Hot!

මහනුවර නගරය පුළුල් කරන්න ජපානයේ සහය


ජපානයේ ඓතිහාසික කියෝතෝ නගරය පාරම්පරික උරුමය ආරක්‍ෂාවන සේ නවීකරණය කළ ආකාරයටම ඓතිහාසික මහනුවර නගරය ද පුළුල් කරලීමේ සැලසුම් සකස් කිරීමට ජපානයේ සහය ලබාදීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජපාන අගමැතිගේ විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි  අතර ඊයේ (21) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේ දී විශේෂයෙන් අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවට මිත්‍රශීලී සහයෝගය පුද කිරීම සඳහා ජපානය සැමවිටම සූදානමින් සිටින බව අවධාරණය කළ ඉසුමි මහතා  ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කාර්යයන් සඳහා ජපාන, යෙන් බිලියනයක ප්‍රදානයක් ලබා දීමට කටයුතු කරන බව ද පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගය, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය, එල්එන්ජී විදුලි බලාගාරය හා කොළඹ සැහැල්ලූ දුම්රිය සේවය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආයෝජන සැලසුමක් සැකසීමේ වැදගත්කම සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ කරුණු ගෙනහැර දැක්වීය. එසේම ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව එක්ව සංවර්ධන කාර්යයන් සඳහා කටයුතු කිරීම පිළිබඳව ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා දරන ප්‍රයත්නය පිළිබඳව ද අගමැතිවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. ඒ ප්‍රයත්නය සඳහා ජපානයේ උපරිම සහයෝගය හා දායකත්වය ලබා දෙන බව ඉසුමි ප්‍රකාශ කළේය.

කලාපීය සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රවණතා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි. ඉන්දීය හා ශාන්තිකර සාගර කලාපයන්හි නිදහස් නාවුක ගමනාගමනය හා සාමය තහවුරු කරලීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.


මෙම අවස්ථාවට ජපානයේ කැබිනට් මණ්ඩලයේ විශේෂ උපදේශක සහ ගුණාත්මක යටිතල පහසුකම් ආයෝජන ප්‍රවර්ධන පිළිබද ආර්ථික සහයෝගීතා තානාපති ෂිංජරු කියමා, ජපන් අගමැතිගේ පෞද්ගලික ලේකම් හා විශේෂ උපදේශක තකාෂි ෂිබාටා, මුදල් අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ යුචි ඔබා, වරාය සහ වරාය කාර්යාංශයේ කර්මාන්ත හා වරාය ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්‍ෂ සටරෝ ඔසුමි, ජාත්‍යන්තර ව්‍යාපෘති, යටිතල පහසුකම් සහ ජල කර්මාන්ත ප්‍රවර්ධන අධ්‍යක්ෂ තකාෂි යොෂියෝකා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගීතා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ සැලසුම් II ජිනිචි කාඩොවොකි, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා, පළමු ලේකම් චිහාරු හොෂියායි, ශ්‍රී ලංකාවේ ජයිකා (JICA) ආයතනයේ ප්‍රධාන නියෝජිත ෆුසාටෝ තනාකා යන ඇතුළු නිලධාරීහු ජපාන පාර්ශ්වය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වූහ.


ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, මංගල සමරවීර, රවී කරුණානායක, සාගල රත්නායක, සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ආදී පිරිස ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.


0 comments: