Hot!

අක්‍රිය රාජ්‍ය ප්‍රතිපත්ති නිසා වැනසෙන රජ්ගම කලපුව



අක්‍රිය රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් විනාශ වන අගනා පරිසර පද්ධතිය - රජ්ගම කලපුව

වර්තමාන ලෝකයේ එක් කොටසක් සොබාදහම කෙරෙහි දැඩි ලෙස සංවේදී වන අතරතුර, තවත් කොටසක් ලාභයට ගිජු වෙමින් සීඝ්‍රයෙන් පරිසරය විනාශ කරමින් සිටී. ශ්‍රී ලංකාවේ ද මේ තත්වය එසේමය. අතීත රාජාණ්ඩු යුගයේ පටන්ම විවිධ අණ පනත් මඟින් පරිසර විරෝධී කටයුතු තහනම් කර තිබූ අතර නූතනයේ ද පරිසර පද්ධතිවල විනාශය වැළැක්වීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සම්මත කර ඇත. වෙරළාශ්‍රිත තෙත්බිම් සංරක්ෂණය සම්බන්ධයෙන් ද බොහෝ රාජ්‍ය ප්‍රතිපත්ති තිබෙන අතර ආයතන රැසක් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහිලා වගකිවයුතුය. නමුත් මෙලෙස ප්‍රතිපත්ති සහ ආයතන රැසක් පැවතුණ ද වර්තමානයේ ඒ ආශ්‍රිතව ගැටලු රැසක් පැන නැගී ඇත. මෙම ලිපියේ අරමුණ වන්නේ, අගනා පරිසර පද්ධතියක් සහිත වෙරළාශ්‍රිත තෙත්බිමක් වන රජ්ගම කලපුව සංරක්ෂණය කෙරෙහි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන්ගේ සහ වගකිවයුතු ආයතනවල අවධානය යොමු කිරීමයි. 

රජ්ගම කලපුව

අප දන්නා පරිදි කලපුවක් යනු, යම් තරමකට ගොඩබිම තුළට නෙරා ගිය කරදිය සහ මිරිදිය මිශ්‍රව පවතින ජලාශයකි. වෙරළාශ්‍රිත තෙත්බිම් අතරින් කලපු පරිසර පද්ධති සුවිශේෂී වන්නේ, ඒවා මත්ස්‍යයින් බෝ වන ස්ථාන ලෙසටත්, වැදගත් ජීවීන් සහ කඩොලාන ශාඛ විශේෂ ගණනාවකට නිජබිම් සපයන බැවිනුත්ය. 

දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජ්ගම කලපුව සුවිශේෂී වීමට බලපාන ලද එක් ප්‍රධාන හේතුවක් වන්නේ ඒ තුළ පිහිටා ඇති පොල්ගස්දූව, පරප්පුදූව සහ මහදූව යන දූපත් තුනෙන් පොල්ගස්දූව නම් සෙනසුන ලක්දිව ආදිතම ජාත්‍යන්තර බෞද්ධ ධර්මදූත ආශ්‍රමය  වීමයි. 1964 අංක 44 දරන පනතින් සහ 1970 අංක 1 දරන පනතින් සංශෝධිත වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 1988 අගෝස්තු 17 වැනි දින අංක 519/10 දරන ගැසට් නිවේදනය යටතේ “දොඩන්දූව පරප්පුදූව දසසිල් මාතා අභය භූමිය සහ දොඩන්දූව පොල්ගස්දූව තාපසාරාම අභය භූමිය” ලෙස නම් කර තිබුණ ද, මේ වන විට රජ්ගම කලපුව දැඩි තර්ජනයට ලක් වෙමින් පවතී. 

රජ්ගම කලපුවේ ජලය දොඩන්දූව ධීවර වරාය අසලින් මුහුදට ගලා බසින අතර, කලපුවේ වපසරිය වන හෙක්ටයාර 310 ක ප්‍රදේශය තුළ දැනට ආරක්ෂිතව පවතින්නේ පරප්පුදූව සහ පොල්ගස්දූව යන දූපත් දෙක ආශ්‍රිත පරිසරය පමණි.

පාරිසරික අභියෝග

වර්තමානයේ රජ්ගම කලපුව මුහුණ දෙන පාරිසරික අභියෝග කිහිපයක් පවතී. විශේෂයෙන්ම සංචාරක සේවා සහ පහසුකම් සපයන ස්ථාන, සහ ජනාවාස කලපුවෙහි මායිමට හානි වන අයුරින් ඉදිකර ඇති අතර, වටිනා කඩොලාන පරිසරය කපා විනාශ කරමින් නව ගොඩනැගිලි විශේෂයෙන් නව සංචාරක හෝටල් ඉදි කරමින් පවතී. කලපුවෙහි ජීවීන්ට වාසස්ථාන සපයන සහ කලපු මායිමේ සෝදා පාළුව වළක්වාලන මෙම කඩොලාන ශාක කපා දැමීමෙන් කලපු පරිසරයේ විනාශය සීඝ්‍ර වී ඇත. කලපු මායිමේ ගොඩනගන මෙම නිවෙස් සහ හෝටල්වල අපජලය බැහැර කරන නළ මාර්ග කලපුව දෙසට හරවා තිබීම ද කණගාටුදායකය.


තව ද රජ්ගම කලපුවෙන් කුඹුරුවලට ජලය ගෙන යන ඇළ මාර්ග අතුරින් බෝපාගොඩ ඇළ සහ කොහුඅඹේ යන ඇළ මාර්ග දෙකම කුණු දැමීම නිසා මේ වන විට දූෂණය වී ඇත. එපමණක් නොව කුඹුරුවල භාවිතා කරන පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය මෙම ඇළ මාර්ග හරහා නැවත කලපුවට ගලා එයි. මෙලෙස ඇළ මාර්ග  දූෂණය වීම කලපුවෙහි ජෛව පද්ධතියට දැඩි තර්ජනයක් වී ඇත. එමෙන්ම කලපුව ආශ්‍රිත විවිධ ස්ථානවල තැනින් තැන කසළ ගොඩ ගැසී ඇති අතර, දිරාපත් නොවන ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම රජ්ගම කලපුව ආශ්‍රිතව සුලභව දැකිය හැකිය.

රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආයතන

කලපුවලට කැළි කසළ බැහැර කිරීම, කලපු මායිමට හානි වන අයුරින් ගොඩනැගිලි ඉදිකිරීම, කඩොලාන ශාක විනාශ කිරීම, ජලය අපවිත්‍ර කිරීම නීති විරෝධී බව පරිසර පනත් මඟින් දක්වා ඇතත්, ඒ සම්බන්ධව පවතින රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය දුර්වලය. නිදසුනක් ලෙස  වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත තුළ 3. අ. (1), (2), (3), (4) යන උප වගන්ති මඟින් කලපු ආශ්‍රිතව සංචාරක හෝටල් ඉදිකිරිම හෝ එවැනි සේවා හෝ පහසුකම් සැපයීම නොකළ යුතු බවට සීමා පනවා ඇත. එහෙත් රජ්ගම කලපුව ආශ්‍රිත පරිසරයට හිතකාමී නොවන ලෙස සංචාරක සේවා සහ පහසුකම් සපයන ස්ථාන ඉදිකිරීම් හතළිහක් පමණ පවතී. මෙය පවතින ප්‍රතිපත්තිවලට පටහැනිය.

එපමණක් නොව ඇතැම් පාරිසරික ප්‍රතිපත්තිවල පවතින සමපාතවීම් (overlaps) හේතුවෙන් එක ප්‍රතිපත්තියක් මඟින් ඉටුවන කාර්යක් තවත් ප්‍රතිපත්තියක් තුළින් ද ඉටුකිරීමට යාම තුළ ප්‍රතිපත්ති මෙන්ම ආයතන අතර ද ගැටුම් ඇතිවේ. නිදසුනක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියට අයත් ජාතික පාරිසරික පනතෙහි 2 (උ) උපවගන්තිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතෙහි 6 (1) (ක) උප වගන්තිය අතර දක්නට ඇත්තේ සමපාත බවකි. එම වගන්ති දෙක තුළින්ම අදහස් වන්නේ කිසියම් තැනැත්තෙකු ජලයට යම් අපද්‍රව්‍යයක් මුදා හැරීම නොකළ යුතු බවයි. ඒ අනුව එකම කාර්ය කිරීමට ආයතන දෙකටම සමාන විධිවිධාන පනවා ඇති බව පෙනේ. මෙවැනි තත්වයක් තුළ යම් පරිසර ගැටලුවකදී කුමන ආයතනය වගකිව යුතු ද යන ගැටලුව පැන නගී. 

ශ්‍රී ලංකාවේ තෙත්බිම් ආරක්ෂාව සහ කළමනාකරණය සම්බන්ධව පුළුල් ආයතනික ව්‍යුහයක් පවතී.  නමුත් පරිසරය සම්බන්ධ ආයතන ඒකාබද්ධව කටයුතු කළ යුතු වුවත්, එම ආයතන ක්‍රියාත්මක වන්නේ පරිසරය සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර සඳහා වෙන් වෙන්ව ය. රජ්ගම කලපුව සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, රජ්ගම ප්‍රාදේශීය සභාව, පළාත් පරිසර අමාත්‍යංශය, දකුණේ ධීවර සමිතිය, හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ හික්කඩුව වනජීවී කාර්යාලය, රජ්ගම සහ හික්කඩුව පොලිසිය සෘජුව වගකිව යුතු නමුත් එම ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් දක්නට නැත. මෙම ආයතනවල නිලධාරීන් මසකට වරක් රැස් වුවත්, එම ආයතන මෙතෙක් රජ්ගම කලපුව සම්බන්ධයෙන් කිසිදු සාධනීය කාර්යක් හෝ සංවර්ධනයක් සිදුකර නොමැත. 2018 වර්ෂයේ රජ්ගම කලපුව සහ ඒ අවට පරිසරයට සිදුවන හානි සම්බන්ධව පමණක් මෙම ආයතනවල නිලධාරීන් රැස් වී සාකච්ඡා කොට ඇත.


හික්කඩුව වනජීවී කාර්යාලය

රජ්ගම කලපුව සම්බන්ධ ප්‍රධාන වගකීම හික්කඩුව වනජීවී කාර්යාලයට පවරා තිබුණ ද, මේ වන විටත් කලපුව සම්බන්ධ පර්යේෂණයක් හෝ සිදු කර නොමැත. මොවුන් දැනට කර ඇත්තේ කලපුවෙහි මායිම්හි සීමා ලකුණු කිරීම පමණි. එහෙත් මායිම්වලට හානිවන අයුරින් ගොඩනගා ඇති ගොඩනැගිලි සම්බන්ධව කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත. 2016 වර්ෂය දක්වා නඩු පවරා ඇත්තේ රජ්ගම කලපුව සම්බන්ධයෙන් නීති විරෝධී කටයුතු තුනක් සඳහා පමණි. එහි ගැටලුව වන්නේ, 2016 වර්ෂයේ සිට අද දක්වා නීති විරෝධී කටයුතු කොතෙකුත් සිදුවී තිබුණ ද අදාළ බලධාරීන්ට ඒවා හසු නොවීමයි. අදාළ නිලධාරීන් නිසි පරිදි කලපුවෙහි මුර සංචාරය කරනු ලැබුවේ නම් ඒවා පහසුවෙන් හසු කරගත හැකිව තිබුණි. 

දේවිනිගොඩ පරිසරය හා සමාජ වෙනසක් සඳහා වූ තරුණ ව්‍යාපාරය

රජ්ගම කලපුව ආරක්ෂා කර ගැනීමට සිටින එකම සංවිධානය වන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස කටයුතු කරන දේවිනිගොඩ පරිසරය හා සමාජ වෙනසක් සඳහා වූ තරුණ ව්‍යාපාරය සහ ප්‍රදේශවාසී පරිසර හිතකාමී අතලොස්සක් පමණි. රජ්ගම කලපුව යම් තරමකින් හෝ ආරක්ෂා වන්නේ මෙම පිරිසගේ කැපවීමෙන් සහ මැදිහත්වීමෙනි. මොවුන් පවසන්නේ, අදාළ ආයතන කොතෙක් දැනුවත් කළ ද කලපුව පිළිබඳ සක්‍රිය ලෙස නිසි සොයා බැලීමක් සිදු කර නොමැති බවයි. වෙරළාශ්‍රිත තෙත්බිම් සංරක්ෂණයට කොතෙක් ප්‍රතිපත්ති සහ ආයතන පැවතියත්, ආයතන සහ නිලධාරීන්ගේ වගකීමේ සහ වගවීමේ ස්වභාවය අවම වීම සහ ප්‍රජා සහභාගිත්වය ලබා ගැනීමට අපොහොසත් වීම තුළ වටිනා පරිසර පද්ධතියක් වන රජ්ගම කලපුව දිනෙන් දින විනාශයට පත් වෙමින් තිබේ. වගකිව යුතු නිලධාරීන්ට සහ ආයතනවලට නිර්මාණාත්මකව සිතිය හැකිනම් සහ වුවමනාවක් තිබේනම්, දේවිනිගොඩ පරිසරය හා සමාජ වෙනසක් සඳහා වූ තරුණ ව්‍යාපාරය වැනි ප්‍රදේශයේ තරුණ සංවිධානවල සහ පරිසර හිතකාමී ජනතාවගේ සහයෝගය ලබාගෙන අදාළ ප්‍රතිපත්ති පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිය.






සටහන

එම්.කේ. ඉෂාරා සංජුනී 

ආචාර්ය ඉන්දි අකුරුගොඩ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය





0 comments: