Hot!

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (3)



- ගාමිණී වියන්ගොඩ -
 
මතවාදීමය ආයුධ 

ආගම් අදහන්නන් සියලූ දෙනා විවිධ අවස්ථාවලදී එකිනෙකාට විරුද්ධව පාවිච්චි කොට ඇති මතවාදීමය සහ ප‍්‍රායෝගික ආයුධ බොහෝ විට එක සමාන ය. දෙවියන් වහන්සේ ගත්තොත්, දේවවාදය මුල් කර ගත් සෑම ආගමක්ම එකම මැවුම්කාර දෙවි කෙනෙකු ගැන විශ්වාස කළත්, ඒ මැවුම්කාර දෙවියන් අදහන ප‍්‍රජාව විසින් දෙවියන්ගේ ස්වරූපය, එක කොන්දේසියකට පමණක් යටත්ව, විවිධාකාරයෙන් වෙනස් කරනු ලැබ ඇති බව පෙනී යයි. හින්දු ආගමේදී ක‍්‍රිෂ්ණා යනුවෙන් ද, ක‍්‍රිස්තියානියේදී යෙහෝවා යනුවෙන් ද, ඉස්ලාම් ආගමේදී අල්ලා වශයෙන් ද ඒ දෙවියන්ව හඳුනා ගන්නේ, එකී වෙනස් කම් මත ය. හින්දු ආගමට වෙනස්ව, යුදෙව්, ක‍්‍රිස්තියානි සහ ඉස්ලාම් යන ආගම් තුනම අදහන දෙවියන් වන්නේ, ඊට බොහෝ කලකට පෙර සිට යුදෙව් ආගමිකයන් ඇදහූ දෙවියන්ම ය. ඒ දෙවියන්ගේ පණිවිඩකරුවා පමණක් මේ ආගම් තුනේදී වෙනස් වෙයි. එනම්, යුදෙව්වන්ට මෝසස් ද, කිතුණුවන්ට යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ද, ඉස්ලාම් ආගමිකයන්ට මහම්මත්තුමා ද වශයෙනි. මේ සියලූ දෙවිවරුන්ට පොදු වූ සහ ඔවුන්ගේ පණිවිඩකාර ශාස්තෘවරුන් පොදුවේ විශ්වාස කරන කාරණය වන්නේ, එක්තරා දිනයකදී ලෝකය මැවූ සහ එක්තරා දිනයකදී ලෝකය ගලවා ගන්නා දෙවි කෙනෙකු ඇති බවට දරණ විශ්වාසයයි. මීට ඉහතින් සඳහන් කොට ඇති කුරුස යුද්ධ සහ ජිහාඞ් යුද්ධ සඳහා මේ එකම දෙවියන් විසින් ඒ සියලූ පාර්ශ්වවලට (යුදෙව්, ක‍්‍රිස්තියානි, ඉස්ලාම්) ඉතිහාසයේ විටින් විට එකිනෙකා මරා ගැනීමට අනුබල දී ආශීර්වාද කරනු ලැබ තිබේ. තවමත් එසේම කරති.  

වඳ පෙති හා ටොපි, දැන් වඳ සැත්කම් 

නොබෝ කලකට පෙර ලංකාවේ මුස්ලිම් මිනිසුන් සිංහල ජාතිය වඳ කිරීම සඳහා පෙති වර්ගයක් සහ ටොපි වර්ගයක් පාවිච්චි කරන බවට මතයක් සිංහල බෞද්ධයන් විසින් පතුරුවා හරින ලදි. මේ ආරංචිය මෙරටේ මහා විනාශයකට හේතු විය. ගිය සතියේ ‘ජාතික’ යැයි කියාගන්නා එක් සිංහල පුවත්පතක්, මුස්ලිම් වෛද්‍යවරයෙකු විසින් සිංහල-බෞද්ධ කාන්තාවන් 4000 ක් සිසේරියන් සැත්කම් මාර්ගයෙන් වඳ භාවයට පත්කොට ඇතැයි ප‍්‍රධාන සිරස්තලයෙන් කියා සිටියේය. ඊට කලකට පෙර, මෙසේ දැන් ලංකාවේ අගතියට පත් ඒ මුස්ලිම් ජනතාවගේම ආගම අදහන තවත් ජනතාවක්, නයිජීරියාව ඇතුළු අපි‍්‍රකානු රටවල් කිහිපයක පාවිච්චියට ගැනෙමින් තිබුණු පෝලියෝ මර්දන එන්නත, මුස්ලිම් ජනතාව වඳ කිරීම සඳහා බටහිර ජාතීන් විසින් එන්නත් කරන ඖෂධයක් වශයෙන් කතාවක් පතුරුවා හැරියහ. ඊට පසු පෝලියෝ එන්නතට අනුබල දෙන්නන්ට එරෙහි මෘග දඩයමක් එම රටවල මුස්ලිම් ආගමික අන්තවාදීන් විසින් දියත් කරන ලදි. මේ අතර, අප‍්‍රිකාවේ ඒඞ්ස් රෝගය මර්දනය කිරීමේ එක් පියවරක් වශයෙන් කොන්ඩම් (උපත් පාලන කොපු) භාවිතය නිර්දේශ කිරීම තුළින් ජාතීන් වඳ කිරීමක් සහ කාමයට අවසර දීමක් සිදුවන බවත්, එය දෙවියන් වහන්සේගේ කැමැත්තට පටහැනි දෙයක් බවත් කිතුණු පල්ලිය දේශනා කෙළේය. උපත් පාලන කොපුවක්, පෝලියෝ එන්නතක් සහ ඊනියා වඳ පෙත්තක් හෝ සිසේරියන් සැත්කමක් පිළිබඳ එවැනි අවිද්‍යාත්මක විනිශ්චයකට පැමිණීම මේ ආගම් තුන සම්බන්ධයෙන්ම අපට නිරීක්ෂණය කළ හැකි තත්වයකි. 

මිනිස්සු නොමග යවන ආගම 

මේ ආකාරයට මිනිසුන් නොමග යවන ආගමම, මිනිසුන් සුමගට ගැනීමටත් අත්‍යාවශ්‍ය වෙතැයි සැලකීම භයානක විහිළුවකි. සදාචාරවත් වීම සඳහා මට ආගමක් අවශ්‍ය යැයි කීම මා සලකන්නේ මගේ බුද්ධියට කරන නිගාවක් වශයෙනි. සදාචාරය යනුවෙන් අද ජනප‍්‍රිය ව්‍යවහාරයේ වැඩි බරකින් හඳුනා ගැනෙන්නේ ලිංගිකත්වයට සම්බන්ධ කාරණා වෙතත්, සත්තකින්ම සදාචාරයේ සෘජු අදාළත්වය ඇත්තේ, සමාජයක යහපැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය කෙරෙන වෙනත් අත්‍යන්ත කාරණා ගණනාවක් සම්බන්ධයෙනි. උදාහරණයක් වශයෙන්, බොරු කීම සහ කේලාම් කීම වැනි ප‍්‍රාථමික ගනයේ වාචික හැසිරීම්වල සිට සත්ව ඝාතනය දක්වා වන ක‍්‍රියාකාරකම් සියල්ල සදාචාරය නැමැති විෂයයට ඇතුළත් ය. අසූහාර දහසක් සමාජ ප‍්‍රශ්නවලට ලිංගිකත්වයම හේතුවක් වශයෙන් ගෙන, එය සමාජ සදාචාරයේ පදනම් ගල වශයෙන් සකසා ගැනීමේ විකෘති පුරුද්ද ඇති කොට තිබෙන්නේ, විශේෂයෙන් ක‍්‍රිස්තියානි පල්ලියත්, සාමාන්‍යයෙන් බෞද්ධ පන්සල සහ හින්දු, මුස්ලිම් දේවස්ථාන ඇතුළු ආගම් සංස්ථාවනුත් විසිනි. කෙසේ වෙතත්, මේ සියල්ලම, එනම් ඉහතින් කී ලිංගික නොවන ක‍්‍රියාකාරකම් සේම ලිංගිකත්වයත් මේ ක්ෂේත‍්‍රයට අප ඇතුළත් කරගත්තත්, ඒ අපචාරවලින් වැළැකී සිටීමේ වගවීමකින් මා බැඳී සිටිය යුතු බව මට කියා දීමට ආගමක් අවශ්‍ය ද? බොරුවක් කියන විට එයින් ඇති කෙරෙන නරක ප‍්‍රතිවිපාක පුංචි කාලයේදීම මා අත්දුටු කාරණයකි. කේලාම් කීමෙන් ඇති වන ගැටුම් පුංචි කාලයේදීම මා අත්දැක ඇත. මේවා,  ඕනෑම පුංචි දරුවෙකු කුඩා කාලයේ සිට නිතැතින් අවබෝධ කරගන්නා දේවල් ය. වෙනත් සත්වයෙකු ඝාතනය කරන විට එය ඒ සතාට හානියක් බව  ඕනෑම කුඩා ළමයෙකුට වැටහෙයි. මේ දේවල් කියා දීම සඳහා, මේ 21 වැනි සියවසේදී අපට බුදු කෙනෙකු, යෙහෝවා දෙවියන් වහන්සේ හෝ අල්ලා දෙවියන් වහන්සේ කෙනෙකු අවශ්‍ය නැත. ශිෂ්ටාචාරයේ ප‍්‍රාථමික අවදියකදී, එවැනි ඉතා පැහැදිලි අකටයුතුකම් කියා දීමට සහ බියක් ඇති කොට ඒ පාප කර්මවලින් මිනිසා මුදවා ගැනීමට ආගමක් අවශ්‍ය වුණා විය හැකි වෙතත්, අදත් ඒ කාරණා සම්බන්ධයෙන් ආගමක මගපෙන්වීමක් ඉල්ලා සිටීම, නූතන මිනිසාගේ බුද්ධියට කරගන්නා නින්දාවක් මිස අන් කවරක් ද? 

මෙලොවින් පසු ජීවිතය 

එක කාරණයක් සම්බන්ධයෙන් පමණක් ආගමිකයන් සමග මම එකඟ වෙමි. එනම්, මේ ජීවිතයෙන් පසු තවත් ජීවිතයක් ඇතොත් ඒ සම්බන්ධයෙන් වන කරුණු කවරේද යන්න පිළිබඳ විෂය සම්බන්ධයෙනි. එහෙත් එහිදී පවා මිනිසුන්ගේ, මෝක්ෂය හෝ ස්වර්ගය අත්කර ගැනීමේ යෝජිත මාර්ග දෙස බැලීමේදී, පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදීන්ගේ ක‍්‍රියාව මට කිසි ලෙසකින්වත් පුදුමයක් ගෙන දෙන කාරණයක් නොවන බව කිව යුතුය.  

ආගම යනු මිනිසා විසින් මිනිසා සඳහා නිර්මාණය කර ගත් මරණය පිළිබඳ ක‍්‍රීඩාවක් බව මගේ විශ්වාසයයි. උදාහරණයකට, ප‍්‍රධාන ආගම් පවුල් දෙක අපි ගනිමු. එකක්, (ක‍්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි) දේව නිර්මාණවාදයයි. අනෙක, (බුද්ධාගම වැනි) අදේව කර්මවාදයයි. 

දේව නිර්මාණවාදය 

දේව නිර්මාණවාදය යන්නෙන් ප‍්‍රධාන කාරණා දෙකක් අදහස් කෙරේ. පළමුවැන්න වන්නේ දෙවි කෙනෙකු විසින් ලෝකය යම් දවසක නිර්මාණය කෙළේය යන්නයි. දෙවැන්න වන්නේ එම දෙවියන් විසින්ම යම් දවසක ලෝකය ගලවා ගන්නා බවයි. ඊළඟට, මේ කියන දෙවියන් වහන්සේගේ ප‍්‍රධාන ගති ලක්ෂණ දෙකක් හඳුන්වා දෙනු ලැබේ. එකක් වන්නේ, උන්වහන්සේ සර්වඥතා ඥානයෙන් යුක්ත වන බවයි. දෙවැන්න වන්නේ, උන්වහන්සේ සර්ව බලධාරී වන බවයි. මේ කරුණු හතර (මැවීම, ගලවා ගැනීම, සර්වඥතා ඥානය සහ සර්ව බලධාරීත්වය) හොඳින් කල්පනාවේ තබාගන්න.

සර්වඥතා ඥානය 

සර්වඥතා ඥානය යනු සියල්ල දන්නේය යන්නයි. එනම්, දෙවියන් විසින් ලෝකය මවන අවස්ථාවේ තමන් මවන ලෝකය මොන වගේ එකක් වේදැ යි උන්වහන්සේ දැන සිටිය යුතුව තිබුණු බව අපට අනුමාන කිරීමට සිදුවෙයි. මන්ද යත්, අතීතය, වර්තමානය සහ අනාගතය ගැන පූර්ණ දැනුමක් අර කියන සර්වඥතා ඥානයෙන් අදහස් කෙරෙන බැවිනි. එසේ නම්, දෙවියන් වහන්සේ විසින් ආදම් නැමැති පිරිමියා සහ ඒව නැමැති ගැහැනිය මවන අවස්ථාවේ ඒ නරයන් දෙන්නා අරභයා මෙන්ම ඒ දෙන්නාගෙන් බෝ වෙන මිනිස් ලෝකය තුළ, මිනිමැරුම්, සොරකම්, කාමයෙහි වරදවා හැසිරීම් සහ බොරු කීම් ආදී සියලූ පව් සිද්ධ වීමට ඉරණම් කෙටි තිබූ බව උන්වහන්සේ නොදැන ඉන්නට පුළුවන් කමක් නැත. කෙසේ වෙතත්, මෙසේ පව් කරන මනුෂ්‍යයාව එම දෙවියන් විසින්ම දවසක ගලවා ගන්නා බවට ප‍්‍රතිඥා දී ඇති බවත් අප අමතක නොකළ යුතුය. දැන් මගේ ප‍්‍රශ්නය වන්නේ මෙයයි.

පව්කාරයෙකු වීම නිසා යම් දවසක තමාටම ගලවා ගැනීමට සිද්ධ වෙන මිනිසෙකු දෙවියන් විසින් මුලින් මවනු ලැබුවේ මන්ද? එහිදී සර්වඥතා ඥානය උන්වහන්සේට තිබුණේ නැත්ද? මැවීම සහ ගලවා ගැනීම කරන්නේ දෙවිවරුන් දෙදෙනෙකු විසින් නම් මේ ප‍්‍රශ්නයට අර්ධ පිළිතුරක් සොයා ගැනීමට බැරි කමක් නැත. එක දෙවි කෙනෙකු සත්භාවයෙන් යුතුව මිනිසෙකු මැව්වේය. එම මිනිසා පව්කාරයෙකු බවට පත්වූ නිසා වෙනත් දෙවි කෙනෙකු පැමිණ ඒ මිනිසාව ගලවා ගන්නේය. එහෙත් එසේ වීමට වුවත්, තවත් කාරණාවක් සැපිරිය යුතුය. එනම්, මැවුම්කාර දෙවියන් ‘සර්වඥතා ඥානයෙන්’ යුක්ත කෙනෙකු නොවිය යුතුය. ඔහු අතින් වැරදි මැවීමක් සිද්ධ වුණේ ඒ නිසා යැයි අපට උපකල්පනය කළ හැක්කේ එසේ විණි නම් පමණි.  

සර්ව බලධාරියා 


තවත් උභතෝකෝටිකයක් විසඳා ගැනීමට තිබේ. මේ කියන දෙවියන් වහන්සේ ‘සර්ව බලධාරී’ නම්, තමන් මැවූ නිර්මානය පසුව හෝ නිවැරදි කිරීමට ඔහුට හැකි විය යුතුය. එහෙත් වර්තමාන ලෝකය දෙස බන විට, ඒ කියන කිසි කාරණයක් සිද්ධ වන බවක් අපට දැක ගන්නට නැත. අඩුම වශයෙන්, පසුගිය පාස්කු ඉරිදා, තමන්ගේ පුත‍්‍රයාගේ උත්ථානය සැමරීම සඳහා තමන්ගේ පල්ලියට යාච්ඤා කිරීමට පැමිණි තමන්ගේ බැතිමතුන් රාශියකගේ ජීවිත බේරා ගැනීම සඳහාවත් උන්වහන්සේට හැකියාවක් තිබුණු බවක් අපට නොපෙනේ. දැන් මේ සියල්ල එකට ගන්න: එවිට ඇඳෙන්නේ මෙවැනි චිත‍්‍රයකි. නුවර වැව් බැම්මේ ඉන්න මම ඒ අසල සිටගෙන සිටි පුද්ගලයෙකු වැවට තල්ලූ කරමි. ඊළඟට මමම වැවට පැන ඒ පුද්ගලයාව බේරා ගනිමි. දෙවියන් වහන්සේගේ මැවීමේ කාර්යය භාරය සහ ගලවා ගැනීමේ කාර්ය භාරය ඊට සමාන නැත් ද? එය, මා නැමැති පුද්ගලයා විසින් නුවර වැව් බැම්මේ සිටගෙන සිටි මනුෂ්‍යයාව ක‍්‍රීඩා භාණ්ඩයක් වශයෙන් සලකා කරන ලද භයානක සෙල්ලමක් වශයෙන් ගත යුතු නැත්ද? එය එසේ නොවීමට නම්, ඉහතින් කී පරිදි, මැවීම සහ ගලවා ගැනීම එක දෙවි කෙනෙකු විසින් නොව දෙවිවරුන් දෙදෙනෙකු විසින් කෙරෙන රාජකාරියක් සේ සැලකීමට සිදු වන්නේය. එසේ වුවහොත්, පළමු දෙවියන්ගේ කාර්යයක තිබූ අඩුපාඩුවක් වෙනත් දෙවැනි දෙවි කෙනෙකුන් විසින් නිවැරදි කරනු (ගලවා ගනු) ලැබීමක් වශයෙන් එම තත්වය කෙනෙකුට පිළිගත හැකිය. එහෙත් ඒ දෙවියන් පවා සර්ව බලධාරී වන්නේවත්, සර්වඥතා ඥානයෙන් යුක්ත වන්නේවත් නැති බවත් ඒ සමගම අපට පිළිගැනීමට සිදුවෙයි. 

දෙවියන් විසින් එවැනි මිනිසෙකු මැව්වේ ඇයි යන ප‍්‍රශ්නයට ඉස්ලාම් ආගමෙන් සැපයෙන පිළිතුර මෙසේ ය: ‘‘මම සැඟවුණු නිධානයකි. මාව සොයාගනු ලැබීම මම ආශා කෙළෙමි. එසේ මාව සොයාගනු ලැබීම සඳහා මම ලෝකය නිර්මාණය කෙළෙමි’’ (හඩිත් කුඞ්සි). පුංචි කාලයේ අප මෙය හැඳින්වුවේ ‘හැංගිමුත්තන් සෙල්ලම’ වශයෙනි. 

දෙවියෝ හා නපුර 
  
මේ සියල්ල, ක‍්‍රිස්තු පූර්ව 4-3 සියවස්වල විසූ ග‍්‍රීක දාර්ශනික එපිකියුරස් මෙසේ සංගෘහිත කොට තිබේ: ‘‘දෙවියන් යනු, නපුර නැති කිරීමට කැමැත්තක් ඇති, එහෙත් හැකියාවක් නැති කෙනෙක් ද? එසේ නම් ඔහු බෙලහීන දෙවියෙකි. දෙවියන් යනු නපුර නැති කිරීමට හැකියාවක් ඇති, එහෙත් කැමැත්තක් නැති කෙනෙක් ද? එසේ නම් ඔහු දුෂ්ට දෙවියෙකි. දෙවියන් යනු නපුර නැති කිරීමට කැමැත්තකුත් ඇති හැකියාවකුත් ඇති කෙනෙක් ද? එසේ නම් නපුර තියෙන්නේ කොතැනද?’’ 

දැන්, ආගම් පවුල් දෙකේ ඊළඟ (බුද්ධාගම වැනි) පවුල ගැන සලකා බලමු. එය අදේවවාදී ය. කර්මවාදී ය. එහිදී මැවුම්කාර දෙවි කෙනෙකු ගැන විශ්වාස නොකෙරේ. විශ්වාස කෙරෙන්නේ, තම තමන් කරන ක‍්‍රියාවන් මගින් පමණක්ම නිරන්තර පැවැත්මේ ස්වභාවය (අපාය, දිව්‍ය ලෝකය සහ නිර්වාණය ආදී වශයෙන්) තීන්දු වන බවයි. එනම් කර්මය අනුව සියල්ල තීන්දු වන බවයි. ඒ අනුව, අවසාන අපේක්ෂාව වන්නේ නිර්වාණය හෙවත් සංසාර ගමන (නැවත ඉපදීම) නතර කර ගැනීමයි.

අපට උගන්වා ඇති පරිදි බුදු කෙනෙකු ලොව පහළ වන්නේ කල්ප ගණනකට වතාවක් පමණි. කල්පයක් යනු, එර්දි බලයෙන් උඩින් වඩින රහතන් වහන්සේ කෙනෙකුගේ සිවුරේ වාටිය හිමාල කන්දේ කොනක ගෑවීමෙන් එම කන්ද මුළුමණින් ගෙවී යාමට ගන්නා කාලයට සමාන කාලයක් යැයි බෞද්ධ සාහිත්‍යයේ කියැවෙයි. (මේ ගණන්හිලව් එයාකාරයෙන් නොගන්න. අවශ්‍ය වන්නේ, කල්පයක් යනු විශාල කාලයක් වශයෙන් වටහා ගැනීම පමණි). බුදු කෙනෙකු පහළ වන්නේ එවැනි හිමාල කඳු ලක්ෂ ගණනක් ගෙවී අවසන් වන කාලයකදී ය. 

අවසාන වරට බුදු කෙනෙකු මෙලොව පහළව සිටියේ මීට වසර 2500 කට පමණ පෙරාතුව ය. උන්වහන්සේගේ ජීවිත කාලය තුළ නිර්වාණයට ගිය රහතන් වහන්සේලා සංඛ්‍යාව ගණන් බලා නැතත්, අදාළ සාහිත්‍ය දෙස බලන විට එය ලක්ෂ ගණනක් විය නොහැකි බව පෙනේ. කොහෙත්ම දස ලක්ෂ ගණනක් නම් නොවේ. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු අද දක්වා රහත් ඵලයට පත් සංඛ්‍යාව වුවත් ලක්ෂ ගණනක් විය නොහැකිය. 

තමන්ගේ ධර්මය පවතින්නේ වසර 5000 කැයි උන්වහන්සේ දේශනා කොට ඇත. මේ වන විට ඒ කාලයෙන් අඩක් හෙවත් වසර 2500 ක් ගතව තිබේ. ඒ අනුව, අද දක්වා නිර්වාණයට ගොස් ඇති සමස්ත මිනිසුන් සංඛ්‍යාව දසලක්ෂ ගණනකැයි (නිර්ලෝභීව) අප උපකල්පනය කළත්, ඉතිරි වසර 2500 තුළ ඒ සංඛ්‍යාවෙන් තව අඩක්වත් නිර්වාණයට යනු ඇතැයි (නිර්ලෝභීව වුවත්) දැනට අපේ ඇස්පනාපිට ඇති තත්වය අනුව සිතිය නොහැක. 

පෘථිවියේ සත්ව සන්තතිය කොපමණදැ යි ගණන් බලා නැත. එහෙත් ඇතැම් විද්‍යාත්මක අධ්‍යයනයන් පෙන්වා දෙන පරිදි, එක් පුංචි කෘමි පවුලක ලක්ෂ ගණනක් වන අනුශාඛාවලින් එකකට පමණක් අයත් කෘමීන් වුවත් ටි‍්‍රලියන ගණනක් ඉක්මවන බව පෙන්වා දෙයි. ඒ අනුව, පෘථුවිය පමණක් අප සලකා බැලූවත් (තවත් සත්ව ලෝක ඇතැයි බුද්ධාගමේ කියැවෙයි), ටි‍්‍රලියන කෝටි-ප‍්‍රකෝටි ගණනක් වන සත්ව සන්තතියෙන්, හිමාල කඳු ලක්ෂ ගණනක් මුළුමණින් ගෙවී යන තෙක් වන විශාල කාල පරාසයකින් පසු බිහි වන බුදු කෙනෙකුගේ මාර්ගයෙන් තවත් ලක්ෂ දෙක තුනක් මිනිස් ජීවීන්ව එතෙර කැරැවීම පිළිබඳ ව්‍යාපෘතියක්, මිනිසුන් මරා ගැනීමට තරම් වන භයානක ක‍්‍රීඩාවක් කර ගැනීමට අප උත්සුක විය යුතුද ?

ටි‍්‍රලියන ප‍්‍රකෝටි ගණනකින් එක් අයෙකුට පමණක්, ටි‍්‍රලියන වසර ගණනකට වරක් පමණක් දිනුමක් ඇදෙන එවැනි ලොතරැයියක් ගැන ඇති විශ්වාසයක් පස්සේ කෙනෙකු වසර හැට හැත්තෑවක් (මිනිස් ජීවිත කාලය) තිස්සේ පැන්නීම වරදක් නැත. එහෙත් ඒ විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා, ලොතරැයිය මිලදී ගැනීම ප‍්‍රතික්ෂේප කරන මුළු ලෝකයා සමගම අඬදබර වීම අපරාධයකි. කලක් ක‍්‍රිස්තියානිය කළා සේ, අද ඉස්ලාම් දහම තවමත් කරන්නා සේ, මුළු ලෝකයාම ඒ මතයට නම්මවා ගැනීම සඳහා මිනීමැරීම ඊටත් වඩා අපරාධයකි. සියලූ ආගම් සම්බන්ධයෙන්, අඩු වැඩි වශයෙන්, අද අප මුහුණදෙන ප‍්‍රශ්නය එයයි.    



(ඉතිරිය ඊළඟ සතියට)




සබැඳි පුවත් 






0 comments: