Hot!

Green Book - ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිදුවිය හැකියි



- මහේෂ් හපුගොඩ - 


වටිවාකම් හා අනන්‍යතා හුවමාරු කරගැනීම 

Green Book (2018) කියන්නේ දැන් ටිකක් පරණ චිත්‍රපටයක් වුනත් ආයිත් තැනින් තැන ඒ ගැන පොඩ්ඩ පොඩ්ඩ කතා කරනවා. දන්න විදියට ලංකාවේ ඒ ගැන පූර්ණ විචාරයක් ලියවිලා නැතත් ඒ චිත්‍රපටය තේරුම් ගන්න තරම් දැනුමක් ලංකාවේ මේ වෙනකොට සමාජගත වෙලා තියනව. විශේෂයෙන් මනෝ විශ්ලේෂණය පැත්තෙන් ගත්තම අපිට දැන් තියන න්‍යායික දැනුම ඇති ඒක තේරුම් ගන්න. මම මේ ගැන පොඩියට යමක් ලිව්වා හඳගම ගේ 'අසන්ධිමිත්තා' ගැන ලියන කොට. එතැනදී මට පෙන්වා දෙන්න අවශ්‍ය වුණේ දෙවියන් විසින් ප්‍රධානය කරන ලද භාෂාව මිනිස් මුණ ගැසීම කියන තැනදී කොතරම් තීරණාත්මක වෙනවද කියන එක. විශේෂයෙන් දෙවියන්ගේ දිව්‍යමය භාෂාව තවත් මිනිසෙක් රවට්ටන්න පාවිච්චි කරන්නේ නැතුව ඒ කෙනා සමග ඇත්ත සම්බන්දයක් සඳහා ගමන් කරන්නට විශාල මෙහෙයක් කරනවා කියන එක අවධාරණය කරන්න මට එහිදී වුවමනා උනා. විශේෂයෙන් අපි මේ කතාකරන චිත්‍රපටය ඇතුලේ එක් අයෙක්ගේ භාෂාව විසින් අනෙකාගේ මෙලන්කොලික පැවැත්ම අභියෝගයට ලක් කරනවා. ඩොන් ෂර්ලි කළු ජාතිකයෙක් වුනත් කළු ජාතික සංගීත පතාකයන් වෙච්ච ඇරිතා ෆ්‍රැන්ක්ලින් ගැන හරි ලිට්ල් රිචර්ඩ් ගැන හරි දන්නේ නැහැ කිව්වම ටෝනි ඒකට අභියෝග කරනවා. කෙන්ටකි කුකුල් මස් කන්න ඩොන් ෂර්ලි හැඳි ගෑරුප්පු ඉල්ලන කොට ටෝනි බලෙන්ම වගේ ඒවා නිකම්ම එයාට කවනවා. ඒ හමුවෙන හැම තැනක්ම සුන්දර නැහැ. වෝල්ටර් බෙන්ජමින් කියනවා වගේ යම් ප්‍රචණ්ඩ මදයක් (violent core) ඔස්සේ තමයි මේ දෙන්නා තම වටිනාකම් සහ අනන්‍යතා හුවමාරු කර ගන්නේ. ඉතිං ඒ හුවමාරුවෙන් පස්සේ බිහිවෙන නව මානව සම්බන්දතා කලාපය නම් ඉතාම ඉහලයි. ඉතාම සංවේදීයි. ඉතාම මානවවාදී යි.

අනෙකා තමාව දර්පණය කරන කණ්ණාඩියක් කරගැනීම

A සහ B අතර යම් වටිනාකම් ප්‍රමාණයක් දෙපැත්තටම හුවමාරු වෙනවා. A ට ඇතුල් වෙන්න තරම් ඉඩක් B හදනවා. B ට ඇතුල් වෙන්න තරම් ඉඩක් A හදනවා. දෙදෙනා තුලම තියන දැඩි මදය (hard kernel) විසංයෝජනය වෙනවා. 'තමා පවතිනවා' වගේම (පෙරදිග බුද්ධාගම) 'තමා අනෙකාගේ ඇස තුලත් පවතිනවා' (අපරදිග මනෝ විශ්ලේෂණය). ඇලන් මිලර් කියනවා වගේ අනෙකා කන්නාඩියක් කර ගන්නවා තමාව දර්පණය කරන. උදාහරණ වශයෙන් ඇත්ත මහ පොළොවේ පය ගහල ඉන්න හැටි ෂර්ලි ටෝනි හරහා ඉගෙන ගන්න කොට උසස් සංගීතය ගැන ටෝනි ෂර්ලි හරහා ඉගෙන ගන්නවා. හැඟීම්බර ලියුම් ලියන්න ටෝනි ඉගෙන ගන්නෙත් ඒ විදියටමයි. ඒ වගේම කොච්චර සන්තෝසෙන් දෙන්නා හිටියත් ටෝනි බීම එක බීලා ඒකෙ කවරේ බිම දැම්මම ෂර්ලි යකෙක් වෙනවා. කිසිම සමාවක් දෙන්නේ නැහැ ආපහු අහුලා ගන්න කම්. චිත්‍රපටයේ කැමරාව පහතට යනවා. ටෝනි කාර් එක රිවස් කරනවා. කවරේ අහුලා ගන්නවා. වැරැද්ද හදා ගන්නවා. විශ්වීය බව රකිනවා. A සහ B අර්ථවත් විදියට එකතු වෙනවා. 'පාර බලාගෙන එළවපන් ටෝනි!'

මේ සියල්ල අස්සේ මගේ තර්කය වෙන්නේ මේකයි. ෂර්ලි විසින් ටෝනි තුල දකින 'තවමත් ශිෂ්ට නොවූ අන්තර්ගතය' විසින් තව තවත් ෂර්ලි ටෝනි වෙතටම බන්ධනය කරනවා කියන එක. හරියට ආසියාතික ගුප්ත බව වෙත 'ශිෂ්ට බටහිර පිරිමියා' ආශා කරනවා වගේ. ශිෂ්ට කියන්නේ මෙතන රූපකයක් විතරයි. හේතුව සහ තර්කනය ප්‍රගුණ කරපු ශිෂ්ට අය එක්වරම ආශා කරන්නේ තමන්ගේ දැන් පැවැත්මට සම්පුර්ණයෙන් පරස්පර නොහික්මුණ වැදී රජ වගේ කෙනෙකුට. මොකද තමා තුල මර්ධනය කරලා තියන එක අපි අනෙකා තුල හොයනවා. අපි විඳින්නේ නැති විනෝදය (මර්ධිතය) එයා විඳිනවා කියල අපි හිතනවා. ෂර්ලි ශිෂ්ට වගේ පෙන්නගෙන හිටියට එයාගේ ආශාව තියන්නේ මර්ධිතයෙන් එළියේ. එයා ඒක දකිනවා නිකම් ඔහේ හිතට එන එකක් කියන, ඇඟිල්ල උස්සල 'ෆක් යූ' කියන, බඩ පැලෙන්න කාල පිස්සෙක් වගේ කෑම කෑලි එලියට විසි කරන, නිදහස් ලෙස ජීවත් වෙන නිර්ධන ටෝනි තුල. ෂර්ලිත් ආසයි උල්ලංඝනය කරන්න. නමුත් මීයා වගේ ඉන්නවා ඒ ආශාව උතුරා යන්න තිබුනට. සංකේතනය ඇතුලේ තමයි ඉන්නේ. හැබැයි ගොඩක් හිර කරගෙන.

මිනිස් විනෝද අතිරික්තය සාංදෘෂ්ටික අර්ථයෙන් තේරුම් ගැනීම

ඒ වුනාට ෂර්ලි සම්පුර්ණයෙන් ටෝනි ගේ 'නොහික්මුණ ආත්මය' ඇතුලේ දියවෙන්නේ නැහැ. මොකද ඔහුට කියල ජිවන දැක්මක් තිබුණ නිසා. නිර්ධනයෙක් හැටියට ටෝනි ගොඩක් උත්සාහ කරනවා දෙනලද තත්වයන් එක්ක ජීවත් වෙන්න වගේම ෂර්ලි ට කැත විදියට දකුණේදී සලකන ආඩම්බරකාර සුද්දන්ට එරෙහිව සටන් කරන්න. අපි 'නොහික්මුණ' කියල කියන්නේ එයාගේ ජීවන අරගලය ඇතුලේ තිබ්බ කොන්දේසි වලට. ෂර්ලි කරන්නේ ඒ ආත්මය තුළට යම් කප්පාදුවක් ගේන එක සහ ඒක ටෝනි විසින් අවශෝෂණය කර ගන්නා එක. A සහ B අතර සුසංවාදය වෙන්නේ එහෙම හුවමාරුවක් ඔස්සේ (A+B). ඒ හුවමාරුව ඔස්සේ ෂර්ලි කවදාවත් අත් නොවින්ද සිනහවක් ටෝනි එයාගේ ජීවිතය තුලට ගෙන එනවා. ෂර්ලි එයට බැඳෙනවා. ඒ සිනහව එයාගේ පැත්තෙන් අතිරික්තයක්. මොකද එයා කවදාවත් හිනා වෙලා හිටියේ නැහැනේ.

ගැහැණුන් මෙන්ම පිරිමින් ද චපලයි 

මෙන්න මේ ඉහත කිව්ව මිනිස් විනෝද අතිරික්තය සාංදෘෂ්ටික අර්ථයෙන් තේරුම් ගන්න බැරි වුනොත් මිනිස් සම්බන්දකම් ගැඹුරින් පවත්වා ගෙන යන්න බැහැ. මේ ආසියාතික ආත්මයේ විනෝදය ඇතුළට නාවර පෙරා ගත්ත යක්ෂණියෝ අරන් ආව සයිමන් නවගත්තේගම. මම හිතන්නේ 'සංසාරණ්නයේ දඩයක්කාරයා' තුලත් ඒ වගේ ඇති (මම බැලුවේ නැහැ චිත්‍රපටය). ඉතින් ඒක 'මනමේ' ට වඩා වෙනස් තත්වයක්. මේ අතිරික්තය නූතන නිල් සිනමාවේ තියනවා Anime හැටියට. මනමේ කුමරියට අපි අනුකම්පා කල යුත්තේ ඇය මේ අතිරික්තය වෙතට දිව යන නිසා. නමුත් එයා පැකිලෙනවා. ජාතක කතා කරු කියන්නේ මෙවන් ගැහැණුන් චපල බවයි. මනමේ නාඩගමේ නම් නරියා මනමේ කුමරිය ගේ කටට මුත්‍රා කරන බවක් කියවෙනවා. නමුත් මේ චපල කම පිරිමියා තුලත් තියනවා. එයත් මේ අතිරික්තය සොයමින් නගර පීරනවා. තායිලන්තේ පැත්තේ යනවා. රෙඩ් ලයිට්‌ දිස්ත්‍රික් යනවා. පන්සල් වලත් මේක තියනවා. එතකොට නරි මුත්‍රා කරන්නේ නැහැ. අතිරික්තය පිරිමියාට කැපයි. ස්ත්‍රියට අකැපයි. අපේ පවුල් වල මරා ගන්න අය මේ දේ හිතට ගන්න ඕනි. ඒ තමයි මිනිසා ඕනෑම මොහොතක මේ අතිරික්තය වෙත යන්න පුලුවන් කියන එක මෙතෙක් ගොඩ නැඟූ සියලු දැවැන්ත දේ අතහැරලා. පස්සේ පිහියෙන් ඇනලා කැත්තෙන් කොටලා මරාගන්නවට වඩා මේ අවබෝධය වැදගත්. එයිනුත් විශේෂයෙන් දේශපාලනය ඇතුලේ මේ අවබෝධය වැදගත්.

අතිරික්තය සොයාගෙන මරණය දක්වා යාම 

මිනිසා මෙම අතිරික්ත විනෝදය වෙත ඕනිම මොහොතක යන්න පුළුවන් තමාගේ එකතැන පල්වෙන ආත්මයෙන් එළියට එන්න. මෙලන්කොලියාවෙන් ගැලවෙන්න. සුවපත් වීමේ කෙටි මඟක් හැටියට. Green Book එක්කම වගේ ආව ෆ්‍රෙඩි මර්කරි ගේ ජිවිත කතාව රැගත් Bohemian Rhapsody (2018) චිත්‍රපටයේ තියෙන්නෙත් මේ අතිරික්තය හොයාගෙන මරණය දක්වා ගිය ගමන තමයි. ටයිටැනික් එකේ වුනත් ලොකු වෙනසක් නැහැ. ධනය නම්බුව ඇතුළු එතෙක් මෙතෙක් ගොඩ නැගූ අති මහත් සියල්ල දමා ගහල මිනිසා යනවා මේ අතිරික්තය වෙත. මේ අතිරික්තය විසංයෝජිතයි. විප්ලවීයයි. සියල්ල වාෂ්ප කර දමන සුළුයි. තර්කය අදාල නැහැ එතෙන්දි. වැරදි වැරදි අපි හැමෝම යන්න හදන්නෙත් ඔතෙන්ට ම තමයි. විප්ලවය සිදු කල හැක්කේත් එහෙම වැරදි වැරදි ගිහිල්ලම තමයි.

ඕනෑම මොහොතක, ඕනෑම දෙයක් සිදුවිය හැකියි

අන්තිමට නත්තල් දවසේ රාත්‍රියේ ඩොන් ෂර්ලි ටෝනි වැලලොන්ගා ගේ දොර අතරින් ෂැම්පේන් බෝතලයකුත් අරන් මතුවෙන එක තමයි චිත්‍රපටයේ ඇත්තම ඇත්ත ආපතික මොහොත. ඒක කවුරුත් හිතුවේ නැති දෙයක්. හැමෝම තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නවා. ‘එන්න ඇතුළට .. ඇවිල්ලා ඉඳගන්න..‘ කියන්නවත් කට්ටියට සිහියක් නැහැ. විප්ලවීය මොහොත වෙන්නේ ඒ පැමිණීම. ටෝනි මාසයක් තිස්සේ කරපු වෙනස නැවත ඔහු සොයාගෙන ඇවිල්ලා දෙවියන් ගේ තෑග්ගකුත් අරගෙන. ඉතිං ඒක සතුටක් නෙවෙයිද දෙයියනේ ? ටෝනි ගේ බිරිඳ ඩීලෝරස් ඔහුට සංග්‍රහ කරන්නේ උණුසුම් හාදුවකින්. ඔහුගේ ගැඹුරු වෙනස පෙන්නන නිමේෂය තමයි ඒක. ආයේ එයා කවදාවත් අර සිංහාසනේ වගේ පුටුවේ ඉඳ ගන්න එකක් නම් නැහැ.

ඒ කියන්නේ මේකයි. සියල්ල කෙස් ගහකට සමයි. ඕනෑම මොහොතක ඕනෙම දෙයක් සිදු විය හැකියි. එකම දේ ඕනෑම ආපතික දෙයකට මුහුණ දෙන්න සූදානම් සරීරයෙන් ඉන්න එකයි. 


0 comments: