Hot!

අවුරුදු 48,000කට පෙර වී වගා කළ අපේ මිනිස්සු

සඳරැසී සුදුසිංහ

ලෝකයේ මුලින්ම වී වගා කළ රට ලෙස ලංකාව ඉතිහාසයට එක් වන බව දන්නේ ස්වල්ප පිරිසකි. ඒ වී වගාකරුවෝ පාහියන් ලෙනේ විසූ නූතන මානවයාගේ මුතුන් මිත්තෝය.


එක් දවසක ලංකාවේ හෝර්ටන් තැන්නට අපූරු වැස්සක් වැටිණි. එය පුරාවිද්‍යා පර්යේෂණ වැස්සකි. එය මුළු ලොවින්ම සැඟ වී තිබුණු අපේ ආදරණීය මුතුන්මිත්තන්ගේ කියුම් කෙරුම් ලෝකයට හෙළිදරව් කළ ආලෝක කදම්භයක් වුණු පර්යේෂණයකි. කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය එහි පෙරගමන්කරුවා වූයේය. ආචාර්ය ටී. ආර්. ප්‍රේමතිලක නම් වූ පර්යේෂකයා එහි නියමුවා විය. එම පර්යේෂණයට ස්වීඩනයේ ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලය, උප්සලා විශ්වවිද්‍යාලය හා ඉන්දියාවේ ෆොන්ඩිචෙරි විශ්වවිද්‍යාලය එක් වී සිටියේය.

අතිපුරාන පරිසරය මෙන්ම මිනිසාගේ වෙනස් වීමට අතීත දේශගුණය කෙසේ බලපෑවේද යන්න සෙවීම එම පර්යේෂණයේ මූලික අරමුණ විය. එහිදී මෝසම් කලාපයේ දේශගුණික ඉතිහාසය සෙවිය යුතු විය. අප සියලු දෙනාගේම ජීවන රටාව මේ වන තුරුද මෝසම් මත පෙළගැසී ඇත.

අපේ අතීත ශිෂ්ටාචාරය තුළ කෘෂිකාර්මික සභ්‍යත්වය ආරම්භ වීමේ දින වකවානු සෙවීම මේ පර්යේෂණයේ අරමුණ විය.

බොහෝ දෙනා මෑතක් වන තුරුම සිතා උන්නේ අපට ඇත්තේ අවුරුදු 2500ක ඉතිහාසයක් බවය. එයද ඉන්දියාවෙන් තෑගි ලැබුණක් ලෙසය. නමුත් මීට දශක තුනකට පෙර ආචාර්ය සිරාන් දැරණියගල වැනි පුරාවිද්‍යාඥයන් ඒ කතාවල තවරා තිබූ සාහිත්‍යමය අයිසින් තට්ටුව ඉවත් කොට අපේ සභ්‍යත්වය කොපමණ අතීතයක් කරා ගමන් කරන්නේද යන්න ඕනෑවටත් වඩා විශ්වාස කළ හැකි පුරාවිද්‍යාත්මක සාධක මඟින් ලෝකයටම කියා දුන්නේය.

ඒ අතීතය හාරා අවුස්සන්නට ආචාර්ය ටී. ආර්. ප්‍රේමතිලකයන් තම දැනුම යොදාගනිමින් 1995 වසරේදී තම පර්යේෂණ කටයුතු ආරම්භ කරන්නට හෝර්ටන් තැන්න තෝරාගනු ලැබිණි. මුහුදු මට්ටමේ සිට අඩි හත්දහසක් උසින් යුත් ඉතා සංවේදී පරිසර පද්ධතියක් වූ හෝර්ටන් තැන්න වෘක්ෂලතා, සතුන් මෙන්ම භූගර්භයද සහිතව ස්වකීය විශේෂත්වය පෙනුන්ම් කරන්නට විය.

ආචාර්ය ටී. අ‍ාර්. ප්‍රේමතිලකයන් ඇතුළු පර්යේෂකයෝ එතෙක් මෙරට භාවිතා කර නොතිබූ දියුණු පර්යේෂණ ක්‍රම දහයක් යොදා ගනිමින් තම කටයුත්තට අවතීර්ණ වූහ.

මෙහිදී පාරිසරික භූ චුම්භකත්වය මැනීමේ නවීන උපකරණ භාවිතා කරමින් මෙන්ම, කාබනික ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමේ තාක්ෂණය යොදාගනිමින්, ක්ෂුද්‍ර ශාකමය, ෆොසිල අධ්‍යයනය කිරීමේ තාක්ෂණය හා රේඩියෝ කාබන් කාල නිර්ණය ආදී පර්යේෂණ ක්‍රම භාවිතයෙන් පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කෙරිණි.

හෝර්ටන් තැන්න හි පුරාතන දේශගුණය පිළිබඳ කළ පර්යේෂණ අනුව එහි ඇති මෝසම් දේශගුණය වසර සියයෙන් සියයට පමණ වෙනස් වන තත්ත්වයක් පෙනුම් කරන වග තහවුරු කරන්නට පර්යේෂකයන්ට හැකි විය.

අතිශය සංවේදී භූගර්භ ලේඛනාගාරයක් ලෙස හෝර්ටන් තැන්න හඳුන්වාදෙන ආචාර්ය ටී.ආර්.ප්‍රේමතිලකයන් තම පර්යේෂණය පිළිබඳ අදහස් දක්වාලූයේ මෙසේය.

“මීට අවුරුදු 17,000කට කලින් ඉඳල හෝර්ටන් තැන්නෙ හේන්වගාවක් (Chena Cltivation) තිබිලා තියනවා කියලා අපි සොය‍ාගත්තා. මේක පැරණිම ප්‍රාථමික කෘෂිකාර්මික තත්ත්වයක්. මෑත කාලයේදී ඉන්දියාවේ ගංගා නම් තැනිතලාවේ මීට සමාන තත්ත්වයක් වාර්තා වෙනවා. ඒ වගේම පිලිපීන, ඉන්දුනීසියාව, බෝර්නියෝ වගේ රටවලින්ද එවැනි තත්ත්වයන් වාර්තා වෙනවා.

ලංකාවේ මූලික කෘෂිකාර්මික වටපිටාව දක්වන මේ හෝර්ටන් තැන්නේ අවුරුදු 16,000කට කලින් යව පවුලට අයත් ධාන්‍ය වර්ග, බාර්ලි, ඕට්ස්, වනගත වී හෙවත් ඌරු වී වැනි ධාන්‍යවල ෆොසිලමය සාක්ෂි අපි හඳුනාගත්තා.

අවුරුදු 25,000 – 18,000 අතර කාලයේදී හෝර්ටන් තැන්න මුළුමනින්ම වියළි කාන්තාරමය පරිසරයක් විදියටයි පැවතිලා තියෙන්නෙ. .........පිරුණු ශුෂ්ක කටුපඳුරු තමයි තිබිලා තියෙන්නෙ. වැස්ස ලැබිල තියෙන්නෙ අවුරුද්දකට මිලි මීටර් 500ක් වගේ සුළු ප්‍රමාණයක්.

ඊට පස්සේ අවුරුදු 18,000 – 17,000 වගේ කාලයේදී මේ පරිසරයට මෝසම් වර්ෂාව ලැබෙන්න ගන්නවා. මේ කාලේ මිනිස්සු පියවර ගානක් ඉදිරියට ඇවිත්, අවුරුදු 17,000 – 13,000 වෙන කොට කෘෂිකාර්මික සභ්‍යත්වය කරා ගමන් කළ හැකි මූලික තත්ත්වයක් පෙනුම් කරනවා. කලින් කී ධාන්‍ය වර්ග වගා කරල තියෙනවා මේ කාලයේදී.

ඊට පස්සේ අවුරුදු 13,000 – 8000 වගේ කාලයේදී ධාරානිපාත වර්ෂාව ඇද වැටිලා තියනවා. අදට වඩා දෙගුණයක් මේ ප්‍රදේශයට වැහැලා. ඒ නිසා කෘෂිකර්මය හා සම්බන්ධ පාරිසරික වටපිටාව මේ බිමෙන් අතුරුදහන් වෙලා තියනවා.

අවුරුදු 8,000 සිට අවුරුදු 3000ක් වෙනකොට මෝසම් දේශගුණය පිරිහෙනවා. මීට අවුරුදු 4000ක් වෙද්දි මේ මුළු කලාපයම දරුණු නියඟයකට ලක් වෙනවා. ඒ දේශගුණික පරිවර්තනය එදා වගේම ඉදිරියටත් එනවා. හෝර්ටන් තැන්න කියන්නේ මහා තොරතුරු ගබඩාවක්.

මේ වෙනකොට අපි දන්නවා සත්ව හා ශාක ගෘහශ්‍රිතකරණය ගැන. ඒ කියන්නේ හීලෑ කරන ලද සතුන්, ශාක භාවිතය. මේ ගැන මුළු ලෝකයට ප්‍රශ්නයක් තියනවා. කොයි කාලෙකද මේ තත්වයන් ඇති වෙන්නේ කියලා.

ඒ අනුව අපි දකුණු ආසියාවේ පැරණිම ගල් ගුහාව වන, ෆාහියන් ලෙනේ පර්යේෂණ කටයුතු ආරම්භ කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කටයුතු අතර ක්ෂුද්‍ර පාරිසාරික පු‍රාවිද්‍යා පර්යේෂණ ආරම්භ කළා.

මේ ලෙනෙන් සොයාගත් අස්ථි, බෙලිකටු, ශාක අඟුරු, සත්ව අවශේෂ මේ පරිසරයේ සිදු වුණ මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි සපයනවා. මේ ගුහාවාසීන් විවිධ ශාක වර්ග භාවිතා කරලා ති‍බෙනවා. වල් කෙසෙල්, වී, වල්දෙල්, කැකුණ, බටලී වගේම තාල වර්ගයට අයත් ශාක වර්ග ගණනාවක්ම මේ මිනිස්සු ප්‍රයෝජනයට අරන් තියනවා.

අපිට හමු වුණ ෆොසිල සාක්ෂි අතර “වනගත වී” වර්ග භාවිතා කිරීමක් පිළිබඳ තොරතුරු හඳුනාගන්න පුළුවන් වුණා. ක්ෂුද්‍ර මට්ටමේ ෆොසිල හමුවුණේ මීටර් එකක් එකහමාරක් විතර යට පස් තට්ටුවලින්. අවුරුදු 48,000 – 6000 අතර කාලයෙන් හම්බවෙන සාධක වලින් Oryza Nivara (ඔරයිසා නිවාරා) නම් වී වර්ගවලට සමාන වන වී හෙවත් ඌරු වී වර්ගය හම්බ වෙනවා. මේ තමයි ලෝකයේ පැරැණිම වී වගා කිරීමේ තත්ත්වය. ඒක සුවිශේෂි සොයා ගැනීමක් ලංකාවට වගේම ලෝකයටත්.

මීට අවුරුදු 6000ක් වන තුරුම වන ගත වී භාවිතා කරපු අතීත මුතුන් මින්තෝ, ඒ කියන්නේ නූතන මානවයාගේ පරපුරේ මුතුන් මිත්තෝ, ටිකෙන් ටික වනගත වීවලින් දුරස් වෙන්න පටන් ගන්නවා. ඔවුන් හීලෑ කරන ලද එහෙම නැත්නම් ගෘහාශ්‍රිතකරණය කරන ලද වී වර්ග වගාවට භාවිතයට හුරු වෙනවා. මේ හීලෑ කරන ලද වී වර්ග Oryza Sativa(ඔරයිසා සටිවා) වර්ගයට අයිති‍ වී කියල හඳුන්වනවා. නියම හීලෑ කරන ලද වී බිහි වෙන්න බොහෝ කාලයක් ගත වුණා. අද දක්වාම පවතින්නේ එදා සිට මෙරට උන් ජනයාගේ පරිසරයෙන් සම්භවය වූ වී වර්ග. අද වගේම ඒ කාලෙත් ප්‍රධානම ආහාරය බත් කියලා අනුමාන කරන්න පුළුවන්. ලංකාවේ වනගත වී වර්ග පහක් විතර තියනවා. අපි අද ආහාරයට ගන්නා වන වී වර්ගවලින් බිහි වුණා කියලා හිතන්න පුළුවන්.

කොහොම වුණත් අද වන තුරු ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදු කර ඇති පර්යේෂණ සියල්ලටම අනුව අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් ලෝකයේ පැරැණිම වී වගා කරල තියෙන්නෙ අපි කියලා.

චීනය ඉන්දියාව වගේ රටවල් අවුරුදු 6000 – 5500 අතර කාලයේදීය ගෘහාශ්‍රිතකරණය වූ කෘෂිකාර්මයට අවතීර්ණ වෙන්නෙ. ඒ වගේම ඔවුන්ගේ ගෘහාශ්‍රිත නොවූ කෘෂිකාර්මික අතීතය චීනයේ හා ඉන්දියා අවුරුදු 12,000 වගේ කාලයකයි ආරම්භ වෙලා තියෙන්නෙ අපි එතැනදි හුඟක් ඉදිරියෙන් ඉන්නේ.

අවුරුදු 48,000ක් දක්වා ඈත යුගයේදී අපේ රටේ ලෝකයේ මුල්ම කෘෂිකාර්මික ජයග්‍රහණයන් සටහන් කරමින් වන වී භාවිතා කරලා තියනවා. එදා සිට වැවූ වීවල ජාන උරුමය තවමත් මේ රටේ තිබෙනවා. ඒ උරුමය ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක් වගේම, මේ වී භාවිතා කරමින් තවත් වී විශේෂ නිපදවන්නන් සැලකිලිමත් වෙන්න ඕන.

අපි මේ පර්යේෂණ හෝර්ටන් තැන්නෙන්වත්, ෆාහියන් ලෙනින් වත් නතර කරන්නෙ නෑ. මේ වෙද්දී විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ පර්යේෂණ සිදු කරනවා. එහි මූලික කෘෂිකර්මය අවුරුදු 3000 – 3500 කාලය ඉක්මවනවා.

වෙන්නප්පුව ආශ්‍රිත සිරිගම්පොළ ගමේ කළ පර්යේෂණ අවුරුදු 5000 – 6000 අතර කාලයේදී කෘෂිකර්මය ආරම්භ වූ බවට සාක්ෂි ලබා දෙනවා.

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ ඇති තෙත්බිමක් වැනි මායක්කායි ස්ථානය පරික්ෂා කිරීමෙන් එහි ඇති ක්ෂුද්‍ර ෆොසිල අවුරුදු 2000කට වැඩි කෘෂිකාර්මික වටපිටාවක් වූ බවට සාක්ෂි සපයනවා. (දැනට මේ පර්යේෂණ සිදු කරමින් පවතී) මේ කරුණු කාරණා සියල්ලම අපිට මෙරට තිබූ කෘෂිකාර්මික සභ්‍යත්වයේ සාඩම්බර අතීතය සනාථ කරනවා.

ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලක නම් වූ මේ විශිෂ්ට පර්යේෂකයා අප නොදැන හුන් අපේ අතීත අභිමානය ලෝකයටම කියා අවසානය.

මේ වන විට පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ධුරය දරන ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලකයන්, දිවුලපිටියේ ඉපිද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යාව සම්බන්ධ ප්‍රථම උපාධියද, ස්වීඩනයේ ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලයෙන් තම දර්ශනපති, හා දර්ශන ශූරි උපාධියද ලබාගෙන ඇත. ඊට අමතරව එංගලන්තයේ ක්වීන්ස් විශ්වවිද්‍යාලයෙන්, ස්ටෙක්හෝම් විශ්වවිද්‍යාලයෙන්, ඉන්දියාවේ පොන්ඩිචෙරි පර්යේෂණ ආයතනයෙන්, ආචාර්යවරයකු ලෙස කටයුතු කර ඇත.

0 comments: