Hot!

වියපත් වන ජනගහනය, කාන්තාව හා ලංකාව



ලෝක ජනගහන දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ශ්‍රී ලංකාවේ ජනගහනයේ වියපත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන් රැස් කරයි 


ශ්‍රී ලාංකික කාන්තාවකගේ උපතේදී ආයු අපේක්ෂාව වසර 79කි. පිරිමියකුගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 72කි. එයින් අදහස් වන පරිදි වයස අවුරුදු 60 සපිරෙන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියේ තවත් අවුරුදු 19ක් තිබියදී පිරිමින් ඉදිරියේ අවුරුදු 12ක කාලයක් තිබේ. දකුණු ආසියාවේ වේගයෙන් ම වර්ධනය වන වියපත් වන ජනගහනය සිටින ශ්‍රී ලංකාවේ 2020 වසර වන විට පුරවැසියන්ගෙන් පහෙන් එකක් ම වයස අවුරුදු 60ට වැඩි වන බව පුරෝකථනය කර තිබේ. ශ්‍රී ලංකාවේ වියපත් වන ජනගහනයේ බහුතරය කාන්තාවන් වන අතර, වියපත් වීමේ මෙකී ස්ත්‍රීකරණය විසින් රට සූදානම් විය යුතු සුවිශේෂ අභියෝග සහ අවස්ථා උදා කර දී තිබේ. 

1994 වසරේදී රාජ්‍ය 179ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණ ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ අසම්පූර්ණ කාර්යභාරය කෙරෙහි මෙම වසරේ ලෝක ජනගහන දිනයේ අවධානය යොමු කෙරේ. මහජන හිමිකම්, තෝරාගැනීම් සහ යහපැවැත්ම තිරසර සංවර්ධනයට මග බව 1994 සමුළුවේදී පිළිගන්නා ලදී. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය සහ හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා සමග එක්ව ජනගහන වියපත් වීම පිළිබඳ ඉහළ පෙළේ ප්‍රතිපත්ති සංවාද මාලාවේ දෙවන සංවාදය කැඳවා තිබේ. එහි තේමාව වන්නේ ‘සීමාවන්ගෙන් නිදහස්ව වියපත් වීම’ යි.ජනගහන වියපත් වීම මගින් උදා කරනු ලබන අවස්ථා උපරිම කිරීම සඳහා ප්‍රතිපත්ති මට්ටමේ දායකත්වයන් සැපයීම මෙම සංවාදයෙහි අරමුණයි. ඒ සඳහා වෙනත් රටවල පාඩම් ද උපයෝගී කරගනු ලැබේ. මෙවර සංවාදයේ මාතෘකාව වන්නේ ‘වියපත් වීමේ ස්ත්‍රීකරණය’ යන්නයි. ජනගහන වියපත් වීමේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී මානයන්, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සහ සමාජාරක්ෂාව සම්බන්ධ කාරණා කෙරෙහි එහිදී අවධානය යොමු කෙරේ.


සංවාදය ආරම්භ කරමින් සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ පැවසුවේ, “වියපත් වන ජනගහනයකට සූදානම් වීම තිරසර සංවර්ධන අරමුණු දිනාගැනීමේදී ඉතා වැදගත්. වැඩිහිටි කාන්තාවන් ඇතුළුව සියලු වයස් කාණ්ඩවල සියලුදෙනා අතර සෞඛ්‍ය සම්පන්න ජීවිත සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම තහවුරු කිරීම ශ්‍රී ලංකාවේ වගකීමයි.” යන්නයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතා අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්සු නකේන් පැවසුවේ, “උපතේ සිට මරණය දක්වා සමස්ත ජීවන චක්‍රය ම ස්ත්‍රී පුරුෂ සමාජභාවී සම්බන්ධතා නිසා බලපෑමට ලක් වේ. එමගින් සම්පත් සහ අවස්ථා වෙත ප්‍රවේශය කෙරෙහි බලපෑම් ඇති වේ. නිදසුනක් ලෙස, අධ්‍යාපනයේ සහ රැකියා අවස්ථාවල ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතා පුද්ගලයකුගේ ජීවිතයේ සෑම අදියරකදී ම වැඩි වේ. එය වැඩිහිටි වියේ දී වඩාත් අධික ය. කාන්තාවන් මුදල් නොගෙවන සත්කාර කටයුතු වෙනුවෙන් පිරිමින්ට වඩා කාලය කැපකරති. එහි ප්‍රතිඵලයක් ලෙස, විශ්‍රාම වැටුප් සහ ඉතුරුම් රහිත වැඩිහිටි කාන්තාවන් වැඩිහිටි පිරිමින්ට වඩා දුප්පත් වීමේ ප්‍රවණතාවක් තිබේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානත්වය, දිළිඳුකම සහ වියපත් වීම වියපත් වීම ස්ත්‍රීකරණයේ මුහුණත ලෙස නිරූපණය වේ.”


මෙම සාකච්ඡා සභාව සමන්විත වූයේ ආසියා හා පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිෂමේ (UNESCAP) හිටපු ප්‍රධානී සහ සිංගප්පූරුවේ සමාජ සහ පවුල් සංවර්ධන අමාත්‍යාංශයේ වියපත් වීම පිළිබඳ හිටපු ජ්‍යේෂ්ඨ උපදේශක තෙල්මා කේ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ තායිලන්තයේ පිහිටි කලාපීය කාර්යාලයේ ජනගහන වියපත් වීම සහ තිරසර සංවර්ධනය පිළිබඳ කලාපීය උපදේශක රින්ටාරෝ මොරි, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ පේරාදෙනිය ශික්ෂණ රෝහලේ  මනෝ වෛද්‍ය විශේෂඥ පබාසරී ගිනිගේ ඇතුළු පිරිස මීට දායක විය.

මෙම ගැඹුරු සාකච්ඡාවලදී අවධානය යොමු වූ කරුණු අතර ජීවන චක්‍ර ප්‍රවේශයක් ඔස්සේ වියපත්වීමේ ස්ත්‍රීකරණය ආමන්ත්‍රණය කිරීම, ජීවිතය පුරා ම කාන්තා හිමිකම් සහ අවශ්‍යතා තහවුරු කිරීම සහ සුරක්ෂා කිරීම, කාන්තාව හා වියපත් වීම සම්බන්ධ ගැටලු ආමන්ත්‍රණය කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව අත්පත් කරගැනීමේ වැදගත්කම ද විය. රිදී ආර්ථිකයකදී හෙවත් වියපත් වන ජනගහනයක අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු වූ ආර්ථිකයකදී කාන්තාවගේ භූමිකාව සහ දායකත්වය පිළිබඳ ද සාකච්ඡා කරන ලද අතර, හිමිකම් පාදක ප්‍රතිපත්තිවල අවශ්‍යතාව කාන්තාවන් ආරක්ෂිතව වියපත් වීම, ගරුත්වය රැකගැනීම සහ ඔවුන්ගේ පූර්ණ හිමිකම් තහවුරු කිරීම කෙරෙහි මූලික වන බව ද අවධාරණය කරන ලදී. 


මෙම සාකච්ඡා සභාව මෙහෙයවනු ලැබුවේ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා විසිනි. රජයේ නිලධාරීන්, ජාත්‍යන්තර ප්‍රජාව, සිවිල් සමාජය, විද්‍යාර්ථීන්, පෞද්ගලික අංශය සහ මාධ්‍ය ද සංවාදයට සහභාගි විය. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙම සංවාද සභා මාලාව ඉදිරියට පවත්වාගෙන යනු ඇත. ශ්‍රී ලංකාව ජනගහන වියපත් වීමෙන් උදා වන අවස්ථා උපරිම වශයෙන් භාවිතා කිරීමට සූදානම් වන බව තහවුරු කිරීම පිණිස සාකල්‍ය පද්ධතියක් සංවර්ධනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට  අවශ්‍ය ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා දායකත්වයන් එමගින් සැපයෙනු ඇත.


0 comments: