Hot!

මරණ දඬුවම ඉල්ලා සිටීම සහ හිට්ලර් කෙනෙකු ඉල්ලා සිටීම




- ගාමිණී වියන්ගොඩ -



හදිසි විසඳුමක් ගැන විශ්වාසය ? 

මේ ඉල්ලීම් දෙක පසුපසම ඇත්තේ එකම රෝග නිදානයකි. එනම්, මහා අසාර්ථකත්වයකින් සිදුවන මංමුළාවකින් ගොඩඒම සඳහා යම් සමාජයක් ක්ෂණික සහ හදිසි විසඳුමක් කෙරෙහි විශ්වාසය තැබීමට දක්වන ආවේගශීලී ආශාව ය. 
  
මෙය අපි පැහැදිලි කර ගමු. 

මරණ දඬුවම සැලකෙන්නේ රටක අපරාධ මර්දනය කිරීම සඳහා යොදාගත හැකි කාර්යක්ෂම නිවාරකයක් වශයෙනි. නිවාරකයක් යනු, යම් අපරාධයක් කිරීමට කෙනෙකු තුළ ඇති විය හැකි පෙළඹවීම අධෛර්යමත් කෙරෙන තිරිංගයකි. මම යම් කෙනෙකු ඝාතනය කළොත්, එහි ප්‍රතිවිපාකයක් වශයෙන් එල්ලුම් ගස් යාමට මට සිදුවෙතැයි යන භීතිය නිසා එම ඝාතනය කිරීමෙන් මා වළකනු ලැබීම එයින් අදහස් කෙරේ. ඒ අනුව, මරණ දඬුවම ඔස්සේ රටක අපරාධ සිදුවීම අවම කරගත හැකි යැයි විශ්වාස කෙරේ. ඒ නිසා, රටක අපරාධ සිදුවීම සීග්‍රයෙන් වැඩි වන අවස්ථාවක ඒ ප්‍රවණතාව මැඩලීම සඳහා මරණ දඬුවම යොදාගත යුතුව ඇතැයි යන ජනප්‍රිය විශ්වාසයක් ලෝකය පුරා අඩුවැඩි වශයෙන් සමාජගතව තිබේ. 

මෑතකාලීනව ලංකාවේ අපරාධ වැඩි වුණාද ? 

ලංකාව සම්බන්ධයෙන් ගත් විට, රටේ අපරාධ සංඛ්‍යාව පසුගිය කාලය තුළ වැඩි වී ඇති බවට කිසි සංඛ්‍යා ලේඛනයක් සාක්ෂි නොදරයි. ඒ ගැන මීට පෙර, වෙනත් නොයෙක් තැන්වලදී මෙන්ම මේ කොලමේදීත් කරුණු දක්වා තිබේ. අප සොයා බැලිය යුත්තේ, රටක ජනගහනයේ වර්ධනයට සාපේක්ෂව එරටේ අපරාධ සංඛ්‍යාවේ අධිකතර වර්ධනයක් පෙන්නුම් කරන්නේද යන්නයි. එහෙත්, මීට අවුරුදු තිහකට හෝ හතළිහකට පෙර තිබුණාට වඩා අද ලංකාවේ අපරාධ වැඩි වී ඇතැයි කෙනෙකුට ඇස් මට්ටමෙන් පෙනෙන්ට තිබේ. එසේ වන්නේ, ඇත්ත වශයෙන්ම, ජනගහනයේ වර්ධනයට සාපේක්ෂව අපරාධ සංඛ්‍යාවේ වර්ධනයක් වී ඇති නිසා නොව, ඉස්සරට වඩා අපරාධ වාර්තා වීම සහ සමාජයට ඒ අපරාධ පිළිබඳ අනුවේදනීය තොරතුරු ගලා යාම අද දියුණු වී ඇති නිසා ය. ඒ නිසා, කලත්තෑවේ මිනීමැරුම් සහ කිරඹකන්ද මිනීමැරුම වැනි රටක් සංවේගයට පත්කළ අපරාධ පිළිබඳව මුද්‍රිත මාධ්‍යයෙන් පමණක් තොරතුරු ගලා එමින් පැවති යුගය අවසන්ව, අද වන විට එවැනි අපරාධ වඩාත් ආවේගශීලීව සහ සමාජයක් ප්‍රකෝප කරවන ආකාරයෙන් ‘සජීවීව’ සමාජයක් දැනුවත් කිරීමේ (රූපවාහිනිය ආදී) ඩිජිටල් යුගයට අප පැමිණ ඇත. ඒ නිසා ඉස්සරට වඩා අද අපරාධ සිදුවන බවට ස්පර්ශනීය හැඟීමක් රට තුළ ඇති කරනු ලැබේ. 

බරපතල මත්ද්‍රව්‍ය උවදුර 

කරුණු එසේ වෙතත්, ඉස්සර නොතිබුණු අලුත් අපරාධයකටත් අද ලෝකය මුහුණදී සිටී. එනම්, මත්ද්‍රව්‍ය උවදුරයි. ලංකාව සම්බන්ධයෙන් ගත් විට මෙය 60 හෝ 70 දශකයේ නොපැවතුණු අපරාධ විශේෂයකි. ඊටත් වඩා, (මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණ වැනි) වෙනත් අපරාධවලට වෙනස්ව, මේ කියන මත්ද්‍රව්‍ය උවදුර, මුළු සමාජයක්ම අසාධ්‍ය කරවන, සමාජාර්ථික ප්‍රශ්නයක් බවට බොහෝ රටවල් තුළ පත්ව තිබේ. ලංකාවත් ඊට අයත් ය. අද ලංකාවේ හිරගෙවල් තුළ සිටින සංඛ්‍යාවෙන් සියයට 60 ක පමණ ප්‍රමාණයක් (එක් වාර්තාවකට අනුව) මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සිරකරුවන්ගෙන් සමන්විතව ඇතැයි කියන්නේ එබැවිනි. මෙය, ඉස්සරට වඩා අද තොරතුරු තාක්ෂණය දියුණු වීම නිසා පමණක් සමාජය දැනුවත් භාවයට පත්ව සිටින අපරාධයක් වශයෙන් නොව, ඇත්ත වශයෙන්ම, සාපේක්ෂ වශයෙන් ගත්තත්, නිරපේක්ෂව ගත්තත්, ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර කිසි දවසක නොවූ විරූ බරපතල තත්වයකට අද පත්ව ඇති බව අපට පිළිගැනීමට සිදුවෙයි.

මත්උවදුර නැති කිරීමට ඒ සමාජ අවකාශය වසාදැමීම 

දැන්, මේ උවදුර නැති කිරීම සඳහා කළ යුතුව ඇත්තේ කුමක් ද? මුලින්ම, ඊට ගොදුරු වන සමාජ අවකාශය වසා දැමිය යුතුව තිබේ. එය සමාජ විද්‍යාත්මකව විමසා බැලිය යුතු කාරණයකි. එසේම, දීර්ඝ කාලයක් සහ සංකීර්ණ වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියාවට නැංවිය යුතු සංයුක්ත දැක්මකි. මෙය, ඒ ගැන සාකච්ඡා කිරීමට ස්ථානය නොවේ. එහෙත්, දැන් තිබෙන ආකාරයෙන්ම මත්ද්‍රව්‍ය ඇබ්බැහිය දිගටම පවතිතැයි අපි උපකල්පනය කරමු. එවිට, නිවාරණය සමග මූලෝත්පාඨනයත් අවශ්‍ය කෙරේ. මෙය, මේ දවස්වල අප අත්දකින දෛනික සිද්ධියකින් මෙසේ විස්තර කළ හැක. මා ජීවත් වන ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් මැඩලීම සඳහා මාස හයකට පමණ වරක් මදුරු නාශක බෙහෙත් ඉසිනු ලැබේ. දිනපතාම මදුරු තෙල් ඉස්සත් ඩෙංගු වසංගතය මර්දනය කළ නොහැකි බව දන්නා බලධාරීන්, සති දෙක තුනකට වරක් සෑම නිවසක් සහ වත්තක්ම පාහේ පරීක්ෂාවට ලක්කරනු ලැබේ. ඒ, ඩෙංගු මදුරුවා බෝ විය හැකි, වතුර රැස්වන මූලාශ්‍ර තිබේදැයි සොයා බැලීමට ය. මූලෝත්පාඨනය යනුවෙන් අදහස් වන්නේ එයයි. අර කී අර්ධ-වාර්ෂික තෙල් බෙහෙත් ගැසීම එල්ලුම් ගස වැනි ය. 

මේ අත්දැකීම තව ටිකක් ඉදිරියට ගෙන යාමට මම කැමැත්තෙමි. මදුරු තෙල් ගැසීම දැන් පෞද්ගලික ව්‍යවසායක් වී තිබේ. ඒ අනුව, ගාස්තුවක් ගෙවීමට හැකි අයට පමණක් එම සේවාව සපයන තත්වයක් අද දැකිය හැකිය. දැන්, මම රුපියල් දෙතුන් සීයක් ගෙවා මගේ වත්තට මදුරු තෙල් ගසා ගමි. එහෙත් අල්ලපු වත්තේ කෙනා එය කරන්නේ නැත. අපේ නිවෙස් දෙක අතර තාප්පයක් ගසා ඇතත්, අල්ලපු වත්තේ මදුරුවාට තාප්පයට උඩින් පියාඹන්ට පිළිවන. මේ කියන පෞද්ගලික තෙල් බෙහෙත් ගැසීම ජනාධිපති සිරිසේනගේ එල්ලුම් ගසට සමාන ය.

මරාදමන්න නියමිත හතරදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් දම්වැලේ කී වැනි පුරුක්ද ?

අපි මෙසේ ගමු. දැනට එල්ලා මරන්නැයි ජනාධිපතිවරයා අනුමැතිය දී අත්සන් කොට ඇතැයි කියන සිව් දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් දම්වැලේ කී වැනි පුරුක් ද ? ඔවුන් ඒ දම්වැලේ ප්‍රමුඛ පෙළේ මුල් පුරුක් නම්, දැනටත් ඔවුන් හිරභාරයේ සිටින තත්වය තුළ රටේ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට අවම වී ඇති බවක් පෙනෙන්ට තිබිය යුතුය. එසේ නොවන්නේ මන්ද? ඊට කරුණු දෙකක් බලපායි. එකක් වන්නේ, ඔවුන්ට ඉහළින් තව ප්‍රබල පුරුක් ජාලයක් තිබිය හැකි බවයි. දෙවැන්න වන්නේ, ඔවුන් මුල් පුරුක් වුණත්, හිරගෙදර සිටිමින්ම මත්ද්‍රව්‍ය ව්‍යපාරය හැසිරීවීමට ඔවුන්ට පහසුකම් ඇති බවයි. මේ දෙවැනුව කී කාරණය, එනම්, හිරගෙය සහ පිටස්තර ලෝකය බද්ධ කෙරෙන ජාලය පිළිබඳ ප්‍රශ්නය, මේ හතර දෙනාව එල්ලා මැරීමෙන් විසඳෙන්නේ නැත. ඊට කලින් කී කාරණය, එනම් මොවුන්ට වඩා ප්‍රබල පුරුක් හිරගෙදරින් පිටත ජාලයේ සිටී නම්, මේ හතර දෙනා එල්ලා මැරීමෙන් ඒ ප්‍රශ්නය විසඳෙන්නේත් නැත. මේ අවස්ථා දෙකේදීම සිද්ධ වන්නේ, මේ හතර දෙනා වෙනුවට තවත් පිරිසක් ඒ ස්ථානයට පත්වීමත්, ජාවාරම එයාකාරයෙන්ම ඉදිරියට යාමත් ය. 

මෙසේ හෙයින්, ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලයේ ශීර්ෂය පිළිබඳ ප්‍රශ්නය සැලකිල්ලට ගත යුතුව තිබේ. එය, ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනයට පෙකෙණිවැලෙන් අනුබද්ධිත ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ වැනි මහජාතික පක්ෂ සේම, විවිධ සුළු ජාතික පක්ෂත්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් විවිධාකාර අනුග්‍රහ ලබන බව සමාජය දනී. එම ජාවාරමෙන් ලැබෙන මූල්‍ය අනුග්‍රහයට පමණක් නොව, එකී ජාවාරම්කරුවන්ගේ ආරක්ෂකයන් බවටත්, සෘජුව හෝ වක්‍රව, මෙකී දේශපාලනය සම්බන්ධ බවට වාර්තා තිබේ. රාජපක්ෂ පාලන කාලයේ හිටපු අගමැතිවරයෙකු මත්ද්‍රව්‍ය කන්ටේනරයක් හෝ දෙකක් නිරුපද්‍රිතව පිට කර ගැනීමට වරක් අනුග්‍රහ දැක්වූ බව මුළු රටම දනී. මත්ද්‍රව්‍ය පිළිබඳ සැකයට භාජනය වී සිටි එක් දේශපාලඥයෙකුගේ නිවසක් පොලීසිය වැටලූ අවස්ථාවේ එම ජනාධිපතිවරයා තකහනියක් හෙලිකොපටරයකින් එහි ගොස්, අදාළ දේශපාලඥයාට එම වැටලීමෙන් ඇති වූ ‘අපහසුව’ ගැන ශෝකයෙන් ඔහුව බදාගත් අයුරු අපි දුටුවෙමු. වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වූ සැණින් එම දේශපාලඥයාව ඒ පළාතේ තමාගේ සංවිධායකයා කරගත්තේය. වර්තමාන ආණ්ඩුව පෙරලා බලය ලබා ගැනීමට ඉදිරියෙන්ම පොරකන පොදු විපක්ෂයේ ශුද්ධවන්තයෙකුගේ මහා කසිප්පු තිප්පොළක් ගිය සතියේ සොයා ගැනුණි. 

මේ දේශපාලනය නිසාම, මත්ද්‍රව්‍ය මැඩලීමේ නෛතික යාන්ත්‍රණය කෙරෙහි ජාවාරම්කරුවන්ගේ අතපෙවීම් සිදුවන බව විටින් විට වාර්තා වෙයි. පොලීසිය ඇතුළු ආයතන එහිදී විවිධාකාරයෙන් ජාවාරම්කරුවන්ගේ අපරාධ සහායකයන් වී ඇති බව පෙනේ. ඉතිං, එවැනි බලපුලුවන්කාර තත්වයකට ජාවාරම පත්වූ පසු, එහි අභ්‍යන්තර යාන්ත්‍රණයේ සංකීර්ණත්වය ගැන කිසිවක් නොදන්නා අහිංසක සාමාන්‍ය ජනතාවට කළ හැක්කේ, ‘කුඩුකාරයන්ව එල්ලා මරන්නැයි’ ඉල්ලා සිටීම පමණි. මේ ජනතාව දැනටමත්, මරණීය දණ්ඩනයේ ඊනියා සාර්ථකත්වයක් පිළිබඳ සාවද්‍ය විශ්වාසයක එල්බ සිටින තත්වයක් තුළ, මත්ද්‍රව්‍ය උවදුරත් ඒ එල්ලුම් ගසෙන්ම විසඳාගත හැකි යැයි විශ්වාස කිරීම පුදුමයක් නොවේ. 

මගේ තර්කය වන්නේ මෙයයි. මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, සම්බන්දන්, රවුෆ් හකීම් සහ රිෂාද් බද්යුද්දීන් ඇතුළු ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලඥයන්ගේ අසාර්ථකත්වයට විකල්පයක් වශයෙන් එල්ලුම් ගස තුළින් ආකර්ශනීය ගැලවීමක් දේශපාලඥයන්ට සැපයෙන බවයි. මෛත්‍රීපාල සිරිසේන අද මත්ද්‍රව්‍ය විරෝධී ශුද්ධ යුද්ධයේ මහා රණවිරුවා වී ඇත්තේ එබැවිනි.

ඊළඟට, හිට්ලර් කෙනෙකු ඉල්ලා සිටීම ගන්න. 

නිදහසේ පටන්, ලංකාවේ ආර්ථිකය අවකළමනාකරණය කළ සහ සමාජ ප්‍රශ්න අවුල් කළ දේශපාලනික සංස්කෘතියෙන් මේ වන විට ජනතාව හෙම්බත්ව සිටී. විශේෂයෙන්, 2015 දී තබා ගත් පෙර නොවූ විරු නැවුම් බලාපොරොත්තු, සිරිසේන-වික්‍රමසිංහ යුගලය විසින් ව්‍යර්ථ කරනු ලැබීමෙන් පසු අහිංසක මිනිස්සු ‘විකල්පයක්’ සෙවීමට පෙළඹෙති. ඒ අනුව, ලංකාවේ දේශපාලනික සංස්කෘතියේ ‘විකල්ප වෙළඳපොළක්’ මෑතක සිට බිහි විය. නයි නටවන්නන් සහ තෙල් බෙහෙත්කාරයන් විවිධ නාමයන්ගෙන් මේ වන විට මාධ්‍ය ඔස්සේ ඉදිරි ජනාධිපතිවරුන් වශයෙන් කලඑළියට එන්නේ ඒ ‘ඉල්ලුම’ සංසිඳුවීමටයි. ඉන් එක් නයි නටවන්නෙකු, බලයට පත්වුනොත් තමා ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කෙසේදැයි ඇසූ විට කීවේ, බලයට පත්වූ දාට පසුව දාම තමන් එය අහෝසි කිරීමේ නියෝගයට අත්සන් කරන බවයි. ඒ පිස්සාට ඒ තරමට එය පහසු කාරියකි. 

‘හිට්ලර්‘, විකල්ප වෙළඳපොළට තවත් භාණ්ඩයක්

‘හිට්ලර්’ යනු, එකී ‘විකල්ප වෙළඳපොළට’ සපයන ලද තවත් භාණ්ඩයකි. මේ ආණ්ඩුව කිසිවක් හරිහමන් ආකාරයෙන් කරකියාගත නොහැකි පාලනයක් බව අද වන විට පෙන්නුම් කොට ඇත. ජනාධිපති සිරිසේන රටම හිනස්සන ද්‍රෝහී විකටයෙකු වී සිටින අතරේ අගමැති වික්‍රමසිංහ කිසිවක් කරකියාගත නොහැකි ගල්ආඳෙකු බවට පත්ව ඇත. 19 වැනි සංශෝධනය මේ රටට පාත් වූ ලොකුම හෙනය යැයි සිරිසේන කියන විට, වික්‍රමසිංහ පසුගිය 1 වැනි දා පටන්, ඉදිරි මැතිවරණයක් වෙනුවෙන් ජනතාවට අල්ලස් සපයන ‘සුදු ජුලියක්’ පටන්ගෙන ඇත. මහින්ද රාජපක්ෂගේ කබලෙන්, සිරිසේන-වික්‍රමසිංහගේ ලිපට තමන් වැටී ඇතැයි මැදහත් ජනතාවට සිතේ. එවැනි තත්වයකදී, මිනිස්සු අපේක්ෂා කරන්නේ, ‘හිට්ලර්’ කෙනෙකි. 

මේ ලිපියේ ප්‍රස්තුතය වුණේ එල්ලුම් ගසේ සාර්ථකත්වය පිළිබඳ මිථ්‍යාව සහ ‘හිට්ලර්’ කෙනෙකු පිළිබඳ අපේක්ෂාවේ භයානක කම පෙන්වා දීම නොවේ. ඒ දෙකම, නිදහසේ සිට මෙතෙක් කල් සිටි පාලකයන්ගේ සහ පාලන තන්ත්‍රවල අසාර්ථකත්වයේ කැඩපතක් බව පෙන්වා දීම පමණි. 


0 comments: