Hot!

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (2)




- ගාමිණී වියන්ගොඩ -


බුද්ධිමය පන්නරය අවශ්‍ය ඇයි ? 

බුද්ධාගම, ක‍්‍රිස්තියානිය, හින්දු, ඉස්ලාම් සහ යුදෙව් වැනි සංස්ථාපිත ආගම් අද ඉටු කරන්නේ, මීට පෙර ලිපියේ කියා ඇති පරිදි, ලෝකෝත්තර නිෂ්ඨාවක් සැපයීමට වඩා පුද්ගලයාට සහ ජනවර්ගවලට ලෞකික අනන්‍යතාවක් සපයා දීම බව පැහැදිලිව පෙනෙන්ට තිබේ. මේ අනන්‍යතා සහතිකය කුඩා කල සිට කෙනෙකුගේ පැවැත්ම තුළට කෙතෙක් එන්නත් කොට ඇත්ද යත්, ඔහු/ඇය සිංහලකම සහ බෞද්ධකම හෝ සිංහල කම සහ කිතුණු භාවය අතහැරියොත් හෝ ඉස්ලාම් ආගමිකයෙකු නම් මුස්ලිම් භාවය ද, හින්දු භක්තිකයෙකු නම් හින්දු භාවය ද අතහැරියොත්, ඔහුගේ/ඇගේ ජීවිතය පුස්සක් බවට පත්විය හැකිය. එය, සාමාන්‍ය කෙනෙකුට මුහුණදිය හැකි තත්වයක් නොවේ. උපන් ආගමත් බැහැර කොට, තවත් ආගමක් වැළඳ ගැනීමෙනුත් වැළැකී සිටීමට, දැඩි බුද්ධිමය පන්නරයක් කෙනෙකුට අවශ්‍ය කෙරේ.

නව ආගමක් බිහි නොවුණේ ඇයි ? 

ගත වූ අවුරුදු 1000 කට වැඩි කාලයක් තිස්සේ මේ ලෝකයේ කිසි ආගමක් අලූතෙන් බිහි වී නැත්තේ ඇයි ? තවත් ආකාරයකින් මේ ප‍්‍රශ්නය මතු කළොත්, බුදුන් වහන්සේ, යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ හෝ මහම්මත්තුමා වැන්නෙකුගෙන් පසුව ගත වූ අවුරුදු 1000 කට වැඩි කාලයක් තිස්සේ වෙනත් ආගමක් බිහි වී නැත්තේ ඇයි? මිනිස් පැවැත්ම විසින් ඇති කොට තිබූ මරණ බිය සංසිඳුවා ගැනීමට ප‍්‍රමාණවත් පිළිතුරු ගණනාවක් ඒ වන විට ඉහත කී ආගම් තුළින් ලෝකයා වෙත ලැබී තිබීම එක හේතුවකි. මරණය තුළ පැවති නොදැරිය හැකි අනපේක්ෂිතය, ලෞකික අර්ථයකින් වටහා ගැනීමට සහ යම් තාක් මෙල්ල කර ගැනීමට තරම් ලෝකයා ලෞකික ඥානයෙන් යම් දියුණුවක් මේ කාලය තුළ ලබා ගෙන සිටීම තවත් හේතුවකි. ඒ සියල්ලටමත් වඩා, මේ කියන ප‍්‍රධාන ප‍්‍රවාහයේ ආගම් කිහිපය විසින් ලෝක දේශපාලනික ආධිපත්‍යය සින්නක්කරයට නතු කරගෙන තිබීම තවත් හේතුවකි. මේ නිසා 7 වැනි සියවස දක්වා බිහි වූ ආගම් කිහිපය මුළු ලෝකයාටම ආධ්‍යාත්මික සේවය සැපයීමේ ඒකාධිකාරී ආයතන අතලොස්ස බවට ලෝක සම්මතය තුළ තහවුරු විය. යුදෙව්, හින්දු, බෞද්ධ, ක‍්‍රිස්තියානි සහ ඉස්ලාම් ආදී වශයෙන් ඒවා හඳුනාගත හැකිය.

මේ ආගම් බහුතරය බිහි වු යුගය, පෘථිවි-කේන්ද්‍රීය ලෝකයකි. සරළව ගත් විට, පෘථුවිය වටා සූර්යයා භ‍්‍රමණය වෙමින් ඇති ලෝකයක් සේ වටහාගෙන සිටි ලෝකයකි. (බුද්ධ ධර්මය තුළ පවා, විශ්වයක් ගැන කතා කළත්, බුදු කෙනෙකු බිහි විය හැක්කේ මිනිස් ලෝකයක පමණක් ය යන්නෙන් අදහස් කෙරුණේ, සමස්ත දර්ශනයේ කේන්ද්‍රය පෘථුවිය වූ බවයි). මේ පෘථිවි-කේන්ද්‍රීය ලෝකය යනු, ක‍්‍රිස්තු පූර්ව 4004 ඔක්තෝබර් 22 වැනි සෙනසුරාදා හවස 6 ට පෘථිවිය බිහි වූ බව විශ්වාස කළ ලෝකයකි. තවත් විදිහකින් කිවහොත්, අවුරුදු බිලියන 12 ක පමණ ඈත ඉතිහාසයක් විශ්වයට ඇති බව නොදැන සිටි ලෝකයකි. එසේම මේ සියලූ ආගම් බිහිවූයේ පෘථුවිය පැතලි යැයි සිතා සිටි ලෝකයක ය. මේ සියල්ල මා ගෙනහැර දක්වන්නේ, ආගම් බිහි වුණේම ඥානයේ අන්ධකාර යුගයක බව පෙන්වීමට ය. ඇස් පෙනෙන මිනිසාට ? ඝනාන්ධකාරය තුළ පාර කියා දීමට අන්ධ පුද්ගලයෙකුගේ උදව් අවශ්‍ය විය හැකිය. එහෙත් දහවල් එළිය වූ ලෝකයක, මග කියා දීමට අප අන්ධ පුද්ගලයෙකුගේ පිළිසරණ පතන්නේ නැත.

ආගම වර්තමානයේ අවලංගු වී තිබේද ? 

ආගමේ උපත සහ වර්තමානය, අන්ධකාරය සහ ආලෝකය තුළ ඉහත කී අන්ධ පුද්ගලයාගේ සේවයේ භූමිකාවට සමාන ය. අතීතයේ ආගමේ තිබූ අදාළත්වය වර්තමානයේ එයාකාරයෙන් ආදේශ කර ගැනීමට අපට හැකියාවක් නැති බව එහි අදහසයි. එහෙත්, ආගම වර්තමානයේ අවලංගු වන බවක් ඉන් අදහස් වේ ද? එය එසේ නම් මම සතුටු වෙමි. එහෙත්, අවාසනාව වන්නේ, එදාට වඩා හානිකර පරමාර්ථයක් සඳහා වර්තමානයේ ආගම පාවිච්චියට ගැනීම තුළින්, ආගමට අලූත් අදාළත්වයක් අද වන විට පැවරී තිබීමයි.  
     
ලෝකය සමස්තයක් වශයෙන් ගත් විට, පුද්ගල අනන්‍යතාව ගොඩනගන ප‍්‍රධාන මෙවලම් දෙකින් එකක් බවට ආගම පත්ව ඇත්තේ ඒ අනුව ය. ජාතිය, එවැනි අනන්‍යතා මෙවලමක් වීම පුදුමයට කාරණයක් නොවේ. ජාතිය යනුම, අනන්‍යතා සහතිකයකි. මම සිංහල හෝ දෙමළ යැයි කී විටම, මා කියන්නේ, වෙනත් භාෂාවක් කතා කරන මිනිසෙකුගෙන් මා සපුරා වෙනස් වන බව ය. වෙනස් සංස්කෘතියක් ඇති මිනිසෙකුගෙන් මා සපුරා වෙනස් වන බව ය. එහෙත් මා බෞද්ධයෙකු හෝ කිතුණුවෙකි යැයි කියන විට එය ඉහත කී ආකාරයේ ලෞකික ‘අනන්‍යතා සහතිකයක්’ නොවිය යුතුව තිබුණි. මා එසේ කියන්නේ ඇයි ?

මා දක්වා ඇති ප‍්‍රධාන ආගම් පහේම (බෞද්ධ, ක‍්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, යුදෙව්) ‘පරමාර්ථ සත්‍යය’ වන්නේ, ලෞකික අනන්‍යතාවෙන් මිදී ලෝකෝත්තර (ආධ්‍යාත්මික) අනන්‍යතාවක් අත්කර ගැනීම (බුද්ධාගමේ නම්, අනන්‍යතාව අහෝසි කර ගැනීම) හෝ එවැනි ලෝකෝත්තර තත්වයකට පත්වීමයි. බෞද්ධයන් වශයෙන්, නිවන නොවේ නම්, අඩු වශයෙන් උසස් භවයක උත්පත්තිය ලැබීමවත් එහිදී අපේක්ෂා කෙරේ. එය පහළ සිට ඉහළට, සිරස් අතට ක‍්‍රියාත්මක විය යුතු තත්වයකි. එහිදී, තිරස් අනන්‍යතා හෙවත් සමාන්තර ලෞකික අනන්‍යතා (සිංහල, දෙමළ, බර්ගර් ආදිය) ඊට බාධාවක් නොවිය යුතුය. මන්ද යත්, ආගමේ ප‍්‍රමුඛත්වය ලෝකෝත්තර වන බැවිනුත්, ආගම තුළ ලෞකිකය ද්විතීයික වන බැවිනුත් ය.

එහෙත් මේ සෑම ආගමක්ම අද වන විට ලෞකික දෘෂ්ටියක් බවට පත්ව තිබේ. ලෞකික පුද්ගල අනන්‍යතා සහතිකයක් බවට ආගම පත්වූ දා සිට, ඒ ආගමික අනන්‍යතා කඳවුර (බෞද්ධ, කිතුණු, ඉස්ලාම්, යුදෙව්) ආරක්ෂා කිරීම සඳහා ආගමේ නාමය ලෞකික තලයේ පාවිච්චි කිරීමට කෙනෙකුට සිදුවනු ඇත. මෙය, වැළැක්විය හැකිව තිබුණු තත්වයක් නොවේ. මන්ද යත්, ආගම (බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආදී* මොන ස්වරූපයෙන් පැමිණියත්, අවසානයේ යම් දවසක තාර්කිකව මේ තත්වයට පත්වනු ඇති බැවිනි. ආගම මුල් කර ගනිමින් මිනිසුන් අතරේ පසමිතුරු අනන්‍යතා ගොඩනැගෙන බැවිනි. එය මිනිස් ඉතිහාසය තුළ වැඩිම ම්ලේච්ඡුත්වයකින් නිරූපණයට පත්වූ අවස්ථාව වන්නේ කුරිරු කුරුස යුද්ධ ඇති වීමයි. 

කුරුස යුද්ධය 

කුරුස යුද්ධ යනු අතිශය ම්ලේච්ඡ සංහාර මාලාවකි. 11 වැනි සියවස අවසානයේ මේ කුරුස යුද්ධ මුලින්ම ඇති වුණේ, වර්තමාන ඊශ‍්‍රායලයේ තිබෙන යෙරුසලම නැමැති ආගමික නගරය මුස්ලිම්වරුන්ගෙන් අල්ලා ගැනීම සඳහා කිතුණුවන් දියත් කළ ම්ලේච්ඡු මෙහෙයුමක් වශයෙනි. එදා පාප් වහන්සේ කොන්ස්තන්තිනෝපල් නුවරට දස දහසක සේනා රැුස් කළහ. ඒ සේනා මෙහෙයවීම සඳහා ආදිපාදවරුන් කැඳවා ගත්තේ, ඔවුන්ගේ සියලූ පව් සමා කර දෙන බවට පාප්වහන්සේ විසින් ප‍්‍රතිඥාවක් දීමෙනි. එය ඔවුන්ගේ ‘වැටුප’ විය. ආගම වෙනුවෙන් එක්සත් වූ මේ දස දහසක කුලී හමුදාව යෙරුසලම දක්වා මග දිගට හමුවන ‘මිථ්‍යා දෘෂ්ටිකයන්’ ගම් පිටින් විනාශ කරමින් ගොස් යෙරුසලමේ සිටි මුස්ලිම්වරුන්ව සමූල ඝාතනය කළෝය. එහිදී, මෙම නගරයේ වීදි, කෙනෙකුගේ වළලූකර මට්ටමට ලෙයින් යටවූ බව ඉතිහාසයේ දැක්වෙයි. 11 වැනි සියවසේ සිට වසර 200 ක කාලයක් තුළ ඉස්ලාම් ආගමිකයන්ට එරෙහි මෙවැනි ප‍්‍රධාන කුරුස යුද්ධ 8 ක් කිතුණුවන් විසින් දියත් කොට තිබේ.

කිතුණු දහම සහ කුරුස යුද්ධ අතර තිබුණු සබඳතාව වැනිම සබඳතාවක් ජිහාඞ් යුද්ධ සහ ඉස්ලාම් දහම අතර තිබී ඇත. මහම්මත්තුමාගේ කාලයේ පටන්ම ඉස්ලාම් ආගම ඉතා තදින් රාජ්‍ය පාලනය සමග බැඳී තිබුණි. ජිහාඞ් යනුවෙන් හැඳින්වෙන ‘ශුද්ධ වූ යුද්ධ’ යන්න අර්ථ දෙකකින් අවබෝධ කර ගත හැකිය. එකක් වන්නේ, මිනිසාගේ අභ්‍යන්තරය හෙවත් ආධ්‍යාත්මය ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමේ යුද්ධයකි. එය, සාකල්‍යයෙන්ම ආගමකට යෝග්‍ය වන්නකි. ඇත්ත වශයෙන්ම, බොහෝ වර්තමාන ඉස්ලාම් විද්වතුන් ජිහාඞ් යන යෙදුම තුළ ඇති මේ අරුත අවධාරණය කරයි. එහෙත්, අවාසනාව වන්නේ, අනෙක් සෑම ආගමක් මෙන්ම ඉස්ලාම් ආගමත් රාජ්‍ය පාලනය සමග ගැට ගැසී සිටි වසර 1500 කට ආසන්න කාලය තුළ, දේශපාලනය සඳහා ඉතා හිංසාකාරී ආකාරයෙන් ආගම පාවිච්චියට ගෙන තිබීමයි. දේශපාලන බලය සහ කොල්ලකාරීත්වය වෙනුවෙන් ගෙන ගිය යුද්ධ සමග ඉතා පහසුවෙන් ආගම ඈඳා ගැනීමට ඒ මගින් හැකියාව ලැබුණි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ජිහාඞ් යුද්ධ මගින් කිතුණු යුරෝපයේ මායිමත් (ස්පාඤ්ඤය) යටපත් කර ගැනුණි. 
       
මේ දක්වා මනුෂ්‍ය වර්ගයාගේ සකල යුද්ධවලින් තුනෙන් දෙකක් ආගම මුල් කරගෙන ඇති වූ බව අද ඉතිහාසඥයෝ පෙන්වා දෙති. නොදියුණු ඈත අතීතය අමතක කොට දියුණු මෑත අතීතයට එන්න: අද පලස්තීනයේ මිනිමරා ගන්නේ යුදෙව් සහ මුස්ලිම් ආගමිකයන් ය. උතුරු අයර්ලන්තයේ කතෝලිකයන් සහ ප්‍රොතෙස්තන්තවාදීන් ය. ඉන්දුනීසියාවේ මුස්ලිම්වරු සහ ටිමෝර කිතුණුවන් ය. කාශ්මීරයේ හින්දූන් සහ මුස්ලිම්වරුන් ය. සුඩානයේ කිතුණුවන් සහ මුස්ලිම්වරුන් ය. ක්‍රොඒෂියාවේ සත්‍යලබ්ධික කිතුණුවන් සහ කතෝලිකයන් ය. නයිජීරියාවේ මුස්ලිම්වරුන් සහ කිතුණුවන් ය. ඉතියෝපියාවේ මුස්ලිම්වරුන් සහ කිතුණුවන් ය.

හින්දුන් සහ මුස්ලිම්වරුන් අතර ඉන්දියාව බෙදා ගන්නා මොහොතේ පමණක් දස ලක්ෂයකට අධික ජීවිත සංඛ්‍යාවක් ඝාතනය කෙරුණි. එතැන් සිට මේ දක්වා මේ රටවල් දෙක තුන් වතාවක් යුද්ධ කරගෙන ඇත. අහිංසක යැයි සැලකෙන, සාමකාමී යැයි සැලකෙන ආගම් එතරම් අමානුෂික විනාශයක හේතුකාරකයක් වුණේ ඇයි ?

හරවා ගැනීමේ ව්‍යාපාරයකින් තොරව ආගමක් සංස්ථාවක් බවට පත්කළ නොහේ. අනිත් අතට, සංස්ථාවක් බවට පත්වන ආගම තුළ ධර්මය ඉතිරි නොවේ. හිස් පොත්තක් බවට පත්වන ආගමික සංස්ථාව (පන්සල සහ පල්ලිය) ඊළඟට සේවය කරනුයේ ජනවර්ග අනන්‍යතාවක් වශයෙන් පමණි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ සැණින් පස්වග මහණුන්ව හරවා ගත්හ. අනතුරුව, ඒ පස්වග මහණුන්ට එම ධර්මය ‘ලෝක සත්වයා දුකින් මුදවා ගැනීම සඳහා’ දේශනා කරමින් යන ලෙස උපදෙස් දුන්හ. ක‍්‍රිස්තුස් වහන්සේ සහ නබිතුමා අනුගමනය කෙළේද ඒ ක‍්‍රියාමාර්ගයයි. මේ ගුණවත් ආධ්‍යාශයේ වරදක් නැත. මා ලබන විමුක්තියක් සෙස්සන්ටත් ලබා දීමට තැත් කිරීම උත්කෘෂ්ට චේතනාවකි. එහෙත් ඒ සඳහා යොදා ගැනෙන මාර්ගය මෙහිදී වැදගත් ය. ඉහත කී ශාස්තෘවරුන් තිදෙනාම ඒ උත්කෘෂ්ට ආධ්‍යාශය දැරුවත්, ඒ එකිනෙක අය ඒ සඳහා නිර්දේශ කෙරුණු මාර්ග එකිනෙකින් වෙනස් විය. 

ප්‍රචණ්ඩත්වය, බුද්ධාගමේ සහ සිංහල ජාතියේ නාමයෙන්, අනුමත වී තිබීම

බුදුන්ගේ ධර්මය තුළ කොතැනකවත් හිංසාව අනුදැන වදාරා නැත. අදටත්, අවිහිංසාව පමණක්ම ධර්මය කර ගන්නා එක් සංස්ථාපිත දහමක් වෙතොත්, ඒ බුද්ධ ධර්මය සහ ජෛන ආගම පමණි. එහෙත් 5 වැනි සියවසේ ලියැවුණු මහාවංශය ලංකාවේ ඉතිහාස පුරාවෘත්තය වශයෙන් සංගෘහිත වූ දා පටන්, බුද්ධාගමත් අවි අමෝරා රැක ගත යුතු ආගමක් බවට පත්කෙරුණි. පිරිසුදු බුදු දහම වසර පන් දහසක් පවතින එකම රට ලංකාව යැයි බුදුන් වහන්සේ දේශනා කොට ඇති බවත්, එසේ හෙයින් එම දේශය ආරක්ෂා කරන ලෙස පිරිනිවන් මංචකයේදී උන්වහන්සේ දෙවියන්ගෙන් ඉල්ලා සිටි බවත් මේ මහාවංශ කතුවරයා ලීවේය. බුද්ධාගම වෙනුවෙන් රටක් ආරක්ෂා කර ගැනීමේ ‘අමතර’ වගකීම බුද්ධාගමට පැවරෙන්නේ ඒ ප‍්‍රකාශය හරහා ය. 

ඉන් පසු, දුටුගැමුණු-එළාර යුද්ධයේදී මියගිය දහස් ගණනක් මිනිස් ජීවිත පිළිබඳ පශ්චාත්තාපයෙන් යුතුව සිටි දුටුගැමුණු රජුගේ හිත සැනසීම සඳහා සංඝ රත්නය වැඩම කොට පැවැත්වූ ධර්ම දේශනාවේදී කියා සිටියේ, රජතුමා අතින් ඝාතනය වී ඇත්තේ මිනිස් ජීවිත එකහමාරක් පමණක් බව ය. ඒ එකහමාර යනු, යුද්ධයෙන් මියගිය දහස් ගණනක් අතරේ, පන්සිල් ගත් එක් අයෙකු සිටි බවත්, තිසරණ සමාදන් වූ තවත් එක් පුද්ගලයෙකු සිටි බවත් ය. පන්සිල් ගත් කෙනා ‘ජීවිත එකක්’ වන අතරේ, තිසරණ සමාදම් වූ කෙනා ‘ජීවිත අඩක්’ බව ඒ භික්ෂූහූ දේශනා කළහ. ‘‘සෙසු මරණ ලද්දාහූ මිථ්‍යා දෘෂ්ටි දුශ්ශීල වූ සිව්පාවුන් සමයෝ ය’’ (මහාවංශය: 25 පරිච්ඡේදයේ 111 ‍ඡේදය) මතක තියාගන්න: මෙසේ දේශනා කළෝ, පෘථග්ජන භික්ෂූහු නොව, අරහත් ඵලයට පත් රහතන් වහන්සේලා ය.   

ශ‍්‍රී ලංකාව බෞද්ධයන්ගේ රටක් යැයි අද සමහරු කියන විට එහි අදහස වන්නේ, ශ‍්‍රී ලංකාව ගෞතම බුදුන්ගේ රටක් බව නොව, ඉහත කී මහාවංශ කතුවරයා විසින් පෝෂණය කොට භෞතීස්ම කළ සිංහල-බෞද්ධයන්ගේ රටක් බව ය. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ, බුද්ධාගම වෙනුවෙන් සිංහල ලංකාව ආරක්ෂා කර ගැනීමත්, සිංහල ලංකාව වෙනුවෙන් බුද්ධාගම ආරක්ෂා කර ගැනීමත් සඳහා අවි දැරීම හෙවත් ප‍්‍රචණ්ඩත්වය, බුද්ධාගමේ සහ සිංහල ජාතියේ නාමයෙන්, අනුමත වී තිබීමකි.  


(ඉතිරිය ඉදිරි සතියට)



සබැඳි පුවත් 


0 comments: