Hot!

ත්‍රස්තවාදයට විසඳුම ඒකාධිපතිවාදය නොවේ


දේශපාලන අරමුණු සාධනය කරගැනීම උදෙසා සිවිල් වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ භීතිය පැතිරවීම, ත්‍රස්තවාදය ලෙස සරලව නිර්වචනය කළ හැකිය. මීට ව්‍යතිරේකව, ත්‍රස්තවාදීහු, පවත්නා දේශපාලන අධිකාරියට, රාජ්‍ය නායකයන්ට, සිවිල් සංවිධානවලට සහ පෞද්ගලික ව්‍යාපාරයන්ට එරෙහිව ද ප්‍රචණ්ඩත්වය සහ භීතිය පතුරවති. ආගමික, ජනවාර්ගික සහ දේශපාලනික අන්තවාදී මතවාදයන්ට ත්‍රස්තවාදය බවට පරිවර්තනය වීමට ඉතා පහසුය. සිය අන්තගාමී මතවාදීමය විභවතාවලට ලැබෙන මහජන සහයෝගය සහ රාජ්‍ය අනුග්‍රහය හරහා ත්‍රස්තවාදයට වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වීමේ ඉඩප්‍රස්ථා සැලසේ. 

මීට අමතරව දේශපාලන අධිකාරියට ද ත්‍රස්‌තවාදය යොදා ගත හැකිය. ඒකාධිපතිත්වය, නිර්ප්‍රජාතන්ත්‍රවාදය සහ අත්තනෝමතික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම හරහා සිය හමුදා සහ පොලිසිවල සහයෙන් රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමට ඇතැම් ආණ්ඩු සහ රාජ්‍ය නායකයන් පෙළඹුණු අවස්ථා ද එමටය. මීට සමගාමීව ක්‍රියාත්මක කළ හැකි තවත් ක්‍රියාවලියක් වන්නේ මාධ්‍ය ත්‍රස්තවාදයයි. අවිචාරවත් මාධ්‍ය භාවිතය මඟින් ජනතාව කැළඹීමට සහ භීතියට පත් කිරීම මාධ්‍ය ත්‍රස්තවාදයේ මුඛ්‍ය ලක්ෂණයකි.

පසුගිය අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි සහ හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන එල්ල වූ ඉස්ලාම් අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව යටපත් වී තිබූ ලාංකීය දේශපාලන සහ සමාජ ප්‍රවණතා රාශියක් නැවත කරළියට පැමිණ තිබේ. මින් වඩාත්ම කැපී පෙනෙන්නේ ඝාතනයට ලක්වූ සිවිල් වැසියන්ගේ රුධිරය මතින් සිය අන්තවාදී දේශපාලන මතවාද සාධාරණීකරණය කර ගැනීමටත්, සිය ඒකාධිපතිවාදී බල ව්‍යුහයන් යළි ස්ථාපිත කර ගැනීමටත් උත්සාහ දරන පිරිසයි. ඔවුන් මෙම ම්ලේච්ඡ ඝාතන රස විඳීමටත්, දැන්වීම් දමා මළමිනී ප්‍රදර්ශනය කිරීමටත්, ඒ හරහා කුරිරු සතුටක් ලැබීමටත් උත්සාහ කරනු පෙනේ. මෙම මරණ ප්‍රමෝදය 2015න් පසු මොවුන්ට නැවත රස විඳීමට ලැබුණේ 2019 අප්‍රේල් 21 වැනිදාය.

අන්තවාදය පෝෂණය කරමින් ලාංකීය සමාජය විනාශ කිරීමට මුල පිරූ, අපරාධ වැරදිවලට බන්ධනාගාරගතව සිටින තම සහායක භික්ෂූන් මුදා ගැනීමේ මෙහෙයුමක් ද මීට සමගාමීව ක්‍රියාත්මක වන බව පැහැදිලිය. මෙහිදී කැපී පෙනෙන්නේ, මෙම අන්තවාදී භික්ෂූන් සහ ඔවුන්ට පූර්ණ අනුග්‍රහය දුන් ඒකාධිපති දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ සුළු ජාතික ප්‍රජාවන්ට එරෙහිව වැපිරූ මුග්ධ වර්ගෝත්තමවාදය කොන්දේසි විරහිතව සාධාරණීකරණය කිරීමට නොමිලේම ඉදිරිපත් වී සිටින, සමාජයේ සියලු ස්ථර නියෝජනය කරන සිංහල සහ බෞද්ධ පිරිසයි. මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව වෛරය පැතිරවීමේ වැඩසටහන්වල ඉදිරියෙන්ම සිටින්නේ මොවුන්ය. 

මොවුන්ට සහය දැක්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින තවත් පිරිසක් ඇත. එනම්, ශ්‍රී ලංකාවේ ජීවත් වනවාට වඩා බටහිර යුරෝපීය රටක කුලී වැඩක් හෝ කරමින් ජීවත්වීම සැපතක් යයි සිතා, නොවිඳිනා දුක් විඳිමින් පිටරටකට පැනගෙන, එම රටේ පුරවැසිභාවය ලබාගෙන එහිම පදිංචි වීමට සිහින දකිමින් සිටින පිරිසයි. මෙතෙක් කල් ශ්‍රී ලංකාව කුජීත දිවයිනක් බවට පරසක්වල ගසමින් සිටි මෙම පිරිසට, 2019 අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාරවලින් පසු ක්ෂණික මාතෘ භූමි දේශප්‍රේමයක් පහළ වී ඇත. මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රතික්ෂේප කළ යුතු බවටත්, ශ්‍රී ලංකාව සිංහලයන්ගේ පමණක් බවටත් වැඩිපුරම ශපථ කරන්නේ මොවුන්ය (බටහිර රටවල කුලී වැඩ කරමින් මුදල් උපයන අතරතුර වඩාත්ම බටහිර විරෝධී වී ඇත්තේ ද මොවුන් බව අමතර කරුණක් ලෙස මෙහි සටහන් කර තබමි). ශ්‍රී ලංකාවේ සිටින සහජීවනය පිළිබඳ උනන්දු වන්නන්ට අතිශය ආවේගශීලී ප්‍රහාර එල්ල කරමින්, බෞද්ධ ගාථා සහ උපහැරණ අපහරණය කරමින් මොවුන් සිදු කරන්නේ තව තවත් ගැටලු උත්සන්න කිරීමයි. 

මීට අමතරව, රණවිරු උන්මාදයෙන් පෙලෙන පිරිසක් ද මේ දිනවල දැකගත හැකිය. මේ පිරිසට යුද්ධයෙන් පසුව අහිමි වූ, රණවිරුවන් උත්කර්ෂයට නැංවීමේ අවස්ථාව දැන් යළි හිමි වී ඇත. දේශපාලන වාසි තකා හමුදා නිලධාරීන් රණවිරුවන් ලෙස නාමකරණය කිරීමත්, අනතුරුව අපරාධ වැරදි කළ සහ මානව හිමිකම් කඩ කළ හමුදා සහ බුද්ධි අංශ නිලධාරීන් නිදොස් කිරීමත් එකම ව්‍යාපෘතියක කොටස්ය. දැන් බහුතරයකට අමතක වී ඇති කාරණාවක් නම්, යුද කාලයේදී උත්කර්ෂයට නැංවූ රණවිරුවන්ට යුද්ධයෙන් පසුව අත්වූ ඉරණමයි. බොරු චෝදනා ගොනු කර ජනරාල් සරත් ෆොන්සේකා සිරභාරයට ගැනීමෙන් නොනැවතී, ඔහුට හිමි සියලු වරප්‍රසාද සහ පදක්කම් අහිමි කිරීම, හමුදා සෙබළුන් නගර සභාවල කුණු ඇදීමටත්, කාණු පිරිසිදු කිරීමට සහ මංසන්ධි ගානේ එළවළු සහ පොල් විකිණීමටත් යෙදවීම, පොලිස් නිලධාරීන් 600කට අධික ප්‍රමාණයක් සමූලඝාතනය කළ බවට චෝදනා ඇති කරුණා අම්මාන්ට ඇමති ධුරයක් පිරිනැමීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය සභාපති තනතුරක් ලබා දීම ආදී වශයෙන් මෙම ලැයිස්තුව තව තවත් දිගු කළ හැකිය. දැන් සිහිනෙන් අවදිවූවන් මෙන් රණවිරු උන්මාදයෙන් පෙළෙන්නන් ඒ යුගයේ සිටියේ කොහි ද? ඔවුන්ට එදා රණවිරුවන්ට වඩා පැවති අධිකාරීවාදී පාලනය වැදගත් වී ද ?
  
යුද්ධාවසානයෙන් පසු හමුදාවේ සහ පොලිසියේ සහයෙන් එවකට සිටි පාලකයන් ක්‍රියාවට නැංවූ රාජ්‍ය ත්‍රස්තවාදය පිළිබඳව ද වර්තමානයේ බොහෝ අයට අමතක වී ඇති සෙයක් පෙනේ. එය හැඳින්විය හැක්කේ අවස්ථාවාදී අමතක කිරීමක් ලෙස මිස අමතක වීමක් ලෙස නොවේ. සමාජය පුරා බිය පතුරවමින්, ස්වාධීන මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරිකයන් මහදවල් මහමග මරා දැමූ බවත්, විරුද්ධවාදීන් සුදු වෑන්වලින් පැහැරගෙන ගොස් පහරදුන් බවත්, අතුරුදහන් කළ බවත්, ඝාතනය කළ බවත් මෙසේ අමතක කර ඇත. යුක්තිය ඉල්ලා උද්ඝෝෂණය කළ අහිංසක සිවිල් වැසියන් ද, අගනුවර බන්ධනාගාරයේ සිටි රැඳවුම්කරුවන් ද අමු අමුවේ ඝාතනය කළේ, එවක බලයේ සිටි පාලකයන් රාජ්‍ය හමුදා සිය අධිකාරිවාදී බල දේශපාලන ව්‍යාපෘතිවල තැරැව්කරුවන් බවට පත් කරගෙන තිබූ බැවිනි. එය රාජ්‍ය ත්‍රස්තවාදයයි. දැන්, දේශප්‍රේමයෙන් මත්වී සිටින්නන් එදා සිටියේ කොහි ද? දැන් නැවතත් එම කුරිරු ඒකාධිපතිවාදය සාධාරණීකරණය කරමින්, එම යුගයේ සිටි පාලකයන් ගැලවුම්කරුවන් ලෙස දකින පිරිස් රාශියක් කරළියට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරමින් ලෙයට ලෙයම ඉල්ලා සිටිති.

මේ සියලු ව්‍යාජයන්ට එරෙහිව තවමත් ප්‍රජාතන්ත්‍රවාදය සහ බහුත්වවාදයට ගරු කරමින්, අන්තවාදී බල දේශපාලන වුවමනාවන් ප්‍රතික්ෂේප කරන පිරිසක් ද ඉතිරිව සිටීම යම් සහනයකි. පෙර පැවති රාජ්‍ය ත්‍රස්තවාදය ඔවුන්ට කිසිදා අමතක නොවනු ඇති අතර, සහජීවනය පසෙක ලා අවස්ථාවාදී ලෙස වර්ගෝත්තමවාදය පැතිරවීමට ඔවුන් යොමු නොවනු ඇත. 

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බලයට පැමිණි වර්තමාන ජනාධිපතිවරයා, 2018 ඔක්තෝබර් 26 වැනිදා, ප්‍රතික්ෂේපිත ඒකාධිපති බලවේග නැවත කරළියට ගෙන ඒමත් සමඟ මතු වූ දැඩි අරාජිකත්වයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස, 2019 අප්‍රේල් 21 වැනිදා ඇති වූ ඛේදවාචකය හඳුනා ගත හැකිය. සමස්ත රාජ්‍ය ව්‍යුහයම ආපස්සට ඇද දමා අත පිසදා ගැනීමට උත්සාහ කරන සියල්ලන්ට කිව යුතුව ඇත්තේ, අන්තවාදීන් පෝෂණය කළ බලවේග සමීපයට ගෙන, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අවතක්සේරු කරමින් රට අරාජික කිරීමට මුල්වූයේ, ඔවුන් බවයි.

උගුල් අටවා, ඒවාට හසුවන ගොදුරු දෙස බලා ජයපැන් බීම ශිෂ්ට සමාජයකට නොගැළපේ. දැන් සිදුවෙමින් පවතින්නේ මෙම අන්තගාමී බලවේග විසින් සියලු පුරවැසියන් අතර භීතිය පැතිරවීමට උත්සාහ කිරීමයි; අරාජිකත්වයක් මවා පෑමට වෙර දැරීමයි; රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය කර, බලය අත්පත් කර ගැනීමට තැත් කිරීමයි. ඒකාධිපතිවාදය කිසිදු ලෙසකින් ත්‍රස්තවාදයට පිළියමක් නොවේ. එය අන්තවාදීන්ගේ ත්‍රස්තවාදයට අමතරව රාජ්‍ය ත්‍රස්තවාදය ද පෝෂණය කරයි. 

කළ යුත්තේ, හැඟීම්බර, අදේශපාලනික, අවස්ථාවාදී සහ අන්තවාදී ආස්ථානවලින් බැහැර වී ත්‍රස්තවාදයේ සැබෑ ස්වරූපය හඳුනා ගැනීමයි. ත්‍රස්තවාදීන් කරනුයේ ස්වල්පයකි; ඉතිරි මහා හානිය සිදු කර ගන්නේ අවිචාරවත් ලෙස අප විසින්මය. එය ත්‍රස්තවාදීන් විසින් අපේක්ෂිත ඉලක්කයකි. ත්‍රස්තවාදය වේගයෙන් පතුරවන්නේ සහ සහජීවනය විනාශ කරන්නේ සමාජයේ හැඟීම්බර, අදේශපාලනික, අවස්ථාවාදී සහ අන්තවාදී පිරිස් විසිනි; අවිචාරවත් ලෙස මාධ්‍ය හසුරුවන මුග්ධ මාධ්‍යකරුවන් විසිනි. එහි ලාභය ලබා ගන්නේ, ඕනෑම විනාශයකින් තම අත්තනෝමතික නිර්ප්‍රජාතන්ත්‍රවාදී බල අරමුණු මුදුන් පත් කර ගැනීමට තැත් කරන බලලෝභී අවස්ථාවාදී දේශපාලකයන්ය. 

භීතියෙන් ඇලලී නිවෙස් තුළ සැඟවී සිටීමෙන්, දරුවන් පාසල් නොයවා රඳවා තබා ගැනීමෙන්, රැකියා ස්ථානවලින් පලා යාමෙන්, මුස්ලිම් ජාතිකයන්ගේ නිෂ්පාදන සහ ව්‍යාපාරික ස්ථාන වර්ජනය කිරීමෙන්, අන්‍යාගමිකයන්ට සහ අන්‍ය ජාතිකයන්ට එරෙහිව වෛරය පැතිරවීමෙන් නිසැකවම ඔබ සපුරාලන්නේ ත්‍රස්තවාදීන්ගේ අරමුණුය. එම අරමුණු මුදුන්පත් වීම හරහා වාසි සැලසෙන්නේ කෛරාටිකව බලය අත්පත් කර ගැනීමට පිඹුරුපත් සකසන දේශපාලකයන් වෙසින් පෙනී ඉන්නා අපරාධකාරයන්ටය.

ත්‍රස්තවාදය ලෝක ප්‍රවණතාවයකි. නමුත් ඒ හේතුවෙන් කිසි විටෙක ලෝකය එක තැන පල්වී නැත. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුත්තේ අන්තවාදය, භීතිය සහ වෛරය පතුරවමින් ඊට සහය දැක්වීමෙන් නොව, ප්‍රජාතන්ත්‍රවාදය, සහජීවනය, නිසි අධ්‍යාපනය, විනයගරුක මාධ්‍යකරණය, පරිපාලන කාර්යක්ෂමතාවය සහ ආර්ථික සංවර්ධනය තුළින් ත්‍රස්තවාදීන්ගේ කුරිරු අරමුණු පරාජය කිරීමෙනි. එය මේ මොහොතේ අපට ඇති හොඳම සහ එකම විකල්පයයි.




ආචාර්ය ඉන්දි අකුරුගොඩ
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය 
රුහුණ විශ්වවිද්‍යාලය

0 comments: