Hot!

ආදරයේ දේශපාලනය තෝරා ගනිමු



 - මහේෂ් හපුගොඩ - 


දෙවියන්ගේ අපූර්ව නිර්මාණයක් ලෙස ලෝකය සැලකෙන්නේ නම් ඒ දෙවියන් විසින් නිර්මාණය කල සියලු දේ වචනයට නගන්නේ මිනිසා ය. මෙම අප මෙතක් නොදන්නා යථාව (නොදන්නා දෙය) වචනයට නැඟීම ක්‍රිස්තියානියේ කියවෙන්නේ අඳුරෙන් ආලෝකය වෙත යාම යනුවෙනි. ඒ දිව්‍යමය උරුමය වචනයට නැගීම ප්‍රථමයෙන් කරනු ලබන්නේ ලොව පුළුල්ම ක්‍රිස්තියානි අධිරාජ්‍යය පිහිටවූ ඉංග්‍රීසි ජාතියයි. ඒ ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය හරහාය. දෙවියන් මැවූ සියලු දෙයට අර්ථයක් එය විසින් දීමට උත්සාහ කරයි. ස්වභාව ධර්මය නම් යථාව (උමතුව) වචනය නම් සංකේතනයට ගෙන ඒම එහි කාර්යය වේ. ඒ දිව්‍යමය උමතුව ලෙහා දීම සඳහා උදව් කරන්නේ ද උමතු මිනිසෙක් වීම ඉතාම පහසුවෙන් අවබෝධ කරගත හැකිය. 

The Professor and the Madman (2019) චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වන්නේ ඉහත ශබ්ද කෝෂය නිෂ්පාදනය කිරීමේ ශ්‍රමය සහ වේදනාව සම්බන්ද කතාන්දරයයි. නමුත් යුරෝපීය ක්‍රිස්තියානි කලා කෘතියක් ලෙස සැලකිය හැකි සත්‍ය පෙරළුම (twist) තුල ඇත්තේ බෞද්ධ පදනමක් වීම ඉතාම වැදගත් කරුණකි. ඒ විළියම් චෙස්ටර් මයිනර් හට එල්සා සමාව දෙන අවස්ථාව අපට 'වෛරයෙන් වෛරය නොසන්සිදේ' යන බෞද්ධ නියමය මනාව ප්‍රදර්ශනය කර වීම හරහාය. තම ස්වාමි පුරුෂයා ඝාතනය කල තැනැත්තාට පවා සමාව දීම මතු නොව පෙරළා ආදරය කිරීම දක්වා ඇයගේ මෛත්‍රිය ඉස්මතු වන අනුවේදනීය අවස්ථාවක් චිත්‍රපට කරු අප වෙත ප්‍රධානය කරයි. අනෙකා මුණගැසිය (encountering the Other) හැක්කේ වෛරය හරහා නොව වෛරයේ විලෝමය වන මෛත්‍රිය හරහා බව අපට කියා දුන්නේ බුදුන් වහන්සේ ය.

ඒ ඔස්සේ ඉහත චිත්‍රපටය සම්මත යුදෙව් ක්‍රිස්තියානි මූලයෙන් ක්‍රිස්තියානි බෞද්ධ මූලයක් වෙත ගමන් කර තිබේ. මේ පෙරළුම යනු යුරෝපය තුල ගැඹුරින් ඉස්මතු වන නව දේශපාලනික යුරෝ - ආසියාතික විකසිත වීමකි. මේ තත්වය පවතින්නේ නූතන බවට පිටින් නොව නූතන සද්භාවය තුළම ය. මා යෝජනා කරන්නේ පරිකල්පනීය පිරිසිදු සිංහල - බෞද්ධ සාරයක් සොයා ආපසු යනු වෙනුවට අප මෙම නව විකසිත වීම කෙරෙහි සවිඥානික විය යුතු බවයි.

දෙවියන් නිපද වූ අපුර්ව දෙය වූ මිනිසාට කල හැකි උතුම්ම දෙය ආදරය යන්න මෙම චිත්‍රපටයේ මහත් වූ තේමාවයි. දෙවියන්ගේ උමතුව වචනයට ගෙන ඒම පිණිස ශබ්ද කෝෂයට මහත් ලෙස ඉවහල් වන 'උමතු මිනිසාගේ' (විළියම් චෙස්ටර් මයිනර්) උමතුව සුව කරන්නේ ගැහැණියක් වීම මෙම චිත්‍රපටයේ අනුවේදනීය බව තවත් වැඩි කරන්නකි. මිනිසා සුවපත් වන්නේ ආදරය තුලින් මිස අන් කිසිවක් ඔස්සේ නොවේය යන්න මෙම කලා කෘතිය අප වෙත ගෙන එන වැදගත්ම බෞද්ධ - ගාන්ධියානු - පෙරදිග පණිවුඩයයි. 'ඔබ ආදරය කරන්නේ නම් ඉනික්බිති පවතින්නේ කුමක් ද' (if love, then what?) යන එල්සා ගේ පැනයට (ප්‍රෙහේලිකාවට) ඇයම පිළිතුරු රැගෙන ඔහු වෙත එයි. ඒ උත්තරය නම් සත්‍යය ඔහු වෙත ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන ලෙස ඇය මානසික රෝහලේ (මෙවිට මතක් වන්නේ මිචෙල් ෆුකෝ ගේ උමතුව සහ ශිෂ්ටාචාරයයි) දොරටුව ඉදිරිපිට පිස්සියක මෙන් ඉල්ලා සිටින්නීය. ඇය සොයාගත් උත්තරය වන්නේ 'ආදරයෙන් ඉනික්බිති පවතින්නේ ද ආදරය ම පමණක් වේ' (if love, then love) යන්නයි. ආදරයෙන් පසුව අන් කිසිවක් පවතින්නේ නැත. එහි විලෝමය වන වෛරයට සත්‍ය ආදරයෙන් පසු ඉඩක් නැති බව ඇය අවබෝධ කර ගෙන ඇත. ඇය ලොවට හඬගා ඒ සත්‍ය කියා සිටින්නීය. ඒ යථාව හෙළි කරන ඇය දෙස විනිශ්චය ශාලා වල සිටින පිරිමින් තුෂ්නිම්භූතව බලා සිටි. පිරිමි ලෝකයට ඇයගේ ගැඹුරු සත්‍යය ඉදිරියේ තාර්කික (සායනික) උත්තරයක් ගොනු කර ගත නොහැක. ඔවුන් නිරුත්තරව බලා සිටී. එසේනම් ආදරය යනු ලොව පවතින වඩාත්ම දේශපාලනික දෙය විය නොහැකිද ?

අන් කිසිවකින් මිනිසා සුවපත් කල නොහැකි තැන එසේ නම් අප ආදරයේ දේශපාලනය තෝරා ගනිමු. 






0 comments: