Hot!

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය - දෝෂ සහගත විනිශ්චයක් ? (2)



- ආචාර්ය නිහාල් ජයවික‍්‍රම -


1987 ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ කමිටුවේ විනිශ්චය 

13 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 1987 දී අපේ ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයක් ලබා දුනි. අගවිනිසුරු ෂර්වානන්ද සමග එහිදී පර්සි කොලින්තෝමි, ඊ.ඒ.ඞී. අතුකෝරාල සහ එච්.ඞී. තම්බයියා යන විනිසුරුවරුන් එකම විනිශ්චයකට පැමිණි අතර, පාරින්ද රණසිංහ විනිසුරුවරයා වෙනත් අදහස් දැක්වීමකින් එම විනිශ්චයටම පැමිණියේය. එම විනිශ්චයේ මෙසේ සඳහන් වෙයි:

‘‘ජනතා පරමාධිපත්‍යය අභ්‍යාස කළ යුත්තේ කෙසේද යන්න දැක්වෙන 4 වැනි ව්‍යවස්ථාව, 3 වැනි ව්‍යවස්ථාව සමග එකට ගෙන කියැවිය යුතු බවටත්, 3 වැනි ව්‍යස්ථාව 83 වැනි ව්‍යවස්ථාව යටතේ ආරක්ෂිත විධිවිධානයක් වශයෙන් දැක්වෙන නිසාත්, 4 වැනි ව්‍යවස්ථාවත් එවැනි ආරක්ෂිත විධිවිධානයක් වශයෙන් සැලකිය යුතුව ඇති බවට මෙහිදී කරුණු දැක්වුණි. ආරක්ෂිත විධිවිධාන කවරේදැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිශ්චිතව සඳහන් කොට ඇත. 4 වැනි ව්‍යවස්ථාව එවැනි විධිවිධානයක් නොවේ. 1978 ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේදී දිග හැරුණු ඉතිහාසය දෙස බලද්දී, ආරක්ෂිත විධිවිධාන ලැයිස්තුවෙන් මේ කියන 4 වැනි ව්‍යවස්ථාව හිතාමතාම ඉවත් කොට ඇති බව පෙනේ. 

‘‘4 වැනි ව්‍යවස්ථාව තුළ සඳහන් වන්නේ, ආරක්ෂිත විධිවිධානයක් වන 3 වැනි ව්‍යවස්ථාව තුළ සඳහන් ජනතා පරමාධිපත්‍යය අභ්‍යාස කෙරෙන ආයතන හෝ මෙවලම් ගැන ය. එම 4 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන්, එකී ආයතන හෝ මෙවලම්  ඕනෑම අවස්ථාවක වෙනස් කළ හැකිය. එකම දෙය වන්නේ, එවැනි වෙනස් කිරීමක් ජනතා පරමාධිපත්‍යය කෙරෙහි අගතිගාමී බලපෑමක් සිදු නොකරන බවට වගබලා ගැනීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 (අ) වගන්තියේ මෙසේ කියැවෙයි: ‘‘ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත‍්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයකදී ජනතාව විසින් ද ක‍්‍රියාත්මක කළ යුත්තේය’’ මේ කියන 4 (අ) ව්‍යවස්ථාව, අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි සහ 3 වැනි ව්‍යවස්ථාවන්ට බලනොපාන අන්දමින්, ඡුන්දයෙන් තෝරා පත්කර ගන්නා නියෝජිතයන්ගෙන් සංයුක්ත වන වෙනත් ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට අවශ්‍ය නම් වෙනස් කර ගත හැක්කේය. ඒ ආකාරයටම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) ව්‍යවස්ථාවත්, ‘‘ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනාධිපතිවරයෙකු සහ උප ජනාධිපතිවරයෙකු විසින් ක‍්‍රියාත්මක කළ යුත්තේය’’ යනුවෙන්, අවශ්‍ය නම් වෙනස් කර ගත හැක්කේය.

‘‘4 වැනි ව්‍යවස්ථාව යනු ස්වායත්තව ආරක්ෂිත විධිවිධානයක් වන ව්‍යවස්ථාවක් නොවන බව අපේ අදහසයි. එය 3 වැනි ව්‍යවස්ථාවට අනුපූරක ව්‍යවස්ථාවක් පමණක් වන නිසා, ඒ 3 වැනි ව්‍යවස්ථාව සමග නොගැටෙන ආකාරයෙන්, එය (4 වැනි ව්‍යවස්ථාව) පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් පමණක් වෙනස් කර ගත හැකිය. 3 වැනි ව්‍යවස්ථාවෙන් දක්වා තිබෙන ආකාරයෙන් ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කෙරෙන තාක් කල්, ඒ පරමාධිපත්‍යය බලය අභ්‍යාස කෙරෙන්නේ කුමන ආකාරයෙන් ද සහ කුමන ආයතන මාර්ගයෙන් ද යන්න ද්විතීයික වන්නේය. 4 වැනි ව්‍යවස්ථාව තුළ ජනතා පරමාධිපත්‍යය නිර්වචනය කොට නැත. සීමා මායිම් දක්වා නැත. එහි දක්වා ඇත්තේ, එම පරමාධිපත්‍යය අභ්‍යාස කෙරෙන එක් ආකෘතියක් සහ ආකාරයක් පමණි. ඒ පරමාධිපත්‍යයට අදාළ ව්‍යවස්ථාදායක හෝ විධායක බලය අභ්‍යාස කිරීමේ ආයතනය පිළිබඳව කෙරෙන වෙනසක් එනයින්ම එකී පරමාධිපත්‍යය සමග ගැටෙතැයි කිව නොහැක.’’ 

විනිසුරුවරුන්ගේ මතය

මේ වූ කලී, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගේ අධිකාරී විනිශ්චයයි. විනිසුරු වනසුන්දර ඒ මතය සමග එකඟ නොවීය. ‘‘4 වැනි ව්‍යවස්ථාව කියැවිය යුත්තේ 3 වැනි ව්‍යවස්ථාව සමග එකට ගනිමින් යැයි මේ අධිකරණය අවස්ථා කිහිපයකදී තීන්දු කොට තිබේ... මා සිතන පරිදි එය එසේ නොවේ යැයි වාද කිරීමට දැන් කල් ගියා වැඩි ය.’’ 

ඔහුගේ එම මතය සමග,  ඕ.එස්.එම්. සෙනෙවිරත්න, එල්. එච්. ද අල්විස් සහ එච්. ඒ. ද සිල්වා යන විනිසුරුවරුන් එකඟත්වයක සිටි බව පෙනේ. එබැවින් ඉහත කී විනිශ්චය, ශ්‍රේෂ්ඨාධිකරණයේ පස් පුද්ගල බහුතරයකගේ විනිශ්චයක් වශයෙන් භාර ගත යුතුය. අපේ නීති පද්ධතිය තුළ, නීතිය අර්ථකථනය කිරීමේදී පාවිච්චියට ගන්නා පූර්වාදර්ශ මූලධර්මය යනුවෙන් ගැනෙන්නේ, කලින් අධිකරණයක බහුතර විනිශ්චයක් තීරණාත්මක වශයෙන් ගත යුතු බවයි. එහෙත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණය සැලකිල්ලට ගත්තේ, වනසුන්දර විනිසුරුවරයාගේ සුළුතර මතයයි. 1987 ශ්‍රේෂ්ඨාධිකරණයේ පස් පුද්ගල බහුතර තීන්දුවෙන් තමන් බැඳී නොසිටින්නේ මන්ද යන්නවත්, එම මතය තමන් නොතකා හැරියේ මන්ද යන්නවත්, මෙවර ශ්‍රේෂ්ඨාධිකරණය විස්තර කෙළේ නැත. ඇත්ත වශයෙන්ම, එකී පස් පුද්ගල බහුතර තීන්දුව ගැන මෙවර සඳහනක්වත් කෙළේ නැත. 

මෙවර ශ්‍රේෂ්ඨාධිකරණය, 2002 දී අගවිනිසුරු සරත් නන්ද සිල්වා දැක්වූ අදහසක් ද ගෙනහැර දැක්වූයේය. සරත් නන්ද සිල්වාගේ එම අදහස් දැක්වීම සිදුවුණේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට තිබූ බලය සීමා කිරීම සඳහා එවකට කෙටි කාලයක් බලය හෙබැවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉදිරිපත් කොට තිබූ සංශෝධන කෙටුම්පතක ව්‍යවස්ථාමය වලංගු භාවය තීන්දු කිරීමේදී ය. එම විනිසුරු මඬුල්ල හත් දෙනෙකුගෙන් සමන්විත විය. එහිදී, 4 වැනි ව්‍යවස්ථාව අනම්‍ය එකක් බව අගවිනිසුරු සරත් නන්ද සිල්වා තීන්දු කෙළේය. ඊට කලින් 1987 දී ඒ කාරණය සම්බන්ධයෙන්ම පස් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් දී තිබූ තීන්දුව ගැන මෙහිදී ඔහු කිසි සඳහනක් කෙළේ නැත. හරියට, එවැනි තීන්දුවක් නොතිබුණා සේ ය. හරියට, මේ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනෙන මුල් අවස්ථාව එය යැයි සැලකුණා සේ ය. ඒ අනුව ගත් විට, 4 වැනි ව්‍යවස්ථාව ගැන අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ විනිශ්චයත් ප‍්‍රමාද දෝෂයක් සේ ගැනිය හැකිය. කෙසේ වෙතත් අපූරු කාරණය වන්නේ, 4 වැනි ව්‍යවස්ථාව පිළිබඳ සරත් නන්ද සිල්වාගේ එකී විනිශ්චය තිබියදීත්, ඒ ආකාරයේම විධිවිධානයක්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ, (ජනමත විචාරණයකින් තොරව) සම්මත කර ගැනීමයි. එනම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය සීමා කිරීමයි. 


3 වැනි ව්‍යවස්ථාව වැරදියට භාවිත කිරීම (අපයෙදුම)

ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ආකාරය සඳහන් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 30 (2) යටතේ ය. එහි මෙසේ සඳහන් වෙයි: ‘‘ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබිය යුතු අතර, පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේය.’’ ඊට කලින් වසර හයක් වශයෙන් තිබූ එකී ජනාධිපති ධුර කාලය පස් අවුරුදු කාලයක් දක්වා අඩු කෙළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගිනි. දැනට යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් බලාපොරොත්තු වන්නේ, ඉහත කී වාක්‍යයේ සඳහන් ‘ජනතාව’ යන වචනය වෙනුවට ‘පාර්ලිමේන්තුව’ යන වචනය ආදේශ කිරීමයි. ඊට සමගාමීව, 4 (ඉ) ව්‍යවස්ථාවේ සඳහන් ‘ජනරජයේ ජනාධිපතිවරයා’ යන්න ඉවත් කිරීමට අදහස් කෙරේ. එවිට එම 4 (ඉ) ව්‍යවස්ථාව කියැවෙනු ඇත්තේ මෙසේ ය: ‘‘පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තෝරා පත්කිරීමේ ඡන්ද විමසීමේදී ද, සෑම ජනමත විචාරණයකදී ද ඡුන්ද බලය ක‍්‍රියාත්මක කළ හැකි විය යුත්තේය.’’ 

සිය විනිශ්චයට පැමිණීමේදී අධිකරණය මෙසේ නිරීක්ෂණය කෙළේය: 

‘‘ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබීම අහෝසි කළහොත්, එකී ජනාධිපතිවරණයේදී ජනතාව අභ්‍යාස කරන ඡුන්ද බලය ඔවුන්ගෙන් ඉවත් කෙරෙන්නේය. එබැවින් ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ජනතාව පාවිච්චි කරන ඡුන්ද බලය එසේ ඉවත් කිරීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 (ඉ) උල්ලංඝණය කිරීමක් වන්නේය.’’

ඒ අනුව අධිකරණය මෙසේ තීන්දු කෙළේය:

‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි සහ 4 වැනි ව්‍යවස්ථා පිළිබඳ සලකා බැලීමේදී පරමාධිපත්‍යය යනු පහත සඳහන් කරුණු බව අපි අදහස් කරමු

1. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය
2. ජනතාවගේ විධායක බලය
3. ජනතාවගේ අධිකරණ බලය
4. ජනාධිපතිවරණයකදී, පාර්ලිමේන්තු මැතිවරණයකදී සහ ජනමත විචාරණයකදී පාවිච්චි කෙරෙන ජනතාවගේ ඡන්ද අයිතිය.

එබැවින්, ජනාධිපතිවරණයකදී, පාර්ලිමේන්තු මැතිවරණයකදී සහ ජනමත විචාරණයකදී පාවිච්චි කෙරෙන ජනතාවගේ ඡන්ද අයිතියත්, ජනරජයේ ජනාධිපතිවරයා අභ්‍යාස කරන විධායක බලයත්, ජනතා පරමාධිපත්‍යයේ අංග වශයෙන් ගැනීම නිවැරදි ය. එබැවින්, ජනාධිපතිවරණයකදී, පාර්ලිමේන්තු මැතිවරණයකදී සහ ජනමත විචාරණයකදී පාවිච්චි කෙරෙන ඡුන්ද අයිතියත්, ජනතාවගේ විධායක බලයත් යම් කෙටුම්පතක් මගින් උල්ලංඝණය කෙරේ නම්, එය ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කිරීමක් වශයෙන් අප සලකන අතර, එසේ හෙයින් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වශයෙන් අපි සලකමු.. එසේ හෙයින් එවැන්නක්, ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතුව තිබේ.’’


3 වැනි ව්‍යවස්ථාව අර්ථකථනය කිරීම 

මේ කියන 3 වැනි ව්‍යවස්ථාව අපේ ශ්‍රේෂ්ඨාධිකරණය නොයෙක් වර සැලකිල්ලට ගෙන ඇතත්, කිසි විටෙක එහි උත්පත්ති කතාව විමසා බැලීමට යොමු වී නොතිබීම කණගාටුවට කාරණයකි. එය මුලින්ම 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන් වුණේ මෙසේ ය: ‘‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය පවතින්නේ ජනතාවට ය. එය, අත්හල නොහැක්කේය.’’

එවක පැවති ව්‍යවස්ථාමය සහ නීතිමය රාමුවෙන් පිටස්තරව ඇති කර ගත් එකී දේශජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ 3 වැනි ව්‍යවස්ථාවෙන් කියා සිටියේ, එවක පැවති ව්‍යවස්ථාව සම්පාදනය කර දුන් ‘‘අති උත්තම මහ රජාණන් වහන්සේගෙන්’’ නොව, 1970 දී බලයට පත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට බලය පැවරූ ජනතාවගෙන් පරමාධිපත්‍යය ව්‍යුත්පන්න වන බවයි. ඒ පරමාධිපත්‍යයෙන් බලය පවරනු ලැබුවේ, ‘‘ලංකාව, නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජයක් වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරෙන අලූත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කොට, පනවාගෙන, ක‍්‍රියාත්මක කැරැවීම’’ සඳහා ය. 1970 දී බලයට පත් මහජන නියෝජිතයන්, එවක පැවති නීති රාමුවෙන් පිටස්තරව සිට අලූත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කොට පනවා ගැනීමට යොමු වුණේ එකී පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරමිනි. ඒ ජනතා පරමාධිපත්‍ය බලය අත්හල නොහැකි ය යන්නෙන් අදහස් කෙරුණේ, එය වෙනත් කෙනෙකුට, උදාහරණයක් වශයෙන්, විදේශ බලවේගයකට, හමුදාවකට හෝ දේශපාලන පක්ෂයකට, වැඩියත්ම බි‍්‍රතාන්‍ය කිරුළට නැවත පාවා දිය නොහැකි බවයි. 1972 ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කමිටුවේ අභිලාෂය වුණේ එයයි. මම ඒ කමිටුවේ සාමාජිකයෙකු වීමි. අපේ රටේ ව්‍යවස්ථාවක ප‍්‍රථම වරට එය ඇතුළත් කිරීමේ හේතු කාරණය වුණේ එයයි. 

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළත් මේ 3 වැනි ව්‍යවස්ථාව ඇතුළත් කෙරුණි. එහෙත් ඒ, පැහැදිලි කිරීමේ අමතර වාක්‍යයක් ද සහිතවයි. ඒ මෙසේ ය: 

‘‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හල නොහැක්කේය. පරමාධිපත්‍යයට, පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේය.’’

මේ ආකාරයට, අත්හල නොහැකි පරමාධිපත්‍යය නැමැති සංකල්පයේ කරුණු සහ අංගෝපාංග (අගවිනිසුරු ෂර්වානන්දගේ වචනවලින් කිවහොත්, ආයතන සහ මෙවලම්) පිළිබඳ නිදසුන් ව්‍යවස්ථාවෙන් සපයා තිබේ. සෑම පැත්තකින්ම ගත් විට, පරමාධිපත්‍යය පවතින්නේ ජනතාව කෙරෙහි ය. එය මුළුමණින්ම හෝ කොටසක් වශයෙන් හෝ, ශ‍්‍රී ලංකා ජනතාවගේ පාලනයෙන් පිටස්තර ආයතන හෝ මෙවලම් විසින් අභ්‍යාස කරනු ලැබිය නොහැක්කේය. ඒ අනුව, ආණ්ඩුවේ බලතල හමුදාව විසින් පැහැර ගත නොහැක්කේය. ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහෝසි කළ නොහැක්කේය. ඡුන්ද බලය පක්ෂයක සාමාජිකයන්ට පමණක් සීමා කළ නොහැක්කේය. මගේ අදහසේ හැටියට, 3 වැනි ව්‍යවස්ථාවේ පරමාර්ථය සහ පරිමාව එය වන්නේය. 


ප‍්‍රමාද දෝෂයෙන් යුත් විනිශ්චයක් ? 

යම් සංශෝධනයකින් ජනතා පරමාධිපත්‍යයට අගතිගාමී බලපැමක් නොවන්නේ නම්, ඒ පරමාධිපත්‍යය බලය අභ්‍යාස කිරීමේ ආයතනය හෝ මෙවලම, අගවිනිසුරු ෂර්වානන්ද කී පරිදි, 4 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම මාර්ගයෙන්  ඕනෑම අවස්ථාවක වෙනස් කරගත හැකිය. එසේ හෙයින්, රට පුරා පැවැත්වෙන ඡුන්දයකින් වෙනුවට පාර්ලිමේන්තුව මාර්ගයෙන් ජනාධිපතිවරයා පත්කර ගැනීම අරමුණු කරගෙන ඉදිරිපත් කෙරුණු 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සලකා බැලීමේදී, ඒ පාර්ලිමේන්තුව පත්කර ගැනෙන්නේ ද මහ මැතිවරණයකදී පාවිච්චි කෙරෙන ජනතාවගේ ඡන්ද බලයෙන් ය යන කාරණය අතිශය වැදගත් කාරණයක් වශයෙන් සැලකිල්ලට ගත යුතුව තිබූ සාධකයක් වුවත් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ සැලකිල්ලට ලක් වී ඇති බවක් නොපෙනේ. 20 වැනි සංශෝධනයෙන් අදහස් කෙරුණේ ජනතාව තමන්ගේ ඡුන්ද බලයෙන් තෝරාපත් කර ගත් පාර්ලිමේන්තුව මාර්ගයෙන් ජනාධිපතිවරයා තෝරාගත යුතු බවයි. එය, ජනතාවගේ ඡුන්ද බලය වක‍්‍රාකාරයෙන් භාවිත කිරීමකි. එසේ නොමැතිව එය, ජනතාවගේ ඡුන්ද අයිතිය ප‍්‍රතික්ෂේප කිරීමක්, අහෝසි කිරීමක් හෝ අන්සතු කිරීමක් හෝ නොවන්නේය. දැන් විධායක බලය අභ්‍යාස කරන අගමැතිවරයා සහ අමාත්‍යවරුන් පත්කර ගැනෙන්නේ පාර්ලිමේන්තුවෙන් වන බැවින්, නාමික (හෝ ව්‍යවස්ථාපිත) ජනාධිපතිවරයෙකු ජනතාවගේ සෘජු ඡන්දයෙන් වෙනුවට පාර්ලිමේන්තුව හරහා වක‍්‍රකාරව තෝරා පත්කර ගැනීම ව්‍යවස්ථා විරෝධී විය නොහේ. 4 වැනි ව්‍යවස්ථාවේ අර්ථකථනය පිළිබඳව ෂර්වානන්ද අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන් පස් දෙනෙකුගේ එකඟත්වය මත දෙන ලද බහුතර විනිශ්චය සැලකිල්ලට නොගැනීම හේතුවෙන්, 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මෙවර ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව ප‍්‍රමාද දෝෂයක් සහිත විනිශ්චයක් බවට පත්ව තිබේ.


නිගමනය 

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අඩුපාඩුකම් කිහිපයක් තිබේ. එහෙත් එයින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන්නේ, 1989 පටන් නොයෙක් වර ජනාධිපති අපේක්ෂකයන් විසින් දෙන ලද එහෙත් ඉෂ්ට නොකරන ලද ප‍්‍රතිඥාවක් සාධනය කර ගැනීමටයි. ඒ හේතුව සඳහා පමණක්ම සලකා බැලූවත්, එය ප‍්‍රතිශෝධනය කොට යළි ඉදිරිපත් කිරීම වටී. එවිට සමහර විට, මීට වඩා පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලකට මේ කාරණය ඉදිරිපත් කළ හැකිය. එනම්, නාමික (ව්‍යවස්ථාමය) ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා තවත් භේදකාරී තත්වයකට රට ඇද දැමිය යුතු ද, නැත්නම් එම කාර්යය ජනතාව විසින් තෝරා පත්කර ගන්නා පාර්ලිමේන්තුවක් මගින් ඉෂ්ට කර ගත යුතු ද යන්නයි.





(2019 මැයි 26 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “20th Amendment- A Flawed Determination? (2)" නමැති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)



ඡායාරූපය - ශෙහාන් ගුණසේකර


සබැඳි පුවත් 


0 comments: