Hot!

බෞද්ධ දේශපාලන චින්තනය

දිල්ශාන් මනෝජ් රාජපක්ෂ

‘‘දරුව රජකම යනු පියාගෙන් පුතාට ලැබෙන දෑවැද්දක් නොවේ.’’ - චක්කවත්තිසීහනාද සූත්‍රය
දේශපාලන ප්‍රතිපත්තියක් නැතිව පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් සාකච්ඡා කිරීම නිරර්ථකය

බුදුන්වහන්සේ හුදෙක් ශාස්තෘවරයකු හෝ දාර්ශනිකයකු පමණක් නොව දේශපාලන දර්ශන ඉතිහාසයක උත්පාදකයකු බව බෞද්ධ දේශපාලන චින්තනය පිළිබඳ මෞලික සූත්‍ර දේශනා ඇසුරෙන් විමර්ශනයක යෙදෙන විට ප්‍රකට වන්නකි. රාජ්‍ය පරිපාලනයට අදාළ ගැටලු සාකච්ඡා කොට ඇති අවස්ථා මෙන් ම රජවරුන්ගේ යුතුකම් හා ආචාර ධර්ම පිළිබඳ දේශනා කොට ඇති තැන් ද සෑහෙන සංඛ්‍යාවක් බෞද්ධ සාහිත්‍යයෙන් උපුටා ගත හැකි ය. එම තැන්වල අන්තර්ගත කරුණු ආශ්‍රයෙන් දේශපාලනය පිළිබඳ බෞද්ධ දර්ශනයක් සකස් කරගැනීමට ඉඩකඩ ඇත.


බුද්ධ කාලීන භාරතය

බුද්ධ කාලීන භාරතීය සමාජයේ ඇතැම් විට ගෝත්‍රික වශයෙන්, ඇතැම් විට වාංශික වශයෙන්, ඇතැම් විට ජනපදික වශයෙන් බෙදා පැවතිණි. අංගුත්තර නිකායේ විසාකුපෝසථ සූත්‍රයේ දී බුද්ධ කාලීන භාරතීය සමාජය ජනපද සොළසකට බෙදා තිබුණු බව සඳහන් කරයි.

කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය තුළ ද ඒ. එල්. බෂාම්ගේ අසිරිමත් ඉන්දියාව නම් ග්‍රන්ථයේ ද සුප්‍රකට ජෛන භගවතී සූත්‍රයේ ද සමකාලීන භාරතීය රාෂ්ට‍්‍ර පාලනය පිළිබඳ විස්තර ගෙනහැර දක්වයි. බුද්ධකාලීන භාරතීය සමාජය තුළ පැවැති පාලන තන්ත්‍ර දෙකකි. එනම්,

1. රාජාණ්ඩු පාලන ක්‍රමය

2. ගණතන්ත්‍ර පාලන ක්‍රමය

ව්‍යවස්ථාව, විධායකය, අධිකරණය නිශේධ බලය යනා දී බලතල මහාරාජා නම් එක් පාලකයකු තමා යටතට ගෙන පාලනය කරන රාජ්‍ය තන්ත්‍රය රාජාණ්ඩු වේ. බුද්ධකාලීන කෝසලය, මගධය, අවන්තිය, වත්සය රාජාණ්ඩු පාලන ක්‍රමයට අනුගතව පැවතිණි. ගණතන්ත්‍ර පාලන ක්‍රමය නම් ව්‍යවස්ථාව, විධායකය, අධිකරණය, නිශේධබලය යනා දී සිවු මහා බලතල රාජාවරු නම් ඒ ඒ ගෝත්‍රවලින් පැමිණි නායකයන්ගේ එකමුතුවෙන් කරනු ලබන පාලන ක්‍රමයයි. බුද්ධකාලීනව වජ්ජි, මල්ල, පංචාල යනා දී රාජ්‍ය ගණතන්ත්‍ර පාලනය ක්‍රමයට නතුව පැවතිණි.

බුද්ධකාලීන භාරතීය සමාජය තුළ රාජ්‍ය පාලනය පිළිබඳ වගකීම පැවරුණේ ක්ෂත්‍රීය වංශිකයන්ට ය. ඔවුන්ට පුරෝහිතකම් ලබා දුන්නේ බමුණන් ය. එහෙත් සමකාලීන භාරතීය සමාජය තුළ දේශපාලනික ගැටලු, අර්බුද රැසක් මතුව පැවතුණු බව පෙනේ. උදාහරණ ලෙස,

1. ශාක්‍ය - කෝලිය දිය දබරය

2. අජාසත් රජු වජ්ජි ජනපදය ආක්‍රමණය කිරීම. (වසර දහසයක උපක්‍රමයකින් වජ්ජි ජනපදය බිඳ දැමීම.)

3. විඩූඪභ රජු ශාක්‍ය ජනපදය විනාශ කිරීම ආදිය දැක්විය හැකි ය.

බෞද්ධ දේශපාලන දර්ශනය

දේශපාලන සන්දර්භය තුළ පැන නඟින එබඳු අර්බුද විසඳීමට දේශපාලන විද්‍යාඥයන්ට පවා කළ නොහැක්කකි. එබැවින් බෞද්ධ දේශපාලන චින්තනයක වැදගත්කම ස්ඵුට වේ. දේශපාලන පරිසරයක් මත හැ දී වැඩුණු සිදුහත් කුඩා කලදීම නිරවද්‍ය දේශපාලන සන්දර්භයක් පිළිබඳ චින්තනය මෙහෙයවන්නට ඇත. බෞද්ධ දේශපාලන චින්තනයේ පරමාදර්ශය ඉදිරිපත් වන අංගුත්තරනිකායේ රජ්ජ සූත්‍රය සිදුහත් කළ දී චින්තනයට පාත්‍රව බුද්ධත්වයෙන් පසු දේශනා කළ වූවක් විය හැකි ය.

‘‘සක්කානු ඛෝ රජ්ජං කාරේතුං අහානං අඝාතයං අජිනං අජාපයං අසෝචයං ධම්මේනාති.....’’

‘‘නොනසමින් නොනස්වමින්, නොදිනමින්, නොදිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, දැහැමින් රාජ්‍ය කරවන්නට හැකිවේද?’’ යන ප්‍රශ්නය මෙහි දී සිද්ධාර්ථ චින්තනයෙන් බුදුරදුන් වෙත සම්පේ‍්‍රෂණය වූවක් ලෙස සැලකිය හැකි ය.

බෞද්ධ දේශපාලන චින්තනය ගැන විමර්ශනයක යෙදෙන මෞලික සූත්‍ර, පෙළ බසින් හදාරන උගතුන්ගේ අදහස් ඊට පටහැණි යැයි මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහතා කියන්නේ බුදුන්වහන්සේ හුදෙක් ශාස්තෘවරයකු හෝ දාර්ශනිකයකු පමණක් නොව දේශපාලන දර්ශන ඉතිහාසයක උත්පාදකයකු ලෙස නිශ්චිත අදහස් ඉදිරිපත් කළ බව ය. බෞද්ධ දේශපාලන හා ආර්ථික චින්තනය ගැන මෑතක දී පර්යේෂණ පැවැත්වූ මහාචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමියන්ට අනුව ආර්ථිකය හා දේශපාලනය සම්බන්ධ කිරීම බෞද්ධ දේශපාලන දර්ශනයේ විශිෂ්ට ලක්ෂණයක් බව පෙන්වා දෙයි.

සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන් වන රිකාඩෝ මිල්, ඇඩම් ස්මිත් ප්‍රකාශ කළේ ‘‘ආර්ථිකය මෙහෙයවීමට රජය සහභාගී නොවිය යුතු ය ’’ යන්න යි. එහෙත් බුදු සමයේ විශේෂත්වය නම් රජතුමා සහ රාජ්‍යය ධාර්මිකව ක්‍රියාත්මක වන්නේ නම්, එම රාජ්‍යයේ අනෙකුත් කටයුතු සියල්ලම ඉතා හොඳ ආකාරයෙන් පවතින බව යි. එනිසා බුදු සමයේ විශ්වාසය නම් පැහැදිලි දේශපාලන ප්‍රතිපත්තියක් නැතිව පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් සාකච්ඡා කිරීම නිරර්ථක ක්‍රියාවක් බව යි.

එබැවින් බෞද්ධ දේශපාලන චින්තනයේ පරමාර්ථය නම් ආර්ථික ශක්තිය ඇති, පුද්ගල නිදහස තහවුරු කරන, ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර සමාජයක් තැනීම යි. රාජ්‍යයේ ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වය රඳා පවතින්නේ පාලකයාගේ ක්‍රියා කලාපය මත ය. එය රටේ සමෘද්ධියට හෝ පරිහානියට බලපායි. උපමාවකින් දක්වතොත් ගව රැළක නායකයා කෙළින් මඟ යන විට සෙසු ගවයෝ ද, ප්‍රධානියා අනුගමනය කරමින් කෙළින් ගමන් කරති. තම නායකයා ඇදේට යන විට සෙසු ගවයෝ ද ඇදේට ගමන් කරති.

හින්දු බමුණු සංකල්පය

සමකාලීන සමාජයේ පැවැති හින්දු බ්‍රාහ්මණ සංකල්පය තුළ රාජ්‍ය හා රාජ්‍යත්වය පිළිබඳ මූලික සංකල්ප තුනකි, එනම්,

1. සංග්‍රාම උදෙසා රාජ්‍යත්වය ප්‍රභාවිතය

2. දිග් විජය රජුගේ කාර්යයයිි.

3. රාජ්‍යත්වය ඊශ්වර නිර්මාණයකි.

එහෙයින් “දේශපාලන බලයේ උල්පත ඊශ්වරයා වේ” යනාදියයි. එම බමුණු මතය තවත් ආකාරයකින් මෙසේ දැක්විය හැකි ය. එනම්,

1. රජු යනු දෙවියෙකි.

2. රාජ්‍යත්වය හටගත්තේ දිව්‍ය ලෝකයේ ය.

3. ඔහුගේ ප්‍රධාන වගකීම යාග කිරීම යි.

4. රජු කළ යුත්තේ යුද්ධය සඳහා ජනතාව මෙහෙයවීම යි.

මෙම හින්දු සමයේ මතය අනුව යමින් කෞටිල්‍ය සිය අර්ථ ශාස්ත්‍රයේ පරිච්ඡේද කිහිපයක දී ම පාලනයේ නියුතු රජුට සිය සතුරු රාජ්‍ය විනාශ කළ යුතු අයුරු විස්තර කර දෙයි. (‘‘ජනතාවගෙන් තොර ජනපදයක් නොපවතියි. ජනපද රහිතව රාජ්‍යයක් නොපවතියි. එබැවින් විෂම අවස්ථාවන් ඇතිවුවහොත් සතුරාගේ ආහාර, වගාව, විනාශ කර දැමිය යුතු ය. ගබඩා ද විනාශ කළ යුතු ය.’’/ ‘‘එසේ ම සතුරු රාජ්‍ය තුළ එක් ස්ථානයකින් තවත් ස්ථානයකට විපත් පමුණුවමින් පැන යෑම, නිශ්ශබ්ද ලෙස අමාත්‍ය ආදින් ඝාතනය කිරීම ද කළ යුතු ය.’’) එම හින්දු මත දැඩි ලෙස විවේචනය කළ බුදු සමය හුදෙක් සමාජ හිතකාමීත්වයම අවධාරණය කළේ ය. බෞද්ධ මතයේ එන අදහසට අනුව,

1. ජනතාවගේ ආරක්ෂාව පිණිස අපරාධ මර්දනය සඳහා රාජ්‍යත්වය පහළ විය.

2. රජුගේ කාර්යය රට සාමයෙන් හා සාරධර්මයෙන් පාලනය කිරීමය.

3. රජය හා රාජ්‍යත්වය ජනතා කැමැත්ත මත තීරණය වේ.

එහෙයින් දේශපාලන බලය පිළිබඳ උල්පත වන්න් මහජනතාව යි.

නූතන දේශපාලන දර්ශනය තුළ සාකච්ඡා කෙරෙන රාජ්‍යත්වය පිළිබඳ මතාන්තර රැසකි. ඒවා අතර,

1. සමාජ සම්මුතිවාදය - එල්. එච්. මොර්ගන්, ප්ලේටෝ, තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, ජින්ජැක් රූසෝ වැනි දේශපාලනඥයන් ඉදිරිපත් කර ඇත.

2. දේවවරම් වාදය - දේවවාදීන් ඉදිරිපත් කරයි.

3. බලවාදය - ඩේවිඩ් හ්‍යුම් ඉදිරිපත් කරයි.

4. කුලදෙටු වාදය - ඇරිස්ටෝටල් හා ශ්‍රීමත් හෙන්රි මේක් ඉදිරිපත් කරයි.

5. මාතෘ ප්‍රභූත්වවාදය - මැක්ලිනන් මෝගන් ඉදිරිපත් කරයි.

6. පරිණාමවාදය - කාල්මාක්ස් ඉදිරිපත් කරයි.

ඉහත කී මත අතරින් සමාජවාදීන් වඩාත් තහවුරු කරන්නේ රාජ්‍ය වූ කලී ඒක හේතුවක් නොව බලය, ඥාතීත්වය, ආගම, ආර්ථිකය, දේශපාලන ඥානය යනා දී හේතු රාශියක් සමඟ සිදු වූ ක්‍රමික පරිණාමයක ප්‍රතිඵලයක් වන බව ය. බුදු සමයේ එන රාජ්‍යත්වයේ සම්භවය සම්බන්ධයෙන් දිග හැරෙන මතය ද පරිණාමවාදී ප්‍රවේශයකින් ජනතා අවශ්‍යාවයන් මත ඇති වූ බවක් බව පෙන්වා දෙයි. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව රාජ්‍යත්වයේ ප්‍රභවයට තුඩු දුන් හේතු සාධක සතරකි.

1. ආර්ථිකමය වශයෙන් නිෂ්පාදනය මාර්ග වෙනස් වීමත් සමඟ පෞද්ගලික දේපළ රැස් කිරීමකට පෙලඹීම.

2. පෞද්ගලිකත්වය නිසා මමත්වය දියුණු වීම සමඟ සමාජ විරෝධී ක්‍රියා හටගැනීම.

3. සමාජ විරෝධී ක්‍රියා මර්දනය කර සමාජ සාරධර්ම මෙන්ම පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීම සඳහා සමාජ ධර්ම ක්‍රියාත්මක කරන අධිකාරයක් අවශ්‍ය වීම.

4. එම අධිකාරිය අධිකරණ බලය ජන මතයට චාරිත්‍රමය නීතියට අනුව ක්‍රියාත්මක කළ යුතු වීම ආදිය යි.

ඒ තත්ත්වය මත අග්ගඤ්ඤ සූත්‍රයේ දී ජනතාව විසින් පත් කරගන්නා පාලකයා අතිශයින් ජනහිතකාමී ය. සියලු දෙනාගේ ඡන්දයෙන් (මහා සම්මතො) පත් කරගත් එම පාලකයා රූපවත් ය, (අභිරූපතරෝව). දැකුම්කලු ය, (දස්සනීයතරොච), ප්‍රසන්න ය (පාසාදිකතරොච).තේජවන්ත ය, (මහේසක්ඛතරොච). ඔහු ජනතාවගේ සිත් ධර්මයෙන් සතුටු කළේ ය. එබැවින් රජු නම් විය. (ධම්මේන පරෙරඤ්ජෙතීති ඛො වාසෙට්ඨා රාජා රාජාත්වේ ව තතියං...) (අග්ගඤ්ඤ සූත්‍රය)

බෞද්ධ මතයට අනුව රජයකට ප්‍රධාන යුතුකම් සතරක් තිබේ.

1. මනුෂ්‍ය අයිතිවාසිකම් රකිමින් රට පාලනය කිරීම. මේ නිසා මිනිසුන්ට රජුගෙන් හෝ වෙනත් අයගෙන් හිංසාවක්, බියක් නොපැණේ.

2. රජුගේ වැදගත්කම් යුතුකමක් වන්නේ රටේ අපරාධ නැති කිරීම යි. අපරාධවලට හේතුවන සමාජ හා මානසික හේතු සොයා බලා පියවර ගත යුතු ය.

3. රටේ නිර්ධන පන්තිය හා ආර්ථික විසමතා නැති කිරීමට සුදුසු ආර්ථික පදනමක් දැමීම.

4. ධාර්මික ප්‍රතිපත්ති මත පදනම් වීම ආදිය යි.

එම දේශපාලන අරමුණු මුදුන්පත් කැගැනීම සඳහා බුදු සමයෙන් පැනෙන ප්‍රධාන ඉගැන්වීම් කිහිපයකි.

1. සප්ත අපරිහානීය ධර්ම, 2. දස සක්විතිවත්

3. දස රාජධර්ම, 4. සතර සංග්‍රහ වස්තුව, 5.සතරබ්‍රහ්ම විහරණල, 6. සතර අගතිය

7. පංචශීලය හා දස සීලය මේ අතර වැදගත් වෙයි.

පාලකයන් 7707ක් වජ්ජි රාජ්‍යයේ සංවර්ධනය උදෙසා ගෙනගිය ප්‍රතිපත්තිය ‘පොරාණ වජ්ජි ධම්ම’ යනුවෙන් හඳුන්වයි. ඔවුන් ගෙන ගිය රාජ්‍ය පාලන මූලධර්ම සතකි. ඒවා නම්,

1. නිතර රැස්වීම.

2. සමඟිව රැස්ව සමඟිව කටයුතු කොට සමඟිව විසිර යෑම

3. පෙර නොපැනවූ නීති නොපැනවීම හා පැනවූ නීති කඩ නොකිරීම.

4. වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම හා ඔවුන්ගේ වචනවලට සවන් දීම.

5. විවාහක හා අවිවාහක කාන්තාවන්ට කරදර නොකිරීම.

6. වජ්ජි රාජ්‍ය ඇතුළතත් පිටතත් පිහිටි පූජනීය ස්ථානවලට ගරු සත්කාර කිරීම හා ඒවා නඩත්තු කිරීම.

7. ආගමික පූජ්‍ය පක්ෂයට පහසුකම් සැපයීම ආදිය යි. (මහාපරිනිබ්බාන සූත්‍රය)

සමස්තයක් වශයෙන් සලකන කළ එම කරුණු ස්ථාවර රාජ්‍ය තන්ත්‍රයක සහ පැවැත්ම සඳහා කොතරම් වැදගත්දැයි වටහාගැනීම දුෂ්කර නොවේ. ඒවා ජනසම්මතවාදී පාලනයක පැවැත්මට අතිශයින් උපකාරී වේ. බෞද්ධ දේශපාලන චින්තනය අගයන පරමාදර්ශී පාලකයා ‘සක්විති රජ’ වේ. බුදු සමය සක්විති රජකමට ලබා දී ඇති ස්ථානය අංගුත්තර නිකායේ ථූපාර්භ සූත්‍රයේ දී ස්තූප තනවා වන්දනා මාන කළ යුතු සතර දෙනාගෙන් කෙනකු ලෙස දක්වා තිබීමෙන් පැහැදිලි වේ (ථූපාර්හ සූත්‍රය). සක්විති රජුගේ චක්‍රය ධර්මය යි. බෞද්ධ චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයට අනුව පාලකවරු තිදෙනෙකි.

1. චක්කවාළ චක්කවත්ති - මුළු ලෝකයම පාලනය වන රාජ්‍ය පාලන ක්‍රමය

2. දීප චක්කවත්ති - එක් දීපයක් පාලනය වන රාජ්‍ය පාලන ක්‍රමය

3. පදේස චක්කවත්ති - එක් රටක් පාලනය වන රාජ්‍ය පාලන ක්‍රමය

සක්විති රජුගේ පාලන මූලධර්ම දහයකි. එය පහත පරිදි සංක්ෂිප්ත කළ හැකි ය.

1. ධර්මානුකූල ජීවිතයක් ගත කිරිම.

2. ධර්මයෙන් රාජ්‍යය කිරීම.

3. අනෙක් අයට ධර්මය ඉගැන්වීම.

4. සිය ධාර්මික ප්‍රතිපත්තිය වෙනස් නොකිරීම හා වෙනස් නොවී ඉදිරියට පවත්වාගෙන යෑම

එම දස සක්විති වත්වල එන අදහස තවදුරටත් සැකෙවින් දැක්විය හැකි ය.

1. දැහැමෙන් සෙමෙන් රට පාලනය කිරීම.

2. ජීවිත සුරක්ෂිතතාව සහතික කිරීම.

3. ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීම.

4. විශාරදයන්ගෙන් උපදෙස් ලබාගැනීම. යනාදිය යි.

1 ධර්මයෙන් ඉවත් වුවහොත් සක්විති රජකම වුව ද පිරිහේ. ඒ බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ දී පරමාදර්ශී සක්විති රජු වන දළ්හනේමි සිය පුත්‍රයාට පෙන්වා දෙයි.

‘‘නහිතෙ තාත දිබ්බං චක්කරතනං පෙත්තිකං දායජ්ජං... චක්කවත්ති වත්තෙ වත්තානි...’’ (චක්කවත්තිසීහනාද සූත්‍රය)

‘‘දරුව රජකම යනු පියාගෙන් පුතාට ලැබෙන දෑවැද්දක් නොවේ.’’ යනුවෙන් දෙනු ලබන උපදේශය සර්වකාලීනව ම රාජ්‍ය පාලකයන් උදෙසා වටින උපදේශයකි.

සක්විති රජුගේ ධාර්මික ප්‍රතිපත්තිය චක්කවත්තිසීහනාද සූත්‍රයේ දී කරුණු දහයකින් ම අවධාරණය කරයි. එනම්,

1. ධම්මං යේව නිස්සාය, 2. ධම්මං සක්කරොන්තො, 3. ධම්මං ගරු කරොන්තො

4. ධම්මං මානෙන්තො, 5. ධම්මං පුජෙන්තො, 6. ධම්මං අපචායමානො

7. ධම්මං ධජො, 8. ධම්මං කේතු

9. ධම්මාධිපතෙයේ‍යා, 10. ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහස්සු යනුවෙනි.

ධාර්මික බව හා මධ්‍යස්ථ බව තමාගේ සිට ගම්දනව් වැසියා දක්වා විහිදුවන සක්විති රජු දඬුවම, මර්දනය ප්‍රතික්ෂේප කරන (අදණ්ඬේන අසත්ථේන) අතර අත්තනො මතයෙන් කරනු ලබන පාලනයයෙන් ඉවත් වෙයි. (න ඛො තෙ දේව සමතෙන සුදං ජනපදං පසාසතො පුබ්බේනාපරං ජනපදා පබ්බන්ති....)

බෞද්ධ සාහිත්‍යයේ යම් යම් තැන්හි දී අත්තනෝමතික පාලනයන් ගෙනගිය අවස්ථා දක්නට ලැබේ. මහාසාර, කුලාවක වැනි ජාතක ද මීට අමතරව කුක්කර, කුණ්ඩහාල, මහාසුතසෝම, මනිචෝර, සච්චංකිර ජාතක කතා ද නිදසුන් වේ. වරක් ප්‍රංශයේ එක්තරා ප්‍රදේශයක වැසියන් සාගින්න ගැන ඩිජෝන්හි ආණ්ඩුකාරයාට පැමිණිලි කළ විට ඔහු කීවේ වැසියනට තණකොළ කන්නට කියා ය. එනිසා ම ඔහුගේ පාලන ධූරය පැවතුණේ කෙටි කලකට ය. එක්තරා නුවරක රජු හා පුරෝහිතයා එක්ව සොරකම් කොට නිවැරැදි වීම ඔප්පු කිරීමට නොහැකිව ජනතාවගේ දඬු මුඟුරුවලින් පහර ලැබ ජීවතක්ෂයට පත් වූ බව පදමානවක කුසල ජාතකයේ සඳහන් වේ.

පාලන ප්‍රතිපත්තියෙහි ලා දේශිත තවත් වැදගත් ඉගැන්වීමක් වන්නේ දස රාජධර්ම යි. ඒවා නම්,

‘‘දානං සීලං පරිච්චාගං - අජ්ජවං මජ්ජවං තපං

අක්කෝධං අවිහිංසංච - ඛන්තිංච අවිරෝධතා’’ (මහාහංස ජාතකය)

1.දානය, 2.සීලය, 3.පරිත්‍යාගය, 4.ඍජු බව, 5.මෘදු බව, 6.තපස, 7.අක්‍රෝධය, 8.අවිහිංසාව, 9.ඉවසීම, 10.අවිරෝධය

එපමණක් නොව සතර අගතිය සතර සංග්‍රහ වස්තුව ආදී ඉගැන්වීම් ද බෞද්ධ දේශපාලන දර්ශනය තුළ අතිශයින් වැදගත් වේ. බෞද්ධ දේශපාලන ඉගැන්වීම්වල පරමාදර්ශය ප්‍රායෝගික තලයේ ම පවතී. එනම්, තීන්දු තීරණ ගැනීමේ දී සාමූහික පදනමක් මත පිහිටා කටයුතු කළ භික්ෂූ සමාජයයි.

0 comments: