Hot!

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (4)



- ගාමිණී වියන්ගොඩ - 


ආගම යනු ඇදහීමකි 

ආගම යනු ඇදහීමකි. එනම්, විශ්වාසයකි. විශ්වාසයක් වැරදි වන්නටත් පුළුවනි. නිවැරදි වන්නටත් පුළුවනි. වැරදි වුවත්, නිවැරදි වුවත්, සමහර විශ්වාස අහිංසක ය. තවත් සමහර විශ්වාස භයානක ය. මා ගෙදරින් එළියට යාමට සැරසෙන අවස්ථාවක, වැස්සකට ඉඩ ඇතැයි විශ්වාස කරන මගේ බිරිඳ මට කුඩයක් අරගෙන යන්නැයි ඇවිටිලි කරයි. මගේ විශ්වාසය වන්නේ වැස්සක් වැසීමට ඉඩක් නැති බව ය. එබැවින් මම කුඩයක් නොගෙන පාරට බසිමි. ස්වල්ප වේලාවකින් වැස්සට තෙමී ගෙදර එන විට ඇය උපහාසයෙන් සිනාසේවි. එවිට මම ලජ්ජාවෙන් ඇඹරෙමි.

මේ සාදෘෂ්‍ය අපි තව ටිකක් එහාට ගෙන යමු. මගේ නෑ හිත මිතුරන්ගෙන් අති බහුතරය ඊළඟ භවයක් ගැන විශ්වාස කරති. මම එය විශ්වාස නොකරමි. ඔවුන් නිවැරදි වුණොත්, ඔවුන් මෙන්ම මටත් නැවත උපදින්නට සිදුවෙනු ඇත. මා නිවැරදි වුණොත්, මා මෙන්ම ඔවුන් ද නැවත නොඉපදෙනු ඇත. මේ දෙකෙන් කොයි එක වෙතත්, මට විශේෂ හානියක් වන්නේ නැත. එහෙත් මගේ ඒ ‘අවිශ්වාසයට’ එරෙහිව පාවිච්චි කළ හැකි ආයුධයක් මගේ බෞද්ධ මිතුරන්ට බුද්ධාගමෙන් සපයා තිබේ. (එය ප‍්‍රචණ්ඩ ආයුධයක් නොව, සාමකාමී ආයුධයකි). එනම්, ඊළඟ ආත්මයේ මගේම සුභසිද්ධිය සඳහා මේ ආත්මයේ මා පින් කළ යුතු බවයි. පිනක් කියා දෙයක් ඇත්නම්, එය යහපත් ක‍්‍රියාවක ප‍්‍රතිඵලයක් වශයෙන් ඇති වන දෙයක් විය යුතුය. අනිත් අතට, මා අයහපත් ක‍්‍රියා නොකරන්නේ නම්, ඊළඟ ආත්මය ගැන, මගේ මිතුරන් නිවැරදි වුවත්, මට බය වීමට කාරණයක් නැත. ඇත්ත වශයෙන්ම මා අයහපත් ක‍්‍රියා කරන්නේ නම්, ඊළඟ ආත්මයක් ගැන සිතීමට කලින් මේ ආත්මය ගැනම මා බිය විය යුතුය. මන්ද යත්, පොලීසි, උසාවි සහ හිරගෙවල් ගානේ රස්තියාදු වීමට මට සිදු විය හැකි බැවිනි.

ශුද්ධ බයිබලයේ කියන්නේ මොනවාද ? 

එහෙත් යුදෙව් ආගමේ, ක‍්‍රිස්තියානි ආගමේ සහ ඉස්ලාම් ආගමේ ඇතැම් දේශනා, ඔවුන්ගේ විශ්වාසට වෙනස්, ඉහත කී ආකාරයේ මගේ විශ්වාසයක් දරමින්, එම විශ්වාසය ප‍්‍රකාශ කරමින් නිදහසේ සිටීමට මට ඉඩ දෙන්නේ නැත. මන්ද යත්, මගේ ‘මිථ්‍යා දෘෂ්ටිය’ (අවිශ්වාසය) ඔවුන්ගේ මෝක්ෂ මාර්ගයට අවහිරයක් වශයෙන් එකී දේශනා මගින් උගන්වන බැවිනි. යම් උදාහරණයක් ඒ සම්බන්ධයෙන් සැපයීම, මා කියන කරුණ තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත් විය හැකිය. එය, ශුද්ධ බයිබලයේ ‘ද්විතීය කතාවෙන්’ උපුටා ගැනෙන්නකි. ඒ මෙසේ ය,

‘‘ඔබේ පුතා හෝ දුව හෝ ඔබේම ආදරණීය බිරිඳ හෝ එක කුසේ උපන් ඔබේම සහෝදරයා හෝ ඔබේ කිට්ටුම මිත‍්‍රයා හෝ රහසින් ඇවිත්, ‘අපි ගිහින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමු ද’ කියා ඔබව වරදට පොළොඹවන්නට ඉඩ තිබෙනවා. මෙසේ ඔබවත්, ඔබේ මුතුන්මිත්තන්වත් අසා නැති දෙවිවරුන්ට නමස්කාර කිරීමට ඔවුන් ඔබව දිරි ගන්වන්න පුළුවන්.. ඔබ ඔවුන්ගේ ඉල්ලීමට එකඟ නොවිය යුතුයි.. එවැනි දෙයකට ඔබව පොළොඹවන්න උත්සාහ කළ ඒ පුද්ගලයාට කිසිම අනුකම්පාවක් නොපෙන්වන්න.. ඔබ අනිවාර්යයෙන්ම ඔහුව මරා දැමිය යුතුයි. ඔහුව මරා දමන්න මුල්ම ගල එසැවිය යුත්තේ ඔබයි. ඉන්පසුව සෙනගටත් ඊට හවුල් විය හැකියි.. එවැනි පිළිකුල් සහගත දෙයක් සිදු වී ඇති බව ඔප්පු වුණොත් ඔබ ඒ නුවරේ වැසියන්ව කඩුවෙන් මරා දැමිය යුතුයි. ඒ නුවරේ සිටින සියලූ දෙනාවත්, ඔවුන් ඇති කරන සතුන්වත් මරා දමා, එහි ඇති සියල්ල සම්පූර්ණයෙන්ම විනාශ කර දැමිය යුතුයි..’’ (ශුද්ධ බයිබලයේ ද්විතීය කතාව- 13:6-15)
මෙවැනි දේශනා එම බයිබලය තුළ තව අනන්තවත් තිබේ.  

බයිබලය 

බයිබලය ප‍්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. එකක්, පරණ බයිබලයයි. අනෙක, අලූත් බයිබලයයි. පරණ තෙස්තමේන්තුව සහ නව තෙස්තමේන්තුව යනුවෙන් ඒවා හැඳින්වෙයි. පරණ තෙස්තමේන්තුව යනු, ක‍්‍රිස්තුස් වහන්සේට පෙර පැවති හීබෘ භාෂාවෙන් ලියැවුණු යුදෙව් බයිබලයයි. නව තෙස්තමේන්තුවට අයත් වන්නේ ක‍්‍රිස්තුස් වහන්සේගෙන් පසුව උන්වහන්සේගේ අනුගාමිකයන් විසින් යුදෙව් බයිබලයට එකතු කරන ලද කොටස් ය. ඉහත සඳහන් උද්ධෘත මා ගත්තේ පරණ තෙස්තමේන්තුවෙනි. මේ නිසා, ඉහත කී විනාශකාරී දේශනා නව තෙස්තමේන්තුවේ නැති බව කිතුණුවන් විසින් මට පෙන්වා දෙනු ලැබිය හැක්කේය. 

කාරණා කිහිපයක් නිසා එය පිළිගත නොහැක. ඇත්ත වශයෙන්ම, ක‍්‍රිස්තුස් වහන්සේ යනු දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා බව කිතුණුවන් විසින් පිළිගනු ලබන්නේම, පරණ තෙස්තමේන්තුවේ සඳහන් මූලික කරුණක් මත පදනම් වෙමිනි. එනම්, ලෝකය ගලවා ගැනීම සඳහා දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා යම් දවසක මෙලොවට පැමිණෙන බවයි. ලෝකය ගලවා ගැනීමට දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා එන බව කියන්නේ පරණ තෙස්තමේන්තුව තුළයි. එදා ක‍්‍රිස්තුස් වහන්සේව යුදෙව් පාලනය යටතේ කුරුසයේ තබා ඇණ ගසන්නේ, පරණ තෙස්තමේන්තුවේ සඳහන් එකී දිව්‍ය පුත‍්‍රයා තමා බව ක‍්‍රිස්තුස් වහන්සේ කියා සිටීම යුදෙව්වන් විසින් පිළිනොගැනීම නිසා ය. මූලික කාරණය සම්බන්ධයෙන් පරණ තෙස්තමේන්තුව සහ නව තෙස්තමේන්තුව අතර සහසම්බන්ධය එසේ වෙතත්, පරණ තෙස්තමේන්තුවේ සඳහන් සෘජු හිංසාකාරී ප‍්‍රකාශ නව තෙස්තමේන්තුවේ එයාකාරයෙන්ම නැති බව ඇත්ත. එපමණක් නොව, එහි, ඊට සපුරා වෙනස් ඔවදන් ඇති බවත් ඇත්ත. ක‍්‍රිස්තුස් වහන්සේ අසල්වාසීන්ට පේ‍්‍රම කරන්න යැයි කියා තිබේ. තවද, එක කම්මුලකට පහරක් වැදුණොත් අනිත් කම්මුලත් හරවන්න යැයි ද උන්වහන්සේ දේශනා කොට තිබේ. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, ක‍්‍රිස්තුස් වහන්සේ මෙවැනි යහපත් දේශනා කරන අතරේම ඉහත කී පරණ තෙස්තමේන්තුව එයාකාරයෙන්ම පිළිගන්නැයි ද උන්වහන්සේම දේශනා කොට තිබීමයි. එය සඳහන් වන්නේ, නව තෙස්තමේන්තුවේ ‘මතෙව්ගේ වාර්තාවේ’ ය. ඒ මෙසේ ය:

‘‘මා පැමිණියේ අනාගත වාක්‍ය නැති කර දමන්න කියා නොසිතන්න. මා පැමිණියේ ඒවා සම්පූර්ණ කිරීමට මිස නැති කර දැමීමට නොවෙයි. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, අහස හා පොළොව පහව ගියත්, නීතියේ සඳහන් සෑම දෙයක්ම අනිවාර්යයෙන් ඉටු වන බවයි. එහි සඳහන් කුඩාම අකුරක් වුණත්, අකුරකින් අංශුමාත‍්‍රයක් වුණත්, ඉතා වැදගත් බව මතක තබාගන්න. එහෙයින් මේ අණපනත්වලින් ඉතා සුළු එකක් වුණත් කඩ කරන හෝ කඩ කිරීමට අනුන්ව පොළඹවන  ඕනෑම කෙනෙකුව ස්වර්ග රාජ්‍යයට සුදුසු නැති ‘සුළු’ තැනැත්තෙකු වශයෙන් හඳුන්වනු ලැබෙයි. නමුත් යමෙක් ඒවා පිළිපැද ඒවා උගන්වනවා නම් ඔහුව ස්වර්ග රාජ්‍යයට සුදුසු ‘උතුම්’ තැනැත්තෙකු ලෙස හඳුන්වනු ලැබෙයි’’ (ශුද්ධ බයිබලය- මතෙව්ගේ වාර්තාව: 5:17-19).

පරණ තෙස්තමේන්තුව සහ නව තෙස්තමේන්තුව

ඉහත උපුටනයේ සඳහන් ‘මා’ යනු ක‍්‍රිස්තුස් වහන්සේ ය. එහි සඳහන්, ‘අනාගත වාක්‍ය‘, ‘නීතියේ සඳහන් සෑම දෙයක්ම’ ‘අණපනත්’ ආදී යෙදුම් සියල්ල පරණ තෙස්තමේන්තුව තුළ සඳහන් දේවල් ය. එනම්, ක‍්‍රිස්තුස් වහන්සේ මෙහිදී කියන්නේ, පරණ තෙස්තමේන්තුවේ ඉස්පිල්ලක හෝ පාපිල්ලක වෙනසක් නැතිව පිළිගත යුතුව ඇති බවයි. කොටින් කිවහොත්, ශුද්ධ බයිබලය යනු, අලූත් සහ පරණ යනුවෙන් එකිනෙකින් වෙනස් දෙකක් නොවන බව මෙයින් පෙනී යනු ඇත.

හොඳයි, මේ දෙක (පරණ තෙස්තමේන්තුව සහ නව තෙස්තමේන්තුව) ලියා ඇත්තේ යුග දෙකකදී නිසා, දෙවැනි යුගයේ ලියවිල්ල වඩා බලවත් සේ සැලකිය යුතු බවට කෙනෙකු තර්ක කළ හැකිය. (පරණ තෙස්තමේන්තුව ලියැවී ඇත්තේ ක‍්‍රිස්තුස් වහන්සේ ඉපැදීමට වසර දහසකටත් ඉහතදී ය). අනික, ක‍්‍රිස්තුස් වහන්සේ පිළිබඳ සියලූ කාරණා සඳහන් වන්නේ ද ඒ ලියැවිල්ල (නව තෙස්තමේන්තුව) තුළ ය. එහෙත් එහිදී පවා මේ කියන නව තෙස්තමේන්තුව පරණ තෙස්තමේන්තුවෙන් බරපතල වෙනසක් පෙන්නුම් නොකරන බව පැහැදිලිව පෙනේ. නව තෙස්තමේන්තුවේ තෙසලෝනිකවරුන්ට ලියූ දෙවැනි ලිපියේ මෙසේ සඳහන් වෙයි: 

‘‘දෙවියන් ලබා දෙන එම විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වන්නේ, ඔහු ඔබට පීඩා කරන අයට ඔවුන් කළ දේට අනුව ප‍්‍රතිඵල දෙන නිසා ය. එමෙන්ම, ස්වාමීන් වන යේසුස් නම බලවත් දේවදූතයන් සමග එළිදරව් වන අවස්ථාවේදී, දැන් පීඩා විඳින ඔබට අප සමගම සහනය ලැබෙනු ඇත. ඇවිළෙන ගිනි ජාලාවක් ඇතුව එළිදරව් වන ඒ අවස්ථාවේදී ඔහු දෙවියන්ගේ විනිශ්චය ඉටු කරනු ඇත. එසේ කරන්නේ, දෙවියන්ව දැන හඳුනා නොගෙන සිටින අයට හා අපගේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයට එරෙහිව ය. ඔවුන්ට ලැබෙන දඬුවම නම් සදාකාලික විනාශයයි.’’ (ශුද්ධ බයිබලය- තෙසලෝනිකවරුන්ට ලියූ දෙවැනි ලිපිය: 1:6-9). 

ඊළඟට, යොහාන්ගේ වාර්තාවේ මෙසේ ද සඳහන් වෙයි:

‘‘අත්තක් කපා ඉවත් කරනු ලැබූ විට ඒ අත්ත වියළී යයි. මිනිසුන් ඒ අතු එකතු කර ගින්නට දමා සම්පූර්ණයෙන්ම පුළුස්සා දමයි. මා සමග එකට බැඳී නොසිටින තැනැත්තාටත් සිදුවන්නේ ඒ දේමයි.’’ (ශුද්ධ බයිබලය (නව තෙස්තමේන්තුව) - යොහාන්ගේ වාර්තාව: 15:6).

දස පනත 

මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ, ක‍්‍රිස්තියානි ආගම නොඅදහන මට පාඩුවේ ඉන්නට ඉඩක් ඒ ආගමෙන් මට නොදෙන බවයි. මේ සියල්ල පුහුදුන් ජනයා විසින් ලියන ලද දේවල් බව ඇත්ත. එහෙත්, දෙවියන් වහන්සේ විසින්ම ලියන ලදැයි එම ආගමිකයන් අදහන තවත් ලියවිල්ලක් තිබේ. එය හැඳින්වෙන්නේ, ‘දස පනත’ නමිනි. මේ දස පනතින් එක පනතක් හෝ කැඩුවොත් එම පුද්ගලයාට හිමි වන දඬුවම මරණයයි. මේ ‘පනත්’ හෙවත් ශික්ෂාපද මොන තරම් වැදගත් යැයි සැලකෙන්නේ ද යත්, ඒවා දෙවියන් වහන්සේ විසින්ම ගලක ලියා මිනිස් වර්ගයාට භාර දී ඇති බව කිතුණුවෝ විශ්වාස කරති. එහි පළමු ‘පනත’ වන්නේ, ‘‘මට වෙනස් වෙනත් දෙවියෙකු ඔබට සිටිය යුතු නැත.‘’ යන්නයි.

පසුගිය අපේ‍්‍රල් 21 වැනි දා, මේ විශ්වාසය දරණ රටේ දේවස්ථාන තුනක් ඉලක්ක කරගෙන මහා විනාශයක් කළ ඉස්ලාම් ආගමික ත‍්‍රස්තවාදීන් කිහිප දෙනාගේ විශ්වාසය වුණේත් එයමයි. (ඒ ගැන පසුව සාකච්ඡා කෙරේ). දස පනත වෙනුවෙන් පල්ලියේ සහ රාජ්‍යයේ අනුග‍්‍රහයෙන් මිනිසුන් ඝාතනය කිරීම වර්තමාන කිතුණු පල්ලිය අනුමත නොකරන බව අපි හොඳින්ම දනිමු. එහෙත් ඉහත කී දේශනා තවමත් සංගෘහිතව තිබේ. එකී ආගම් භක්තිකයෙකුට  ඕනෑම අවස්ථාවක, ආගමේ නාමයෙන් ඒවා පාවිච්චියට ගැනීමේ අවකාශය ඒ නිසා ඉතිරිව තිබේ. පසුගිය මාර්තු 15 වැනි දා, නවසීලන්තයේ ‘ක‍්‍රයිස්ට් චර්ච්’ හිදී, යාච්ඤාවේ යෙදී සිටි අහිංසක ඉස්ලාම් බැතිමතුන් 51 දෙනෙකු ඝාතනය කළ සුදු ජාතික කිතුණුවා මෙහෙයැවුණේ මහජාතික ස්වෝත්තමවාදය නැමැති රෝගයෙන් ඔත්පලව බව සැබෑවක් මුත්, තමන්ට ඒ පාපතර ක‍්‍රියාව සඳහා සිය ආගමේ මූල දේශනාවන්ගෙනුත් අවසරයක් ඇතැයි සිතුවාට සැක නැත. (ඉතිරිය ඊළඟ සතියට)





සබැඳි පුවත් 

0 comments: