Hot!

ප්‍ර‍චණ්ඩත්වයෙන් තොර රටක් වෙනුවෙන් ‘අප ඇය සමග’


කාන්තාවන්ට එරෙහි ප්‍ර‍චණ්ඩත්වය මහජන සෞඛ්‍යය සහ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍ර‍ශ්නයක් ලෙස ලොව පුරා පිළිගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අනුග්‍ර‍හයෙන් පළාත් පහක කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වූ පරිදි ශ්‍රී ලංකාවේ කාන්තා මිනීමැරුම් අතරින් තුනෙන් එකක් ම සමීපතම සහකරුගේ ප්‍ර‍චණ්ඩත්වය සමග සම්බන්ධ ය. එවැනි සිදුවීම් අතරින් 69%ක් ම වාර්තා වන්නේ ද නැත.

රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය ආමන්ත්‍ර‍ණය කිරීම සඳහා 2018 වසරේදී ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය විසින් කැනඩා ඩොලර් 900,000ක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට ලබා දෙන ලදී. වසර දෙකහමාරක් තුළ දිවෙන මෙම ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමදුල විසින් කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ සහයෝගයෙන් දියත් කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, රාජ්‍ය අංශයේ නිලධාරීන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයෙන් පීඩාවට පත්ව බේරුණු පුද්ගලයන්ට තම ආරක්ෂාව, යහපැවැත්ම සහ යුක්තිය වෙත ප්‍රවේශය ලබාගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා ලබාදීමට කටයුතු කරන බව තහවුරු කිරීමයි.

මෙම ව්‍යාපෘතිය හරහා මෙතෙක් සම්පූර්ණ කර තිබෙන කාර්යභාරය අවධානය කරමින් ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා ව්‍යාපෘතියේ ප්‍ර‍ගති විවරණ උපදෙස් විමසීමක් පසුගිය ජුනි 6දා පැවැත්විණි.

දර්ශනා සේනානායක


මෙම අවස්ථාව අමතමින් කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දර්ශනා සේනානායක මෙසේ පැවසුවා ය. “කාන්තාවන්ට එරෙහි ප්‍ර‍චණ්ඩත්වය පිළිබඳ සාක්ෂි මත පදනම් වූ ප්‍ර‍තිපත්ති කිසිවකු අත්හැර නොදමා කටයුතු කිරීම සඳහා ඉතා වැදගත් ය. ශ්‍රී ලංකාවේ ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය ආමන්ත්‍ර‍ණය කිරීමේ ධාරිතාවන් ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය සුවිසල් දායකත්වයක් සපයා තිබේ.”

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්දු බණ්ඩාර මැතිනිය මෙසේ පැවසුවා ය: “කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි ප්‍ර‍චණ්ඩත්වය පිළිබඳ දත්ත ප්‍රශ්නයේ ගැඹුර වටහාගැනීමටත්, ප්‍ර‍චණ්ඩත්වයේ වින්දිතයන්ට සහයෝගය ලබාදීමට ආයතනගත සහ සම්බන්ධීකරණය කරන ලද ප්‍ර‍තිචාරයක් තහවුරු කිරීමටත් ඉතා වැදගත් ය.”




''ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාව පාස්කු ඉරිදා සිද්ධියෙන් දුටුවා''



එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් උපදෙස් විමසීම අමතමින් මෙම අදහස් පළ කළා ය: “ප්‍ර‍චණ්ඩත්වය නම් ප්‍ර‍ශ්නය ආමන්ත්‍ර‍ණය කිරීමේ හදිසි අවශ්‍යතාව පාස්කු ඉරිදා ඛේදනීය සිදුවීම විසින් අප සියලු දෙනාට නැවත මතක් කරන ලදී. සාමකාමී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය ආමන්ත්‍ර‍ණය කිරීම ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීමේදී ඉතා වැදගත් පියවරකි. සියලු දෙනා වඩා හොඳින් ඇතුළත් කරගන්නා වූ, විවිධත්වයට ගරු කරන්නා වූ සහ ප්‍ර‍වර්ධනය කරන්නා වූ සමාජයක් දෙසට රට යන ගමනෙහිදී ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව ප්‍ර‍වර්ධනය කිරීම ඉතා වැදගත් කාර්යයකි.”








''ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවට ප්‍රධාන බාධකයක් වන්නේ ප්‍රචණ්ඩත්වයයි'' 


ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන උපදේශක සහ සහයෝගිතා ප්‍ර‍ධානී ක්ලෝඩ් ගවුලට්  පහත සඳහන් කරුණු පෙන්වා දුන්නේ ය. “ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවට ප්‍ර‍ධාන බාධකයක් වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයයි. කැනඩාව මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවකු වන්නේ මහත් සතුටිනි. එය කැනඩාවේ ස්ත්‍රීවාදී ජාත්‍යන්තර සහාය ප්‍ර‍තිපත්තියේ ප්‍ර‍ධාන මුලපිරුමකි.”

ක්ලෝඩ් ගවුලට් 

''ලිංගික හා ස්ත්‍රී   පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය වී තිබෙනවා''

ව්‍යූහාත්මක ප්‍ර‍චණ්ඩත්වය අවබෝධකරගැනීමේ වැදගත්කම පිළිබඳ කතා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම  මෙම කරුණු අවධාරණය කළා ය: “පිරිමින් සහ ගැහැණුන් හැසිරිය යුතු ආකාරය පිළිබඳ ප්‍ර‍තිමාන ගොඩනගන සමාජානුයෝජන ක්‍රියාවලිය හේතුවෙන් ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය ඉතා සාමාන්‍යකරණය වී තිබේ. මෙය කාන්තාවන්ගේ ප්‍ර‍ජනන සෞඛ්‍යයට සහ හිමිකම්වලට බලපායි. කාන්තාවන්ට ඔවුන්ගේ කැමැත්ත අනුව තමන්ට අවශ්‍ය දරුවන් ගණන සිටිනවා ද? නැතිනම්, එය සිදුවන්නේ සංස්කෘතික බලපෑමක් අනුව ද?” යි ප්‍ර‍ශ්න කළ ඇය මෙසේ ද පැවසුවා ය: “පසුගිය වසර කීපය තුළ ශ්‍රී ලාංකික කාන්තාවන් ජයග්‍ර‍හණ රැසක් ලබාගෙන තිබේ. එහෙත්, ව්‍යූහාත්මක ප්‍ර‍චණ්ඩත්වය හේතුවෙන් අපගේ ප්‍ර‍ගතියට බාධා සිදු වී තිබේ.” 


ආචාර්ය දීපිකා උඩගම

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව සෑම ආකාරයක ම ප්‍ර‍චණ්ඩත්වය පිටුදැකීම සඳහා සෑම නීති නිලධාරියකු, සෑම වෛද්‍යවරයකු, සෑම හෙදියක සහ සෑම රජයේ නිලධාරියකු ම සතු වගකීමක් තිබේ. ඔවුන් ඇය සමග ප්‍ර‍චණ්ඩත්වයෙන් තොර රටක් වෙනුවෙන් වැඩ කළ යුතු ය. අපට ප්‍ර‍චණ්ඩත්වයෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැක්කේ අප ඇය සමග නැගීසිටින්නේ නම් පමණි. 


0 comments: