Hot!

මුස්ලිම් කාන්තාවන් හිජාබය පළඳින්නේ ඇයි ?


''හිජාබය ඇන්ඳට කමක් නැහැ, හැබැයි, ඒක හිතාමතාම මූණ නොපෙනෙන විදියට යොදාගන්නා ආවරණයක් කරගන්න එපා. ඔයා ඒක ඇඳලා ඉන්න විදියෙන්ම ඒ බව පේනවා. මේක මං ඔයාට දෙන පළවෙනි අවවාදේ. ආයෙත් මෙහෙම ආවොත් මට සිද්ධවෙනවා සිකුරුටි එකට මේ ගැන විශේෂයෙන් බලන්න කියන්න'', මේ ලංකාවේ රජයේ කාර්යාලයක් තුළදී හිජාබය පැළඳ සිටි මුස්ලිම් තරුණියකට ලැබුණි අවවාදයකි. 

අනන්‍යතාව නිසි ලෙස තහවුරු කරගැනීමට නොහැකි මුහුණු ආවරණ භාවිතය තහනම් කර ඇති පසුබිමක  සමහර මුස්ලිම් කාන්තාවන් තමන්ගේ මුහුණ නොපෙන්වා හිඳින්න මේ තරම්ම උත්සහ ගන්නේ ඇයි ?.  

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි, පුද්ගල අනන්‍යතාවය තහවුරු කරගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය පසුගිය අප්‍රේල් 29 වැනිදා සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට පියවර ගැනුණි. 

මේ සමග ඉස්ලාම් දහම තුළ කාන්තාවන් හා ඔවුන්ගේ ඇඳුම්, පැළඳුම් ගැන සඳහන් කර තිබෙන ආකාරය ගැන ද විවිධ කතාබහ මතුවන්නට විය. 

‘හිජාබ් - එහි අවශ්‍යතාවය කුමක්ද ?‘ යනුවෙන් මහාචාර්ය සෙයික් මුහම්මද් බින් ඉස්මායිල් විසින් රචනා කර එස්.එම්. මන්සූර් විසින් සිංහලට පරිවර්තනය කර ඇති කෘතියේ හිජාබය ඇඳීම ගැන ප්‍රධාන කරුණු ගණනාවක් දක්වා තිබේ. ඒ අනුව

හිජාබය අල්ලාහ්ට හා මුහම්මද්තුමාටත් කීකරුව කරන ක්‍රියාවක්
‘ඉෆ්ෆාහ්‘ - විනීතභාවය
යහපත් හැසිරීම
ආරක්ෂාව සඳහා වූ පලිහක්
‘තක්වාහ්‘ - දෙවියන් කෙරෙහි බිය හා ආදරය
‘ඊමාන්‘ - විශ්වාසය
‘හයා‘ - ලැජ්ජාව
‘ගීරාහ්‘ - සිත් කනස්සල්ල වේ
‘තබර්රුජය‘ (භයානක, විනාශකාරී පාපයක්) - කාන්තාවන්ගේ වශීකරණය පෙන්වීම නින්දාවකි
පවිත්‍රතාවය විදහා දක්වන අවස්ථාවක් බවයි


හිජාබ් අඳින්නන් සැලකිය යුතු අත්‍යවශ්‍ය කරුණු ගැන කුරාණයේ දක්වා තිබෙන්නේ,
ශරීරය සම්පූර්ණයෙන් වැසීම
හිජාබය ප්‍රදර්ශනයක් නොවිය යුතුයි
හිජාබය විනිවිද පෙනෙන එකක් නොව ඝනකම් එකක් විය යුතුයි
හිජාබය ශරීරයට තද එකක් නොවී බුරුල් එකක් විය යුතුයි
හිජාබයේ සුවඳ විලවුන් ආලේප නොකළ යුතුයි
හිජාබය පිරිමින්ගේ ඇඳුම් මෙන් නොවිය යුතුයි
හිජාබය කාෆිර් (මුස්ලිම් නොවන) කාන්තාවන්ගේ ඇඳුම් වලට සමාන නොවිය යුතුයි
හිජාබය ප්‍රසිද්ධිය තකා අඳින්නක් නොවේ
යන්නයි. 


ශුද්ධ වූ කුරාණය තුළ කාන්තාව හා ඔවුන්ගේ ඇඳුම්, පැළඳුම් ගැන සඳහන් කර තිබෙන්නේ කෙලෙසින්ද යන්න ද විමසා බැලිය යුතුවේ. පහතින් දක්වා තිබෙන්නේ කුරාණය තුළ ඒ ගැන සිදුකර ඇති සඳහන් කීපයකි. 


‘‘කවරෙකු ලෞකික ආශාව ඇති කරන ඇඳුම් අඳින්නේද, ඔහුට අල්ලාහ් මරණින් මතු ජීවිතයෙහි නින්දා සහගත ඇඳුම් අන්ඳවන්නේය, පසුව, ඔහු ගින්නෙහි දමනු ලැබේ‘‘ - නබිතුමා

දිනපතා නිවසට වී යාඥාවේ යෙදෙන මුස්ලිම් කාන්තාව කුරාණයේ එන මේ වැකි වලට බිය ය. ඇය සිතන්නේ තමන් සිතින් වත් වරදක් නොකළ යුතු බව විනා පිරිමින්ගේ නීතිය විසින් ඇයව පාලනය කර නැති බවයි.

ගැහැණුන් හා පිරිමින් එකිනෙකාගෙන් වෙන්කරන තිරය ගැන කුරාණයේ 33:53 වගන්තියේ සඳහන් වේ.

‘‘නබිතුමාගේ භාර්යාවන්ගෙන් ඔබ යම් දෙයක් ඉල්ලන විට තිරයකට මුවා වී ඉල්ලනු මැනව‘‘ (අල් කුර්ආන් 33:53)

මේ ගැන කෙරෙන විස්තරයේ දක්වා තිබෙන්නේ,

‘‘නබිතුමාණෙනි, ඔබගේ භාර්යාවන්, ඔබගේ දියණියන්, තවද, ඊමාන්ධාරීන්ගේ භාර්යාවන් ආදීන්ට කියන්න, ඔවුන් තමන්ගේ කබාය (හෝ ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන අයුරින් අඳින ඇඳුම්) ඇඳගත යුතු බව. මෙය ඔවුන් හැඳින ගැනීමටත්, ඔවුන් හිංසා පීඩා වලින් සුරක්ෂිත වීමටත් ඉතාමත් යෝග්‍ය (පහසු) වන්නේය.‘‘ (අල් කුර්ආන් 33:59)

බුර්කාව, හිජාබය හෝ මුහුණ වසන වෙනත් ආවරණයක් ගැන භාවිත කිරීමේ අවශ්‍යතාවය ගැන ඉස්ලාම් දහම තුළ ඒත්තු ගන්වා තිබෙන්නේ මෙලෙසිනි.

මේ ගැන කුරාණයේ දක්වන්නේ

‘‘අල්ලාහ් සහ ඔහුගේ වක්තෘවරයා කිසියම් කාර්යයක් සඳහා තීන්දුවක් දුන්නේ ද, පසුව එම කාර්ය සම්බන්ධයෙන් තමන්ට විකල්ප තීන්දුවක් ගැනීමේ අයිතියක් දේව විශ්වාසය ඇත්තා වූ කිසිදු පුරුෂයකුට හෝ කිසිදු ස්ත්‍රියකට හෝ නොමැත. තවද අල්ලාහ්ට හා ඔහුගේ වක්තෘවරයාට කවරෙකු අකීකරු වන්නේ ද ඔහු පැහැදිලිවම දුර්මාර්ගයෙහි සිටියි‘‘(අල් කුර්ආන් 33:36)

ඒ අනුව අල්ලාහ්ගේ තීන්දුව ප්‍රශ්න කරන්නට ඉස්ලාම් ගැහැණියට හැකියාවක් නැද්ද ? ඒ තීන්දුව ප්‍රශ්න කරන තැනැත්තිය ගමන් කරනු ඇත්තේ නිවැරදි මාර්ගයේ නොවේ යැයි මෙහිදී ඒත්තු ගන්වා තිබේ. මෙහි වැඩිදුරටත් දක්වන්නේ හිජාබ් ඇඳීම අල්ලාහ්ගේ නියෝගයක් බවයි. එය සෘජුවම නොපවසන අතර කාන්තාවන්ගේ පයෝදර උතුරු සළුවකින් ආවරණය විය යුතු බව පෙන්වා දී තිබේ.

‘‘තවද, (නබිතුමාණනි), ඊමාන්ධාරී වූ කාන්තාවන් හට පවසන්න, ඔවුන් තමන්ගේ බැල්ම පහත හෙළිය යුතුයි, තමන්ගේ රහසඟද රැකගත යුතුයි, තමන්ගේ දේහ අලංකාරය (සාමාන්‍යයෙන් පිටත පෙනෙන දේ හැර) නොපෙන්විය යුතුයි. තවද, තමන්ගේ පයෝදර උතුරු සළුවකින් ආවරණය කරගත යුතුයි‘‘ (අල් කුර්ආන් 24:31)


මෙවැනි පසුබිමක කුඩා අවදියේ හිඳ ආගමට වඩ වඩාත් නැඹුරු වූ ජීවිතයක් ගත කරන මුස්ලිම් කාන්තාවන් තම මුහුණ නොපෙන්වා හිඳින්නට වඩ වඩාත් උත්සහ ගැනීම සැබැවින්ම පුදුමවීමට තරම් වැදගත් වෙන කාරණයක් වෙනවද ? 




0 comments: