Hot!

‘‘තමන්ට තිබෙන අනතුර ගැන ජනමාධ්‍ය දැන ගත යුතුයි‘‘ - වික්ටර් අයිවන්



නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් “අසත්‍ය පුවත්, වෛරී ප්‍රකාශන හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස” මැයෙන් පසුගියදා (17) ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදි පැවති විවෘත සංවාදයේදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි වික්ටර් අයිවන් පැවසුවේ, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි යන්න ප්‍රධාන කාරණයක් නොවන බවත් අතිශය වැදගත් වන්නේ ජනමාධ්‍ය ශීලාචාර තැනකට ගෙනඑන්නේ කෙසේද යන්න බවත්ය. 

මෙහිදී අදහස් දැක්වූ ඔහු වැඩිදුරටත් පැවසුවේ, 

දේශපාලන තලය ඉතාම අශීලාචාරයි 

''වත්මන් වටාපිටාව දිහා බැලුවම අපිට පේන්නෙ දේශපාලන තලය ඉතාම අශීලාචාර විදිහටයි තියෙනව කියලයි. හැම කෙනෙක් ම හිතන්නෙ දේශපාලන තලය නිදහස් කර ගැනීමෙන් ලංකාවට නිදහස ලබා ගන්න පුලුවන් කියලයි. ඒත් මම හිතන්නේ එහෙම බැහැ කියලා.කවදාවත් ජනමාධ්‍ය දැන් තියෙන අශීලාචාර තත්ත්වයේ ඉන්නා තෙක් ලංකාවේ දේශපාලනයේ ගැඹුරු පරිවර්තනයක් ඇති කරන්න බැහැ. මගේ පුදගලික මතය නම පළමුවෙන්ම ජනතාවගේ අවධානය යොමු වෙන්න ඕනෑ පාර්ලිමේන්තුවටවත්, ජනාධිපතිටවත් නෙමෙයි ලංකාවේ ජනමාධ්‍ය දෙසටයි. මේ ජනමාධ්‍ය ශීලාචාර තැනකට ගන්න ආණ්ඩුවකට බැහැ.  ඒකට හේතුව දැන් ජනමාධ්‍ය කටයුතූ කරන්නෙ බස් මුදලාලිලා වගේ. බස් වලට ඕනෑ පිස්සුවක් නටන්න ඉඩ දීලා තිබුනා. දැන් කවරදාකවත් විනයක් ඇති මට්ටමකට ඒවා ගේන්න බැහැ. ඒගොල්ලො ඒ අයගේ ගමන යනවා. ජනමාධ්‍යත් ඒ වගේ. ජනමාධ්‍ය හරි බලවත්. ඒගොල්ලෝ බොහොම විනාශකාරී කාර්යභාරයක් තමයි අද වන විට ලංකාවේ  කරමින් ඉන්න‍ෙ.දේශපාලනඥයින්ටත් වඩා ඉතා බිහිසුණු කාර්යයක් කරමින් ඉන්නෙ.

ජනමාධ්‍ය ශීලාචාර කරන්න මේ රටේ මහජනයා ශීලාචාර කරන්න ඕනෑ

ජනමාධ්‍ය ඇත්තටම  ශීලාචාර කරන්න නම් මේ  රටේ  මහජනයා ශීලාචාර කරන්න ඕනැ. ජනමාධ්‍ය  ශිලාචාර කිරීමත් සමඟ ලංකාවෙ හැමදේම වෙනස් වෙනවා.  එය මහජනතාවගේ කාර්යයක්. එය ඉතා මෑතකම මහජයා අතට ගන්නවා කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා.  මම දැකපුදේ තමයි සාමාන්‍ය ගමකට ගියත්, ඈත ග‍්‍රාමීය සමාජයකින් පවා මම දැකපු දෙයක් තමයි එක පුද්ගලයකු හෝ ලංකාවේ වෙනස් කළ යුතුයි කියන අංග දෙකින් එකක් හැටියට ජනමාධ්‍ය හඳුන්වනවා.  හැම සභාවකම ජනමාධ්‍ය ගැන බරපතල විවේචනයක් තියෙනවා.  

ජනමාධ්‍යවල දැන් පැවැත්ම ඉස්සර චිත‍්‍රකතා පත්තර විදිහට වගේ. ඒ කාලෙ ලක්ෂ ගණනින් පිටපත් විකුණපු චිත‍්‍රකතා පත්තර බොහොම කෙටි කාලෙකින් නැති වෙලා ගියා. අද කාටවත් චිත‍්‍රකතා පත්තරයක් කරන්න බැහැ.  බොහොම පටු රාමුවක් ඒකට තිබුණෙ. දැන් ජනමාධ්‍ය හදාගෙන තියෙන රාමුව හරි පුළුල් වගේ පෙනුනට හරිම පටුයි. ඉස්සර මිනිස්සු රූපවාහිනී නාලිකා දිහා කට ඇරන් බලන් හිටියා. දැන් ඇත්තටම බොහෝ විට දකින්න තියෙන දෙයක් තමයි මිනිස්සු කෝපයෙන් ඒවා දිහා බලන්නෙ. ලංකාවේ සමාජයෙ අභ්‍යන්තරයේ ලොකු පරිවර්තනයක් ඇති වෙමින් තියෙනවා.  මේක ගිනි කන්දක් වගේ. පුපරන්න ආසන්නයි.  පුංචි පුංචි සත්තු කන්ද අතඇරලා යනවා කියලා පේනවා. 

දොස්තර සාෆිගේ සිද්ධිය ගත්තත් හුගක් අය දන්නවා සිද්ධ වුණ දේවල්

දොස්තර සාෆිගේ සිද්ධිය ගත්තත් හුගක් අය දන්නවා සිද්ධ වුණ දේවල්.  ඉතාම භයානක කතාව තමයි දොස්තර සාෆිගේ නඩුව අහන විනිශ්චයකාරතුමාගේ බිරිඳත් වෛද්‍යවරියක්.ඒ උසාවියෙ රෝහල් අධ්‍යක්ෂකටත් කතා කරන්න දෙනවා. ඒ රෝහල් අධ්‍යක්ෂකවරයා දන්ත වෛද්‍යවරයෙක්.  එයා කතා කරන විෂය ගැන දන්නෙ නැහැ. එයාට අයිිතියක් නැහැ කතා කරන්න. ඇත්ත වශයෙන්ම එයාට කතාකරන්න දීලා. ඒක උසාවි පොතේ සටහන් වුණාට පස්සෙ දැන් මේ  සටහන් අතුරුදන් කරල තියෙනවා කියලා සි. අයි. ඩී. ය හොයා ගෙන තියෙනවා. රෙජිස්ටාර් කියලා තියෙන්නෙ ඒක ඉවත් කරන්න කියලා උපදෙස් ලැබිලා තියෙනවා කිියලයි. 

මොනවද මේ වෙලා තියෙන්නෙ? මහේස්ත‍්‍රාත්ගෙ බිරිඳ වැඩ කරනවා ඒ ඉස්පිරිතාලෙ. ඩී. අයි. ජී. ගේ බිරිඳ වැඩ කරනවා එම ඉස්පිිරිතාලේ. ඩී. අයි. ජී. ගේ දරුවයි සාෆිගේ  දරුවයි එක ඉස්කෝලෙ ඉගෙන ගන්නවා. සාෆිගේ  දරුවා පාසලේ කැපී පෙනෙන තත්ත්වයක ඉන්නවා.  ජනමාධ්‍ය විසින් වෙද්‍ය සාෆිාගේ  සිද්ධිය රට ගිනි තියන සිද්ධියක් බවට පත් කරනවා. මේ  තත්ත්වයන් දිහා බැලුවම ජනමාධ්‍යවේදීන් විදිහට අපි දහස් වාරයක් ලැජ්ජා විය යුතුයි.  ඇත්තටම අපි මිනිසුන්ගෙන් සමාව ගත යුතුයි. අපිට වගකීමක් තියෙනවා මේ  ජනමාධ්‍ය සංස්කෘතිය වෙනස් කරන්න. අද ලංකාවේ හැම වෘත්තියක්ම පිරිහිලා තිබෙන්නේ.  දේශපාලනඥයෝ, ඉංජිනේරුවෝ, ගණකාධිකාරවරු, නිතිඥවරු හැම කෙනෙක්ම උපරිම මට්ටමට කුණු වෙලයි ඉන්නෙ. මගේ මතය නම ජනමාධ්‍යවේදීන්ට ගෞරවය කාටවත් දෙන්න බැහැ.  ඒක අභ්‍යන්තරයෙන්ම ආ යුතු දෙයක්. අනෙක්  වෘත්තීයවේදින්ටත්  එහෙමයි. තම වෘත්තීය  භාවිතය නැවත ගෞරවනීය මට්ටමට තමන් විසින්ම ගෙන ආ යුතුයි. ලස්සන යන්ත‍්‍රසූත‍්‍ර ගොඩනැගිලි තිබුණට ඒවයේ නිෂ්පාදනය කරන්නේ ඉතාමත් තුට්ටු  දෙකේ නිෂ්පාදන.  ඒ ගැන අපි කම්පා විය යුතුයි. 



තමන්ට තිබෙන අනතුරු ගැන ජනමාධ්‍ය දැනගත යුතුයි 

තමන්ට තිබෙන අනතුර ගැන ජනමාධ්‍ය දැන ගත යුතුයි.  අපි ඒක දැන ගත්තම අපේ ආරක්ෂාව සහ ගෞරවය වෙනුවෙන් අපේ ක‍්‍රමවේද වෙනස් කර ගන්න ඔිනෑ.  අපේ අපි අවුරුදු තිහක් ලේ මත පීනපු රටක්.  තොග ගණනින් මිනිස්සු මරපු රටක්. ඒ කාලකණ්ණි තත්ත්වයෙන් රට නිදහස් කර ගන්න අපිට යුතුකමක් හා වගකීමක් තියෙනවා. ජනමාධ්‍ය අසත්‍යය වෛරය ප‍්‍රමිතියක් නැතිකම ගෞරවයක් නැතිකම අභිමානයක් නැතිකම ඒ හැම දේම දැන් ජනමාධ්‍යයට අදාළයි.  මම පුද්ගලිකව හිතන දේ තමයි ජනාධිපතිවරණයෙන් කවුද දිනන්නෙ කියන කාරණා නෙමෙයි ප‍්‍රධාන වෙන්නෙ.  කොහොමද ජනමාධ්‍ය ශීලාචාර තැනකට ගේන්නේ කියන දේ තමයි ප‍්‍රධාන වශයෙන් කල්පනා කර බැලිය යුත්තේ.  ඒකට ජනමාධ්‍ය එක්ක ගහගන්නවත් ජනමාධ්‍ය ඉස්සරහට ගිහින් හූ කියන්නවත් ඔිනෑ නැහ.  අද මුද‍්‍රිත මාධ්‍යයට වඩා ලොකු වගකීමක් විද්‍යුත් ජනමාධ්‍යයට තියෙනවා. ඒ අය පාවිවිච්  කරන්නේ මහජනයාට අයිති ගුවන් තරංග හින්දා. මහජනයා කිව්වොත් “අනේ ඔයාලත් අනෙක් රටවල් වගේ සරල ජාතික ප‍්‍රතිපත්ති රාමුවකට යන්න එහෙම නැත්නම්  අපි ටී. වී. වහලා දානවා කියලා.  ඒක වසංගතයක් වගේ පැතිරෙයි. 


 මොකද මිනිස්සු කැමතියි ඒ තත්ත්වයේ වෙනසක් දකින්න.  ජනමාධ්‍යවේදීන්  ඒක තේරුම් ගන්න අවශ්‍යයි.  එහෙම තේරුම අරගෙන තමන්ගේ ආයතනයට පීඩනයක් දෙන්න.  මහත්මා ගාන්ධිලා, නේරුලා ජනමාධ්‍යවේදින්.  ඉන්දියානු නිදහස් සටනේ ලොකු බරක් ඇද්දා  ජනමාධ්‍යවේදීන්. ඔවුන් මහා විපර්යාසයකට ඉතාම නිර්මාණ ශීලී විදිහට දායක වුණා.  එරට ජනමාධ්‍ය තමයි සුවිසාල සමාජ විපර්යාසයන්ට දායක වුණේ.  අපේ රටටත් එහෙම දෙයක් අවශ්‍යයි. 

ඒක හින්දා අපි කවුරුත් එක හුස්මක් අරන් මේ තත්ත්වය වෙනස් කරන්න කටයුතු කරන්න අධිෂ්ඨාන කළ යුතුයි.  ජනමාධ්‍යවේදීන්  විදිහට අපිට අපේ තත්ත්වයෙන් කරන්න පුලුවන් හැම දේම කරමු කියන ආයාචනය මම කරනවා.‘‘ යන්නයි. 

0 comments: