Hot!

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (1)




- ගාමිණී වියන්ගොඩ -

ත්‍රස්තවාදීන් පාරාදීසයේ 

21 වැනි දා පාරට පැමිණි පාස්කු බෝම්බකරුවන්, ඔවුන්ගේ විශ්වාසය අනුව, මේ වන විට ‘පාරාදීසයට’ ගොස් ඇති. ඔවුන්ට සහාය වූ සෙසු අන්තවාදීන්ගෙන් අතිබහුතරය මේ වන විට අත්අඩංගුවේ සිටිති. මේ දෙපිරිසම, දෘෂ්ටිවාදීමය වශයෙන් ඔවුන් සමග අනන්‍ය වන තවත් නිර්නාමික පිරිස් සමග එකට ගත්තත්, ලංකාවේ සමස්ත මුස්ලිම් ප‍්‍රජාවෙන් සියයට එකක්වත් නියෝජනය කරන බවට සාක්ෂි නැත. එහෙත්,  ඕනෑම ජනවර්ගයක සියයට එක් අයෙකු හෝ විනාශය නියෝජනය කරයි නම්, එය ඔහුගේ ප‍්‍රජාවට පමණක් නොව, මුළු රටටම ඉමහත් විනාශයක් විය හැකිය. 

පසුගිය අපේ‍්‍රල් 21 වැනි දා සිට මෙය ලියන අද වන විට (14) සති තුනකට වැඩි කාලයක් ගතව තිබේ. ඊයේ, වයඹ පළාතේ තැන් කිහිපයක ත‍්‍රස්තවාදී ප‍්‍රහාර ගණනාවක් ඇති විය. ඒ, පාස්කු ත‍්‍රස්තවාදීන්ගෙන් නොව, ඔවුන් නිසා විපතට පත් අහිංසක (සිංහල සහ දෙමළ) කිතුණු ජනතාව වෙනුවෙන් නීතිය අතට ගැනීමට තමන්ට ‘ජාතික’ අවසරයක් ලැබී ඇතැයි සිතන කල්ලි ගණනාවක් පාරට බැසීමෙනි. මේ කල්ලි පසුපස දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක වන බව, මේ දක්වා රටේ පාසල් ටික විවෘත කර ගැනීමට අසමත් වීමෙන් මොනවට පෙනී ගියේය. හැකි තාක් කාලයක් ගින්න අවුළුවා තබා ගැනීම සහ යථා තත්වයට පත්වීමට රටට සහ සමාජයට මොනම ඉඩක්වත් නොතැබීම, මේ දේශපාලන ව්‍යාපෘතියේ අභිලාෂයයි. අද උදේ ජාතිය අමතා ප‍්‍රකාශ තුනක් නිකුත් විය. එකක් කාදිනල් මැල්කම් රංජිත් පියතුමාගෙනි. දෙවැන්න, අගමැතිවරයාගෙනි. අනෙක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගෙනි. පිදුරු මිටියකින් පවන් සලමින් ගින්න නිවාලීමට ගන්නා අපූරු තැතක් මහින්ද රාජපක්ෂගේ සමස්ත කතාව තුළ විද්‍යමාන විය. ඒ කතාවේ ආරය සහ 21 වැනි දා පටන් තවමත් නිමා නොවී පවතින අරාජකත්වය අතර පැහැදිලි ඥාතිත්වයක් ඇති බව ඒ කතාව අසන  ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇති බවට සැකයක් නැත.

21 ප්‍රහාරය පිටුපස ඇති පසුබිම 

එහි අදහස වන්නේ, අපේ‍්‍රල් 21 වැනි දා දක්වා කතාව සහ එදා සිට අද දක්වා දිග හැරෙමින් පවතින කතාව එකක් නොව, දෙකක් වන බවයි. මේ ලිපි පෙලින් මා බලාපොරොත්තු වන්නේ, 21 වැනි දා දක්වා වන කතාව පසුපස ඇති දෘෂ්ටිවාදයේ එක පැතිකඩක් ගැන යම් අදහසක් ගොනු කර ගැනීමට පමණක් බව කරුණාවෙන් සලකන්න. 

පාස්කු ඉරිදා බෝම්බකරුවන් පිළිබඳ විචාරාත්මක සොයා බැලීමකදී කතා ආර ගණනාවක් කෙනෙකුට හමු වනු ඇත. ඔවුන් ත‍්‍රස්තවාදීන් ය යන්න ඉන් ප‍්‍රධානයි. ඒ ගැන කවුරුත් එකඟ ය. ඊළඟට, ඔවුන් නොමග ගිය අන්තවාදීන් වශයෙන් හඳුනා ගනු ලැබේ. ඒ ගැනත් බරපතල සැකයක් නැත. ඔවුන් උන්මත්තකයන් වශයෙන් ද කෙනෙකුට හඳුනා ගත හැක. එය ද පැහැදිලි සත්‍යයකි. එහෙත්, මේ කියන ‘රෝග ලක්ෂණවලින්’ පටන්ගෙන ‘රෝග නිධානයට’ යන විට ඉහත කී පොදු ඒකමතිකත්වය වෙත ළඟා වීමට කෙනෙකුට නොහැකි වන්නේය.

'වහබ්වාදය' මුල්වීම 

එහිදී, සෞදි අරාබියේ සිට මෑතකදී මෙරටට ආනයනය කරන ලද ‘වහබ්වාදය’ මේ ත‍්‍රස්ත ක‍්‍රියාවේ මූලය වශයෙන් ඇතැම්හු හඳුනා ගනිති. ඒ ‘වහබ්වාදය’ ලංකාවට ආවේ, ගෝලීයකරණය තුළ, ලංකාව ජාත්‍යන්තර මුස්ලිම් ප‍්‍රජාව සමග පෙර නොවූ විරූ සබඳතා ගොඩනගා ගැනීම නිසා බව කියැවෙයි. අපේ කාන්තාවන් 1980 දශකයේ සිට මැද පෙරදිග යාම සහ මැද පෙරදිග තෙල් සශ‍්‍රීකත්වය හරහා ලංකාවට නොමසුරුව ධනය ගලාගෙන ඒම වැනි සාධක ඊට උපකාරී වූ බවත් කියැවෙයි. තවත් පිරිසක්, මේ සමස්ත විනාශය විස්තර කරන්නේ, අති බහුතරයක් මුස්ලිම් ජනතාව කෙරෙහි බලපෑ මැද පෙරදිග දේශපාලනික ප‍්‍රශ්න, විශේෂයෙන් පලස්තීන ප‍්‍රශ්නය වැනි අති මූලික ගැටළු කල් නොයවා විසඳා ගැනීමට මහ බලවතුන්ට නොහැකි වීමක ප‍්‍රතිවිපාකයක් වශයෙනි. ඊළඟට, නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකට කිතුණුවකු විසින් කරන ලද ප‍්‍රහාරයට ප‍්‍රතිප‍්‍රහාරයක් වශයෙන් ද මෙය දකිනු ලැබේ. තවත් පිරිසක්, සුපුරුදු පරිදි, ගෝලීය ධනවාදයේ හෝ නවලිබරල්වාදයේ අනිවාර්ය ප‍්‍රතිවිපාකයක් වශයෙන් මේ දෙස බැලීමට කැමැත්තක් දක්වති.

මේ සියලූ හේතු කාරණා අඩු වැඩි වශයෙන් මේ ප‍්‍රශ්නය තුළ ගැබ්ව ඇති බව නොකිවමනා ය. එහෙත්, ඒ සියලූ කරුණු පදනම් වන්නේ, අඩු වැඩි වශයෙන් ගත් විට, ‘දේශපාලනික නිරවද්‍ය භාවය’ වශයෙන් ගැනෙන එක්තරා තර්ක මාදිලියක් මත බව හොඳින් විමසා බැලූ විට පෙනේ. මේ කියන ‘දේශපාලනික නිරවද්‍ය භාවය’ යන්නෙහි අර්ථය වන්නේ, විවිධ කරුණු සම්බන්ධයෙන් තම තමන් පනවා ගත යුතු යම් ශීලයක් ආරක්ෂා කර ගැනීමට කවුරුත් උත්සාහ කරන බවයි. උදාහරණයක් වශයෙන්, මා කුඩා කල ශ‍්‍රී පාද වන්දනාවේ යන විට, බැරි වෙලාවත් කටින් පිට කළ යුතු නැති වචන ගණනාවක් තිබුණි. ඒවා දුශ්ශීල වචන හෙවත් ‘කට වරද්දා ගැනීම්’ වශයෙන් සැලකුණි. එවැනි වචනයක් ශ‍්‍රී පාද අඩවියේදී කෙනෙකුගේ කටින් පිටවුවහොත් ඒ නඩයට කුමක් හෝ ඇබැද්දියක් සිදුවනු ඇතැයි විශ්වාස කෙරුණි. 

දේශපාලනික නිරවද්‍යභාවය මුල්වීම 

මේ ‘දේශපාලනික නිරවද්‍ය භාවය’, සෑම විෂයයක් අරභයාම යම් මට්ටමකින් ක‍්‍රියාත්මක වන අතර, විශේෂයෙන්, ජාතිය, ආගම සහ දේශපාලනය යන ක්ෂේත‍්‍රවලදී එය වැඩි වැඩියෙන් අනුගමනය කරනු ලැබේ. උදාහරණයක් වශයෙන් සමාජවාදීන්ගේ දේශපාලනය තුළ, කම්කරු පංතිය හෝ නිර්ධන පංතිය පිළිබඳ ගර්හාත්මක ප‍්‍රකාශ කිරීමෙන් වැළැකී සිටිය යුතු යැයි සැලකේ. කම්කරු පංතිය ජාතිවාදී හෝ අවස්ථාවාදී යැයි කීවොත්, එය අර කී ‘දේශපාලනික නිරවද්‍ය භාවය’ නැමැති සිල් පදය කැඞීමක් වන්නේය. මේ නිසා, වාමාංශික වශයෙන් තමන්ව හඳුන්වා ගැනීමට සිතැත්තෝ හැම විටකම ධනපති පංතිය සහ ධනපති ක‍්‍රමය අටඅසූවක් ව්‍යාධිවලට වගකිව යුතු යැයි ගනිති. ආගම පැත්තෙන් සලකා බැලූවොත්, ‘ආගමික හැඟීම් රිදවන’ ප‍්‍රකාශ කිරීම, අර කියන ‘දේශපාලනික නිරවද්‍ය භාවය’ උල්ලංඝණය කිරීමක් වන්නේය. අද වන විට මුළු ලෝකයාම පොදු එකඟත්වයෙන් යුතුව පිළිගෙන ඇති ධර්මතාවක් බවට එය පත්ව තිබේ. මේ නිසා, ‘ආගම අබිං’ යන මාක්ස්ගේ කියමන, මාක්ස්වාදීන්වත් අද වන විට ප‍්‍රසිද්ධියේ උච්චාරණය කරන්නේ නැත. ඊට හේතු තිබේ. 

ආගම යනු ආධ්‍යාත්මික විමුක්තිය සලසන මාර්ගයකි. ආධ්‍යාත්මික විමුක්තිය යනු පෞද්ගලික දෙයකි. එනම්, පුද්ගලයා මුල් කොට පවතින්නකි. බුදුන් වහන්සේ සසරින් එතෙර වීම දේශනා කෙළේ පුද්ගලයාට මිස, රටකට, ජාතියකට හෝ සමාජයකට හෝ නොවේ. එසේම එය මේ ජීවිතයට වඩා, මේ ජීවිතයෙන් එපිට හමුවන හෝ එපිටදී අපේක්ෂා කරන නිෂ්ටාවක් මේ ජීවිතයේදී සාක්ෂාත් කර ගැනීම අරමුණු කොට පවතී. මෙය වටහා ගැනීම සඳහා සැසඳීමක් වශයෙන් මාක්ස්වාදය ගන්න. එය පුද්ගලයා නොව, මිනිස් කාණ්ඩයක් අරමුණු කොට සංගෘහිත වූවකි. සමාජවාදය, පුද්ගලයා සඳහා නොව, සමාජයක් හෙවත් සාමූහිකයක් සඳහා ය. එසේම එය, මේ ජීවිතය හෙවත් වර්තමාන සමාජය අරමුණු කොට පවතී. එසේ හෙයින් එය ලෞකික වන්නේය. කලින් කී බුදුන්ගේ ධර්මය ලෝකෝත්තර වන්නේය. 

අරමුණු දෙකක් - මාර්ග දෙකක් 

මේ දෙකම, අරමුණු දෙකක් සහිත මාර්ග දෙකකි. ඒ මාර්ග වලංගු වන්නේ, ගමනාන්තය පිළිබඳව ඇති විශ්වාසය මත පමණි. සමාජවාදය පිළිබඳ විශ්වාසය ඇති කෙනෙකුට පමණක්, පොදු දේපළ ක‍්‍රමයක් සහිත පාලන මාදිලිය වලංගු වන්නේය. ඒ සඳහා ඔවුන්ට ඇති නිර්දේශිත මාර්ගය වන්නේ, පෞද්ගලික දේපළ ක‍්‍රමය අහෝසි කෙරෙන, සාමූහික අයිතිය මත පදනම් වන ආර්ථික ක‍්‍රමයක් ගොඩනගා ගැනීමයි. සසරින් එතෙර වීම අපේක්ෂා කරන බෞද්ධයන්ට, බුද්ධාගම යනු ඒ වෙත ළඟා වීමට ඇති එකම මාර්ගයයි. සසරක් ඇති බව පිළිගන්නා සහ එම සසරින් එතෙර වීමක් අවශ්‍ය කරන කෙනෙකුට මිස වෙනත් කෙනෙකුට බුද්ධාගම වැදගත් නොවේ. කිතුණු දහම වැදගත් වන්නේ, ලෝකය නිර්මාණය කළ දෙවියන් වහන්සේ කෙනෙකු ඇතැයි ද, මේ ජීවිතයෙන් පසුව උන්වහන්සේ සමග ඒකාත්මීය වන ස්වර්ගයට යාම සිය ඉෂ්ටාර්ථය වශයෙන් ගන්නා වූද කෙනෙකුට පමණි. ඉස්ලාම් ආගමත් එසේම ය. එහෙත් මෙකී ශාස්තෘවරුන් තිදෙනාගෙන් පසුව අද වන විට ඒ ආගම් තුනම, ඉෂ්ටාර්ථය සහ මාර්ගය අතර පවතින සබඳතාව බිඳගෙන ඇති අතර, වෙනත් කාරණයක් සඳහා ආගම පාවිච්චියට ගැනීමේ පුරුද්දකට යට වී සිටී. එය කුමක් ද?

මැස්සන් සහ මදුරුවන් වැනි සතුන් හැරුණු කොට, අනෙක් සෑම සතෙකුටම ‘මරණ බයක්’ තිබේ. ඒ ඒ සත්තු විවිධාකාරයෙන් ඊට ප‍්‍රතිචාර දක්වති. මදුරුවා පවා ආලෝකයට වඩා අඳුර සොයන්නේ, මරණය පිළිබඳ සවිඥානක ‘බයක්’ නිසා නොවූවත්, පැවැත්ම සඳහා සැකසී ඇති ඓන්ද්‍රීය ඉවක් මත බව පෙනේ. එහෙත් ඊට වඩා දියුණු සත්තු මරණය පිළිබඳ සහජ ඉව ස්වභාවයෙන් ප‍්‍රගුණ කර ගනිති. බැරිම තැන උන් මරණයට යට වෙති. ඒ සෑම සතෙකුටම වෙනස්ව, මනුෂ්‍යයා නැමැති සත්වයා මරණයට යට වීම, හිතුවක්කාරීව ප‍්‍රතික්ෂේප කරයි. උපන් දා සිටම නොවූවත්, ජීවිතය පිළිබඳ ඇලීම වර්ධනය කර ගැනීමේ ශිෂ්ටාචාරමය ක‍්‍රියාවලිය තුළ, මිනිසා මරණයට විකල්පයක් සොයන තැනට පත්වන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මරණයෙන් සියල්ල අවසන් වන්නේය යන කටුක සත්‍යය පිළිගැනීමට සිතට කිසි ඉඩක් නොදෙන තරමට, ජීවිතය ඔහුට අර්ථවත් සහ වටිනාකමක් ඇති දෙයක් බවට පත්වෙයි. සතාට නැති චින්තන ශක්තියක් මිනිසාට ඇති නිසා, ඉහත කී ජීවිතයේ ‘අධි අගය’ ඉදිරියේ, මරණයට විසඳුමක් හෝ හිලව්වක් වශයෙන් බොහෝ ආධ්‍යාත්මික නිර්මාණ ගොඩනගා ගැනීමට ඔහු සමත් වෙයි. නිර්වාණය, ස්වර්ගය සහ පාරාදීසය වැනි ඉෂ්ටාර්ථ සඳහා වන ඉල්ලූම එන්නේ එතැනිනි. මුළු ලෝකයම, අඩු වැඩි වශයෙන්, ආගමික වන්නේ ඒ නිසා ය. හෙවත්, මරණ භය, සවිඥානකව විසඳා ගත හැකි මාර්ගයක් ඇතැයි විශ්වාස කරන නිසා ය. එය සතුන්ට නැති, මිනිසාට පමණක් ඇති බුද්ධිමය වරප‍්‍රසාදයකි. හෙවත්, ඇස් දෘෂ්ටියෙන් එහාට හෙවත් ආධ්‍යාත්මික තලයකින් මිනිසාට පමණක් සැපයෙන, සහජාසමය වරප‍්‍රසාදයකි.

ලෝකෝත්තර විසඳුම 

එහෙත් මිනිසා තවමත් සත්වයෙකි. පැවැත්ම පිළිබඳ ලෞකික අංශය හෙවත් මේ ලෝකය තුළ පැවැත්ම සඳහා, ඉහතින් කී ලෝකෝත්තර විසඳුම පමණක් ඔහුට ප‍්‍රමාණවත් නොවන්නේය. මම නැමැති පුද්ගලයා, දෙමාපියන් නැති, සහෝදර සහෝදරියන් සහ දූදරුවන් නැති, බිරිඳක් හෝ සැමියෙකු නැති, ඥාති හිතමිත‍්‍රාදීන් සහ අසල්වාසීන් නැති, තනිකර ‘තනිකඩයෙකු’ විණි නම්, මට පැවතිය නොහැකි වනු ඇත. මුලින්ම, ‘මම’ තුළ, මගේ දෙමාපියෝ සහ සහෝදර සහෝදරියෝ සිටියහ. ඊළඟට, අද සිටින ‘මම’ තුළ මගේ බිරිඳ ඇතුළු දරු මුණුපුරෝ සිටිති. ඉන් පසු මම කුටුම්බයෙන් එළියට යමි. එවිට, මගේ අසල්වාසීන් සහ හිතමිතුරන් ඇතුළු මගේ සමාජය සහ රටවැසියෝ මට සිටිති. මේ සියල්ලන් සමග මම ‘අනන්‍ය’ වෙමි. ‘මම’ නැමැති අනන්‍යතාව මට සපයා දෙන්නේ ඔවුන් ය. මම සිංහල යැයි කියන විට, මම බෞද්ධ යැයි කියන විට මා කරන්නේ, සියලූ සිංහලයන් සහ සියලූ බෞද්ධයන් හරහා මම මාව තර කර ගැනීමකි. හෙවත්, ජාතියට අමතරව, මේ වන විට ආගමත්, මෝක්ෂ මාර්ගයක් වශයෙන් නොව, මගේ ලෞකික අනන්‍යතාව ගොඩනගා දෙන ප‍්‍රබල මෙවලමක් වශයෙන් පාවිච්චියට ගැනීමට මාව මෙහෙයවනු ලැබ ඇති බවයි. 



(ඉතිරිය ඉදිරි සතියට)



0 comments: