Hot!

රතන හිමියන්ට අමතක වූ කෝසම්බි ජාතකය




1983 කළු ජූලියෙන් පසු ඉන්දීය මාධ්‍යවේදිනී ඇනිටා ප්‍රතාප් සමග 1984 මාර්තු මසදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙන ප්‍රභාකරන් ජේ. ආර්. ජයවර්ධන ජනපතිවරයා ගැන පළකල අදහස් මෙහි උපුටා දක්වන්නේ අප අප දෙසම නැවත හැරී බලමු යන ආරාධනය ද සිදුකරමිනි. ඇනිටා ප්‍රතාප්, ප්‍රභාකරන්ගෙන් විමසන්නේ, 

‘ඔබ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ගැන දරන්නේ මොනවගේ ආකල්පයක්ද ?‘ යන්නයි. 

පෙරළා පිළිතුරු දෙන ප්‍රභාකරන් පවසන්නේ, 

‘ජයවර්ධන හැබෑම බෞද්ධයෙක් වුණා නම් අද මගේ අතේ තුවක්කුවක් තියෙන්නේ නැතිවෙයි‘ යන්නයි. 1983 එනම් අදින් වසර 36 කට පෙර කියූ කතාව අදටත් නොවෙනස් බව වැටහෙන්නේ මේ සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රභාකරන් සිංහල බෞද්ධ භික්ෂූන් ගැන පැවසූ අදහස්  සොයා බලන විටයි. 

‘බෞද්ධ භික්ෂූන් ලංකාවේදී ඉටුකරන්නේ මොනවගේ කාර්යභාරයක්ද ?’ ලෙස ඇනිටා විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන ප්‍රභාකරන් පවසන්නේ, ‘බෞද්ධ භික්ෂූන් ලංකාවේ දේශපාලන ප්‍රවණතා හැඩගස්වද්දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරනවා. සිංහල ජනතාව අතර දමිළ විරෝධී හැඟීම් අවුස්සමින් ඔවුන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනවා’ 

සිංහල - බෞද්ධ දේශපාලනය

ලංකාව වසර 2500 ක අභිමානවත් ලිඛිත ඉතිහාසයකින් මෙන්ම ඊට එහා ගිය අලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන රටකි. වරින් වර කලාපීය රාජ්‍ය නායකයින්ගේ බලපෑම් වලට ද පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතිකයින්ගේ බලපෑම් වලට ද මෙරට ලක්විය. රට තුළ කලින් කලට ඇතිවූ වියවුල්කාරී තත්ත්වයන් ද සමග රජ සමයේදී සිට මෙරට බල දේශපාලනයේ නොබිඳෙන සංකේතය බවට පත්ව තිබූ සිංහල බෞද්ධ රාජ්‍යය යන සංකල්පය අභියෝගයට ලක්විය.
  
රට පුරා නැගි කැරලි කෝලාහල, දිගු කලක් පුරා රටේ බහුතරය නියෝජනය කළ සිංහල බෞද්ධ ප්‍රජාව හා දමිළ මෙන්ම මුස්ලිම් ප්‍රජාව අතරද ගැටුම් ඇතිවන්නට වූ අතර නිදහසින් පසු දිගු කාලයක් මෙරට පීඩා වින්ඳේ උතුරේ පැවති ත්‍රස්තවාදී යුද්ධයෙනි.  

කිසිලෙසකින්වත් සිංහල බෞද්ධ රාජ්‍යය දෙකඩ කිරීමේ අදහසට බහුතර සිංහල ප්‍රජාවෙන් ඉඩක් නොලැබුණි. දමිළ ජනතාව වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලා එදා සටන් කළ ප්‍රභාකරන් මෙන්ම සාමකාමී මුස්ලිම් නායකයින් හා අද කතෝලික පල්ලිය නියෝජනය කරන අති උතුම් කාදිනල්තුමාගේ පවා විශ්වාසය වී තිබෙන්නේ මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් බවයි. 

යුද්ධයෙන් පසු අතිශය සුළු සිද්ධි මූලික කරගනිමින් සිංහල බෞද්ධ ප්‍රජාව හා මුස්ලිම් ජනතාව අතර කලහකාරී තත්ත්වයන් ඇතිවිය. මේ සමග සිංහල බෞද්ධ රාජ්‍යයේ ප්‍රධාන සතුරන් ලෙස එතෙක් දැනසිටි දමිළ ප්‍රජාව වෙනුවට මුස්ලිම් ප්‍රජාව ආදේශ විය. නමුත්, මෙරට තුළ ජීවත් වූ කතෝලික ජනතාව සිංහල බෞද්ධ ප්‍රජාව මෙන්ම මුස්ලිම් හා දමිළ ප්‍රජාව සමග පවා ගැටුම් ඇතිකර නොගනිමින් සාමකාමී ලෙස දිවිගෙවූ පිරිසක් විය. හිටිහැටියේම, වසර ගණනාවක් පුරා මෙරට තුළ පෝෂණය වී හැදී වැඩුණු සහරාන් ඇතුළු මුස්ලිම් ජාතික ත්‍රස්ත කල්ලිය මේ සාමකාමී ප්‍රජාව පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයේදී ගින්නෙහි දවාලන්නට කටයුතු කළහ. 

අන්තවාදී මුස්ලිම් ජාතිකයින් අතලොස්සක් එක්වී සිදුකළ මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසු සියලුදෙනාගේ ඇගිල්ල යොමුවන්නේ සමස්ත මුස්ලිම් ජාතිකයින් දෙසටයි. මේ සැකයෙන් මුස්ලිම් දේශපාලන බලාධිකාරියට පවා ගැලවෙන්නට නොහැකි විය.  මේ සැකයේ පදනම කොතැනද ?. 

ලංකාවේ මුස්ලිම් දේශපාලඥයින්ගේ නැගී ඒම 

මෙරට දේශපාලන බලාධිකාරිය තිබූ මුස්ලිම් පිරිස් තමන්ට සිංහල ප්‍රජාවෙන් තර්ජනයක් එල්ලවෙන බව 1980 දක්වා පමණ තෙක් කල්පනා නොකළ අතර දමිළ පිරිස් සම අයිතීන් ඉල්ලා සිටින විට ඒ මඟ නොගිය මුස්ලිම් දේශපාලනඥයින් සිංහල දේශපාලඥයින්ගේ වැඩි බලාධිකාරියක් තිබූ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වීමට පටන්ගත්හ. දමිළ භාෂාව කතා කරන පිරිසක් ලෙස මෙකල සිටි දෙමළ දේශපාලඥයින් මුස්ලිම්වරු වෙනුවෙන් පෙනී සිටීමට පවා උත්සහ දැරූ අතර නැගෙනහිර සිදුවූ එල්ටීටීඊ නැගී ඒමත් සහ ඔවුන් නැගෙනහිර මුස්ලිම්වරුන්ට එරෙහි වීමත් සමග මේ තත්ත්වය ව්‍යර්ථ වී ගියේය. 1985 දී මුස්ලිම් කොංග්‍රසය පිහිටුවීම සුවිශේෂී සංධිස්ථානයක් වූ අතර කල් යාමත් සමග ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අත්‍යවශ්‍ය පිරිසක් බවට මුස්ලිම් ජාතික දේශපාලඥයින් පත්විය. 

මීට බොහෝ කලකට පෙර අන්තෝනියෝ ග්‍රම්ෂි ඉතාලිය කේන්ද්‍ර කරගනිමින් කටයුතු කළ සාම්ප්‍රදායික බුද්ධිමතුන් ගැන පැහැදිලි කළ අන්දම ගැන සඳහනක් මෙහි සිදුකළ යුතුවේ. ඉතාලියේ පාප්තුමා හා අනෙකුත් ප්‍රමුඛ පෙළේ ආගමික නායකයින් ගැන විස්තර කරන ග්‍රම්ෂි පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික බුද්ධිමතුන් සෑම සමාජයකම ඵෙතිහාසික බව බාධාවකින් තොරව රැගෙන යාමට අත්‍යවශ්‍ය සමාජ කොට්ඨාසයක් වී සිටින බවයි. 

ලාංකීය දේශපාලනයේ තීරණාත්මක සාධකය බෞද්ධ භික්ෂුවයි 

ඉතාලියේ සිට නැවත ලංකාව දෙස හැරී බැලුවහොත් බෞද්ධ භික්ෂුව මෙරට දේශපාලනයේ තීරණාත්මක සාධකයක් බවට පත්වූවේ මෑතකදී නොවන වග සනාථ වේ. අධ්‍යාපනයේ ප්‍රමුඛතමයින් ලෙස බෞද්ධ භික්ෂූන් දැනුමේ මූලිකයින් වූ අතර ඔවුන් දැනුම නිෂ්පාදනය කළ පිරිස අතරට අයත්ය. දැනුම බෙදාහැරීමේ ඒකාධිකාරිය පැවති මේ පිරිස හා සාමාන්‍ය ජනතාව අතර තිබූ හෙජමොනික සම්බන්ධතාව තුළ සාමාන්‍ය ජනතාවගේ මතවාද නියෝජනය කිරීමේදී සිය ඒකාධිකාරිය පැතිරවීමේ හැකියාව භික්ෂූන් සතුවිය. 

තත්ත්වය මෙසේ තිබියදී සිංහල බෞද්ධ ජාතිකත්වය මුල්කරගත් දේශපාලන පක්ෂයක් ලෙස 2004 දී ජාතික හෙළ උරුමය කරළියට පැමිණියේය. බෞද්ධ භික්ෂූන් මීට සවිබල දුන් අතර සමාරම්භක සාමාජිකයන් වූවේ කොළොන්නාවේ සුමංගල, උඩුවේ ධම්මාලෝක, එල්ලාවල මේධානන්ද, ඕමල්පේ සෝභිත, අතුරලියේ රතන යනාදී භික්ෂුන් හා තිලක් කරුණාරත්න ඇතුළු පිරිසයි. 

මෙලෙස සිය දේශපාලන ගමන් මගට අවතීර්ණ වූ අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනට සිය සහයෝගය ලබාදුණි. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළත් වූ උන්වහන්සේ මෙරට දේශපාලඥයින්ගේ ජනප්‍රියතම වැකියක් වන සිංහල බෞද්ධ ජාතිකත්වය නම් සටන් පාඨය සනොකඩාම ඉදිරියට ගෙන ගියේය. 

රතන හිමියන්ගේ මාරාන්තික උපවාසය 

එහි කූඨප්‍රාප්තිය වූවේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජීවිත පූජාවෙන් උපවාසයක් ආරම්භ කිරීමයි. එහි නිමිත්ත වූවේ කුමක්ද ?. පසුගිය මැයි 31 වැනිදා රතන හිමි ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමුකරමින් අතුරලියේ රතන හිමි පවසන්නේ, 

‘අන්තවාදී අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් තනතුරුවලින් ඉවත්කර සාධාරණ ලෙස පරීක්‍ෂණ සිදුකිරීමට ඉඩ සලසන මෙන් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් සහ දේශපාලන නායකයින් විසින් විටින් විට ලිඛිතව හා වාචිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටින ලදී. එහෙත් මේ දක්වා ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණ බැවින් මා ඇතුළු ආගමික නායකයික් අද දින අතිගරු මහානායක නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ජීවිත පූජාවෙන් උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව,

1. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා එම තනතුරින් ඉවත් කිරීම.
2. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා එම තනතුරින් ඉවත් කිරීම.
3. රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට අගමැතිවරයා දැනුවත් කිරීම.
4. සිංහල මව්වරුන් වඳභාවයට පත්කිරීමට කටයුතු කළ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහාබ්දීන් ඇතුළු වෛද්‍යවරුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ පරික්‍ෂා කිරීමට ස්වාධීන පරීක්‍ෂණ මණ්ඩලයක් පත් කිරීම. (කොළඹ හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහය ලබාගනිමින්)
5. එලෙස වෙෙද්‍යවරුන් විසින් මවිවරුන් වදභාවයට පත්කර ඇත්නම් එම මව්වරුන්ට වන්දි ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කිරීම.’ යන්නයි. 

දින හතරක කාලයක් පුරා එතැනට පැමිණි උවැසි වැසියන්ට අමතරවඋරතන හිමිට හිතවත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් ද උන්වහන්සේට ආශිර්වාද කරන්නට වූවේ දළදාව වැඳපුදාගන්නට ආ සැදැහැවත් උවැසි උවැසියන් පිරිසක් මෙනි. පෙර කී සැදැහැති උවැසි උවැසියන් රතන හිමිගේ මඟයමින් මාරාන්තික උපවාසයකට අවතීර්ණ නොවූවද, සිය දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද ඊට සහායදෙමින් අදහස් ව්‍යාප්ත කළේ භික්ෂුවක් ලෙස උන්වහන්සේ දියත් කරන අභීත ක්‍රියාවට සහයෝගය පළකරමිනි. 

රතන හිමිගේ උපවාසයට ‘තෙරුවන් සරණයි‘ යැයි පවසමින් සමාජ මාධ්‍ය තුළ කමෙන්ට් පළකල සිංහල බෞද්ධයින් පිරිසට අමතරව ඇතැමෙක් ‘මුස්ලිම්වරුන් මේ රටින් තුරන් කළයුතු බවට‘ වූ අදහසක් ද ව්‍යාප්ත කරන්නට විය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ‘අවිගත්තෝ අවියෙන්ම නැසෙති‘ යනුවෙන් මෙරට ජනතාවට  බුදුදහමින් පිළිතුරු දුන් කාදිනල් හිමිපාණන් ද අවසානයේදී රතන හිමියන්ගේ අරගලයට සුබ පතන්නට එක්විය. එසේම, සිරෙන් නිදහස් වී පැමිණි එ ඥාණසාර හිමි ද රතන හිමියන්ට සහාය පළ කළේය. 

කෙසේ හෝ වේවා රතන හිමි සිංහල බෞද්ධ බහුතරය සතුටු කරන්නට හෝ තම දේශපාලන අරමුණක් මුදුන් පමුණුවා ගන්නට හෝ සිදුකළ මෙම ක්‍රියාවෙන් අවසානයේ සිදුවූවේ දේශපාලනික වශයෙන් බෙදී සිටි මුස්ලිම් දේශපාලඥයින් එකට එක්වීමට අවශ්‍ය පසුබිම සකසා දීමයිය. මේ එක්වීම පවා සිංහල දේශපාලඥයින් මෙන්ම ඔවුන්ගේ බස් අසන ජනතාවට ‘නයාට අදුකොළ දුටුවාක් මෙන්‘ විය. ආණ්ඩුවේ ඇමතිධූර වලින් ඉවත්වී ගිය මුස්ලිම් ඇමතිවරු මෙරට දේශපාලන බලය හිමි පිරිසට බලපෑම් කළහැකි මල්වතු අස්ගිරි හිමිවරුන් හමුවී තමන්ට එල්ල වන චෝදනා ගැන කතාබහ කරන්නට විය. මේ අවස්ථාව ගැන ඉන් ටික කලකින් පසු සොනකර් වෙබ් අඩවියට අදහස් දැක්වූ රිෂාඩ් බදුර්දීන් පවසන්නේ, තමන් මල්වතු අස්ගිරි නාහිමිවරු හමුවේ තමන්ට එරෙහිව එල්ලවන අභූත චෝදනා ගැන පැවසුවද උන්වහන්සේලාගෙන් ද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.  

රතන හිමිගේ සැණකෙළිය 

එමෙන්ම, රතන හිමිගේ උමතුවත් සමග විවිධ මත දැරූ මුස්ලිම් දේශපාලඥයින් එකට එක්වීමට තුඩුදුන් සාධකය ගැන පැහැදිලි කරන රිෂාඩ් බදුර්දීන් මාධ්‍ය හමුවේ අනාවරණය කරන්නේ, ‘විශ්වාසභංග යෝජනාවට අපි මුහුණදෙන්න සූදානම් වෙලා හිටියේ. නමුත්, ඒකට පෙර අපි ඉල්ලා අස්වෙන්න ඕන කියලා රතන හිමි උපවාස කළා. ඊට පස්සේ ස්වාමීන්වහන්සේ කිව්වා ‘දවල් 12 වෙද්දි අයින් වුණේ නැත්නම් රට ඇතුළේ සැණකෙළියක් වෙයි කියලා‘ කිව්වා. ජනතාව ඒකරාශී වෙලා රට ඇතුළේ මොනම හරි වැරදි වැඩක් වෙයි කියලා අපි ඔක්කොම බය වෙලා රට වෙනුවෙන්, රට ඇතුළේ විනාශයක් වෙන්න නොදී සහජීවනය ආරක්ෂා කරන්න ඕන නිසා, අපි ඔක්කොම ෆවුසි ඇමතිතුමාගේ ගෙදර රැස්වෙලා තීන්දුවක් ගත්තා. තමන්ගේ දේශපාලනය මතය ඉස්සරහට දාගෙන වාසි ගන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා‘ යන්නයි. 

රතන හිමියන්ගේ සැණකෙළය භය  ගැන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රාවුෆ් හකීම්, හිරු ටීවී ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමින් අවධාරණය කරන්නේ, ‘රතන ස්වාමීන්වහන්සේ දළදා මාළිගය පරිශ්‍රයේදී පටන්ගත්ත ඒ උපවාසය පටන්ගනිද්දිම අපි දැනගත්තා මේ යන්නේ වෙන පැත්තකට කියලා. විශාල අනාරක්ෂිත තත්ත්වයක් රටපුරා හටගන්න හේතුවුණා. මේවා මර්දනය කිරීමට හදිසි නීතිය තිබියදීත් ආණ්ඩුව යම් අසරණ තත්ත්වයක තියෙනවා වගේ අපිට පෙනුණා. එදා අර දවල් 12 වෙනකොට සැණකෙළි බලාගන්න පුළුවන් කියන කතාවත් එක්ක විශාල භීතිකාවක්, ඒ විතරක් නෙමේ පොළොන්නරුවේ ඉඳලා අකුරණ පහුකරගෙන නුවර එනකල් හන්දියක් හන්දියක් ගානේම පිටස්තර පුද්ගලයෝ ඇවිල්ලා පොලු අරගෙන කළු කොඩි ඔසවමින්, කඩ වහන්න කියමින්, විශාල කාලගෝට්ටියකට ලෑස්ති වෙනවයි කියන වාතාවරණය ඇතිවුණා. ඒක සිද්ධ වුණේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙද්දි’ යනුවෙනි. මෙහිදී ආණ්ඩුව පිළිබඳ ඔවුන් තුළ තිබෙන අප්‍රසාදය ද හෙළිවිය. 

නැවතත් සහරාන්ලා බිහි කිරීමට ගර්භාෂ තනා දීම 

රතන හිමියන්ගේ මාරාන්තික උපවාසයෙන් පසු දේශප්‍රේමීත්වය පදනම් කරගනිමින් ඇතිවූ මේ බෙදීමත් සමග ත්‍රස්තවාදීන්ට එතෙක් අවශ්‍යව සිටි මධ්‍යස්ථ මත දරන මුස්ලිම් ප්‍රජාව අන්තවාදී මතවාද කරා රැගෙන ගොස් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය කඳවුර නිර්මාණය කරගැනීමට අනුබලයක් සපයා දුණි. 

රතන හිමියන්ගේ සැබෑ අභිලාෂය වූවේ සැබැවින්ම රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි හා හිස්බුල්ලාගේ දේශපාලනයට පහර ගැසීම වුවත්, අවසානයේදී සිදුවූවේ ඊටත් වඩා දැවැන්ත හානියකි. විවිධ දේශපාලන මතවාද පදනම් කරගනිමින් බෙදී සිටි මුස්ලිම් දේශපාලඥයින් එකට එක්වූ අතර මුස්ලිම් ජනතාව මෙන්ම ඔවුන් නියෝජනය කරන දේශපාලන බලාධිකාරිය ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීම මෙහිදී සිදුවිය. අවසානයේදී, සිංහල බෞද්ධ පදනම මෙන්ම රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි හා හිස්බුල්ලා ගැන සිංහල ජනතාව අතර වෛරයක් ඇතිකරමින් දේශප්‍රේමීත්වය මුල්කරගෙන රතන හිමි දියත් කළ ප්‍රයත්නය තුළින් සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට අවශ්‍ය දේ ඉටුවූ බව පැහැදිලිය. මේ වෛරයේ ගිනි පුපුරු මහා ගින්නක් වී යළි දිනෙක නැගෙනු ඇත. 

රටේ බහුතරය සිංහල බෞද්ධයින් වූ පමණින්ම හැමවිටම සිංහල බෞද්ධ මතවාදය පෙරටු කරගනිමින් කටයුතු කළ හැකිද ?. එම මතවාදයම පෙරළා පාරා වළල්ලක් වන්නේ නැතිද ?. සිංහල බෞද්ධ මතවාදය දේශපාලනය තුළ යොදාගන්නා විට ජාතික අවශ්‍යතාව කුමක්ද යන්න විමසා බලා කටයුතු කළයුතුවේ. 

දෙමළ ඊලාම් විමුක්තිකාමී සංවිධානය (LTTE සංවිධානය) විසින් සැඟවී කරන ලද පහර දීමකින් හමුදා සෙබළුන් 13 දෙනෙකු මිය යෑමත් සමග කුපිත වූ සිංහල කලහකාරී පිරිස් විසින් සතියක පමණ කාලයක් තුළ දී දෙමළ වැසියන් පිරිසක් ඝාතනය කළ 1983 කළු ජූලියෙන් දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධයට පාර කැපුණි. මේ මොහොතේදී රතන හිමි වැනි පිරිස් විසින් පෝෂණය කරන සිංහල බෞද්ධ - මුස්ලිම් විරෝධී මතවාදය ද තවත් යුද්ධයකට පාර කැපෙන සිදුවීම් පෙළක් වී තිබේ. සිය දේශපාලන බඩ වියත ගැන පමණක් නොසිතා බියකරු තත්ත්වයකදී විමසුම් නුවණින් ඒ දෙස බැලීම වැදගත් වේ. 

‘පුත දීඝායු දුර බලන්න. ළඟ නොබලන්න’ - කෝසම්බි ජාතකය

දේශපාලඥයින් මෙන්ම ජනමත නිර්මාණය කරන පිරිස් දියත් කරන සෑම සිදුවීමකදීම වාසි මෙන්ම අවාසිදායක තත්ත්වයන් ද අත්විඳින්නට සිදුවන්නේ ජනතාවටය. මෙරටට අනන්‍ය සංස්කෘතික අනන්‍යතාව වන සිංහල බෞද්ධ ජාතිකත්වය මුල්කරගනිමින් කටයුතු කරන විට අපට මෑතින් පෙනෙන රූපය නොව සැගවී තිබෙන දැවැන්ත රූපය දෙස විමසුම් නුවණින් බලා ගැටුම් කළමනාකරණය කරගත යුතුවේ. කළු ජූලියෙන් පසු එල්ටීටීඊ ය නැගී එන්නට පසුබිම සකස් කරදුන්නාක් මෙන් පාස්කු ඉරිදා‍වෙන් පසු කිසිසේත්ම යළි නැවත මෙරට තුළ සහරාන්ලා නිර්මාණය කිරීමට අවකාශ ලබානොදිය යුතුය. එහි වගකීම පැහැදිලිවම රැඳී තිබෙන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වය උත්කර්ෂයට නගන පිරිස අතය. 

කොසඹෑ නුවර වාසය කළ කලහකාරී භික්ෂූන් පිරිසක් පදනම් කරගෙන ඉදිරිපත් වූ කෝසම්බි ජාතකයේ එන දීඝායු කුමාරයාගේ කතාව ඇසුරින් රතන හිමිට පාඩම් ඉගෙනගත හැක. මෙහි කියැවෙන්නේ දූරදර්ශීවීම ජීවිතයකට අත්‍යවශ්‍ය දෙයක් බවත් දූරදර්ශී නොවන්නා ඉක්මණින් වැනසීමට පත්වන්නේ ළඟ බලා ඉක්මන් තීරණ ගැනීම හේතුවෙන් බවත්ය.

ජේ.ආර්., ප්‍රභාකරන් සහ බෞද්ධකම

‘ජයවර්ධන හැබෑම බෞද්ධයෙක් වුණා නම් අද මගේඅතේ තුවක්කුවක් නැතිවේවි‘ යි ප්‍රභාකරන් කියන විට මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් බව ප්‍රභාකරන් හොඳාකාරවම දැනසිටියේය. ‘ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පත්කරන්න බෞද්ධ භික්ෂූන් කටයුතු කරන බව ඔබ විශ්වාස කරනවාද ?’ යනුවෙන් ඇනිටා විමසන විට ඔහු පවසන්නේ ‘ශ්‍රී ලංකාව කොහොමත් සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙනවා වගේම බෞද්ධ භික්ෂූන් මේ සඳහා සුවිශාල දායකත්වයක් ලබාදී තිබෙනවා’  යන්නයි. 

අද ප්‍රභාකරන් මෙන්ම සහරාන් ද ජීවතුන් අතර නැත. නමුත්, සිංහල බෞද්ධ ජාතිකත්වය උත්කර්ෂයට නංවමින් ඊට උඩගෙඩි දෙන්නන්ගේ අඩුවක් නැති වග සිහිපත් කළයුතුයි. කළු ජූලියක් මෙන්ම පාස්කු ඉරිදාවක් ද අපට අවශ්‍ය නොවන බව ඔවුන්ට සිහිපත් කරදෙන්නට කැමතිය. 





0 comments: