි.

විසකුරු පිළියම්

විවිධ ජාතීන් සහ ආගමිකයන් වෙසෙන සමාජයක්, ඒක-ආගමික සහ ඒක-වාර්ගික ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම්, එරටට කිසි දවසක සාමය හෝ ස්ථාවරත්වය නොඑන්නේය. පළමුවන ඊලාම් යුද්ධයට ඉන්දියානුවන් මැදිහත් වන අවස්ථාවේ, මේ අති-මූලික සත්‍යය, සිංහල-බෞද්ධ දකුණට වැටහෙමින් තිබුණි.

1983 මැද භාගයේ සිට 1987 ආරම්භක කාලය දක්වා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එවකට තහනමට ලක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණේ ‘මව්බිම සුරැුකීමේ ව්‍යාපාරය’ සමග අවබෝධතාවක සිටියේය. බලය බෙදාහැරීමට දැක්වූ කොන්දේසි විරහිත විරෝධය, ‘මව්බිම සුරැුකීමේ ව්‍යාපාරයේ’ ප‍්‍රධාන සටන් පාඨය විය. බලය බෙදාහැරීම සපුරා ප‍්‍රතික්ෂේප කිරීම දේශපේ‍්‍රමය වශයෙන් අර්ථගැන්වූ මොවුන් විසින් දක්ෂිණ දේශපාලනයේ ප‍්‍රධාන බෙදුම් රේඛාව බවට එය පත්කරන ලදි. ඒ අනුව, බලය බෙදාහැරීමට විරෝධය පෑ පිරිස් දේශපේ‍්‍රමීන් වූ අතර, ඊට පක්ෂ වූවන් දේශද්‍රෝහීන් බවට වර්ග කෙරුණි.

එදා පැවති රජය අභියෝගයට ලක්කිරීමට මේ බලබෙදීම්=විරෝධී සන්ධානයට පැවති නොහැකියාව 1987 මුල වන විට පැහැදිළි වන්නට විය. එය ශ‍්‍ර‍්‍ර‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද තේරුම්ගත්තේය. ආර්ථික දුෂ්කරතා උග‍්‍ර වෙමින්, විරැකියාව අහසට නගින විට, දේශමාමකත්වයේ රශ්මියෙන් පදාසයක් වියැකෙන්නට විය. දෙමළ ඊලාම් ජනතා විමුක්ති සංවිධානය (ප්ලොට්) මගින් පවත්වාගෙන ගිය සිංහල රේඩියෝව යු.එන්.පී විරෝධී නොවන බොහෝ සිංහල=බෞද්ධයන්ගේ ජනප‍්‍රිය ශ‍්‍රවණ මෙවලමක් විය. මේ අතර, විජය කුමාරණතුංගගේ ශ‍්‍රී ලංකා මහජන පක්ෂ නායකත්වයෙන් දියත් කෙරුණු සාකච්ඡුාමය දේශපාලන විසඳුමක් සඳහා සංවාදයට රටේ යම් පිළිගැනීමක් ඇති වෙමින් තිබුණි.

ආර්ථික අසහනය දකුණේ වර්ධනය වෙත්ම, සිල්ලර වාසියක් දීමෙන් අවධානය වෙනතකට යොමු කැරැුවීම සඳහා පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට ජයවර්ධන ආණ්ඩුව තීරණය කෙළේය. අපේක්ෂිත ප‍්‍රතිඵලය වෙනුවට එයින් සිදුවුණේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ බලබෙදීමට පක්ෂපාතී වාමාංශික පක්ෂ එක වේදිකාවක සිට පාර්ලිමේන්තු මැතිවරණයක් වහා ඉල්ලා සිටීමයි. ජනතා විමුක්ති පෙරමුණ සහ ආණ්ඩුව එයින් තක්බීරි විය. මෙසේ තමන්ගෙන් ගිලිහී ගිය දේශපාලනික ගැම්ම නැවත් අත්කර ගැනීම සඳහා ආණ්ඩුව උතුරේ ‘මුදාගැනීමේ මෙහෙයම’ දියත් කළ එක් හේතුවක් එයයි. ඉන්දියානු මැදිහත්වීම ඉක්මණ් කෙරෙන්නේ එම මෙහෙයුමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.

ඉන්දු=ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග, මහින්ද රාජපක්ෂත් ප‍්‍රමුඛ චරිතයක් බවට පත්ව සිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතිවාදී පිල ප‍්‍රබල විය. ‘මව්බිම සුරැුකීමේ ව්‍යපාරයත්’ අලූත් ජවයකින් වැඩ පටන්ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණේ එම කැරැුල්ලේ වාරුවෙන් බලයට ඒමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිහින දකිමින් සිටියේය. 1988 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය අමතමින්, විරුද්ධ පක්ෂයක් වශෙයෙන් එය තමන්ගේ අවසාන මැයි රැුලිය වන බව අනුර බණ්ඩාරනායක කියා සිටියේ, ඊළඟ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් තමන් බලයට පත්වන බව විශ්වාස කරමිනි.

සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැුල්ලේ පරාජයත් සමග අධෝ බිංදුවටම වැටුණි. ඊලාම් අරගලය තුළ මධ්‍යස්ථ මතධාරී කොටස් නායකත්වය ගෙන සිටියේ නම්, යුද්ධය වෙනුවට උදාර දේශපාලන විසඳුමක් මත පදනම් වන නිරාකරණයක් ඇති කර ගැනීමටත්, සැබෑ ලාංකීය සාමයක් උදා වීමටත් ඉඩ තිබුණි. එහෙත් උතුරේ බලයේ සිටියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. එයත්, දකුණේ සිංහල=බෞද්ධ සගයන් මෙන්ම තමන්ගේ කොටි ඊලාමයෙන්ම වහවැටී සිටියේ, තමන්ගේ දෙමළ ජාතික අවශ්‍යතා ද අවදානමට හෙලමිනි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නොනැමෙන අධිකාරය නිසා සිංහල=බෞද්ධ ස්වෝත්තමවාදයට නව ජීවයක් ලැබුණි. 1956 දේශපාලනයේ සුජාත උරුමකරුවකු වූ මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කැරැුවීමෙන් 56 අවජාතක හිමිකරුවෙකු වු වේලූපිල්ලේ ප‍්‍රභාකරන් කෙළේ, දකුණේ අන්තවාදයට නැවත වතාවක් හිස එසැවීමට මග කැපීමයි.

සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය රාජපක්ෂලා වැළඳගන්නේ, ස්වකීය පවුල් පාලනය සහ වංශ සන්තතිය ස්ථාපිත කෙරෙන ව්‍යාපෘතියේ බාහිර මුහුණතක් සහ වාහකයක් වශයෙනි. චීවරධාරී උන්මත්තකයන්ව බලගතු තැන් තුළ මුදා හැර, කලහකාරී සිංහල-බුද්ධාගමේ ධජය ඔවුන් ලවා එසැවීමට සහාය සහ අනුබලය එම බලවතුන්ගෙන් සැපයෙනු ලැබේ. ඊට අමතරව, වාර්ගිකාගමික කඩතුරාවක දවටා පවුල් මෙවලමක් බවට පත්කොට ඇති හමුදාවත්, ඒ අළුත් බල කුලකය තුළ ස්ථානගත කොට තිබේ. රාජපක්ෂ ව්‍යාපෘතියේ අවසාන ආරක්ෂකයා වන සිංහල=බෞද්ධ හමුදාව විසින් උතුරේ පන්සල් ගොඩනගනු ලැබීම, ඒ අරුතින්, සංකේතීය යි. සංජෛවීය යි. (එකිනෙකාගේ පැවැත්ම එකිනෙකාගෙන් සන්තර්පණය වනු ලැබීම).

1956 දී ඇරැඹුණු ගමන එහි තාර්කික නිමාවට පැමිණ තිබේ: ආගමෙන් පූජණීය කළ සහ වාර්ගිකාගමික හමුදාවකින් ආරක්ෂා කළ, ජාතිවාදී දේශපේ‍්‍රමයක්. ඒ සියල්ල, ‘දියසේන කුමාරයා’ සහ ඔහුගේ පවුල වශයෙන් වැඩැම්මූ මහින්ද රාජපක්ෂගේ සේවය වෙනුවෙනි. සිංහල=බෞද්ධ උමතුවේ මේ පුපුරා යාම තුඩුදෙනු ඇත්තේ විලෝම ප‍්‍රතික‍්‍රියාවකටයි: දෙමළ/මුස්ලිම්/ක‍්‍රිස්තියානි අන්තවාදයක්.