Hot!

ආගමික ඇදහීම සහ රටට අයත් වීම - මුස්ලිම් ප්‍රශ්නය (3)



- ආචාර්ය අමීර් අලි -


බෞද්ධ අන්ත-දක්ෂිණාංශයේ නැගීම 

දේශපාලනික අන්ත-දක්ෂිණාංශය මතු වීම 21 වැනි සියවසේ ජාත්‍යන්තර වශයෙන් දක්නට ලැබුණු ප්‍රපංචයකි. එසේ මතුවීමට හේතු සෙවිය යුත්තේ, එක පැත්තකින් සීතල යුද්ධ සමය අවසානයේ මාක්ස්වාදී, සමාජවාදී, කොමියුනිස්ට් ආර්ථික අත්හදාබැලීම් කඩා වැටීමත්, අනිත් පැත්තෙන්, ඊට විකල්පයක් වශයෙන් උඩ දැමුණු සහ ලෝකය පුරා පැතිරුණු ලිබරල් ආර්ථික මාදිලිය පිළිබඳ අපේක්ෂා භංගත්වයත් පිළිබඳ සංසිද්ධීන් තුළ ය. 1977 න් පසු ශ්‍රී ලංකාව මේ ලිබරල් ලෝකය සමග උඩ පැනගෙන එක් විය. එහි ප්‍රාරම්භකයා වුණේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ය. ඔහු ශ්‍රී ලංකාව තවත් සිංගප්පූරුවක් කිරීමේ සිහින දැක්කේය. එහෙත් අවසානයේ ඔහු කෙළේ, ඉතා විනාශකාරී සිවිල් යුද්ධයකට රට ඇද දැමීමත්, රටේ පැවති වාර්ගික සමගිය ළඟපාතක නොපෙනෙන සිහිනයක් බවට පත්කර ගැනීමත් ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය 2009 දී හමුදාමය වශයෙන් පරාජයට පත්කිරීමත් සමග, ශ්‍රී ලංකාවේ අන්ත-දක්ෂිණාංශික බෞද්ධ කණ්ඩායම් කිහිපයක් ඉස්මත්තට ආවේය. ලබා ගත් හමුදාමය ජයග්‍රහණයේ ජවය, රටේ සෑම අංශයක්ම බෞද්ධකරණයට ලක්කිරීමේ ආක්‍රමණශීලී සහ අධිකාරීවාදී මෙහෙයුමක් බවට පත්කර ගැනීමට ඔවුන් සියල්ලන්ට අවශ්‍ය විය. ඔවුන් ශ්‍රී ලංකාව දැක්කේ සිංහල බෞද්ධයන්ට පමණක් අයිති රටක් වශයෙනි. එබැවින්, ඔවුන්ට අනුව, මෙරටේ වෙසෙන සෙසු සියලු වාර්ගික සහ ආගමික ප්‍රජාවන් සිංහල බෞද්ධයන්ට යටත් පිරිසක් වශයෙන් විසිය යුතු විය. යුද්ධය තුළින් දෙමළ ජනතාව හමුදාමය වශයෙන් පරාජය කරනු ලැබ තිබුණු තත්වයක් තුළ ඊළඟට දෙවැනි සුළුතරය වූ මුස්ලිම් ප්‍රජාවත් යටපත් කර ගැනීම ඔවුන්ගේ අභිලාෂය විය. 

මුස්ලිම් ප්‍රජාව දෙමළ ප්‍රජාවට වඩා වෙනස් ය. සිවිල් යුද්ධයට කලින් දෙමළ ප්‍රජාවේ ප්‍රධාන සාර්ථකත්වය තිබුණේ අධ්‍යාපනය තුළ ය. මුස්ලිම් ප්‍රජාව ඊට වෙනස්ව, ඓතිහාසිකවම ව්‍යාපාරික පරිචයක් ඇති ජනතාවක් විය. ඒ නිසාම, යටත්විජිත සමයේ උපහාසයෙන් යුතුව ඔවුන්ව හැඳින්වුණේ ‘බිස්නස්කාරයන්’ වශයෙනි. මේ නිසා, දෙමළ සහ සිංහල ප්‍රජාව මෙන් නොව, මුස්ලිම් ප්‍රජාව අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසියේ බොහෝ ප්‍රමාද වී ය. සිංහල හමුදාව යාපනේ සුප්‍රකට පුස්තකාලය ගිනි තැබීම එදා වඩාත් රිදුම් දුන්නේ එම ප්‍රජාවේ ගර්වයට ය. ගරුසරු සුරුවමක් සේ සැලකිය හැකි එවැනි ක්ෂේත්‍රයකට හිමිකම් නොකී මුස්ලිම් ප්‍රජාවට තිබුණේ, පල්ලි සහ ව්‍යාපාරික ආයතන පමණි. දකුණේ අන්ත-දක්ෂිණාංශිකයන්ගේ ප්‍රහාරවල ඉලක්ක බවට පත්වුණේ ඒවා ය. මුස්ලිම් ව්‍යාපාරවලට පහර දීමෙන් ඔවුන් අපේක්ෂා කෙළේ එම සමස්ත ජනතාව දිළින්දන් බවට පත්කිරීමයි. 

2009 ට කලින් පවා, 1970 දශකයේදීත්, මුස්ලිම්-විරෝධී හිංසාකාරී ක්‍රියා තැනින් තැන ඇති වුණි. එහෙත් රාජ්‍ය බලධාරීන් වහා ක්‍රියාත්මක වීම නිසා එවායේ පැතිරීම වැළැකුණි. කෙසේ වෙතත්, 2009 න් පසු එවැනි මුස්ලිම්-විරෝධී ප්‍රහාර රටේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්විය. ඒ කාලයේ බලධාරීන් ඒවා මැඩලීමට පස්ස ගැසුවා පමණක් නොව, විටෙක ඒවා යුක්ති සහගත කිරීමටත් කටයුතු කළ බව පෙනුණි. 2014 අලුත්ගම සිද්ධීන්, 2017 දී ගිංතොට සිද්ධීන්, 2018 දී අම්පාර, දිගන සහ නුවර ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් එහිදී කැපී පෙනේ. කොළඹ නගරයේ සහ තදාසන්න පානදුර වැනි පෙදෙස්වල මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහර දී අවස්ථා කිහිපයකදීම ගිනිබත් කෙරුණි. 

එහිදී සිදු වූ භෞතික අලාභහානිවලට වඩා මුස්ලිම් ජනතාව ප්‍රකෝපයට පත්කෙළේ ඒ කලහකරුවන් මැඩලීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැක්වූ ඇල්මැරුණු පිළිවෙතයි. මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් තුළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමහරෙකු ද වැඩසිටීම මගින් පෙන්නුම් කෙළේ මුස්ලිම් ප්‍රජාවට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ආණ්ඩුව මුළුමණින් අසමත් වූ බවයි. 

ලෝකයේ වෙනත් තැන්වල, විශේෂයෙන් යුරෝපයේ, මේ මොහොතේ අන්ත-දක්ෂිණාංශය පසුවන්නේ ජයග්‍රාහී ලීලාවක ය. මන්ද යත්, වාම-මාධ්‍යමික සහ දක්ෂිණ-මාධ්‍යමික සම්ප්‍රදායික දේශපාලන පක්ෂ තමන්ට බලයට පැමිණිය හැකි එකම ක්‍රමය අර අන්ත-දක්ෂිණාංශික බලවේග සමග සභාගගත වීම බව වටහාගෙන සිටින බැවිනි. ඒ අදහස, ශ්‍රී ලංකාවේදී වඩාත් මැනවින් පෙන්නුම් කෙරේ. ජනාධිපතිවරයාගේ පක්ෂය ඇතුළු කිසි ප්‍රධාන ප්‍රවාහයේ පක්ෂයක්, මේ වන තෙක්, බොදුබල සේනාව, සිංහ ලේ, මහසෝන් බලකාය වැනි අන්තවාදී කල්ලි මුස්ලිම් ප්‍රජාවට එරෙහිව මුදාහරින තිරශ්චීන හිංසනය හෙලාදැකීමට හෝ විවේචනය කිරීමට මෙතෙක් ඉදිරිපත්ව නැත. හිරේට නියමව සිටි භික්ෂුවක් ජනාධිපතිවරයාම මේ මෑතකදී සමාව දී නිදහස් කෙළේය. නිදහස ලබා ආපස්සට හැරුණු සැණින් ඒ භික්ෂුව කෙළේ සිය මුස්ලිම්-විරෝධී ව්‍යාපාරය නැවත දියත් කිරීමයි.


අයත් වන්නේ කොහේට ද? 

පාස්කු ඉරිදා තිරශ්චීනත්වයේ මහ මොළකාර, ජාතික තව්හීඞ් ජමාත් සංවිධානයේ නායක, මද්‍රසා පාසලෙන් දොට්ට වැටුණු සහරාන් හෂීම් නැමැත්තා, ආගමික ඇදහිල්ලක් දරණ අතරේම කෙනෙකු රටකටත් අයත් වීම යන ප්‍රශ්නය නැවත වරක් ඉස්මත්තට ගෙනාවේ, මුස්ලිම් ජනතාව අරභයා ඉහත කී ආකාරයේ අනාරක්ෂිත වටාපිටාවක් රටේ ඇතිව තිබූ තත්වයක ය. ශ්‍රී ලංකාව මිසදිටුවන්ගේ වාසස්ථානයක් වශයෙන් මුල් වරට හඳුන්වමින්, එරටේ ජීවත් වීම මුස්ලිම් ජාතිකයන්ට ‘හරාම්’ (තහනම්) යැයි කී එක් පටිගත කළ කතාවකදී, මේ රටේ ජීවත් වූ මුළු මහත් ජන ප්‍රජාවකගේ සාමකාමී සහජීවනයක සමස්ත ඉතිහාසයම ඔහු කටුගා දමා, ‘උම්මා’ නාමයෙන් තමාගේ පක්ෂපාතිත්වය අයි.එස්.අයි.එස්. වෙත පූජා කෙළේය. 

සහරාන් සහ ඔහුගේ ‘ජාතික තව්හිද් ජමාත්’ සංවිධානයට මූලික වශයෙන් වැදගත් වන්නේ ජීවත් වන රට නොව, මීට පෙර මේ ලිපියේ විස්තර කොට ඇති, ‘උම්මා’ වශයෙන් හැඳින්වෙන, (තනි රටකට අයත් නැති) උත්තරීතර ‘පාර-ජාතීය රාජ්‍යයයි’. ඒ සඳහා මේ සංවිධානය තම කෝපය සංසිඳුවා ගැනීම සඳහා ඕනෑම අන්තවාදී ඉස්ලාමීය ජාත්‍යන්තර සංවිධානයක් සමග එක්කාසු වනු ඇත. මේ වෙලාවේ ඒ ආරයෙන් කැපී පෙනෙන සේ කරලියේ සිටින්නේ අයි.එස්.අයි.එස්. සංවිධානයයි. ‘කැලිෆේට්’ නමින් ඔවුන් හඳුන්වා ගන්නා ‘නබිතුමාගේ රාජධානිය’ ඊනියා ‘කුරුස යුද්ධකාරයන්’ ඉදිරියේ (ඉරාකය සහ සිරියාව වැනි රටවල්වල) පරාජය වී සිටින අවස්ථාවක අයි.එස්.අයි.එස්. සංවිධානයත් සොයමින් සිටියේ ස්වකීය භීෂණය මුදාහැරිය හැකි කරලියකි. ලංකාවේ සිදු වෙමින් තිබූ මුස්ලිම්-විරෝධී හිංසනය වෙනුවෙන් පලිගැනීමට ‘ජාතික තව්හිද් ජමාත්’ සංවිධානයට තිබූ පිපාසයත්, සිරියාවේ ලද පරාජයේ පලිය ගැනීමට අයි.එස්.අයි.එස්. සංවිධානයට තිබූ පිපාසයත්, ඒ ඉරණම්කාරී පාස්කු ඉරිදාවේ ඒකාබද්ධ විය. ඉන් පසු දිග හැරුණු කතාව අපි කවුරුත් දනිමු. 

1980 දශකයේ සිට ලංකාවේ මුස්ලිම් දේශපාලනය ඉස්ලාම්කරණය වීමේ සහ ලංකාවේ මුස්ලිම් සංස්කෘතිය අරාබිකරණය වීමේ ප්‍රවණතාව නිසා ලංකාවේ මුස්ලිම් ප්‍රජාව, සෙස්සන් වපර ඇසින් බලන, සැකමුසු ජන කොටසක් බවට පත්කරනු ලැබ තිබුණු බව, මුස්ලිම් නායකත්වය පිළිගත යුතුව ඇති තිත්ත ඇත්තකි. ඒ හා සමානවම, මුස්ලිම් සුළුතරයේ එකී ප්‍රමාදයෙන් උපරිම දේශපාලනික ලාභ ලැබීමට බෞද්ධ අන්ත-දක්ෂිණාංශය අදිටන් කරගෙන සිටින බවත් නිරනුමාන ය. එබැවින්, මුස්ලිම් සහ බෞද්ධ නායකත්වයන් දෙකම ඉදිරියේ අද තිබෙන ප්‍රශ්නය වන්නේ, මේ අසිරිමත් රටේ පැවති ඒ සාමකාමී සහජීවනයේ ස්වර්ණමය උරුමය යළි අත්පත් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීමයි. 

මුස්ලිම් අනන්‍යතාව, ශ්‍රී ලාංකීය අනන්‍යතාව තුළ සංයුක්ත විය යුතුය. මන්ද යත්, එම ප්‍රජාව අයත් වන්නේ මේ රටට වන බැවිනි. මේ රට ‘ස්වර්ණ භූමියක්’ කළ ඒ බෞද්ධ කරුණා-දයාව යළි සමාජගත කළ යුතුව තිබේ. ඒ තත්වය තුළ, සෑම පාර්ශ්වයක් වෙතින්ම, බරසාර ආත්ම-පරීක්ෂාවක් සහ නිර්මාණාත්මක නායකත්වයක් අවශ්‍ය කරන්නේය. අවාසනාවකට, මේ මොහොතේ නැත්තේ ද එයම ය.




(2019 ජුනි 13 වැනි දා Daily FT පුවත්පතේ පළවූ “Believing & Belonging: A Muslim Dilemma (2)"
නමැති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)



සබැඳි පුවත් 




 

0 comments: