Hot!

''දෙමළ භාෂාව ඉගෙන නොගැනීම මගේ අඩුපාඩුවක්'' - අගමැති


2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවන භාෂාව සඳහා විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමට ලක්කරමින් පසුගියදා (18) අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය ක‍ළේ, සිය භාෂා දැනුම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය වෙනුවෙන් සියලුදෙනා වැඩ කළ යුතු බවයි. 


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 

'ඒ කාලේ අපි දෙමළ භාෂාව ඉගෙන ගත්තේ නැහැ'

''අවාසනාවකට මනෝ ගනේෂන් ඇමතිතුමා මෙන් මට දෙමළ භාෂාව කතා කිරීමට නොහැකියි. ඒ කාලයේ අපි දෙමළ භාෂාව ඉගෙන ගත්තේ නැහැ. එය මගේ අඩුපාඩුවක්. නමුත් ඒ කාලයේ මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. එවිට සිංහල නොදන්නා මිත්‍රයන් සමඟ මම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළා. ඒ නිසා ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් ආදී විවිධ ජාතීන්වල මිත්‍රයන් රාශියක් මට සිටියා.

නමුත් අපේ ගම්වල ජීවත් වූ ජනතාවගෙන් බොහෝ දෙනෙක් ඉගෙන ගත්තේ, කතා කළේ එක භාෂාවක් පමණයි. එදා ගම්මානවල ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්ථාවක් නොතිබූ නිසා බොහෝ දෙනා සිංහල හෝ දෙමළ පමණක් කතා කළා. සියලූ දෙනා එක මවකගේ දරුවන් ලෙස හැදින්වූවත් එකම රටේ ජීවත් වන වෙනත් ජාතියක සහෝදරියක් හෝ සහෝදරයෙකු සමඟ කතා කිරීමට තවත් ජාතියක සහෝදරයෙකුට හෝ සහෝදරියකට හැකියාවක් තිබුණේ නැහැ.

'වසර 30 ක් යුද්ධ කරන්න වුණා' 

අපේ රටේ ප්‍රධානතම ගැටළුව වූයේ එයයි. රටේ යුද්ධයක් ඇතිවුනේත් එම නිසායි. වසර 30ක් පමණ අපට එකිනෙකා මරා දමමින් යුධ වැදීමට සිදුවුණා. කෙසේ නමුත් දැන් එය අවසන් වී තිබෙනවා. යුද්ධයට පෙර ශ්‍රී ලංකාවේ මම ජීවත් වුණා. ඒ කාලයේ මෙවැනි ප්‍රශ්න ඇතිවුනේ නැහැ. ත්‍රස්තවාදයක් ඇතිවුණේ නැහැ. නමුත් යුද්ධය පැවති වසර 30 තුල රටේ එම පසුබිම වෙනස් වුණා. අප දැන් කල්පනා කළ යුත්තේ නැවත වතාවක් එකට එක්වී රටක් ලෙස ඉදිරියට යාම පිළිබඳවයි.

සිංහල, දමිළ, මුස්ලිම් සියලූම දෙනා පැවසූවේ තමන් ශ්‍රී ලාංකිකයන් බවයි. විදෙස් රටවල්වල ක්‍රිකට් ක්‍රීඩා කරද්දී අපි පවසන්නේ ශ්‍රී ලාංකිකයන් බවයි. වෙනත් රටක ආහාර පාන ගන්නා විට කවුරුන් හෝ අප පැමිණි රට විමසුවොත් අප පවසන්නේ ශ්‍රී ලාංකිකයන් බවයි. රටේ කුමන ප්‍රශ්න තිබුණත් අපි හදවතින් රට ඉවත් කර ගත්තේ නැහැ. සියලූ ප්‍රශ්නවලින් අනතුරුව දැන් රටේ ජනතාව එකට එකතු වී සිටිනවා. අප ඉදිරියට යා යුත්තේ ඒ අනුවයි.

කතානායකතුමාට සහ මට ඒ කාලයේ සිටම ඉංග්‍රීසි දැනුම ලබාගෙන වැඩකටයුතු වල යෙදීමට අවස්ථාව ලැබුණා. කතානායකතුමා මඩකලපුව ප්‍රදේශයේ යුධ හමුදා රාජකාරියේ යෙදී සිටියා. මම ඒ කාලයේ යාපනයට ගියේ සංචාරයන් සඳහායි. ඒ කාලයේ එම ප්‍රදේශවල තරුණයින් අපත් සමඟ එකට සෙල්ලම් කළා. නමුත් වසර 30ක යුද්ධයෙන් පසු අප රටක් ලෙස පසුගාමී වුනා.

මෙහි වැඩසිටින මහා සංඝරත්නය පවා දන්නා ආකාරයට එදා අපට පිටුපසින් සිටි රටවල් අද අපව පසුකරගෙන ඉදිරියට ගොස් තිබෙනවා. බංගලාදේශය, වියට්නාමය ඊට හොඳම උදාහරණයි. 1991 අප ශ්‍රී ලංකාවේ කර්මාන්ත කලාප ආරම්භ කරන විට 1992 දී වියට්නාම කර්මාන්ත අමාත්‍යවරයා මා මුණ ගැසී විදේශ ආයෝජන ගෙන්වා ගැනීම පිළිබඳව උපදෙස් ලබා ගත්තා. නමුත් වර්තමානයේ විදේශ ආයෝජන ලබා ගන්නේ කෙසේදැයි වියට්නාමයෙන් උපදෙස් ගැනීමට අපට සිදුවී තිබෙනවා.

එම රටවල් එතරම් දියුණුවක් ලබා තිබුණත් අපේ රටේ තිබූ ගැටළු නිසා දියුණු වීමට තිබූ කාලය අපට අහිමි වුණා. එම නිසා මීට වඩා හොඳ අනාගතයක් මෙහි සිටින සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි ඉදිරියේදී ලබාදිය යුතුයි.  ඒ වෙනුවෙන් එකට එකතු වී වැඩ කළ යුතුයි.

2015 දි රට තුල සංහිදියාව ඇති කිරීම අපි ආරම්භ කළා. අද වන විට ඉතා අපහසුවෙන් හෝ අප එය සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටිනවා. කොතරම් ගැටළු තිබුණත් නැවතත් යුද්ධයක් ඇති කර ගැනීමේ වාතාවරණයක් අපි සකසා ගත්තේ නැහැ. ඒ වෙනුවෙන් මම සතුටට පත්වෙනවා. රටේ සංහිදියාව ඇති කිරීමේදී මෙම වැඩසටහන ඉතා වැදගත් වෙනවා. රටේ සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමළ ඉගෙන ගන්නා විට දෙමළ භාෂාව භාවිත කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිංහල භාෂාව ඉගෙන ගන්නවා.

'වෙන භාෂාවක් ඉගෙන ගැනීම අතිශය ප්‍රයෝජනවත්' 

මට එක්තරා සිංහල මිත්‍රයෙක් සිටියා. ඔහු කාලයක් යන විට දමිළ භාෂාව ඉගෙන ගැනීම ආරම්භ කළා. දෛමළ ඉගෙන ගන්නේ ඇයි? යාපනයට යන්නද බලාපොරොත්තු වෙන්නේෙ යැයි මම ඔහුගෙන් විමසුවා. තමන් දෙමළ භාෂාව ඉගෙන ගැනීමෙන් පසු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට යන බව ඔහු මට පැවසුවා.  තමිල්නාඩු ප්‍රාන්තයට පැමිණෙන උතුරු ඉන්දීය ජාතිකයන්ට දෙමළ භාෂාව කතා කරන්නට බැරි නිසා තමිල්නාඩු ප්‍රාන්ත වැසියන් සමඟ පහසුවෙන් දෙමළ භාෂාව කතා කරමින් තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු මට පැවසුවා. වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමේ ප්‍රයෝජනය එයයි.

අධ්‍යාපන අමාත්‍යතුමා සහ මනෝ ගනේෂන් ඇමතිතුමා එකට එක්වී භාෂා ගුරුවරු පුහුණු කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. මනෝ ගනේෂන් ඇමතිතුමා තමාගේ අමාත්‍යාංශය යටතේ සියලූ කටයුතු ඉටු කරන්නේ රටේ සංහිදියාව, සාමය ඇතිකිරීමටයි.

දෙවන භාෂා පිළිබඳ පැවැත්වූ පරීක්ෂණයෙන් ඉහල දක්ෂකම් දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද මෙම ස්ථානයට ගෙනවිත් තිබෙනවා. ඒවගේම මේ ස්ථානයේ පැවැත්වූ කතා, ඉදිරිපත් කළ නර්තන සහ රඟ දැක්වූ නාට්‍යයන් ඉතාමත් හොඳ මට්ටමක තිබුණා. විවිධ භාෂා හරහා අදහස් හුවමාරු කර ගැනීම එහිදී කැපී පෙනුනා. මින් අර්ථවත් කරන්නේ අපි සියලූ දෙනාම ශ්‍රී ලාංකිකයන් බවයි.

මනෝ ගනේෂන් ඇමතිතුමා සිදු කරන සේවාව මෙතැනින් අවසන් වන්නේ නැහැ. එතුමා රට පුරා වැඩකටයුතු ඉටු කරනවා. සිංහල, දෙමළ, ඉංගී්‍රසි භාෂා තුනම හොදින් හැසිරවීමට එතුමාට හැකියාව තිබෙනවා. මේ ආකාරයට ලෝකයේ විවිධ භාෂාවන් ඉගෙන ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. චීන, ජපාන, ප්‍රංශ ආදී විවිධ භාෂාවල් ඉගෙන ගත් විට ලෝකය සමඟ ගනුදෙනු කිරීමට හැකියාව ලැබෙනවා. අප වර්තමානයේ පා තබන්නේ නවීන ලෝකයකටයි.


'අපි එක මවකගේ දරුවන්' 

නමුත් පළමුවෙන් අපි අපි සමඟම කතා කළ යුතුයි. සියලූම ශ්‍රී ලාංකිකයන් එක මවකගේ දරුවන් බව සිහි තබා ගත යුතුයි. ඒ වෙනුවෙන් සාර්ථක වැඩ කටයුත්තක් ඉටු කරන මනෝ ගනේෂන් මැතිතුමාටත් එතුමාගේ කාර්ය මණ්ඩලයටත් මම ස්තුති වන්ත වෙනවා.

ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් අපි ඉදිරියේදී ආරම්භ කරනවා. මේ වන විට ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කිරීමේ පුහුණු ගුරුවරුන්ට අවශ්‍ය දැනුම ලබාදීම අපි ආරම්භ කර තිබෙනවා. ඔවුන් එංගලන්තය, සිංගප්පුරුව, ඉන්දියාව වැනි රටවල්වල විශ්වවිද්‍යාල වෙත යවමින් අවශ්‍ය දැනුම ලබාදෙමින් සිටිනවා.

මේ මොහොත රටේ දරුවන්ට විවිධ භාෂා ඉගැන්විය යුතු හොඳම කාලය බව මනෝ ගනේෂන් සහ අකිල විරාජ් අමාත්‍යවරුන් දෙදෙනාටම මම පවසනවා. පරිගණක සහ ටැබ් යන්ත්‍ර දරුවන්ට ලබාදුන් විට භාෂා ඉගෙන ගැනීමේ හැකියාව ඒ හරහා උදා වෙනවා. එම වැඩසටහනත් සාර්ථකව සිදු කළ යුතුයි.

භාෂා දෙකක් කතා කරන, භාෂා තුනක් කතා කරන බොහෝ අය මෙහි සිටිනවා. ඒ අනුව තමන්ගේ භාෂා දැනුම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට වැඩ කළ යුතුයි.  තම දැනුම හරහා රට ශක්තිමත් කළ යුතුයි.

ඒ වගේම මනෝ ගනේෂන් ඇමතිතුමාගේ සංහිදියාව, සමගිය ඇති කිරීමේ වැඩ පිළිවෙලට අවශ්‍ය ආධාර උපකාර අපි ලබා දෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියලූම දෙනා ආඩම්බර විය විය යුතු බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.'' යන්නයි. 


0 comments: