Hot!

ආගමික ඇදහීම සහ රටට අයත් වීම - මුස්ලිම් ප්‍රශ්නය (2)




- ආචාර්ය අමීර් අලි -


තබ්ලිග් ජමාත්

සියවස් ගණනාවක් තිස්සේ ලංකාවේ පැවති මිශ්‍ර ඉස්ලාම් ධර්මය 1950 මැද භාගයේ තබ්ලිග් ජමාත් දර්ශනය පැමිණීමත් සමග වෙනසකට භාජනය විය. තබ්ලිග් ජමාත් යනු, සාමකාමී මුස්ලිම් ධර්මදූත ව්‍යාපාරයකි. එය, කුරාණයේ නියමය පරිදි, ‘යහපත වෙත යොමු වී, නපුර තහනම් කරන්නැ’ යි දොරට තට්ටු කොට මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටි ව්‍යාපාරයකි.

එය මුස්ලිම් නොවන ජනයා මුස්ලිම් ආගමට හරවා ගැනීමේ ව්‍යාපාරයක් නොව, නාමිකව මුස්ලිම් වී සිටි ජනතාව ක්‍රියාවෙන් ද මුස්ලිම් කරවන ව්‍යාපාරයකි. ඉස්ලාම් දහමේ අනිවාර්ය ‘කුළුණු පහට’ අනුගත වන ලෙස ඒ මගින් උදක්ම ඉල්ලා සිටියේය. (අර්ථය නොතේරුණත්) නිතිපතා කුරාණය කියැවීම, (නබිතුමාගේ දේශනා සහ භාවිතය) කියැවීම, ආදර්ශමත් ආකෘතියක් වශයෙන් ගෙන නබිතුමාගේ ජීවන මග අනුගමනය කිරීම සහ ඒ සියල්ලටමත් වඩා, ඊළඟ භවය සඳහා සූදානම් වීම ඒ අතර විය.

“තබ්ලිග් ජමාත් දේශනා සහ පාඩම් තුළින් නිරන්තරයෙන් ඉස්මතු කෙරුණු තේමාවක් වුණේ, මේ ජීවිතයේ ස්වභාවයේ ඇති අස්ථිරත්වය සහ ක්ෂණභංගුර භාවයත්, ඊළඟ ආත්මය සඳහා කෙනෙකු සූදානම් වීමේ ඇති අවශ්‍යතාවත් ය.. මේ ව්‍යාපාරයේ නායකයන්ගේ ඉගැන්වීම්වල, මේ ලෝකය කෙරෙහි නොඇලී සිටින අතරේම, මේ ලෝකයට කැප වී නොසිටීමේ වැදගත් කමත් කියැවුණි.. කෙසේ වෙතත්, නොඇලී සිටීම සහ කැප නොවී සිටීම අතර වන සියුම් ඉර, ආගම අදහන්නන් විසින් හැම විටකම අවබෝධ කරගත්තේ නැත.. එය තබ්ලිග් ජමාත් ව්‍යාපාරයේ දේශනාවන්ගෙන් පැහැදිලිව සූත්‍රගත වුණේ ද නැත.” (“තබ්ලිග් ජමාත් සහ හිස්බුල් තහිරීර්: එක්කාසු වන ඉලක්ක වෙත යන වෙනස් මාවත්”- (ආචාර්ය අමීර් අලී- 20 වැනි වෙළුම- අංක 2 කලාපය: 2006). 

එහි ප්‍රතිඵලයක් වශයෙන් තබ්ලිග් ජමාත් බැතිමත්තු ලෞකික දේවල් කෙරෙහි මුළුමණින් උදාසීන වූ අතර, ලෞකික කාරණා මගහැර සිටීමටත් වූහ. සති ගණන් සහ මාස ගණන් ඒ ශීලයේ රැඳී සිටින විට ඉස්ලාම් වෘත්තිකයන් අතින් ඔවුන්ගේ රාජකාරි පැහැර හැරුණි. ශිෂ්‍යයන් අතින් ඔවුන්ගේ අධ්‍යාපනය නොතකා හැරුණි. සැමියන් විසින් ඔවුන්ගේ පවුල් නොතකා හැරුණි. වරක් පාකිස්තානු ක්‍රිකට් පුහුණුකරුවෙකු කී පරිදි, එරට ක්‍රීඩාවේ කණ්ඩායම් හැඟීම පවා පහළ වැටුණි. 

තබ්ලිග් සාමාජිකයෙකුගේ දැක්ම යොමු වන්නේ මේ ලෝකයට වඩා ඊළඟ ලෝකයට වන බැවින් එවැනි සාමාජිකයන් රටට ඇති බැඳීම සහ එරටේ ප්‍රශ්න කෙරෙහි වන සංවේදී බව, එක්කෝ හීන වන්නේය. නැත්නම්, නැත්තටම නැති වන්නේය. සමහරවිට, 1970-77 ආණ්ඩුවේ ඇමතිවරයෙකු වශයෙන් සිටි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ශ්‍රී ලංකාව කෙරෙහි මුස්ලිම්වරුන්ගේ ඇති බැඳීම එළදෙන සහ තණකොළවලට සමාන කෙළේ එනිසා විය හැකිය. 

තබ්ලිග් ජමාත් දර්ශනය තුළ, මුස්ලිම්වරයෙකු ඉස්ලාම දහම විශ්වාස කරන අතර නබිතුමාගේ උත්තරීතර ප්‍රජාව වන ’උම්මා’ රාජධානියට අයත් විය යුතු යැයි සැලකේ. ලෝකයේ ඕනෑම තැනක වෙසෙන වෙනත් මුස්ලිම්වරුන්ගේ දුක සහ විඳවීම වෙනත් තවත් තැනක වෙසෙන වෙනත් මුස්ලිම්වරයෙකුට දැඩිව දැනෙන්නේ මන්ද යන්න, ‘උම්මා’ කෙරෙහි වන මේ පාර-ජාතික බැඳීම මගින් පැහැදිලි කෙරේ. ජිහාඞ්වාදීන් (ඉස්ලාම් ආගම වෙනුවෙන් යුද වදින්නන්) බඳවා ගැනීම සඳහා මේ තබ්ලිග් ජමාත් දර්ශනය අගනා තෝතැන්නක් වී ඇත්තේ කෙසේද යන්න, ජෝන් කූලි සහ සියව්දීන් සර්දාර් නැමැති මාධ්‍යවේදීන් දෙන්නා තමන් ලියූ කෘති දෙකක් තුළින් මනාව පෙන්වා දී තිබේ. යමෙකු ආධ්‍යාත්මික ජිහාඞ්වාදය (තමන්ගේම අභ්‍යන්තරය සමග කරන යුද්ධය) කෙරෙහි යොමු විය යුතු බව තබ්ලිග් ජමාත් දර්ශනය තුළ උදක්ම ඉල්ලා සිටියත්, එය දේශපාලනික ගමනක් සඳහා යොදා ගැනීමේ ඊළඟ පියවරට ඈඳා ගැනීම සැදැහැවතෙුකට එතරම් අපහසු නැත. 

තබ්ලිග් ජමාත් දේශනා ප්‍රධාන වශයෙන් ඉලක්ක කෙරුණේ ගැහැනුන්ට වඩා පිරිමින්ව ය. එබැවින් මුස්ලිම් පිරිමින්ගේ බාහිර ස්වරූපය පවා වෙනස් වීමට එය බලපෑවේය. ඒ අනුව, ඔවුන්ගෙන් බොහෝ දෙනා සරම සහ දිග ඉන්දියානු කපු කමිසය හැඳීමට වන්හ. සුදු කැප් තොප්පියක් හෝ තලප්පාවක් හැඳීමට වන්හ. 20 වැනි සියවසේ මුල් දශකවලදී මුස්ලිම් ප්‍රභූන් තොප්පිය වෙනුවෙන් අධිකරණයට ගොස් ජයග්‍රහණයන් දිනාගෙන තිබුණි. තබ්ලිග් ජමාත් බලපෑම් කරණකොටගෙන, එතෙක් භාවිතයේ පැවති කළු කැප් තොප්පිය භාවිතයෙන් ඉවත්ව ගියේය. 

සමහර තබ්ලිග් ජමාත් බැතිමතුන් ශරීර ශෝධනය සඳහා පාවිච්චියට ගැනීමට කේතලයක්ද, දත් මැදීම සඳහා දැහැටි කෑල්ලක්ද යන එන තැන ගෙන යාමට පුරුදු විය. (නවීන දත් බෙහෙත් සහ බුරුසු නොතිබුණු කාලයේ නබිතුමා එවැනි දැහැටි පාවිච්චි කොට ඇති බව කියනු ලැබේ. එය එකල පැවති සෞදි සම්ප්‍රදායකි). නිතර නිතර ඔළුව බිම තබා යාච්ඤා කිරීම නිසා පිරිමින්ගේ නළලේ කළු පැල්ලම්ද හටගත්තේය. 1970 දශකය අවසන් වන විට, තබ්ලිග් ජමාත් ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධියට පත්ව තිබුණු අතර ස්වකීය ආගමික අනන්‍යතාව කැපී පෙනෙන ආකාරයෙන් ප්‍රදර්ශනය කිරීමට මුස්ලිම් පිරිමි පුරුදුව සිටියහ.


1980 දශකය සහ අරාබි බලපෑම 

මුස්ලිම් ලෝකයේ ඉතිහාසය තුළ 1980 දශකය සන්ධිස්ථානයක් විය. එක පැත්තකින්, ‘අරාබි තෙල් අපනයනික රාජ්‍ය සංවිධානය’ හේතු කොටගෙන, අරාබි මුස්ලිම් ලෝකයේ එක් කොටසක් මුල්‍ය උල්පතක් බවට පත්විය. අනිත් පැත්තෙන්, අලුත් ඉස්ලාමීය ලෝක ක්‍රමයක් ස්ථාපිත කිරීමේ දැඩි උන්නතිකාමය හේතු කොටගෙන ආගමික පුනරුදයේ නව පිබිදීමක් ජනිත කොට තිබුණි. 

මේ උන්නතිකාමයට සහ අධිකතර පිබිදීමට ජවය සැපයූ තවත් යුග විපර්යාසාත්මක සිදුවීම් දෙකක් මේ කාලයේ ඇති විය. ඉන් එකක් වුණේ, 1979 දී පූජක-තන්ත්‍ර විප්ලවයක් ඉරානයේ සාර්ථක වීම සහ එම භූමියෙන් ඇමරිකානුවන්ව පලවා හැරීමයි. දෙවැන්න වුණේ, ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදයේ අවසානයේ මූලාරම්භය වශයෙන් සැලකිය හැකි, සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමයි. 1980 න් පසු, ඉස්ලාම්වාදය නොහොත් දේශපාලනික ඉස්ලාමය ලෝක කරලියට පිළිපන්නේය.

මේ සිදුවීම්වලින් එකක්වත්, ලංකාවට හෝ ලංකාවේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවට හෝ සෘජු බලපෑමක් ඇති කෙළේ නැත. කෙසේ වෙතත්, 1977 න් පසු ලංකාවේ රාජ්‍ය ක්‍රමයේ පරිවර්තනයක් සිදු විය. එතෙක් පැවති වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ සිට සංකර විධායක ජනාධිපති ක්‍රමයකට රට මාරු විය. ඒ සමගම, රාජ්‍ය-පාලිත ආර්ථික මාදිලියක සිට විවෘත වෙළඳපොල ආර්ථික ක්‍රමයකට රට මාරු විය. මෙය, ශ්‍රී ලංකාව තුළට ඉස්ලාම්වාදී බලවේග පස්ස දොරෙන් ඇතුලු වීමේ අවකාශ සැලසුණු අවස්ථාවක් විය.  

මේ දේශපාලනික වෙනස්කම් තුළින්, ප්‍රථම වරට, ලංකාවේ මුස්ලිම් ජාතික දේශපාලන පක්ෂයක් බිහි විය. එනම්, ‘ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයයි.’ එය, දේශපාලනික ඉස්ලාම්වාදය පැත්තට බර පක්ෂයක් විය. මේ අතර, විවෘත ආර්ථිකය හරහා රටේ ඇති වූ වෙනස්කම් ඔස්සේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ශ්‍රමය සඳහා මැද පෙරදිග මුස්ලිම් රටවල දොරටු විවර වූ අතර, අරාබි ආගමික සහ සංස්කෘතික වටිනාකම් සමග ගැට ගැසුණු අරාබි මුදල් ලංකාව තුළට කාන්දු විය. මේ ද්විත්ව ප්‍රවාහය පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් සඳහා, “මුස්ලිම් ජාතිකයන් සඳහා ආරක්ෂිතම ස්ථානයක්ව පැවති ශ්‍රී ලංකාව අනාරක්ෂිත ස්ථානයක් බවට පත්වීම” නැමැති ලිපියත් (කලම්බු ටෙලිග්‍රාෆ්- 2018 මැයි 6, 9 සහ 14), “ඉස්ලාම්වාදී අපකීර්තියක ව්‍යුහවේදය” නැමැති ලිපියත් (කලම්බු ටෙලිග්‍රාෆ්- 2019 මැයි 5, 6, 9 සහ ඬේලි එෆ්.ටී- 2019 මැයි 6, 8, 10) කියවන ලෙස පාඨකයන්ට ඇරියුම් කරමි.
   
අරාබි බලපෑම් හේතු කොටගෙන මුස්ලිම් ජාතිකයන්ගේ ‘උම්මා’ අනන්‍යතාව (එක ජාතියකට අයත් නැති, පාර-ජාතීය උත්තරීතර රාජ්‍ය අනන්‍යතාව) ශක්තිමත් කෙරුණු අතර, ඒ හේතුවෙන්, නොසිතූ ආකාරයේ ස්වයං-පරාරෝපණයක් (තමන් විසින්ම සමාජයෙන් පිටස්තර වීමක්) ද මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් සිදු විය. තග්ලිත් ජමාත් බලපෑම් හේතුවෙන් ලංකාවේ මුස්ලිම් පිරිමින්ගේ ඇඳුම් වෙනස් වන අතරේ, අරාබිය සමග 80 දශකයේ ගොඩනැගුණු සම්බන්ධතාව නිසා එම ඇඳුම් විපර්යාසය ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට ද බෝ විය. මේ ආකාරයෙන්, ගැහැනු-පිරිමි සමස්ත බාහිර පුද්ගල ස්වරූපය තුළ ඇති වූ වෙනස්කම්, මනාව සැලසුම් කොට නිර්මාණය කෙරුණු යෝධ මුස්ලිම් පල්ලි සහ ආගමික පාසල් (මද්‍රසා) ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ යාම සහ ‘හලාල්’ කෑම සම්බන්ධයෙන් ‘සමස්ත ලංකා ජමියාතුල් උලමා’ සංවිධානය රට පුරා ගෙන ගිය ප්‍රබල ව්‍යාපාරය වැනි කරුණු ආශ්‍රයෙන් සිදු වුණේ, ඉතා තීරණාත්මක අවස්ථාවක, එනම් දෙමළ වාර්ගික ප්‍රශ්නය විසින් ලංකාව දෙකඩ කරමින් තිබුණු අවස්ථාවක, ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ස්වයං-පරාරෝපණයකට (තමන් විසින්ම සමාජයෙන් පිටස්තර වීමකට) ලක්වීමයි. 

අරාබිකරණය ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළට මෙසේ කාන්දු වීම, අවුරුදු දහසක් තිස්සේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ වටිනාකම් සමග මුස්ලිම් ප්‍රජාව ඇති කරගෙත සිටි සමීප අනන්‍යතාවට මුළුමණින් ප්‍රතිවිරුද්ධ සංසිද්ධියක් විය. මේ හුදෙකලාවාදී ප්‍රවණතාව හඳුනාගෙන එය මැඩලීමට සහ ආපසු හැරවීමට මුස්ලිම් දේශපාලනික සහ ආගමික නායකත්වය අපොහොසත් වීම නිසා, එම ප්‍රජාව තුළ මෙන්ම ඉන් පිටස්තර ප්‍රජාවන් තුළ ද සිටි ඇතැම් නිරීක්ෂකයන් වෙතින් නැගෙන ප්‍රශ්නයකට පරිසරය සකස් කෙරුණි. එනම්, මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික ඇදහීම සහ රට කෙරෙහි ඔවුන්ට ඇති අයිතිය පිළිබඳ ප්‍රශ්නයයි.

මේ මුස්ලිම් ජාතිකයන්, ලංකාවේ ජනතාව හෝ ලංකාවේ පුරවැසියන් ද? මේ ප්‍රශ්නය, රටේ වෙසෙන මුස්ලිම් බහුතරයක් ජනයාට බරපතල ප්‍රශ්නයක් නොවුණත් ඔවුන් අතරේ සිටි නාහෙට නාහන සුළු පිරිසක් එම ප්‍රශ්නයට වැරදි පිළිතුරක් දීමට ලකලෑස්ති වෙමින් සිටියහ. ඒ පාපිෂ්ඨ පියවර ගැනීමට එකී සුළු පිරිසට හේතුකාරක වුණේ කුමක් ද ?





(ඉතිරි කොටස ඊළඟට)




(2019 ජුනි 13 වැනි දා Daily FT පුවත්පතේ පළවූ “Believing & Belonging: A Muslim Dilemma (2)"
නමැති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)



සබැඳි පුවත් 

ආගමික ඇදහීම සහ රටට අයත් වීම - මුස්ලිම් ප්‍රශ්නය (1)



0 comments: