Hot!

මුස්ලිම් විවාහ නීතිය හා ළමා මනාලියන්ගේ හෙට ? (2)



 - මිගාර රුද්‍රිගෝ - 



ශ්‍රී ලංකාවේ බහුලව සිදුවන ළමා විවාහ

නීතියෙන් රිංගා යාම සඳහා ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය’ තුළ පවතින ඉඩකඩ ගැන අප කතා කරන විට වැඩියත්ම වැදගත් වන එක කාරණයක් වන්නේ, මුස්ලිම් ජාතිකයන්ගේ විවාහ සම්බන්ධයෙන් පවතින අවම වයස් සීමාවයි. දකුණු ආසියාවේ වෙනත් රටවල් සමග සසඳද්දී ලංකාවේ ළමා විවාහ අනුපාතිකය අඩු මට්ටමක පැවතියත්, 2018 පෙබරවාරි මාසයේ සංගෘහිත ‘එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ’ කමිටු වාර්තාව තුළ, ලංකාවේ ඇතැම් ප්‍රජාවන් තුළ අධික ළමා විවාහ අනුපාතිකයක් දක්නට ලැබෙන බව අවධාරණය කොට ඇත. බලහත්කාර ළමා විවාහවල වින්දිතයන් බවට පත්වන්නේ මුස්ලිම් දැරියන් පමණක් නොව, වෙනත් ප්‍රජාවන්ට අයත් දැරියෝද ඊට ගොදුරු වෙත්. දරිද්‍රතාවෙන් පෙළෙන පවුල්වල දැරියන් අඩු වයසෙන් විවාහ කර දීමට පෙළඹීමේ ප්‍රවණතාවක් රටේ දක්නට ලැබේ. ළමා විවාහවලට අදාළ සංඛ්‍යාලේඛනවල දත්ත අතරේ යම් හිඩැසක් දක්නට ලැබුණත්, 2014 වසරේදී, වයස 18 ට අඩු පිරිමි ළමුන් 16,000 ක් ද, ගැහැනු ළමුන් 24,000 ක් ද, විධිමත්ව විවාපත්ව හෝ අවිධිමත්ව ‘එකට ජීවත් වන’ බව හෝ පෙන්නුම් කෙරේ.

ඉහත කී වාර්තාවෙන් ඉතා පැහැදිලිව නිර්දේශ කොට ඇති පරිදි, වයස 18 ට අඩුවෙන් විවාපත් වීමේ භාවිතය නතර කිරීම සඳහා අත්‍යාවශ්‍ය පියවර ගන්නා මෙන් ‘එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල’ ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. තවද, මේ ප්‍රශ්නයට අදාළව පවතින සංස්කෘතික සහ චාරිත්‍රානුකූල භාවිතාවන් අධෛර්යමත් කිරීමේ මාර්ගයක් වශයෙන්, විශේෂයෙන් ළමා විවාහ ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා ජන ප්‍රජාවන්හි වෙසෙන ගැහැනු ළමුන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛත්වයක් දීම සඳහා තමන් එක දිගටම කටයුතු කරන බව ‘එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල’ කියා සිටී. 

ලෝකයේ සිදුවන ළමා විවාහ

‘එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ’ අලුත්ම වාර්තාවලට අනුව, ලෝකය පුරා අඩු වයසින් විවාහ වන සංඛ්‍යාව වසරකට මිලියන 12 ක් වන බව ගණන් බලා තිබේ. මෙය, මීට වසර 10 කට කලින් පැවති තත්වය එක දිගටම පැවතියේ නම් ඇති විය හැකිව තිබූ ළමා විවාහ සංඛ්‍යාවට වඩා මිලියන 25 කින් අඩු ප්‍රමාණයකි. එසේ වෙතත්, මේ ළමා විවාහ භාවිතය වසර 2030 වන විට මුළුමණින් අවසන් කර දැමීමට නම්, ඒ සම්බන්ධයෙන් වන පියවර මීට වඩා කාර්යක්ෂමව ගත යුතුව තිබේ. එය, සමස්ත ලෝකයා ඇති කරගෙන තිබෙන ‘තිරසාර සංවර්ධන ඉලක්ක’ අතරට ගැනෙන එක ඉලක්කයකි. එසේ නොවුණහොත්, වසර 2030 වන විට තවත් ගැහැනු දරුවන් මිලියන 150 ක් ඔවුන්ගේ වයස 18 සම්පූර්ණ වීමට කලින් විවාපත් වනු ඇත.

ලෝකය පුරා සමස්තයක් වශයෙන් ගත් විට, අද ජීවත් වන කාන්තාවන් අතරින් මිලියන 650 ක් ළමා විවාහවලට ඇතුළත් වූ පිරිසකි. ළමා විවාහ අනුපාතිකය අඩු කිරීමෙහි ලා පසුගිය දශකය තුළ ඉදිරියෙන්ම සිටින්නේ දකුණු ආසියාවයි. මේ වන විට වැඩිම ළමා විවාහ අනුපාතිකයක් දක්නට ලැබෙන්නේ උප-සහරා අප්‍රිකානු කලාපයේ ය. එම කලාපයේ අධික ජනගහන වර්ධනය පාලනය කිරීමට නම් ළමා විවාහ අධෛර්යමත් කිරීමේ පියවර වඩාත් කඩිනමින් සහ කාර්යක්ෂමව ගත යුතුව තිබේ. ඉතා මෑතකදී ඇති වූ විවාහ සංඛ්‍යාව දෙස බලන විට උප-සහරා අප්‍රිකානු කලාපයේ විවාහ තුනකට එකක් අඩු වයස් දැරියකගේ විවාහයකි. මීට දශකයකට කලින් එම කලාපයේ එකී අනුපාතය වුණේ 5 ට 1 කි.

මුස්ලිම් ළමා විවාහයක වින්දිතයෙකු වන ෂර්මිලාගේ කතාව

2017 මැයි මාසයේ මුස්ලිම් ළමා විවාහයක වින්දිතයෙකුගේ ශෝකජනක කතාවක් ශ්‍රී ලාංකිකයන්ට අසන්නට ලැබුණි. වයස අවුරුදු 18 ක් වූ තමීම් ෆාතිමා ෂර්මිලා ඇගේ සැමියා විසින් පුටුවක තබා ගැටගසා, ඇඟට භූමිතෙල් වක්කොට, පුළුස්සා ඝාතනය කරන ලදි. මාස හතරක ගැබිණි මවක් පණ පිටින් පුළුස්සා ඝාතනය කිරීම පිළිබඳව ඇගේ සැමියා චෝදනාවට ලක්විය. ඇගේ කුසේ සිටි දරුවාත් ජීවිතක්ෂයට පත්විය. ගැබ්ගත් දරුවාත් සමග මෙසේ ඝාතනයට ලක්වෙන අවස්ථාවේ ෂර්මිලාට මාස හතක තවත් දරුවෙක්ද සිටියේය. 

ඇය, බලහත්කාරයෙන් විවාහ කර දෙන ලද දැරියකි. මේ බලහත්කාර විවාහය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් නීත්‍යානුකූල ය. පුත්තලමේ මුන්තාල් ප්‍රදේශයේ නල්ලතලු කොඩිපල්ලි මුස්ලිම් පල්ලියට ඇයව රැගෙන ගොස් බලහත්කාරයෙන් විවාහ කර දෙන විට ඇගේ වයස අවුරුදු 16 කි. ඇයව විවාහ කරගත් මොහොමඞ් ඉම්රාන්ගේ වයස අවුරුදු 22 කි. මෙසේ තමන්ගේ කැමැත්තට පටහැනිව විවාහ කර දුන් ෂර්මිලා, තම සැමියා ඊට කලින් දෙවරක් විවාහ වී සිටි බවත්, තමා ඔහුගේ තුන්වැනි බිරිඳ වීමට නියමිත බවත් දැන සිටියේ නැත. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ දිනවල මාධ්‍ය වෙත අදහස් දැක්වූ, ‘මන්නාරම් කාන්තා සංවර්ධන සම්මේලනයේ’ සහ ‘කාන්තා ක්‍රියාකාරී ජාලයේ’ ආරම්භක සාමාජිකාවක් වන ෂ්‍රීන් අබ්දුල් සරූර් මෙසේ කියා සිටියාය: “මේක වුණේ, රටේ තියෙන නීතිරීතිවල අඩුව නිසා. ඒවායේ තියෙන වැරැද්ද නිසා. වැඩියත්ම ඒ තත්වය දකින්න තියෙන්නේ, ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ සහ ‘ගෘහ හිංසන පනත’ තුළ. ඒ වගේම, ආගමික මූලධර්මවාදය හිස එසවීම සහ මුස්ලිම් පල්ලි, ක්වාසි මුස්ලිම් අධිකරණ වගේ ආයතනත් නිසා කාන්තා අයිතිවාසිකම් පෑගිලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන්, පොලීසියේ තියෙන නොසැලකිල්ලත් මේ තත්වයට බලපාන බව මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ.”

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ප්‍රතිසංස්කරණය කිරීමේ අරගලයට සිවිල් සමාජයත්

මේ වසරේ අගෝස්තු 6 වැනි දා සිවිල් සමාජ ක්‍රියාධරයන්, කලාකරුවන් සහ සිවිල් සංවිධාන නියෝජනය කරන 197 දෙනෙකුගේ අත්සනින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් විය. ‘ජාතික සාම මණ්ඩලය’, ‘ළමා හිංසනය නතර කිරීමේ භාරකාරත්වය’ සහ ‘කාන්තා සහ මාධ්‍ය සාමූහිකය’ ඒ අතර විය. ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ සංශෝධනය කිරීමට නොහැකි වීම නිසා, පොදුවේ මුස්ලිම් ප්‍රජාවට මෙන්ම විශේෂයෙන් එම ප්‍රජාවේ කාන්තාවන් සහ දරුවන්ට එය නරක අන්දමින් බලපාන බවත්, එම ප්‍රකාශනයේ සඳහන් විය. 

ඇෆ්ගනිස්තානය සහ මැලේසියාව වැනි මුස්ලිම් රටවල්, විවාහ වීමේ අවම වයස් සීමාව වැඩි කිරීමට සහ මුස්ලිම් ක්වාසි අධිකරණවලට කාන්තාවන්ද පත්කිරීමට හැකි වන ආකාරයෙන්, පවතින නීතිරීති සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දෙන එම ප්‍රකාශනය, ශ්‍රී ලංකාවත් මෙවැනි පරණ නීතිරීතිවලින් වධයට පත්ව දීර්ඝ කාලයක් තිස්සේ විඳවමින් සිටින තමන්ගේ රටේ මුස්ලිම් කාන්තාවන්ගේ සහ මුස්ලිම් දැරියන්ගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම සඳහා පියවර ගැනීමට මෙය හොඳම වෙලාව බව එම සිවිල් සංවිධාන නියෝජිතයන් පෙන්වා දී තිබුණි. 

   “මේ ප්‍රශ්නවලට විසඳුම් සොයා නොගත්තොත්, ලංකාවේ ගැහැනුන්ගෙන් කොටසකට ඉදිරියටත් ජීවත් වීමට සිදුවනු ඇත්තේ අවාසනාවන්ත තත්වයක ය. එසේ වුවහොත්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති සමානාත්මතාව කෙරෙහි වන අයිතිය ඔවුන්ට අහිමි කෙරෙනු ඇත. එබැවින් මුස්ලිම් කාන්තාවන් සහ ළාබල දරුවන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙතෙක් කල් අසමත්ව තිබීම දැන්වත් නිවැරදි කරගත යුතුය. මුස්ලිම් ප්‍රජාවේ ආගමික නායකයන් සහ විද්වතුන් ඇතුළු විවිධ පිරිස් අතරේ මේ සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර තිබෙන මුත්, රටේ පුරවැසියන්ව එක සමාන ආකාරයකින් ආරක්ෂා කිරීමට රාජ්‍යයට ඇති වගකීමෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍යයට මගහැර යාමට පුළුවන් කමක් නැත. එබැවින්, රටේ වෙසෙන පිරිමින්ට වෙනස් ආකාරයකින් එම රටේ ගැහැනුන්ට සලකන ක්‍රමය නතර කෙරෙන පරිද්දෙන් පවතින නීතිරීති සංශෝධනය කිරීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුව තිබේ. ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ සංශෝධනය කිරීම සඳහා වන ඉල්ලීමට කන්දීමෙන්, ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත්, මේ රටේ ජනතාව අතරේ සමානාත්මතාව ස්ථාපිත කිරීමටත්, ඔවුන් සියල්ලන් කෙරෙහි වන යුක්තිය සහතික කිරීමටත් හැකියාව ලැබෙනු ඇතැ” යි සිවිල් සමාජ ප්‍රකාශනයේ තවදුරටත් දැක්වේ.


(2019 අගෝස්තු 9 වැනි දා Daily Mirror පුවත්පතේ පළවූ “MMDA Reforms & Child Marriages in Sri Lanka (1)"නමැති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)




සබැඳි ලිපි 

0 comments: