Hot!

‘සීමාවන් ඉක්මවා යාම සුන්දරයි‘ - ඇනා බර්න්ස්




- වින්ධ්‍යා ගම්ලත් - 



ඊනිඩ් බ්ලයිටන්ගේ හා අගතා ක්‍රිස්ටිගේ පොත් වගේම රුසියානු සුරංගනා කතා කියවමින් එහෙ මෙහෙ දුවපැනපු තරුණියක් පොත් කියවීම ඇබ්බැහියක් කරගන්නවා. ‘මං අනිවාර්යයෙන්ම පොතක් ලියනවා‘ යනුවෙන් තමන්ටම පොරොන්දු වෙන ඇය බෝඩිං පාසලක් පදනම් කරගත් පොතක් රචනා කරන්න පටන්ගන්නවා. මේ පොත ලියැවුණු වයස ගැන ඇයට හරිහැටි අවබෝධයක් නැහැ. මේ සිඟිත්තිය වැඩිහිටි ගැහැණියක වී පසුකලෙක මෑන් බුකර් සම්මානයෙන් ද පිදුම් ලබන්නට සමත්වෙනවා. ඇය ඇනා බර්න්ස්. 

ඇගේ පළමු නවකතාව වූ No Bones (2001) කෘතියට පදනම් වෙන්නේ බෙල්ෆස්ට් හි හැදී වැඩුණු තරුණියකගේ ජීවිතයයි. එකල මේ කෘතිය ගැන අදහස් පළකල විචාරක මතය වූවේ මෙය ජේම්ස් ජොයිස් රචනා කළ Dubliners කෘතිය වැන්නක් බවයි.  ඇනාගේ දෙවන කෘතිය Little Constructions (2007)  දී පළවෙන අතර Milkman (2018) කෘතිය වෙනුවෙන් ඇය 2018 වසරේ මෑන් බුකර් සම්මානය හිමිකරගන්නවා. මෙය උතුරු අයර්ලන්ත ජාතිකයෙකුට හිමිවූ පළමු බුකර් සම්මානය ද වෙනවා.

Milkman කෘතියේ දිගහැරෙන්නේ ‘මද්දුම දුව’ නමින් පමණක් හැඳින්වෙන වයස අවුරුදු 18 කුඩා දැරියක ‘කිරිකාරයා’ ගේ අඩන්තේට්ටමට ලක්වෙන අන්දමයි. මේ කිසිවෙකුගේ නම් කෘතියේ සඳහන් වන්නේ නැහැ.  
Milkman කෘතිය රචනා කරන්නට හේතුවූ කරුණු ගැන අදහස් දක්වන ඇය පවසන්නේ,  

‘මේ වෙද්දි රචනා කරමින් හිටපු වෙනත් පොතක සටහන් සිය ගණනක් එක්කාසු කරලා ඒක කෙටිකතාවක් විදියට සඟරාවකට යැවීමේ අදහසක් මුලින් තිබුණා. මේ සටහන් ගැන මං විශේෂයෙන් අවධානය යොමුකළා. මේ වටා යමක් ලියන්න මට වුවමනා වුණා. මේ කෘතිය තුළ පුද්ගල නාම සටහන් වෙලා නැහැ.  බලය හා චිත්තාකර්ෂණීය බව එක්තැන් වෙලා තියෙනවා. මුල් දවස්වලදී මං නම් කීපයක් යොදන්න උත්සහ ගත්තත් කතාව එය විසින්ම ස්වාධීනව නැගී සිටිනවා. නිශ්චිත නම් නැතිවීමම පොතට ආකර්ෂණීය බව හා  නොඉවසුම එක්කරනවා, ඒ වගේම සමස්ත කෘතිය පුරාම සාමූහික මානසිකත්වය ගැබ්වී තිබෙනවා.

මෙය 70 දශකය අළලා රචනා වූ කෘතියක් වුවත් මේ තුළ ඕනෑම අන්දමක ඒකාධිපතිවාදී රජයක්, සංවෘත සමාජයක පවතින පීඩාකාරී ගතිලක්ෂණ ගැන ප්‍රශ්න කරනවා. අතිශය පීඩාකාරී වාතාවරණයක් යටතේ ජීවත්වෙන සමාජය ගැන ලියැවුණු ප්‍රබන්ධයක් ලෙස මේ කෘතිය නම්කළ හැකි අතර දිගුකාලීන ප්‍රචණ්ඩත්වය එහි ධර්මතාව වී තිබෙනවා.‘ යන්නයි.

ලේඛනය මෙන්ම ලේඛනයේ යෙදීම කෙබඳු කාර්යයක්ද යන්න ගැන අදහස් දක්වන ඇනා විස්තර කරන්නේ, ‘මගේ හිතට ගලාඑන දේවල් මං ලියනවා. හිතට සිතුවිලි නැගෙන තෙක් මං බලා ඉන්නවා. ඒ සිතුවිලා මං ඇදලා ගන්නේ නැතිව ඒ හඬ එනතෙක් බලා ඉන්නවා. ලේඛනය කියන්නේ අර්ථ පුපුරා යන වගේම යම් දෙයක් සන්නිවේදනය කරන්න වුවමනා වෙන, ඒ සමග බැඳෙන්නේ කෙසේද යන්න ගැන දැනෙන දෙයක්‘ යන්නයි. 

ලේඛනය උදෙසා ඇය සිදුකළ සුවිශේෂී කාර්යභාරය අගයමින් දිනාගත් සම්මාන අතර Milkman කෘතියට හිමිවූ Orwell සම්මානය, National Book Critics Circle Award හා No Bones කෘතියට හිමිවූ Winifred Holtby Memorial සම්මානය (2001) සුවිශේෂයි. 

ඇනාගේ භාෂා ශෛලිය ගැන අදහස් දක්වන බුකර් සම්මාන කමිටුවේ සභාපති වන ක්වාමි ඇන්තනි පවසන්නේ, ‘Milkman කෘතියේදී ඇය ඉදිරිපත් කරන භාෂා ශෛලිය අතිශය පුදුමාකාරයි. ඇයටම අනන්‍ය ශෛලියකින් ආරම්භ වන මේ කෘතියේ උත්තම පුරුෂ ආඛ්‍යානය ඔස්සේ එහි කථකයා ගැන ඉදිරිපත් කරන අතර අතිශය හාස්‍යජනක, නුවණැති හා සරළ කතා ශෛලියකින් පුවත දිගහැරෙනවා. ඇය කතාව ආරම්භයේදී යොදාගන්නා වදන් පෙළ ඔස්සේ ඇගේ ලෝකයේදී දිනපතා මුහුණදෙන්නට සිදුවන ප්‍රචණ්ඩත්වය ගැන ඉදිරිපත් කරනවා. මිනීමැරීමට කරන තර්ජන, රජයේ කණ්ඩායම් විසින් මිනිස්සු මරාදමන අන්දම, තරුණියක ලෙස ජීවිතයේ යථාර්තයන්ට ප්‍රතිචාර දක්වන අතරතුරදී පවුලේ අය, හිතමිතුරන් හා පෙම්වතුන් සමග ගනුදෙනු කරන අන්දම මැනවින් නිරූපණය කර තිබෙනවා. තදින් බැඳී සිටින ප්‍රජාව තුළ වේගයෙන් පැතිර යන ඕපාදූප සහ සමාජ පීඩනයෙහි දීප්තිමත් බව මෙහි විදහා දක්වනවා. කටකතා හා දේශපාලන පක්ෂපාතීත්වය යන දෙකම ලිංගික හිරිහැර පිළිබඳ නිර්දය ව්‍යාපාරයක සේවයට දැමිය හැකි අන්දම ගැන ද මෙහිදී පෙන්වාදෙනවා. 

එමෙන්ම, ජනතාවගේ බහුතර කැමැත්තෙන් තේරීපත්වූ තනි නායකයෙකු ඒ බලය උපයෝගී කරගෙන කටයුතු කරන අන්දම ද ඇය මෙහිදී පෙන්වා දී තිබෙනවා. මෙය උතුරු අයර්ලන්තය පදනම් කරගනිමින් රචනාවූවක් වුවද කිසිවිටෙකත් එය එක් ස්ථානයක් හෝ වේලාවකට පමණක් සීමාවී නැහැ. අර්බුදයක ගිලී ඉන්න සමාජ ගැන ඇය මෙහිදී පෙන්වා දෙනවා.‘ යන්නයි. 

ලේඛනය ගැන අදහස් දක්වන ඇනා පවසන්නේ, ‘ලේඛිකාවක විදියට මං හිතන්නේ සමස්ත සීමාවන් හා බාධක ගවේෂණය කිරීම ඇත්තටම සුන්දර බවයි‘ යන්නයි. 



0 comments: