Hot!

අලිමංකඩ අවහිර කළ නාකොළගනේ ආමිස පූජාව



නාකොළගනේ විභාරය ආශ්‍රිත කලාපයේ පාරිසරික වැදගත්කම 


කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වර්තමානයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පිහිටා ඇති නාකොළගනේ රජමහා විභාරය වයඹ පළාත තුළ පිහිටි පැරණිම විභාරස්ථාන වලින් එකකි. 2008 අංක 1553 දරණ ගැසට් පත‍්‍රය (2008.06.06 දින නිකුත් කරන ලද) මඟින්  නාකොළගනේ පුරාණ රජමහා විහාරය කුරුණෑගල දිස්ත‍්‍රික්කයට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරස්ථානයක් ලෙස නම්කර තිබේ. 

මෙම විභාරස්ථානය පිළිබඳ මීට පෙර අවස්ථාවක වඩාත් කතාබහට ලක්වූවේ විභාරස්ථානයට හිමිව ඇතැයි පැවසෙන වනාන්තර කොටස් එළිපෙහෙළි කර පළතුරු වගාකිරීමට 99 වසරකට  සමාගමකට බදුදීමේ සිද්ධියක් සම්බන්දයෙනි. අදාළ සමාගම මේ වනවිට එම කොටස් ආවරණය වන පරිදි අලි බාධක විදුලි වැටවල් ඉදිකර ආවරණය කර ඇති අතර ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම මේ වනවිට උග්‍ර අතට පත්ව ඇති බව ප්‍රදේශයේ සංචාරය කළ අපට අසන්නට ලැබුණි. 

අලිමංකඩ අවහිර කර ඇති අන්දම

නාකොළගනේ බොරළුවල ආශ්‍රිත අලිමංකඩ අවහිර කළේ කවුද ? 

නාකොළගනේ විභාරස්ථානය පිහිටා ඇත්තේ පාළුකල්ල වැව් ඉස්මත්තේ එක් පසෙකට වන්නට වන අතර වනඅලි විශාල ප්‍රමාණයකට නියං කාල වලදී ජලය පාපිසාව නිවා ගැනීමට ඇති ප්‍රධානම ජලාශය මෙය වේ. මේ දිනවල පාළුකල්ල වැවට ජලය බීමට පැමිණෙන වනඅලි හිස් ලූ ලූ අත විසිර යන්නට පටන්ගෙන ඇති අතර අවට ගම්මාන කීපයකටම දිනපතා පැමිණ නිවාස හානි කරන තත්ත්වයට ද පත්වී තිබේ. මැඬියාව, අබකොළවැව හා අතරගල්ල යන වැව් ඉස්මතු වල ආහාර සොයා සංක්‍රමණය වූ වනඅලි නැවත පාළුකඩවල වැවට පැමිණීම පුරුද්දක් කරගෙන තිබේ. 


සුනන්ද හිමි


මීට හේතුව වී තිබෙන්නේ නාකොළගනේ පුරාණ රජමහා විභාරයේ පැවැත්වෙන සැණකෙළි මාලාවයි. මෙම විභාරස්ථානයේ සිටින සුනන්ද හිමිගේ උපදේශකත්වයෙන් මේ දිනවල සැණකෙළි මාලාවක් පැවැත්වේ. මේ හේතුවෙන් වනඅලින්ගේ අලිමංකඩ වී තිබෙන නාකොළගනේ බොරළුවල මේ දිනවල සංගීත සංදර්ශන පවත්වන වේදිකාවක් බවට පත්ව තිබේ. තහඩු යොදාගනිමින් ආවරණය කර ඇති සංදර්ශන වේදිකාව වටා විදුලි පහන් සවිකර, අධික ශබ්දය වාතලයට මුදාහරින ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරමින් අවහිර කර ඇත. ඇහිරී ගොස් ඇති අලිමංකඩින් තවදුරටත් අලින්ට එහාමෙහා යා නොහැකි නිසා එරියාව ගම්මානය ආශ්‍රිතව රැඳී සිටින වනඅලි ගමට ඉහළින් රැඳී සිටිමින් ඝෝෂා කරන අන්දම මේ දිනවල ඔබ එම ප්‍රදේශයට ගියහොත් මැනවින් දැකබලාගත හැකිවනු ඇත.


අලින්ට ජීවත්වීමට සුදුසු වනය අහිමි කිරීම

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සිදුකළ Impact of Land Issues on Nature In Sri Lanka නම් අධ්‍යනයේදී පෙන්වා දී තිබෙන්නේ පළතුරු වගාවට නාකොළගනේ ආශ්‍රිත වන කලාපය එළිපෙහෙළි කළහොත් ඒ ආශ්‍රිතව සැරිසරන අලින්ට විශේෂයෙන්ම ජීවත්වීමට සුදුසු පරිසරය අහිමිවන බවත් වනඅලි කැලෑ වැදීම වැළැක්වෙන බවත්ය. මේ කලාපය ආශ්‍රිත ඉඩම් අඹ වගාවට ලබාදී ඒවා එළිපෙහෙළි කිරීමට මැදිහත් වන්නේ ද විභාරස්ථානයේ වාසය කරන සුනන්ද හිමියන් ය. 
Impact of Land Issues on Nature In Sri Lanka වාර්තාවෙන්


නාකොළගනේ හා ඇහැටුවැව ආශ්‍රිත කලාපය අලින්ට වැදගත් ඇයි ?

එමෙන්ම, ඇහැටුවැව සැළකෙන්නේ සාපේක්‍ෂ වශයෙන් ලංකාවේ වැඩි වන අලි ඝනත්වයක් සහිත ප‍්‍රදේශයක් ලෙසයි. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු වාර්තා (Multi-Disciplinary Approaches to control the Human-Elephant Conflict in Sri Lanka) සඳහන් කරන්නේ 200 ක් පමණ වන අලි ආහාර අවශ්‍යතා සඳහා දෛනිකව ප‍්‍රදේශයට යාව ඇති වනාන්තරයේ සැරිසරන බවයි. පාළුකඩවල හා අතරගල්ලේ වැව් දෙකත් මෙම ප‍්‍රදේශයට මායිම්ව ඇති නිසා වන අලින්ගේ නිවාස හා ආහාර පරාසයක් ලෙස සැළකිය හැකියි. 

ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර ඇති අයුරු 

මෙම ගැටලූවට මැදි වූ ප‍්‍රදේශයේ වන අලි ඝනත්වය හා දෛනික හැසිරීම නිරීක්‍ෂණය කර පරිසර සංරක්‍ෂණ හා පර්යේෂණ කේන්ද්‍රයේ සභාපති ආචාර්ය ප‍්‍රථිවිරාජ් ප‍්‍රනාන්දු සකස් කළ “Elephant Use of the Nakolagane Area and Impact of large-scale Land Clearance” වාර්තාව සඳහන් කරන ආකාරයට මෙම ප‍්‍රදේශයේ වන අලි ඝනත්වය හා ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සමඟ  සැසඳීමේ දී මේ සා විශාල භූමිභාගයක් හෙළිකිරීමෙන් ඍජුවම වන අලින්ගේ ස්වභාවික ආහාර චර්යාවේ වෙනස්කම් ඇතිවීමටත් වනඅලින්ගේ වාර්ෂික සංචරණ රටා වෙනස් වීම හා අලින් අවට ගම් වැදීමෙන් බරපතල අලි මිනිස් ගැටුමක පෙරලකුණු පහළ වී ඇති බව මීට කලකට පෙර පෙන්වා දුන්නේය. 

විය යුත්තේ කුමක්ද ?

විභාරස්ථානයේ දියත් කෙරෙන වැඩසටහන් වලින් අලිමංකඩ අවහිර වූ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරේදී මෙම නාකොළගනේ අලිමංකඩ ආවරණය කරමින් රථ ගාලක් ඉදිකර තිබු අතර මේ දිනවල එය සැණකෙළි භූමියක් බවට පත්කරගෙන තිබේ. අනෙක් පසින් විභාරස්ථානයක් තුළ සැණකෙළියක් පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යංශයෙන්, මහ නායක හිමිවරුන්ගෙන් නිසි අවසර ලබාගත්තේදැයි යන සැකය ද මතුවේ. 

මෙවැනි පසුබිමක වනඅලි ගම්වැදීමට තවදුරටත් රුකුල් දෙමින් මෙන්ම පුරාණ විභාරස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් ඒ ආශ්‍රිත සතුන් සැරිසරන වන කලාපය අවහිර කරමින් විභාරාස්ථානයේ සිටින භික්ෂුව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත බුදුදහමේ ඉගැන්වීම් අනුව පවා සාධාරණ ද යන සැකය අපට මතුවේ. එමෙන්ම, වනඅලි බහුල කලාපයක් ආරක්ෂා කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ පරිසරය ගැන වගකිව යුතු බලධාරීන් ද අවධානය යොමුකළ යුතුවේ. 



නාකොළගනේ කැලෑව එළිපෙහෙළි කිරීම ගැන ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය මීට පෙර සිදුකළ අනාවරණය (නාකොළගනේ පන්සල හා අඹ වගාව ආශ්‍රිතව ඉදිකළ අලිවැට නිසා වනඅලි ගම්වදින අයුරු)

0 comments: