Hot!

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (5)



- ගාමිණි වියන්ගොඩ -


බුදු දහමේ කිසි තැනක හිංසාවට ඉඩක් නැත 

යම් ආගමකින් උගන්වන දෙයක් නොතකා කෙනෙකු අපරාධ කිරීම එකකි. ආගමකින් උගන්වන දෙයක් නිසා කෙනෙකු අපරාධ කිරීම තවත් එකකි. බුද්ධ ධර්මයේ කිසි තැනක ව්‍යංගයෙන් හෝ අන්‍යාර්ථයෙන් හිංසාවට ඉඩක් ඉතිරි කොට නැත. එහෙත්, පසුකාලීනව මහාවංශයේ ඇතැම් ප‍්‍රබන්ධ මත බුද්ධ ධර්මය සංශෝධනය කර ගත් දා පටන්, එනම් බුද්ධ ධර්මය සිංහල බුද්ධාගම වීමට පටන් ගත් දා පටන්, එකී සිංහල බුද්ධාගමේ නාමයෙන් විවිධ අවස්ථාවල හිංසාව පාවිච්චියට ගෙන තිබේ. ඊට ආසන්නතම උදාහරණය සැපයුණේ පසුගිය සතියේ රතන හිමියන්ගේ උපවාසයෙනි. බුදුන් වහන්සේගේ ධර්මය වෙනුවෙන් හෝ ඒ ධර්මයේ නාමයෙන් රට වෙනුවෙන් හෝ වෙනකෙකු ඝාතනය කිරීම පමණක් නොව, තමන්වම ඝාතනය කර ගැනීමත් පාපයකි. එය, බුදුන් අනුදැන වදාරා ඇති ධර්මය අනුව අපරාධයකි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රතන හිමියන් බොරුවට හෝ කිරීමට ගියේ එයයි. මේ බොරුවෙන් ඔහුගේ ජීවිතයට කිසි තර්ජනයක් ඇති නොවන බව ඔහු සහතික වශයෙන්ම දැන සිටියේය. (මීට පෙර ‘ලෙමන් පෆ්’ කමින් උපවාස කළ ඉතිහාසයක් අපට තිබේ). එහෙත් ඒ බොරුව නිසා අහිංසක ඉස්ලාම් ආගමිකයන්ගේ ජීවිත සහ දේපළ පරදුවට වැටෙන බවත් ඔහු සහතික වශයෙන්ම දැන සිටිය යුතුව තිබුණි. මෙය, ආගමෙන් උගන්වන දෙයකට පිටුපා කටයුතු කිරීමකි. 

හින්දු, ඉස්ලාම් ආගමේ ඉගැන්වීම් හා අපරාධ

එසේ තිබියදී, ආගමික ඉගැන්වීමක් නිසාම අපරාධ කරන තත්වයක් ද අපි දකිමු. මීට පෙර ලිපිවලින්, යුදෙව් සහ ක‍්‍රිස්තියානි ආගම්වල සඳහන් එවැනි කරුණු ගෙනහැර දක්වා තිබේ. මීළඟට අපේ සැලකිල්ල යොමු වන්නේ, හින්දු සහ ඉස්ලාම් ආගම් තුළ තිබෙන එවැනි දේශනාවන් ගැන ය.

හින්දු ආගම හා අපරාධ

ලෝකයේ පැරණිම ආගම වශයෙන් සැලකෙන්නේ හින්දු ආගමයි. ලෝකයේ හින්දු ජනගහනය බිලියනය ඉක්මවයි. අනිත් දේවවාදී ආගම්වලට වෙනස්ව, හින්දු ආගමේ දෙවිදේවතාවුන් දහස් ගණනක් සිටිති. එසේම, එක් මූල ග‍්‍රන්ථයක් වෙනුවට, හින්දු ආගමේ ඉතිහාස කතා රාශියක් ආගමික මූලාශ‍්‍ර වශයෙන් පවතී. මහා භාරතය, රාමායනය සහ භගවත් ගීතා ඉන් ප‍්‍රධානයි. හින්දු ආගමේ අවසාන නිෂ්ඨාව වශයෙන් ගැනෙන්නේ, ‘මහා බ‍්‍රහ්මන්’ සමග ඒකාත්මික වීම ය. එය මුළුමණින් අවිහිංසාවාදී ය. ආධ්‍යාත්මික ය. 

මේ ‘මහා බ‍්‍රහ්මන්’ යනු ලෝකයේ මැවුම්කරු ය. එම ලෝකය ආරක්ෂා කරන දෙවියන් වන්නේ විෂ්ණු ය. එසේම, එම ලෝකය විනාශ කරන දෙවියෙක් ද සිටී. (විනාශය සහ දෙවියන් යනු අනිවාර්ය විරුද්ධාර්ථයන් නොවන බව මෙයින් පෙනී යයි). ඒ ශිව දෙවියන් ය. විෂ්ණුගේ අවතාර වශයෙන් මෙලොවට පැමිණෙන දෙවිවරුන් 10 දෙනෙකු හඳුනා ගැනේ. බුදුන් වහන්සේ ඉන් එක් අයෙකි. එහෙත්, ඔහුට මුළුමණින් වෙනස් තවත් දෙවි කෙනෙකු ද එහිදී හඳුනා ගැනේ. ඒ, ක‍්‍රිෂ්ණා ය. හින්දු ආගමේ හිංසාව පිළිබඳ ඉගැන්වීම් බොහොමයක් අපට හමුවන්නේ ඔහු හරහා ය. අර්ජුන නැමැති යුද්ධයේ සුරුවිරු රණකාමියා පවා යුද්ධය ප‍්‍රතික්ෂේප කරන එක් අවස්ථාවක, යුද්ධයේ හරවත් භාවය පිළිබඳ දේශනා කොට අර්ජුනව යුද්ධයට පොළඹවන්නේ ක‍්‍රිෂ්ණා නැමැති දෙවියන් විසිනි. යුක්ති ධර්මයේ ආරක්ෂාව සඳහා යුද්ධය අත්‍යාවශ්‍ය වෙනවා පමණක් නොව, එය ආධ්‍යාත්මික ආධ්‍යාශයට පටහැනි වන්නක් නොවන බවත් ක‍්‍රිෂ්ණා ඔහුට පෙන්වා දෙයි. වර්තමාන ඉන්දියානු හමුදාව පවා මුලින් කී විනාශකාරී ශිව දෙවියන්ගෙන් ආධ්‍යාත්මික ශක්තිය පතයි. 

හින්දු ආගමේ හිංසනය ව්‍යුත්පන්න කිරීම

හින්දු ආගමේ හිංසනය ව්‍යුත්පන්න වන වෙනත් මූලයක් ද තිබේ. ඒ, සමස්ත සමාජය කුලවලට වෙන් කොට දක්වන ආකාරයයි. බ‍්‍රාහ්මණ, ක්ෂත‍්‍රිය, වෛශ්‍ය සහ ශුද්‍ර යනුවෙන් ඒවා හැඳින්වෙයි. මේ කුල උත්පත්තියේදීම කෙනෙකුට හිමිවන අතර කිසි දවසක මේ ආත්මයේදී එය වෙනස් කර ගැනීමේ ක‍්‍රමයක් මිනිසාට නැත. වර්තමාන ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නියමුවා වන අම්බෙඞ්කාර් හින්දු ආගම අතහැර බුද්ධාගම වැළඳගත්තේ ඒ කුල ක‍්‍රමයට විරෝධය පාමිනි. ඔහුගේ මූලිකත්වයන් ලියැවුණු ඉන්දියානු ව්‍යවස්ථාව තුළ, කුලය පදනම් කර ගත් අනිසි සැලකීම් නීතියෙන් තහනම් කොට ඇතත්, අද දක්වාමත් හින්දු සමාජය තුළ අතිශය හිංසාකාරී සංස්ථාවක් වශයෙන් එම කුලය, හින්දු ආගමෙන් ලැබුණු දායාදයක් වශයෙන් තවමත් නොමැකී ඉතිරිව තිබේ.

ලංකාවේ මෑත ඉතිහාසයේ මහා විනාශකාරී සංසිද්ධිය වශයෙන් සැලකිය හැකි බෙදුම්වාදී යුද්ධයේ එක පාර්ශ්වයක බහුතරය සමන්විත වුණේ හින්දු ආගමිකයන්ගෙනි. එහෙත් ඔවුන්ගේ බෙදුම්වාදී නැගිටීම තුළ හින්දු ආගම කිසි කාර්ය භාරයක් ඉටු කෙළේ නැත. ඇත්ත වශයෙන්ම, හින්දු ආගමේ කුලවාදය කැරලිකාරී කණ්ඩායම් දැඩිව ප‍්‍රතික්ෂේප කළහ. එම හිංසනයට පිටුදුන්නේ, ආගම නොව, ජාතියයි. 

පුද්ගල අවකාශය ග්‍රහණයට ගන්නා ඉස්ලාම් ආගම 

ඊට සපුරා වෙනස්ව, පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පසුපස අප දකින්නේ ආගම ය. නූතන මිනිසාගේ පුද්ගල අවකාශය මුළුමණින් තම ග‍්‍රහණයට ගනු ලබන යම් ආගමක් වර්තමානයේ වෙතොත් ඒ ඉස්ලාම් ආගමයි. වෙනත් ආගමිකයන්ගේ මෙන් නොව, මුස්ලිම් ආගමිකයන්ගේ සමස්ත ජීවිතයම පාලනය කරන්නේ ආගම විසිනි. මෙය බොහෝ දුරට සමාන වන්නේ, 10 වැනි සියවසේ සිට 18 වැනි සියවස දක්වා යුරෝපා සමාජය තුළ ක‍්‍රිස්තියානිය හිමිකරගෙන සිටි තත්වයටයි. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය 

පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරකයන් සම්බන්ධයෙන් ප‍්‍රධාන කාරණා කිහිපයක් අපට නිරීක්ෂණය කළ හැකිය. ඉන් ප‍්‍රධාන වන්නේ, මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරකයන් සියලූ දෙනා, එකී ව්‍යාපාරයේ මුල් පෙළේ නායකයන් වූ බවයි. සාමාන්‍යයෙන් කිසි ත‍්‍රස්තවාදී හෝ කැරලිකාරී ව්‍යාපාරයක නායක පැලැන්තියේ කිසිවෙකු, අරගලයක් ආරම්භයේදී උවමනාවෙන් තම ජීවිත නැති කරගන්නේ නැත. උදාහරණයක් වශයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිසි නායකයෙකු මරාගෙන මැරෙන බෝම්බකරුවකු වශයෙන් ඉදිරිපත් වීමක් කිසි ලෙසකින්වත් අපේක්ෂා කළ හැක්කක් නොවේ. ඒ, ඔවුන්ගේ බියගුළු කමක් නිසා නොව. සටනක් තුළ පවතින ප‍්‍රායෝගික අවශ්‍යතා නිසා ය. ප‍්‍රභාකරන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විණි නම්, 70 දශකයේ සිට 2009 දක්වා දිග් ගැස්සුණු ඔවුන්ගේ අරගලයට කුමන තත්වයක් අත්විය හැකිව තිබිණි ද? ඒ නිසා, හැම විටකම,  ඕනෑම කැරලිකාරී සංවිධානයක දිවි පුදන්නන් වශයෙන් යොදා ගැනෙන්නේ සාමාන්‍ය පෙළේ කාඩර්වරුන් ය. පාස්කු බෝම්බකරුවන් සම්බන්ධයෙන් අපට එවැනි තත්වයක් දැක ගැනීමට නොලැබේ. 

නැතිකර ගන්නා ජීවිත වල වටිනාකම හැමවිටම පොදු විමුක්තියක ඉලක්කය සමග සැසඳීම 

දෙවැන්න වන්නේ, ප‍්‍රචණ්ඩත්වය යොදා ගන්නා  ඕනෑම ව්‍යාපාරයක්, තමන්ගේ ක‍්‍රියාකාරිකයන් පැත්තෙන් නැති කර ගන්නා ජීවිතවල වටිනාකම හැම විටකම අපේක්ෂිත පොදු විමුක්තියක ඉලක්කය සමග සසඳනු ලැබේ. ඒ සැසඳීමේ ගණන්හිලව් සහ තර්කණයන් වැරදි විය හැකි වෙතත්, සැසඳීමක් කිරීම හැම විටකම අත්‍යාවශ්‍ය කාරණයක් වශයෙන් සැලකෙයි. ඊට වෙනස්ව, පාස්කු ඉරිදා බෝම්බකරුවන් තුළ අප දකින්නේ, පොදු විමුක්තියක් වෙනුවට හුදෙක් තමන්ගේ විමුක්තියක්, එනම් පුද්ගල විමුක්තියක් ඔවුන් අපේක්ෂා කළ බවයි. එය ආගමික අවශ්‍යතාවකි. උදාහරණයක් වශයෙන් ගතහොත්, ඉස්ලාම් ආගමේ කුරාණය පිළිබඳ අට්ටකතා වශයෙන් ගැනෙන සූරා දේශනාවන් තුළ කියැවෙන පරිදි, ආගම වෙනුවෙන් දිවි පුදන්නෙකුට, ජීවිතය විනාශ වන මොහොතේ පටන් ආරම්භ කෙරෙන පාරාදීසයේ ජීවිතය තුළ කන්‍යාවන් විශාල සංඛ්‍යාවක් ලැබෙතැයි සැබවින්ම විශ්වාස කළොත්, ඒ ‘භාග්‍යය’ වෙනත් කෙනෙකුට දීමට වඩා තමන්ම එය හිමි කර ගැනීමට සිතීම අතාර්කික නැති බව පෙනේ. එක පැත්තකින් පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදීන්ගේ ව්‍යාපාරය තුළ සංඛ්‍යාත්මක වශයෙන් විශාල පිරිසක් සිටියේ නැත. එකම පවුලේ කිහිප දෙනෙකුට මරාගෙන මැරෙන කාර්යයට යොමු වීමට එයත් හේතු වන්නට ඇති. එහෙත් ඊට අමතරව හෝ ඊට ගැළපෙන පරිදිම, මෙකී ‘ආශාවත්’ එකී ප‍්‍රහාරය සඳහා තමන්ම ඉදිරිපත් වීමට එම පුද්ගලයන්ට හේතු වුණාට සැක නැත. 

'ආශාව' සමග ආගමික පිස්සුව වැඩ කිරීම 

ඒ ‘ආශාව’ සමග, ආගමික පිස්සුව එකට වැඩ කරයි. ඒ පිස්සුව බෝ කරන්නේ ආගමික ශික්ෂාවන්ගෙන් ය.

‘‘මාගේ නාමයෙන් දුක් පීඩා විඳින, මාගේ නාමයෙන් සටන් කරන, මාගේ නාමයෙන් ජීවිතක්ෂයට පත්වන සියල්ලන්ගේ පව් මම සමා කරමි. ගලා බසින දිය ඇලි සහිත උද්‍යානවලට, දෙවියන්ගෙන් පිරිනැමෙන ත්‍යාගයක් වශයෙන්, ඔවුන්ව මම ඇතුළත් කර ගමි. නොඅදහන්නන් සතුව ඇති සැප සම්පත්වලට නොරැුවටෙන්න. ඔවුන්ගේ සමෘද්ධිය කෙටි කාලීන ය. ඔවුන්ගේ සදාතන නිවහන වනු ඇත්තේ නිරයයි’’ (කුරාණය- 3:195-196)

‘‘දෙවියන් වෙනුවෙන් නැසුණු කිසිවෙකු මියගියේ යැයි නොසිතන්න. ඔවුන් ජීවමාන ය. දෙවියන් වහන්සේ ඔවුන්ව බලාකියා ගනු ඇත’’ (කුරාණය- (3:169)

දැන් ටිකක් නතර වී සිතන්න. ආගමම ජීවිතය බවට පත්කර ගත් තැනැත්තෙකු ඉහත ශික්ෂා පද දෙක හිසට ගැනීම තුළින්, දෙවියන් වෙනුවෙන් මේ ජීවිතය නැති කර ගැනීම ඔහුට/ඇයට පහසු කරවයි. යම් පුද්ගලයෙකු දෙවියන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ගෙදර සිට, වෙනකෙකුගේ ජීවිතයට හානියක් නොවන පරිද්දෙන් තමන්ගේ ජීවිතය නැති කර ගන්නේ නම්, මෙම භාග්‍යය ඔහුට අත්නොවනු ඇත. මන්ද යත් කුරාණයේ මෙසේ ද සඳහන් වන බැවිනි. 

‘‘දෙවියන් වහන්සේ මට විකල්පයක් ඉතිරි කොට නැත. මා උන්වහන්සේව පිළිනොගන්නේ නම්, උන්වහන්සේ මගේ හතුරා වන බවට උන්වහන්සේ මට තර්ජනය කරයි.. හමුවන  ඕනෑම තැනකදී උන්ව නසා දමන්න’’ (කුරාණය- 2:190)

‘‘දෙවියන් වහන්සේ යනු නොඅදහන්නන්ගේ සතුරා ය.’’ (කුරාණය- 2:98.)

‘‘ප‍්‍රතිමා වන්දනාකරුවන් හමුවන  ඕනෑම තැනක ඔවුන්ව ඝාතනය කරන්න. අල්ලා ගන්න. වට කරන්න. හැකි හැම තැනකම ඔවුන් එන මග රැුක සිටින්න.’’ (සූරා 9.5) 

ඊළඟට, ඉහත කී කැප කිරීම වෙනුවෙන් පොළඹවා ගැනීම සඳහා මේ ජීවිතයේ ඇති නිසරු භාවය ඔබට පෙන්වා දීමටත්, කුරාණය අර්ථ කථනය කළ සූරා පාඨ ගණනාවක් තිබේ. ඉන් එකක් මෙසේ ය:

‘‘ඔබ ඊළඟ ලෝකයට වඩා මේ ලෝකයට කැමැත්තක් දක්වන්නේද? ඊළඟ ලෝකයේ ජීවිතය සමග සසඳද්දී, මේ ලෝකයේ සැපත මොන තරම් සොච්චමක් ද/ ඔබ ගොස් සටන් නොකළොත් දෙවියන් වහන්සේ ඉතා තදින් ඔබට දඬුවම් කරනු ඇත.’’ (සූරා 9.38-39)






0 comments: