Hot!

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (6)



- ගාමිණී වියන්ගොඩ -
 
දේව වාක්‍යය හෝ දේශනා වශයෙන් ගැනෙන සියල්ල, මීට බොහෝ කලකට පෙර විසූ අප වැනි මිනිසුන් විසින්, එදා යුගයේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන සංගෘහිත කරන ලද පෘථග්ජන විශ්වාසයන් මිස, දිව්‍යමය දේවල් නොවන බව, එකී සෑම ආගමක් සහ ශාස්තෘවරයෙකු සම්බන්ධයෙන්ම දක්නට ලැබෙන අතිමූලික සත්‍යයකි. එබැවින් ඉහත කී ශාස්තෘවරයන්ගේ දේශනා දිව්‍යමය දේවල් නොවන බව දැන ගැනීමට අපට දිව්‍ය ඥානයක් අවශ්‍ය නොකරයි. අවශ්‍ය කරන්නේ ඉතා සරළ, කාටත් ප්‍රතික්ෂේප කළ නොහැකි පරීක්ෂණයක් තුළ තබා එකී කරුණු නිරීක්ෂණය කිරීමයි.

මේ ලිපි මාලාවේ මූලික අවධානය යොමු වුණේ, ආගම සමස්තයක් වශයෙන් ගෙන පරීක්ෂා කිරීමකට නොව, ඒ ඒ ආගම්වල පැනෙන ධර්මතාවන්ම වර්තමාන ආගමික ප්‍රචණ්ඩත්වය සඳහා උපයෝගී කරගන්නා ආකාරය ගැන පරීක්ෂා කිරීමටයි. එනම්, අද මිනිසා එකී ආගම් වැරදි ලෙස අවබෝධ කරගෙන කටයුතු කරනවා නොව, ආගම් තුළ සැබවින්ම දේශනා කොට ඇති හිංසාකාරී මතවාදම සිය පාවිච්චියට ගෙන කටයුතු කරන බව පෙන්වා දීමයි. 

අද බොහෝ ආගමික ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ගෙනහැර දක්වන කාරණයක් වන්නේ, ඔවුන් ආගම වැරදියට පාවිච්චි කරන බවයි. ආගමෙන් දේශනා කරන්නේ ඊට වෙනස් දෙයක් බව බොහෝ විට පෙන්වා දෙනු ලැබේ. මෙය, යහපත් මුස්ලිම් මිනිසුන් අද බහුලව ඉදිරිපත් කෙරෙන හේතුවාචකයක් වන අතර, මීට සියවස් කිහිපයකට පෙර කිතුණුවන්ගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඊට පසු කලෙක පල්ලිය ඉදිරිපත් කළ ප්‍රධාන නිදහසට කාරණය වශයෙන් ද එය පෙනෙන්ට තිබේ.

එසේ වී ඇත්තේ, යුදෙව්, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන සෑම ආගමකම මූලික ඉගැන්වීම් තුළ, මේ දෙපාර්ශ්වයටම, එනම් අවිහිංසාවාදියාට සේම ත්‍රස්තවාදියාටත් එක සේ පාවිච්චියට ගත හැකි කරුණු හරිහරියට අඩංගුව තිබෙන බැවිනි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගන්න. මෙරටේ මුස්ලිම් ප්‍රජාවෙන් අඩු වශයෙන් සියයට 90 ක්වත් එම ම්ලේච්ඡ ක්‍රියාව එකහෙලා හෙළාදකින බව අපි දනිමු. ඉස්ලාම් මූලධර්මවාදී රටවල වෙසෙන අන්තවාදී නොවන සාමාන්‍ය ජනතා ප්‍රතිශතය මෙතරම් විශාල නොවිය හැකි වෙතත්, ඒ රටවල පවා බහුතරයක් මුස්ලිම් ජනතාව මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා අනුමත නොකරනු ඇත. එහෙත්, මේ ත්‍රස්තවාදීන්ට මරාගෙන මැරෙන බෝම්බකරුවන් වීමට ඉස්ලාම් ආගමෙන් තල්ලුවක් නොලැබුනු බව, ඒ අනුව අපට කිව හැකිද? සාමකාමී ඉස්ලාම් භක්තියන්ගේ විශ්වාසය වන්නේ එවැනි දිරියක් ආගමෙන් නොසැපයෙන බවයි. මන්ද යත්, කුරාණයේ මෙසේ සඳහන් වන බැවිනි: 

“තමන්ගේ ජීවිතය විනාශ කර නොගන්න” (කුරාණය- 4.29) 

ඉස්ලාම් යනු සාමයේ ආගමක් බව ඒ අනුව පෙන්නුම් කෙරේ. තවත් මෙවැනිම සාමවාදී දේශනා කුරාණය තුළින් සොයාගත හැකිය. එසේ තිබියදී සහරාන් පන්නයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිහිවුනේ කෙසේද? ඊට පිළිතුරත් කුරාණයෙන්ම සොයාගත හැකිය: 

“අදහන්නනි, නුඹ වටා සිටින මිථ්‍යාදෘෂ්ටිකයන්ට එරෙහිව යුද වදින්න. ඔවුන් ගැන තදින් සිටින්න. දෙවියන් වහන්සේ සිටින්නේ ධර්මිෂ්ට මිනිසා සමග බව දැනගන්න.”- (කුරාණය: 9.121) 
  
“ශාස්තෘවරයාණනි, නොඅදහන්නන්ට සහ කුහකයන්ට එරෙහිව යුද වදින්න. ඔවුන් ගැන තදින් සිටින්න. උන්ට හිමිවන්නේ නිරයයි. කුරිරු ඉරණමයි”- (කුරාණය: 9.73)

දැන්, සහරාන් නැමැති ම්ලේච්ඡයා කටයුතු කෙළේ මුලින් කී “තමන්ගේ ජීවිතය විනාශ කර නොගන්න” යන කුරාණ දේශනාව අනුව නොව, ඉන් පසුව කී දේශනාවන් අනුව බව පැහැදිලි ය. ඒ දේශනාවන්ගෙන් ඔහු ආධ්‍යාත්මික ශක්තියක් සිය ම්ලේච්ඡ ක්‍රියාව වෙනුවෙන් ලබන්නට ඇති බව ද පැහැදිලි ය. 

ක්‍රිස්තියානි ආගම සම්බන්ධයෙන් පවතින්නේත් මෙවැනිම තත්වයකි. එය සාමයේ ආගමක් බව අප නිතර අසා ඇත. ඒ සඳහා නව තෙස්තමේන්තුවෙන් පාදක කරගන්නා ඉතා හරවත් ධර්ම කොටස් බොහොමයක් තිබේ. ඉන් සමහරක් මෙසේ ය: 

“සාමය ඇති කිරීමට වෙහෙසෙන අය සන්තෝෂ වෙත්. මන්ද, ඔවුන්ව ‘දෙවිගේ පුත්‍රයන්’ ලෙස හඳුන්වනු ලබයි.” (මතෙව්- 5:9) 

“මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කළත්, ඔබට විරුද්ධව බොරු චෝදනා නැගුවත්, සියලු ආකාර දුෂ්ට දේ පැවසුවත්, ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න.” (මතෙව්- 5:11) 

“ඇසට ඇසක්, දතට දතක්’ කියා පැවසූ බව ඔබ අසා ඇති. නමුත් මා ඔබට කියන්නේ, දුෂ්ට අයට විරුද්ධව කිසිම දෙයක් නොකරන්න කියායි. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනිත් කම්මුලත් හරවන්න. ඔබට විරුද්ධව නඩු කියා ඔබේ ඇතුල් වස්ත්‍රය අයිති කරගන්න යමෙකුට අවශ්‍ය නම්, ඒ සමග ඔබේ පිට වස්ත්‍රයත් ඔහුට ගන්න ඉඩ හරින්න. (මතෙව්- 5:38-40)

“ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියාත්, ඔබේ සතුරාට වෛර කරන්න කියාත් පවසා ඇති බව ඔබ අසා ඇති. නමුත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න කියායි.” (මතෙව්- 5: 43-44)

දැන්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එසේ දේශනා කොට තිබියදී, එවැනි දහමක් වෙනුවෙන් එක්තරා කාලයකදී යුරෝපය විනාශ කළ කුරුස යුද්ධ ඇති වුණේ කෙසේද යන ප්‍රශ්නය මතුවෙයි. ඊට පිළිතුරත් යේසුස් වහන්සේගේම දේශනාවලින් සැපයෙයි.   

“මා මෙලොවට සාමය දෙන්න පැමිණියා කියා නොසිතන්න. මා ආවේ කඩුවක් දීමට මිස සාමය දීමට නොවෙයි.” (මතෙව්- 10:34) 

“මට වඩා පියාටවත් මවටවත් ආදරය කරන තැනැත්තා මට සුදුසු කෙනෙක් නොවෙයි. මට වඩා පුතාටවත්, දුවටවත් ආදරය කරන තැනැත්තා මට සුදුසු කෙනෙක් නෙවෙයි.” (මතෙව්- 10:37) 

“යමෙක් තම ජීවිතය රැකගන්න කොතරම් උත්සාහ කළත් ඔහුට එය නැති වෙයි. නමුත් මා නිසා තම ජීවිතය අහිමි කර ගත් තැනැත්තාට එය නැවත හිමි වෙයි.” (මතෙව්- 10:39)

එකම ආගමක් තුළ, හිංසාව/අවිහිංසාව ගැන මෙවැනි එකිනෙකට සපුරා පටහැනි දේශනා පවතින්නේ කෙසේද ?

මේ සියල්ලෙන් පෙනී යන්නේ, ආගම නූතන සමාජ යහපත සඳහා යොදා ගැනීමට නම් මූලික ප්‍රතිසංස්කරණවලට භාජනය විය යුතුව ඇති බවයි. ඊට කලින්, පොදු සමාජ අවකාශයෙන් ආගම බැහැර කොට, එය පුද්ගල අවකාශයට සීමා කළ යුතුව ඇති බවයි. විශේෂයෙන් ලංකාව වැනි රටකට මෙය අත්‍යාවශ්‍යව පවතී. මන්ද යත්, ලෞකික විය යුතුව ඇති පොදු සමාජ අවකාශය, මෑතක සිට ලංකාවේ බරපතල ආගමික ආක්‍රමණයකට යටත් වෙමින් සහ යටත් කර ගනිමින් තිබෙන බැවිනි. එසේ වී ඇත්තේ, ආගම සහ රාජ්‍යය, ලංකාව තුළ මේ මොහොතේ අනාචාර දීගයකට යමින් තිබෙන බැවිනි. 

රාජ්‍යය යනු හුදෙක් දේශපාලඥයන්ගේ ක්ෂේත්‍රය පමණක් වශයෙන් සරලව ගත යුතු නොවේ. රාජ්‍ය මතවාදය, රාජ්‍ය සේවය, කලාව, සංස්කෘතිය, ආර්ථිකය සහ සමාජ ක්‍රියාකාරීත්ව ආදී සියල්ල එකී රාජ්‍යය යන්නට ඇතුළත් ය. උදාහරණයක් වශයෙන්, කෙටිකතාකරුවෙකු ආගමික කාරණයක් අරභයා ඇප නොලැබෙන පරිදි දීර්ඝ කාලයක් අත්අඩංගුවේ තබාගත යුතුව ඇතැයි පොලිස් නිලධාරියෙකු තීරණය කිරීම පසුපස තිබෙන්නේ, අධිකාරීවාදී ආගමික මතවාදයකට රාජ්‍ය මතවාදය යටත් කර ගැනීමක් බව පෙන්වා දිය හැකිය.

කාදිනල් මැල්කම් රංජිත් පියතුමා පසුගිය දා අපූරු ප්‍රකාශයක් කෙළේය. තමාගේ ආගම යුරෝපයෙන් තමාට ලැබී තිබීම ගැන තමා ලැජ්ජාවට පත්වන බව කියා සිටි ඔහු, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ යුද්ධ ඇති වී නැති බව පෙන්වා දුනි. ලැජ්ජාවට හේතුව වශයෙන් ඔහු කියා සිටියේ, අද යුරෝපයේ පල්ලි හිස්ව ගොස් තිබීම ය. යුරෝපයේ යුද්ධ නැති වීමට හේතුව වශයෙන් ඔහු කියා සිටියේ, ඔවුන්ගේ යුද්ධ දැන් ඔවුන්ගේම අවි වෙළඳාම හරහා අපේ කලාපයට අපනයනය කොට ඇතැයි යන කාරණයයි. එනම්, ඔවුන් අවි ආයුධ නිෂ්පාදනය කොට අපට විකුණා ගැනීම සඳහාම අපේ කලාපයේ යුද්ධ පවත්වාගෙන යන්නේය යන අදහසකි.  

යුරෝපයේ යුද්ධ සහ ආගම පිළිබඳ ඔහුගේ මේ ‘විවරණය’ යල්පැනගිය මතවාදයක් වීමට අමතරව එය ඔහුගේම මතවාදයට එරෙහි පාරාවළල්ලක් ද වන බව ඒ ගැන පරීක්ෂාවෙන් බැලූ විට පෙනී යයි.  

කාදිනල්වරයාගේ පල්ලියත් සමග එක්ව යුරෝපා රටවල රාජ්‍යයන් මිනිමරා ගත් සැටි මේ ලිපි මාලාවේ මීට කලින් විස්තර කොට තිබේ. අවසාන වරට ඔවුන් එසේ එකිනෙකා මරාගත්තේ 1939-1945 කාලයේදී ය. එනම්, පසුගිය හැත්තෑ වසර තුළ ඔවුන් අතරේ යුද්ධ තිබී නැති බවයි. කාදිනල්වරයා කියන යුරෝපයේ පල්ලි හිස්වීම පටන් ගත්තේ කවදා සිට ද? 1789 ප්‍රංශ විප්ලවයෙන් පටන්ගෙන, රාජ්‍යයෙන් පල්ලිය පිටමං කිරීමේ ව්‍යායාමය, 20 වැනි සියවස වන විට ඔවුන් මස්තකප්‍රාප්ත කරගෙන තිබුණි. අද ඒ කලාපයේ පල්ලි හිස්ව ඇත්තේ එබැවිනි. එසේ හිස්වීම නිසා, ඔවුන්ගේ රටවල අපරාධ, මිනිමැරුම්, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය, මානව හිමිකම් උල්ලංඝනයන් හෝ වෙනත් සමාජ අවකල්ක්‍රියා, ලෝකයේ වෙනත් කලාපයකට වඩා වැඩි වී ඇතැයි කාදිනල්වරයාට පෙන්වා දිය හැකිද? 

දියුණු ලෝකය අපේ කලාපයට ආයුධ අපනයනය කිරීම නිසා ඔවුන්ගේ කලාපය යුද්ධවලින් විනිර්මුක්ත වී ඇතිවා නොව, සත්‍යය වන්නේ ඔවුන්ගේ කලාපයේ පල්ලි හිස් වීම නිසා යුද්ධත් නැති වී ඇති බවයි. ඔවුන් යුද්ධ කළ කාලයේ පල්ලි පිරී තිබුණි. දැන් පල්ලි හිස්වන කාලයේ යුද්ධත් නැතිව ගොසිනි. කාදිනල්වරයා මතක තබාගත යුතු කාරණය වන්නේ, ඔවුන් ආයුධ පමණක් නොව, ආගමත් අපේ කලාපයට අපනයනය කොට ඇති බවයි. පල්ලි, පන්සල්, කෝවිල් පිරී තිබෙන කාලයක, යුද්ධ සහ ත්‍රස්තවාදී ව්‍යාපාරවලින් අපේ කලාපය රෝගී වී සිටීමේ රහස ඇත්තේ එතැන ය.


සබැඳි පුවත් 









0 comments: