Hot!

සර්ව ආගමික කටයුතු තනි අමාත්‍යාංශයක් යටතට ගත නොහැකිද ?



- නිලන්ත මානවසිංහ -

හෙණගෙඩි හා ආශිර්වාද 

ආපදාවක් විසින් අපට කරන වින්නැහිය ගැන සාමාන්‍යයෙන් අපි කියන්නේ හෙණගෙඩියක් පාත් වුණා කියාය. රටට  හෙණ ගෙඩි පාත් වීම, ඍජු තර්ජනයක් ලෙස ඇතැම් අවස්ථාවලදී සිදුවිය. තවත් සමහර අවස්ථාවලදී එම තර්ජනය වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් බවට පත්වන්නේය. බොහෝ රාජ්‍යයන් දියුණු වූයේ ඛේදවාචක වලින් පසු ලද පාඩම් වලිනි.

නමුත් මෙරටේ, මොකක්දෝ අවාසනාවකට, ඛේදවාචක වලින් ඉගෙන නොගන්නා, පැරණි වරදම යළි යළිත් කරන මිනිසුන් වෙසෙන ජාතියක් බවට පත්වී තිබේ. මේ ජාතිය පහසුවෙන් රවටා දැමිය හැකි, පහසුවෙන් එකෙනිකා කොටවා දැමිය හැකි, ඉතාම අසමගියෙන් ජීවත් වෙන ජාතියෙකි.  රටේ වීරයන් ලෙස නම් දරන බොහෝ දෙනෙකු ඔවුහු එසේ නම්දරා ඇත්තේ ඔවුන්ගේ මුල් අරමුණ පරාජය වූ පසු ව්‍යාජ දේශප්‍රේමයේ වෙස්මුහුණ පැළඳ ගැනීමෙන් පසු ඊට රටේ සමස්ථ ජනතාවගෙන් බහුතරය රැවටීම හේතුවෙනි. දේශප්‍රේමය යනු ඉතාම හොඳින් අළෙවි කළ හැකි භාණ්ඩයකි. මේ දින වල රාජපක්‍ෂගේ දේශපාලන ව්‍යපාපෘතිය තම කර මතට ගෙන සිටින අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝද කලාක් තිස්සේ රටේ පවතින ව්‍යාජ දේශප්‍රේමයේ නිෂ්පාදනයකි.  සුද්දන්ට කත් අදිනු ලැබූ කැප්පෙටිපොළ පසු කාලෙක වීර කැප්පෙටිපොල වන්නේද එසේය. ඉතිහාසය පුරාම සිදුවී ඇත්තේ මෙයයි.

සිංහලයින්ගේ ජන්ම උරුමය 

කුවේණිය අවහා කරගත් විජයගේ සැබෑ වුවමනාව වූයේ කුවේණි සමග පවුල් කෑම නොව, රටේ දේශපාලන බලය අතට ගැනීම සඳහා කුවේණි පාවිච්චි කිරීමයි.  ලණුව කෑවේ කුවේණිය. ඒ ලණු කෑම සිංහලයින්ට ජන්මෙන්ම උරුම වූවක් බවට පත්විය. චිරාත් කාලයක් තිස්සේ රාජ්‍යය පාලනය කළ රජවරුන්ගේ සහ රැජිණන්ගේ කතාන්දරයද ඊට  නොදෙවෙනිය.

තම්මැන්නාව අගනුවර කරගත් විජය වසර 38 ක් මෙරට පාලනය කළ බව කියන්නේය. ඉන් පසු උපතිස්ස, පඬුවස්දෙව, අබය රජවරුන් පලනය කළ මෙරටේ, පසුකාලේක වසර 70 රාජ්‍යය පාලනය කරන පණ්ඩුකාභය යටතේ අනුරාධපුරය රාජධානිය බිහිවන්නේය. රජුන් සහ රැජිණන් 181 ක් රාජ්‍යය පාලනය කළා යැයි ලිය වී තිබේ.

බලය වෙනුවෙන් කුමන්ත්‍රණ කළ ඉතිහාසයක් 

ඉතිහාසය පුරාම පාවාදීම්, මරාගැනීම් ඔස්සේ  බලය සඳහා කළ කුමන්ත්‍රණ කිරීම් වලින් අඩුවක් සිදුවූයේ නැත.  රජවරුන්ගේ පරිපාලනය යටතේම මෙරටට පැමිණෙන විදෙස් ආක්‍රමණිකයින් රටේ පැවති  රටාව සහ මිනිසුන්ගේ දුර්වලකම් වලින් ඉතාම හොඳ ප්‍රයෝජන ලබා ගත්තෝය. එය 1948 දක්වා ඇදුනු අතර 1972න් පසු කිරීටයට තිබු අයිතිය සහමුලින්ම නැති වී, "සිංහල බෞද්ධ" රාජ්‍යයේ පුනරාගමනය සිදුවිය. මෙය, ඒ වන විටත් තමන්ගේ කොටස වෙනුවෙන් කුළල් කා කමින් සිටි පිරිසට තම තමන්ගේ අරමුණු වෙනුවෙන් දිගුකාලීන වැඩපිළිවෙලවල් නිර්මාණය කිරීම සඳහා ඉතාම පහසු තත්වයක් උදා කරණු ලැබීය.

එහි එක්තරා ප්‍රධාන වැඩපිළිවෙලක් වූයේ ක්‍රිස්තියානි පාසල් ආරම්භ වීමය. මෙය විදෙස් ආක්‍රමණිකයින් විසින් ඉතාම උපක්‍රමශීලිව කරනු ලැබූ ක්‍රමවේදයක් වූ අතර එමඟින් එතෙක් බෞද්ධ පන්සල වටා කේන්ද්‍ර ගත වී වැඩි දියුණු වෙමින් පැවති අධ්‍යාපන ක්‍රමවේදය නැවත සැකස් කළ නොහැකි පරදි බෙදී  වෙන්විය. එසේම, රටේ ප්‍රධාන බෞද්ධ පූජනීය ස්ථාන ආසන්නයේම, කතෝලික පූජ්‍යස්ථාන බිහි කළෝය. ඇසට පෙනෙන මායිමේ, නිර්මාණය කළ මෙවැනි භෞතික නිර්මාණයන් වලදී සිංහල සහ දෙමළ ජනතාව අතර පැහැදිලි බෙදීමක් නිර්මාණය කිරීම මූලික අරමුණ වූවා සේය. මීට කදිම නිදසුන, ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ ඇති කතෝලික පල්ලියයි. එහි ප්‍රතිඵලය ලෙස දළදාවේ තේවාවට නමස්කාර කොට ඊට සම්මාදම් වූ හින්දු සහ ඉස්ලාම් භක්තිකන් ප්‍රධාන සංස්කෘතියෙන් ක්‍රමයෙන් ඉවත් විය.

සමාජ පරිපාලන ක්‍රමවේදය නිසා ඇතිවූ බෙදීම් 

මෙම ක්‍රමෝපායික සමාජ පරිපාලන ක්‍රමවේදය ඉතාම ගැඹුරු බෙදීම් ජනතාව අතර ඇති කළා පමණක් නොව, පසු කාලෙක වාර්ගිකත්වය මූලික කරගෙන හට ගන්නා ගැටුම්වලට මූලික පදනම සකස් කරනු ලැබීය.

ඉන් පසු සිංහල  ජනතාවට සිංහල විද්‍යාල, දෙමළ ජනතාවට හින්දු විද්‍යාල, මුස්ලිම් ජනතාවට ඉස්ලාම් විද්‍යාල ආදී වශයෙන් ආගම මූලික කරගත් අධ්‍යාපන රටාවක් නිර්මාණය විය. මෙම ක්‍රමවේදය සහමුළින්ම නැති කිරීම වෙනුවට, ඊට ව්‍යාජ විසඳුම් ඉදිරිපත් කිරීම පමණක් සිදු විය. සංහිඳියාව හෝ සහවාසය ගැන පුරසාරම් දොඩවන කිසිවෙක් මෙම මූලික කාරණයට අත තැබුවේ නැත.  රාජ්‍යය පොදු සංස්කෘතිය සමග එකතු කිරීම අරමුණ කරගෙන සමස්ථ අධ්‍යාපන ක්‍රමවේදය සකස් කිරීම වෙනුවට එය ක්‍රමයෙන්  වාර්ගිකයින් අතරද බෙදීම් ඇතිවන සේ නිර්මාණය කරනු ලැබීය. 

එහි ඊළඟ පියවර වූයේ, බෞද්ධ කටයුතු, ක්‍රිස්තියානි කටයුතු, හින්දු කටයුතු, සහ ඉස්ලාම් කටයුතු වශයෙන් රාජ්‍යය පරිපාලනය තුළ වෙන් වෙන් ආයතන බිහි කිරීමය. බලයට පත් වූ එකඳු නායකයෙකු හෝ නායිකාවක් මීට එරෙහිව රාජ්‍යය ප්‍රතිපත්ති සකස්  කිරීම වැදගත් කටයුත්තක් ලෙස නොසලකුවා පමණක් නොව, මහා සංස්කෘතිය තුළ අනු-සංස්කෘතීන් බිහි කිරීම සඳහා රාජ්‍යය අනුග්‍රහය ලබා දෙනු ලැබුහ.

බලය, බලය හා බලය

හුදු බලය ලබා ගැනීම හෝ බලයේ රැඳී සිටීම පමණක් අභිප්‍රාය කරගත් බොහෝ නායක-කරාකාදීන් විසින් මෙම තුවාලය පෝෂණය කළා මිස ඊට කිසිම ප්‍රතිකර්මයක් සාධනීය ලෙස යෝජනා නොකළෝය.

විවිධත්වය ගරු කරන මහා සංස්කෘතියේ කොටස් කරුවන් යැයි ව්‍යාජ පුරසාරම් දොඩවමින් තම තමන්ට රිසි වාර්ගික කණඩායම් පෝෂණය කොට එකිනෙකා අතර ගැටුම් ඇති කිරීමේ වැඩපිළිවෙලක බොහෝ අය නිරත වූහ. ඊට අවශ්‍යය මුදල් විවිධ ස්වභාවයෙන් රටට ලැබුණි. නව නීති නිර්මාණය විය. මෙතරම් සංඛ්‍යාවක් සිටින්නේ නම් පල්ලියක් නිර්මාණය කළ හැකිය ආදී වශයෙන් වූ ප්‍රධාන නීතිය අතික්‍රමණය කරන නීති බිහිවිය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු 


මෙම තත්වය විශාල ලෙස පුපුරා යන්නේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙනි. එනම්, පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය විසින් සිදු කරනු ලැබුවේ මේ දක්වා සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පැවති බොරුව සහ කාලාන්තරයක් තිස්සේ විවිධ දේශපාලනඥයින්ගේ පටු අරමුණු වෙනුවෙන් නඩත්තු කරනු ලැබූ තුවාලයේ සැරව ජාතිය මත පතිත වී එහි දුගඳ හැමීමය. මන්ද, ශක්තිමත් රාජ්‍යය යාන්ත්‍රණයක් නොමැති තැන අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත වීම සරල සමාජ යතාර්ථයකි.

මෙවැනි තත්වයක් තුළ ගැටලුව වන්නේ, මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු පල්ලියට ගොස් යාඥා කිරීමෙන් පසු  තමන්ට ලබා දුන් ඉලක්කය වෙත පැමිණ පුපුරුවා ගැනීම නොව එවැනි බෝම්බකරුවෙකු නිර්මාණය කිරීම සඳහා හේතු වන පසුබිම ගැන මනා සිහියෙන් කල්පනා කොට බැලීමය. මරාගෙන මැරුණු බෝම්බකරුවන් යනු මෙම පළල් සහ ගැඹුරු සමාජ ක්‍රමවේදයේ ගොදුරු බවට පත් වූ පිරිසක් පමණි. මෙහි, සැබෑ නිර්මාණකරුවන් වෙනත් පිරිසකි. මෙය වෙනත් මුහුණුවරකින් යළිත් සිදු වීමට නියමිතව ඇත්තේ ඒ නිසාය. 

ආගම මුල්කරගත් සියලු අමාත්‍යංශ විසුරුවා එක් අමාත්‍යංශයක් පිහිටුවීම 

මෙවැනි තත්වයක් හමුවේ රාජ්‍යය සංස්ථාවට මෙම ගැටලුව විසඳීම සඳහා සැබෑ වුවමණාවක් තිබේ නම් ගත හැකි ප්‍රධාන පියවරක් තිබේ. එනම්, ආගම් මූලික කරගෙන වෙන් කොට ඇති සියලු අමාත්‍යංශ විසුරුවා හැර ඒවා එක් අමාත්‍යාංශයක් යටතට ගැනීමය. ආගම යනු සංස්කෘතිය යටතට ගැණෙන  විෂයක් බැවින් එය සර්ව ආගමික (ආගමික කටයුතු) සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ලෙස නම් කළ හැකිය. එම අමාත්‍යංශය මෙහෙවීම සඳහා රටේ ඉතිහාසය සහ ජනතාව ගැන පිළිගත හැකි දැනුමක් ඇති පුද්ගලයෙකු පත්කළ හැකිය. එම අමාත්‍යවරයා යටතේ, අදාළ අමාත්‍යාංශය පැරණි අත්වැරදී සහ අවිධිමත් කටයුතු නිවැරදි කර ගැනීම සඳහා ව්‍යුහීය සැලැස්මක් නිර්මාණය කළ හැකිය. මෙම මූලික පියවර ගැනීමට හැකි දේශපාලන වටපිටාවක් නිර්මාණය වී තිබේ. එය ඉතාම කඩිනමින් ප්‍රයෝජනයට ගත යුතුව ඇත. 

මන්ද, පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය මෙවැනි සමාජ වෙනස් කම් ඇතිකිරීම සඳහා වටපිටාවක් නිර්මාණය කොට තිබේ. ආපදාවන්, ඇතැම් අවස්ථාවලදී සමාජ ප්‍රතිසංස්කරණයන්  සඳහා යොදා ගත හැකිය. මෙම ප්‍රහාරය ගැන ක්‍රමෝපායිකව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ මෙය, පෙර වැරදි නිවැරදි කර ගැනීම සඳහා ලබා දුන් අවස්ථාවක් ලෙසය. මෙය නිවැරදිව ප්‍රයෝජනයට නොගත හොත් එය සමස්ථ ජාතියේම අවාසනාවකි.

ඒ වෙනුවට, එකිනෙකාගේ පෞද්ගලික වුවමනාවන් සපුරා ගැනීම සඳහා මෙම කුණු වී ඇති සමාජ ක්‍රමයම නඩත්තු කළහොත් සිදුවන්නේ, පැරණි උගුලේ යළි වැටීම සහ ක්‍රමයෙන් නොදන්නා සතුරෙකුගේ අභිප්‍රායන් ඉටු වීම සඳහා සමස්ථ රටම ගොදුරු වීම පමණි.



සබැඳි පුවත් 

0 comments: