Hot!

''ලිච්ඡවි පාලනයක් ලෝකේ කොහේවත් නැහැ'' - ජනපති


රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බවත් සෑමවිටම බෞද්ධ දර්ශනය පදනම් කරගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක විය යුතු අතර ලෝකයේ බොහෝ රටවල තිබෙන අහිතකර තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අපේ රට තුළ සෑම ජනකොටසකටම සහ ආගමිකයෙකුටම නිදහසේ ජීවත්වීමට හැකි පරිසරය ගොඩනැඟී තිබෙන්නේ බෞද්ධ දර්ශනයේ එම මානවවාදී මඟපෙන්වීම හේතුවෙන් බව ද ජනාධිපතිතුමා ඊයේ (18) දින  හඟුරන්කෙත, මාදන්වල රජමහා විහාරයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමින් පැවසුවේය. 

මෙහිදී අදහස් දැක්වූ එතුමා වැඩිදුරටත් පැවසුවේ, 

අද පමණක් නොවන අදට වඩා රාජ්‍ය පාලනයේදී රජවරු රට පාලනය කළේ මහා සංඝරත්නයේ උපදෙස් අනුවයි 


''මම ඉතාමත් සතුටු වෙනවා අද මෙම උතුම් පුණ්‍ය අවස්ථාවට සහභාගි වෙන්න ලැබීම පිළිබඳව. මම ජනාධිපතිවරයා වීමෙන් පසුව දෙවන වරටයි මෙම ස්ථානයට පැමිණෙන්නේ. පළමුවෙන්ම මම පැමිණියේ හිසතෙල් ගෑමේ උත්සවයට. අපේ ගරු සංඝරත්නය සඳහන් කළ පරිදි මෙම ස්ථානයේ තිබෙන ඓතිහාසික පදනම, වැදගත්කම, ඒ වගේම විහාරස්ථානයේ පමණක් නොව, පිරිවෙනක් ලෙස තිබෙන වැදගත්කම, පිරිවෙනින් බිහි වූ පඬිවරුන් පිළිබඳව ඉතිහාසය කියන්නට ගියොත් දීර්ඝ විස්තරයක් සිදුකළ යුතු වෙනවා. අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය තුළ උගතුන්, පඬිවරුන්, බිහිකිරීමට අතීතයේ සිටම ප්‍රධානම ස්ථානය වුණේ පිරිවෙනයි. ඒ තුළින් තමයි රටට උගතුන් බිහිවුණේ. පිරිවෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පමණක් සීමා වුණේ නැහැ. ගිහියන් සඳහා ද පිරිවෙන ප්‍රබල ශක්තියක් වුණා. අපට තිබෙන ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ කතාව කියවෙනවිට මුල්ම පදනම ලබා දී ඇත්තේ පන්සල, පිරිවෙන තමයි.

අද පමණක් නොව, ඈත අතීතයේ අදට වඩා රාජ්‍ය පාලනයේ දී එදා රජ දවස රජවරු සිය රාජ්‍ය පාලනය කරනු ලැබුවේ මහා සංඝරත්නයේ උපදෙස් අනුවයි. ඒ නිසා අපිට බෞද්ධ ඉතිහාසය, බෞද්ධකම ගැන කතාකරන විට අපේ රටට සීමා නොවූ ඊට එහා ගිය මහා ලෝකයක් තිබෙනවා. මම පෙරේදා ටජිකිස්ථානය කියන රටේ ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වෙලා ආවේ.

ටජිකිස්ථානය වගේ මුස්ලිම් රටකට ගිහිං බුදුන්ගේ සැතපෙන ප්‍රතිමාවක් දකින්නට ලැබීමත් භාග්‍යයක් 

ටජිකිස්ථානය මුස්ලිම් ජනතාව වෙසෙන රටක්. ඒ රටේ ලක්ෂ 100 ක් පමණ ජනතාව ජීවත් වෙනවා. ඒ රට ආර්ථික වශයෙන් බොහොම ශක්තිමත් රටක්. ඒ රටේ නියෝජ්‍ය අගමැතිතුමා මාව එක්කගෙන ගියා කෞතුකාගාරය නරඹන්න. එහි තිබුණා එයාලා ආරක්ෂා කරන, වටිනා වස්තුවක්. සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. ටජිකිස්ථානයේ ප්‍රධාන නගරයේ කි.මී 200ක ට එහා විහාරයක් පිහිටුවලා තිබෙනවා. ඒ විහාරයේ සැතපෙන පිළිමයේ ආකෘතියක් තමයි ඒ ප්‍රමාණයෙන්ම නිර්මාණය කරලා කෞතුකාගාරයේ තැන්පත් කරලා තිබෙන්නේ.

ඒ වගේ මුස්ලිම් රාජ්‍යයකට ගිහින් අපේ ශාස්තෘවරයාණන් වහන්සේගේ සැතපෙන බුදු ප්‍රතිමාවක් දකින්න ලැබීම ගැන මා ඉතාමත් ප්‍රසාදයට පත්වුණා. ඔබ අප දන්නා පරිදි ටජිකිස්ථානයට අසල්වැසි රට ඇෆ්ගනිස්ථානය. එම රටේ තමයි විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය වෙලා තිබුණේ. නමුත් අන්තවාදී පිරිස් ඒ ඇෆ්ගනිස්ථානයේ විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේලා බිම හෙලුවා. එදා ඉදලා තමයි ඇෆ්ගනිස්ථානය නොසන්සුන් රටක් බවට පත්වුණේ. ඇෆ්ගනිස්ථානයේ යුද්ධය දශක ගණනාවක් පුරා තිබෙනවා. ඒ සමුළුවට පැමිණ සිටිය දී ඇෆ්ගනිස්ථාන රාජ්‍ය නායකයාත් මට එහිදී හමුවුණා. එතුමාගෙන් මම ඇෆ්ගනිස්ථානයේ තත්වය පිළිබඳ ඇහුවාම බොහෝ බෞද්ධ පසුබිමකින් යුත් කරුණු රාශියක් සඳහන් කළා.

අපට රාජ්‍ය පාලනය තුළ ගෞරවනීය මහා සංඝරත්නය අනුශාසනා, මඟ පෙන්වීම ඉතාමත් වැදගත් වෙනවා

මුළු ආසියාකරයම බෞද්ධ සමාජයකින් පරිපූර්ණ වෙලා තිබිලා තිබෙන්නේ. ඒ තිබුණු බෞද්ධ සමාජයේ නටඹුන් තමයි අද අපි බොහෝවිට දකින්නේ. ඒ නිසා අපට රාජ්‍ය පාලනය තුළ ගෞරවනීය මහා සංඝරත්නය අනුශාසනා, මඟ පෙන්වීම ඉතාමත් වැදගත් වෙනවා. රටේ යහපත් බව, විනය, මනුස්සකම, ආදරය, කරුණාව, මේ සියල්ල අපට ඉගැන්නුවේ බෞද්ධ දර්ශනයයි. ඒ නිසා තමයි ලෝකයේ බොහෝ රටවල්වලට වඩා රට තුළ කුමන විදියේ විවේචන තිබුණත්, මේ රට තුළ යහපත් සමාජයක් තිබෙන්නේ අපේ වන්දනීය මහා සංඝරත්නය වැඩසිටින නිසා. සමාජයේ යහපත් බව ආරක්ෂා කරන්නේ මහා සංඝරත්නයයි. පන්සල, වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කළේ මහා සංඝරත්නයයි. අපේ බෞද්ධ ශාසනය විදියට කතාකරන්න ඒ දැනුම, පසුබිම ලබා දී ඇත්තේ මහා සංඝරත්නයයි. ඒ නිසා රටක රාජ්‍ය පාලකයින් මහා සංඝරත්නයේ අනුශාසනා, උපදෙස් අනුව වැඩ කරනවා නම් මම හිතනවා රටක් කිසිසේත්ම වැරදි පැත්තට යන්නේ නැහැ කියලා. උපවාස කරන, සත්‍යග්‍රහ කරන, යකඩ වැටවල් වලින් පනින භික්ෂූන් වහන්සේලා ගැන නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ සමාජයේ වැඩ වෙසෙන වන්දනීය, පූජනීය ඔබ වහන්සේලා වැනි මහා ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාගෙන් අපට ලැබෙන මඟ පෙන්වීම් පිළිබඳවයි. ඊයේ පෙරේදා අස්ගිරියේ මහා නායක ස්වාමීන් වහන්සේ කරපු ප්‍රකාශයක් මම පුවත්පතක දැක්කා. මම ඒ ගැන කියන්නේ නැහැ ඔබ ඒ පිළිබඳව දැනුවත් ඇති.


අද ලිච්ඡවි රජ දරුවන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන රාජ්‍ය පාලනයක් ලෝකේ කොහෙවත් නැහැ

ඊයේ මිහින්තලේ පැත්තට ගිය ආණ්ඩුවේ ලොකු මහත්මයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා ඒ කියපු අය වැඩ කරන්නේ ලිච්ඡවි රජ දරුවන්ගේ උපදෙස් අනුවයි කියලා. ලිච්ඡවි රජ දරුවෝ ජීවත් වෙලා හිටියා නම් ඒ කතාවට සිය දිවි නසා ගන්නවා. ලිච්ඡවි රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක්ද කියලා කියනවා නම් ලිච්ඡවි රාජ්‍ය පාලනය සහ අද රාජ්‍ය පාලනය අතරේ තිබෙන වෙනස කොච්චර ද කියන එක ගැන ඔබ වහන්සේලා ඇතුළු මේ පින්වත් දෙමව්පියන්, උගත් දරුවෝ දන්නවා ඒ නිසා ලිච්ඡවි රාජ්‍ය පාලනයක් තිබෙනවා නම් අපිට ඉතාම හොඳයි. නමුත් අද ලිච්ඡවි රජ දරුවන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන රාජ්‍ය පාලනයක් ලෝකේ කොහෙවත් නැහැ. එහෙම රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් ක්‍රමයක් අපිටත් තියෙනවා නම් ඒක මේ රටේ විශාල වාසනාවක්. ඒ නිසා අද රටේ තිබෙන බොහෝ ප්‍රශ්නවලදි සැමවිටම කටයුතු කරන්නට ඕනැ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව නම් එය සකස් විය යුත්තේ ප්‍රධාන වශයෙන්ම බෞද්ධ දර්ශනය පදනම් කර ගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් කියලයි මම විශ්වාස කරන්නේ.

ලෝකයේ වෙනත් රටවල් හා ගත්විට බෞද්ධ රටක ජීවත් වෙන්නට ලැබීම පිළිබඳව මේ රටේ මුස්ලිම් සහ දමිළ ජනතාව සතුටු වෙන්නට ඕනෑ. ඒ මොකද ලෝකයේ බොහෝ රටවල තිබෙන අභ්‍යන්තර තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අපි තවමත් ඉන්නේ හොඳ තැනක. තවමත් අපි ඉන්නේ හදාගන්න පුළුවන් රටක. තවමත් අපි සිටින්නේ හැදෙන්න පුළුවන් තැනක. බොහෝ රටවල තිබෙන අභ්‍යන්තර තත්ත්වයන් ගත් විට උඩින් පෙනෙන දේ නෙවෙයි සැබෑවටම තිබෙන්නේ. හොඳ තත්ත්වයෙන් පෙනුනත් බොහෝ රටවල සැබෑ තත්ත්වය ඉතාමත් නරකයි. නොසන්සුන්. මේ අසල්වැසි රටක විශ්වවිද්‍යාලයට තේරුණු දරුවන්ගෙන් එක් ගැහැණු දරුවෙක්ව පසුගිය කාලයේ පාගලා මරලා තිබුණා. මේක සත්‍ය කතාවක්. ඇයි ඒ පාගලා මැරුවේ. ඒ විශ්වවිද්‍යාලයේ සිටින අනෙක් දරුවන්ට වඩා කුලයෙන් අඩු කෙනෙක් මේ විශ්වවිද්‍යාලයට පැමිණියා කියලා. එහෙම සමාජයක් මේ ලෝකයේ තිබෙනවා. ඒ නිසා තාක්ෂණයෙන් කොච්චර දියුණු වුණත් ධනවත් කමින් කොච්චර දියුණු වුණත් ගුණයහපත්කම් මනුස්සකම් හැදිච්චකමින් විනීතකමින් ලෝකයේ බොහෝ රටවලට වඩා අපි ඉන්නේ ඉහළින්. ඒ නිසා අපි තවමත් ඒ ගැන සතුටු වෙන්න ඕනෑ.

මාදන්වල මේ ඓතිහාසික විහාරස්ථානයට මේ උතුම් පුද බිමට පැමිණිලා අපේ ගෞරවනීය වන්දනීය පූජනීය මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේලා ගේ නායකත්වයෙන් අනුශාසකත්වයෙන් කෙරෙන මේ අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මේ විහාරාධිපති ස්වාමින් වහන්සේට මේ කටයුතු සම්බන්ධයෙන් දැඩි උනන්දුව ඕනෑකමක් තිබෙනවා. විහාරාධිපති ස්වාමින් වහන්සේගෙන් මම ඇහුවා මේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වැඩ පටන් අරගෙන කොච්චර කාලයක් ද කියලා.

උන්වහන්සේ කිව්වා දැන් වසරක පමණ කාලයක් ගත වෙලා තිබෙනවා කියලා. මේ වගේ ග්‍රාමීය පිටිසර සුන්දර පරිසරයක වසරක් වැනි කාලයකින් මේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකර අවසන් කර තිබීම ඉතාම හොඳ ප්‍රගතියක්. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනෑ. විහාරස්ථානයක වෙසෙන විහාරාධිපති ස්වාමින් වහන්සේගෙන් ලැබෙන ඒ නායකත්වය කැපවීම ඒ ඕනෑකම උනන්දුව තමයි විහාරස්ථානයේ දියුණුවට ප්‍රධාන වශයෙන්ම මූලික වන්නේ. ඒ නිසා උන්වහන්සේගේ තිබෙන ධෛර්යසම්පන්නභාවය කැපවීම විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු පිරිවෙනේ වැඩවෙසෙන ස්වාමින් වහ්නසේලාත් ඒවගේම දායක සභාවත් මේ කටයුතුවලදී දක්වන උනන්දුව ඕනෑකම කැපවීම පරිත්‍යාගශීලීභාවය ඉතා අගය කරමින් බෞද්ධ දර්ශනයේ පදනම තුළ මේ රට යහපත් රටක් කරන්න සියලුදෙනාම කැප වෙමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් ඔබ සියලුදෙනාට තෙරුවන් සරණ පතමින් මගේ කෙටි වචන ස්වල්පය අවසන් කරනවා.'' යන්නයි. 


0 comments: