Hot!

සජිත්, කරූ - කවුද රජා ?




- රංග ජයසූරිය - 


එජාපයේ නාටකය 

එක්සත් ජාතික පක්ෂය මහ අමාරුවක වැටී සිටී. ජනාධිපතිවරණය සඳහා වන අපේක්ෂකයා පිළිබඳව විකට නාටකයක් රඟ දැක්වෙමින් තිබේ. මේ කාලකණ්ණි තත්වය දිගටම පැවතුණොත්, දැනටමත් පක්ෂය තුළ පවතින වෙනස්කම් වැඩි වර්ධනය වී එක්සත් ජාතික පක්ෂය, ජනාධිපතිවරණය පටන් ගැනීමටත් කලින් ඉන් පරාජයට පත්වන පක්ෂයක් බවට පත්විය හැකිය. 

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පිළිබඳව පවතින මේ දෙකටදෙවාරණය තීව්‍ර කරන එක සාධකයක් වන්නේ පක්ෂ නායකයා ය. ඔහු සිතන්නේ, සකල ලෝකවාසීන්වම ගොනාට ඇන්දවීමේ හුරුබුහුටිකමක් තමාට ඇතැයි කියා ය. එහෙත් ඇත්තෙන්ම එය එසේ නොවේ. පවතින තත්වය පිළිබඳ පාලනයක් ද ඔහු අතේ නැත. ඔහුගේ පැරණි සගයන් පවා මේ වන විට ඔහු අතහැර යන තත්වයකි දක්නට ඇත්තේ.

එජාපයේ අවුල ඩීල්කාරයින්ගේ වාසියට හරවා ගැනීම 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පවතින මේ අවුල තුළ ව්‍යාපාරික ඩීල්කාරයෝ රාජ්‍ය බලය අල්ලා ගැනීමේ තම තමන්ගේ ව්‍යාපෘති ක්‍රියාවට නංවා ගැනීමට බලති. මෙවැනි තත්වයක් ඇති වීමට වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මෙරටේ ඉඩ හැරී ඇති ප්‍රථම අවස්ථාව මෙය නොවේ. එක් මාධ්‍ය මුදලාලි කෙනෙකු පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා තමන්ගේ ඡන්දාපේක්ෂක ලැයිස්තුවක් රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කරනු ලැබ එය ප්‍රතික්ෂේප කිරීම නිසා එම මාධ්‍ය ආයතනය තමන්ට පහර දීමට වන්නේ යැයි අගමැතිවරයා ප්‍රසිද්ධියේ කියා තිබේ. එහිදීත්, රනිල් වික්‍රමසිංහ ඒ මාධ්‍ය මුදලාලිගේ ලැයිස්තුවෙන් ප්‍රතික්ෂේප කොට තිබුණේ නම් කිහිපයක් පමණි. (බොහෝ රටවල මෙවැනි ඇඟිලි ගැසීම් සහ ඒවාට යටවීම්, රාජ්‍ය ආයතන කෙරෙහි සහ ජාතික ආරක්ෂාව කෙරෙහි කරන ලද සාපරාධී අතපෙවීම් වශයෙන් සලකා නීතිමය පරීක්ෂණ පවත්වනු ලැබේ). 

එජාපය - ධම්මික, චම්පික හා එස්. එෆ් 

මේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැන් ටික කලකට ඉහතින්, කැසිනෝ මුදලාලි කෙනෙකු වන ප්‍රකෝටිපති ධම්මික පෙරේරාටත් ජනාධිපති අපේක්ෂකත්වයට ආරාධනා කළ බවට වාර්තා පළවුණි. සමහරවිට එය, ව්‍යාපාරිකයා විසින්ම තමන් පිළිබඳ රටේ තත්වය උරගා බැලීම සඳහා එම ආරාධනය පිළිබඳ ආරංචිය පතුරුවා හැරීමට සිතුවා විය හැකියි. 

දැන් ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳ හාහෝව මැකී ගොසිනි. චම්පික රණවක සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාත් මේ සෙල්ලමේ කොටස්කරුවන් වශයෙන් විටින්විට ඉස්මතු වුණි. ජනාධිපතිවීමේ සිහිනය සමහරවිට ඔවුන්ට පෙව්වා විය හැකිය. රනිල්වාදියෙකු වන ලක්ෂමන් කිරිඇල්ලත් එසේම ය. උඩරට ඇතැම් සංඝයා වහන්සේලා ඔහුගේ නම ඉස්සරහට දැමූහ. 

මෙය, එක්තරා ආකාරයක බෙදා වෙන්කොට පාලනය කිරීමේ කලාවකි. මෙවැනි වියවුල් සහගත තත්වයක් ඇති කොට එකිනෙකා තුළ තරගකාරී අපේක්ෂා දැල්වීමෙන් තමන්ට කල් ලබා ගත හැකි යැයි ද, අවසානයේ තමන්ගේ අපේක්ෂකයෙකු අතරමැදි කෙනෙකු වශයෙන් ඉදිරිපත් කළ හැකි යැයි රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ සගයන් සිතනවා ද විය හැකිය. 

සජිත් ද ? කරූ ද ?


කෙසේ වෙතත්, අවසානයේදී එක්සත් ජාතික පක්ෂය තමන්ගේ තරගකාරීත්වය එක දිගටම පවත්වාගතහොත්, තරගය එළැඹෙනු ඇත්තේ දෙදෙනෙකු අතරේ ය: ඒ, සජිත් ප්‍රේමදාස සහ කරූ ජයසූරියයි. ඒ දෙදෙනාටම පක්ෂ නායකත්වයේ විශේෂ අනුග්‍රහයක් ලැබෙන බවක් පෙනෙන්ට නැත.

අනාගත ආර්යාව කරළියට 

ප්‍රේමදාස මහතා දැනටමත් තරග පිටියට අවතීර්ණව සිටී. ඒ කෙතෙක්ද යත්, ඔහුගේ බිරිඳ ‘අනාගත ආර්යාව’ වශයෙන් තමන්ව හඳුන්වා ගැනීමට තරම් දුරදිග ගොස් සිටින්නීය. “මං දන්නවා, ඔබ කාටත් ඉඩම් නැති වෙලාවක මුහුණදෙන්න වෙන ප්‍රශ්න මොනවද කියලා. ඒකට හදිසි විසඳුමක් මට නැතත්, මං අද මෙතන කතා කරන්නේ, ඔබේ හදවත් තුළ ඉන්න, අනාගත නායකතුමාගේ ආර්යාව විදිහටයි” යනුවෙන්, හැටන් නගරයේ පැවති කාන්තා සම්මන්ත්‍රණයකදී ඈ කියා තිබුණි. ඒ වනාහී, සමහරවිට, තමන් විසින්ම තමන්ගේ පැත්තට විරුද්ධව ගසා ගන්නා ලද ගෝලයක් විය හැකිය.

ප්‍රේමදාස මහතාගේ දේශපාලන ව්‍යාපෘතිය ඔසවා තබන්නේ මහරාජා ප්‍රමුඛ මාධ්‍ය ව්‍යාපාරයක් හරහා ය. ඔහුගේ දේශපාලනය කැරකෙන්නේ ලාබ දෛනික ආර්ථික ප්‍රශ්න ඔස්සේ ය. ඔහුගේ කැමැත්ත ඇත්තේ, සුභසාධන වැඩකටයුතුවලට මිස, රටේ ආර්ථිකය සමබර කර ගැනීමේ අසීරු දේශපාලනික එළැඹුමක් කෙරෙහි නොවේ. මේ වන විට රටේ ආර්ථිකය, ඉහළ මැද මට්ටමේ ආදායම්ලාභි රටක තත්වයට උසස් වීම හේතුකොටගෙන, ‘මැද මට්ටමේ ආර්ථික උගුලට’ හසුව සිටී. ඒ ප්‍රශ්න ගැන ප්‍රේමදාස මහතා කිසිවක් කතා නොකිරීම, ඔහුගේ බොහෝ පාක්ෂිකයන්ට සහ පහළ මට්ටමේ ආර්ථික සහ සමාජ ස්ථරයන්ට අයත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ප්‍රශ්නයක් නොවේ. 

සජිත්ට සිංහල බෞද්ධ ඡන්ද දායකයින්ට ආමන්ත්‍රණය කළ හැකිද ? 

එහි අදහස වන්නේ, එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අරටුව තමන් වෙත දිනා ගැනීමේ හැකියාවක් ඔහුට තිබිය හැකි බවයි. එහෙත් එය, එක්සත් ජාතික පක්ෂයට සම්ප්‍රදායිකව අයත් මිලියන 3.5 ක් පමණ වන ඡන්දදායකයන්ගෙන් ඉතා සුළුතරයක් පමණි. ඊට අමතරව, ප්‍රේමදාස මහතාට සිංහල බෞද්ධ ඡන්දදායකයාටත් ආමන්ත්‍රණය කළ හැකිය. ඒ සම්බන්ධයෙන් වැඩිමනත් දෙයක් ඔහු සිදුකොට නැතත්, ඒ උරුමය ඔහුට තිබේ. 

පාවෙන ඡන්ද කාටද ? 

කෙසේ වෙතත්, ප්‍රශ්නය තිබෙන්නේ, පාවෙන ඡන්දදායකයාගෙන් විශාල කොටසක් ගෝඨාභය රාජපක්ෂට වඩා ඔහුට ප්‍රිය කරයි ද යන්නයි. ඒ, තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කරගෙන, තමන්ගේ සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නත් විසඳාගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ය.

ආරක්ෂාකාරී තේරීම - කරූ 

මේ තත්වය තුළ වඩාත් ආරක්ෂාකාරී තේරීම විය හැක්කේ කරූ ජයසූරියයි. ඔහුටත් සිංහල බෞද්ධ විශ්වාසය තිබේ. ආගමික ප්‍රජාව අතරේ ඔහුට ගෞරවයක් ඇති අතරේම, සුළු ජාතික ඡන්ද ප්‍රමාණයෙන් විශාල සංඛ්‍යාවක් තමන් වෙත දිනා ගැනීමේ හැකියාවත් ඔහුට තිබේ. ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ඒ සුළු ජාතික ඡන්දදායකයන්ගෙන් විශාල ප්‍රමාණයක ඇත්තේ අප්‍රසන්න හැඟීමකි. සමහර විට, ඔහුට එරෙහිව පිළිගත හැකි පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් නොකෙරුණොත් බොහෝ දෙනා ඡන්ද පොළට නොගොස් සිටීමට ඉඩ තිබේ.
  
මේ අතර, 2007 දී කරූ ජයසුරිය රාජපක්ෂලා සමග එකතු වීම පිළිබඳ ආරෝවක් තවමත් ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයන් තුළ තිබෙනවා විය හැකිය. එය එදා එක්සත් ජාතික පක්ෂය දුර්වල කිරීමට හේතු වූවද, ඒ අතරේම එය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නාස්තිකවාදී ත්‍රස්තවාදය නිශ්චිතව පරාජය කිරීම කෙරෙහිත් දායක විය.

තරම පෙන්වූ කරූ 

පසුගිය කාලයේ ඇති වූ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය තුළ කතානායකවරයා වශයෙන් කරූ ජයසූරිය තමාගේ තරම පෙන්වා ඇත. ඊටත් කලින්, අගමැති ධුරය භාරගන්නැයි ජනාධිපතිවරයා කළ ඉල්ලීමත් ඔහු ප්‍රතික්ෂේප කොට තිබුණි. (ප්‍රේමදාසත් එසේ කර තිබුණි). අනිත් අතට, ජයසූරිය මහතාට ආර්ථිකය පිළිබඳ වඩාත් ප්‍රායෝගික දැක්මක් ඇති බවක් පෙන්නුම් කොට ඇත. වර්තමාන ආණ්ඩුවේ ආර්ථික කළමණාකරන කටයුතුවලින් ඔහු ඈත් වී තිබීම සමහර විට ඔහුට වාසියක් විය හැකි සාධකයක් වීමටත් ඒ නිසා ඉඩ තිබේ.

මේ මොන දේ වෙතත්, ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ මේ ව්‍යාකූලත්වය ඉක්මනින් අවසන් කිරීම වටී. තමන් සමග ගහගන්නවා වෙනුවට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයාට මුහුණදීමට ඔවුන් සූදානම් විය යුතුය. ඒ පොදුජන පෙරමුණු අපේක්ෂකයාගේ අල්මාරියේ ඇති ඇටසැකිලි එළියට ගෙන රටට නිරාවරණය කළ යුතුව තිබේ. එසේ තිබියදී, වර්තමානයේ මෙන්, අස්ථාවත්වය සහ අතීරණය රජ වීමට හැරීම, වෙන වෙන න්‍යාය පත්‍ර මත කටයුතු කරන භයානක ඩීල්කාරයන්ට ආවැඩීමක් සහ අවස්ථාව සැලසීමක් වනු ඇත.

'කැපුවත් කොළ' පාක්ෂිකයින් කොයිබටද ? 

මේ තත්වය, පක්ෂ නායකත්වයට සහ ‘කැපුවත් කොළ’ ජාතියේ පාක්ෂිකත්වයට ප්‍රශ්නයක් නොවිය හැකිය. කෙසේ වෙතත්, ඒ ‘කැපුවත් කොළ’ ජාතියේ පාක්ෂිකත්වය, මේ වන විට වඳ වෙමින් පවතින සත්ව විශේෂයකි. එහෙත් පොදුවේ ජනතාව මේ වියවුල පිළිබඳ කණස්සල්ලට පත්ව සිටිති. මොන අඩුපාඩු තිබුණත්, මේ රටේ දේශපාලනයේ නිරත ප්‍රධාන දෙපාර්ශ්වයෙන් අඩු නපුර වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. පසුගිය අවුරුදු පහක කාලය තුළ, රටේ මානව හිමිකම් සහ පුරවැසි නිදහස වර්ධනය වී තිබේ. පාලකයන්ගේ අසීමාන්තික චර්යාවන් පාලනය කළ හැකි ස්වාධීන ආයතන ශක්තිමත් කෙරී ඇත. එසේ තිබියදී, පවුල්වාදී රාජකීය පාලනයක් නැවත ආවොත්, දැන් දිනාගෙන ඇති නිදහස තව අවුරුදු දෙකකින් පමණ පසුවත් ඒ ආකාරයෙන්ම පවතීදැයි සහතිකයක් ඇත්තේ නැත.



(2019 ජුලි 16 වැනි දා Daily Mirror පුවත්පතේ පළවූ  “UNP's Candidate Confusion: Who is the Better Candidate? Sajith or Karu?" නමැති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)



0 comments: