Hot!

''අධ්‍යාපනය 21 වන සියවසට ගැළපෙන ලෙස නවීකරණය කරනවා'' - අගමැති


"ළඟම පාසල - හොඳම පාසල" වැඩසටහනේ දෙවන අදියර යටතේ ඉදි කළ පාසල් 250 ක් සිසුගත කිරීම නිමිත්තෙන් පේරාදෙනිය, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවැති ජාතික උත්සවය අමතමින් ඊයේ (4) දින අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ, 21 වන ශත වර්ෂයේ අභියෝගයන් ජයගත හැකි, එම ශත වර්ෂයේ තාක්‍ෂණයට මුහුණ දිය හැකි හා ඒ ශතවර්ෂයට සරිලන පරිදි ජීවත් විය හැකි පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපනය නවීකරණයට ලක්කරන බවයි. 

තාක්‍ෂණ දැනුමෙන් හා අධ්‍යාපනයෙන් පරිපූර්ණ දකුණු ආසියාවේ හොඳම පාසල් ක්‍රමය මෙරට ඇති කිරීමට කැප වන බවත්, එවැනි අලූත් දැනුමක් නොමැතිව ඉදිරියට යා නොහැකි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.


එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවේ,

අද ගොඩනැගිලි 250 ක් විවෘත වුණා ්'

''පළමුවෙන්ම පේරාදෙණිය අධ්‍යාපන විද්‍යාපීඨයේ සහ නුවර අනෙකුත් පාසල්වල තඣර්යවාදක හා නර්තන කණ්ඩායම්වලට මම ප්‍රශංසා කරනවා. අද "ළඟම පාසල - හොඳම පාසල" වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 250ක් රටපුරා විවෘත කිරීම සිදු කරනවා. මීට පෙර පාසල් ගොඩනැගිලි විවෘත කරන්නේ එක් දිනකට එක් ගොඩනැගිල්ලක් පමණයි. නමුත් අද ගොඩනැගිලි 250ක් අපේ රජය යටතේ විවෘත වුණා. 

පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දේශන ශාලාව, ශ්‍රවනාගාරය සහ සුහුරු පන්ති කාමර විවෘත කිරීම එම වැඩසටහනේ ප්‍රධාන අවස්ථාව ලෙස හැදින්විය හැකියි. මා අද සහභාගි වී සිටින්නේ එම ප්‍රධාන අවස්ථාවටයි. මෙහිදී විවෘත වන මෙම ව්‍යාපෘති අද විවෘත වන අනෙක් පාසල් 249 ටම බලපාන බව සඳහන් කළ යුතුයි. රටේ විද්‍යාලවල ඉදිකරන සුහුරු පන්ති කාමරවල ඉගැන්වීම සිදුකිරීම සඳහා අවශ්‍ය දැනුම මෙහිදී ගුරුවරුන්ට ලබා දෙනවා. 

පසුගිය වසරේ අපි සුහුරු පන්ති කාමර වැඩසටහන ආරම්භ කළා. කුරුණෑගල සුහුරු මධ්‍ය මහා විද්‍යාලයක් ආරම්භ කළා. මේ වන විට රටේ පාසල් 600ක පමණ සුහුරු පන්ති කාමර ක්‍රියාත්මක වෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම මත පේරාදෙණියේ ජාතික පාසලක් ආරම්භ කරනවා. 

කළුලෑල්ල, සුදු ලෑල්ල නොමැති සුහුරු ලෑල්ල පමණක් ඇති පන්ති කාමර අද අපි ආරම්භ කළා. එම පන්ති කාමර තුල ගල්ලෑල්ල, පුස්කොළ පොත, තීන්ත පෑන, බෝල්පොයින්ට් පෑන ආදී කිසිවක් නොමැතිව 21 වන සියවසට ගැලපෙන නවීන තාක්ෂණය මුසු වූ පන්ති කාමරයක් තුලට අද අපි ඇතුළු වෙනවා. 

අපි පාසල් අධ්‍යාපනය ලබන අවදියේ මෙතරම් තාක්ෂණික පහසුකම් තිබුණේ නැහැ. ලිවීමට භාවිත කළේ තීන්ත පෑන හෝ බෝල්පොයින්ට් පෑනයි. එසේ නම් රටේ සෑම අංශයක්ම නවීකරණය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ වැඩසටහන මේ ආකාරයට සිදු කෙරෙනවා. 


''කොළඹ සිට මාලඹේ සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඉදිවෙනවා'' 

ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ ප්‍රධාන වැඩසටහනට ඊයේ මම සහභාගි වුණා. ඒ යටතේ කොළඹ සිට මාලඹේ දක්වා සැහැල්ලූ දුම්රිය පද්ධතියක් ඉදිකෙරෙනවා. පසුව එය කඩවත, කඩුවෙල, කොට්ටාව දක්වා දීර්ඝ කිරීමටත් නියමිතයි. 

අද මම මේ සහභාගි වී සිටින්නේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ වැඩසටහනටයි. අද රටේ අධ්‍යාපනය නවීකරණය කිරීමට අවශ්‍ය ගුරු පුහුණුව ලබාදෙන මෙම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පහසුකම් නවීකරණය කර විවෘත කිරීම කිරීමට අපි කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය 21 වෙනි ශත වර්ෂයට සුදුසු ලෙස සකස් කළ යුතුයි. මෙහි අසුන් ගෙන සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන ඔබ සියලූ දෙනා 2060, 2070 පමණ වන තුරු ජීවත් වෙනවා. ඒ කාලය වන විට ලෝකය සීඝ්‍රයෙන් දියුණු වෙනවා. ඒ සීඝ්‍ර දියුණුවට අප සූදානම් විය යුතුයි. 

අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට නම් පාසල්වල මූලික යටිතල පහසුකම් තිබිය යුතුයි. අප ආණ්ඩුව බාරගත් පසු  අධ්‍යාපනය නවීකරණයට අවශ්‍ය යටිතල පහසුකම් පාසල්වල නොමැති බව අවබෝධ වුණා. අධ්‍යාපන ඇමතිතුමා "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන ආරම්භ කළේ  පාසල්වල පහසුකම් සංවර්ධනය කිරීමටයි. එම වැඩසටහන ජාතික පාසල්වලට පමණක් සීමා නොකර ලංකාවේ සියලූම පාසල්වලට ගොඩනැගිලි ලබාදීමට අපි කටයුතු කළා. අවශ්‍ය පහසුකම්වලින් සපිරි ගොඩනැගිලි හෝ පන්ති කාමර පාසල්වල නොමැති නම් අධ්‍යාපනය නවීකරණය කිරීමට නොහැකියි. 

දෙවනුව පුහුණු ගුරුවරුන්, ඩිප්ලෝමාධාරී ගුරුවරුන් සහ උපාධිධාරි ගුරුවරුන් පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇතුලත් කර ගැනීමට අපි කටයුතු කළා. 2015 දී ආණ්ඩු බලය ලබා ගන්නා විට ශ්‍රී ලංකාවේ පාසල්වල නුපුහුණු ගුරුවරුන් විශාල සංඛ්‍යාවක් සේවයේ නිරත වුණා. ඒ සියලූ දෙනාටම විධිමත් පුහුණුුවක් ලබාදීමට අප කටයුතු කළා. එම පුහුණුව ලබා දීමට ඉතිරිව තිබෙන්නේ තවත් නුපුහුණු ගුරුවරුන් පන්දහසකට පමණයි. ඒ සියලූ දෙනාටමත් අපි ගුරු පුහුණුව ලබා දෙනවා. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සම්පූර්ණයෙන්ම පුහුණු ගුරුවරුන්  සිටින දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසිය යුතුයි.

තුන්වෙනුව අපි තවත් කාර්යයක් ආරම්භ කර තිබෙනවා. රටේ ඇතැම් විද්‍යාලවල අධ්‍යාපනය ලබාදීම ඉතා හොඳ මට්ටමක තිබෙන අතර ඇතැම් විද්‍යාලවල අධ්‍යාපනය ලබාදීම සතුටුදායක මට්ටමක නොමැති බව පෙනෙන්නට තිබෙනවා. එම නිසා මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව වැනි රටවල්  සිදුකරන ආකාරයට පාසල් සුපරික්ෂා සේවය නැවත ඇති කළ යුතුයි. එම කණ්ඩායම වසරින් වසර පාසල් පිළිබද වාර්තා ලබාදෙනවා. 

එම වාර්තා ශිෂ්‍යයන්ට, ආදි ශිෂ්‍යයන්ට, ගුරුවරුන්ට අධ්‍යයනය කිරීමට හැකියි. එහිදි පාසලේ වැරදි නිවැරදි කර ගැනීමට සුපරික්ෂා සේවය හරහා හැකියාව ලැබෙනවා. පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සෑමදාම පාසලට පැමිණ අධ්‍යාපනය ලබාගත යුතුයි. නමුත් ඇතැම් අවස්ථාවල අසනීප තත්වයන්ට ගොදුරුවීම් හෝ වෙනත් කරදර වලට මුහුණ පෑමට සිදු වෙනවා. ඒ වෙනුවෙන් අපේ රජය යටතේ සිසු සුරක්ෂා රක්ෂණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. 

එසේ නම් අපේ ආණ්ඩුව යටතේ පාසල් දූ දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ වගකීම භාරගෙන තිබෙනවා. පාසල් ගොඩනැගිලි සහ අවශ්‍ය පහසුකම් ලබාදීම පිළිබඳ වගකීම භාරගෙන තිබෙනවා. ගුරුවරුන්ට පුහුණුව ලබාදීම, පාසල් සුපරීක්ෂණය කිරීම ආදියෙහි වගකීමත් අපේ රජය විසින් ඉටුකරමින්  තිබෙනවා. 

එහි තවත් පියවරක් ලෙස සියලූම පාසල් දරුවන්ට වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අපි කටයුතු කළා. පාසල් අධ්‍යාපනය ලබන සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාල වරම් ලබාගැනීමට නොහැකි බව මා පිළිගන්නවා. තම තමන් දක්ෂතා දක්වන විවිධ විෂයන් තිබෙනවා.  ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැâරීම අත්‍යවශ්‍ය නැහැ. රටේ ප්‍රවීන නළු නිලියන් අතුරින් ඇතැම් අය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරු අය නොවෙයි. රටේ දක්ෂ ගායකයෙක් වීමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අනිවාර්ය නැහැ. 

එසේ නම් මට අවශ්‍ය වන්නේ ඔබ ඔබේ දක්ෂතා හඳුනා ගැනීමයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ඔබ දක්ෂ සංගීත විෂයට නම්, නර්තනයට නම්, චිත්‍ර ශිල්පයට නම් හෝ ක්‍රීඩාවට නම් ඔබ ඒ ඒ විෂයන් ඉදිරියටම හැදෑරිය යුතුයි. සාමාන්‍ය පෙළින් පසු සිසු දරුවන්ට පාසලේ අධ්‍යාපනය ලබමින් තම තමන්ගේ විෂයන් ඉදිරියටම හැදෑරිමට අවශ්‍ය අවස්ථාව සලසා දීම අපේ අරමුණයි. පාසලෙන් පිටවූ පසු වෘත්තීය අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට අප කටයුතු කරනවා.


''අධ්‍යාපනය නවීකරණය වෙනවා'' 

අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ තවත් වැඩසටහනක් මේ වසරේ අප ආරම්භ කරනවා. උසස් පෙළ විෂයන් හදාරන සිසු දරු දැරියන්ට ටැබ් පරිගණක ලබාදීමට මේ වසරේ අපි කටයුතු කරනවා. මේ වැඩසටහන යටතේ පොහොසත් දුප්පත් බේදයකින් තොරව සියලූම දරුවන්ට අධ්‍යාපනයට අවශ්‍ය ටැබ් පරිගණක යන්ත්‍රයක් හිමිවෙනවා.

පළමුවෙන් මෙය ජාතික පාසල් තුල ක්‍රියාත්මක කරන අතර දෙවනුව වයි-ෆයි පහසුකම්  තිබෙන පළාත් පාසල්වල ටැබ් පරිගණක ලබාදීම ක්‍රියාත්මක කරනවා. ඒ අතරතුර වයි ෆයි නොමැති පාසල්වලට එම තාක්ෂණය ලබාදීමෙන් පසුව උසස් පෙළ අංශයන් වෙත ටැබ් පරිගණක ලබාදෙනවා. මේ ආකාරයට රටේ සියලූම පාසල් ආවරණය කරමින් ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. 

එසේ නම් නවීකරණය වූ අධ්‍යාපන ක්‍රමය තුල ටැබ් පරිගණකයෙන් සහ පරිගණකයෙන් අධ්‍යාපනය හැදෑරීමට සිසු දරු දැරියන්ට අවස්ථාව ලැබෙනවා. අද අපේ රටේ පරිගණක ආශ්‍රිත කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට තිබෙන ප්‍රධානම ගැටළුව නම් පරිගණක දැනුම නොමැති අනු දහසක පමණ හිඟයක් තිබීමයි. එම නිසා ඊට අවශ්‍ය දැනුම ලබාදීමට අපි කටයුතු කළයුතුයි. 

සෑම පාසලකටම විද්‍යා විෂය සඳහා අවශ්‍ය ගුරුවරුන් ලබාදෙනවා. ඒ වගේම ඉංගී්‍රසි භාෂාව සහ අනෙක් විදේශ භාෂා ඉගැන්වීම සඳහාත් ගුරුවරුන් ලබාදෙනවා. අධ්‍යාපනය නවීකරණය කිරීමේ තවත් කොටසක් ලෙස එය හැදින්විය හැකියි. 

''සෑම දෙයකටම වඩා වැදගත් අධ්‍යාපනයයි'' 

සෑම දෙයකටම වඩා වැදගත් වන්නේ අධ්‍යාපනයයි. මා පාර්ලිමේන්තුවට පැමිණි කාලයේ මේ බව මට ඉගැන්වූයේ අබ්දුල් හලීම් ඇමතිතුමාගේ මාමා වන ඒ. සී. එස්. හමීඩ් මැතිතුමායි. අධ්‍යාපනයට මුදල් වෙන් කරමින් අධ්‍යාපනය සංවර්ධන කළ යුතු බව එතුමා මට පැවසුවා. රටක් දියුණු වන්නේ ඒ අනුව බවයි එතුමා එදා ප්‍රකාශ කළේ. 

අද අපි නොදකින තවත් වසර 20 න් ඇතිවන නව තාක්ෂණය භාවිත කළ හැකි, 21 වන ශත වර්ෂයට ගැලපෙන පරපුරක් අපි නිර්මාණය කළ යුතුයි. අලූත් පරපුරක් සහ අලූත් ශ්‍රී ලංකාවක් අපි නිර්මාණය කරගත යුතුයි. නව පරපුරක් හෝ නව දැනුමක් නොමැති නම් තාක්ෂණය සමඟ ඉදිරියට නොයනවා නම් අලූත් ශ්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමෙන් පළක් නැහැ.  එම නිසා අප මේ සිදුකරමින් සිටින්නේ අධ්‍යාපනය නවිකරණය කිරීමේ පළමු වැඩ කොටස බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. 

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අකිල විරාජ් මැතිතුමා පත්කිරීමෙන් පසුව රටේ සෑම තැනකම අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ඇතිවී ඇති දියුණුව අපට පෙනෙනවා. ඒ වෙනුවෙන් අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශයේ සියලූම කාර්ය මණ්ඩලයට ස්තුති වන්ත වෙනවා. 

පේරාදෙණිය අධ්‍යාපන විද්‍යා පීඨය ආරම්භ කිරීමෙන් පසුව මා අද නැවතත් මෙහි පැමිණ තිබෙනවා. මෙම ස්ථානයේ  ගොඩනැගිලි සංඛ්‍යාව වැඩි වී තිබෙන බව පෙනෙනවා. එදා පුහුණු විද්‍යාලයක්ව පැවති මෙය විද්‍යා පීඨයක් බවට පත්කිරීමට අපි කටයුතු කළා. පේරාදෙණිය සහ මහවැලි  විද්‍යා පීඨය යන ආයතන දෙකම මම එදා නුවර ආරම්භ කළා. මෙම විද්‍යා පීඨ හරහා ගුරුවරුන් අධ්‍යාපනය ලබා පිටවී ගොස් තිබෙනවා. ඒවගේම මේ තුලින් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල සේවයක් ඉටුවී තිබෙනවා. එසේ නම් දැනට මේ විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසුන්ට මම අවසන් වශයෙන් සුබ ප්‍රර්ථනා කරනවා.'' යන්නයි.  






0 comments: