Hot!

ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය සහ හිමිකම් සංවර්ධනයේ දශකය සැමරේ



“මට මවක් වන්නට දැඩිව උවමනා වුණා. ඒත්, මේ මොහොත මට වෘත්තීය ජීවිතයේදී බැරෑරුම් මොහොතක්. ඒ නිසා අප තීරණය කළා දරුවා අවුරුද්දක් පමා කරන්න.” එසේ පවසන්නේ තිස් හැවිරිදි යුවතියක වන රස්නි ය. 

1994දී කයිරෝහි පැවැත්වුණු ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ප්‍ර‍ජනන සෞඛ්‍යය සහ කාන්තා බලසතු වීම එකිනෙක බැඳුණු සංවර්ධනයේදී අත්‍යවශ්‍ය කාරණා බව පිළිගන්නා ලදී. විසිපස් වසරකට පසු ද, රස්නි මෙන් නොව, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා බොහෝ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට දරුවන් හදනවා ද, එසේ නම්, ඒ කවදා ද, කීදෙනෙකු ද යන කරුණු පිළිබඳ සුරක්ෂිත සහ තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීම සඳහා අවශ්‍ය ස්වාධීනත්වය නැත.  


ප්‍ර‍ජනන සෞඛ්‍යය සම්බන්ධ වැදගත් සන්ධිස්ථාන දෙකක් මෙම වසරේ යෙදේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ගෝලීය වශයෙන් මෙහෙයුම් ආරම්භ කර වසර 50ක් සපිරේ. ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට වසර 25ක් සපිරේ. මෙම සන්ධිස්ථාන අනුස්මරණය කරමින්, ලෝක ජනගහන දිනය නිමිති කරගෙන, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ‘Perspectives’ නම් ප්‍ර‍කාශනය නිකුත් කරන ලදී. එහි තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය හා හිමිකම් සම්බන්ධ දශක පහක සැමරුම් ය. මෙවැනි සංවර්ධනයන්ගේ ප්‍ර‍තිඵල භුක්ති විඳි රස්නි වැනි කාන්තාවන්ගේ කතා ද, දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ සාධනීය වෙනස්කම් වෙනුවෙන් ඇපකැප වූ බ්‍රැඩ්මන් වීරකෝන් වැනි විශේෂඥයන්ගේ කතා ද එහි අඩංගු වේ. පුද්ගලයකුගේ ප්‍ර‍ජනන සෞඛ්‍ය හිමිකම් සහ තෝරාගැනීම් රටේ ජනගහන සහ සංවර්ධන න්‍යාය පත්‍රයෙහි හදවත බවට පත් වන ආකාරය එහි පෙන්වා දී තිබේ. 


ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීන්, තානාපති සේවාවන්ගේ නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයන්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන නියෝජිතයන් සහ ක්‍රියාධරයන් සහභාගි වූ, මෙම ප්‍ර‍කාශනය දියත් කරමින් පවත්වන ලද උත්සව සභාව අමතා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්සු නකෙන් මෙසේ පැවසුවා ය. “ලෝකයේ දැවැන්ත සංවර්ධනයක් සිදු වී තිබියදීත්, කාන්තා හිමිකම් සහ විශේෂයෙන් ම ප්‍ර‍ජනන හිමිකම් අවදානමට ලක් වී තිබේ. බොහෝ රටවල එය දේශපාලන අරමුණු ඉටුකරගැනීමේ උපක්‍ර‍මවල පීඩනයට ලක් වේ. කාන්තාවන් එහි ප්‍ර‍තිඵලවලින් පීඩා විඳිති. මෙය ගෝලීය පරිමාණ අවදානමකි. ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ න්‍යාය පත්‍රයේදී දෙන ලද පොරොන්දු ඉටුකිරීමට අප දැන් ක්‍රියාත්මක විය යුතු ය.”

මෙම උත්සවයේදී ප්‍ර‍ධාන අමුත්තා වන මහාචාර්ය මෛත්‍රී වික්‍ර‍මසිංහ  පහත දැක්වෙන කරුණු අවධාරණය කළා ය: 


“එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කාන්තාවන්ට ස්වාධීනත්වයේ බලය සහ තෝරාගැනීමේ බලය ලබා දෙයි. ගැබ්ගැනීමක් ම අවශ්‍ය එකක් බව, සෑම ගැබ්ගැනීමක් ම තෝරාගැනීම මත සිදු වන්නක් බව, එය අහඹු ලෙස නොවන්නක් බව සහ ස්ථිර වශයෙන් ම බලහත්කාරයෙන් සිදු නොවන බව තහවුරු කිරීම එහි අරුතයි.”
හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු උප ලේකම් ජනරාල්වරියක වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි මෙසේ පැවසුවා ය: “ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යයට විශ්වීය ප්‍රවේශය මූලික මානව හිමිකමකි. එය සෞඛ්‍යය සඳහා හිමිකමෙහි අභ්‍යන්තර කොටසක් වනවා පමණක් නොව, පුද්ගල නිදහස සඳහා හිමිකම වැනි තවත් බොහෝ මානව හිමිකම් භුක්ති විඳීම සඳහා පදනමින් ම සම්බන්ධ ය.”

අද වන විට රස්නිගේ පුතු සිව් මස් වියැති ය. සිය පවුල සැලසුම් කරගන්නා ආකාරය පිළිබඳ දැන් ඇයට සිතිය හැකි බව ඇය පවසයි. සැමියා සමග අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව, මවක වන අතර ම වෘත්තීය කටයුතු ද ඉදිරියට ගෙන යාමට ඇය සමත් වී සිටියි. ශ්‍රී ලංකාවේ සෑම මවක ම පාහේ දරු උපත් සිදු කරන්නේ සෞඛ්‍ය පහසුකම් තිබෙන ස්ථානයක ය. ගර්භනී මව්වරුන්ගෙන් 99%ක් ම පූර්ව ප්‍ර‍සව සහ පශ්චාත් ප්‍ර‍සව සත්කාර ලබති. එහෙත්, තවමත්, සජීවී දරු උපත් සිදුකරන මව්වරුන් ලක්ෂයකට 40දෙනෙකු පමණ මිය යති. ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ න්‍යාය පත්‍ර‍යේ අසම්පූර්ණ කොටස් සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාව වැඩ කළ යුතු ය. වැළැක්විය හැකි මාතෘ මරණ සම්පූර්ණයෙන් ම වැළැක්වීම, සම්පූර්ණ කර නොමැති පවුල් සැලසුම් අවශ්‍යතා සම්පූර්ණ කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය සම්පූර්ණයෙන් ම තුරන් කිරීම සහ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන් ම දුරු කිරීම ඒ අතර වේ. 


එක්සත් ජාතීන්ගේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය නියෝජිතායතනය වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 1973 වසරේ සිට ම, සෑම ගැබ් ගැනීමක් ම අවශ්‍ය එකක් බවට පත් කිරීම, සෑම දරු උපතක් ම සුරක්ෂිත කිරීම සහ සෑම තරුණ පුද්ගලයකුගේ ම හැකියාවන් පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට උපකාර කරමින් සිටියි. 


‘Perspectives’ ප්‍ර‍කාශනයේ විද්‍යුත් පිටපත එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වෙබ් අඩවියෙන් බාගත කළ හැකි ය: 


0 comments: