Hot!

ජාතික අනන්‍යතාවය පසෙක ලා දේශප්‍රේමය වැළඳ ගැනීමේ ඛේදවාචකය



ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ දේශපාලන වාතාවරණය දෙස බලන විට හඳුනා ගත හැක්කේ මහත් වියවුල් සහගත අනන්‍යතා අර්බුදයකි. වගකිව යුතු සහ වගවිය යුතු පිරිස් තම තමන්ගේ භූමිකා පටලවාගෙන අනෙකාට ඇඟිලි දික් කිරීම අප අර්ථ දැක්විය යුත්තේ කෙසේ ද ? සමාජයක් මෙසේ ව්‍යාකූල වන්නේ ඇයි ? මීට පිළියම් යෙදිය යුත්තේ කෙසේ ද ? මෙම ලිපියෙන් අපේක්ෂා කරනුයේ ඉහත කාරණා කෙරෙහි යම් ප්‍රාමාණික අවධානයක් යොමු කිරීමටයි.

ජාතිකවාදය කුමක් සඳහා ද ?

තෝරාගත් ආගමික සහ ආර්ථික මර්මස්ථානවලට 2019 අප්‍රේල් 21 දා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් අනතුරුව ශ්‍රී ලාංකීය සමාජය යම් ආකාරයක ජාතිකවාදී ප්‍රහේළිකාවක පැටලී සිටින බව දැකිය හැකිය. එතෙක් මධ්‍යස්ථ මතධාරීන් ලෙස පෙනී සිටි පිරිස් ද ක්ෂණික හැරවුමක් ගෙන අන්ත ජාතිවාදී, වර්ගවාදී, ආගම්වාදී ස්ථාවරයන්හි එල්බගෙන සිටිති. සමාජය සැනෙකින් මරණීය රෝගයකට ගොදුරු වී ඇති සෙයකි. තම අසල්වැසි මුසල්මානුවා අවිශ්වාස කරන, තම පෞද්ගලික ලිංගික ජීවිතයට මුසල්මානුවන් තර්ජනයක් යයි සිතන, තම පෞද්ගලික මෙන්ම පොදු අවකාශයේ ද ඇති සියලු අතීත, වර්තමාන, අනාගත ප්‍රශ්නවල මූලය මුසල්මානුවන් යයි කිසිදු සැකයකින් තොරව විශ්වාස කරන සිංහල-බෞද්ධ අන්තවාදී මතවාදය විසින් සමස්ත සමාජයම විකෘති කර තිබේ. 

ජාතිකවාදය (nationalism) හරහා සමාජයක සිදුවිය හැකි ප්‍රධාන සංසිද්ධීන් දෙකක් හඳුනා ගත හැකිය. පළමුවැන්න නම්, අන්ත දේශප්‍රේමයයි (patriotism). එනම්, තම රට කෙරෙහි යමෙකු ඇතිකරගන්නා අසීමිත ඇල්ම සහ බැඳීමයි. මෙම දැඩි ඇල්ම සහ බැඳීම කෙනෙකු අන්තවාදය වෙතත්, ඒ හරහා ස්වයං විනාශය වෙතත් ඇද දමයි. දෙවැන්න නම්, ජාතික අනන්‍යතාවයයි (national identity). අසීමිත දේශප්‍රේමය විසින් සමාජයක් විනාශය කරා පොළඹවන විට, ඊට වෙනස්ව, ජාතික අනන්‍යතාවය ගොඩනැගීම හරහා රාජ්‍යයක වෙසෙන ජනතාව අතර සහජීවනය, සාමය සහ සංහිඳියාව වර්ධනය කොට ඔවුන් ප්‍රගතිය වෙත රැගෙන යා හැකිය. 

බහු වාර්ගික, බහු ආගමික සහ බහු සංස්කෘතික සමාජයක් ලෙස ප්‍රචලිත වුවත්, අතීතයේ පටන් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබුණේ විවිධ ජනවර්ගයන් උත්තම ලෙස සලකා දේශප්‍රේමය දිරි ගැන්වීම මිස ජාතික අනන්‍යතාවය ගොඩ නැංවීමේ උත්සාහයන් නොවේ. රාජ්‍ය නායකයන් ජනවාර්ගික භේද පුළුල් කර වාර්ගික අර්බුද තව තවත් වර්ධනය කළා මිස ඒවා සමනය කිරීමට දායක වී නැති තරම්ය. ශ්‍රී ලංකාවේ මෙතෙක් තෝරා පත් කරගත් ආණ්ඩු සියල්ලම අන්තවාදී, ජාතිවාදී බලවේගවල සහයෙන් බලයට පත් වී, අනතුරුව එම බලවේගවලටම නතු වී, බලය බෙදීම සහ විමධ්‍යගතකරණය වෙනුවෙන් එම ආණ්ඩු විසින්ම පත් කරන ලද කොමිෂන් සභා සහ කමිටුවල නිර්දේශ හකුළා ගෙන තිබේ. 

ආඥාදායකත්වය වීරත්වයක් ලෙස අර්ථ ගැන්වීම

උතුරේ මතු වූ සන්නද්ධ ව්‍යාපාරය සහ දකුණේ ආයුධ සන්නද්ධ කැරලි හරහා පිළිබිඹු වූයේ, එක් ජනවර්ගයක් උත්තරීතර කොට සැලකීම වෙනුවෙන් වූ මාරාන්තික සටන්ය. තම රටේම තවත් ජන කොටසකට එරෙහිව අවි දැරීම අසීමිත දේශප්‍රේමයෙන් අන්ධ වූවන්ගේ ක්‍රියාවක් මිස අන් කුමක් ද? මෙම සන්නද්ධ ගැටුම්වලට එරෙහිව යොදවන රාජ්‍ය හමුදා බලය ද දේශප්‍රේමයේ සංකේතයක් ලෙස හුවා දැක්වීම අතිශය වියවුල්සහගතය. සිය දේශපාලන බල ව්‍යාපෘතිවල පැවැත්ම වෙනුවෙන් කුරිරු සන්නද්ධ ගැටුම් සාධාරණීකරණය කිරීම සහ ඒවා වීරත්වයෙන් සැලකීම ආඥාදායක පාලකයන්ගේ ලක්ෂණයකි. ඒ සඳහා රාජ්‍ය වැටුපට සේවයේ යෙදෙන හමුදා සෙබළුන් හිටිවනම ‘රණවිරුවන්’ ලෙස නාමකරණය කිරීමට ඔවුන්ට හැකිය. දේශප්‍රේමය ද, ආඥාදායකත්වය ද එකට ගැට ගැසෙන්නේ එසේය. 

දේශප්‍රේමය සහ ජාතික අනන්‍යතාවය

ඓතිහාසික උරුමයන් සහ ජනවාර්ගික ආගමික මුලයන් මත පදනම් වී සිය ජාතිය නිර්ණය කර ගැනීම ජනවාර්ගික ජාතිකවාදය (ethnic nationalism) ලෙස හැඳින්වේ. මෙම සංකල්පයට යම් ජනවර්ගයක් අසීමිත දේශප්‍රේමය කරා පෙළඹවිය හැකිය. යම් රාජ්‍යයක අයිතිය එක් උත්තම ජන වර්ගයකට අයත් උරුමයක් බවට වූ විශ්වාසය සහ ඒ වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කිරීම එම අසීමිත දේශප්‍රේමයේ ලක්ෂණයකි. එය මාරාන්තිකය; වැළඳුනොත් සමනය කිරීම දුෂ්කරය. අවසානයේ උරුම වන්නේ මිනී කඳු, අනවරත වෛරය සහ අනෙකා කෙරෙහි වූ නොනිමි සැකය සහ ද්වේශයයි. 

මීට වෙනස්ව, ප්‍රජා නැතහොත් නිදහස් ජාතිකවාදය (civic nationalism) තුළින් උලුප්පා දක්වන්නේ, ජාතික අනන්‍යතාවයක් ගොඩනංවා ගැනීමේ හැකියා සහ අවශ්‍යතායි. මෙහිදී ඓතිහාසික, ජනවාර්ගික සහ ආගමික උරුමයන් අභිභවා පුද්ගල අයිතිවාසිකම් සහ එකිනෙකා කෙරෙහි වූ විශ්වාසය සහ ගරුත්වය මත පදනම් වූ ජාතික අනන්‍යතාවයක් ගොඩනැගීම අදහස් වේ. බහුවාර්ගික, බහු ආගමික සහ බහු සංස්කෘතික රාජ්‍යයන්හි ආණ්ඩු විසින් අනුගමනය කළ යුත්තේ එයයි; සියලු පුරවැසියන් දිරි ගැන්විය යුත්තේ එවැනි ආස්ථානයක් වෙතයි. යටත්විජිත පාලකයන්ගෙන් නිදහස ලබා වසර 71 ක් ගතවීත් ‘ශ්‍රී ලාංකීය ජාතිය’ ලෙස ජාතික අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට නොහැකිවීම අපගේ මහත් අසමත්කමක් ලෙස හඳුනාගත යුතුය.
ශ්‍රී ලංකාවේ අනන්‍යතා අර්බුදය: තම තමන්ගේ භූමිකා පටලවා ගැනීම

නමුත් නූතන ශ්‍රී ලංකාවේ බොහෝ වගකිවයුත්තන් තම අනන්‍යතාවය ද අර්බුදයේ හෙළාගෙන සිටින තත්ත්වයක් තුළ ජාතික අනන්‍යතාවයක් ගොඩනංවන්නේ කෙලෙස ද? ආගමික පූජකයන් දේශපාලනයේ නිරත වෙමින් ජනතාව ආගමික රාජ්‍යයක් වෙත දැක්කීමත්, ජනමාධ්‍යකරුවන් සහ මාධ්‍ය ආයතන සිය විචාරශීලී වගවීම අමතක කොට කසළ ශෝධකයන් සහ ඕපාදූපකරුවන් ලෙස හැසිරීමත්, වෛද්‍ය වෘත්තිකයන් මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන යෝජනාවලි ඉදිරිපත් කිරීමත්, විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු ස්වකීය විද්‍යාත්මක පර්යේෂණ පසෙක තබා දැඩි දේව විශ්වාසයන්හි සහ අන්තගාමී මිත්‍යාමතික ස්ථාවරයන්හි එල්බ ගැනීමත් අහඹු සිදුවීම් නොවේ. 

ජාතිවාදය, අන්තවාදය සහ වර්ගෝත්තමවාදය අවුස්සා ප්‍රචණ්ඩත්වය සහ භීතිය වැපිරීමෙන් ආඥාදායක නිර්ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සාධාරණීකරණය කිරීම මොවුන්ගේ පරම අභිප්‍රාය බව පැහැදිලිය. මේ අර අඳින්නේ දේශප්‍රේමයේ නාමයෙන් ලේ වගුරුවා, ඒ මතින් දේශපාලන බලය අත්පත් කර ගැනීමටයි. සිය භූමිකා පටලවාගෙන, අනන්‍යතාවය සොයා අන්‍යයන් හෙළා දැකීම කිසිසේත් අවංක චේතනාවෙන් කරන්නක් නොවේ. එය හැඳින්විය යුත්තේ නිසැකයෙන්ම දේශපාලන අවස්ථාවාදය ලෙසයි. නමුත් ලාංකීය පුරවැසියන් මෙම අවස්ථාවාදී බලවේග සමග ඒකරාශී වීම යනු, තවත් දශක ගණනාවකට ජාතික අනන්‍යතාවය ගොඩනැගීම සිහිනයක් බවට පත්වීමයි. 

ලෞකික අනාගමික රාජ්‍යයක් ගැන කතා කිරීම පවා අපරාධයක් ලෙස හෙළා දකින සන්දර්භයක් තුළ ශ්‍රී ලංකාවේ අනාගතය ද දේශප්‍රේමී ජාතිකවාදීන්ගේ අවස්ථාවාදී කුරිරු බල ලෝභයට යටත් වීමට නියමිතය. ඛේදවාචකය වන්නේ, කිසිදු ආණ්ඩුවකට මෙම අවස්ථාවාදීන් ප්‍රතික්ෂේප කර, ආණ්ඩු බලය පවත්වාගෙන යාමට නොහැකි වීමයි. බොරුවෙන් රට ගිනි තැබීමටත්, සිය දේශප්‍රේමය වංචාසහගත ලෙස විකිණීමටත්, ඒ හරහා ජනතාව මුලා කිරීමටත් මොවුහු සැදී පැහැදී සිටිති. 

විනාශයට එරෙහිව සහජීවනය

කළ යුත්තේ හැකි සෑම අවස්ථාවකම කොන්දේසි විරහිතව මෙම අන්තවාදී ජනවාර්ගික ජාතිකවාදය හරහා ඉස්මතුවන අතිශය විනාශකාරී දේශප්‍රේමී රංගන ප්‍රතික්ෂේප කිරීමයි; නිදහස් ජාතිකවාදය කෙරෙහි ප්‍රජාව දිරිගන්වා ශ්‍රී ලාංකික ජාතික අනන්‍යතාවයක් ගොඩ නැංවීම වෙනුවෙන් හඬ නැගීමයි; සහජීවනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමයි. මෙය මේ යුගයේ අසීරු උඩුගම් බලා පිහිනීමක් වුව ද ඉතිරි වී සිටින අතලොස්සක් විචාරශීලී ශාස්ත්‍රීය ප්‍රජාවට අයත් වගකීමක් බව අවධාරණය කළ යුතුය. මෙම සටහන එම වගකීම පුනරාවර්ජනය කිරීම වෙනුවෙනි.


ආචාර්ය ඉන්දි අකුරුගොඩ
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය

0 comments: