Hot!

“රත්තරන් කතා වස්තුව හෙවත් දෙයියන්ගෙ රටේ ආර්ථිකය” ගැන කියවීමක්



- ලයනල් බෝපගේ - 

“රත්තරන් කතා වස්තුව හෙවත් දෙයියන්ගෙ රටේ ආර්ථිකය” නමැති කෘතිය මට පිළිගැන්වූ අවස්ථාවේ දී මා කල්පනා කලේ එය අපේ රටේ ආර්ථිකය පිළිබඳව ලියන ලද නවකතාවක් විය යුතු බවය. එහෙත් මට එම නව කතාව කියවන්නට අවස්ථාව ලැබුණේ ලංකාවේ සිට ආපසු පැමිණි පසු මේ මෑතක දී ය.

මෙම නවකතාව කියවීමේ දී මට පැන නැඟුණ ප්‍රශ්නය වූයේ මා කියවන්නේ යථාර්ථයක් ද, මනඃකල්පිතයක් ද, එසේ නැත්නම් මනඃකල්පිතයක් හෝ මිථ්‍යාවක් තුලින් මතු කරන යථාර්ථයක් ද පිළිබඳවද යන්නයි. මෙම කතා වස්තුව මා දකින්නේ යථාර්ථවාදී ප්‍රබන්ධයකට ඇතැම් අවස්ථාවල දී මනඃකල්පිත වාතාවරණයන් ඇතුළත් කොට හෝ සංකලනය කොට ගොතන ලද්දක් ලෙසයි. මෙවැනි වෘත්තාන්ත මා කියවා ඇත්තේ බොහෝ විට ලතින් ඇමෙරිකානු සාහිත්‍යය තුලයි. මා කියවා ඇති එවැනි කතුවරයන් අතර කොලොම්බියානු ජාතික ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් සහ චිලී ජාතික ඉසබෙල් අයියන්ඩේ ද වෙයි. මට මතක අන්දමට එවැනි සමහර කෘති ගාමිණී වියන්ගොඩ සොහොයුරා විසින් සිංහලට පෙරලා තිබිණි.

යථාර්ථය ඇසුරු කරගත් කෘතියක්

“රත්තරන් කතා වස්තුව හෙවත් දෙයියන්ගෙ රටේ ආර්ථිකය” කෘතියේ එළි දැක්වෙන කතාව ආරම්භයේදි බොහෝ විට යථාර්ථය ඇසුරෙහි පදනම් වන අතර, විටින් විට දෝලනය වෙමින් අවසානයට ආසන්නව මනඃකල්පිත ලෝකයක් වෙත පාඨකයා ගෙන යයි. බොහෝ විට ඒ මනඃකල්පිත ලෝකය තුල සමස්තයක් ලෙස සමාජයේ පවතින කුහකත්වය මෙන්ම සමස්ත සමාජය සමන්විත කරන ඒකකය වන පුද්ගලයා තුල පවතින තණ්හාව ද, සමාජ සංචල ක්‍රියාවලිය තුල පහළ ස්ථරවල සිට ඉහළට ගමන් කිරීමේ දී පුද්ගලයා ආරෝපණය කර ගන්නා ආත්මාර්ථකාමිත්වය පිළිබඳවද හෙළිදරව් කරන අවස්ථාවන් වෙත පාඨකයා රැගෙන යයි. එය මට දැනුණේ අපේ සමාජයේ හුදු ජන සමූහයා අතර පවතින සමාජ, ආර්ථික. දේශපාලන හා සංස්කෘතික ආකල්පයන්, ප්‍රවේශයන් හා ප‍්‍රවණතාවයන් පිළිබඳ සරල, සංක්ෂිප්ත විශ්ව කෝෂයක් දිග හැර ලීමක් ලෙසිනි. කථාවක් ලෙස එය සරල වෙයි. එහෙත් එය නිතැතින් ම ගලා යන්නේ අපේ සමාජයේ පවතින හැම සංකීර්ණ ප්‍රශ්නයක් ම එහි සරල ග්‍රහණයට නතු කර ගනිමිනි.

කතෘවරයා පැහැදිලි කර දක්වා තිබෙන අන්දමට ආර්ථික විද්‍යාව අන්ධ විද්‍යාවක් ලෙස නොව බහුජනයාට වටහා ගත හැකි ආකාරයෙන් ආර්ථික හා මූල්‍ය සාක්ෂරතාවක් ඇති කිරීම සදහා සුදුසු සාකච්ඡාවක් මෙම නව කතාවෙන් ආරම්භ කර ඇත. දේශපාලන පංතියක හා නිලධාරි පැලැන්තියක වුවමනා එපාකම් සහ වරප්‍රසාද රැක ගැනීම සඳහා රටේ ආර්ථිකය සහ පාලන තන්ත්‍රය නමා දමා සකස් කොට ගෙන තිබෙන අයුරුත්, ඒ සඳහා නොයෙක් ආකාරයේ අල්ලස්, දූෂණ හා මර්දන ව්‍යායාමයන් යොදා ගෙන තිබෙන අයුරුත් 1948 ලබා ගත් බව කියන ඊනියා නිදහසෙන් පසු රටේ පැවති මෙන්ම පවතින යථාර්ථය මත පදනම් වෙමින් ඉදිරිපත් කරන කරුණු පාඨකයාගේ සිත් සතන් තුල පැල පදියම් වන්නේ කිසිදු ආකාරයක අනවශ්‍ය පරිශ්‍රමයකින් තොරව බව සඳහන් කල යුතුය. නවකතාවෙන් දිග හැරෙන්නේ නානාවිධ භේදවලින් උන්මත්තක බවට පත් කොට මංමුළා කොට තිබෙන ජනතාවකට අපේ දේශපාලන පංතියත්, නිලධාරි පැලැන්තියත්, මාධ්‍ය සංස්කෘතියත් විසින් වසංගා තිබෙන අපේ රටේ පවතින සමාජ, ආර්ථික. දේශපාලන හා සංස්කෘතික යථාර්ථයයි.

රටේ සංවර්ධනය හුදෙක් පාරිභෝගිකවාදය මත පදනම් වූවක් නොවේ 

රටේ සංවර්ධනය යනු හුදෙක් පාරිභෝගිකවාදය මතම පදනම් වුණු, හුදෙක් ඉදි කිරීම් සහ නාගරීකරණය වෙත පමණක් මූලිකත්වය දී කටයුතු කිරීමේ ක්‍රියාවලියක් නොවන බවත් එය සැබෑ සංවර්ධනයක් බවට පත් වන්නේ ජනතාවගේ සක්‍රීය සහභාගිත්වයෙන් යුතුව තිරසාර ලෙස ජනතා හා පරිසර හිතවාදී එකක් ලෙස ක්‍රියාත්මක වන්නේ නම් බවත් නවකතාව පුරා ගලා යන තේමාවක් ලෙස මතු වෙයි. කතා වස්තුව ඉදිරියට ගෙන යාමේ දී ඉදිරිපත් කර ඇති ගණන් හිලව් සත්‍ය සංඛ්‍යා ලේඛන මත පදනම්ව තිබීම මෙහිදී පැසසුමට ලක් විය යුතු කරුණකි. රටේ ආර්ථිකයේ මූල්‍ය සංසරණය අහිමි කොට සම්පත් රාශි භූත කොට තබා ගෙන සිටින, ඒවායේ මූල්‍ය අයිතිය ග්‍රහණය කර ගෙන සිටින, ආධාර හා ණය ගැනීම මත පදනම් වෙමින් සිය බලය යොදා දූෂණ කටයුතු හා අල්ලස් මත පිණුම් ගසන, රජ කල මෙන්ම රජ කරන සහ බලය, බලහත්කාරය සහ රාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කරමින් පෞද්ගලික හා රජයේ ව්‍යාපාර අල්ලා ගැනීමට කටයුතු කරන අතලොස්සක කටයුතු ගැනද එහි මනාවට එළි දැක්වෙයි.

රජයේ නිලධාරීන් රාජකාරියට ගොස් ජනතා සේවයට නොව, ගම් පෙදෙස්වල ඔවුන් ඇති කර ගන්නා පුද්ගලික වාණිජ ව්‍යාපෘති මගින් ලාභ උපරිම බවට පත් කිරීමේ කටයුතුවලට කැප වෙයි. ඒ මතින් ඇති කරනු ලබන අල කලංචි මෙන්ම, බ්‍රිතාන්‍යයන් විසින් තේ වගාව ඇති කරන්නට ඉන්දියාවෙන් ගෙන එන ලද අසරණ කම්කරුවන්ට මෙතෙක් දායාද කොට ඇති දුක් අඳෝනාවන් ද, රටේ ආයෝජන අවස්ථා සඳහා ඉදිරිපත් වන ආයෝජකයන්ගෙන් වැඩි වැඩියෙන් කොමිස් මුදල් ගසා කෑමට කටයුතු කිරීමත් කොමිස් මුදල් නොලැබෙන්නේ නම් එවැනි ආයෝජන කෙසේ හෝ වළක්වා ලීමත් නිසා ඇති වී තිබෙන ව්‍යසනයන් ද, නිලධාරි පැලැන්තිය තම වාසිය සඳහා රජයේ චක්‍ර ලේඛන සහ කාර්යාල ක්‍රියා පටිපාටි යොදා ගන්නා ආකාරයත් එසේ කළ නොහැකි වූ විට ඒවා කඩා කප්පල් කර දැමීමට හෝ අඩපණ කර දැමීමට කටයුතු කරන ආකාරයත් ගැන ද කරුණු ඉදිරිපත් කිරීම මේ නවකතාවෙන් ගෙන හැර පාන සමාජ සත්තාවේ ස්වභාවයයි.

ජනතාව සදාචාරාත්මක නොවන කටයුතු වල යෙදෙන්නේ ඇයි ?

එමෙන්ම, රැකියා අවස්ථා නොමැති වීම, පාදා නොදීම සහ ඇති කර නොගැනීම හේතුවෙන් කෙටි කාලීන ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් රටේ නොයෙක් ජන කොටස් සදාචාරාත්මක නොවන කටයුතුවල යෙදීම, අනිසි අන්දමට යොදාගෙන තිබෙන කොන්ත්‍රාත් ක්‍රමය හේතුවෙන්, විශේෂයෙන්ම මහා මාර්ග හා ජලාශ වැනි දේ නඩත්තු කිරීමේ දී රට පුරාම ඇති කර තිබෙන නාස්තිය හා විනාශය, ජන කොටස් අතර ඇති නන් ආකාරයේ වූ මිථ්‍යා විශ්වාස හා වරප්‍රසාද ලත් ආගමික ප‍්‍රභූන්ගේ පැවැත්ම, දේශපාලන පන්තිය සහ නිලධරයේ වැඩි දෙනා කතා සාප්පු පවත්වමින් දරිද්‍රතාවයෙන් පෙලෙන ජන කොටස් මං මුලා කොට ඔවුන්ගේ කාලය කා දැමීම, ජාති, භාෂා, ආගම්, කුල භේද මතු කරමින් හෝ ඇති කරමින් ජන කොටස් භේද භින්න කරන අයුරු, සිය පැවැත්ම තහවුරු කර ගන්නට ජන කොටස් සමූහ වශයෙන් ඝාතනය කර දමන අයුරු වැනි කරුණු සාකච්ඡා කිරීම අතින් මේ කෘතිය නිතැතින් දේශපාලනය ගැන හිතා බලන්නට පාඨකයා යොමු කරන බව පෙනේ. දේශපාලනය ගැන උනන්දු නොවන තරුණ පරම්පරාවක් සිටින රටක මෙවැනි සාකච්ඡාවකට මුල පිරීම ඉතා වැදගත් වේයයි සිතමි.

ජනයාගේ සුබ සෙත, සතුට හා චිත්ත ධෛර්යය පිළිබඳව මෙම නව කතාවෙන් අදහස් ඉදිරිපත් වන්නේ ගමත් නගරයත් ඒ අතර සංක්‍රමණය වන ප්‍රදේශත් මිනිස් ජීවිතවලට දායක වන ආකාරයේ වෙනස්කම් මතු කිරීමෙනි. ගමේ වසන බොහෝ දෙනා ස්වභාවිකව සම්පත් තිරසාර අන්දමින් යොදා ගනිමින් තමා හා අනෙකා අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත තම තමන්ගේ ජීවන අවශ්‍යතා ඉටු කර ගන්නා නමුත් පසුකාලීන ව ගම්බද ජනාවාස පිහිටුවීම සඳහා වතු සහ ඉඩම් කැබලි බවට පත් කිරීම නිසා ඇති කර තිබෙන හානි, වන සංහාරය හා මිනිසුන් සත්ව භූමි ප්‍රදේශ ආක්‍රමණය කිරීම සමඟ මිනිසුන් හා සතුන් සිව්පාවන් අතර ඇතිවී තිබෙන ගැටුම් විසින් ගමේ වාසය කරන ජන කොටස් වල සුබ සෙත, සතුට හා චිත්ත ධෛර්යය හීන බවට පත් කොට ඇත.

ප්‍රබුද්ධ සංවර්ධිත සමාජ - ආර්ථික සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය

නව කතාවෙන් සාකච්ඡාවට ලක් විය යුතු වන වැදගත් අදහස් සමුදාය අතර ප්‍රබුද්ධ සංවර්ධිත සමාජ - ආර්ථික සමාජ ක්‍රමයක් ගොඩ නැඟීමට ඇති අවශ්‍යතාවය මෙන්ම ඒ සමාජ ක්‍රමය ගොඩ නැඟීම වෙනුවෙන් සමස්ත මානව සම්පත ඵලදායී ලෙස සහභාගි කරවා ගැනීම, වාද විවාද කරන්නට දක්ෂ එහෙත් එකඟතාවයන්ට පැමිණ කටයුතු කරන්නට නොහැකි ජනතාවක් සහ නායකයන්ගේ ස්වරූපය හෙළිදරව් කිරීම, ප්‍රජාව හා පුද්ගලික අංශය සහභාගි කරවා ගෙන සමාජ ව්‍යවසායකයත්වයන් මත පදනම් වෙමින් සමාජ ව්‍යාපාරයන් ගොඩ නැඟීම, ඒ සඳහා අවශ්‍ය කරන ස්වයංක්‍රීය තොරතුරු හුවමාරු කිරීම් ඇති කරන්නට නවීන තාක්ෂණය යොදා ගැනීම, සාමූහික ආයෝජන යොදා ගනිමින් අවශ්‍ය වග වීම් යාන්ත්‍රණද සහිතව මහජන සමාගම් ස්ථාපිත කොට ජාත්‍යන්තර මට්ටමෙන් තරඟ කළ හැකි වෙළඳ ව්‍යාපාර ගොඩ නැංවීම, මධ්‍ය කඳුකරය යලිත් ජල ගබඩාවක් බවට පත් කරන්නට හැකි වන සේ බෝග විවිධාංගකරණයක් මෙන්ම පරිසර සංරක්ෂණයේ කේන්ද්‍රස්ථානය ලෙස ගෙන කටයුතු කිරීම, නාගරික සංවර්ධනය නව්‍යකරණයේ පදනම මත සැළසුම් කිරීම, කාන්තාවන් සමානත්වයේ පදනම මත රටේ සමාජ, ආර්ථික, දේශපාලණ හා සංස්කෘතික කටයුතු වලට මැදහත් කරවීම, රටේ අවශ්‍යතාවලට සරිලන ප්‍රමාණයෙන් පමණක් පවත්වා ගෙන යන ලෙස ව්‍යවස්ථාදායකයේ ප්‍රමාණය සීමා කරන්නට කටයුතු කිරීම, ඵලදායී නොවන අන්දමින් කටයුතු කරන සේවකයන්ගේ සේවාව හා ආයතනවල පරිපාලන කටයුතු ඵලදායී කිරීම සඳහා සුදුසු ලෙස අවශ්‍ය පියවර ගැනීම, නිලධාරිවාදී පාලනය ජනතා සහභාගිත්වය මත පදනම් වූ පාලනයකින් විතැන් කිරීම, ජාතික සමගිය ගොඩ නඟන්නට අවශ්‍ය කරන වාතාවරණයන් බිහි කිරීම වැනි කරුණුවලට ප්‍රධාන තැනක් හිමි වෙයි.

නගරයට සංක්‍රමණය වීමේදී අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත පදනම් වූ ඒ ජීවන ශෛලිය හුදෙක් වෙළඳපොළ සහ මූල්‍යමය සම්බන්ධතාවයකින් විතැන් කරන අයුරුත්, භූ විද්‍යාත්මක ව නුසුදුසු ස්ථානවල ගම්මාන ඇති කිරීමෙන් සහ ජනයා පදිංචි කරවීමෙන් පරිසරයට පමුණුවා තිබෙන හානියත් පිළිබඳව මෙම නව කතාවෙන් මතු කරන නමුත්, අළුත් ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතා විසින් ආරම්භයේ දී පැවති රදල වැඩවසම් නිෂ්පාදන සම්බන්ධතාවයන් විතැන් කිරීමේදී අත් කර ගන්නා ලද සමාජයීය ජනනාත්මක ප්‍රතිලාභයන් ගැන එහි සඳහන් නොවන බව මගේ හැඟීමයි. එසේම, නූතන වෛද්‍ය පර්යේෂණ විසින් වස වර්ගයක් ලෙස සීනි හඳුනා ගෙන ඇති වකවානුවක සීනි වගාව ප්‍රසාරණය කිරීම හා ප්‍රවර්ධනය කිරීම සහ සීනි පාරිභෝජනය වැඩි කිරීම ගැන කරන සාකච්ඡාව ලාංකීය ජන සමාජයේ සහ පරිසරයේ සෞඛ්‍යය හා යහපත මෙන්ම තිරසාර සංවර්ධනය සඳහා කෙතරම් දුරට ඉවහල් වන්නේද යන පැනය විරසකයක් ලෙස කතා වස්තුව කියවා ගෙන යද්දී මා සිත තුල නැඟුණේය.

මෙරට සමාජ, ආර්ථික ප්‍රවණතා ගැන උනන්දු වන අයට තෝතැන්නක්

අප මෙල්බර්න් නුවර වසර දෙකහමාරකට පෙර ආරම්භ කොට සකස් කරන ලද ප්‍රතිපත්ති වේදිකා කෙටුම්පතේ ඉදිරිපත් කරන බොහෝ අදහස්වලට සමාන කළ හැකි අදහස් ස්වාධීන ලෙස මෙම කෘතිය තුළින් සාකච්ඡාවට ලක්කර තිබීම අතිශයින් වැදගත් වන බව මගේ කල්පනාවයි. හැම ක්ෂේත්‍රයක් ම සඳහා විධිමත් ජාතික ප්‍රතිපත්ති මාලවක සහ සැලසුම් සහගත වැඩපිළිවෙලක අවශ්‍යතාවය මෙන්ම ඒ සඳහා ඇතැම් අදහස් ද මෙහි සාකච්ඡාවට බඳුන් කොට ඇත. උදාහරණ වශයෙන් කඳුකරයේ නුසුදුසු පෙදෙස්වල පදිංචිව සිටින ජනයා වඩා සුදුසු පෙදෙස්වලට විතැන් කිරීමට සුදුසු ජාතික ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය, සත්ව ලෝකය හා මිනිසුන් අතර ගැටුම් වළකාගන්නට කළ හැකි සැලසුම් මතු කරන සාකච්ඡාවක් මතු කිරීම වැනි කරුණු සැලකිය හැකිය.

අපූර්ව ලෙස යථාර්ථවාදය භාවිතා කොට ඇති මෙම නව කතාවෙන් අපට උකහා ගත හැකි වටිනා අදහස් බොහොමයක් සාකච්ඡා කොට ඇති බව මගේ කල්පනාවයි. ඒ අනුව මෙම කෘතිය අපේ රටේ සමාජ, ආර්ථික. දේශපාලන හා සංස්කෘතික ආකල්පයන්, ප්‍රවේශයන් හා ප‍්‍රවණතාවයන් පිළිබඳව උනන්දුවක් දක්වන සියළු දෙනාගේ පරිශීලනයට භාජනය විය යුත්තකි. එසේම, එවැනි උනන්දුවක් දක්වන්නට හැකිවේයයි අප කල්පනා කරන සියළු දෙනාගේ අවධානයට මෙම නව කතාව ගෙන ඒම රටේත් සමාජයේත් යහපත හා උන්නතිය අපේක්ෂා කරන හැම දෙනාගේ යුතුකමක් ලෙස සැලකිය හැකිය.





0 comments: