Hot!

රාජ්‍යය බුද්ධි සේවයට චෝදනා කිරීම නිවැරදිද?

එම ලැබුණු තොරතුරු, ජාතික බුද්ධි ප්‍රධානියාද, ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිතුමාට දැනුම් දී තිබේ. නමුත්, හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පතිතුමා කියන්නේ, තොරතුරු ලබා දුන්නද අදාළ වගකිව යුතු පාර්ශ්වය එතරම් බරපතළ ලෙස දන්වමින් එම තොරතුරු ලබානොදුන් බවයි. මෙය අසත්‍ය කාරණයකි.

අබ්දුල් කරීම්

මෙම ලිපිය ලිවීමට තීරණය කරණු ලැබුවේ, මේ වන විට රටේ මතු වී ඇති ප්‍රධානතම ගැටලුව සම්බන්ධයෙන්  බුද්ධි අංශ ප්‍රධාන මාතෘකාව බවට පත් වී ඇති හෙයිණි.  අසත්‍යය සහ බරපතළ ලෙස දේශපාලනීකරණය කරනු ලැබූ කාරණා ඉතාම අනතුරුදායක මට්ටමින් ඉදිරිපත් වීම හේතුවෙන් මෙම ලිපිය රටේ ප්‍රධාන ජනමාධ්‍යන් වල අවදානය පිණිස යොමු කිරීමට තීරණය කරණු ලැබුවෙමි. මෙය ප්‍රසිද්ධ කිරීම හෝ නොකිරීම එම මාධ්‍යන් වල සේවය කරන කතෘ මහත්ම-මහත්මීන් සතු කාරණයකි. නමුත් මා මෙහිදී සහතික කරණු කරනු ලබන්නේ, මෙය රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සහ ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා රචනා කිරීමට තීරණය කළ බවයි. අල්ලාහ් දෙවියන්ගේ  නාමයෙන් මා මෙම සටහන ලියනු ලබන්නේ අනාගතයේ සිදුවීමට ඉඩතිබේ යැයි අනුමාන කළ හැකි විනාශයන් වලින් අපේ රටට සහ ජනතාවට බේරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනය කරමිනි.  



මා සුන්නි නිකායට අයත් ඉස්ලාම් භක්තිකයෙකු වේ. සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා ලෙස මා උපත ලැබුවෙමි. මාගේ මුල් අධ්‍යාපනය  සිංහල භාෂාවෙන්ද සහ පසුව අපේ මුල් පවුල විතැන්වීම නිසා සිදු වූ දුෂ්කරතාවයන් නිසා දෙමළ පාසලකද ඉගෙන ගැනීමට වාසනාව ලැබුණු පුද්ගලයෙකි. මා හට හෙළිදරව් කිරීමට වුමණාවක් තිබුණද, මාගේ පවුලේ ඇතැම් කාරණා හෙළිදරව් කිරීම එතරම් සුදුසු නැති බව මා සිතමි. නමුත්,  මාගේ සේවයට අදාළ ඇතැම් කරණු ප්‍රයෝජනයට ගනිමින් මෙම සටහන ලියා තැබීමට තීරණය කළෙමි. මන්ද, වත්මන් සමාජ වටපිටාව අනාගත අඳුරු සේයාවන් පල ප්‍රතිමූර්තියක් වී ඇති බැවින් ඇතැම් වැදගත් කරනු ගැන මාගේ අදහස ප්‍රකාශ කිරීම අනාගතයේ එල්ල විය හැකි අභියෝග ජය ගැනීමට හේතුවේ යැයි මා සිතන හෙයිණි.  

විශේෂයෙන්, වත්මන් ආණ්ඩුව විසින්, පාස්කු ඉරිදා ප්‍රහාරය යනුවෙන් බොහෝ දෙනෙකු විසින් හඳුන්වන ලංකා ඉතිහාසයේ ඉස්ලාම් භක්තික අන්තවාදීන් විසින් කළ පළමු බරපතළ  ත්‍රස්ත ක්‍රියාව ගැන විමර්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත්කර ඇති විශේෂ කාරක සභාවේ කටයුතු වලට පිටිවහලක් වීම සඳහා මාගේ අදහස් දැක්වීම වැදගත් යැයි සිතමි. එම සභාව ඉදිරියේ ප්‍රධාන පුද්ගලයින් රාශියක් සාක්ෂි දී ඇත. විශේෂයෙන්  ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍යය පොලිස්පති සිසිර මෙන්ඩිස්‌ මහතා, ඇපපිට නිදහස් කොට ඇති  නියෝජ්‍ය පොලිස් අධිකාරි නාලක ද සිල්වා මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ වත්මන් ලේකම්  ශාන්ත කොට්ටෙගොඩ මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රනාන්දු, සහ අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා යන මහත්වරුන් මෙම විශේෂ සභාව ඉදිරියේ සාක්‍ෂී දෙනු ලැබූහ. මොවුහු සාක්ෂි ලබාදුන් ආකාරය සහ එම සාක්ෂිවලදී හෙළිදරව් නොකළ යුතු ඇතැම් කාරණා හෙළිදරව් කළ ආකාරය ගැන මා ඉතාම කනගාටුවට පත්වෙමි.

දේශපාලනඥයින් අවස්ථාවාදීන් බව අපි සියල්ලෝම දන්නෙමු. නමුත්, රාජ්‍යයේ ගරුත්වය සහ ප්‍රතිරූපය වෙනුවෙන් රටේ ජනතාවගෙන් බහුතරය විශ්වාසය තබාගෙන සිටින නිලධාරීන්ට අවස්ථාවාදීන් ලෙස පමණක් කටයුතු කළහැකිද? මෙය මා මාගේ සැඟවී ගතකළ  ජීවිතයේදී නැවත නැවතත් අත්දැකීමට සිදුවී ඇති අවාසනාවන්ත කාරණයකි.

මා බුද්ධි අංශයට පළමු පෙළ තොරතුරු සපයනන්නෙකු ලෙස සම්බන්ධ වූයේ  ආර්. ප්‍රේමදාස මහතා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වී මාස කිහිපයක් ගිය පසුය. මාගේ සක්‍රීය සේවය ආරම්භ වූයේ 1995 අප්‍රේල් මාසයේදී තෙවැනි ඊළාම් සටන ආරම්භ වීමට මාස කිහිපයකට පෙරදීය. කොටි සංවිධානයේ මුහුදු කොටි බලකාය විසින් නාවික හමුදාවට අයත් සූරයා සහ රණසුරු බෝට්ටු දෙක පුපුරා හැර සටන විරාමය අවසන් කළේය. ඉන් මාසයකට පසු කොටි සංවිධානයේ සාමාජිකයින් විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රක්කයේ කල්ලරව ගමේදී සාමන්‍යය වැසියන් 42කු පමණ මරා දැමූහ. එය  මාගේ ජීවිතය වෙනස් කළඑක් ප්‍රධාන සිදුවීමක් විය. මන්ද, මා කාලයක් තිස්සේ දැන හඳුනාගත් සිංහල ජාතික මිතුරියක්ද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවාය.

මේ අකාරයෙන්,  තාවකාලීක ඇස්බන්ධනයක් වූ සටන් විරාමය බිඳී ගොස් කොටි සංවිධානය තම මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය. කොටි සංවිධනානය සෑම් මිසයිල ලෙස සාමන්‍යයෙන් හඳුන්වන ස්ටින්ගර් වර්ගයේ ආයුධ පළමුවරට තම සංවිධානයට එකතු කරගත්තේ මේ කාලයේදීය. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය හමුවේ තිබු අභියෝගය ඉතාම සංකීර්ණ වෙමින් පැවතුණි. බුද්ධි අංශවලට තම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කිරීමට සිදු විය. කෙසේ වෙතත්, තෙවැනි  ඊළාම් සටන අවසාන වනවිට සමස්ථ ශ්‍රී ලංකා භූමියෙන් සීයට 30ක ප්‍රමාණයක් කොටි සංවිධානය විසින් පාලනය කරනු ලැබීය.   

විවිධ දේශපාලන අවශ්‍යතාවයන් නිසා ඉතාම අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණදීම හේතුවෙන් ආරක්ෂක අංශ වලට තොරතුරු සැපයීම  සඳහා පුද්ගලයින් (මෝල්) බඳවා ගැනීමද ඉතාම දුෂ්කර කාර්යයක් වි තිබුණි. මේ හේතුවෙන් පොට්ටු අම්මාන්ගේ ටොසි ඔත්තුසේවයට ඉතාම ශක්තිමත්ව රටපුරා විසිරීමට අවශ්‍යය පරිසරය සකස් විය. එම ඔත්තු සේවය එතරම් දුරකට ව්‍යාප්ත වීමට හේතුව වූයේ, කොටි සංවිධානය, තම බුද්ධි අංශය ඉතාම මැනවින් රැකබලා ගත්  හෙයිනි. ඒ වගේම, ආරක්ෂක අංශවල පැවති අසමගිකම් කොටි සංවිධානයට ආශීර්වාදයක් විය. මේ නිසා බොහෝ දෙනෙකුට ජීවීතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. සේවයට එකතු වී වසර කිහිපයකින් පසු මාහට හමු වූ එක්  අමතක නොවන චරිතවත් පුද්ගලයෙකු වූයේ   කන්දයියා යෝහරාසාය. ප්ලොට් මොහාන් ලෙස බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත ඔහු පසුකාලයකදී කොළඹදී කොටි සංවිධානය විසින් මරා දැමුණු ලැබීය. ඔහු, බුද්ධි අංශයට විශාල සේවයක් කළේය. අපට වැදගත් වූයේ මෙහෙයුමක් කරන විදිය නොව, අපි එම මෙහෙයුමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නය.

බොහෝ තොරතුරු දෙන්නන් සතුරු ප්‍රහාර වලින් මියයන විට හෝ තුවාල ලබන විට අපට අවබෝධ වූ මූලික කාරණයක් තිබුණි. එනම්, බුද්ධි අංශවල දියුණුව සහ ඒවාගේ අවශ්‍යතාවයන් ගැන බොහෝ  දේශපාලනඥයින් කතාබහ කළද ඒවා ගැන එතරම් අවබෝධයක් ඔවුහුට තිබුණු බවක් අපට නොපෙනුණි. ඇතැම් දේශපාලනඥයින් රටට ආදරය කරණ බව මිනිසුන් ඉදිරියේ ඒත්තු ගැන්වීම සඳහා බුද්ධි අංශ ගැන කතා  කළහ. තවත් සමහරුන්, ඕනෑම කුණුගොඩක් බුද්ධි අංශ මත පැටවීමට පහසු නිසා බුද්ධි අංශ ඔවුහුගේ ප්‍රධාන මාතෘකාව බවට පත්විය. නමුත්, බුද්ධි අංශයක පැවතිය යුතු මූලික ධර්මතාවයන්, ඒවායේ ජාතික මෙහෙවර, ඒවා දියුණු කිරීම සඳහා ගතයුතු රාජ්‍යය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ආදිය ගැන කිසිම ගැඹුරු දැනීමක් බොහෝ දෙනෙකුට නොතිබුණි.

අපි මුහුණ දුන් අභියෝග, අපේ පවුල්වල පැවති  දුෂ්කරතා තේරුම් ගැනීම, ආදී කාරණා සඳහා මෙම ආයතනවල ඉහළපෙලේ සිටියේ ඉතාම සුළු පිරිසකි. භූමි මට්ටමේ මෙහෙයුම්කරුවන් ලෙස අපට මුහුණ දීමට තිබු අභියෝග රාශියක් වූ අතර ඉහළ නිලධාරීන් බොහෝ දෙනෙකු උත්සහ කරනු ලැබුවේ, තොරතුරු කරුවන්ගෙන් ලැබෙන තොරතුරු විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් ඉතාම අප්‍රසන්න ලෙස භාවිතා කිරීමටය. මේ නිසා ඇතැම් දේශපාලනඥයින් සේම මෙම බුද්ධි සේවාවල සේවය කළ නිලධාරීන්ද, ජාතික අවශ්‍යතාවයන් වලට වඩා තම පෞද්ගලික අවශ්‍යතා සහ අරමුණු වලට මූලිකත්වය ලබාදුන් අවස්ථා රාශියක් තිබේ. බොහෝ දෙනෙකු පමණ ඉක්මවා වර්ණනා කරනු ලබන රාජපක්ෂ යුගය කෙරෙහිද, තොරතුරු ලබාදෙන්නන් වශයෙන් අප බොහෝ දෙනෙකුට එතරම් ප්‍රියමනාපයක් නොතිබුණි.  බලයට පත් වූ සහ විපක්ෂය නියෝජනය කරන බොහෝ දේශපාලනඥයින්ට බුද්ධි අංශ ගැන එතරම් අවබෝධයක් නොතිබීම බොහෝ අවස්ථාවලදී සතුරන්ට ඉතාම පහසු පරිසරයක් නිර්මාණය කළේය. එම අනවබෝධය රටේ ජනතාව, මාධ්‍යය සහ අනෙකුත් සමාජ කණ්ඩායම් අතර විශාල හිස්බවක් නිර්මාණය කර තිබේ. 

තොරතුරු එකතු කරන්නන් ලෙස දිවයිනේ සෑම තැනකටම  යෑම, හමුවෙන ඕනෑම තරාතිරකම පුද්ගලයෙකු සමග අදහස් හුවමාරු කරගැනීම ඉතාම වැදගත් වේ. මේ සඳහා අදාළ ප්‍රදේශ ගැන දැනුවත් වීම පමණක් නොව එම පිරිස් අනුගමනය කරන ප්‍රාදේශීය භාෂා ගැන අවබෝධ කරගැනීම අත්‍යවශ්‍යය කාරණයකි. එසේම, තම සතුරා, සතුරාගේ සතුරා ගැන පමණක් නොව තම මිතුරා සහ මිතුරාගේ මිතුරන් ගැනද එක හා සමාන අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යය වේ. අපි විසින් එකතු කරන තොරතුරු මත බොහෝමයක් මෙහෙයුම් තීරණය වේ. මේ නිසා ලැබෙන සෑම තොරතුරක්ම බරපතල තොරතුරු වේ. එම තොරතුරු මත පදනම් වී  සතුරු ප්‍රහාර වළක්වා ගැනීම සඳහා අවශ්‍යය බලය ඇති අධිකාරිය, ලැබෙන සෑම තොරතුරක්ම බරපතළ ලෙස සැලකිය යුතු වේ. 

පාර්ලිමේන්තු විශේෂ සභාව ඉදිරියේ සාක්ෂි දුන් බොහෝ දෙනෙකු ඉදිරිපත් කළ අදහසක්  වූයේ රාජ්‍යය බුද්ධි අංශ ප්‍රධානියා ලබාදුන් තොරතුරු ප්‍රකාරව අප්‍රේල් 09 වැනිදා ජාතික බුද්ධි ප්‍රධානියා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට තොරතුරු දැනුම් දී ඇති බවයි. එසේම, අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද මෙම කාරණය සනාථ කළේය. මෙහිදී මෙම නිලධාරීන් දෙදෙනා ඇතුළු  අනෙකුත් අය රාජ්‍යය බුද්ධි සේවයේ  අධ්‍යක්ෂක ඉලක්ක කරගෙන ප්‍රහාර මාලාවක්   එල්ල කරනු ලැබුවෝය. කුමන හෝ හේතුවකට ඇතැම් මාධ්‍යය මෙම නිලධාරීන්ගේ අවශ්‍යතාව ඉටු කළේය. මට දැනෙන හැටියට මෙම ප්‍රහාර මාලාවේ අරමුණ  රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා මානවසිකව ඇදවැට්ටවීම සහ ඔහුගේ අනන්‍යතාවය මාධ්‍යය ඉදිරියේ හෙළිදරව් කිරීමය.

බුද්ධි අංශයට සමබන්ධ වී  තොරතුරු සපයන්නෙකු ලෙස යුදහමුදා බුද්ධිසේවයේ සහ රාජ්‍යය බුද්ධි සේවයේ කටයුතු කළ අයෙකු ලෙස  මා හට පෙනෙන්නේ මෙහිදී රාජ්‍යය බුද්ධි සේවයෙන් කිසිඳු වරදක් සිදු වී නැති බවයි. රාජ්‍යය බුද්ධි සේවයේ වත්මන් ප්‍රධානියා සමග කිසිම දිනක මා කටයුතු කොට නැති නමුත්, සාක්ෂි ලබා දුන්  නිලධාරීන්ගේ සාක්ෂි ගැන සැලකීමේදී පෙනීයන මූලික කරණය නම් රාජ්‍යය බුද්ධි සේවය ප්‍රහාරයට දින දහහතරකට පමණ පෙර අදාළ ප්‍රහාරය ගැන 90% ක පමණ තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියාට දැනුම් දී ඇති බවයි.

එම ලැබුණු තොරතුරු, ජාතික බුද්ධි ප්‍රධානියාද, ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිතුමාට දැනුම් දී තිබේ. නමුත්, හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පතිතුමා කියන්නේ, තොරතුරු ලබා දුන්නද අදාළ වගකිව යුතු පාර්ශ්වය එතරම් බරපතළ ලෙස දන්වමින් එම තොරතුරු ලබානොදුන් බවයි. මෙය අසත්‍ය කාරණයකි.

සිසිර මෙන්ඩිස් මහතා විසින් තම සාක්ෂියේදී සඳහන් කරනු ලැබුවේ, "අයිස් ඔන්ලි" සහ "ටොප් සීක්‍රට්" ලෙස වර්ගීකරණය කරනු ලැබූ ලිපියක් පොලිස්පතිතුමාට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට යැවූ බවය. එලෙස වර්ගීකරණය කරනු ලැබූ ලිපියක් බරපතළ ලෙස නොදැනුණේ ඇයිද? යන ගැටලුව ඕනෑම අයෙකුට මතුවන මූලික ගැටලුවකි. එසේම, බරපතළ ලෙස දැන්වීමට නම් අනුගමනය කළයුතු වෙනත් ක්‍රියාමාර්ගයක් (එනම් පරුෂ වචනයෙන් බැණීම හෝ කම්මුල් ප්‍රහාරයක් එල්ල කිරීම වැනි ක්‍රමයක් අනුගමනය කිරීම) තිබේද යන්න අදාළ නිලධාරීන් පැහැදිළි කළයුතුව තිබේ. මේ නිසා රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරන ජේයිෂ්ඨ නියෝජ්‍යය පොලිස්අධිකාරි නිලන්ත ජයවර්ධන මහතාට චෝදනා කිරීමට උත්සහ කිරීම අසාදාරණ කටයුත්තක් පමණක් නොව එය රටේ මහජනතාව නොමග යැවීමට උත්සහ කිරීමකි. නිවැරදිව කටයුතු සිදුකළ තම සගයාගේ රෙදි ගැලවීමට යෑමෙන් පළමුව නිරුවත්වන්නේ තමන් බව මෙම සාක්ෂිකරුවන් බොහෝ දෙනෙකුට අමතක වී ඇත.  "ටොප් සීක්‍රට්” ලෙස වර්ගීකරණය කරනු ලබන්නේ ඉතාම බරපතළ කාරණයක් වනබව  ඔත්තුසේවා ගැන අයන්න දන්නා පුද්ගලයින් පවා දනිති.

කෙසේ වෙතත්, දේශපාලන අවශ්‍යතාවයන් පිරිමසා ගැනීම සඳහා පෙනෙන සත්‍යය අමතක කිරීම කාලාන්තරයක් තිස්සේ මේ රටේ තිබුණු පුරුද්ද වේ. මේ හේතුවෙන්, ඉතාම දක්ෂ බුද්ධි අංශ සාමාජිකයින්ට සහ නිලධාරීන්ට ජීවිතය පවා අහිමි විය. ජීවිත අහිමිවීම් වලින් බොහෝමයක් සිදුවූයේ අනවශ්‍යය අවස්ථාවලදී එම බුද්ධි අංශ නිලධාරීන්ගේ සහ සාමාජිකයින්ගේ අනන්‍යතාවයන් හෙළිදරව් කිරීම හේතුවෙනි. මෙම කනගාටුදායක වැඩපිළිවෙලේ සාක්ෂිකරුවෙකු ලෙස මා එය ඉතාම පැහැදිළිව මතක් කරන්නෙමි.  

මා හට මේ ආකාරයෙන් ලිවීමට හැකි වූයේ ඉතාම වාසනාවන්ත ලෙස අවස්ථා රාශියකදී ජීවිතය බේරා ගැනීමට අල්ලාහ් දෙවියන්වහන්සේ උදව්කළ නිසායැයි මා විශ්වාස කරමි. අදටත් මා ඇතුළු සගයින් විසින් සිදුකළ මෙහෙයුම් ගැන දන්නේ ඉතාම සුළුපිරිසක් පමණි. එසේම, අපේ පවුලේ සාමාජිකයින් පවා අපි බුද්ධි අංශයට සම්බන්ධ වී සේවය කළ බව තවමත් දන්නේ නැත.  එක්තරා මොහොතක අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් සහ ආශීර්වාදයෙන්, අපි ඉපැදුණු මේ රට අනතුරට ලක් වූ අවස්ථාවේදී බේරා ගැනීමේමොහොත උදා වී ඇති බව අදිටන් කරගත් හෙයින් අපි ඊට සම්බන්ධ වූයෙමු.

රාජ්‍යයක බුද්ධි සේවා වගවීමට සහ වගකීම්වලට යටත්විය යුතු බව පරම සත්‍යයකි. නමුත්, විවිධ දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම ආයතන වල ආකෘතිය, ඒවා මෙහෙයුම්කරන ආකාරය, ආදීය ගැන ප්‍රසිද්ධ සමාජයේ කතාබහා වීම එතරම් හොඳ පුරුද්දක් ලෙස මා දකින්නේ නැත. අපි අපේ බුද්ධි අංශ සහ ඒවායේ මෙහෙයුම්කරුවන් නඩත්තු කළ යුත්තේ පරම්පරා ගණනාවක් ඉදිරියට සිතීමෙන් මිස පටු දේශපාලන වාසී ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නොවේ.  මා කිසිම පුද්ගලයෙකු නිවැරදි කිරීම සඳහා මෙම සටහන නොලියු බවත් ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ආරක්ෂාව සහ ඉදිරි දියුණුව අපේක්ෂාවෙන් පමණක් මෙම සටන ලියු බවත් මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමි.

ඉන්ෂාල්ලාහ්!

0 comments: